කන්ද උඩරටින් සිනමාවට එක් වූ අසෝකා

පුෂ්පා ජෙනට් (1933 - 2017)
ඔක්තෝබර් 29, 2020

‘අසෝකා’ චිත්‍රපටයට නවක නිළියක් ඕනෑ.’

1954 වසරේ දිනපතා පුවත්පතක දැන්වීමක් පළ කොට තිබුණි. එහි ලිපිනය වූයේ කොළඹ 10 මරදාන ඩ්රිබග්ස් ඇවනිව් හි (අද ජයන්ත වීරසේකර මාවත) පිහිටි ගුණරත්න සහ සමාගමේ (මුද්‍රණාලය) ලිපිනයයි. අසෝකා චිත්‍රපටි සමාගම වෙනුවෙන් ධර්මදාස කුලතුංග මේ දැන්වීම පළ කර තිබුණි.

සතියකින් ධර්මදාස කුලතුංග නමට නිර්නාමික ලිපියක් ලැබිණි.

‘ඔබ චිත්‍රපට සමාගම සොයන රූමත් තරුණියක් මහනුවර වටපුළුව මහා විද්‍යාලය අසල නිවසක පදිංචිව සිටී. ඇයගේ දෙමාපියන්ට කතා කොට අවසරය ලබා ගත හැකිය. ඇගේ රඟපෑම් සතුටුදාකය.’

‘අසෝකා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස තෝරා ගෙන සිටි සිරිසේන විමලවීර සොයා නිෂ්පාදක ධර්මදාස කුලතුංග කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට ගියේය.

‘මාස්ටර් හොඳ නිළියක් ගැන ආරංචියක් ලැබුණා. අපි දැන්ම නුවර යමු’

‘නුවර කොහේද?’

‘වටපුළුව ඉස්කෝලේ ළඟලු’

විමලවීර මාස්ටර්, කුලතුංග හා චිත්‍රපට නිළි විමලා කුමාරි මේ ගමනට එක් වූහ.

ගැහැනු ළමයා හොඳ වුව ද පියා දැඩි ලෙස විරෝධය දැක් විය.

‘මමත් නාට්‍යකාරයෙක්. ඒ වුණාට මගේ ළමයා පුංචි වැඩියි තවම‘ පියා කීවේය.

‘ඉතින් මමත් ටීටර්කාරයෙක්. රොඩී කෙල්ල, පිටිසර කෙල්ල . . .’

‘මේ . . . . විමලවීර මාස්ටර්ද? ඇයි කලින් නොකිව්වේ. මම ඒ ටීටර් බලලා තියෙනවා. මම හිතුව ඉස්කෝලෙක හෙඩ් මාස්ටර් කෙනෙක් කියලා. එහෙනං මේ ගැන දෙපාරක් හිතල බලන්න වෙනවා.’

‘මහත්තයා නාට්‍යකාරයෙක් කිව්ව නේද?’ විමලවීර මාස්ටර් ඇසීය.

‘මම ගමේ නාට්‍ය කීපයක් කළා. ඒව ඓතිහාසික නාට්‍ය’ ‘වෙස්සන්තර’ ‘සීගිරි කාශ්‍යප’ එහෙම.’

තම දියණිය මාස්ටර්ට පෙන්නුවේ ඉන් පසුවය.

‘මේ ගැහැනු ළමයා අගේට අසෝකා කියන චරිතයට ගැළපෙනවා’ මාස්ටර් ඇය දුටු සැණින් කීවේය.

ඇයව තෝරා නොගනී යයි ධර්මදාස කුලතුංග බියෙන් සිටි බව මාස්ටර්ගේ තීක්ෂණ ඇසට පෙනුණි.

ඇය ජෙනට් සිල්වියා හියුස්. ඇගේ පියා වූ හිල්ටන් එඩ්වඩ් හියුස් දෙවන ලෝක යුද්ධ කාලේ හමුදා නිලධාරියකුව සිට පසුව වතු පාලකයකු ලෙස කටයුතු කොට ඇත. ඔහු කලාකාමියෙක්. නාට්‍ය කලාවට ඇලුම් කළ රඟපෑමට මෙන්ම නාට්‍ය නිෂ්පාදනයට බට කලාකරුවෙකි. මව රොසලින් ගුණවර්ධනය. මහනුවර වටපුළුව තක්ෂිලා මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය කුඩා කල සිටම චිත්‍රපටයක රඟපෑමට ආසා බව දෙමව්පියෝ දැන සිටියහ.

‘කෙල්ලෙක් බයිස්කෝප්වල ඇට් කරන්න ගියා කියන්නේ නුවර නම්බුව කෑව කියලා’ තාත්තා වරක් තම දියණියට කියා තිබුණි.

‘මොනවා වුණත් විමලවීර මාස්ටර් කියන්නේ තාත්තා වගේ මනුස්සයෙක්. එයා හොඳ චිත්‍රපටකාරයා’ විමලවීර මාස්ටර්ලා ගිය පසු තාත්තා දියණියට රඟපෑමට කැමැත්ත දී - ‘දුවේ නුවර නම්බුව රකින්න උඹට බාරයි’ කීවේය.

‘අසෝකා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය කන්ද උඩරටින්’ පුවත්පත්වල පළ වූයේ ඇය ‘පුෂ්පා ජෙනට්’ නමින් සිනමාවට හඳුන්වා දෙමිනි.

පුෂ්පා රඟපෑ ‘අසෝකා’ චිත්‍රපටය තිරගතවීමට පෙර පුවත්පත් කුඩා ඡායාරූප ශිල්පියෝ ගත් පින්තූරත්, කැලැන්ඩර් පින්තූරත් උණු කැවුම් මෙන් විකිණී අත. 1955 මාර්තු 04 වෙනිදා තිරගත වූ පසු ඇය චිත්‍රපටයට ගැයූ මේ ගීත අතිශයින්ම ජනප්‍රිය වූ අතර ඒ ගීත 14 ඇතුළත් කොලොම්බියා තැටි වාර්තාගත අලෙවියක් ලබා තිබුණි. මේ ඇයත්, සුමිත් බිබිලේ සමග චිත්‍රපටයේ ගැයූ ගීත කිහිපයකි මේ.

පෙම් පහන නිවී - පෙම් මල් පර වී

ඇවිළේය වියෝ ගිනි ජාලේ

අපි හැංගි හැංගි බැඳ ආලේ’

ගායනය - බෙග් හා ජී. එස්. බී. රාණි)

‘ලෝකෙ සීනයක් වගේය

අරුම පුදුම ජීවිතේ’

ගායනය - බෙග් හා රාණි

ගේය පද - කරුණාරත්න අබේසේකර

‘පායන සඳ සේ - මෝරයි ආලෙ - දිවා රෑ දෙවේලේ

දිවා රෑ දෙවේලේ - නැළවේ විනෝදේ

ගයා ප්‍රේම ගීතා-ඔබේ මේ අසෝකා

ගායනය - රාණි සහ ධර්මදාස වල්පොල

ගේය පද - පියසේන කොස්තා

‘ආදරේ සාගරේ - රැල් නගී හෝ ගගා

කියා ප්‍රේමේ සැපේ රැලී වෙරළේ හැපේ

ගායනය - රාණි

මේ ගීතවල රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිංහල චිත්‍රපට ගීතාවලියේ (1947 - 1956) කෘතියෙන් උපුටා ගත් අතර ඇතැම් ගේය පද රචකයන් සඳහන් වී නොතිබුණි. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ පී. එල්. ඒ. සෝමපාලය.

පුෂ්පා ජෙනට් ‘අසෝකා’ චිත්‍රපටයේ රඟපෑමට ගොස් ලැබූ අත්දැකීම් ‘සරසවිය’ පුවත්පතට මෙසේ සඳහන් කර තිබුණාය.

‘මේ චිත්‍රපටයේ රඟපාන්න ගිහින් මම අනන්ත දුක් වින්ද. ඒ කාලෙ නිළියකට, නිළියක් ඊරිසියයි. විවාහක නළුවෙකු සමඟ අලුත් නිළියක් රගපාන විට නිළිය, නළුවා සමග යාළුයි කියලා කට කතා හදනවා. චිත්‍රපටය කෙරුණේ ඉන්දියානු ආභාසයෙන්. ඒ ක්‍රමයට ළිපට පිඹ පිඹ ගී කියන්නයි නටන්නයි වගේ අත්භූත දේවල් කරන්න තිබුණා. ‘අසෝකා’ මගේ රඟපෑම දැකලා අසෝකා මැරුණේ ඇයි කියලා මට ලියුම් රැසක් ආවා. අසෝකා මැරී දර සෑයේ ගිනි ගනිද්දී මොහිදීන් බෙග් ගැයූ ‘තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ’ ගීය තිරයේ වැටෙද්දී සිනමා ශාලවේ සිටි ප්‍රේක්ෂකයින් ඉකි ගසා ඇඬුවා.

‘අසෝකා’ කණ්ඩායමේ සුදු පැහැයට සිටියේ පුෂ්පා නිසා විමලවීර මාස්ටර් ඇයට කතා කර ඇත්තේ ‘කිරි ඉබ්බි’ කියාය.

විමලවීර මාස්ටර් ‘පොඩි පුතා’ නිපදවන්න පටන් ගත්තේ ‘අසෝකා’ රූගත කරන කාලෙමයි. මම මේ කාලේ අසෝකා චිත්‍රපට සමාගමේ නිෂ්පාදක ධර්මදාස කුලතුංග සමඟ ආදරයෙන් බැඳිලා හිටියේ. ‘පොඩි පුතා’ චිත්‍රපටයේ රඟපාන්න විමලවීර මාස්ටර් කතා කළා. ධර්මදාසගේ අවසරය අරන් මම ‘පොඩි පුතා’ හි ප්‍රධාන නිළිය රේඛා ලෙසත් පොඩි පුතා ලෙස ආනන්ද වීරකෝන් සමඟ රඟපෑවා. මම පොඩි පුතාගේ බිරිඳ. මම ආනන්ද සමඟ චිත්‍රපටයේ ගයන මේ ගීතය රසිකයන් අතර ප්‍රසිද්ධ වුණා.

‘කිරි මුහුද! ඕ කිරි මුහුද කැලැම්ඹිල

පාවී එනව ප්‍රේමාමෘතේ

ගායනය - හරූන් ලන්ත්‍රා සහ රාණි)

‘අසෝකා’ත්, ‘පොඩි පුතා’ත් තිරගත වුණේ එකම වසරේ. 1955 නොවැම්බර් 25 ‘පොඩි පුතා’ තිරගත වුණේ’ පුෂ්පා කියා තිබුණාය.

1955 මැයි 18 වෙනිදා ධර්මදාස කුලතුංග - පුෂ්පා ජෙනෙට් අතිනත ගත්හ. ධර්මදාසට අයත් ‘සුලලිත පොත් හළ’ ඕල්කට් මාවතේ තිබුණි. එහි පොත් ප්‍රකාශනයේ ද යෙදුණු ඔහු ජයවිලාල් විලේගොඩගේ ‘1959 සිනමා’ වාර්ෂිකයත්, කරුණාසේන ජයලත්ගේ නවකතා ප්‍රකාශනයට පත් විය. 1955 දී ‘රේඛාව‘ හා ‘මාතලන්’ ඇතුළු චිත්‍රපට සඳහා පුෂ්පාට ඇරැයුම් ලැබුණත් විවාහය නිසා ඒවා අත්හැර දැමූ බව ඇගේ සැමියා කියා තිබුණි.

පුෂ්පා ‘අසෝකා’ චිත්‍රපටයේ රගපෑමේදී අත්විඳ කටුක අත්දැකීමක් 1981. 11. 06 සරසවිය පුවත්පතේ කැමිලස් පෙරේරාට විස්තර කර තිබුණාය.

‘එක්තරා නළුවෙකුගේ බිරිඳ සැර පරුෂ කාන්තාවක්. ඇය සිටියේ තම සැමියා ගැන සැකයෙන්. ඇය හිතුවා අර නළුවා මා සමඟ අයුතු සම්බන්ධයක් ඇති බවට. දිනක් කැමරා ගත කරන අවස්ථාවක නළුවා එන්න ප්‍රමාද වුණා. කිසිත් නොදත් අපේ කට්ටිය නළුවා සොයා යන විට ඔහු බිරිඳගේ කරදර ඉවසා ගැනීමට බැරිව බූමිතෙල් බී පාර දිගේ වමනය දමමින් සිටියාලු. පිරිස මෝටර් රථයක නංවා රෝහල් ගත කළා. එදට පසුදා උදෑසන විමලවීර මාස්ටර් හා මම චිත්‍රාගාරයේ උදේ ආහාර ගනිමින් සිටියදී කාන්තාවක් සෙරෙප්පුවක් අතැතිව මට පහර දෙන්න පැන්න. ඒ අර නළුවාගේ බිරිඳය. විමලවීර මාස්ටර් ඉදිරියට පැන ඇය මෙල්ල කරගෙන ‘ඔබ ගුරුවරියක් නේද? ඇයි මේ තරම් පහළ වැඩකට වැටුණේ’ කියලා ඇය මෙල්ල කර ගත්තා.

පුෂ්පා හා ධර්මදාසට පුතුන් දෙදෙනෙක් වූහ. වැඩිමහල් පුතා අජිත් ධර්මදාස පියාගේ අඩි පාරේ යමින් මුද්‍රණ ක්ෂේත්‍රයේ පොත් ප්‍රකාශනයේත් නියැලි සිටී. බාල පුතු නෙරංජන් මනෝජ් කුලතුංග විශ්‍රාමික බැංකු නිලධාරියෙකි. සිය මවගේ මතකය අලුත් කරමින් අජිත් මෙසේ කීවේය.

‘මගේ අම්මා මහනුවර වටපුළුවේ උපත ලැබුවේ 1933 ජූලි 11 වෙනිදා. අම්මට වැඩිමහල් සොහොයුරියක් හිටියා වයලට් කියලා. ඇය ගුරුවරියක්. බාල මල්ලි ලයනල් පැට්රික්. ඔහුගේ පුතුන් දෙදෙනෙක් වූ චන්දන සූරියබණ්ඩාර හා සද්ධාමංගල සූරියබණ්ඩාර රූපවාහිනී ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්. මගේ පියා ධර්මදාස කුලතුංග 2001 ජනවාරි 26 වෙනිදා මිය ගියා. අම්මා මිය ගියේ 2017 මාර්තු 16 වෙනිදා.’

පුෂ්පා ජෙනට්ගේ රංගන ජීවිතය චිත්‍රපට දෙකකට පමණක් සීමා වූයේය. 1955 වසරේ තිරගත වූ ‘අසෝකා’ හා ‘පොඩි පුතා’ චිත්‍රපටවල පමණකි ඇය රැඟුවේ.

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්