මුල්ම සිනමා නිළිය සිබිල් ෆීම් ගැන දන්නවාද?

අරුණ ගුණරත්න
අගෝස්තු 13, 2020

රාජකීය වික්‍රමය චිත්‍රපටය මෙරට තිර ගත නොකළ ද එය මෙරට මුල්ම චිත්‍රපටය ලෙස හා එහි ප්‍රධාන චරිතය රඟපෑ ආචාර්ය එන්.එම්.පෙරේරා මෙරට මුල්ම සිනමා කතානායක ලෙස සැළකීම යුක්ති සහගත කරුණකි. 

මෙම චිත්‍රපටය පිළිබඳ වැඩිදුර කරුණු  ඩී.වී.සෙනෙවිරත්නයන් හමුවේ හෙළි කරන ඔහු චිත්‍රපටය සඳහා තමා තෝරා ගන්නා ලද්දේ නූර්බායි විසින් පුවත්පතක පළ කරන ලද දැන්වීමක් අනුව එයට ඉල්ලුම් කළ නිසායැයි පවසයි.  මේ වන විට ඇන්.ඇම්. කොළඹ ආනන්ද මහා විදුහලේ  සිසුවකුව සිට ඉන් සමුගන්නා අවදියයි. පුවත්පත් දැන්වීමට ඔහුගේ ඇස යොමු වන විට ඔහු එවකට පැවැති මැට්‍රික් විභාගයට පෙනී සිට අවසානය. ඔහු සිටිනුයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළුවන්නට නම් ඔහුට තවත් සය මසක් කල් තිබිණ. ආචාර්ය එන්. එම් පෙරේරා ජන්ම සත සංවත්සරය වෙනුවෙන් 2005 වසරේ දී  මහාචාර්ය කොල්වින් ගුණරත්න විසින් සංස්කරණය කරන ලද එන්.එම්. ඉන් හිස් ඕව්න් වර්ඩ්ස්  ඇන්ඩ් ඈස් සීන් බයි අදර්ස්  NM-in his own words and as seen by others ග්‍රන්ථයේ මෙකී රාජකීය වික්‍රමය චිත්‍රපටය පිළිබඳ තවත් විස්තර ඇත. මේ අවදියේ කොළඹ ආනන්දයේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය දිනා ගත්තේ ද ඔහුය.  විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ ද ඇන්.ඇම්.පෙරේරාය. ආචාර්ය ඇන්.ඇම්. ආනන්දයේ ක්‍රිකට් නායකයාව සිටි සමයේ රාජකීය විදුහලේ ක්‍රිකට් නායකයාව සිටියේ ජේ.ආර්.ජයවර්ධනය. ආනන්ද රාජකීය ක්‍රිකට් තරගයක දී  ඇන්.ඇම් විසින් එවන ලද පළමු පන්දුවෙන්ම තමා දැවී ගිය බව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හෙළි කළේ ආනන්දයේ ක්‍රීඩාංගණය විවෘත කළ දවසේය. එවර එනම් 1977 වසරේ පැවැති මැතිවරණයෙන්  ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා පරාජයට පත්ව සිටිය ද ඔහු ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උලෙළට සහභාගි විය. එමෙන්ම එම ක්‍රීඩාංගණය සඳහා මුලින්ම මුදල් වෙන් කරන ලද්දේ ද ආචාර්ය ඇන්.ඇම්. මුදල් ඇමැතිව සිටියදීය. 

කෙසේ හෝ වේවා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට  ප්‍රතිඵල එනතුරු බලා සිටින ඇන්.ඇම්.තරුණයා චිත්‍රපටයකට නළු නිළියන් තෝරා ගැනීමේ දැන්වීමකට අනුව එයට ඉල්ලුම් පත්‍රයත් යැවීම සලකා බලන විට මෙරට පවා  සිනමා නළු නිළියන් වීමේ උනන්දුව ඇති පරපුරක් බිහිවෙමින් පවතින බැව් පැහැදිලි වෙයි.  නූර්බායි විසින් පළ කරන ලද්දේ යැයි කියනු ලබන  එම දැන්වීම මෙරට චිත්‍රපටයක නළු නිළියන් සොයා ගැන්මට පුවත්පතක පළ කළ මුල්ම දැන්වීම විය හැකිය.

‘එක් අතකින් කුතුහලය නිසාත් අනිත් අතින් කොයිදේටත් ඉක්මන් වීම වැදගත් නිසාත් මම එයට  ඉල්ලුම් කළා . පුදුමයකට වාගේ මාව සම්මුඛ පරීක්ෂණයකට  ලක් කරලා වීරයාගේ චරිතයට මාව තෝරා ගත්තා. මා හිතා ගෙන හිටියේ පොඩි චරිතයක් ලැබෙයි කියලා. ඒත් ප්‍රධාන චරිතයට ලැබීම මගේ හීනයට වඩා ඔබ්බට යවමින් මාව කුල්මත් කළ සිදුවීමක්“

ආචාර්ය එන්.එම්. සිය මතක සටහන් ඔස්සේ  සඳහන් කරයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස පැමිණි ගුප්තා බෙංගාලි ජාතිකයෙකු විය. ඉන් වසර ගණනාවකට පසු මෙරට මුල්ම කථානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ද බෙංගාලි ජාතිකයකු වීම දෛවෝපගත කරුණක් සේ සැලකිය හැකිය.

 ගුප්තා සිරුරෙන් කුඩා මිනිසෙක් වූයේය. එමෙන්ම ඔහු ඇඳ සිටි දෝතිය දිගු කලකින් පිරිසිදු කළ බවක් පෙනෙන්නට තිබුණේ නැත. පැදුරක් මත වාඩි වී කකුලක් පිට කකුලක් දමා ගෙන සිටි ගුප්තා තරුණ ඇන්.ඇම්. සම්මුඛ පරීක්ෂණයට ලක් කළේය. සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද්දේ   බම්බලපිටියේ ජෝශප් ලේන් හි පිහිටි නූර්බායිගේ  නිවහනකය. ගුප්තා කිසිවිටෙකත් චිත්‍රපටයේ කතාව පිළිබඳව කිසිදු ශිල්පියෙකු සමඟ සාකච්ඡා කළේ නැත. එබැවින් කතාව ගලා යන ආකාරය පිළිබඳ කිසිදු රංගන ශිල්පියෙකුට හෝ කිසිදු  අදහසක් තිබුණේද නැත. සමහරවිට ඇන්.ඇම්.තරුණයා එම චරිතයට තෝරා ගන්නට එකම සුදුසුකම වන්නට ඇත්තේ ඔහු ඉතා කඩවසම් පුද්ගලයකු නිසා විය හැකිය.  සිය මතක සටහන් ලියන ආචාර්ය එන්.එම් මෙලෙස ද සඳහන් කරයි.

‘රංගන ශිල්පියෙකුට අනිවාර්යෙන්ම තමන් විසින් රඟ දක්වන ලබන  චරිතය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ එයට  මානසිකව හැඩ ගැසීම සඳහායි. එසේ නොවුණහොත් රඟපෑම යනු ජීවයෙන් තොර කාර්මික ඉදිරිපත් කිරිමක් පමණක් වෙනවා. නළුවාගේ අංග චලනය වගේම හැඟිම් දැනවීමත් ඔහු නිරූපණය කරන  චරිතය හා එකග  විය යුතුයි. චරිතයට ජීවයක් දිය හැක්කේ එසේ වුවහොත් පමණයි. මේ කාරණයේ දී ගුප්තා අසාර්ථකයැයි මා විශ්වාස කරනවා.’ 

ඇන්. ඇම් පෙරේරා මහතා විසින් දක්වනු ලබන කරුණු අනුව නූර්බායි විසින් තෝරා ගන්නා ලබන ගුප්තා එවකට ඉන්දියානු  සිනමාවේ සිටි ‘ඇහින්දාස්’ කෙනෙකු විය හැකියැයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් නිහඬ සිනමා යුගයේ ඉන්දියානු සිනමා නාමාවලිය පිරික්සන්නෙකුට ගුප්තා නම සඳහන් සිනමාකරුවන් කිහිප දෙනෙකු හෝ (සමහරවිට එක් අයකු විය හැකිය) හමුවෙයි. ඒ වනවිටත් ආරම්භ කර තිබුණ නූර්බායිගේ සිනමා ව්‍යාපාරය කල්කටාව හා සම්බන්ධව තිබුණු බව පෙනෙන්නකි. නූර්බායි වාර්තා චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුණ බවත් ඒ සඳහා චිත්‍රපට කණ්ඩායමක් ඔහු සතුව පැවැති බව මෙයට පෙර ලිපිමාලාව  මඟින් කරුණු ගෙන ආවෙමු. 

චිත්‍රපටයේ රංගන ශිල්පින් සියල්ලෝම ලාංකිකයෝ  වූහ. එහෙත් මේ සියල්ල සමඟ පොදුවේ හෝ වෙන් වෙන් වශයෙන් හෝ කථා කරන්නට ගුප්තාට වුවමනාවක් නොවිණ. නිහඬ චිත්‍රපටයක් වුව පැවැති දෙබස් පවා කිසිදු සංවාදශීලි හැඟුම්බර ස්වරූපයක් මතුවූයේ ද නැත. චිත්‍රපටයේ එන එකම කාන්තා චරිතය  එහි ප්‍රධාන කථානායිකාව වූවාය. මේ අපේ සිනමාවේ මුල්ම නිළිය වූ සිබිල් ෆීම් ය. සිබිල් ෆිම් (Sybil Feeme) පිළිබඳ ඇන්.ඇම්.පෙරේරා මහතා විසින් දක්වනු ලබන මතකය සුන්දර එකක් නොවේ. ඇය ඔහුට වඩා වැඩිමහල් යුවතියක වූවාය.  බර්ගර් ජාතික කාන්තාවක් වූ ඇයට තරමක තරබාරු දේහයකට හිමිකම් පෑවාය. ඒ හැරෙන්නට ඇය තුළ වෙනත් ආකර්ෂණීය ලක්ෂණයක් නොවූ වග ආචාර්ය ඇන්.ඇම් සඳහන් කරයි. ආචාර්ය ඇන්.ඇම් හා ඇය අතර රූප ගත කිරීම් තිබුණේ ද කිහිපයක් පමණක් වන අතර එබැවින් ඔවුන් දෙදෙනා හමුවූයේ ද එම දර්ශනවලදී පමණකි. එය ද එළිමහන් දර්ශන තල අතර රූප ගත කිරීම්වලදීය. ඔවුන් අතර එයට අමතරව පෞද්ගලිකව ඇතිව තිබුණේ  සුළු කතා බහකි. එමෙන්ම එම කතාබහ ද  කිසිදු වැදගැම්මකට ඇති ඒවා ලෙස ඔහු සැලකුවේ ද නැත. . සිබිල් දර්ශන තලයට පැමිණියේ ඇගේ අම්මා සමඟය. ඒ අවදියේ ඇය ජීවත්ව සිටියේ කොළඹ කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේය. පසුකලෙක ඇන්.ඇම් සිය සහාය නිළිය ගැන දැන ගත්තේ ඇය  සාමාන්‍ය  පවුලක තරුණියක විත්තියයි. කෙසේ හෝ වේවා ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා දේශපාලන ගමන්මගෙහි ඉහලට ගිය අතර දී මේ පැරණි සිනමා විත්තිය හෙළි කර ගත ගත හැකි වුව ද අපේ මුල්ම සිනමා නිළිය පිළිබද වෙනත් කිසිදු තොරතුරක් හෝ දැන ගන්නට නැත. 1925 වසරේ වොක්ෂෝල් වීදිය අද මෙන් ජනාකිර්ණ නොවිය. එකල බොහෝ ප්‍රධාන සමාගම් ගබඩා හා කාර්යාල  එහි පවත්වාගෙන ගිය වගක් පෙනෙන්නට තිබේ. මේ ප්‍රෙද්ශයයේ පැරණි සම්බන්ධතා ඇති කිසිවකු හෝ සිබිල් ෆීම් හෝ ඇයට සම්බන්ධ කිසිවකු ගැන හෝ තොරතුරක් වෙතොත් සරසවිය පුවත්පත අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ අපේ මුල්ම සිනමා නිළියගේ යටගියාව හා ඇයගේ පසු ජීවිතය පිළිබඳ කිසිදු විස්තරයක් කිසි තැනක හෝ සොයා ගත නොහැකි නිසාය. 

මුල්ම මලයාලම් නිහඩ චිත්‍රපටය බිහිවනුයේ 1928 වසෙර්ය. ජේ.සී.ඩැනියෙල් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ නම විගත කුමාරන්ය. එහි ප්‍රධාන නිළිය පී.කේ.රෝසි හෙවත් රෝසම්මා මෙන් චිත්‍රපටයක රඟපෑමේ වරදට කුරිරු ඉරණමකට ගොදුරු වන්නට සිබිල් ෆීම්ට සිදුවන්නට නැතැයි සිතමි.