රෝසම්මා හා සිබිල් ෆීමි

අගෝස්තු 20, 2020

“වොක්ෂෝල් ගැමියෝ” බහුතරය වර්තමානය වන විට  අලුත් වාසස්ථාන කරා ගොස් සිටිති. එමෙන්ම සියවසකට ආසන්න පැරණි ගබඩා වෙනුවට අලුත් සමාගම් අහස අල්ලන ගොඩනැගිලි ඉදි කරමින් සිටිති. ඉතිහාසයේ සඟවා ගන්නා ලද මෙරට මුල්ම සිනමා නිළියගේ ජීවන වෘත්තාන්තය මේ අතර වොක්ෂෝල් වීදියේ එලෙස සැඟව ඇත.

පසුගිය කලාපයේ අප විසින් සඳහන් කරන ලද්දේ මෙරට මුල්ම සිනමා නළුවා වන ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා පසුකලෙක ජාතික නායකයකු බවට පත්වුව ද එහි ප්‍රධාන චරිතය රගපෑ නිළි සිබිල් ෆීම් සහමුලින්ම අතුරුදන්වීමය. ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ මතක සටහන් අනුව  ඇය එකල එනම් 1925 වසරේ ජීවත්ව සිටියේ කොළඹ වොක්ෂෝල් වීදියේ ය.  

එන්.එම් මෙන්ම සිබිල් ෆීම් ද චිත්‍රපටයට  පැමිණියේ පුවත්පත් දැන්වීම අනුව ද යන්න සැක සහිතය. ඇය  සිනමාව ට පිවිසීම ඇගේ අසල්වාසින් විසින් පිළිගන්නා ලද්දේ කවරාකාරයෙන් ද යන්න සොයා බලන්නට තරම් වටිනා කරුණකි. සොයා ගන්නට ඇති කරුණු අනුව ඇය එකල ටවර් හෝල් හෝ වෙනත් නාට්‍ය කණ්ඩායමකට අයත් වූ තැනැත්තියක ද නොවේ. පළමු චිත්‍රපටයේ රඟපෑවාට පසු ඇයගේ ජීවිත ඉරණම විසදුණේ කෙලෙසද? මේ සොයා ගැනිමේ අරමුණ ඕපාදූපයක් සොයා යෑමක් නොවේ. ඔවුන් පිළිබද සියල්ල ඉතිහාසය විසින් රහස් කොට සඟවා තබන ලද බව පමණක් පෙනෙයි. පළමු වේදිකා නිළිය වූ ආනා කන්නන්ගර හෙවත් ආනා පෙරේරා ගැන මෙන්ම සිනමා නිළිය වූ සිබිල් ෆීම් පිළිබඳව සොයා ෆේස්බුක් සමාජ පිටුවේ ද පළ කළ මුත් නිසි ප්‍රතිඵලයක්  නැත. 1947 වසරේ කොළඹට පැමිණි හෙන්රි ධීරසිංහ මහතා මා සමග පැවසුවේ එකල වොක්ෂෝල් වීදිය, මැකලම් පාර වටා පැතිරුණ බේරේ වැවේ එක් මායිමක් පුරා පැවතුණේ ප්‍රධාන පෙළේ ආනයන අපනයන සමාගම්වල ගබඩා බවය. තවමත් මේ ගබඩා සංකීර්ණ මෙන්ම සමාගම් කිහිපයක් ද එහි ඉතුරුව පවතියි. පිට පළාත්වලින් ගෙන එන තේ ඇතුළු අපනයන ද්‍රව්‍ය මේ ගබඩාවල සිට වරායට ගෙන එනු ලබනුයේ බත්තල් මඟින්ය. ඒ බත්තල් ලේක් හවුස් මන්දිරය අසලින් වරායට ඇති ඇළ මාර්ගය ඔස්සේ ගමන් කරනුයේ එහි ඇති දොරටු මඟින් ජලය පාලනය කරවමින්ය. 

 සරසවිය පුවත්පතේ පිටු සැලසුම් ශිල්පියෙකු වු එමෙන්ම තවමත් ලේක් හවුස් ආයතනයේ සේවය කරන අප මිත්‍ර සමන් ජීවන් පාරම්පරිකව වොක්ෂෝල් වීදි වාසියෙකි.  ඔහුට අනුව වොක්ෂෝල් ගැමියෝ බහුතරය වර්තමානය වන විට  අලුත් වාසස්ථාන කරා ගොස් සිටිති. එමෙන්ම සියවසකට ආසන්න පැරණි ගබඩා වෙනුවට අලුත් සමාගම් අහස අල්ලන ගොඩනැගිලි ඉදි කරමින් සිටිති. ඉතිහාසයේ සඟවා ගන්නා ලද මෙරට මුල්ම  සිනමා නිළියගේ  ජීවන වෘත්තාන්තය මේ අතර වොක්ෂෝල් වීදියේ එලෙස සැඟව ඇත. අපට අහිමි වූ රාජකීය වික්‍රමය මෙන්ම අසල්වැසි මලයාලම් සිනමාවේ මුල්ම සිනමාකෘතිය වන විගත කුමාරන් ද  දරුණු ඉරණමකට ලක් වූ වග පෙනෙන්නට තිබෙන කරුණකි. විගත කුමරන් හෙවත් අතුරුදන් කුමාරයා නිර්මාණය කරන ලද්දේ මලයාලම් ජාතික ජේ.සී.ඩැනියෙල් විසිනි. ඔහු වර්තමානයේ කේරළ සිනමාවේ පියා ලෙස සලකනු ලබයි. එමෙන්ම කේරළ සිනමාව උදෙසා කරන ලද සේවය වෙනුවෙන් පිදෙන  යාවජීව කර්තව්‍යෙය අලළා පිදෙන කේරළ රාජ්‍ය සිනමා සම්මානය නම් කර ඇත්තේ ද ඔහු නමින්ය. එහෙත් නූර්බායි හෝ ඔහුගේ රාජකීය වික්‍රමය මෙන්ම විගත කුමාරන් හා ඩැනියෙල් ද  දිගු කලක් නොසලකා හැර තිබිණ.

කේරළ සිනමාව ආරම්භ කරමින් වර්තමාන තිරුවානන්දපුරම් හෙවත් එවකට ත්‍රිවේන්ද්‍රම් හි (එදවස කේරළය හදුන්වාදෙන ලද්දේ ද ට්‍රැවන්කෝර් නමින්ය.) මුල්ම චිත්‍රාගාරය ද ගොඩ නඟන ලද්දේ ඩැනියෙල් විසින්ය. ඩැනියෙල් යමක් කමක් ඇති මලයාලම්  පවුලක තරුණයකු විය.   1900 වසරේ දී උපත ලැබූ ඔහු සිනමාවේ වර්ධනය හා ජනප්‍රියත්වය  සමඟ එයට ආලය කරන්නට පටන් ගත්තේය. එබැවින් ඔහු බොම්බායට ගොස් ඉන්දියානු සිනමාවේ පියා ලෙස සලකනු ලබන පාල්කේ හමු විය. බොම්බායේ දී මෙන්ම මදුරාසියේ දී ද විවිධ චිත්‍රාගාර මඟින්  සිනමාව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබා ගත් ඔහු යළි ත්‍රිවේන්ද්‍රම් වෙත පැමිණ එහි මුල්ම චිත්‍රාගාරය ඇරඹුවේය. ඒ ට්‍රැවන්කෝර් නැෂනල් පික්චර්ස් නමින්ය. ඔහු ගේ චිත්‍රපටයේ කථාව තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය පමණක් නොව ප්‍රධාන නළුවා ද ඔහු විය. චිත්‍රපටය සදහා අවශ්‍ය මූලධනය සොයා ගැන්මට ඔහු සතුව තිබුණ ඉඩම් ද විකුණා දැමිණ.  ට්‍රැවන්කෝර්  ධනවතකුගේ පුතෙකු වන චන්ද්‍රකුමාර්, පවුලේ හිතවතෙකු ලෙස පෙනී සිටින  භූත්නාදන් නමැත්තා විසින්  සිලෝන් (ලංකාවට) වෙත පැහැර ගෙන යනු ලබයි. ඔහුගේ මවුපියන් සිය දරුවා සොයන්නට ගත් උත්සාහයන් ගෙන්  පලක් නොවෙයි. ලංකාවේ වතු කම්කරුවෙකු ළඟ හැදෙන දරුවා එහි හිමිකරු වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ආදරයට ලක්වෙයි. ඒ නිසා වත්තේ උසස් තනතුරක් ඔහුට හිමිවෙයි. ටික කලකින් චන්ද්‍රකුමාර් ගැන සොයන්නට දුර නෑයකු වන ජයචන්ද්‍රන් ලංකාවට පැමිණෙයි. එහි ඔහුගේ සියලු බඩු බාහිරාදිය භූත්නාදන් විසින් සොරකම් කරවනු ලබයි. අතරමං වන ජයචන්ද්‍රන්ට පිහිට වනුයේ චන්ද්‍රකුමාර්ය. මේ මිත්‍රත්වය මත චන්ද්‍රකුමාර් යළි ට්‍රැවන්කෝර් වෙත පැමිණෙයි.  චන්ද්‍රකුමාර්ගේ සොහොයුරිය ජයචන්ද්‍රන් හා පෙමින් වෙළෙයි. ඇය පැහැරගැන්මට භූත්නාදන් ගත් වෑයමේ දී චන්ද්‍රකුමාර් පිළිබඳ  අනාවරණය වෙයි. 

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සදහා එවකට බොම්බායේ දෙවැනි පෙළ නිළියක වන ලානා සමඟ ඩැනියෙල් ගිවිසුම් අත්සන් කළේය ත්‍රිවේන්ද්‍රම් වෙත ගෙන්වා ගත් පසු ඇයගේ ඉල්ලීම් ඔරොත්තු නොදෙන ඒවා විය. ලානා වහා ඉවත් කරන ඩැනියෙල්ට  අලුත් නිළියක ඕනෑ විය. මේ එලෙස පහසුවෙන් සිනමා නිළියක හමුවන යුගයක් නොවිණ. අවසානයේ ඔහුට හමුවනුයේ  රෝසම්මා (පී.කේ.රෝසි )නම්  යුවතියයි. රෝසම්මා කතෝලික එමෙන්ම ඉන්දියානු කුල සම්ප්‍රදායන් අනුව කුලහීන යුවතියක  වූවාය. ඇය අයත්වූයේ සම්ප්‍රදායිකව නැටුම්  ඇතුළු කලා කටයුතුවල යෙදුණ පරම්පරාවකටය. චිත්‍රපටයේ ඇයට රඟපාන්නට නියමිතව තිබුණේ කුලවත් කාන්තාවකගේ චරිතයකි. චිත්‍රපටය තිර ගත කරන ලද්දේ 1928 වසරේ නොවැම්බර් මස 7 වැනි දින ත්‍රිවේන්ද්‍රම් හි පිහිටි ස්ටාර් සිනමාහලේය. තමන්ගේ මුල්ම චිත්‍රපටය තිර ගත වන දවස  සිනමාකරුවකුට හා නිළියකට ජීවිතයේ වැදගත්ම දවසක් වුවත් විගත කුමාරන් චිත්‍රපටයේ නිර්මාතෘවරුන්ට එලෙස නොවිණ. චිත්‍රපටයේ මුල් දර්ශනය නැරඹුවේ එහි වෙසෙන වංශවතුන්ය. කුලහීන කාන්තාවක වන රෝසම්මා සමඟ චිත්‍රපටය නැරඹීම ආරාධිත වංශවත්හු ප්‍රතික්ෂප කළහ. රෝසම්මාට  සිනමාහලට ඇතුළුවීමට අවසර නොලැබිණ. චිත්‍රපටය ආරම්භ වී ටික වේලාවකින් කුලවන්තයෝ කලබලයට පත්වූහ. ඒ කුලහීන කාන්තාවක් අබරණ පැලඳ වංශවත් ගැහැනියකගේ චරිතය නිරූපණය කිරීම දකිනවාත්  සමඟය. චිත්‍රපටය ප්‍රදර්ශනය අතරමග නතර කෙරිණ. රෝසම්මාගේ පැල්පත සොයා ගිය කුලවත්තු  ඇගේ පියාට  පහර දී පැල්පත ගිනි තැබූහ. ඔවුන්ගේ අතවරයට ලක්වුණු රෝසම්මා පණ බේරා ගෙන පළා ගියාය. අතරමඟ හමුවුණ කේසවන් පිල්ලේ නමැති ලොරි රියැදුරා  ඇය බේරා ගත්තේය. පසුව ඔහුගේ භාර්යාව වූ ඇය තමිල්නාඩුවේ අප්‍රකටව ජීවත්වූවාය.  ඉන් පසු ඇගේ නම ද රාජම්මා ලෙස වෙනස් විණ.  චිත්‍රපටය ට්‍රැවන්කෝට් හි ප්‍රදර්ශනයට එයින් පසු ඉඩ ලැබුණේ නැත. සියල්ල අහිමි වුණ ඩැනියෙල් ට ඉතුරුවූයේ ඔහුගේ භාර්යාව පමණකි. අන්ත දිළිඳු තත්වයට පත්වුණ ඔහු ප්‍රදේශය හැර උපන් පළාතට ගියේය. පසුව යළිත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට උත්සාහ කළ ද එයින් සිදුවූයේ ඩැනියෙල් තවත් අගාධයට යෑම පමණකි. ඩැනියෙල් අවසාන වරට සොයා ගන්නා විට අන්ත දිළිඳු දිවියක් ගත කළේය. ඒ වන විට ඔහු ජීවත්වන ප්‍රදේශය අයත්ව තිබුණේ කේරළය නමින් නම් වූ ට්‍රැවන්කෝරයට නොව තමිල්නාඩුවටය. එබැවින් එවකට කේරළ පාලකයන් ඩැනියෙල්ගේ මලයාලම් ජන්මය හෝ ඔහුගේ කර්තව්‍යය සැලකුවේ නැත. කේරළ සිනමාවේ පියා ලෙස ගෞරවයට පාත්‍රවන විට එය දකින්නට ඩැනියෙල් ජීවතුන් අතර නොවිණ.  

කෙසේ වෙතත් විගත කුමාරන් චිත්‍රපටය පිළිබඳ සොයා බැලිමේ දී එහි කථාවේ පරිදි ලංකාවේ  රූප ගත කළා ද යන්න නිශ්චය වශයෙන් කිව නොහැකිය. ඩැනියෙල්ගේ ජීවිත කථාව හා විගත කුමාරන් චිත්‍රපටය  පාදක කරගෙන මලයාලම් සිනමාකරු කමල් විසින් සෙලියුලොයිඩ් නමින්  චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. එහි රෝසම්මා ගේ විගත කුමාරන්  චරිත නිරූපණය නිමාවනුයේ  ලංකාවේ රූප ගත කිරීම් වලට ඇය අවශ්‍ය නොවන බව පවසමිනි. විගත කුමාරන්  චිත්‍රපටයේ සෙසු දර්ශන සඳහා  ලංකාවට යන  විත්තියක්  සෙලියුලොයිඩ් චිත්‍රපටයේ සඳහන් වෙයි. එහෙත් ඇත්තටම විගත කුමාරන් ලංකාවේ රූප ගත කළා ද නැතහොත් ඒ සඳහා ආදේශකයක් ලෙස කේරළයේ ප්‍රෙද්ශයක් හෝ චිත්‍රගාරයක්  හෝ උපයෝගී  කර ගත්තේ ද යන්න අබිරහසකි. ඒ චිත්‍රපටයේ නම විගත කුමාරන් හෙවත් අතුරුදන් කුමරු ලෙසම චිත්‍රපටය  සහමුලින්ම අතුරුදන්ව ඇති හෙයින්ය. 

එහෙත් රාජකීය වික්‍රමයේ රඟපෑ පමණින් සිබිල් ෆිම්ටත්  ඒ ඉරණම අත් වන්නට ඉඩක් ඇතැයි සිතිය නොහැක්කේ ඒ වන විට මෙරට වේදිකාවේ වෘත්තිය නිළියන් බිහිව තිබුණ හෙයින්ය.  සිංහල යුවතියක වෙනුවට මුල්ම චිත්‍රපටය සඳහා බර්ගර් ජාතික යුවතියක සොයා ගත්තේ ඒ වන විට ඉන්දියානු සිනමාවේ සිටි බහුතර නිළියන් ඇංග්ලෝ ඉන්දියානු යුවතියන් වීම නිසා ඒ අනුව යමින්ද යන්න අනුමාන වශයෙන් හෝ විමසා බැලිය යුතු කරුණකි.