පැමිණි දැවුණු යුවතියගේ රුව Portrait of a lady on fire

දෙසැම්බර් 19, 2019

චිත්‍රපටය සොයා ගන්නට ඔබට පිවිසුම.

Portrait de la jeune fille enfeu
(Portrait of a Lady on Fire)
Director/screenplay by-Celine Sciamma
Produced by-Veronica Cayla
Benedicte Couvreur
Noemie Merlant,Adele Haenel,Luana Bajrami,Valeria Golino

කාලය 18 වැනි සියවසේ අගභාගයි. රට ප්‍රංශයයි. එහි චිත්‍ර ශිල්පය හදාරන යුවතියන් පිරිසකි. (කාලය සමහර විට ප්‍රංශ විප්ලවය ආසන්නයේ විය හැකිය.) ඔවුන්ගේ තරුණ ගුරුවරිය ප්‍රියමනාප එකියක බැව් අපට පෙනෙයි. ඇයගේ උපදෙස් පරිදි අඳීන චිත්‍ර හා ඔවුන්ගේ ඇඟිලි විවිධ රූ රටා මවයි. මේ අතරවාරයේ එක් යුවතියක් ඇගේ ගුරුවරියගෙන් අපූරු පැනයක් විමසන්නීය. ඔබ ජීවිතයේ අඳීන ලද හොඳම චිත්‍රය කුමක්ද ? 

එයට දෙන පිළිතුර පෝට්රේට් ඔෆ් ලේඩි ඔන් ෆයර් ඇගේ පිළිතුරයි. එය සිනමා කෘතියේ ද නමයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සෙලීන් ෂියාමා (Celine  Sciamma)  ය. 41 හැවිරිදි ඇය සිනමාවට පිවිසෙනුයේ තිර නාටක රචිකාවක හැටියට 2004 වසෙර්ය. ඇයගේ මුල්ම අධ්‍යක්ෂණය වෝටර් ලිලීස් නමින් තිරයට එන්නේ 2006 වසෙර්ය. 2011 වසරේ තැනුණු ටොම්බෝයි, 2014 වසරේ තැනුණු ගර්ල්හුඩ්, ඇය අධ්‍යක්ෂණය කළ සෙසු චිත්‍රපට අතර වෙයි. පෝට්‍රේට් ඔෆ් අ ලේඩි ඔන් ෆයර් ඇය ගේ නවතම චිත්‍රපටයයි. සිනමාකාරියක ලෙස ඇය වඩාත් ඉහළින් ඔසවා තබන චිත්‍රපටය ද එයයි. කාන් සිනමා උලෙළේ පැල්මා ඩිඕ සම්මානය සඳහා තරග වැදුණු එම චිත්‍රපටය එහි ස්වාධින සම්මානයක් වන ඳභඥඥප නචතථ සම්මානය දිනා ගැන්මට සමත්විය. එය දිනා ගත් මුල්ම අධ්‍යක්ෂවරිය වන්නේ ඇයයි. මෙවර කාන් සිනමා උලෙළේ හොඳම තිරනාටකයට හිමි සම්මානය ද එය දිනා ගත්තේය. එයට අමතරව බ්‍රිතාන්‍ය ස්වාධීන සිනමා සම්මාන උලෙළේ හොඳම ජාත්‍යන්තර ස්වාධීන චිත්‍රපටය (Best independent international film) හැටියට ද බර්ලිනයේ පැවැත් වූ යුරෝපා සිනමා සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිරනාටකය, යුරෝපා විශ්ව විද්‍යාල සිනමා සම්මානය, ද නිව්යෝක් චිත්‍රපට විචාරකයන් වෙතින් හොඳම විදෙස් චිත්‍රපටය හැටියට ද ලොස් ඇන්ජලිස් විචාරකයන් අතින් හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා ද වොෂිංටන් විචාරකයන් අතින් හොඳම විදෙස් භාෂා චිත්‍රපටය සම්මානය ද ,අමෙරිකානු කාන්තා සිනමා විචාරිකා සංගමයේ දී කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කරන ලද හොඳම චිත්‍රපටය, හොඳම කාන්තා කතා රචිකාවිය, කාන්තාවන් පිළිබඳ තැනුණු හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ඇතුළු සම්මාන රාශියක් දිනා ගත් පෝට්රේට් ඔෆ් ලේඩි ඔන් ෆයර් එයට අමතරව ගොල්ඩන් ග්ලෝබ්, ලුමියේ සම්මාන, ඇතුළු සම්මාන රාශියක් ද දිනා ඇත්තේය.

සෙලීන් නිර්මාණය කරන ලද චිත්‍රපට අතරින් වඩාත්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටය පෝට්‍රෙට් ඔෆ් අ ලේඩි ඔන් ෆයර් වුවත් ඒ වන විට ඇයගේ සෙසු සිනමා නිර්මාණ යුරෝපා සිනමා විචාරකයන්ගේ දැඩි අවධානයට පත්ව තිබිණ. ඇයගේ චිත්‍රපට පුරා පවතින ස්ත්‍රීන්ගේ ඇතුළු මනස විග්‍රහ කිරීම ඈ සුවිශේෂ සිනමාකාරියක බවට පත් කර තිබේ. ඈ තෝරා ගන්නා විෂයයන් අපූර්වත්වයක් නොවූවත් ඇයගේ සිනමා විලාසය හා එහි ඇති ආදරණීය රටාව බෙහෙවින් මත භේදකාරි මෙන්ම ආකර්ෂණීය ස්වරූපයක් ගනියි. ඇයගේ මුල්ම සිනමා කෘතිය 2007 වසරේ කාන් සිනමා උලෙළේ අන් සර්ට්න් රිගාර්ඩ් අංශය යටතේ තරඟ වැදිණ. ඇයගේ ටොම් බෝයි සති තුනක් ඇතුළත තිරනාටකය ලියා දින විස්සක් ඇතුලත රූ ගැන්වූ චිත්‍රපටයකි. 61 වැනි බර්ලින් සිනමා උලෙළේ මංගල දර්ශනය පැවැත්වූ එය වර්තමානයේ ප්‍රංශයේ පාසැල් තුළ අධ්‍යාපනික මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලබන්නකි. ගර්ල්හුඩ් 2014 වසරේ කාන් සිනමා උලෙළේ ඩිරෙක්ටර්ස් ෆෝට්නයිට් අංශයේ තිරගත විය. වෝටර් ලිලීස්, ටොම්බෝයි හා ගර්ල් හුඩ් යෞවන විය පිළිබඳ චිත්‍රපට ත්‍රිත්වයක් ලෙස සලකනු ලබති. ප්‍රංශ නවරුල්ලේ සිනමාකරුවකු වන ආන්ද්‍රේ ටෙෂින් ගේ බීං 17 චිත්‍රපටයේ සම තිරනාටක රචිකාව වූයේ සෙලීන්ය. ඇය ඒ අනුව ප්‍රංශ නවරැල්ලේ හා යාවුණ වර්තමාන සිනමාකාරිය ද වූවාය.

කාන්තා ක්‍රියාකාරිනියක වූ ඇය සමග දීර්ඝ කාලින සම්බන්ධතාවක් වෝටර් ලිලීස් චිත්‍රපටයේ සිට රඟපෑ නිළි අඩිල් හයෙනෙල් පවත්වනු ලබයි.

දැවුණු යුවතියගේ රූපය නම් පිළිතුර සමග අප දකිනුයේ සුන්දර වෙරළ තීරයකි. ඒ සමග අඳීන ලද තරුණියකගේ ආලේඛ්‍ය චිත්‍රයකි. අනතුරුව අප දකිනුයේ රළු මුහුදු ගමනක යෙදෙන යාත්‍රාවකි. එහි සිටින එකම ගැහැනිය අප මුලින් දුටු ගුරුවරියයි. ප්‍රචණ්ඩ රළ පහරකට වැදී යාත්‍රාවෙන් විසි වන යමක් ගැනීමට ඇය ගැඹුරු දියට පනින්නේ ජීවිතයට වඩා එය වැදගත් නිසා විය යුතුය. නිල් පැහැති සයුරද කහ පැහැති වෙරළ ද චමත්කාර ජනක සිතුවමක් දිග හැරියා මෙනි. ඇය විසින් දියට පැන බේරා ගනු ලබනුයේ චිත්‍ර ඇඳීම සදහා භාවිතා කරනු ලබන උපකරණයන්ය.

මේරියන් එනම් මේ චිත්‍ර ගුරුවරිය හුදකලා දූපතකට ගමන් කරනුයේ එහි වෙසෙන හෙලොය්ස් නම් තරුණ යුවතියකගේ ජීවමාන චිත්‍රයක් ඇඳීමට ලද ආරාධනයට අනුවය. ඇය කන්‍යාරාමයක ඉගෙන දූපතක ඇති දැවැන්ත මන්දිරයක් වූ නිවෙසට පැමිණ ඇත්තේ ඒ දවස්වලය. චිත්‍රය අඳීනුයේ ධනවත් ආදිපාදවරියක් වන හෙලොයිස්ගේ මවගේ වුවමනාවටය. හෙලොයිස්ට ඉතාලියේ මිලාන් නුවර තරුණයකු හා විවාහ වන්නට යෝජනාවකි. මනාලිය හෝ මනාලයා එකිනෙකා දැක නැත. ආලේඛ්‍ය සිතුවම නිමවනුයේ මනාලයාට දැක ගන්නටය. හේලොයිස් විවාහයට කැමැති නැත. විවාහය ප්‍රතික්ෂේප කරන ඇය චිත්‍රයකට පෙනී සිටීම ද මැලි වෙයි. ඒ නිසා මේරියන් චිත්‍රය ඇදිය යුත්තේ හොර රහසින්ය. 

චිත්‍රයේ කොන්ත්‍රාත්තුව මේරියන්ට බාර දෙන හෙලොයිස් ගේ මව ඉතාලිය බලා ගියාය. දූපතේ ඇති මාලිගාවේ ඉතිරිවනුයේ තරුණියන් දෙදෙනා හා තරුණ සේවිකාවක වූ සොෆී පමණකි. මේ සොඳුරු දූපතේ තනිවන තරුණියන්ට තව දුරටත් රකින්නට රහස් ඇති වන්නේ නැත. ක්‍රීඩාවන්ගේ හා කතා කරන සුරංගනා කතාවන් ( රෝම නගරය බිහි කළේයැයි සම්මත මිථ්‍යා කතන්දර) සුන්දර වෙරළ තීරය ද ගැඹුරු දිය ද සුවිසල් මාලිගාව ද අඳුරු වන පෙත් ද ඇසුරෙහි රහසින් අඳීන සිතුවම කිසිදු වටිනාකමක් නැති විත්තිය මේරියන් වටහා ගනියි. එයට වඩා වටිනාකමක් ඇත්තේ තම සම වයසේ පසුවන යුවතිය පියවි ඇසින් යුතුව අදින්නටය. හෙරොයිස් ගේ නිදහස හරහා මිළ කළ නොහැකි සිතුවමක් ඇඳෙන්නට පටන් ගන්නේ එහෙමය.

සිතුවමක වර්ණයන් ගෙන් ඇරඹෙන සිනමා කෘතිය පුරාම කැමරා අධ්‍යක්ෂිකා ක්ලෙයාර් මාතන්ගේ සිනමා ඇස තවත් වර්ණවත් චිත්‍රයක් වී ජීවමාන වන අයුරු සිත් වසඟ කරවන්නේය. චිත්‍රපටය පුරාම සංස්කරණය හා සිනමා ඇස ඒකමිතියකින් පවත්වන්නට සිනමාකාරිය දක්වන සමත්කම මේ යුවතියනගේ ලෝකයේ දොරගුළු අරින්නට අපට ඉඩ කඩ ලබා දෙයි. සිනමා කෘතියෙහි ඇඳෙන සිතුවම අපට දැනෙන අයුරින් නිරාවරණය කරනුයේ ආලේඛ්‍ය චිත්‍රයේ අයිතිකාරිය වුව ද එහි ගම්‍ය වනුයේ චිත්‍ර ශිලපිනියගේ ආත්මයයි. කැන්වසය මත අඳීනු ලබන චිත්‍රය පුරා විහිදෙන රේඛා අපට කියන්නේ සැබෑ කලා කෘතියක් පසුපස ඇති සැඟවුණු කතාන්තරයයි. එය විටෙක ආදරයෙන් ද විටෙක වෛරයෙන්ද විටෙක ක්‍රෝධයෙන් හා කෝපයෙන් ද පුරවනු ලබන්නකි.

එහෙත් සැබෑ සම්මතය ඇතුළත එම සියවසේ යුරෝපීය ගැහැනිය ද සමාජ තහංචි මත සිර ව ජීවත්වූවාය. එක් අතකින් සේවිකාව ලද නිදහස හෝ මේ වංශවත් ගැහැනුන්ට බැලූ බැල්මට ලැබෙන්නේ නැත. බෝට්ටුවේ දුෂ්කර ගමනේ යෙදෙන පිරිමින් සමූහයෙන් පසු හෝ පෙර චිත්‍රපටය පුරා කිසිදු පිරිමියකු දකින්නේ නැත. බෝට්ටුවේ දී පවා අප දකිනුයේ වඩා නිර්භීත ගැහැනියකගේ භූමිකාවකි. එමෙන්ම චිත්‍රපටය පුරා වඩා ගොඩ නැගෙන්නනේ ගැහැනුන්ගේ නාරි දේහයේ වසඟ කර ගන්නා සුලු බව ඉක්මවූ රූප පද්ධතියකි. මේ ගැහැනුන්ට තමන්ගේම හැඟිම්වලින් පල යා නොහැකිය. දූපතක සිර කළ ද එය එලෙසමය. අවසානයේ මේරියන් තම කාර්යය නිම කර එයින් වෙන්ව ගිය ද සිතුවම මේ සදාකාලික කතාව පවසන්නේය.

Add new comment