සංත්‍රාසය හා කුතුහලය මුසු වූ හුස්ම

ඔක්තෝබර් 17, 2019

සිනමාපට හෝ සිනමාපට මාදිලි අරභයා පැරණි තාලයේ අර්ථකථන සැපයීම අද දවසේදී අතිශයින්ම අවදානම් සහගතය. ඒ පූර්ව නිගමන ඉඳුරාම පටහැණි ඉසව්වක් කරා යාමට එපමණ කාලයක් ගත නොවීම ද නිසාවෙනි. එසේම පශ්චාත් අර්ථකථන ඉපැදීමට ඇති හැකියාව සුළු කොට තැකීමට ද නුපුළුවන. සිනමාව තවදුරටත් කලාත්මක සම්භාවනීය හෝ විනෝදාස්වාදයට අවකාශ සලසා දෙන මඟක් සේ වර්ග කිරීම තර්කානුකුල නොවන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. කෙසේ නමුදු වෙනස්වීම් පවසන්නේ ක්ෂණික අරමුණු කරා යාම කෘත්‍රිම තීරණ විය හැකි බවයි. මෙහෙයින්ම සිනමා විචාරයට වුව සිදු වන්නේ වරෙක නිරීක්ෂකයකුගේ භූමිකාව නිරූපණය කරන්නටය. තවත් විටෙක අධීක්ෂණ කාර්යයක නිරත වන්නටය.

කවර තත්ත්වයක් මධ්‍යයේ වුව සිනමාපටයක ප්‍රමිතිය කෙරෙහි ඇති සැලකිල්ල අවප්‍රමාණ වීම වළක්වා ගත යුත්තකි. මේ යම් සිනමාපටයක්, සම්මත සිනමානුරූපී ස්වභාවයෙන් සමන්විත විය යුතුය යන ආකල්පය ම නොවන වග සැලකුව මනාය. ඇතැම් විට ඒ ඒ සිනමාපට හෝ සිනමාපට මාදිලි අභ්‍යන්තරයෙන්ම ගොඩනැංවෙන ප්‍රමිතිය නොවැදගත් නොවන්නට පුළුවන.

සුදේශ් වසන්ත පීරිස්ගේ අභිනව සිනමා නිර්මාණය වන ‘හුස්ම’ නරඹා හමාර වනවිටදීම උක්ත අදහස් පැන නඟින්නට ඇති හැකියාව අති මහත්ය. ලාංකේය සිනමාවේ ගෙවුණු වසර කිහිපය තුළදී සිනමාකරුවකු ලෙස සුදේශ් ක්‍රියා කළේ සුලබ විනෝදාත්මක අරමුණු සමඟ එකඟ වෙමිනි. මෙතැනදි ඔහු ප්‍රමුඛ ආකාර ද්විත්වයක් පෙන්නුම් කළ වග පෙනේ. පළමු ආකාරය වන්නේ වඩා සංවිධිත ආස්වාදයක් ස්වකීය ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ලබා දෙනු පිණිස දැක් වූ කැමැත්තයි. දෙවන ආකාරය වන්නේ සංත්‍රාසය, කුතුහලය දනවන ඉන්දියානු සිනමාපට ඇසුරට දැක් වූ කැමැත්තයි.

නිසැක වශයෙන්ම ‘හුස්ම’ සුදේශ්ගේ පූර්ව සිනමා පිවිසුම් සිහිපත් නොකරන සුලුය. නමුත් ඉන්ලද අත්දැකීම් හා පරිචය ඔහු ‘හුස්ම’ට එක් කොට ඇති අන්දම රහසක් නොවේ. විශේෂයෙන්ම ‘හුස්ම’ විවරණයේදී සුදේශ්ට අගතියක් නොකිරීම කෙරෙහි ද අවධානය යොමු කරන්නට සිදුවේ. එනම් සුදේශ්ව කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමක් නොවේ. ඔහුට හිමි නිසි තැන ලබාදීමේ අභිප්‍රායක් පමණි.

‘හුස්ම’ සංත්‍රාසය හා කුතුහලය සේම භීතිය දනවන සිනමාපට නරඹන කිසිවකුටත් ආගන්තුක නොවන්නකි. නමුත් මෙසමයේ මෙබඳු සිනමාපට මෙරට සිනමා ශාලා කරා පැමිණෙන්නේ තරමක් අඩුවෙනි. බොහෝ විට මේ ආකාරයේ නවතම සිනමාපට නරඹන්නට ප්‍රේක්ෂකයා තෝරා ගන්නේ රූපවාහිනී යන්ත්‍රයයි. නොඑසේ නම් පරිගණකයයි. එසේත් නැතහොත් අතැති ජංගම දුරකථනයයි. ප්‍රශස්ත සිනමා අත්දැකීමක් ඉන් නොලැබෙන බව සත්‍යයකි. ඇත්ත වශයෙන්ම සංත්‍රාසය, කුතුහලය හා භීතිය බඳු අත්දැකීම් ප්‍රමාණයෙන් කුඩා තිරයක් ඔස්සේ දැනවීමට ගන්නා හැම පියවරක්ම ප්‍රශ්නකාරීය. ඊට වඩාත් සුදුසු අඳුරු කරන ලද ශාලාවකි. දැවැන්ත රූප රාමු චලනය වන පුළුල් තිරයකි.

‘හුස්ම’ නරඹන පළමු වටයේදීම ප්‍රේක්ෂකයා තුළ පැන නැගෙන අදහසක් වන්නේ මේ සත්‍ය වශයෙන්ම සිදු විය හැක්කක් ද යන්නයි. ජනාදරප්‍රාප්ත සිනමා තාරකාවක සවස් කළ පැවැති උත්සවයක් අතරතුර හදිසියේ මිය යාම, ඇගේ දේහය පෞද්ගලික රෝහලක මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීම, එය දකිනු රිසියෙන් එන මෘත ශරීරාගාර භාරකාර තරුණයා හා ඔහුගේ මිතුරන්ගේ ඇවතුම් පැවතුම්, ඉන් දෙදෙනෙකු ඈ සමඟ රමණයේ යෙදීම, එතෙක් සිහි විසඥව සිටි ඈ පියවි සිහිය ලබා සියල්ල උඩු යටිකුරු කිරීම හරහා දිවෙන ‘හුස්ම’ දෙහෝරාවකට පමණ පසු නිමා වන්නේ බිහිසුණු මිනිස් ඝාතන ත්‍රිත්වයකිනි. ප්‍රේක්ෂකයන් මේ කාලවකවානුව තුළදී සිනමා ශාලාවේ රඳවා තබා ගන්නට සුදේශ් සමත් වෙයි. ඇතැම් ප්‍රේක්ෂකයකු තවදුරටත් සිය අසුනේම රැඳී සිටින්නේ සිනමාපටය අහවර වූ බව නොදැනය. වික්ෂිප්තවය. මෙබඳු සිනමාපටයක් නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන වග ද අමතක නොකළ යුත්තකි. විශ්වසනීයත්වය පිළිබඳ සාධකය ප්‍රමාණවත් මට්ටමකින් සාක්ෂාත් කර ගැනීම සිනමාකරුවාගේ මූලික හා වැදගත් කාර්යයක් වනු ඇත. සුදේශ් මේ පිළිබඳ අවබෝධයකින් පසු වූ බව නම් පැහැදිලිය. පූර්ව සිනමා අත්දැකීම් ඊට පිටුපසින් පවතින අන්දම ද පැහැදිලිය. කෙසේ නමුත් ඔහු විසින් විශ්වසනීයත්වය තවදුරටත් සාක්ෂාත් කර ගනු ලැබිය යුතුව තිබිණ.

කාලය හා අවකාශය අතර වඩා තාර්කික සම්බන්ධයක් සහතික කර ගැනීමේ වුවමනාව ඉදිරියේ සුදේශ් තරමක අවුලකට ලක් වූ සැටියකි. අවස්ථා ද්විත්වයකදී මෙකරුණට අදාළ ස්ථාන දැක ගත හැකිය. පළමුවැන්න වන්නේ නිළිය ඝාතනය කොට නීතියෙන් ගැලවීමට එක් තරුණයකු දක්වන කැමැත්ත ඕනෑවට වඩා දෝලනයවීමයි. ඔහු එම කාර්යය ඉටු කළේ නම් සිනමාපටය තවදුරටත් පවත්වා ගැනීම දුෂ්කරය. දෙවැන්න වන්නේ නිළිය ඝාතනය කොට මෘත ශරීරාගාරයෙන් පිටව යන තරුණයන් දෙදෙනා යළි මෘත ශරීරාගාරය තුළට එන මිනිත්තුවක පමණ කාලය තුළදී දෙවන වරටත් පුනර්ජීවනය ලද නිළිය නැඟී සිටිනු දක්නට ලැබීමයි. දෙවරක්ම සිහි විසඥ වූ, දෙදෙනකුගේම රුදුරු රමණයට ලක් වූ දෙපයින් නැඟී සිටීමට ද අපොහොසත් යුවතියක මිනිත්තුවකදී නැඟී සිට ඊළඟ මිනිත්තුවේදී බිහිසුණු අන්දමින් දෙදෙනෙකු ඝාතනය කිරීම තත්‍ය ලෝකයේ සිදුවන්නට ඇති හැකියාව අතිශයින්ම සීමිතය. එසේම පිටතට ශබ්ද ගමන් නොකළ ද විදුලි ආලෝකය මධ්‍යයේ මෘත ශරීරාගාරය තුළ සියල්ල සිදුවීම ද ප්‍රශ්න කළ හැක්කකි. මන්ද ඇතුළත හා පිටත අතර වීදුරුවක් ඇති නිසාවෙනි.

මේ ඔස්සේ ‘හුස්ම’ පිළිබඳ අන් අදහස් දැක්වීමකට ඉඩ හසර විවර වේ. එනම් ‘හුස්ම’ තත්‍ය ලෝකයම නිරූපිත සිනමාපටයක් නොවන බවය. කල්පිත ලෝකයකට අදාළ සිදුවීම් සමුච්චයක් අන්තර්ගත සිනමාපටයක් ද විය හැකි බවය. ඉහත දී මතු කළ ප්‍රශ්නය මෙතැනටත් සම්බන්ධ වේ. ඒ ‘හුස්ම’ හි සිදුවීම් සමුච්චය සත්‍ය වශයෙන්ම සිදු විය හැකි ද යන්නයි. තත්‍ය ලෝකයේදී මිය ගිය ස්ත්‍රීන් හා රමණයේ යෙදෙන පුරුෂයන් ඉඳහිට හෝ හමුවන වග රහසක් නොවේ. සුදේශ් කිසි විටෙකත් මෙබඳු පුරුෂයන්ගේ ජීවිත විවරණයට සූදානම් නොවන බව පෙනේ. ස්ව කැමැත්තෙන්ම මුහුණ දෙන අභියෝගයක් ඔහුගේ ප්‍රවිෂ්ටයට අදාළය. ඒ තත්‍ය ලෝකය හා කාල්පනික ලෝකය අතර සංවාදයක් ගොඩ නැංවීමට සමාන්තරවය. කෙසේ නමුදු ‘හුස්ම’ සංත්‍රාසය හ කුතුහලය ඔස්සේම දිවෙන හෙයින් ඊට ලැබෙන්නේ පුළුල් අවකාශයකි. එසේම අනපේක්කෂිත මොහොතකදී ස්ත්‍රීන් හා පුරුෂයන් ක්‍රියා කරන පිළිවෙළ පසුපස ඇති නොයෙකුත් සාධක පිළිබඳ විවරණයකට ද ‘හුස්ම’ ඇරියුම් කරයි. අවශ්‍ය නම් ස්ත්‍රියට එරෙහි පුරුෂ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාවතකට ද එතුළ ඉඩක් පවතී. සුදේශ් මේ සියලු අදහස් හා යෝජනා තිබියදීම ‘හුස්ම’ සංත්‍රාසය හා කුතුහලය දනවන සිනමාපටයක් සේ ඉදිරිපත් කරයි.

මූලික සිදුවීම් පමණක් රූප රචනයට විෂය කොටගෙන ඇති තමන්ගේම තිර නාටකය මත සිනමාපටය රඳවන්නට සිනමාකරු සුදේශ් පියවර ගෙන තිබේ. රාත්‍රියේ පැය කිහිපයක් තිස්සේ පෞද්ගලික රෝහලක මෘත ශරීරාගාරය තුළ හා ඒ ආශ්‍රිතව ගොඩ නැගෙන සිදුවීම් සමුච්චයක් දෙහෝරාවකට කිට්ටු ධාවන කාලයකින් යුත් සිනමාපටයකට ගොනු කිරීමේ වුවමනාව සුදේශ් විසින් සාක්ෂාත් කරගනු ලබන්නේ තිර නාටකයේ සහයෙනි. පෙර සඳහන් කළ විශ්වාසනීයත්වය පළුදු වන අවස්ථා කිහිපය හමු නොවුණේ නම් ‘හුස්ම’ තිර කාටකයට මීටත් වඩා අගැයීමක් ලබා දෙන්නට ඉඩ ප්‍රස්ථාව සැලසේ. ඒ සංත්‍රාසය හා කතුහලය භීතියේ දායකත්වයෙන් ද සනිටුහන් වන තිර නාටකයක්ය යන හඳුන්වා දීම යටතේය.

ප්‍රධාන චරිත සතර සිනමාපටය පුරාම දැකගත හැක්කේ අතිශයෝක්තියෙන් ගෙනහැර පෑමකින් තොරවයි. මෙතැනදී එක් තරුණයකුගේ භූමිකාව නිරූපණයට ආ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි තරමක් ඉදිරියෙන් සිටින අන්දම පෙනේ. මරුවා සමඟ පොර බදන කළ පුබුදු චතුරංග ද සිනමාපටයේ අරමුණු වටහා ගැනීමට උනන්දු වෙයි. දසුන් පතිරණ මෙහිලා ප්‍රකට කරන්නේ ඔහුගේ සැබෑ සමත්කම් නොවේ. චමත්කා ලක්මිණි තවමත් නවක සිනමා රංගන ශිල්පිනියකය යන්න ඇත්තය. නමුත් සිනමා කාරකාවගේ අභියෝගාත්මක භූමිකාව නිරූපණයට පසුබට නොවීම හේතුවක් කොටගෙන වඩා සංකීර්ණ හා ගැඹුරු භූමිකා ආනාගතයේදී ඇයව අමතන්නට ඉඩ තිබේ.

‘හුස්ම’ සිනමාවේ පැවැත්ම කෙරෙහි ඓන්ද්‍රියව බලපාන කාරණයක් වන විවිධත්වය වෙනුවෙන් පෙනී සිටින සිනමාපටයකි. මෙතැනදී සුදේශ් පුළුල් ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා නොකරන හැඩය. බොහෝ විට ‘හුස්ම’ වරක් හෝ අවශ්‍යම නම් තවත් වරක් නරඹනු ඇත්තේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් වන්නට පුළුවන. ස්ත්‍රී ශරීරාංග සමහරක් සනිටුහන් කිරීම හා රමණ ජවනිකා නිසා පවුලේ ප්‍රෙක්ෂකයන් කෙසේවත් ‘හුස්ම’ නරඹනු පිණිස සිනමා ශාලා කරා නොපැමිණෙනු ඇත. මෙනිසා වැඩිහිටි පුරුෂ ප්‍රේකෂක කණ්ඩායම හා හුදෙකලා ප්‍රේක්ෂකයන් ‘හුස්ම’ ගන්නට සිනමා ශාලා කරා පැමිණීම සහේතුකය. සියලු ප්‍රේක්ෂක කණ්ඩායම් අමතන ආකාරයේ සිනමාපටම නිර්මාණය විය යුතු නොවේ. ජීවිතය හා සමාජය පිළිබඳ නවඥානයක් නොසපයන්නේ වුව ද ‘හුස්ම’ බඳු සිනමාපට සිනමා වෙළෙඳපොළ තුළ සක්‍රීය වීම සෘජුවම බැඳෙන්නේ සිනමාවේ පැවැත්ම සමඟිනි. එසේම සිනමා ශාලා කරා නොඑන සිනමා ප්‍රේක්ෂකයන් අමතන්නට ද ‘හුස්ම’ බඳු සිනමාපට යම් පමණකින් හෝ සමත් වනු ඇත. මන්ද ‘හුස්ම’ කෙසේවත් කුඩා තිරයක් අබියස සැදී පැහැදී සිටිමින් නැරඹිය හැකි හා නැරඹිය යුතු සිනමාපටයක් නොවන හෙයිනි.

තමා විසින්ම සාදා ගනු ලැබූ පවුරෙන් පැන යන්නට සුදේශ් තුළ අවිඥානක වුවමනාවක් තිබූ බව සඳහන් එකම අවස්ථාව මඟ හැර යා යුතු නොවේ. පළමුවර මියගිය හා දෙවැනි වර මරා දැමූ සිනමා තාරකාව ඇත්ත වශයෙන්ම ජීවත් වන බව සැකහැර දැනගත් මෘත ශරීරාගාර භාරකාර තරුණයා සිය සමු ගැනීමට ප්‍රථම ඇය අමතා කියා සිටින්නේ මිය ගියා සේ සිටින ලෙසයි. අර්ථ කිහිපයක්ම මෙතැනදි ඉස්මතු වේ. පළමු කොටම ඇගේ ජීවත් වීම අපේක්ෂා කළ ඔහුගේ හැඟීමයි. දෙවනුව ඇගේ ජීවිතය සුරක්ෂිත කළ යුතු බවට වන ප්‍රේක්ෂකයන්ගේ අභිප්‍රායයි. තෙවනුව පුරුෂ බල අධිකාරියේ යළි පැමිණීමක ඉඟි බැහැර නොකිරීමයි. කෙසේ නමුත් සුදේශ් යථෝක්ත පවුර අතික්‍රමණයට සුදානම් වන සෙයක් නොපෙනේ. සිනමාවේ විවිධත්වය අවධාරණය කරමින් සුදේශ් ‘හුස්ම’ නිමා කරන්නේ කිසිසේත්ම මඟහැර යා නොහැකි තවත් කාරණයක් ද ප්‍රේක්ෂක අවධානයට ලක් කරමිනි. එනම් සිනමා තාරකාවට ප්‍රාණ වායුව සපයනු ලබන්නේ ඇගේ පහස ලබා පසුව ඝාතනයට පෙලඹෙන තරුණයන් දෙදෙනා විසින් යන්නය.

මේ සියලු දෑ සුදේශ්ගේ වපසරියටම සිමා වීම හේතු කොටගෙන ‘හුස්ම’ නවතින්නේ ‘හුස්ම’ ප්‍රතිනිර්මාණයට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගත හැකි බව ඉඟි කරමිනි. ඊට උත්සුක වන සිනමාකරුවකුට ද අනුකාරක චෝදනාව එල්ල වීමට ඉඩ තිබේ. එහෙත් සිනමාවේ විවිධත්වය, එහි පැවැත්ම කෙරෙහි බලපාන මූලිකම සාධකයක්ය යන්න එතැනදී නොඅනුමානවම සලකා බැලිය යුත්තකි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.