මහා රූපණවේදියා කොරෝනා බිල්ලට

නොවැම්බර් 19, 2020

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞමිත්‍ර ඉන්දියානු සමස්ත සිනමාවේ ද මහා නළුවකු වුව ද ඔහු බෙංගාලි සිනමාවෙන් බැහැර හින්දි චිත්‍රපට සඳහා දායක වූයේ අවස්ථා දෙකක පමණකි. ඒ නිරූපමා (1986) සහ හින්දුස්ථානි සිපාහි (2002) යන චිත්‍රපට යුගළයි. එහෙත් ඔහුගේ රංගනය පිළිබඳ කීර්තිය ලොව පුරා පැවැතියේය.

මහලු වියට එළැඹෙමින් සිටින යුවලක් ආගිය කතාබහක යෙදෙනු පෙනෙයි. මේ කතාබහ එහි පිරිමියාගේ වෘත්තිය ජීවිතයේ අත්දැකීම් සම්බන්ධවය. එකවරම ඔහු දුම්වැටියක් දල්වා ගනියි. එකෙනෙහිම ඔහු හා සල්ලාපයෙහි යෙදෙන ගැහැනිය සිගරැට්ටුව උදුරා විසි කර දමන්නීය.

‘මං ඔයාට කියලා තියෙනවා. දවසට සිගරට් තුනයි. වැඩිය බෑ.ඒකත් කෑමට පස්සේ‘

ඇය කියන්නේ සිනහවක් මුහුණට නඟා ගෙන නමුත් අණඥාවක් එල්ල කරන ලීලාවෙන්ය. පිරිමියා කෝප වූ බවක් පළ වෙයි.

‘කවදද මට ඔයා එහෙම කියලා තියෙන්නේ‘

ඔහු අසන්නේ වේගවත්වය.

මෙතුවක් වේලා වර්ණයෙන් අප හමුවෙහි දිස්වුණ රූප රාමු එකවරම කළු සුදු පැහැයට හැරිණ. මේ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන යුවල සිය භද්‍ර යෞවනයට නික්ම ගොසින්ය. ඇඳ මත වැතිරගත් තරුණ තෙමේ සිගරට්ටුවක් දල්වා ගන්නේය. එකෙනෙහිම ඔහුගේ නව යොවුන් භාර්යාවයැයි සිතිය හැකි ඇය ඔහුගේ සිගරට්ටුව අල්ලා ඉවතලන්නී පෙර කී වදනම තෙපලන්නීය.

‘දවසට සිගරට් තුනයි. වැඩිය බෑ.ඒකත් කෑමට පස්සේ‘

මේ කළු සුදු රූප රාමුව සිනමා ලොව බිහිවුණ විශිෂ්ටතම මානව දයාවෙන් පිරි වෘත්තාන්තයක සේ සැලකෙන ඕපු සංසාර් චිත්‍රපටයේ එන රූප රාමුවකි. සත්‍යජිත් රායිගේ මහා සිනමා නිර්මාණය වූ ඕපු ත්‍රිත්වයේ අවසානය වූ එහි ප්‍රධාන චරිත රඟපෑවේ මේ යුවළය. ඒ 1959 වසෙර්ය. එය ඔවුන් දෙදෙනාගේම මුල්ම සිනමා රංගනය වීම විශේෂයකි. ඔහු බෙංගාල සිනමාවේ මහා රංගවේදි තෙස්පියානුවා ලෙස සැලකෙන සෞමිත්‍ර චැටර්ජිය. ඇය පසුකලෙක බෙංගාලි සිනමාවෙන් බැහැරව හින්දි සිනමාවේ ජනප්‍රියම සිනමා තාරකාවක වූ ෂර්මිලා තාගෝර්ය. රායිගේම ආරණ්‍ය දින් රාත්‍රී චිත්‍රපටයේද ඔවුහු එකට රඟපෑහ. එහෙත් මේ සටහන ආරම්භ කරන්නට ලියන රූප රාමු පෙළ ඇතුළත් වනුයේ ඔහු නැතහොත් ඕපු නම් වැඩිහිටියා ගේ චරිතය නිරූපණය කළ සෞමිත්‍ර චැටර්ජිගේ ජීවිතය හා රංගනය අළලා ප්‍රංශ සිනමාවේදිනියක වූ කැතරින් බර්ග් විසින් නිර්මාණය කරන ලද ගාච් නම් වාර්තා චිත්‍රපටය උදෙසාය. ගාච් යන වංග වචනයෙහි සිංහල අරුත ගස යන්නය. ඕපු සංසාර් චිත්‍රපටයේ ඕපුට හදිසියේ ලැබෙන භාර්යාව වන අපර්ණාගේ චරිතය රගපාන විට ෂර්මිලා පහළොස් හැවිරිදි වියේ පසුවූවාය. සෞමිත්‍ර විසි හතර හැවිරිදි වියේ පසුවිය. ගාච් මට නරඹන්නට ලැබෙනුයේ 1998 වසරේ ජනවාරි මස නවදිල්ලියේ පැවැති ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේ දි එහි ප්‍රධාන සිනමා ශාලාව වූ සිරිෆෝට් ශාලාවේය.

ලෝක සිනමාවේ මහා සිනමාකරුවන් සේ සැලකෙන ජපානයේ අකිර කුරොසාව ගේ සිනමා ප්‍රකාශනය ගෙන ආ මහා රංගවේදියා ලෙස සැලකුවේ තොෂිරෙ මිෆුනේය. ස්වීඩනයේ ඉංග්මාර් බර්ග්මාන්ට සිටි මහා නළුවා මැක්ස් ෆොන් ෂිඩෝ ය. ඉතාලියේ ෆෙඩ්රිකෝ ෆෙලනිට සිටි මහා නළුවා මාෂෙලෝ මස්ත්‍රියානිය. එමෙන්ම සත්‍යජිත් රායිගේ මහා නළුවා සෞමිත්‍ර චැටර්ජිය. 1935 වසරේ ජනවාරි මස 19 වැනි දින එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කල්කටාවේ උපන් සෞමිත්‍ර චත්තෝපාධ්‍යාය 2020 වසරේ නොවැම්බර් මස 15 වැනි දින ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වූ කොල්කටාවේ දී අභාවප්‍රාප්ත වූයේ කොවිඩ් 19 බිලි ගත් සිනමා ලොව දැවැන්තයෙක් හැටියටය. බ්‍රිතාන්‍ය කල්කටාව ඉන්දියාවේ කොල්කටාව වුව ද සෞමිත්‍ර මුළු ජීවිත කාලයම පදිංචි ව සිටියේ එහිය. දිගු කලක් ඔහු සිය මහා සිනමාකරුවාගේ අසල් වැසියකු ද විය. මුඛ්කෝපාධ්‍යායලා මුඛර්ජි ලා වන බන්ධෝපාධ්‍යායලා බැනර්ජි වන වංග ජාතිකයන් අතර චත්තෝපාධ්‍යාය වූ සෞමිත්‍ර චැටර්ජි වූයේය.

කැතරින් බර්ග් ගේ සිනමා කෘතියෙහි පැවසෙන පරිද්දෙන් සෞමිත්‍ර චැටර්ජි සත්‍යජිත් රායිගේ මහා සිනමා උයනෙහි තැනුණ දැවැන්තම ගසක් වූයේය. ඔහු සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට සිනමා කෘතින් 14කටම රංගනයෙන් දායක විය. ඒ ඕපු සංසාර්, අභිජාන්, චාරුලතා, ආරණ්‍ය දින් රාත්‍රි, අශනි සංකේත්, සොනාර් කෙල්ල, ජෝයි බාබා ෆෙලුකාත්, හිරොක් රාජාර් දේශේ, ඝරේ බයිරේ, ශාකා ප්‍රොශාකා, සහ ඝන ශතෘ යන සිනමා නිර්මාණයන්ගේය. රායි හැරුණු විට බෙංගාලි සිනමාවේ දැවැන්තයන් වූ මිර්නාල් සෙන් ගේ ආකාස් කුසුම්, තපන් සිංහගේ ක්ෂුදිතා පෂාන්, හා ජින්දර් බොන්දි, අසිත් සෙන්ගේ ස්වර ලිපි, අජේ කාර් ගේ පරිනීතා, ගෞතම් ගෝෂ් ගේ දේකා, සුජායි ගෝෂ් ගේ අහල්යාරි රිතුපර්නා ගෝෂ්ගේ අශුක් මේ අතරින් කිහිපයකි. එමෙන්ම සෞමිත්‍ර නළුවකු පමණක් නොවේ. ඔහු නාට්‍ය රචකයෙකි. නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. කවියෙකි.ලේඛකයෙකි. ගුවන් විදුලි ශිල්පියෙකි.කල්කටා විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකි. සිනමාලෝකයේ මෙන්ම වංග වේදිකාවේ ද ඔහු දැවැන්තයකු විය. 2010 වසරේ සිට රෝගාතුර වන තුරුම ඔහු විලියම් ශේක්ෂ්පියර්ගේ කිංග් ලියර් ඇසුරෙන් වංග බසින් සුමන් මුක්ඛෝපාධ්‍යාය විසින් නිර්මාණය කරන ලද රජ ලියර් නාට්‍යයෙහි ලියර් රජුගේ චරිතය රගපෑවේය.

සත්‍යජිත් රායි ඕපු සංසාර් චිත්‍රපටයේ ඕපු ගේ චරිතයට සෞමිත්‍ර සොයා ගත්තේ ජල්ශඝාර් චිත්‍රපටය නිර්මාණය කරන අතරතුරය. ඒ වන විට වේදිකා නළුවකු වූ සෞමිත්‍ර ජල්ශඝාර් දර්ශන තලයට පැමිණියේ රුප ගත කිරීම් නරඹන්නටය. එහි දුටු සෞමිත්‍ර ගේ මුහුණ දුටු මතින් එය රායිගේ සිත් ගත්තේය. ජල්ශඝාර් ප්‍රධන නළුවා වූ චාබි බිස්වාස් ට තරුණ සෞමිත්‍ර පෙන් වූ රායි මේ තමයි ඕපු යැයි විවරණ දුන්නේය. ඉක්බිතිව තැනුණු ඕපු ත්‍රිත්වයේ දෙවැන්න වූ අපරාජිතෝ චිත්‍රපටයේ ඕපු යොවුන් වියට එළැඹෙන තෙක් පිනාකි සෙන් ගුප්තා විසින් ද ගැටවර විය ස්මරන් ගෝෂාල් විසින්ද නිරූපණය කරන ලදී. අපරාජිතෝ සෞමිත්‍රට නොලැබුණේ ඒ වන විට ඔහුගේ මුහුණ ගැටවර විය ඉක්මවා යමින් සිටි හෙයින්ය. එසේ නොවිණි නම් අපරාජිතෝ සහ ඕපු සංසාර් යන චිත්‍රපට ද්විත්වයටම සෞමිත්‍ර දායක වනු ඇත. ඕපු සංසාර් චිත්‍රපටයට පෙර කාර්තික් චත්තෝපාධ්‍යාය ගේ නිල්චලේ මහා ප්‍රභූ චිත්‍රපටයට මුලින් සෞමිත්‍ර තෝරා සිටිය ද ඉන් ඔහු ප්‍රතික්ෂේප විය.

ඒ වන විට මා වේදිකාවේ හා සිනමාවේ රංගන වෙනස දැන හිටියේ නැහැ. සිනමා කෘතියක රංගනයට ගොස් අධි රංගනයක යෙදෙනු ඇතැයි මා බිය වූණායැයි පසුකලෙක සුප්‍රකට සිනමා විචාරිකා මාරි සීට්න් හමුවේ සෞමිත්‍ර පවසා සිටියේය. සිය සොයා ගැන්ම පිළිබඳ රායි පසුකලෙක කියා සිටියේ ඔහුට ලැබෙන පිටපත අන්තිම කබල් නම් සෞමිත්‍ර එයටත් වඩා කබල් අන්දමින් රඟපා පෙන්වනු ඇත යනුවෙන්ය.සුප්‍රකට සිනමා විචාරිකා මාරියා ෂෙල් ඔහුගේ වත්කම යනු රංගනයට පිවිසීමත් සමග දැනෙන ස්වාභාවිකත්වයැයි ඔහුගේ රංගන ශෛලිය පිළිබඳ පැවසුවාය.

ජනප්‍රියත්වය අතින් බෙංගාලි සිනමාවේ සෞමිත්‍ර දෙවැනි වූයේ එකල එහි සුපිරි නළුවා වූ උත්තම් කුමාර්ට පමණකි. එහෙත් රංගන කෞශල්‍යය අතින් ඔහු උත්තම් කුමාර් ද අභිබවා ගියේය. ඔවුන් දෙදෙනා එක්ව රගපෑ චිත්‍රපට සංඛ්‍යාව පහකි. ඔවුන් දෙදෙනා මුලින්ම එකට රඟපෑවේ 1961 වසරේ සුප්‍රකට සිනමාකරු තපන් සිං විසින් නිර්මාණය කරන ලද ජීන්දර් බන්දි චිත්‍රපටයේය. 1979 වසරේ බෙංගාලි බසින් නිර්මිත දේව්දාස් චිත්‍රපටයේ සෞමිත්‍ර දේව්දාස් වෙද්දී ඔහුගේ සුමිතුරු චුන්නිලාල් වූයේ උත්තම් කුමාර්ය.

සෞමිත්‍ර කලක් සඟරාවක් සංස්කරණය කළ අතර එයට එකෝන් නමින් නම් තබන ලද්දේ සත්‍යජිත් රායි විසින්ය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞමිත්‍ර ඉන්දියානු සමස්ත සිනමාවේ ද මහා නළුවකු වුව ද ඔහු බෙංගාලි සිනමාවෙන් බැහැර හින්දි චිත්‍රපට සඳහා දායක වූයේ අවස්ථා දෙකක පමණකි. ඒ නිරූපමා (1986) සහ හින්දුස්ථානි සිපාහි (2002) යන චිත්‍රපට යුගළයි. එහෙත් ඔහුගේ රංගනය පිළිබඳ කීර්තිය ලොව පුරා පැවැතියේය. ඉන්දියානු සිවිල් පුරවැසියෙකුට ලැබෙන ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන් වැනි සම්මානය වන පද්ම භූෂණ සම්මානය ද ඉන්දියානු සිනමා කර්තව්‍යය වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වූ දාදා සහාබ් පාල්කේ සම්මානය ද ප්‍රංශය වෙනත් රටක පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වූ නයිට් ඔෆ් ලෙජන් ඩි ඔනර් සම්මානය ද සෞමිත්‍ර චැටර්ජිට පිරිනැමිණ. මේ හැරත් සිනමා රංගනය වෙනුවෙන් ඔහු ලද සම්මාන සංඛ්‍යාව ඉමහත්ය. දීපා චැටර්ජි හා ඔහුගේ විවාහය මරණයෙන් කෙළවර වන තුරු වසර 60ක් පැවැතියේය. එයින් ලැබූ දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකි. ඒ සෞගත චැටර්ජි පුතණුවන් හා ජෞලමි බෝෂ් දියණියයි. ජෞලමි වංගවේදිකාවේ සම්මානනීය අධ්‍යක්ෂවරියකි. සත්‍යජිත් රායි මහා සිනමාවේදියාගේ සිනමාව ගැන කියවන විට අනිවාර්යනේම සදහන් විය යුතු නම් තුනක් විය. ඒ කැමරා අධ්‍යක්ෂ සුබ්‍රත්‍ර මිත්‍රා, කලා අධ්‍යක්ෂ බන්සි චන්ද්‍රගුප්තා හා රූපණවේදි සෞමිත්‍ර චැටර්ජිය. මේ අතරින් බන්සි 1981 වසරේ ද රායි 1992 වසරේ ද සුබ්‍රත්‍ර මිත්‍ර 2001 වසරේ ද මිය ගියේය.

කොවිඩ් 19 වසංගතය මඟින් උදුරා ගත් සෞමිත්‍ර චැටර්ජි රංගවේදියා ගේ ජීවිතය සමඟ ආසියාවේ මහා සිනමාවක එක් පරිච්ඡේදයක් ද නිමා වන්නේය.