ඇවිද්ද පය දහස් වටී

LILLIAN
ජනවාරි 30, 2020

 ඇය සිටින්නේ අමෙරිකානු සරාගී චිත්‍රපට(Pornography movies) නිෂ්පාදනාගාරයකය. එහි තැනෙන චිත්‍රපටයක ඇය රඟපෑමට වරමක් ඉල්ලා සිටින්නීය. එය ප්‍රචණ්ඩ ඝනයේ කාමුක චිත්‍රපට තනන නිෂ්පාදනාගාරයක් බැව් පසුබිම අපට පෙන්වා දෙයි. නිෂ්පාදක ඇය සමග කතා කරනුයේ ද එබඳු චිත්‍රපටයක වැඩ කටයුතු කරන අතරතුරය. එහෙත් ඇය එයින් ප්‍රතික්ෂේප කරන්නට නිෂ්පාදකට හේතු ඇත. එකක් ඇයට වලංගු රැකියා බලපත්‍රයක් නැතිකමය. රුසියානු යුවතියක වන ඇයගේ ඇමෙරිකානු වීසා බලපත්‍රය ද කල් ඉකුත් වී ඇත. අනෙක ඇය සතු සෞඛ්‍ය වාර්තාවක් නැත. යහපත් සෞඛ්‍ය වාර්තාවක් සරාගී නිළියකගේ රැකියාවේ අත්‍යාවශ්‍ය සහතිකයකි. ගැහැනියක් සමහරවිට මේ තෙත්වය ඉල්ලා ගෙන යන්නේ බැරිම තැන විය යුතුය. ඇයගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි. අපට සිතෙන්නේ එහෙමය.

‘ඔයාට කරන්න තියෙන හොඳම වැඩේ ආපහු රටට යන එක. එහේ ඕනවටත් වඩා අවස්ථා ඇති. ‘

චිත්‍රපට නිෂ්පාදක කාරුණිකව පවසයි. මෙහෙම කිසිදු සහතිකයක් නැති ගැහැනියකට රැකියාව දී ව්‍යාපාරයට කරදර ඇති කර ගන්නට වර්තමාන ට්‍රම්ප් ගේ පාලන සමයේ සිටින කාමුක චිත්‍රපට නිෂ්පාදකයෙක් හෝ කැමැති නැත. මේ යුවතිය සිය රටේ කෙලෙස ජීවත් වූවා ද හෝ එහි සිට මෙහි පැමිණියේ කෙලෙස ද යන්න ගැන කියන්නට සිනමාකරු වෙහෙස වන්නේ නැත.

පසුගිය වසරේ නිර්මාණය වුණ මා දුටු අපූරු චිත්‍රපටයක් ඇරඹෙනුයේ එහෙමය. චිත්‍රපටයේ නම ලිලියන්ය. ඕස්ත්‍රියානු චිත්‍රපටයක් වූ එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇන්ඩ්‍රියස් හෝවාත් විසින්ය. හොවාත් ප්‍රසිද්ධව සිටින්නේ සම්මානනීය කෙටි සහ වාර්තා සිනමාකරුවෙකු හැටියටය. පනස් එක් හැවිරිදි වියේ පසුවන හොවාත්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය ලිලියන්ය. එහි තිර රචනය,කැමරා අධ්‍යක්ෂණය සංගීත අධ්‍යක්ෂණය ද හොවාත් ගෙනි. සංස්කරණය හොවාත් හා මයිකල් පාම්ගෙනි. චිත්‍රපටය අයත්වනුයේ රෝඩ් මුවිස් Road movies) ශානරයටය.

සිනමා කෘතියට පාදක වනුයේ සත්‍ය සිදුවීමකි. ඇත්ත ලිලියන් ඒලින්ග් ගේ කතාව 1920 වසරට අයත්ය. එහි ලිලියන් පෝලන්තයේ සිට නැගෙනහිර යුරෝපය හරහා අමෙරිකාවට සංක්‍රමණය වූ යුවතියකි. සිව් වසරක් මුළුල්ලේ ඇය සැතැපුම් පන් දහසක් මඟ ගෙව්වාය. ඉන් අනතුරුව ඇය ගැන අසන්නට නොලැබිණ. එහෙත් මේ පුවත පසුකාලිනව නාට්‍යයක් ලෙස ද එළි දක්වා තිබිණ. දෙවැනි ලෝක මහා සංග්‍රාමයට පෙරාතුව එවකට පැවැති දේශ සීමා හා වටාපිටාව මැද ඇයගේ ගමන වර්තමානයට වඩා දුෂ්කර බව අමුතුවෙන් කිවයුතු නොවේ.

රුසියාවෙන් නැගෙනහිර යුරෝපයට එන බොහෝ යුවතියෝ මිනිස් වෙළඳුන් ගේ ග්‍රහණයට හසුවෙති. හංගේරියාව, චෙක් ජනපදය වැනි පැරණි සෝවියට් කඳවුරේ රටවල සරාගී චිත්‍රපට ව්‍යාපාරයේ අඳුරු පැතිකඩ ගැන පළ කරනු ලබන පුවත් එහෙමය. එහෙත් අලුත් ලිලියන් අමෙරිකාවේ දී බලාපොරෙත්තුවනුයේ ස්ව කැමැත්තෙන්ම එයට එක්වීමටය. එය වෘත්තියක් ලෙස වර්තමානයේ බාර ගැනෙන හෙයින් හෝ අවසාන බලාපොරෙත්තුව ද සිඳ ගත් පසු එයට එකඟවීම විනා වෙනත් ඉරණමක් මේ යුවතියට නැති නිසා විය හැකිය. කෙසේ වෙතත් එයින් ද නෙරපන ලද ලිලියන් සිය ඉරණම සොයා යළි මවුරට බලා පිටත්වන්නට තීරණය කරන්නීය. ඇය මහ මග ඇති කුඩා නිවසකට රිංගා ආහාර ද ගෙන හොඳින් නා පිරිසිදු වී ගමන අරඹන්නේ එහි ඇති ඇමෙරිකානු මාර්ග සිතියමක් ද අරගෙනය. ඇය හොඳින් පිරිසිදුවීමේ දි සිරුරේ ඇති රෝම පවා ඉවත් කර ගනියි. සිනමාකරු ඇයගේ ගමන ට ගත වූ කාලය පෙන්වීම සදහා කදිම මෙවලමක් බවට ද පත් කර ගනියි.

හෝවාත් මේ චිත්‍රපටය නිර්ාමාණය කරනුයේ තමා වාර්තා සිනමාකරුවෙකු ය යන අනන්‍යතාව බිඳ නොගෙනය. ඔහු තෝරා ගන්නා රූප රාමු හා එය ග්‍රහණය කර ගන්නා පරිසරය හා සිනමා රිද්මය වඩා පුළුල් ලෙස චරිත අතර සම්බන්ධතාව ගොඩ නැගීමට ඉස්මතු කර ගනියි. කවර සිනමා නිර්මාණයක වුව ප්‍රධාන චරිතය හා එයට ප්‍රතිවාදි චරිත හා සිදුවීම වඩා දැවැන්ත වන තරමට එහි ත්‍රාසය වඩා ඉහළින් ගොඩ නැංවීමට හැකිවීම සාමාන්‍ය සිද්ධාන්තයකි. තඹ දොයිතුවක් හෝ නැතුව මහමඟට බසින ලිලියන් ගේ චරිතය ගොඩ නැගීමේ දී සුලබ සංත්‍රාසය ඉස්මතු නොකරන සිනමාකරු ඒ වෙනුවට හැම අකරතැබ්බයකින්ම ඇය ගලවා ගනියි. පැය දෙකකට අධික කාලයක් ඇතුළත සිදුවිම් මාලාවකට ඇය හරහා අප ගොදුරු කර ගන්නා සිනමාකරු ඒ සැණින් ඇය ගලවා ගන්නේ කිසිදු අපල උපද්‍රවයකට මුහුණ දෙන්නට ඉඩ නොදෙමිනි. සැතැපුම් ගණනාවක් පුරා විවිධ භූමි විෂමතා හා විවිධ මිනිස් කාණ්ඩ හරහා ඇය ගමන් ගන්නේ අප ඊළඟ මිනිත්තුවේ දී ඇය කවර හෝ ව්‍යසනයකට ගොදුරු වෙතැයි අපේක්ෂා කළ ද එබන්දක් සිදු නොවේ. එසේ වුණා නම් ලිලියන් සාමාන්‍ය ත්‍රිලර් ඝනයේ චිත්‍රපටයක්වීම වැළැක්විය නොහැකිය. වරෙක අතරමග ඇයගෙන් ප්‍රශ්න කරනු ලබන පොලිස් නිලධාරියා දකින අප නියමිත වීසා හෝ නොමැතිව සිටින ගැහැනියගේ ඉරණම ගැන කම්පා වන නමුත් ලිලියන් ඒ අතින් වාසනාවන්ත වනුයේ සිය සීමාවෙන් එපිටට සිය රථයෙන්ම ඇය පිටත් කර හරින නිලධාරියා ඇයට සිය කබාය ලබා දෙන්නේ ඊළඟට මුහුණ දෙන කාලගුණ විපර්යාසයට මුහුණ දෙන්නටය. වරින් වර ඇසෙන ගුවන් විදුලිය ඇයගේ ගමනේ සම්බන්ධතාව දිගින් දිගට පවත්වා ගෙන යයි. ඒ අතරවාරයේ මාර්ගය දෙපස ඇති දැවැන්ත දැන්වීම් පුවරු රූපයට අලුත් අර්ථකථන සපයයි. මේ යන ගමනේ දී ඇය සාප්පුවලින් ඇඳුම් ද ආහාර ද සොරකම් කර ගනියි. කිසිදු පැකිලිමකින් තොරව පෞද්ගලික වැසිකිලි වලට යන්නීය. ඇය පසුකරන පළාත් මායිම් ගංගා ඇල දොල පමණක් නොව හිමෙන් පිරි සුන්දර රොකී කඳු වැටිය ද ඇතුළු භූ විෂමතාවන් පවා සිනමාකරු චරිතයන් බවට පත් කර ගන්නා විලාසය මවිත කරවන සුළුය. එහි විවිධ වර්ණයන් ද හැඩතල ද සුළඟේ රිද්මය ද සිනමාකරු සිය ග්‍රහණයට හසු කරගනියි. වාර්තා චිත්‍රපටයක සීමාවෙන් ඔහු වෘත්තාන්තයට පිවිසෙන්නේ මේ අජීවි වස්තුන් ද සිය වෘත්තාන්තයේ කොටස් කරුවන් බවට පරිවර්තනය කරවමිනි. එහෙත් මහ මඟ හමුවන මෝටර් බයිසිකල් පදින තරුණයන්ට පවා ඇය වැදගත් වන්නේ නැත. වියට්නාම් යුද්ධයේ පැරැණි සොල්දාදුවන් මෙන්ම නොසලකා හරින ලද නමුත් අමෙරිකානු නිජබිමෙහි සැබෑ හිමිකරුවන් වූ රතු ඉන්දියානුවන් ද ඇයට අතරමඟ හමුවෙයි. සිනමාකරු අමෙරිකානු ජීවිතවල ඇති හිස් බව ද පවසන්නේය.

ඉතා අසීරු කර්තව්‍යයක් වනුයේ සිනමා කෘතිය පුරා ප්‍රේක්ෂකයා රඳවා සිටින දුෂ්කර ව්‍යායාමය සිනමාකරු ජයගැනීමය.

චිත්‍රපටය පුරාම ලිලියන් එකදු වචනයක් හෝ තෙපලන්නේ නැත. එය කිසිවිටෙකත් අපට දැනෙන්නේ නැත. එහෙත් චිත්‍රපටය පුරාම ඇය සිය හැඟීම් දුක්ඛ දෝමනස්සයන් අප සමග බෙදා ගන්නීය. එමෙන්ම මේ කාලය පුරාම ඇයගේ මුහුණ කැඩපතක් බවට පත්කරනුයේ එය හැඟීම් විරහිත මුහුණක් බවට පරිවර්තනය කරමිනි. සැබෑ ලිලියන් මෙන්ම පෝලන්ත ජාතික නිළියක වූ පැට්රිෂියා ප්ලානික් මෙහි ලිලියන්ගේ චරිතය රඟපාන්නීය.

අවසානයේ ඇය ඇලස්කාව තරණය කරන්නට තෝරා ගන්නේ රොකී කඳුවැටිය පාමුල ඇති කුඩා දිය පහරක් අබියස වූ ඔරුවකි. මහ මග දී අහුලා ගන්නා කුඩා බෝනික්කෙක් ඇයගේ තනියට මෙන් සිටින්නීය. ලිලියන් හෙමින් සීරුවේ බෝට්ටුව දිය මතට ඇද ගෙන විත් එහි වැතිරෙන්නීය. කුඩා ඔරුව මහා සාගරය බලා ඇදෙන්නට පටන් ගනියි. රොකී කඳුවැටි අසලින් අකුණු ගසයි. රාත්‍රියේ ද පායන හිරුගේ චමත්කාරය ඇය සිහිනයක සතපන්නට සමත්වෙයි.

අනතුරුව අපට පෙනෙනුයේ කුඩා ලිලියන්ට කතා කියන මිත්තනියකි. ඇය ඇගේ ඉලක්කය කරා ගොස් ඇතැයි අපි සිතමු. ධීවරයන් කිහිපදෙනෙක් වෙරළෙහි ඇවිදිති. ලිලියන්ගේ කුඩා බෝනික්කිය ඒ වෙරළට පැමිණ ඇත. එහෙත් ලිලියන් අපට යළි හමුනොවෙයි. මේ දීර්ඝ වෑයම ඇය ජය ගත්තා ද යන සුලබ වීරත්වය වෙනුවට ගැහැනියගේ ධෛර්ය පිලිබඳ අප්‍රමාණ ගෞරවයක් සිනමාකරු ඉතුරු කරන්නේය. ලිලියන් ඇත්තටම අපූරුය.

 

Add new comment