පිරුණා හද සන්තානේ

සීගිරි කාශ්‍යප
සැප්තැම්බර් 5, 2019

මිගාර රාජද්‍රෝහියෙක් වූයේ ධාතුසේන රජතුමාගේ දියණියගේ ලේ හෙල්ලු නිසාය. එහෙයින් රජතුමා මිගාරව අල්ලා මරණ දඬුවම දීමට රාජපුරුෂයන්ව මිගාරගේ නිවසට යැවීය. මිගාරගේ මව වූයේ ධාතුසේන රජතුමාගේ සොහොයුරියයි. එහෙත් රාජදඬුවම කාටත් පොදුය. මේ රජතුමාගේ නීතියයි.

මිගාරව සොයා රාජපුරුෂයෝ ඔහුගේ නිවසට එන අවස්ථාවේ ඔහු නිවසේ සිටියද ඔවුන්ගේ ඇස නොගැටෙන සේ ඔහු සැඟවිය. රාජපුරුෂයන්ට ඔහුව සොයා ගැන්මට බැරිවී ආපසු හිස් අතින් හැරී ගියෝය.

රාජපුරුෂයන් ගිය පසු මිගාර නැවත නිවසට පැමිණීය. ඔහුගේ මව කීවේ කෙසේ හෝ රාජ උදහසට ලක් නොවී පැන ගොස් සැඟවී ජීවත් වන ලෙසටය. එවිට අවම වශයෙන් ජීවිතය හෝ රැකෙනු ඇතැයි ඇය විශ්වාශ ක⁣ළාය.

මිගාර යනු රජුගේ මහ ඇමතිය. ඔහු විවාහ වී සිටියේ රජතුමාගේ දියණිය සමඟය. ඔවුන් අතර ඇතිවූ ආරවුලක් හේතු කොට ගෙන ඇය මිගාර අතින් මිය ගියේ අත් වැරැද්දකින් විනා උවමනාවෙන් නොව. දැං කළ යුත්තක් නැත. මැණියන් කී ලෙස පළා ගොස් සැඟවී ජීවත් වී රජතුමාගේ කෝපය නිවුණු පසු පැමිණ සමාව ගත හැකිය. එහෙත් ඔහුට මැණියන්ව දමා යෑම ඉතාමත් දුක්බර විය. නමුත් මැණියන් ඔහුට බල කල නිසා, හැඬු කඳුළෙන්, ඔහු නිවසින් පිටවිය.

මිගාර පැන ගොස් ඇති බව ධාතුසේන රජු දැන ගත්පසු, රජුගේ සොහොයුරිය වූ මිගාරගෙ මවව අල්ලාගෙන පුලුස්සා මරා දමන ලෙස නියෝග කළේය. මෙයට ධාතුසේන රජුගේ පුතුන් දෙදෙනා වූ කාශ්‍යප හා මුගලන් විරුද්ධ වුවද, රජු තම තීරණය වෙනස් කළේ නැත. මෙය කළහොත් තම පියාට, ඔය අයුරින්ම පඩිසන් දෙන බවක් මුගලන් කීවද, රජු නොවේ තම තීරණය වෙනස් කළේ. රජුගේ අණ අනුව මිගාරගේ මවව පුලුස්සා මරා දැමීය. මෙය සැගවී සිටි මිගාරට ආරංචි වූ පසු, ඔහු බොහෝ සේ වික්ෂෝප වී, මෙහී පළිය ගන්නා බව තමාටම දිව්රා ගති.

ධාතුසේන රජුගෙ තීරණ ගැන කම්පා වූ මුගලන් කුමරු, වෙනත් ප්‍රදේශයකට ගියද කාශ්‍යප මාළිගාවේම රැදී සිටි⁣යේය. මිගාර හොර රහසේ මාළිගාවට පැමිණියේ මාළිගාවට එන ගැලක සැගවීගෙනය. ඔහු කෙළින්ම කාශ්‍යප ගේ කුටියට පැන කාශ්‍යපව මුණ ගැසුණි. එතැන් පටන් ඔහු ඔහුගේ සැලැස්ම ක්‍රියා කරන්නට පටන් ගති. මුලින්ම ඔහු කාශ්‍යප හා මුගලන්ව පටලවන්නට උත්සහා කළේ ධාතුසේන රජතුමා, රජකම මුගලන්ට දීමට යන බවත්, කාශ්‍යප යනු අවජාතක දරුවෙක් බවත් ඒත්තු ගන්වමිනි. මෙයින් කාශ්‍යප සැලුනි. මිගාරද මහ ඇමති ව සිටි හෙයින් ඔහු කී දෙය කාශ්‍යප විශ්වාශ කළේය.

බන්ධු ගුණසේකර යනු 'ඔබ දුටු දා' චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය රඟපෑ නළුවාය. ඔහු රඟපෑවේ ගාමිණි ෆොන්සේකාට විරුද්ධවය. ඒ 1965-66 වර්ෂයේදීය. එම කාලවකවානුවේම, ලංකාවේ ⁣ ඉතිහාසික හා සංස්කෘතික වටිනාකමින් යුත් දැවැන්ත තේමාවක් වූ සීගිරි පුරාණය අලළා සිනමා පටයක් කිරීමට පටන් ගති. කථාවේ බැරැරුම් කම දුටු ඔහු, මෙය අධ්‍යක්ෂණය කිරීමට ප්‍රේම්නාත් මොරායස්වද හවුල් කර ගති. බන්ධු ගුණසේකරටද අධ්‍යක්ෂණයේ ලා පෙර අත්දැකීමක් තිබුණේ නැත. එහෙත් ඔහු අතගැසුවේ නම් දැවැන්ත තේමාවකටය.

ලංකාවේ ඉපදෙන හැම පුරවැසියාම, සීගිරිය, හා එයට බැදුණු පුරාවෘත්තය දැන ගන්නෝය. එය මුලින්ම ඉගෙන ගන්නේ පාසැලෙනි. එහෙයින් බන්ධුට මේ තේමාව හරහා බොරු කිරීමට බැරිය. එවකට ලංකාවේ සිටි අතී දක්ෂ නළුවන්ව මෙම චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නට උත්සුක වූයේ ඒ නිසා වන්නට ඇත. කාන්තා චරිත ගැන එතරම් උනන්දුවක් නොදැක් වූ බන්ධු, චිත්‍රපටයේ ජීවය ගන්නට දෝ, දක්ෂතම නළුවන්ට පිරිමි චරිත භාර කළේය. කේ.ඒ.ඩබ්ලියු පෙරේරා හා සරත් විමලවීර එක්ව දෙබස් ලියු මෙය "සීගිරි කාශ්‍යප" ලෙස නම් කෙරිණි.

මිගාරගේ පළිගැනීමේ සැලැස්මට කාශ්‍යප අසුවිය. ඔහු රහසින් මිගාරව හමුවීමට, මිගාර සැගවී සිටි කැලෑවට ගියේ පිය රජතුමා සිරගත කොට රාජ්‍ය අල්ලාගැනීමේ කුමන්ත්‍රණය සැලසුම් කිරීමටය. ඉන්පසු එක් රැයක මිගාර මාළිගය තුළට ඇතුල්වූයේ කාශ්‍යප ගේ අනු දැනුම ඇතිවය. ඒ රැය ධාතුසේන රජුට අමිහිරි රැයක් විය. මිගාර හා කාශ්‍යප, රජුව අල්ලා සිරගත කළෝය. එමෙන්ම මුගලන්ව කෙසේ හෝ සොයා ගෙන රහසිගතව මරා දැමීමට ද ඔවුන් දෙදෙනා සැලසුම් කළහ. මෙය මුගලන්ට හිතැති නාථ නම් සෙනවියාගෙන් මුගලන්ට දැන ගන්නට ලැබී තිබූ අතර මුගලන් එතැනින් අනුරාධපුරයට පළා ගියේය.

මිගාර ,දිගින් දිගටම කාශ්‍යප ගේ සිත දුෂණය කරමින් ධාතුසේන රජු හා සිත බිඳවිය. ධාතුසේනට විශාල වස්තුවක් අයිති බව කියු මිගාර, එය මුගලන්ට දෙන්නට යන බවත් ,කාශ්‍යපට එයින් කිසිවක් නොලැබෙන බවක්ද කීය. මිගාර, රජුගෙන් වස්තුව ගැන ඇසූ විට රජු කිවේ ඔහුව කලාවැව ළඟට රැගෙන යන ලෙසය. කාෂ්‍යප සිතුවේ කලා වැවෙ වස්තුව සඟවා ඇති බවය. කලා⁣ වැවට ගිය ධාතුසේන රජ, වැවෙන් වතුර දෝතක් ගෙන , 'මේ තමා මා රැස් කර ගත් වස්තුව' යැයි කීය.

ධාතුසේන රජු මුසාවක් කියනු ඇතැයි සිතා, ඔහුව ගඩොලින් වසා මරා දමන්නට කාශ්‍යප අණ කෙරීය. මිගාරගේ මවව පුළුස්සා මරා දැමූ ධාතුසේන රජුට කර්මය පලදුන් අතර, මිගාරගේ පළියද සම්පූර්ණ විය.

රට වැසියන් කාශ්‍යප විසින් ධාතුසේන රජුට කළ දේට කැරලි ගසන්නට විය. එහෙයින් කාශ්‍යප ට නිදහසේ විසීමට බැරි විය. ඔහු සීගිරි පර්වතයේ මාළිගාවක් තනා එහී වෙසෙන්නට වූයේ, කවදා හෝ මුගලන් සේනාවක් ගෙන තමා සමඟ යුද්ධ වැදීමට එන බව නිත්‍ය වශයෙන්ම දැනගෙන සිටි හෙයිනි. සීගිරිය තමන්ට ආරක්ෂාව සපයන විශාල පව්රක් බව කාශ්‍යප ට වැටහුණි.

බන්ධු ගුණසේකර, චිත්‍රපටය තුළ ප්‍රධාන චරිත පහක් ඉස්මතු කර තිබුණි. ධාතුසේන රජ, මිගාර, කාශ්‍යප, ජයනාත් හා චන්ද්‍රදේවය. මිගාර චිත්‍රපටයේ මුල් භාගයේදී කැපී පෙනුනු අතර, චිත්‍රපටය අග භාගයේදී ජයනාත් හා චන්ද්‍ර දේව 'හයිලයිට්' විය. මේ දෙයින් සිදුවූයේ කාශ්‍යප චරිතය බාල වීමය. චිත්‍රපටය තුළ කාශ්‍යපට බොහෝ විට සිදුවූයේ මධු විත බොමින්, අන්තංපුර රූමත් ස්ත්‍රීන් සමඟ මනමාල කම් කරන්නටය. ඔහුව යට කරගෙන අනෙක් චරිත උඩට එන්නට වූයේ ඒ හෙයිනි. තිරනාටකයේ පමණක් නොව අධ්‍යක්ෂණයේ දුර්වල කම උඩ එය සිදුවූවා වන්නට ඇත. චිත්‍රපටය තේමා වූයේ කාශ්‍යප ගැන වුවද, කාශ්‍යපට වඩා ධාතුසේන රජු ප්‍රතාපවත් විය. සියල්ලටම වඩා ප්‍රධාන ලෙස කැපී පෙනුණේ ජයනාත්වය. ඒ ඔහුගේ පෞරුෂත්වය නිසා හා, ඔහුගේ රඟපෑම් වල තිබූ දක්ෂතාවය නිසා හෝ එසේත් නැත්නම් ඒ දෙකම නිසා යැයි සිතිය හැකිය.

රංගා, ධාතුසේන රජුට පක්ෂපාත වූවෙකි. කාශ්‍යප විසින් පිය රජතුමන්ව මරා , රජුට පක්ෂපාත රටවැසියාගේ ගෙවල් ගිනි තියන විට, රංගාගේ බිරිඳ ද එයට හසුවී මිය ගිය අතර, රංගා තම දියණිය වූ නයනාත්, අසල් වැසි රජු ට පාක්ෂික දෙපළකගේ පුත්‍රයෙකු වූ චන්ද්‍රාදේව වත් රැගෙන වනයට පැමිණියේ කාශ්‍යපගේ රාජසේවකයන්ගෙන් බේරීමටය. කුඩා චන්ද්‍රාදේවගේ දෙමාපියන් දෙදෙනාම ගින්නට අසුවී මිය ගොස් තිබුණි. කුඩාකාලයේ සිටම චන්ද්‍රාදේව හා නයනා රංගාගේ සෙවණේ කැලෑව තුළම හැදී යව්වනයට පත්වූ පසු ආදරවන්තයන් විය.

"පිරුණා හද සන්තානේ -

පිපුණු දෑසමන් මල් සහනේ

මැවුණා සුබ සිහිනේ

මැවුණා සුබ සිහිනේ

 

එතෙක් චිත්‍රපටය තුළ තම අනසක පතුරවා ගෙන සිටි මිගාරව, පසෙකට තල්ලු වී චන්ද්‍රදේව ගේ චරිතය ඉදිරියට එන්නට විය. චන්ද්‍රදේවව ජවසම්පන්න පුද්ගලයෙක් ලෙසය පෙන්වන්නට වූයේ. එතැන් පටන් චිත්‍රපටයේ 'හීරෝ' වූයේ චන්ද්‍රදේවය.

බන්ධු හා ප්‍රේම්නාත් ⁣,මුගලන්ගේ චරිතය 'හිඩන් හීරෝ' කෙනෙක් කර තිබුණි. එය එක්තරා අන්දමකට නිවැරදිය. ඒ ඉතිහාසය තුළද මුගලන් සැඟවනු වීරයෙක් නිසාය.

"සිගිරි කාශ්‍යප' චිත්‍රපටයේදී ත්‍රිකෝණාකාර ප්‍රේමයක් දකින්නට තිබුණී. ඒ චන්ද්‍රදේව, නයනා, හා ජයනාත් ගෙන්ය. නයනා මුලු හදින්ම ආදරය ක⁣ළේ චන්ද්‍රදේවටය. ජයනාත් ද නයනාට දැඩිව ආදරය කරන්නට වූ අතර, ඔහු නයනාව විවාහ කරගැන්මට ලක ලෑස්ති වී සිට්යේය. ඒ බව කාශ්‍යප රජු දැන ගෙන සිටි අතර, ඔහුද ඔහුගේ විවාහයට අශිර්වාද කළේය.

චන්ද්‍රදේව කැරලි කරුවෙක් ලෙසද චිත්‍රපට තුළ දිස්වෙයි. තමාව කුඩා කළ සිටම හදාවඩා ගත් රංගාට කාශ්‍යප රජුගෙන් සිදුවූ අසාධාරණයත්, එමෙන්ම තමාගේ දෙමාපියන්ව පුළුස්සා මරා දැමීමත් උඩ, චන්ද්‍රදේවටත් අවශ්‍ය වන්නට ඇත්තේ කාශ්‍යපව මරා දැමීමට විය හැක. චන්ද්‍රදේව කැරලිකරුවෙක් වූයේ ඒ නිසාය. එහෙත් ඔහු රංගා මෙන් තම කඩුව කොපුවෙන් එළියට අදිනුයේ යුක්තියට හා සාධාරණත්වයට බව නිතරම පවසයි.

කාශ්‍යපගේ පුරාවෘත්තිය තුළ අධ්‍යයනය කළ යුතු බොහෝ දේ තිබිණි. 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්', ' සැම්සන් ඇන්ඩ් ඩිලයිලා', ' කිං ඔෆ් කිංග්ස්', වැනි ලෝකයේ දැවැන්තම චිත්‍රපට හැදූ 'සිසිල් බී ඩි මෙයිල්' වැන්නන්ට උචිත 'ප්ලොට්' එකකි මේ කාශ්‍යප පුරාවෘත්තය. කාශ්‍යපගේ චරිතය තුළ,බොහෝ අසාමාන්න ජවයක් පෞරුෂයක් මෙන්ම හැලහැප්පීම් රාශියක් තිබුණි. නමුත් බන්දු හා ප්‍රේම්නාත් කාශ්‍යපව හරි හැටි හඳුනා ගෙන තිබුණේ නැත. ඒ නිසාය, ඔවුනගේ චිත්‍රපටය තුළ කාශ්‍යපව යටපත් කරගෙන, මිගාර, චන්ද්‍රදේව, හා ජයනාත් වැනි චරිත ඉස්මතු වූයේ.

චිත්‍රපටය පුරාවට චරිත ගණනාවක් සිටි හෙයින් එම චරිත නිසි ලෙස හසුරුවා ගැන්මට බන්ධු ගුණසේකර හෝ ප්‍රේමනාත් මොරායස් ගේ අධ්‍යක්ෂනයේ ලා අත්දැකීම් මද බව මුළු චිත්‍රපටය පුරාවටම පෙනුණි. එහෙයින් චරිත සියල්ලම අතරමං වූ බවක් විටින් විට දැනෙන්නට විය. එහෙත් ජීවයෙන් පිරූ තැන් නොතිබුනාම නොවේ. ඇතැම් දර්ශන සාර්ථක ලෙස නිර්මාණය වී තිබුණි. ධාතුසේන රජු ⁣ගඩොල් පස් තබා මරණ ජවනිකාව, එසේ සාර්ථක වු එක් අවස්ථාවකි.

සීගිරියට වී කම්සැප විඳමින් සිටින කාෂ්‍යප, මුගලන් සේනාවක් රැගෙන සටනට එන තෙක්ම දැන ගෙන සිට්යේ නැත. වහා රාජ සේනාව සමඟ කාශ්‍යප එම සටනට මුහුණ දුන්නද , කාශ්‍යප හා සේනාව සටනින් පැරදීය. මුගලන් රට අල්ලා ගත් අතර, ජයනාත් ,චන්ද්‍රදේව හා ඇතිවූ ද්වන්ධ සටනින් පසු චන්ද්‍රදේව අතින් මරුමුවට පත් විය. කාශ්‍යප රජු තම කඩුවෙන් තමාගේම ගෙල සිඳ ගනිමින් මරණයට පත් විය.

කාශ්‍යප ලෙස ගාමිණි ෆොන්සේකා නිවැරදිම තේරීම වුවද, ඔහුගේ චරිතය හරි හැටි සක්‍රිය කර තිබුණේ නැත. එහෙයින් අර ඉහත කී ලෙස කාශ්‍යප චරිතය යට ගියා පමණක් නොව, ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම්ද යට ගියේය. ඔහුව අබිභවා ධාතුසේන රජු ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති විශිෂ්ට රඟපෑමක නිරත වූ අතර, ජයනාත් ගේ චරිතය, ලැම්බට් මොරමුදලි විසින් තිරය තුළ අපූරු ලෙස ජිවමාන කර තිබුණි. එය බොහෝ අවස්ථාවන් හී කාශ්‍යප වූ ගාමිණි ෆොන්සේකාවද අබිභවන්නට විය. චන්ද්‍රදේව වුයේ හෙන්රි ජයසේනය. මතු පිටින් මල්ලව පොර ශූරයෙකුගේ දේහයක් නොතිබුණද, හෙන්රි හොද ජවයකින් එම චරිතය රඟපෑවේය. ගීතමය, මෙන්ම ප්‍රේමනීය ජවනිකාවන් තුළ හෙන්රිගෙ පොඩි කෝඩුකාර පෙනුමක් තිබුණද, සටන් ජවනිකා තුළ ඔහු හොද හැටි පුහුණු වී ඇති බවක් දැණුනි.

මිගාර වූ ශේන් ගුණරත්නට ⁣රඟපෑමට විශාල පරාසයක් තිබුණි. දෙබස් කියන විට, ඔහු මුහුණ වෙනස් කිරීම් තුළ ගැටලු තිබුණද, ශේන් තම පෞරුෂත්වය චිත්‍රපටය පුරාම රඳවා ගෙන තිබුණි. සේනාධීර රූපසිංහ රංගා වූ අතර, මුගලන් ලෙස රඟපෑවේ ඩොන් ප්‍රේමරත්නය.

නාගසේන ලෙස පුජිත මෙන්ඩිස් ප්‍රබල චරිතයක් සාර්ථකව රඟපෑවේය. ජෝ අබේවික්‍රම රාළ වූ අතර, බැප්ටිස්ට් ප්‍රනාන්දු රාමදත්වා විය. එම්.ඒ.සිම්යොන් දිගා ලෙස රඟපෑ අතර, ප්‍රේමා ගණේගොඩ, සුනිලා ජයන්ති, නන්දා වීරක්කොඩි, කාන්තා චරිතවලට පණ දුනි.

සංගීතය එම්.කේ.රොක්සාම් හා ටී. එෆ්. ලතීෆ් ගෙනි. විලියම් ඔලම්ස් හා ඒ.වී.එම්.වාසගම් කැමරාව මෙහෙය විය.

චිත්‍රපටය තරමක් මන්ද ගාමි වීමත්, බොහෝ දෙබස් හා ජවනිකා නාට්‍යානුශාර වීමත්, හොඳ තනු සහිත ජනප්‍රිය තාලයේ ගීත නොමැති වීමත්, ප්‍රවීණ නළු නිළියන්ගෙ පවා ⁣ඇගට දැනෙන රඟපෑමක් නොමැති වීමත් නිසා, 'සිගීරි කාශ්‍යප ' චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට එතරම් ගෝචර නොවූවද, ලාංකේය සිනමා වංශ කථාව තුළ 'සීගිරි කාශ්‍යප ' චිත්‍රපටය තරමක් ඉස්මතු වී පෙනෙන බවක් නම් කිව යුතුය.

1966 අගෝස්තු 7 වෙනිදා සිට තිරගත කිරීම් ආරම්භ කළ 'සීගිරි කාශ්‍යප ' චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෝල්ටර් මේඩිස් සමඟ එම්.ඒ.සිමියොන්ය. පසුකළෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 'ද ගෝඩ් කිං' කියා ඉංග්‍රිසි භාෂිත චිත්‍රපටයක් නිර්මාණය කළේද මේ සීගිරිය පුරා වෘත්තාන්තයමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.