parasite සිහින තිබුණට කෝටියක්

පෙබරවාරි 27, 2020
GISAENGCHUNG
(PARASITE)
DIRECTED BY-BONG JOON-HO
SCREENPLAY BY- BONG JOON-HO/HAN JIN-WON
PRODUCED BY-KWAK SIN-AE
SONG KANG-HO,LEE SUN-KYUN,CHO YEO-JEONG,CHOI WOO-SHIK,PARK SO-DAM 

ඉසුරු පිරි දකුණු කොරියාවේ නමුත් එදා වේල සරිකරමින් ජීවත් වූ එහෙත් අහස උසට පොදි බැඳ ගත් සිහින සහිත කිම් පවුලේ සාමාජිකයන් ගණන සිව්දෙනෙකි. ඒ පියා,මව,දුව හා පුතාය. ඔවුන් එදාවේල සොයා ගෙන සතුටින් ජීවත් වෙති. පිටතින් එන ජනේල මැසි උවදුරු නිසා වසා දමන ඔවුන් අනුන්ගෙන් සොරා ගන්නා අන්තර්ජාල සබඳතාවය සොයා වැසිකිළියට රිංගා ගනිති. පීසා අවන්හලක කෑම පෙට්ටි සකසා ලබන ආදායමෙන් එදා දවස ගෙවන ඔවුන් හෙට දවස ගැන හිතන්නේ එයින් පසුවය. පුත්‍රයා වූ කී වූ ගේ විශ්වවිද්‍යාල මිතුරකු විදෙස් ගත වන්නේ ඔහු සමීපයේ තිබූ වාසනාව ගෙනේයැයි සැලකෙන ෆෙංෂුයි වර්ගයේ තඩි ගල්ගෙඩියක් ඔහුට තිළිණ කරමින්ය. මේ වන විට වැසි සමයක් අරඹමින් පවතින බව පෙනී යයි. පාක් නම් ධනවත් පවුලේ දියණියට ඉංග්‍රිසි ඉගැන්වීමේ රස්සාවක් ද මිතුරා මගින් කී වූ ට සොයා ගන්නට ඉඩ සැළසේ. එතැන් පටන් කී වූ කෙවින් යන අපර නාමයෙන් තමා හඳුන්වා ගනියි.

මෙවර ඇකඩමි සම්මාන උලෙළ අවසන්වූයේ පෙර නොවුණු වාර්තාවක් තබමින්ය. ඒ වන තෙක් වසර ගණනාවක් පිරිනැමුණු හොඳම විදෙස් භාෂා චිත්‍රපට සම්මානය හොඳම අන්තර්ජාතික සම්මානය යනුවෙන් නම්විය. එම සම්මානය මෙවර මුල්වරට දිනා ගත් දකුණු කොරියාවේ පැරසයිට් තවත් වාර්තාවක් තබන ලද්දේ මුල් වරට විදෙස් චිත්‍රපටයක් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමත් සමඟය. මෙය ඇතැම් අමෙරිකානුවන්ගේ ඇස් උඩ අරින තීන්දුවක් විය. හොඳම විදෙස් භාෂා චිත්‍රපට සඳහා අවසානයේ නාමයෝජනා දිනූ චිත්‍රපට අතර පැරසයිට් සඳහා ස්පාඤ්ඤයේ පෙද්‍රෝ අල්මදෝවාගේ පේන් ඇන්ඩ් ග්ලෝරි හා ප්‍රංශයේ ලැඩ්ජ් ලායි විසින් තැනූ ලෙ මිසරබ්ල් චිත්‍රපට අතර තරඟයක් තිබුණත් ඒ සියල්ල අබිබවන ගති ලක්ෂණ පැරසයිට් චිත්‍රපටය සතුවිය. අන්තර්ජාතික චිත්‍රපටයකට ඇකඩමි සම්මාන පිරිනමා වාර්තාවක් නොතබන්නට හොඳම චිත්‍රපටය සඳහා තරගය තිබුණේ 1917 සහ ෆෝඩ් වර්සස් ද ෆෙරාරේ අතර බව මගේ පෞද්ගලික හැඟිමයි. කෙසේ වෙතත් ඇකඩම් සම්මාන උලෙළේ හොදම චිත්‍රපටය ඇතුළු නාමයෝජනා දිනූ චිත්‍රපට කිහිපයක්ම මෙරට සිනමා රසිකයන්ට සිනමා ශාලවල සිට නරඹන්නට ලැබුණේ දිගු කලකට පසුවය. මෙවර නාමයෝජනා දිනූ 1917, ජෝ ජෝ රොබට්ස්, හා ෆෝඩ් වර්සස් ෆෙරාරි මේ දිනවල කොළඹ තිරගතවන අතර ජෝකර් චිත්‍රපටය ද යළි තිරගතව ඇත. ඒ සියල්ලටම වඩා හොඳම චිත්‍රපටය වීමේ අනුහසින් පැරසයිට් චිත්‍රපටය මෙරට සිනමාහල්වල තිර ගතවනුයේ තවත් වාර්තාවක් තබමින්ය. ඒ වාණිජමය වශයෙන් මෙරට තිරගත වන මුල්ම කොරියානු චිත්‍රපටය හැටියටය. පැරසයිට් ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන දිනා ගන්නට පෙරාතුවම කාන් උලෙළේ පැල්මා ඩි‘ඔර් සම්මානයෙන් ද පිදුම් ලද්දේය. ගොල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා සම්මාන උලෙළ වලදී ද පැරසයිට් හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය.

එය අධ්‍යක්ෂණය කළ බොන්ග් ජූන් හෝ 21 වැනි සියවසේ ලොව බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවන් විසිපස්දෙනාගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබේ. ඔහුගේ සිනමා කෘති සම්මාන අපේක්ෂිත සිනමා කෘතින් නොවන අතර ඒ කෘතින් තෝරා ගන්නා වස්තු විෂයන් හා විලාසිතවන් නිසාම ලොව පුරා අප්‍රමාණ ගෞරවයට පත්වෙයි. ඔහුගේ පැරසයිට් මෙන්ම ස්නොව්පියර්සර් ද කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලත් චිත්‍රපට අතර වෙයි.

පාක් පවුල කාර්ය බහුල පියෙකුගෙන් මෙන්ම ගෘහණියක් වූ භාර්යාවකගෙන් හා යොවුන් දියණියකගෙන් හා දඟකාර දරුවකුගෙන් සමන්විතය. එමෙන්ම එහි මෙහෙකාරියක ද වසන්නීය. නිවහන සොඳුරුය. එහි ජීවත්වන්නෝ කාරුණිකය. සිනමාකරු කිම් පවුල ගෙන එන්නේ කුඩා නිවහනක ජීවත්වන්නන් හැටියටය. එහෙත් මේ කුඩා නිවහනේ ඔවුහු එකිනෙකා හා වෙලී සිටිති. පාක් පවුල සමෘද්ධිමත්ය. පවුල සමගිය. එහෙත් විශාල නිවස ඇතුළත ඔවුහු දුරස්ථය. මේ නිවහන ඔවුන් මිලයට ගෙන ඇත්තේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකුගෙන්ය. පවුල් දෙකේම සංයුතිය එකකි. කෙවින් නිවසට ඇතුළුවත් ම එහි වෙසෙන දඟකාර දරුවා ගැන අවබෝධයක් ලබා ගන්නේය.කෙවින් එම පවුලේ දියණිය සමඟ සබඳතාවක් ද හීන් සීරුවේ ගොඩ නගා ගනියි. මේ දරුවන් සමාජය සමඟ වැඩි සබඳතාවකින් තොරව හැදී වැඩුණු අයුරු බව පෙනෙන කරුණකි. දියණියට උගන්වන කෙවින් හෙවත් කී වූ සිය සොහොයුරිය ගේ අනන්‍යතාව සඟවා ජෙසීකා නමින් හඳුන්වයි. ඇය පාක් පවුලට හඳුන්වා දෙනුයේ දඟකාර දරුවාට අධ්‍යාපනය ලබා දෙන්නට සමතියක හැටියටය. අනතුරුව පාක් පවුලේ නිවහන ඇතුළතට කිම් සාමාජිකයන් රිංගා ගන්නේ ඉතා සූක්ෂ්මවය. කිම් පවුලේ දියණිය පාක් පවුලේ දරුවාට උගන්වා ආපසු නිවහනට එවන්නට පාක් තීන්දු කරයි. ඒ භාර්යාවගේ ද අනුමැතිය අනුවය. සුඛෝපභෝගී රථයේ පසුපස අසුනේ යන ජෙසීකා රියැදුරු ගේ උපහාසයට ලක්වෙයි. මේ උපහාසය විඳීන ඇයගේ සමීප මුහුණ සමග අප දකිනුයේ රථ ආසනයේ ඇති බෙන්ස් ලකුණය. චිතපටයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් මතුවන්නේ එතැනය. ඇය ඉතා සූක්ෂ්ම ලෙස සිය යට ඇඳුම ගලවා රියැදුරු අසුන යට සඟවන්නේ පාක් මහතාට අසුවන ලෙසටය. අලුත් රියැදුරු ලෙස පත්ව එන්නේ ඇගේ පියාය. ඔහු හීන් සීරුවේ පාක් නිවස ඇතුළත සිය ආධිපත්‍යය ගොඩ නඟන්නට සමත් වෙයි. ඔහු පාක් මහතා හමුවනුයේ ඔහුගේ කාර්යාලයේ දීය. ඔහු හැසිරෙන්නේ යටහත් පහත් බවක් දක්වමින්ය. මේ යටහත් පහත් බව ඇතුලත ආක්‍රමණයක් සිදුවෙයි. එහි කූටප්‍රාප්තිය වනුයේ නිවෙසේ පළපුරුදු මෙහෙකාරිය එළවා දමා ඒ වෙනුවට අලුත් මෙහෙකාරියක් ගෙන ඒමය. ඇය කිම් පවුලේ අම්මාය. දම්වැලක පුරුක් අමුණනවා මෙන් සිදුවන මේ සිදුවීම් මාලාව හාස්‍යක් මතුවන නමුත් ඒ සමඟ ඔවුන් පිළිබඳ අනතුරක සේයාවක් හිතට දනවන්නට සිනමාකරු සමත් වෙයි.

නිවාඩුවකට නිවසින් යන පාක් පවුලේ නිවහනට රිංගා ගන්නා කිම් පවුලේ සමාජිකයෝ එහි සිත්සේ හැසිරෙති. තාවකාලිකව හෝ ඔවුහු සැපයක් විඳීති. සියල්ල කණපිට හැරෙනුයේ පැරණි මෙහෙකාරිය යළි නිවෙසට ඇතුළුවීම සමඟය. චිත්‍රපටය එක්වරම නොසිතූ ගැටුමකට පත්වෙයි. දිගින් දිගට වසින චුරු චුරු වැස්ස ධාරානිපාත වර්ෂාවක් වෙයි. නිවසේ ඇති රහසිගත ආරක්ෂිත බංකරයක පැරැණි මෙහෙකාරියගේ සැමියා සැඟව සිටින්නේය. වැස්ස නිසා නිවාඩුව අතරමඟ නතර කරන පාක් පවුලේ සාමාජිකයෝ යළි නිවසට එති. විටෙන් විට හාස්‍යයෙන් ද ඒ සැණින් ත්‍රාසයෙන් ද ප්‍රේක්ෂකයා බඳවාලන්නට සිනමාකරු සැලසුම් කරන්නේය. සාමාන්‍යයෙන් සිදුවනුයේ ත්‍රාසය ළඟට හාස්‍ය මුසු කරලීමය. මේ පවුල් දෙකේම සාමාජිකයන් සමඟ අනන්‍යතාවක් ප්‍රේක්ෂකයා හා බඳවා ගන්නට සිනමාකරු සමත්වීම විශේෂත්වයයි. අයහපත් කාලගුණය වරින්වර අපූරු සබඳතාවක් සිනමාකෘතිය පුරා පවත්වා ගෙන යයි. තම නිවසට මහ වැසි මැද පළා එන කිම් දකින්නේ සිය නිවෙස වැහි වතුරට යට වූ අන්දමයි. පසු දින වැස්ස තුරල් වී ආලෝකය ලැබුණ ද එය කෙළවර වන්නේ බලාපොරොත්තු තබා ගත හැකි අයුරින් නොවේ. සෘතු නිමාවන විට සැබෑ නොවුණ බොහෝ සිහින තවත් ඉතුරුව ඇත.

මිනිසුන්ගේ උන්නතිකාමය නිසාම සූක්ෂ්ම ලෙස ගොඩ නගන බලාපොරොත්තු අනතුරුව ඛේදවාචකයන් බවට පරිවර්තනය වෙයි. කිම් පවුලේ පියා නිවසේ කුදු සියලු අවශ්‍යතාවන්ගේ කටයතුවලට මැදිහත්වන අන්දම දකින විට 1963 වසරේ සිනමාවට පිවිසි කළු සුදු චිත්‍රපටයක් වු ද සර්වන්ට් අපට සිහිපත් වීම වැළැක්විය නොහැකිය. එහෙත් පැරසයිට් තිරනාටකය පුරා ගොඩ නඟන සියුම් හාස්‍යය හැරල්ඩ් පින්ටර්ගේ තිරනාටකයෙන් හා ජොශප් ලුසීගේ අධ්‍යක්ෂණයෙන් යුත් සර්වන්ට් චිත්‍රපටයේ හැඟිමෙන් සහමුලින් වෙනස් එකකි. ද සර්වන්ට් චිත්‍රපටයේ මෙහෙකරු අවසානයේ ගෙහිමියා ඉක්මවා නැඟි සිටියි. ඒ සියල්ල මෙහෙකරුගෙන් තොරව ක්‍රියාත්මක නොකරන තැනට පත්වුණ විටය. එහෙත් පාක් පවුලේ අවසානය එයට වඩා වෙනස්ය. එබැවින් පැරසයිට් විකට නළුවන්ගෙන් තොර හාසෝත්පාදක චිත්‍රපටයක් වන අතර අවසානය සර්වන්ට් චිත්‍රපටයටත් එහා ගිය ඛේදාන්තයක් බවට ද පරිවර්තනය වෙයි. ඒ කිසිවකු පිළිබඳ දෝෂාරෝපණයක් පැවරිය නොහැකි අන්දමටය.

ඇති නැති පරතරය ලොව පුරා සනාතන දහමකි. බොන්ග් ජුන් හෝ පැරසයිට් සඳහා නිමිති කර ගන්නේ එයයි. ඔහු එහි දී සිය සිනමා කෘතිය සාහසික ඛේදාන්තයක් බවට පරිවර්තනය කරයි. විශිෂ්ටතම තිරනාටකයත් එයට සාපේක්ෂව චිත්‍රපටයට ප්‍රාණය සපයන සියලු අංග එක මිටට හකුළුවන්නට සිනමාකරු දක්වන සමත්කමත් නිසාම සිනමාකරණයේ අපූර්වත්වය ගොඩ නැංවූ 1917 චිත්‍රපටය අබිබවා පැරසයිට් ඉදිරියට එයි. සිනමාකරු අපට සිතන්නට අනුබල දෙන කරුණු රැසකි. එය කෙටියෙන් සඳහන් කරන්නේ මෙලෙසය. මේ සිදුවීම් මාලාවේ ගොදුරක් නොවන කිසිවකු හෝ අප අතර සිටිද ?

Add new comment