දිවි එපා වු සිනමා තරු

ජුනි 18, 2020

පරාජයට ඇති බිය ජයග්‍රහණයට බාධාවක් සේම ජයග්‍රහණය නොමැති තැන ජීවිතය අතහැර දැමීමට දිරි ගන්වනු ඇත. ජය - පරාජය හමුවේ ජීවිතය ජය ගන්නේ කෙසේද? පසුගිය වසරේ තිරගත කෙරුණු Chhichhore චිත්‍රපටය කියා දුන්නේද එවන් වූ කතාවකි. ජීවිතය ජය ගැනීම, ශක්තිමත් මිතුදම් සේම අධ්‍යාපනය සමඟින් දරුවන් විඳදරා ගන්නා පීඩනය කෙතරම් දැයි අපූරුවට කියා දුන් චිත්‍රපටයක් ලෙසත් එය රිදී තිරයේ දිග හැරුණි. ඒ කෙසේ නමුත් මේ කතාව අපට සමීප කිරීමට කැප වූ එහි ප්‍රධාන නළු සුෂාන්ත් සිං රාජ්පුත් මේ වන විට සිය ජීවිතයට සමු දී අවසන්. 

පසුගිය 14 වැනිදා උදෑසන මුම්බායි, බන්ද්‍රා හි පිහිටි නිවසේදී ඔහු ගෙල වැළලා ගෙන මියගොස් සිටිය දී සොයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන ආවේය. 1986 වසරේදී උපන් ඔහු 2013 වසරේ දී බොලිවුඩයට පිවිසියේ Kai Po Che! චිත්‍රපටය සමඟිනි. 2016 වසරේදී ඉන්දීය ක්‍රිකට් නායකයකු වූ එම්.එස්. දෝනිගේ චරිතාපදානය ගෙන ආ ර්.S. Dhoni: The Untold Story  චිත්‍රපටයේ දෝනි ලෙසින් කළ චරිත නිරූපණය සුෂාන්ත්ගේ සිනමා දිවියේ අතිශය ජනප්‍රියත්වයට පත් විය. PK, Raabta, Kedarnath, Sonchiriya ඔහු රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපට කිහිපයකි.

දිල්ලි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු වූ ඔහු භෞතික විද්‍යා විෂයෙන් ඔලිම්පියාඩ් පදක්කම් ලාභියෙකි. රංගනයට පිවිසීම වෙනුවෙන් ඔහු සරසවි දිවියට සමු දුන්නේය. සුෂාන්ත්ගේ මූලික මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහු පසුගිය දින කිහිපය තුළ මානසික අවපීඩනයෙන් පෙළෙනු බවයි. කෙසේ නමුත් ඔහු සියදිවි හානිකරගත් හේතුව තවමත් සොයාගෙන නැත. මීට දින කිහිපයකට පෙර සුෂාන්ත්ගේ හිටපු කළමනාකාරිණිය වූ දීෂා සාලියන් ද සියදිවි නසාගෙන තිබුණේ  මුම්බායිහි මහල් නිවාසයක 14 වැනි මහලේ පිහිටි ඇයගේ නිවෙසේ ජනේලයෙන් බිමට පැනීමෙනි.

හොලිවුඩය සහ බොලිවුඩය ඉතාම සුන්දර ලෝකයන් ලෙස නිරන්තරයෙන් පෙනුන ද එහි ද අසුන්දර, අසතුට දනවන පැත්තක්ද ඇති බව මෙවැනි සිදුවීම් ඔස්සේ වරින් වර පසක් කර දී තිබේ. තාරකාවන් අතර පවා මානසික අස්ථාවරත්වයේ සහ ඇබ්බැහි වීමේ බර දැනෙන අතර ජනප්‍රිය නළු නිළියන් සිය දිවි නසාගැනීම් වලින් ලෝකය කම්පනයට පත් කර ඇත. සියදිවි නසාගත් ඔවුහු අතරින් බොහෝ දෙනෙකු වසර ගණනාවක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළුණු අය වූහ.

2014 දී රොබින් විලියම්ස් වයස අවුරුදු 63ක් වී සිටියදී ගෙල වළලා ගෙන සියදිවි නසා ගත්තේය. විකට සම්මානනීය රංගන ශිල්පියකු වූ ඔහු සිය වැඩිහිටි ජීවිත කාලය පුරාම මානසික අවපීඩනයෙන් පෙළුණු බව කියවේ. නිහඬ චිත්‍රපට නළුවෙකු වන කාර්ල් ඩේන් 1934 අප්‍රියෙල් 14 වැනිදා වයස අවුරුදු 47 දී හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. ඔහුගේ වෘත්තිය පිරිහීම ඔහුගේ ජීවිතය ගත කිරීමට ගත් තීරණයට හේතුවක් වූ බව විශ්වාස කෙරේ.

1959 ජුනි 16 වන දින ජෝර්ජ් රීව්ස්ගේ (45) හිසට වෙඩි වැදීමෙන් මිය ගියේය. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දු කළ නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය වෙඩි තැබීමක් හෝ මිනීමැරුමක් විය හැකි බවයි. සිය දිවි නසාගත් තවත් ජනප්‍රිය නළුවන් අතර ෆ්‍රෙඩී ප්‍රින්ස් (23), ස්පාල්ඩින් ග්‍රේ (63) සහ එවරට් ස්ලෝන් (56) ඇතුළත් වේ. රෝස් ඇලෙක්සැන්ඩර් (30), රිචඩ් කුයින් (69), ගැරී වින්සන් (48), ටොඩ් ආම්ස්ට්‍රෝන් (55) වැනි නළුවන් සිය ජීවිතවලට සමු දී තිබෙන්නේ වෙඩි තබා ගනිමිනි. The Dark Knight බැට් මෑන් චිත්‍රපටයේ සිටි නපුරු විහිළුකාරයා වූ හීත් ලෙජර්, 2008 වසරේ ජනවාරි 22 වැනිදා සිය දිවියෙන් සමු ගන්නා විට වයස අවුරුදු 28ක් විය. හීත් ලෙජර්ගේ මරණ සහතිකයේ දැක්වෙන්නේ, වැරදීමකින් TX අධි මාත්‍රාවක් භාවිතා කිරීම හේතුවෙන් සිදු වූ මරණක් යනුවෙනි. 

හොලිවුඩයේ තරුවක් වු නළු ඩේවිඩ් කැරඩීන්ගේ සිරුර 2009 ජුනි 04 වැනිදා හමු වූයේ බැංකොක්හි ඔහු නැවතී සිටි කාමරයේදීයි. එහිදී ඔහු නිරුවත්ව ගෙල වැලළා ගෙන තිබු  බව මාධ්‍ය වාර්තා කළා. සියදිවි නසා ගැනීමක් බවට මුලදී මාධ්‍ය වාර්තා කළත් විකෘති ලිංගික ආසාවක් සංසිදුවා ගැනීමට ගොස් මෙම මරණය සිදු වන්නට ඇති බවටත් කටකතා පැතිරුණා. ඒ සමඟින් ඔහුගේ ප්‍රසිද්ධිය ද දෙගුණ තෙගුණ වූ බවත් කවුරුත් දන්නා දෙයක්. පසුව ඔහුගේ බිරිය විසින් පෞද්ගලිකව ඒ වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යෙදූ බවත් එහිදී කැරඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු වූ බවත් හොලිවුඩ් පුවත් වාර්තා අතර වේ. 

ඇමරිකානු නිළියක් සහ නිරුපිකාවක් ලෙස ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගී තිරයේ මනස්කාන්ත රුවක් මැවූ මර්ලින් මොන්රෝ, ඇය ඡායාරූපට නැගූ ශිල්පීන්ට පවා ප්‍රසිද්ධියක් ගෙන ඒමට තරම් සුරූපී නිරූපණ ශිල්පිනියක් විය. 1962 වර්ෂයේදී මෙලොව හැර ගිය ද ඇය අදත් හොලිවුඩයේ  නොමියෙන තරුවක් ලෙස සිනමා ලෝලීන්ගේ හදවත් වල ජීවමානව සිටින්නීය. අධි මාත්‍රාවෙන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇයගේ මරණය සිදු වූ බව වාර්තා කළ ද බොහෝ දෙනෙකු සැක පළ කළේ ඝාතනයක් බවයි.

ඒ සමඟින් විවිධාකාර කතන්දර රැසක් ද නිර්මාණය වූ අතර අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ සොයුරු බොබ් කෙනඩි සමඟි පැවති පෙම් සබඳකමත් සමඟින් ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් බොබ් කෙනඩි සිය සහෝදරයාගේ සහය මත ලෝ ප්‍රකට තරු ඝාතනය කරන මාෆියාවක් විසින් මොන්රෝ ඝාතනය කරන්නට ඇති බව  එක් කතාවකි. ඇය සිය මානසික වෛද්‍ය සමඟින් ද පෙම් සබඳකමත් තිබූ බවත් ඔහු විසින් විෂඑන්නත් කර මොන්රෝ ඝාතනය කරන්නට ඇති බවත් මේ හා නිර්මණය වූ තවත් කතාවකි. 

1996 ජුලි 1 වන දින, මාරියල් හෙමිංවේ වයස අවුරුදු 42 දී අධික ලෙස නිදි පෙති පානය කිරීම හේතුවෙන් මිය ගියාය. ඇගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දු විය. මාරියල් සීයා අර්නස්ට් හෙමිංවේ ද ඇතුළුව ඇගේ පවුලේ බොහෝ සාමාජිකයින් සිය දිවි නසාගෙන ඇත. සියදිවි නසාගත් ජනප්‍රිය නිළියන් අතර ඩනා ප්ලේටෝ (35), ජීන් සෙබර්ග් (41) සහ කැරොල් ලැන්ඩිස් (29), ඩොර්ති හේල් (33), ලොයිස් හැමිල්ටන් (47)  ද වෙති. මේ අතරින් බොහෝ දෙනෙකු අධිමාත්‍රාවෙන් නිදි පෙති පානය කළ අය වේ.

60 දශකයේදී හොලිවුඩ් රිදී තිරය ඔපවත් කළ සුපිරි තාරකාවක වූ නතාලි වුඩ්ගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න සැක මතු වූ මරණයකි. වුඩ් දියේ ගිලී මිය ගිය බවට මුල් මරණ පරීක්ෂණයෙන් තහවුරු වුවද සැක මතු වීම හේතුවෙන් ඇයගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ නැවතත් සිදු කෙරුණු අතර පිටු 10ක වාර්තාවකින් යුතු එම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ, දියේ ගීලිම සහ අනෙකුත් තීරණය කළ නොහැකි හේතු නිසා යනුවෙනි.

බටහිර සංගීත ලෝකයේ ජනප්‍රියත්වයක් ලද ප්‍රින්ස් හෙවත් ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් ද වයස අවුරුදු 57ක්ව තිබියදී 2016 වසරේ අප්‍රේල් 21 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේ බොහෝ රසිකයින් මෙන්ම සංගීතවේදීන් ද කම්පනයට පත් කරමින්. මිනසෝටාහි පෙස්ලි පාර්ක් මන්දිරයේදී අවසන් හුස්ම හෙළූ ඔහුගේ අවසන් කටයුතු මිනේපොලිස් හිදී පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඔහු වේදනා නාශක පෙති පමණ ඉක්මවා ලබාගෙන ඇති බවටත් කටකතා පැතිරුණා. ඔහුගේ දේහය ආදාහනය කෙරුණු අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

බොලිවුඩයේ මීට දෙවසරකට පෙර මෙලොවින් සමු ගත් ශ්‍රී දේවිගේ රුවට සමාන යැයි පැවසෙන රුවක් හිමි දිව්‍යා භාරතී 19 වැනි වියේදී මහල් ගොඩනැඟිල්ලකින් බිමට වැටී මරණයට පත් විය. 90 දශකයේදී ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටි දිව්‍යා භාරතී, සිනමකරුවකු වන සජීත් නදියද්වාලා සමඟින් විවාහ දිවියට පිවිස මාස දහයක් පමණ ගත වූ පසු ඔවුන්ගේ නිවෙස පිහිටි නිවාස සංකීර්ණයේ පස්වැනි මහලින් බිමට වැටී මිය ගියේ 1993 වසරේ අප්‍රේල් 05 වැනිදා ය. මරණයට පත්වන අවස්ථාවේ ඇය මධ්‍යසාර පානයකර සිටි බවත් පුවත් සැළ විය. මෙය දිවිනසා ගැනීමක් ලෙස පැවසුනද ඇයගේ මවුපියන් චෝදනාකර සිටියේ ඝාතනයක් බවයි. 

Pyaasa, Kaagaz Ke Phool and Sahib Bibi Aur Ghulam වැනි චිත්‍රපටවලින් නළුවකු ලෙසින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වූ ගුරු දත් ලෙසින් ප්‍රසිද්ධ වූ වසන්ත් කුමාර් ශිවශංකර්ගේ ද මරණය ද සිය දිවි නසා ගැනීමක් ලෙස වාර්තා විය. 1964 වසරේ ඔක්තෝබර් 10 වැනිදා මුම්බායිහි පිහිටි සිය නිවෙසේ තිබී ඔහුගේ සිරුර හමු වී ඇති අතර මධ්‍යසාර සහ නිදි පෙති පානය කර මිය ගිය බවට තහවුරු විය. ඔහුගේ පුත්‍රයකු වන අරූන් දත් පවසා සිටියේ කවුරුන් හෝ නිදි පෙති මිශ්‍ර කළ මත් පැන් ඔහුට ලබා දී ඇති බවට සැක කරන බවයි. 

දකුණු ඉන්දීය සිනමාවේ සිල්ක් ස්මිතා ලෙසින් ප්‍රකට විජයලක්ෂ්මි වද්ලාපති ද තිස් පස් වැනි වියේදී සිය දිවියෙන් සමු ගත්තාය. ඇයගේ මරණය විශාදය හේතුවෙන් සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට මරණය පරීක්ෂණයෙන් හෙළි කළද එකල බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ, මෙය කිසිවෙකු විසින් කර ඇති දරුණු අපරාධයක් බවයි.

මලයාලම්, තෙළිඟු, කණ්ණඩ සහ හින්දි චිත්‍රපට 450ට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඇය දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළියක ලෙසින් නම් දැරීය. ස්මිතා සිය මිතුරියකට දුරකථන ඇමතුමක් ලබා දී රාත්‍රියේදී හමුවීමට අවශ්‍ය යැයි පවසා සිටිය ද එම හමුවීම පසුදින උදෑසනට කල් දැමූ මිතුරිය ස්මිතාගේ චෙන්නායි නිවෙසට යන විටදී හමු වී තිබෙන්නේ ඇයගේ සිරුරයි. පසු කාලීනව විද්‍යා බාලන් රංගනයෙන් දායක වූ The Dirty Picture චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ස්මිතාගේ ජීවිත කතාව ඇසුරෙනි.

යොවුන් හදවත් දිනූ  කුනාල් සිං ද  මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ දී ගෙල වැළලා ගෙන දිවියෙන් සමු ගත්තේය. කුනාල්හට Kadhalar Dhinam  චිත්‍රපටයේ කළ රංගනය ඉහළ ජනප්‍රියත්වයත් ගෙන එන්නට සමත් වුවද ඔහුට ඉන්දීය සිනමාවේ සාර්ථක නළුවකු බවට පත්වීමට නොහැකි විය. 

Nishabd, Ghajini සහ Housefull චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ යොවුන් නිළියක වූ ජියා ඛාන්ගේ සිරුර ද  2013 ජූලි 03 වැනිදා පොලිසියට හමු වූයේ සිය නිවෙසේ විදුලි පංකාවේ ගෙල වැළලා ගෙන තිබියදීයි. කෙසේ නමුත් ඇයගේ මව තොරතුරු දක්වමින් මෙය ඝාතනයක් බවට චෝදනා එල්ල කළේ එකල ඇයගේ පෙම්වතා වූ සුරජ් පංචෝලි වෙතටයි. පසුව ඔහු ඇප පිට නිදහස් වුවත් බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ, ජියා ඛාන්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වෙන බවයි.