මා එදා දෑසින් සනහා හිතුවොත් හිතුවාමයි

අගෝස්තු 22, 2019

ඇල්ප්‍රඩ් සොයිසා තම දොස්තර කම අතහැර රේන්ද ව්‍යපාරයට සම්බන්ධ වන්නේ 1958 තරමේය. දොස්තර කෙනෙක් ලෙස මුදල් හම්බ කළද, ඔහුට මහ පරිමාණ ව්‍යාපාරිකයෙක් ලෙස රට තුළ බැබළෙන්නට උවමනා විය. ඔහු රෙන්ද ව්‍යාපාරයෙන් තව තවත් ඉදිරියට අඩිය තැබීය. තැබෑරුම් ව්‍යාපාරයට අමතරව කැලැත්තෑවේ අක්කර ගණනාවක් ගෙන රණවරා වවන බවක් කියමින් කංසා වවන්නට පටන් ගති. දිනෙන් දින තම හොර ජවාරම් ව්‍යාපාර දියුණු කර ගැන්මට, ඕනෑම ජඩ වැඩ, මැර වැඩ හොර වැඩ පමණක් නොව මිනී මැරුම් ගණනාවක් කර හංගා දැමීමට වුවද, ඔහු පසුබට නොවීය.

කැලැත්තෑවේ මිනී මැරුම ලංකාවේ අතීශය ප්‍රසිද්ධ සත්‍ය කථාන්තරයකි. එමෙන්ම දොස්තර ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමා ඒ සත්‍ය කථාන්තරයේ ප්‍රධාන චරිතයන්ය. පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ උසස් නිලධාරින් සමඟ ඇල්ප්‍රඩ් සොයිසා හිත මිතුරු සබඳතා පැවැත්වූ හෙයින්, ඔහුට ඔහුගේ නීතිවිරෝධි ව්‍යාපාර කරදරයකින් තොරව කරගෙන යාමට හැකි විය. එහෙත් නලින් දෙල්ගොඩ නම් තරුණ පොලිස් පරික්ෂක වරයෙක් ඇල්⁣ප්‍රඩ් සොයිසා පසුපස එලවුවේය. ඇල්ප්‍රඩ් සොයිසාගේ හැම හොර ජාවාරම් මෙන්ම,ඔහු,පොළව යට හැංගූ කාර් මෙන්ම ඔහු කළ හැම මිනීමැරුමක්ම අවසානයෙදී අල්ලා ගත්තෙ මේ නලින් දෙල්ගොඩ නම් පොලිස් පරික්ෂක වරයාය. අවසානයේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් හා විලී මාමාව පෝරකයට යැවීමට පවා නලින් දෙල්ගොඩට හැකි විය.

චිත්‍රපටයකට නැංවීමට හොද කථාශාරයකි මේ ඇල්ප්‍රඩ් සොයිසා හෙවත් කැලැත්තෑවේ මිනීමැරුම. එලෙසම මෙය වසන්ත ඔබේසේකර වැනි 'සීරියස්' අධ්‍යක්ෂක වරයෙකුගේ සිනමා ශානරයට හරි හැටි ගැලපෙන තේමාවක් විය. එහෙත් පුදුමයකට මෙන් මෙවන් 'ත්‍රිලිං ප්ලොට් ' එකක් වසන්තගේ අවධානයට යොමුවූයේ නැත.

1977 වර්ෂය තුළ ඔගස්ටස් විනායාගරත්නම් මෙම කථා ශාරය ඇසුරෙන් තිරනාටකයක් ලියූ අතර, එය ලුසී පේජ්, හා ඇල්බට් පේජ් විසින් සිනමාපටයකට නැංවීමට බාර දුන්නේ ⁣එකල වාණිජ චිත්‍රපට ධාරාවේ අංක එකේ අධ්‍යක්ෂක වරයෙක් වරයෙක්ව සිටි ලෙනින් මොරායස්ටය. ලෙනින් එකී ප්‍රධාන චරිත කීපය ගෙන, එයට තව තවත් අතුරු චරිත ගනනාවක් එකතු කර 'හිතුවොත් හිතුවාමයි' නම් චිත්‍රපටයක් නිර්මාණය කළේ මෙම කථා ශාරය හරහාය.

අප්සරා ප්‍රසිද්ධ එමෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. ඇය රූමත්ය, කෙළිලොල්ය, දඟකාරය. ඇයට චිත්‍රපටය තුළ තිබූ එකම කාර්යභාරය කාර් රථය එළවං යෑම, සින්දු කීම, ආදරය කිරීම, හා කෝච්වියට පැනීමය. ඇය ජීවත් වන්නේ ආදරය කිරීමටය.

'ආදර කිතියෙන් හද සැලුණා

දැණුනා, දැණුනා රස දැණුණා

ජීවන සුවදට මල් වැහි වැහලා

ගලා හැලෙයි මී විත උතුරා

ආදර කිතියෙන් හද සැලුණා

දැනුනා දැනුනා රස දැණුනා'

ඇල්ප්‍රඩ් සොයිසාට දියණියක් සිටියාද, එලෙසම ඇයට මේ අයුරින් ගීත ගැයීමට හැකියාවක් තිබේදැයි නම් මතක නැත.එහෙත් මෙහි එන ධනවත් ව්‍යාපාරක ඒඩ්‍රියන් පින්ටෝට නම් දියණියක් සිටියේය. ඒ මේ ගී ගැයීමට හැකි, ආදරය කිරීමට හැකි අප්සරාය.

ඒඩ්‍රියන් පින්ටෝ විශාල ව්‍යපාරිකයෙකි. මතුපිටට ඔහු පෙන්වන ව්‍යාපාර වූයේ ඔහුට අයිති නිවාඩු නිකේතනය, හා රණවරා මල් පැකට් කිරීමේ කර්මාන්ත ශාලාවත් ,කැලැත්තෑව පැත්තේ අක්කර සිය ගණනක රණවරා පැල වගාවත්ය. එහෙත් ඔහු කූඨ ව්‍යාපාරයෙක් විය. ලෙනින්, තම නිර්මණය තුළට ගෙන ආ ඒඩ්‍රියන් පින්ටෝ තනිකරම ඇල්ප්‍රඩ් සොයිසාගේ චරිතයම නොව. ඇල්ප්‍රඩ් සොයිසාට තැබෑරුම් ව්‍යාපාර තිබුණි. එලෙසම රජයේ මැති ඇමතිවරුන් මිත්‍රත්වයන් හරහා ඔහු රජරට වැව් ප්‍රතිසංස්කරණ කිරීමේ දැවැන්ත ව්‍යාපාරයකටද අත ගැසීය. එයට ඔහු, ඔහු සතු, කැටපිලර්, බුල්ඩෝසර්, හා යන්ත්‍රෝපකරණ යෙදවීය. ලෙනින් ගේ චිත්‍රපටය තුළත් එහී පෙන්වන වැඩ බිම් තුළින් කැටපිලර්, බුල්ඩොසර් එහාට මෙ⁣හාට කැරකෙනවා අපට පෙන්වන්නෙ ඇල්ප්‍රඩ් සොයිසා⁣ගේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මතක් කර දෙන්නට විය හැක.

ඇල්ප්‍රඩ් සොයිසාට කිට්ටුවම සිට, ඔහු ගේ හැම මැර වැඩකටම,හැම මිනීමැරුමකටම සහයෝගය දුන්නේ කළු ඇල්බට්ය. ලෙනින්ගේ චිත්‍රපටය තුළ එම සත්‍ය චරිතය පියදාස ලෙස පරිවර්තනය විය.

පොලිස් පරික්ෂක මංජු රණවීර අනුරාධපුර පොලිසියට මාරුවී එන්නෙ මේ ඒඩ්‍රියන් පින්ටොගේ හොර මැර කම් සියල්ලම අල්ලා නීතියට බාර කිරීමටය. සත්‍ය කථාවේ උප පොලිස් පරික්ෂක නලින් දෙල්ගොඩ ය ලෙනින් විසින් මංජු රණවීර ලෙස තම චිත්‍රපටයට පරිවර්තනය කළේ.

මංජුගේ පොලිස් ජීප් රථය ,කාර්මීක දෝෂයක් නිසා පාලු පාරක නතර වීම, හරියටම ඒ වෙලාවටම අප්සරා තම රථයෙන් එතැනින් යෑම, ඉන් පසු ඇය තම රථය වහා නවතා මංජුට උදව් කිරීමට සැරසීම, ජීප් රථය යථා තත්වයට පත් කිරීමට නොහැකි නිසා ඇය මංජුව තම රථයේ දමාගෙන ඔහුව පොලිස් සේවා ස්ථානයට හැරළවීමට යන අතර තම නිවසට ගොස් තම පියාවූ ඒඩ්‍රියන් පින්ටොටත් හඳුන්වා දීම,එමෙන්ම ලෙනින්ගේ සුපුරුදු කෑලි වූ හදිසි බර්ත්ඩේ පාටි ඇතිවී, මුල්දවසෙම මුණ ගැහුණු මංජුට ඊළග සතියේ තිබෙන තමාගේ බර්ත්ඩේ පාටියට ආරාධනා කර, එයට අනිවාරයෙන් පැමිණෙන ලෙස ඉල්ලා සිටීම වැනි 'ලෙනින්' කෑලි එතැන් පටන් චිත්‍රපටයට එකතු විය.

ලෙනින් විසින් චිත්‍රපටයට තවත් ප්‍රධාන අතුරු චරිතයක් එකතු කළේ අප්සරා එක් අවස්ථාවක දුම්රියට පැන දිවි තොර කර ගැන්මට උත්සහා කරන විට ඇයව බේරා ගැනීමට විය යුතුය. එම චරිතය නම් මංජු රණවීර ගේ නිවුන් සොහොයුරු මොහාන් රණවීරය. එය යලටත් නැති මහටත් නැති චරිතයකි.

අප්සරාගේ චරිතය තුළ සාධාරණීය ලක්ෂණ තිබුණද, ලෙනින්ට එය හරි අන්දමට ඉස්මතු කිරීමට නොහැකි විය. ලෙනින්ගේ සිනමා භාෂාව තුළ අප්සරාට යා හැකිව තිබුණේ එපමණකි. එහෙත් මතුපිට සිටින අප්සරා ට වඩා ඇයගේ දැවෙන හෘදය තුළ බොහෝ දෑ ඉස්මතු කරගැන්මට තිබුණු කදිම අවස්ථා ලෙනින්ගේ අතින් පැහැර හැරුණි. එහෙයින් අප්සරා ඕලාරීක විය. අප්සරා බලාපොරොත්තු වූ ආදරය ලැබුණේ නැත. ඇය එය ලබා ගැන්මට කෙතෙකුදු උත්සහා කළද, එය ලැබුණේ නැත. එහෙත් ඇය සිතුවේ නම් මංජු ඇයට ආදරය කරනු ඇතැයි කියාය.

'ආදර මලට වහලා පියඹා යමි

සමනල සිතකට ආශා හිතිලා

ගුම් නද ,ගුම් නද, ගුම් නද, ගුම් නද

ගුම් නද, ගුම් නද, ගුම් නද,ගුම් නද'

මංජුට ආදරය කිරීමට වෙලාවක් නොතිබුණා යයි කිව නොහැක. චිත්‍රපටය පුරාවට, මංජු පොලීසියට සේවය කරනවාට වඩා වැඩි කාලයක් ගත කරන්නේ ආදරය කිරීමටය. එක පැත්තකින් අප්සරාටය. අනෙක් පැත්තෙන් සුමාලිටය. ඔය දෙදෙනා සමඟ සින්දු කියනවා හැරෙන්නට, මංජුට පොලිසියට සේවය කිරීමට වෙලාවක් කොහෙන්ද?

ඒඩ්‍රියන් පින්ටෝ දරුණු දාමරිකයෙක් යැයි ⁣ඒත්තු ගැන්වීමට පෙන්නූ ක්‍රියාකාරකම් මදිය.එහෙයින් ඒඩ්‍රියන් පින්ටෝ ලෙස මේ පෙන්වන්නේ ඇල්ප්‍රඩ් සොයිසා ගේ චරිතය යැයි කියා තැනින් තැන වැටහුණද ඉඳුරාම දැනෙන්නෙ නැත. නමුත් විශාල ධනකුවේරයකු වූ අල්විස් සමඟ කරන්නට ගිය ගනුදෙනුවත්, පසුව ඔහුව වංචනිකව තම තිප්පොලට ගෙන්වා විසකුරු නාගයෙකු ලව්වා දෂ්ඨ කර මැරවීම වැනි සිදුවීමිද, හොරකම් කෙරු මෝටර් රථ, පොළව යට වලලා දැමීම වැනී දේ තුළින් නම් මේ ඇල්ප්‍රඩ් සොයිසා ගේ කථාව යැයි සිතෙන අවස්ථා නැත්තේද නොවේ.

ඒඩ්‍රියන් පින්ටෝගේ සියලු මැර ව්‍යාපාර සොයා ගැන්මට නමි මොහු ළඟම ගැවසිය යුතු බව මංජුට වැටහුණු හෙයින්, ඔහු වෙස්වලාගෙන, ඒඩ්රියන්ගේ වැව් සංවර්ධන වැඩ පොලක කමිකරුවෙක් ලෙස බැඳුනි. මංජු 'හෙයා විග්' එකක් දැම්ම ගමන්, කිසිවෙකුටත් හඳුනා ගැන්මට බැරිය. ඒවා නම් ලෙනින් මොරායස්ගේම 'ලොජික්' ය.

මංජු නැවතුණේ එම වැඩ බිමේම කම්කරුවෙක් ලෙස වැඩ කරන පොඩි අප්පුගේ නිවසේය. පොඩි අප්පුට රූමත් දියණියක් සිටි. ඇය සුමාලිය. වෙස්වලාගත් මංජු දැන් 'චුක්කේ'ය. චුක්කේගේ මුල්ම ජොබ් එක වූයේ අපරාධකරුවන් අල්ලා ගැනීම නොව, සුමාලි සමඟ ප්‍රේම කිරීමය.

අප්සරාගේ උපන්දින සාදය එළැඹිණි. ඇය ඉමහත් ලෙස බලාපොරොත්තුවෙන් සිටියේ මංජුගේ පැමිණීමය. සාදයට පෙර දිනයන් හී ඇය ඔහුට කීපවරක්ම එය සිහිපත් ක⁣ළාය. එහෙත් සාදය පටන් ගෙන තිබුණද මංජු පැමිණියේ නැත.

'මා එදා, දෑසින් සනහා ඔබ දුන්

කැල්මන් හද රැඳුණා

ඔබ එනවැයි අද, දිව්රා කියා'

ඇල්ප්‍රඩ් සොයිසාගේ චරිතය ලෙනින් මොරායස් හෝ කථා රචක ඔගස්ටස් විනයාගරත්නම් නිසි ලෙස අධ්‍යනය කෙරූ බවක් නම් නොපෙනුණි. කථාව ගෙතිය යුතුව තිබුණේ ඒඩ්‍රියන් පින්ටෝ හරහා විය යුතු වුවද 'හිතුවොත් හිතුවාමයි' කථාවේ උක්ත චරිතය වන්නේ ඉන්ස්පෙක්ටර් මංජු රණවීරය. එහෙයින් අර ආන්දෝලනාත්මක චරිතය වූ ඒඩ්‍රියන් පින්⁣ටෝ යටපත් විය.

ඒඩ්‍රියන් පින්ටො ගේ හොර, මැර වැඩ එකිනෙක හෙමීට හෙමීට අහුවන විට, පියදාසට චුක්කෙි ගැන සැක සිතේ. ⁣එලෙසම චුක්කෙ යනු පොලිසියේ ඉන්ස්පෙක්ටර් වරයා බව සුමාලි දැන ගනී.

'චුක්කි, චුක්කි, චුක්කි

කියලා මාව රවටලා

මංජු මංජු මංජුගෙ හිත

ඔයා රවටලා

චුක්කි චුක්කි චුක්කි මමයි

ඔයා හැඳීන්නා

මංජු මංජු මංජු කියලා

මෙමා ඇඳීන්නා'

මංජු විසින් තමාව මඟ හරින බව අප්සරාට වැටහුණු අතර, මංජු සුමාලි සමඟ ආදරයෙන් බැඳී ඇති බවද ඇය දැන ගති. අවසානයේ අප්සරා මංජුට දොස් කීවේ මංජු තමාගේ ජීවිතයත් සමඟ සෙල්ලම් කර ඇති බවකි.

"මම කවදා හරි කියලා තියෙනවද මම ඔයාට ආදරෙයි කියලා" මංජු අප්සරාගෙන් කෙළින්ම ඇසුවේ, ඇය ඔහුට දෝශාරෝපණය කරන හෙයිනි. මොහාන් දොස් කීවේද මංජුටය. ඉන්පසු මොහාන් බැලුවේ බොරදියේ මාළු බාන්නටය. තමාගෙ අයියා කළ වැරැද්දට තමා වන්දි ගෙවන්නට කැමතිබව කියමින් අප්සරාට ළං වන්නට මොහාන් උත්සහ කළේ මාන කොකෙකු මෙනි.

මංජු කාර්යක්ෂම ,යුක්තිගරුක පොලිස් නිලධාරියෙකු සේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙමින් ඒඩියන් පින්ටෝගේ නීතිවිරෝධි ව්‍යාපාර එකින් එක අල්ලා ගත්තා පමණක් නොව, ඒඩ්‍රි⁣යන් විසින් වළලා දැමු මොටර් රථද ගොඩ ගත්තේය. ඔහු කළ මිනීමැරුම්ද මතු කර දැමීය. මංජුට මේ දේවල් කරන්නට, ඒඩ්‍රියන්ගේ සහචරයන් සමඟ තනියෙන් සටන් කරන්නට සිදුවිය. එසේ සටන් කෙරු මංජු ඒඩ්‍රියන්, පියදාස හා ඔහුගේ සහචර කල්ලියම නීතියේ රැහැනට අසු කර දුනි.

මොහාන්, අප්සරාට තම හදවතේ පැසවමින් තිබූ ආදරය ප්‍රකාශ කළේ අයියා අප්සරාව අත් හැරීම සාධාරණ නොවේ යැයි පවසමිනි. ඔහු උත්සහා කළේ එයින් හෝ ලකුණු දමාගෙන අප්සරාගේ හිත දිනා ගැන්මටය. එහෙත් අප්සරා, එය දයාබරව ප්‍රතික්ෂේප කළාය.

තමාගේ පියා මුළු රටම හොල්ලන ගණයේ දරුණු අපරාධකරුවෙක්, මිණීමරුවෙක්, හොරෙක් හා වංචාකරුවෙක් වීමත්, තමා පණ මෙන් ආදරය කරන මංජු, තමාව අතහැර සුමාලිට ප්‍රේම කිරීමත් යන හේතු උඩ අප්සරා, දුම්රියට පැන ජීවිතය නැති කර ගන්නට යන විට බේරා ගත්තේ මොහාන්ය. ඇයව බේරා ගත් මොහාන් ඇයට කීවේ, ජීවිතය විනාශ නොකර, එය රටටත්, දැයටත්, මිනිසුන්ටත් සේවයක් කරන ලෙස යොදවා ගන්නා ලෙසටය.

අපරාදේ කියන්න බැහැ, ලෙනිනුත් චිත්‍රපට ඉවර කරන්නේ අර රොබින් තම්පොලා වගේ ආදර්ශමත් පණිවිඩ දීමෙනි.

චිත්‍රපටය නිම වන්නෙ කතෝලික කන්‍යාරාමයකිනි. දැං අප්සරා කතෝලික කන්‍යා සොහොයුරියක් වී කුඩා ළමුන්ට, දෙවියන්වහන්සේ ගැන, ජේසුස් වහන්සේ ගැන උගන්වයි. ඇයව බැලීමට මොහාන් කන්‍යාරාමයට පැමි⁣ණේ.

'මට ඕනේ අප්සරා සතුටින් ඉන්නවද කියලා දැන ගන්න' මොහාන් කියයි

'ඔව් මම ගොඩාක් සතුටින් ඉන්නෙ. මොහාන් කීවනෙ මේ ජීවිතේ විනාශ කරගන්නෙ නැතිව ඒක සේවයක් කර ගන්න කියලා. මම දැන් කරන්නෙ ඒ උතුම් සේවයයි' අප්සරා කියයි. මොහාන් සැනසුම් සිතින් අප්සරාගෙන් සමුගෙන යයි. අප්සරා හෙවත් මරියා කන්‍යා සොහොයුරිය නැවතත් කුඩා ළමුන් ළඟට ගොස් දෙවියන්වහන්සේ හා ජේසු තුමා ගැන කියා දෙයි. ලෙනින් මොරායස්ගේ 'හිතුවොත් හිතුවාමයි' චිත්‍රපටය නිම වුනේ එහෙමය.

විජය කුමාරණතුංග මංජු ,චුක්කේ, හා මොහාන් ලෙස චරිත තුනක් නිරූපනය කරයි. අප්සරා මාලනී ෆොන්සේකාය. ශ්‍රියානි අමරසේන සුමාලි විය. ඒඩ්‍රියන් පින්ටෝ හා පියදාස ලෙස පිළිවලින් ඩොමි ජයවර්ධන හා පියදාස ගුණසේකර රඟපෑහ. ජෝ අබේවික්‍රම අල්විස් නම් ධනකුවේරයකු ලෙස රඟපෑ අතර, ඩී.ආර්.නානායක්කාර පොඩි අප්පු විය.එඩී ජයමාන්න බණ්ඩා රාළහාමිගේ චරිතය රඟපෑවේය. ඇලැක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු, රුක්මණී දේවී, ශාන්ති ලේඛා, රුබී ද මෙල්, රීටා රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ඩඩ්ලි වානගුරු, සෙසු චරිත රඟපෑ අතර ටෝනී රණසිංහ ගරු රඟපෑමක නිරත විය.

ලෙනින් මොරායස් හැදු 'හිතුවොත් හිතුවාමයි' එය ඉතාමත් ජනප්‍රිය වූ අතර, එම ජනප්‍රියත්වයට සරත් දසනායකගේ මියුරු තනු හා සංගීතයත්, ලතා වල්පොල, එච්.ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක හා වික්ටර් රත්නායක ගැයූ ගීතද ඉවහල් විය.

ලුසී පේජ් හා ඇල්බට් පේජ් විසින් නිෂ්පාදනය කළ "හිතුවොත් හිතුවාමයි" 1977 අප්‍රේල් 6 වෙනිදා සිට ප්‍රදර්ශනය ඇරඹුණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.