ජාතක කතාවක් සිහිපත් කළ ඩෙන්මාර්ක් සිනමා කෘතියක්

ජනවාරි 9, 2020
QUEEN OF HEARTS 
(DRONNINGEN)
DIRECTED BY-MAY EL-TOUKHY
WRITTEN BY-MAREN LOUISE KAEHNE
PRODUCED BY-
CAROLINE BLANCO
RENE EZRA
TRINE DYRHOLM,GUSTAV LINDH,MAGNUS KREPPER,PREBEN KRISTENSEN

කතාව ඇරඹෙන්නේ මෙහෙමයි. ලස්සන පවුලක්. තාත්තායි අම්මායි දියණියන් දෙදෙනායි.පෙනුමෙන් වත්පොහොසත්කම් ඉතා ඉහළයි. කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන් එක ඇඳක නිදා සිටින්නේ සැහැල්ලුවෙන්. මේ කෙතරම් සුන්දර පවුලක් ද අපිට එහෙම හිතෙනවා.

අවසානය ඔවුහු එකම මෝටර් රථයක ගමන් කරනවා. අඹු සැමියෝ ඉදිරි අසුනේ. දරුවෝ පසු අසුනේ. සියල්ලෝම මුනිවත රකිනවා. විසඳා ගත නොහැකි ගැටලුවකට ඔවුහු මුහුණ දී තියෙනවා.

මේ වෙනස කියන්නට සිනමාකරිය ගත් කාලය මිනිත්තු 128 කට ආසන්නය. පැය දෙකක් යන්තම් ඉක්මවා ඇත. මේ පැය දෙක ඇතුළත සියල්ල උඩු යටිකුරු කරලන්නට සිනමාකාරිය සමත් වෙයි. ලස්සන ගෙවල් දොරවල් ද යහපත් පවුල් සබඳතා ද ඉහළ වගකීම් සහිත තනතුරු ද ඇතුළු මේ සියල්ල අතර ඇති ව්‍යාජ ගනුදෙනු සියල්ල සිනමාකාරිය එළි දක්වා හමාරය. . සිනමා කෘතිය ක්වීන් ඔෆ් හාර්ට්ස්ය. රට ඩෙන්මාරකයයි. භාෂාව ඩෙනිෂ්ය. එළැඹෙන ඇකඩමි සම්මාන උලෙළේ විදෙස් භාෂා චිත්‍රපටය ලෙස තරග වඳීන්නට ඩෙන්මාර්කය ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එයින් ප්‍රතික්ෂපවීම සැලකිය යුතු කරුණකි. පසුගිය සන්ඩාන්ස් සිනමා උලෙළේ ප්‍රේක්ෂක සම්මානය ද ඩෙන්මාර්කය ඇතුළු නෝඩික් කලාපයේ රටවල (මෙයට ඩෙන්මාර්කය මෙන්ම ෆින්ලන්තය, අයිස් ලන්තය, නෝර්වේ හා ස්වීඩනය යන රටවල් ඇතුළත්ය.) සිනමා කෘති සඳහා පැවැත්වෙන නෝඩික් සිනමා උලෙලේ හොඳම චිත්‍රපටය, හොදම නිළිය හා ප්‍රේක්ෂක සම්මානය දිනා ගැන්මට එය සමත්විය. හොදම නිළිය වුයේ ට්‍රින් ඩයිර්හෝම් (Trine Dyrholm) ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඊජිප්තු සම්භවයක් සහිත ඩෙන්මාර්ක් සිනමාකාරියක වන මේ එල් තෝකි (May el-Toukhy) විසින්ය. 1977 වසරේ උපන් ඇය ඩෙන්මාර්කයේ ජාතික රුපණවේද පාසලෙන් හා ජාතික සිනමා පාසලෙන් අධ්‍යක්ෂණය පිළිබද ව උපාධිය ලද්දීය. ඇයගේ මුල් චිත්‍රපටය 2015 වසරේ තිර ගත වුණ ලව් ස්ටෝරි ෂෝට් නම් විය.

ඇනා ළමා හා යෞවන අයිතිවාසිකම් පිළිබඳ දක්ෂ නීතිඥවරියකි. ඇය කිසි විටෙකත් සිය වෘත්තිය ජීවිතයේ දි කිසිදු අඩුපාඩුවක් නොපෙන්වූවා සේම යුක්තිය වෙනුවෙන් හැමවිටම කැපවීම් කළාය. ඇය නිසා සරණ ලද යෞවනියෝ රැසකි. අසරණ දැරියකට නිතියේ පිළිසරණ අවශ්‍ය විට කිසිසේත් දෙවරක් සිතන්නට හෝ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට ඇය මැළිවූයේ නැත. ඇයගේ ආදරණීය සැමියා පීටර් වෛද්‍යවරයෙකි. ඔවුන් දරු දෙදෙනා සමග ජීවත්වූයේ කාටත් ආදර්ශයක් වෙමින්ය. මේ අතරවාරයේ ඔවුන්ගේ පවුලට අලුත් අමුත්තෙක් එකතුවූයේය. සිනමාකාරිය එහි දී ඉතා සූක්ෂ්ම වන්නීය. ඒ මේ සුන්දර පරිසයක තිබුණ සුන්දර නිවහන හොරු බිඳීමය. කිසියම් නපුරු දෙයක් සිදුවනු ඇතැයි උපකල්පනය අප යටි සිතේ තැන්පත් වෙයි. නිවසට පැමිණියේ භද්‍ර යෞවනයේ එළි පත්තේ සිටින ගුස්ටාව් ය. ඔහු පීටර් ගේ පෙර විවාහයකින් හෝ සම්බන්ධතාවකින් ලද දරුවෙකි. තාරුණ්‍යය උතුරා යන්නෙකි. සුන්දර නිවහන හොරු බිඳීමත් සමග අප තුළ ඇති කරන කම්පනයත් ආගන්තුක කඩවසම් තරුණයා ගෙදරට පිවිසීමත් යන එකිනෙකට වෙනස් කාරණා දෙක අප තුළ ඇති කරන්නේ කිසියම් අවාසනාවන්ත දෙයක් මේ නිවස තුළ සිදුවනු ඇති වේය යන ඉඟියකි. ගුස්ටාව් ගේ පිවීසීම ඔහුගේ හැසිරීම වැනි කරුණු අප තුළ ඇති කරන්නේ සැකයකි. නිවසට පැමිණ දින කිහිපයක් ගත වද්දී තම පෙම්වතිය නිවසට ගෙන එන්නට ඔහු සමත් වෙයි. මේ ආගන්තුක තරුණයා ගේ පිවිසීම මේ සුන්දර ගෘහය දෙදරවා හරිනු ඇතැයි අපට සිතෙන්නේය. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ ඔහු කරදරකාරයෙක් වීමයි. නැතහොත් මේ ගෘහ ජීවිතය අවුල් කිරීමයි. බොහෝ ආගන්තුකයන් සිනමාකෘතියකට පැමිණි පසු සිදුවන්නේ එයයි. ඇනා ,ගුස්ටාව් දෙස බලන්නේ ද ඒ ආකල්පයෙන්මය. 

මේ අතරවාරයේ ඉතා සියුම් ලෙස ඇගේ යටි සිත අවදි කරන්නට සිනමාකාරිය සමත්වෙයි. ඒ සඳහා රූප රාමු නිකරුණේ වැය කරන කල්පනා කරන දර්ශන මාලාවක් හෝ තිරනාටකය ලියා ගන්නට බැරි තැන කරන පහසුම ක්‍රියාවලිය වූ අතීතාවර්ජන හෝ සිහින දැකීම වැනි අවරගණයේ ගොඩ නැගීමකට සිනමාකාරිය යොමුනොවෙයි. රැකියාවට ඇබ්බැහි වූ සැමියා ද නිතර හමුවන වෘත්තිය සගයන්ගේ ඒකාකාරී ජිවන රටාව ද ඇය හෙම්බත් කරන බව ඇත්තය. එයට සාපේක්ෂව ගුස්ටාව් ඉලන්දාරියා සොයන්නේ යහපත් පවුලක රැකවරණයක්ය. ඔහු මේ පවුලේ හැසිරීම නිසා ජීවිතයේ පෙර නොලද ආස්වාදයක් ලබයි. ඔහු සිය අර්ධ සොහොයුරියන් සමග කෙළිදෙලෙන් ගත කරන්නට කැමැතිය. සැබැවින්ම ඔහු ඔවුන්ට ලොකු අය්යාම වූයේය. ඇනා ද ඔහු ගේ පැමිණීමෙන් තෘප්තිමත් වෙයි. මේ යෞවනයා සමග කතා බස් කරන විට ඇය ප්‍රබෝධමත් වෙයි. කුඩා දරුවන් සමග හැංගිමුත්තම් කරන ගුස්ටාව් හුදකලාව ළමයින්ගේ කෙලිසෙල්ලම බලාසිටින ඇනා සමීපයෙහි මුවාවන්නේ සොයුරියන්ගෙන් වසංවීමටය. ඔහුගේ යොවුන් වත ඇය ගේ ගත ස්පර්ශ වීම ජීවිතයේ අහිමි යමක් හිමිකර ගැනීමේ ජාගර සිතක් ඇය තුළ මතු කරයි. එයින් පසු ඇරඹෙන්නේ සැබැවින්ම සමාජ සම්මතය තුළ තහනම් හැසිරීමකි.

රාගය තරම් ගින්නක් ලොව නොපවතින බව සනාථ කරමින් ඇනා ගුස්ටාව් සිය පාසයෙහි බඳවා ගනියි. ගැටවරයා ජීවිතයේ නොවිඳී චමත්කාරයකට මුසුවෙයි. මේ තහනම් ආදරයක්යැයි යනුවෙන් පටු තැනක තබා ජීවිතය විග්‍රහ නොකරන්නට තරම් සිනමාකාරිය සූක්ෂ්මය. එය ඉතා ආලවන්ත විටක ප්‍රචණ්ඩ හා වඩාත් ශෘංගාරාත්මක ජීවිතයක ඇරඹුමයි. ගුස්ටාව් සමග පුබුදාලූ වියපත් වයසේ දී අහිමි භද්‍ර යෞවනයේ හැඟීම් යළි සිය සැමියාගෙන් ඇනා බලාපොරොත්තු වූ නමුත් ඇගේ හැසිරීම ඔහු පුදුමයට පත් කරයි. මැදිවියේ ගැහැනියකගේ හැසිරීම අසීමිත ශෘංගාරයෙන් යුතුවෙයි. එය පීටර් ගේ විස්මයට හේතුවෙයි. මේ මෙතුවක් ඇය සමග රති සුවය විඳීද්දී ඇය වෙතින් පළ කළ ප්‍රතිචාර නොවේ. ඇය වඩා ක්‍රියාශීලිය. ඇය ගුස්ටාව් සමග යළි රතියෙහි වෙලෙයි. එහෙත් එහිදී සීමාවන් පනවා ගතයුතු බැව් ඇයට වැටහෙයි. මේ සීමාවන් කුළු ගන්වන ලද තරුණයා ගේ අසහනයට හේතුවෙයි. එය පිට දමනුයේ කුඩා දැරියන් දෙදෙනාගේ උපන් දින සාදය අතරතුරය. ගුස්ටාව් හා ඇනා අතර ඇති සම්බන්ධතාව දැක ගන්නා ඇගේ සොයුරිය පිළිකුලෙන් යුතුව නිවසින් පිටව යයි. ඇනාගෙන් පැරණි සුවය නොලබන බව දැනෙන ගුස්ටාව් එයින් පසු වෙනස්වෙයි.

පුතුගේ ජීවිතයේ කිසියම් ගැටලුවක් ඇතිවී බව වටහා ගන්නා පීටර් ඔහු සමග නිවාඩුවකට ගොස් ආපසු එන්නේ සියල්ල හෙලිදරව් කර ගෙනය. එහෙත් මේ සියලු කරුණු දැඩිව ප්‍රතික්ෂප කරන ඇනා තම සුන්දර විවාහ ජීවිතය විනාශ කරන්නට ගුස්ටාව් බොරු කියන බව පවසන්නේ ඇගේ යථාස්වරූපය ප්‍රේක්ෂකයා ට භීතියක් අත් කර දෙමින්ය. ගුස්ටාව් සිය කැමැත්තෙන් නේවාසිකාගාරයකට යන්නේ පියාගෙන් ද අපවාද ලබමින්ය. ඔහුට ලෝකය ඉදිරියේ නිවැරැදි විය යුතුය. එහෙත් ඇගේ සිවිල් ප්‍රතිරූපය තුළ තමා අසරණයෙක් වග ඔහු පසක් කර ගනී. අපවාද සහ හුදකලාවීම මත ඔහුගේ එකම විසඳුම මෙලොව හැරයාමය.

ඇනා මුල්වරට ඔහු වෙනුවෙන් හුදකලාව කඳුළු සලන්නීය. එහෙත් මොහොතකට පමණකි. ඇයගේම හෘද සාක්ෂිය ඇයට එරෙහිව නැඟි සිටින අයුරු කැඩපත පහදා දෙයි. හැමවිටම හැමෝම බිය වන කාරණය එයයි. .

මිනිසුන් විසින් ගොඩ නගා ගන්නා ලද ව්‍යාජ ප්‍රතිරූප මගින් ඇතැමුන් අසරණ කරන අවස්ථා එමටය. එහෙත් සිනමාකාරිය මේ සියල්ල අපට දක්වනුයේ පොදු සමාජයක් ඇතුළේ නොව පවුල් සංස්ථාවක් ඇතුළත ගැටුමක් හරහාය. සිනමාකාරිය සියුම් වියමනක් ලෙස ගොඩ නගා ගන්නේ චිත්‍රපටය ත්‍රිලර් ශානරයටත් යොදා ගනිම්න්ය. .

ක්වීන් ඔෆ් හාර්ට්ස් යන අර්ථයෙහි ඇත්තේ අප හදවතේ ලැගුම් ගන්නා ගැහැනියයි. ඇය මවකි. බිරිඳකි. දියණියකි. සොයුරියකි. එහෙත් මේ ගැහැනිය තවත් ජිවිතයක විනාසයට හේතුවිය හැකිය. ක්වීන් ඔෆ් හාර්ට්ස් චිත්‍රපටයේ එන අධික ශෘංගාරය ඉස්මතු කරවන ජවනිකා පෙළ ඊළඟට එහි භීෂනයට යොමුකරයි. එබැවින් ක්වීන් ඔෆ් හාර්ට්ස් නැරඹිය යුත්තේ ඒ පිලිබඳ ඉවසීමකින් හා පූර්ව විනිශ්චයකින් තොරවය. එමෙන්ම විවිධ සංස්කෘතික තහංචි සහිත අරාබියේ ජනිතව වර්තමානයේ යුරෝපයේ ජීවත් වන ඇතැම් සිනමාකරුවෝ සිය නිර්මාණ රූප ගත කරද්දී එහි අන්තර්ගතය,විලාසය අතින් සිය ජන්ම භූමිය හා බැඳෙන අවසන් පෙකණිවැල ද කඩා දමන්නට සූදානම් බව ඔවුනගේ රූ ගැන්වීම් රටාව පැහැදිලි කරයි. ඇල්ජීරියානු සිනමාකරු අබ්දෙලාතිෆ් කෙචීචේ විසින් නිර්මාණය කරන ලද බ්ලූ ඊස් වෝම්ස්ට් කලර් චිත්‍රපටය මෙන්ම ක්වීන් ඔෆ් ද හාර්ට්ස් ද එහි කැපී පෙනෙණ නිදසුන්ය. කෙසේ වෙතත් ජාතක පොතේ එන ජාතක කතා කිහිපයක් ලාබයටත් පහසුවටත් වවා ගෙන කෑ සිනමාකරුවන් සිටින රටක වෙසෙන මට ක්වීන් ඔෆ් හාර්ට්ස් නරඹා අවසානයේ සිහිපත් වූයේ පන්සිය පනස් ජාතක පොතේ එන 458 වැනි ජාතක කතාව වූ මහා පදුම ජාතක කතාවයි.