නිහඬ මියැසි මිනිසා

ජයතිස්ස අලහකෝන්
අගෝස්තු 29, 2019
‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයෙන්

 

අනාවරණය වනවාට වඩා ආවරණය වී හිඳින්නට ම පතන අපිස් බවින් සතොස් වන විශාරද සංගීතඥයකු මේ වසරේ මුල ජනවාරි 13 වෙනිදා මිය ගියේය. අපිස් බවින් සතොස් වන මේ විශාරද සංගීතවේදියා බාල වියෙහි තමා විඳි ජන ගීතයේත් ටීටර් ගීතයේත් සංගීතාත්මක සාධනීයතා ගුවන් විදුලි ගීතයටත්, චිත්‍රපට ගීතයටත් රැගෙන ආ සංගීතවේදියෙකි. උත්තර භාරතීය රාගධාරි සංගීතයේ ඇති ශක්‍යතා නිර්මාණාත්මකව හඳුනා ගත් තනු නිර්මාණ ශිල්පියෙකි.

 

පණහ දසකයේ වේදිකා ගත වූ නාට්‍යවල නූර්ති සංගීත වාදන ඉදිරිපත් කළ තරුණයාගේ වයලීනය දෙස ප්‍රේක්ෂකයෝ මන්මත් වී බලා සිටියහ. ඔහු එදා ටවර් නෘත්‍ය ශාලාවේ ඉදිරිපත් කළේ වෙස්සන්තර, සිරිසඟබෝ, ශකුන්තලා, සුවිනීත භාර්යා, විදුර, ධර්මාශෝක, පද්මාවතී, ශ්‍රී වික්‍රම යන නූර්තිවල ජනප්‍රිය ගීතවල තම වයලීනයෙන් දායක වීම දෙස පියා බලා සිටියේ ආඩම්බරයකිනි. තාත්තා ටවර් නෘත්‍ය ශාලාවේ නාට්‍ය ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වූ ඒ. ඩී. මාටින් පෙරේරා (1894 – 1979) පුතා අලහකෝන්ගේ දොන් ජයතිස්සය. නැතහොත් සංගීත ක්ෂේත්‍රය හොඳින් හඳුනන ජයතිස්ස අලහකෝන්ය.

1932 මැයි 06 වෙනිදා අත්තනගල්ලේ නිට්ටඹුවේ උපත ලැබූ ජයතිස්ස අලහකෝන් හැදී වැඩුණේ මරදානේ ඩාලි පාරේ නිව් ඔලිම්පියා සිනමාහලට යාබද පුංචි නිවසේය. මරදානේ සහිරා විද්‍යාලයට අයිති ගෙයකි ඒ. සිනමාහලේ සංගීත හඬපටය ඔහුට හොඳට ඇසුණේය.

 

‘මගේ තාත්තා මට සංගීතයට තිබුණු ආසාව තේරුම් ගත් පසු විධිමත්ව සංගීතය ඉගෙනීමට සංගීතඥයන් කිහිප දෙනෙක් ගාවට යැව්වා. එච්. ඩබ්ලිව්. රූපසිංහ, එම්. රොම්ලස් සිල්වා, ටී. වී. එඩ්වින් පෙරේරා, ඩබ්ලිව්. සිල්වෙස්ටර් ආදි සංගීත මාස්ටර්ලාගෙන් මම සංගීතය ගැන අත්පොත් තැබුවා. එසේම වෘත්තීය චිත්‍ර ශිල්පියකු ලෙස වේදිකා නාට්‍ය ගණනක පසුබිම් සැරසිලි කර තිබෙනවා. මම කැමතිම වාද්‍ය භාණ්ඩය වයලීනය. පණ්ඩිත් අමරදේව හා බී. වික්ටර් පෙරේරා යටතේ මම වයලීනය ප්‍රගුණ කළා. 1968 වසරේ ලක්නව් භාත්ඛන්ඩේ විද්‍යා පීඨයෙන් මධ්‍යම පරීක්ෂණයෙන් සමත් වෙලා රජයේ සංගීත ගුරු පත්විමක් ලබා දිවයිනේ පාසල් කිහිපයකම සේවය කළා. මම වේදිකා නාට්‍ය කලාව හා බැඳී සිටින්නේ 1960 වසරේ ඉඳලා. ප්‍රවීණ නාට්‍යකරුවන් මෙන්ම ආධුනික නාට්‍යකරුවන්ගේ නාට්‍යවලට මම පසුබිම් සංගීතයත්, ගීතත් නිර්මාණය කළා. මම සංගීතය නිර්මාණය කළ නාට්‍ය අතර කෝළම්, නාඩගම්, ගීත නාට්‍යය, මුද්‍රා නාට්‍යය, තාත්වික නාට්‍යය, ශෛලීගත නාට්‍ය ගණනක් තියෙනවා.’ අලහකෝන් මහතා තම ආරම්භක සංගීත ගමන ගැන අපට විස්තර කර ඇත.

මුලින්ම සංගීත සහායකයකු එනම් වයලින් වාදකයකු ලෙස ආනන්ද සමරකෝන්ගේ කළුඑතනා, මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු, මූදු පුත්තු, දේවතා එළි, ලියතඹරා, තාත්තා, ධර්මදාස කුරුප්පුගේ සේනක නාඩගම, මහාචාර්ය එම්. එච්. ගුණතිලකගේ සක්කාය දිට්ඨි නාට්‍යවලට සහාය වූ ඔහු හාපුරා කියා සහාය සංගීත අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යය වූයේ 1958 වසරේ වේදිකා ගත වූ ජි. ඩි. එල්. පෙරේරාගේ ‘තම්මැන්නා’ නාට්‍යයයි.

‘තම්මැන්නා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළේ දයාරත්න රණතුංග. පිටපත හා ගීත රචනා කළේ අශෝක පීරිස්. මම සහාය සංගීත අධ්‍යක්ෂක. මම හාපුරා කියා සංගීත අධ්‍යක්ෂණය කළේ ජී. ඩී. එල්. පෙරේරාගේ ‘සාමා’ නාට්‍යයේ 1960 වසරේ. 1961 වසරේ ජී. ඩී. එල්. ගේ ‘සක්කර වට්ටම්’ නාට්‍යයේ මම සංගීත අධ්‍යක්ෂණය කරද්දී වාදක මණ්ඩලයට දක්ෂ වාදකයන් තිදෙනෙක් තෝරා ගත්තා. ඔවුන් පසු කලෙක සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම ගියා. එදා සිතාරයෙන් සහාය වූ සරත් දසනායකත්, වයලීනයෙන් සහාය වූ වික්ටර් රත්නායක හා තබ්ලාවෙන් සහාය වූ විජේරත්න රණතුංග මේ තිදෙනා. වරක් ජයතිස්ස අලහකෝනුන් පවසා තිබුණි.

මේ තොරතුර එන්නේ ජී. ඩී. එල්. පෙරේරා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද අමුද්‍රිත සිය චරිතාපදානයෙනි. පිටපත එංගලන්තයේ සිට මව එවා එය සුරැකිව තබා ඇත. ජී. ඩී. එල්. ගේ ‘මඟුල් මතේ’, ‘මෙහෙව් ලෝකෙක’ නාට්‍යවලත්, චන්දි කන්නන්ගරගේ ‘හේවායෝ’, එස්. කරුණාරත්නගේ ‘බුහුමන් සොයා’, වේට්ට පිත්තල, එරබදු මල්, මළකෝලං, සුගතපාල සෙනරත් යාපාගේ මැටි බළල්ලු, හිරු නොනඟින රාජ්‍යය, සුමන ආලෝක බණ්ඩාරගේ සාදුකින් නිවන කිරි කඳුලක්, ගුණසේන ගලප්පත්තිගේ මාහේනේ රීරියකා, මුදලිනායක සෝමරත්නගේ ගිනිකඳු, සුනෙත් ගෝකුලගේ රං පිහාටු ඇතුළු වේදිකා නාට්‍ය ගණනක ඔහු සංගීතය මෙහෙයවා ඇති අතර තමා විසින්ම නිෂ්පාදනය කළ ‘එම්බල සහෝදරයා’ තාත්වික නාට්‍යයේ ද සංගීතය නිර්මාණය කර ඇත.

ජයතිස්ස අලහකෝන්ගේ චිත්‍රපට ගීතයක් මුලින්ම ඇතුළත් වන්නේ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘සාමා’ චිත්‍රපටයෙනි. ‘සාමා’ (1965) චිත්‍රපටයේ පසුබිම් සංගීත නිර්මාණය අමරදේවයන්ගෙනි. එහි එන එක ගීතයක තනු නිර්මාණය හා සංගීතය මෙහෙයවීම ජයතිස්සගෙනි. ගීත රචනය සුගතපාල සෙනරත් යාපාගෙනි. ගායනය මල්ලිකා පෙරේරා (මියගිය)ගෙනි. මේ ඒ ගීතයයි.

“වනන්තරේ ගල් අරණේ විමානෙට

නිරන්තරේ යන ගමනේ නිමාවට

හෙමින් සැරේ මඟ අවුරා මුවාකොට

නිවන් පුරේ ගිනි තබලා විමානෙට

 

අකල් වැස්ස බිම දෙගොඩට ගැලුවාදෝ

පූදින මලට මළ හිරු රැස් හෙළුවාදෝ

ඉරණම සිනාසී මට පිටු පෑවා දෝ

මේ ගින්දරක් කවුරුන් මට දුන්නාදෝ

 

තනිකම මැකේ උණුසුම ඇති කුරුල්ලනේ

සැනසුම තිබේ මුදු මදු මල් පියල්ලේ

බිය සැක ලුහුබඳී සිටියත් සෙවිල්ලේ

මගෙ දිවි පැතුම හිස් ගුවනේ ඉඟිල්ලේ

1968 වසරේ තිරගත වූ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ අතර එහි එන ගීත තුනකට මියුරු ගී තනු නිර්මාණය කළේය. නිමල් වික්‍රමසේකර හා සුනන්ද මහේන්ද්‍ර ද මැල් (සුනන්ද මහේන්ද්‍ර) ගීත රචනා කර ඇති අතර එහි නන්දා මාලිනී, දේවානන්ද වෛද්‍යසේකර, මල්ලිකා පෙරේරා ගී ගයා තිබුණි. එහි එන මේ ජනප්‍රිය ගීතය ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර හා පිරිසය. ගීත රචනය නිමල් වික්‍රමසේකරගෙනි.

“සතුට විලයි සැපත මලයි

නෙළුවොත් මල අතින් එකයි

පමා වුණොත් මල පරවෙයි

ඉරට යටින් හඳට යටින්

කාලය පැන යනවා

ජයතිස්ස අලහකෝනුන් තනු හා සංගීතය නිර්මාණය කළ මේ ගීත ද වෙයි. විජේරත්න වරකාගොඩ ගැයූ ඇයි තවමත් මුලා වෙන්න ආශා, මිණිමුතු නැහැ මට, මල්ලිකා පෙරේරා ගැයූ ‘ගලක් පලා ගලක් දුටිමි, අම්මා අම්මා මේ ගීතයි.

නන්දා මාලිනී ගැයූ මේ ජනප්‍රිය ගීතය අලහකෝන්ගේ තනුවකි. ගීත රචනය රත්න හෙක්ටර් දිසානායකගෙනි.

‘කප් සුවහස් කල් පෙරුම් පුරා ගෙන

අනන්ත බාධක දුක් පීඩා විඳ

බවෙන් බවය යන මං සලකුණු දැක

ඔබව සොයා ආවා

මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ නන්දා මාලිනිය ගැයූ මේ ගීතයේ තනු නිර්මාණය අලහකෝනුන්ගේය.

කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි

නෑ නෑ මෙතෙක් පෙනුණේ

පද්ම තඩාගේ පුෂ්ප සුගන්දේ

නෑ නෑ මෙතෙක් දැනුණේ

ජයතිස්ස අලහකෝන් සංගීත ගුරුවරයකු ලෙස මරදානේ සංඝබෝධි විද්‍යාලයේ ද බොරැල්ලේ විද්‍යාවර්ධන විද්‍යාලයේ ද සේවය කොට ඇත. ජයතිස්ස අලහකෝන් ගැන මුල්වරට සටහනක් එන්නේ ලාල් ආනන්ද අබේධීර විසින් 2014 වසරේ ලියන ලද ‘මියැසි හරසර ; ශ්‍රී ලාංකේය ගීතයේ සුපෝෂණයට දායක වූ සංගීතඥයෝ’ කෘතියෙනි. මෙය සුසර පොතක් ලෙස ෆාස්ට් පබ්ලිෂින් වෙතින් ප්‍රකාශයට පත් වී ඇත.

ප්‍රවීණ ගායිකා මාලිනී බුලත්සිංහල මුල් වරට ප්‍රකට ගායනයකට සම්බන්ධ වන්නේ ‘සතර වරම් රජ දරුවෝ’ නාට්‍යයේ ගීතයක් ගයමිනි. මීට පෙර අවස්ථාවල ගුවන් විදුලියේ හා වෙනත් නාටකවල අත්වැල් ගායනයෙන් දායක වූ ඇයට හාපුරා කියා ගීයක් තනිවම ගයන්නට ලැබෙන්නේ එකී නාටකය තුළින් බව මේ කෘතියේ සඳහන් වෙයි.

ලාල් ආනන්ද අබේධීර තම කෘතියේ සඳහන් කර ඇත්තේ ජයතිස්ස අලහකෝන් ප්‍රමුඛ තමා විසින් ලියන ලද වික්ටර් දළුගම, සරත් බාලසූරිය, චන්ද්‍රදාස බෝගොඩ යන සංගීතඥයන්ගේ පාරිසරික සාධන සහ ශ්‍රවන සංවේදන ශක්‍යතා ඔස්සේ සංජානනය වීම් නිර්මාණාත්මක කාර්යයන් දක්වා වැඩුණු ස්වරූපය සංගීත විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමට කාල් ඊ. සීසෝ සංගීතමය මනස පිළිබඳ ඉදිරිපත් කොට ඇති නිර්ණායකයන් පාදක කොට ගනී. අදාළ සංගීතවේදීන්ගේ නිර්මාණ සමාජ ආර්ථික චලතාවයෙහි නිරූපණය ලෙස හඳුනා ගැනෙන්නේ මානව වංශ සංගීතවේදයේ පර්යාවලෝක කිහිපයක් භාවිත කොට ගනිමිනි.

(1) රටක පවතින්නේ තුලනාත්මක ආකල්පයක පිහිටා පිරික්සිය යුතු සංගීත ගණ සමූහයකි.

(2) සංස්කෘතියෙහි අනෙකුත් පාර්ශ්ව සමඟ සමීප සබඳතා ඇති කලාවකි.

(3) අවිච්ඡින්නතාවයෙන් යුතු වන නමුත් නිරන්තර වෙනස්වීම්වලට ද භාජනය වන්නකි.

(4) සංස්කෘතින් වෙන් කර දක්වන්නා වූත් සංස්කෘතික සම්බන්ධතාවලට හේතු කාරක වන්නා වූ සංසිද්ධියකි.

ඒ අනුව ජයතිස්ස අලහකෝන් එවන් සංඥාර්ථයෙක් වෙයි.

මේ මහා සංගීතවේදියා අවසන්වරට සංගීත අධ්‍යක්ෂණය කළේ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘හොරා පොලිස්’ චිත්‍රපටයේය. නාමෙල් වීරමුණිගේ හතරවෙනි තට්ටුව, අසිපත, මුංගෙං අං, ච්ධජබධප, ධ්ද බඩඥ අඪඨඩබ ධට ට්ධඤ බඩඥ ජ්චබඩඥප වේදිකා නාට්‍යවල ද ඔහු සංගීත අධ්‍යක්ෂවරයා විය.

ජයතිස්ස අලහකෝන් විවාහ වූයේ පේරාදෙණියේ අනුලා දිසානායක සමඟය. වැඩිමහල් පුතා වරුණ අලහකෝන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාය. වරුණී දමයන්ති, අරුණ, නුවන්, ගීතා, අනුරාධ පවුලේ සෙසු සාමාජික සාමාජිකයන්ය. ගීතා නැටුම් ශිල්පිනියකි. ‘විකෘති’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නීය.

1976 සැප්තැම්බර් 02 රාජ්‍ය චිත්‍රපට සංස්ථාව කෙටි චිත්‍රපට අංක 1 වැඩ පිළිවෙළ යටතේ සිංහල සිනමාවක් නිර්මාණය කිරීමේ වරම් ලැබූ තරුණ ශිල්පීන්ගේ කෙටි චිත්‍රපටයක් වූ ‘සිරිසේන සහ වයලීනය’ සිනමා කෘතියේ ප්‍රධාන නළුවා වූයේ ජයතිස්ස අලහකෝන්ය. මේ කෙටි චිත්‍රපටයේ වයලීනය සිය හදවතට තුරුලු කර ගත් ඔහු දහසක් සිතුවිලි තුළ රජ කළේය. වයලීනය ඔහුගේ හදවත විය. ආත්මය සංගීතය විය. මේ එම කෙටි චිත්‍රපටයේ තේමාවයි. අනුරුද්ධ විජේසේන අධ්‍යක්ෂණය කළ’සිරිසේන සහ වයලීනය’ කෙටි චිත්‍රපටයේ ජයතිස්ස අලහකෝන් සහ සෝමලතා සුබසිංහ ප්‍රධාන චරිත නිරූපණය කළහ. මෙහි පසුබිම් සංගීත නිර්මාණය ද අලහකෝන්ගෙනි.

ශ්‍රී ලාංකේය ගීතයේ සුපෝෂණයට දායක වූ මහා සංගීතවේදියා 2019 ජනවාරි 23 වෙනිදා මිය ගියේය.

 

 

 

‘සිරිසේන හා වයලීනය’ කෙටි චිත්‍රපටයේ ජයතිස්ස අලහකෝන් සිරිසේන ලෙස රඟපෑ අයුරු

 

 

 

 

 

 

‘සාමා’ චිත්‍රපටයෙන්

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.