මිනිසුන් දෙදෙනෙකුට මැදි වූ ගැහැනියක්

වැලිකතර
අගෝස්තු 15, 2019

බොහෝ ගැහැනුන්, හා මිනිසුන් අභ්‍යන්තරයේ කඩතොළු නොදැන ඔවුනගේ බාහිර පෞරුෂත්වයට ප්‍රිය කරමින් ඔවුනොවුන් සමඟ එක්වෙයි. ගැහැනුන්ගෙ බොහෝ දේවල් පිරිමි විසින් සොයා ගත්තද, පිරිමින්ගේ අහුමුළුවල තිබෙන දෑ ගැහැනුන්ට සොයා ගැන්මට නොහැකිය. ගීතා රණ්දෙනියට සිදු වූයෙත් ඒ දේමය.

"වැලිකත⁣ර" චිත්‍රපටය පුරාම දැවැන්ත සෙවනැල්ලක් සේ සැරිසරන චරිතය, වික්‍රමවත්, ගෝරිං මුදලාලිවත් නොව. ගීතා රණ්දෙනියය. ඇය, වික්‍රම වැනි ප්‍රථාපවත් පුරුෂයෙකු හා විවාහ වන්නට ඇත්තේ බොහෝ දේ ගැන සිතා මතා විය හැක. උසස් සමාජයකට හුරු ඇය, එය ඒ අයුරින් හෝ ඊටත් වඩා උසස් ලෙස පවත්වාගෙන යාමට වික්‍රම වැනි සහකාර පොලිස් අධිකාරවරයෙකු සමඟ විවාහ වන්නට ඇත. නමුත් එයටත් වඩා ඇයට හොඳ බිරිඳක් වී,දරුකැලක් සමඟින් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට දැඩි උවමනාවක් තිබුණි.

චිත්‍රපටය ආරම්භයේදී වික්‍රම රණ්දෙනියගේ උසස් වීම හා උතුරේ රාජකාරියට අනුයුක්ත කිරීමේ උත්සවයේදී, එහී කථිකයාගෙන් කියවුණේ වික්‍රම රණ්දෙනියට බිරිඳන් දෙදෙනෙක් සිටින බවකි. එය කීවේද වික්‍රම සමඟින් එම උත්සවයට පැමිණි ගීතා රණ්දෙනිය ඉදිරියේදීය. කථිකයා එම කථාවේදී අර බිරිඳන් දෙදෙනා⁣ව හඳුන්වා දුන්නේ වික්‍රමගේ එක් බිරිඳක් ගීතා රණ්දෙනිය බවත්, අනෙක් බිරිඳ පොලිස් සේවය බවත්ය.එලෙ⁣සම ඔහු තම කථාව තවත් පුළුල් කරමින් කී⁣යේ, වික්‍රම රණ්දෙනිය තම පළමු බිරිඳ වූ ගීතා රණ්දෙනියට වඩා තම දෙවනි බිරිඳ වූ පොලිස් සේවයට ආදරය කරන බවකි. ගීතා රණ්දෙනිය එයට කැමතිය. ඒ තම ස්වාමි පුරුෂයා වෘත්තිමය ලෙස ඉහළටම යනවිට බැබළෙනුයේ තමාම බව ගීතා රණ්දෙනිය දැන සිටි නිසාය.

ගීතා සිතුවේ වික්‍රම සමඟ උතුරු ප්‍රදේශයට ගිය විට ජීවිතයේ බොහෝ වෙනස් කම් සිදුවෙනු ඇතැයි කියාය. ඒ වන විට ඇයගේ කුසේ තුන්මසක දරුවෙකුත් පිළිසිදී තිබුණි. ගීතා සිතූ සේ ,උතුරට ගිය පසු ඇයගේ ජීවිතය විශාල වෙනසකට පරිවර්තනය විය. එහෙත් එම පරිවර්තනය ඇය බලාපොරොත්තුවූ ආකාරයට නම් සිදුවූයේ නැත.

තිස්ස අබේසේකර තම තිරනාටකය තුළ ගීතා රණ්දෙනියට වඩා අනෙක් චරිත යුගලට වැඩි බරක් දුන්නද, ඔවුන්ව අබිබවා ඒමට ගීතා රණ්දෙනියගේ චරිතයට හැකි වුයේ මෙම වෘත්තාන්තයේ සියලු හැලහැප්පීම් වලට මුහුණ දෙන්නේ ඇය නිසාය. කථාව ඇය වටා නොගෙතුණාට අභ්‍යන්තරව ඉස්මතු වන්නට වූයේ නම් ඇය වටා වූ සිදුවීම්ය. වික්‍රම රණ්දෙනියව අබිබවන්නට ඩී.බී.නිහාල්සිංහ ගෙනා අනෙක් ප්‍රබල එමෙන්ම ආන්දෝලන චරිතය ගෝරිං මුදලාලිය. එය හැඳීන්වීමේදි හිටි ගමන් අහසින් කඩා වැටුණු චරිතයක් ලෙසය දැනෙණුයේ. එහෙත් එය ටිකෙන් ටික මුළු චිත්‍රපටයම ගිල ගන්නට විය. එසේ නමුදු ඒ ගිලගැනීමට අහුනොවෙන්නට ගීතා රණ්දෙනිය වග බලා ගත් බවක් දැනුණි.

වික්‍රම රණ්දෙනියගේ චරිතය මුල සිටම 'හීරෝ' කර අවසානයේ 'ලොප් 'කිරීමට උවමනා වූයේ තිර නාටක රචක තිස්ස අබේසේකරටද, නොඑසේ නම් ඩී.බී.නිහාල්සිංහටදැයි තෝරා බේරා ගැන්මට නොහැකිය. මුලු රටේම විටින් විට වික්‍රම රණ්දෙනියගේ වීර වික්‍රමයන් පුවත් පත් මගින්,හා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරමින්, ඔහුව හීරෝ කළද, ගෝරිං ඉදිරියේ මෙල්ල වන්නට, අබේසේකර විසින් අභ්‍යන්තර සිදුවීම් මාලාවක් එයට ඈදීය. ඒ මෙල්ලවීමට ගත් සිදුවීම් පෙළ නම් තරමක් සරල අර සම්ප්‍රදායානුකූල සිදුවීමක්ය. මෙයට මුලික ⁣හේතුව වූයේ මුතු මැණිකේය. මුතු මැණිකේ හරහා පටන් ගත් මෙය පසුව ඛේදවාචකයක් කර අවසන් කළේ ගීතා රණ්දෙණියගෙනි. එකිනෙකාට නොහඳුනන ගැහැනුන් දෙදෙනෙක් වෙනුවෙන් ඝට්ටනය නිර්මාණය වූයේ හොඳීන් හඳුනන පිරිමි දෙන්නෙක් තුළින්ය.

'ප්ලොට්' එකක් ලෙස ගතහොත් මෙය, හින්දි, දමිළ, හැමදාම අසන,හැමදාම දකින කඩචෝරු කථාවකි. රටේ හාමු මහත්තයාගේ පුත්තුන්ට ගමේ දුප්පත්, රූමත් කෙල්ලන්ට බොරු පොරොන්දු දී ඔවුන් රවටා ඔවුන් හා ලිංගීකව සම්බන්ධ වී, ඔවුන්ගේ කුසට ළමයෙක්ව දී මාරුවීමට ලයිසන් දීම බොහෝ විට ඉන්දියාව, ලංකාව ඇතුළු ආසියාතීක රටවල් වල බහුලව සිදු⁣වේ. චිත්‍රපට වලට බොහෝ විට 'ප්ලොට්' කර ගන්නේ මේ වගේ සිදුවීම්ය. ඉන්පසු, එකී ගෑනුළමයා හෝ ඇයගේ සොහොයුරා, එකී ප්‍රභූ පුත්‍රයාගෙන් පළිගැනීම ආරම්භ කරයි. 'වැලිකතර' චිත්‍රපටය තුළද තිබුයේ මෙයට බෙහෙවින් සමාන තේමාවකි. ⁣

ගෝරිං මුදලාලි යනු කවරෙක්දැයි අපට දැනගන්නට ලැබෙන්නෙ චිත්‍රපටය මුල් භාගය අතරතුරේදීය. මුලින්ම අප දකින්නේ ඔහු මැරයෙක් ලෙසය. වික්‍රම රණ්දෙනිය සමඟ උතුරට පැමිණි ගීතා, දිනක් තනිවම රථයෙන් යාපනයේ පාළු පෙදෙසක යන විට ගීතාට මුණ ගැසුණු ගෝරිං ඇයට කරන අඩම්තේට්ටම හරහා ඔහු මැරයෙක් ලෙස අපට ඒත්තු ගැන්වේ. එතෙක් සියුමැලිව, ප්‍රේමාවන්තිකව සිටි ගීතා රන්දෙණියගේ වේගවත්, සැර පරුෂ ස්වරූපය අප දකින්නේද මෙතැනදීය. ගෝරිං ඇයව අල්ලගත්⁣තේ ඇමටය. ඒ බවක් ඇය දැන සිටියේ නැත. ඇය ගෝරිං සමඟ අඩව් ඇල්ලුවේත්, ඔහුට කම්මුල්පාරක් ගැසුවේත් ඔහු මැරයෙක් යයි සිතා මිස, අභ්‍යන්තරව විශාලා කථාවක් සැඟවී තිබූ බවක් නොදැනය. කම්මුල් පාර කෑ ගෝරිං කිව්වේ 'මං මෙතන සුමානෙකටවත් හෝදන්නෙ නැහැ කියාය'. ගීතාද⁣ මෙල්ල නොවී එකට එක කරන්න යෑමේදි, අන්තිමයට සිදුවූයේ ගෝරිං විසින් ගීතාගේ වාහනයේ හුළං ඇරීමය.

'මෙතන ඉදලා ටවුමට හැතැම්ම හතරක් තියෙනවා. ටවුමට යනකල් මේ හරියේ හුළං ගහන්න කොහෙවත් තැනක් නැහැ. ඒ හැතැම්ම හතරම නෝනට යන්න වෙන්නෙ පයින්. යනකොට හොඳට හුළං වදියි'.

නිහාල්සිංහ, 'වැලිකතර' චිත්‍රපටය තුළින් 'ස්කෝර්' කළේ තිස්ස අබේසේකරගේ,දෙබස් වලිනි. අපහාසාත්මක ⁣ එම දෙබස් ඔහු බොහෝ විට ලියා තිබුණේ ගෝරිංටය. ගෝරිංගෙ චරිතය තව තවත් ජනප්‍රිය වීමට මේ දෙබස් ඉමහත් සේ ඉවහල් විය.

බොහෝ කාලයකට පසු ගෝරිං හා වික්‍රම මුණ ගැසෙන්නේ සමාජශාලා පසුබිමක තිබූ සාදයක් තුළය. එහිදී ගෝරිං, වික්‍රමට තමා සමඟ මීවිතක් ගැනීමට ආරාධනා කරද වික්‍රම එය ප්‍රතික්ෂේප කළේය.

'මං සරමක් ඇඳලා ඉන්න හින්දද සංග්‍රහයක් කරන්න හදන කොට පිළිගන්නෙ නැත්තේ?' ගෝරිං අසයි.

'නෑ මං කලිසමක් ඇඳලා ඉන්න හින්දා' වික්‍රම කියයි.

සුදු බණ්ඩා, වැනි අවිහිංසක පුද්ගලයෙක් එක්වරම මැරයෙක්, හා,⁣මහාපරිමාණ හොර ජවාරම් කරුවෙක් වීම ගැන ඇතිවන කුකුස අමතක කරන්නට නිහාල්සිංහ විසින් බොහෝ සිදුවීම් එයට එකතු කර තිබුණි. මුලින් අප සුදු බණ්ඩාව දකින්නේ ඔතෑනි මිනිසෙක් ලෙසය. රටේ මහත්තයාගේ ප්‍රභූ පුත්‍රයා වූ අප්පු, සුදුබණ්ඩාට රට මත්පැන් දෙනවිට, සුදු බණ්ඩා ඇඹරෙන ඇඹරිල්ල දුටු විට, මොහු ගෝරිං වැනි නසරානියෙකුට පරිවර්තනය වීම අදහාගත නොහැකිය. සිනමාව යනු මායාව හා යථාර්ථය බද්ධ වීමක් නිසා එවැනි දේ මවා සිදුකර පෙන්විය හැකි වුවද, මෙතරම් ඉක්මනට මේ ඔතැනි මිනිසා, දරුණු මිනිසෙක් වන්නේ කෙසේද? රටේ මහත්තයාගේ පුතා අප්පු තම නැගෙණියව අනාථ කෙරු නිසාමද?.

සුදු බණ්ඩේගේ නැගෙනිය අනාථ වූ පසු ඇයට, රටේ මහත්තයාගේ පුත්‍රයාට දාවා දරුවෙක් පිහිටීමත්, දරුවා ප්‍රසුත කරන විට දරුවත්, මුතුමැණිකාත් දෙ⁣දෙනාම මිය යෑම හරහා ඔතෑනිව සිටි සුදුබණ්ඩා, ගෝරිං නම් දරුණු මංකොල්ල හා අපරාධ කරුවෙක් බවට පත්වීම තරමක් විශ්වසනීයත්වයෙන් තොර විය. සුදු බණ්ඩා ගෝරිං වන විට, රටේ මහත්තයාගේ පුත්‍රයා වික්‍රම රන්දෙණිය සහකාර පොලිස් අධිකාරයෙක් විය. මේවා හරියට හින්දි, දමිළ චිත්‍රපට කථා වගේය. දැං ගෝරිං වික්‍රම රණ්දෙනියව හොයන්නේ තම නැගෙණියට කළ අපරාධයට වික්‍රමගෙන් පළිගැනීමටය.

මේ ඝට්ටනයට අන්තිමයට මැදිවුණේ මේවාට කිසිදු සම්බන්ධයක් නැති ගීතාය. ගෝරිං තම සැමියා පසු පස එන්නේ ඇයි,? සහකාර පොලිස් අධිකාරවරයෙක් වූවද තම සැමියා ගෝරිං ඉදිරියේ නිරුත්තර වන්නේ ඇයි ?යන ප්‍රශ්නවලට ගීතාට පිළිතුරු ලැබෙන්නේ ගෝරිං හරහාය.

තිස්ස අබේසේකර තම තිරනාටකය තුළ වික්‍රම,ගීතා, හා ගෝරිංව පටලවන්නේ ඒ අයුරින්ය. ගීතාට, වික්‍රම වෙත තිබූ විශ්වාශය බිදීයන්නට පටන් ගන්නෙ එතැන් සිටය. නිහාල්සිංහ සියලු ප්‍රශ්න හා එයට විසඳුම් ඉදිරිපත් කළේ ගීතා තුළිනි. එහෙයින් චිත්‍රපටය තුළ වික්‍රම හා ගෝරිංටත් වඩා ප්‍රබලවම නැගී සිටි චරිතය වූයේද ගීතාය.

'බළලා වගේ හැම එකක්ම වහගන්නයි නේද හදන්නෙ. අම්මලා තාත්තලගෙ සල්ලි වලිනුයි, නම්බු පට්ටම් වලිනුයි පුළුවන්නෙ කරපු දේවල් ඔක්කොම වහගන්න. උපාධි පට්ටම් ගහගෙන ඊට උඩින් ඒ.එස්.පී. පට්ටමකුත් ගහගත්තා, ඒත් බැරිවුණා ඔය කුණු කන්දල් වහගන්න. මටද සැර දාන්න එන්නෙ. ගෑනුන්ට තමා මෙයාගේ වීර කම්. ගෝරිංව දැක්කාම මීයා වගේ. මටහිතා ගන්න පුළුවන් මෙයා ගෝරිංට මෙච්චර බය ඇයි කියලා. බයගුල්ලා, රටේ ඉන්න ගැහැනුන්ව අමාරුවෙ දාලා දැං සුදනා වෙන්න යනවා"

මේ ගීතා රණ්දෙනිය, ගෝරිංගෙන් ලබාගත් තොරතුරු මත වික්‍රමව පිළිකුල් කරමින් වාග් ප්‍රහාරය මුදා හැලූ ආකාරයයි.

එදා "රජ දැක්මට අවසරද?' 'අවසරයි' කියමින් සතුටින් සිටි දෙමහල්ලන් මෙසේ කුලල් කා ගනිමින් දරුණු වාග් ප්‍රහාරයන් හුවමාරු කර ගැනීමෙන් ගෝරිංගේ සැලැස්ම සාර්ථක වූ බවක් ප්‍රත්‍යක්ෂ විය. ගෝරිංට අවශ්‍ය වූයේ තමා හා තම නැගෙණියව විනාශ වූ අන්දමටම වික්‍රම හා ගීතා රන්දෙණියව විනාශ කිරීමටය. මේ එහී මුල් පියවරයන්ය.

වික්‍රමද නිකං හිටියේ නැත. ගෝරිංගේ හොර ජවාරම් සියල්ලම වටලන්නට විය.

ගෝරිංගේ හොර ජවාරම කළ සඟයන්ට වද හිංසා කරන්නට විය. ගෝරිංගේ බල බිදීමට හැකි හැම දෙයක්ම කළ අතර, ගෝරිං වික්‍රමගේ නිවසට පැන ගීතාව තම භාරයට ⁣ගෙන, වික්‍රම තම නංගීට කළ හැමදේම ගීතාට කීය. ඒ අතර වික්‍රම ඇතුළු පොලිස් හමුදාව ගේ වටලන විට ගෝරිං ගීතාව ඇපයට තබා ගෙන, ඇයව තම ජීප් රථයට නංවා ගෙන පලා ගියේය.

වැලිකතර කථාසාරයේදී කිසිවෙක් ජය ගෙන තිබුණේ නැත. එහෙත් වික්‍රම රන්දෙණිය යනු යුක්ති ගරුක මිනිසෙකු ලෙස තිස්ස අබේසේකර තම කථාව තුළින් පෙන්වන්නට ගියද,ඔහුට එය පවත්වා ගැන්මට නොහැකි විය. ගෝරිං මේ සියලු නාටක රඟ දැක්වූයේ වික්‍රම තම නැගෙණියව අනාථ කර පැන ගියාය යන චින්තනයෙනි. ගීතා, වික්‍රම රණ්දෙනියව අත්හල දැමුයේ වික්‍රම, වෙනත් ගැහැනියක් හා සම්බන්ධ වී දරුවෙකුත් කුසට දුන් නිසාය. එහෙත් සත්‍ය කථාව දැනගෙන සිටියේ වික්‍රමය. ඔහුට මුතුමැණිකාව දමා පැනයන්නට කිසිදු උවමනාකමක් නොතිබුණි. වික්‍රමගේ පියා වූ රටේ මහත්තයා කීවේ මුතුමැණිකේගේ පියා තමා බවය. සෙල්ලක්කාර කමට තරුණ වියේදී ගමේ ගැහැනියක් හා පැටලීමේදි සිදුවූවක ප්‍රතිපලයකි මේ මුතුමැණිකේ. මේ රහස ගෝරිං, ගීතා පමණක් නොව කිසිවෙක්වත් දැන සිට්යේ නැත. එම රහස එළි නොවුණු නිසා අවසානයේ සිදුවූයේ විශාල ඛේදවාචකයකි.

ගෝරිං එම ලුහුබැදීම අතර තුර, වික්‍රමගේ අතින් වෙඩිවැදී මිය ගියේය. ගීතාව රෝහළට ඇතුළත් කළාය. එහෙත් ඇය තවදුරටත් වික්‍රමව තම සැමියා ලෙස පිළිගැනීමට කැමතිවූයේ නැත. මේ සියල්ල සුන්‍ය යයි වික්‍රමට වැටහුණි. ඔහු ගීතාට ලියූ ලිපියේ සඳහන් වූයේ, මුතුමැණිකේගේ සත්‍ය කථාවෙන් පසු තමාට ජීවිතය ගැන තිබූ ආශාව අත්හැරියද, පසුව ගීතා මුණගැහීමේදී අලුත් ආරම්භයකට තමා පිවිසුණු බවකි. තමා ජීවත් වූයේ ගීතා නිසාත් ,නොඑසේ නම් රැකියාවත් නිසාය. ඇතැම් විට තමා මේ දෙදෙනාටම එකසේ ආදරය කරන්නට ඇත. එහෙත් දැන් ගීතාවත්, රැකියාවත් පමණක් නොව තමාගේ ජීවිතයද අත්හැරීමට සිදුවනු ඇත. ලිපියේ අවසානයේදි හිස් තිරයේ පසුබිමින් ඇසෙන වෙඩි හඩින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි වෙන්නට විය.

චරිත තුනක් මේ තරම් ප්‍රබලව හැප්පුණු සිංහල චිත්‍රපටයක් මේ වන තෙක් හෝ ප්‍රදර්ශනය වූවා දැයි මතකයක් නැත. ඇත්තෙන්ම මෙය විශිෂ්ටතම රඟපෑමකි. වික්‍රම රණ්දෙනිය ලෙස ගාමිණි ෆොන්සේකාත් සුදු බණ්ඩා හා පසුව ගෝරිං ලෙස ජෝ අබේවික්‍රමත් අතිශය ප්‍රබලතම රංගනයක නිරතවූයේ එකිනෙකා නොපරයමිනි. විකට රංගනයකට හුරුවූ ජෝ,ගේ දක්ෂකම හඳුනා ගැනීමේ තියුණු ඉවක් නිහාල්සිංහට තිබුණි. එය හරියට ගම්පෙරළියේ ජිනදාස වැනි කේඩැරි චරිතයකට, මල්ලවපොර ශූරයෙකු ලෙස පෙනුණු ගාමිණී ෆොන්සේකාට එම චරිතය කළ හැකියැයි ලෙස්ටර් ජේම්ස් එකහෙළාම තීරණය කළා වැනිය. ජෝ චරිතාංග නළුවෙකු ලෙස තැබු ප්‍රථම පියවර මෙය විය. ඔහු විටෙක ගාමිණී ෆොන්සේකාව අබිබවා ගිය අචස්ථාද මේ වික්‍රම - ගෝරිං ගැටුම තුළ තිබුණි. ගාමිණි හා ජෝ, මෙම චරිත යුගලට ආරුඨ වූයේ යකදුරන් සේය. ඔවුන් දෙදෙනා තිරය මත රැඟුවේ හෙණ පුපුරනවාක් මෙනි.

'දෙලොවක් අතර' චිත්‍රපටයෙන් ලෙස්ටර් ජේම්ස් ගෙන් තම සිනමා ජීවිතයේ හරි මාර්ගයට පිවිසුණු සුවිනීතා වීරසිංහ එතෙක් මෙතෙක් රඟපෑ ප්‍රබලතම එමෙන්ම විශිෂ්ටතම රඟපෑම වූයේ ගීතා රන්දෙණියගේ චරිතයයි. ඇය ගාමිණී හා ජෝ තම අණසකට ගත්තේ තමාගේ චරිතය නිවැරදිව අවබෝධ කර ගත් නිසාය. ගාමිණී හා ජෝ ගේ රංගනයේ ප්‍රබලත්වය නැංවුණේ සුවීනීතා ගේ අද්විතීය රංගනය නිසාමය. මුළු චිත්‍රපටයේම රංගන ආධිපත්‍ය ගාමිණි,ජෝ, සුවිනීතා තම තමන් සතු කර ගෙන තිබුණි. එහෙත් ලවානිස් ලෙස රඟපෑ නවනන්දන විජේසිංහගේ රඟපෑම ප්‍රේක්ෂකයන්ට දැනුණි. එමෙන්ම කිත්සිරි පෙරේරා, දයානන්ද ජයවර්ධන,ජී.ආර්.පෙරේරා, චන්ද්‍රා කළුආරච්චි, චිත්‍රපටය තුළ දක්ෂ ලෙස ජීවමාන විය. දේවිකා කරුණාරත්න මුතුමැණිකා විය. ජී.ඩබ්ලියු.සුරෙන්ද්‍ර, පී.බී.මයිල්ලෑව, පියසේන අහංගම, එල්සන් දිවිතුරුගම, ටියුඩර් කරුණාතිලක, බුද්ධි වික්‍රම හා කරු නානායක්කාර සෙසු චරිත රඟපෑහ.

වැලිකතර චිත්‍රපටයේ සුවිශේෂත්වය වූයේ කැමරාවය. නිහාල්සිංහ තම කැමරාකරණයෙන් 'වැලිකතර' චිත්‍රපටය විශ්මිත කළේය. එවන් කැමරා කෝණ ඉන් පසුවත් සිංහල සිනමාව තුළ තිබුණාදැයි සිහියට නොඒ. සංගීතය සෝමදාස ඇල්විටිගලගෙනි. 'ගිනිගත් මරු කතරේ' ගීතය ගායනා කළේ ඩබ්ලියූ.ඩී.අමරදේවය. එය මහගමසේකරගේ රචනයක් විය.

'වැලි කතර' ශ්‍රි ලංකාවේ ප්‍රථම පුළුල් තිර සිනමාස් කෝප් චිත්‍රපටයයි. එය තිරගත කිරීම ආරම්භ කළේ 1971 ඔක්තෝබර් මස 27 වන දිනය. මෙය ස්වර්ණමාලි ගුණතුංග හා ඩී.බී.නිහාල්සිංහ එක්ව කළ නිෂ්පාදනයකි. 'වැලි කතර' ලාංකේය සිනමාවේ ප්‍රබලතම සලකුණකි. එමෙන්ම එය එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙසද සැලකෙනු ඇත.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.