අඳුරු වලාකුළු මත ඇඳී රිදී රේඛා

දෙසැම්බර් 12, 2019

ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය “අඳුරු වලාකුළු”

තිර රචනය සහ අධ්‍යක්ෂණය -ගයාන් ප්‍රනාන්දු
නිෂ්පාදනය -ශ්‍රියානි ප්‍රනාන්දු සහ අජිතා ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය -චමෝද් ජයසංඛ
රංගනය -සවිෂ්ක ඉරෝෂන්,රොෂෙල් ෂෙනාලි,මිල්ටන් ප්‍රනාන්දු, දිනේෂ් පුෂ්පකුමාර
සංස්කරණය -ගයාන් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය -චමින්ද සම්පත්
සංගීත අධ්‍යක්ෂණය-කෙවිල් මෞලි
වර්ණ සංයෝජනය -ගයාන් ප්‍රනාන්දු, දිස්නා නූර්-දින්
දර්ශන සම්බන්ධතා -කසුන් රුක්ෂාන්


මෙවර ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය, හොඳම නළුවා (සවිෂ්ක ඉරෝෂන්), හොඳම සංස්කරණයට හිමි සම්මාන දිනාගනිමින් ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර වුයේ “අඳුරු වලාකුළු” කෙටි සිනමා සිත්තමයි. ඒ සුවිශේෂී ජයග්‍රහණයට හදවතින්ම සුභපතමින් සරසවිය අපි ඔවුන් වෙනුවෙන් මේ අවකාශය වෙන් කළෙමු. මේ සුහද පිළිසඳර “අඳුරු වලාකුළු” අධ්‍යක්ෂක ගයාන් ප්‍රනාන්දු සහ එහි කැමරා අධ්‍යක්ෂක චමෝද් ජයසංඛ සමඟ ය. සමස්තයක් ලෙස ඔවුන්ගේ අදහස් මෙසේ සටහන් කරමු.


අඳුරු වලාකුළුවල තේමාවත් ඇත්තටම අඳුරක්ද?


ඇත්තටම ඔව්. මේ චිත්‍රපටයට අපි තේමා කර ගත්තෙ දරිද්‍රතාවය. ඒ කියන්නෙ මිනිසුන්ගෙ මානසික දරිද්‍රතාවය වටා තමයි අපේ කතාව ගොඩනැඟිලා තියෙන්නෙ. ගොඩක් අය කරන්නෙ මිනිස්සුන්ගෙ හෞතික දරිද්‍රතාවය වටා කතා ගොඩනඟන එක අපේ කතාවේත් එය පෙන්නුම් කරනවා. නමුත් අපි වැඩි අවධානයක් යොමු කළේ මිනිසුන්ගෙ මනස විග්‍රහ කරන්න. මේ චිත්‍රපටයේ යටින් දිවෙන ගැඹුරු අර්ථය එයයි. මෙහි නිමාවට අපි යොදා ගත්තේ ලෝවැඩ සඟරාවේ කවියක්. සමහර මිනිසුන්ගේ ජීවිත වටා ඇති අන්ධකාරය එහි ගැබ්වෙලා තියෙනවා.
“මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ- කුස් පිරුමක් පලයක් නොලබන්නේ ලෙස ඒ සැපතෙහි ලොබ නොසිතන්නේ- දොස් නොපෙනෙනු මිස දුකමයි වෙන්නේ”
මේ චිත්‍රපටය අරකාවිල නර්තන ආයතන‍යේ (ඒච්ජ්ඊ) 10 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ කෙටි හා වාර්තා චිත්‍රපට තරඟයේ දී ද ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා. ඉතිං අපි හිතුවා මෙවර යෞවන සම්මාන උලෙළටත් එය ඉදිරිපත් කරන්න. ඇත්තටම මුලින් හිතුවෙ නෑ මේ වගේ ජයග්‍රහණයක් ලැබෙයි කියලා. අද ලැබිලා තියෙන මේ ඇගයීම අපේ ගමනට ඇත්තටම විශාල ශක්තියක් වුණා.


මෙහි චරිත තෝරාගැනීම සහ වර්ණ සංයෝජනය ගැන යමක් සඳහන් කළොත්,


අපි හිතනවා මේ සඳහා සුදුසුම චරිත ද්විත්වය අහම්බෙන් වගේ හමුවුණා කියලා. අපි ගන්න හිටියෙ වෙන දරුවෙක්. කුඩා පිරිමි දරුවාගේ චරිතයට. නමුත් ඒ දරුවා රූගත කරන්නට ගිය පළමු දින සිටියේ නැහැ. සත්‍ය වශයෙන්ම දරිද්‍රතාවයේ පීඩනයට ගොදුරු වෙලා සිටින අය මෙහි රඟපාන්නේ. ඇත්තටම එය රඟපෑමක් කියලා කියන්නත් බෑ. එය හරිම තාත්ත්විකයි. විචිත්‍ර වර්ණ සංයෝජනයක් මෙහිදී යොදා ගත්තේ නැහැ. චරිත සහ සිදුවීම් මෙන්ම කතා තේමාව ඔපවත් තරන්නයි ඒ විදිහට වර්ණ භාවිතය සිදු කළේ.


නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබ මුහුණ දුන් අභියෝගත් ඇති?


මෙහි ධාවන කාලය විනාඩි 7 යි තත්පර 6යි. ඒ කාලය තුළ උපරිම දෙයක් කිරීම අපිට අභියෝගයක් වුණා. අපි උදේ පාන්දර ගිහිං රූගත කිරීම් සිදු කළා. සමහර දවස්වලට කන්න බොන්නවත් තිබුණෙ නෑ. ගොඩක් දුර කැමරා සහ බඩු උස්සගෙන පයින්ම යනවා. ඒ වගේම ප්‍රාග්ධනය පිළිබඳව ප්‍රශ්න තිබුණා. නමුත් අද ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් නැවත නැවත කිරීමට ආශාවක් ඇතිවෙනවා. මුලදී ගෙවල්වලින් වුණත් මේ ගැන ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. අද ඒ අයත් ගොඩක් සතුටු වෙනවා. හිත් රිදීම්ද බොහෝ අවස්ථාවල ඇතිවුණා. සමහර අය කීවා “ඕකට සම්මාන හම්බවෙන්නෙ නෑ” නැගිටලා යන්න කියලා. නමුත් අපි තරඟ කරා.

බොහෝ අය හිතන්නේ හොඳ නිර්මාණයක් කරන්න ලොකු මුදලක් ඕනෙ කියලා. නමුත් එහෙම නෑ. උත්සාහය තියෙනවානම් හොඳ දෙයක් කරන්න පුළුවන්. චරිත හසුරුවන්න බොහෝ අපහසු වුණේ නැහැ. මෙහි රූප රාමු සහ සිදුවීම් බොහොමයක් ස්වභාවිකයි. මේ දරුවන් ඇත්තටම ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිත. මේ සඳහා සමාජයේ අවධානය යොමු වෙන්න ඕනෙ. ඔවුන් ගෙවන්නේ රේල්පාර උඩ අනපේක්ෂිත ජිවිත. අපි කැමරාකරණයේදී රූප රාමු සහ කැමරා කෝණ යොදා ගත්තෙ ඔවුන්ගේ ව්‍යාකූල මනස නිරූපණය වන ආකාරයට.


චිත්‍රපටය රූගත කරන කොට අමතක නොවන සිදුවීම් එහෙම වුණේ නැද්ද?


අපි චිත්‍රපටයේ දර්ශනතල සඳහා තෝරාගත්තේ කොටුව, මොරටුව සහ පානදුර. රූගත කිරීම්වලදී අපිට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒවා රසවත්ම කියන්නත් බෑ. නමුත් අමතක නොවන දේවල්. (සිනාසී) අපේ පෙනුම නිසාද මන්දා අපි ත්‍රස්ත්‍රවාදියෝ කියලා හිතාගෙත අපිව නිතරම ආරක්ෂක නිලධාරීන් විසින් පරික්ෂාවට ලක්කළා. ඇත්තටම මාධ්‍යවේදීන්ට වගේ අපිටත් අනන්‍යතාවයක් පිළිබඳව හැඳුනුම්පතක් තිබුණානම් කියලා වෙලාවකට හිතුණා. මීට පෙර “ඊඩඥ චපබ ධට තඪටඥ” කියලා චිත්‍රපටයක් නිර්මාණය කළා ජර්මනියේ චිත්‍රපට උළෙලක් සඳහා. එය ජර්මනියට ඉදිරිපත් කරන්න හැකි වුණත් ලංකාවට ඉදිරිපත් කරන්න නොහැකි වුණා. පරිගණකයට වෛරසයක් ඇතුළු වීම නිසා එය අහිමි වී ගියා. ඇත්තටම එය අමතක නොවන සිදුවීමක් සහ කනගාටුදායක සිදුවීමක්.

සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සහ ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔබ වඩාත්ම කැමති අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි සහ සංජීව පුෂ්පකුමාර යන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට මම වඩාත්ම කැමතියි. ඔවුන්ගේ නිර්මාණ බලද්දි ඇතැම්විට හිතෙනවා මේ අපේ කතාවද කියලා.බොහෝ පිරිසක් කරන්නේ අනුන්ගේ නිර්මාණ පිටපත් කරන එක. නමුත් මේ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ තුළ පවතින්නේ කොහෙන්වත් අනුකරණය නොකරපු ජීවිතයේ පිටපතක්. සහ එවැනි නිර්මාණ සිතන්නට බොහෝ දේ ඉතිරි කරනවා.

ඊට අමතරව නිර්මාණය කර ඇති නිර්මාණ සහ ඉදිරි බලාපොරොත්තු “යථාර්ථය” සහ “ඊඩඥ තඪටඥ” යන චිත්‍රපට නිර්මාණය කළා. පෝය දිනයට විකාශය වන නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණ දෙකම ඉන්දියානු චිත්‍රපට උලෙළක් සඳහා අනුමත වී තිබෙනවා. ඉදිරියට “කලුවර අහස” නමින් දීර්ඝ චිත්‍රපටයක් නිර්මාණය කරලීම සඳහා බලාපොරොත්තු වෙනවා. “සංස්කාර” සහ “ප්‍රතිම්භ” නමින් තවත් නිර්මාණ ද්විත්වයක් කරලීමට සැලසුම් කරමින් ඉන්නවා. “ඛධධථ ටඪතථ ර්‍ථපචඤභජබඪධද” නමින් ස්ටූඩියෝ එකක් පටන් අරන් තියෙනවා.ඕනෑම කෙනෙකුට වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කර ගැනීමට එය විවෘතයි.

ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ඔබ වැනි ආධුනිකයන්ට යමක් කියනවානම් තමන් විසින්ම දෙයක් කරන්න ඕනෙ කියලයි අපි කියන්නේ. අනින් අයව අනුකරණය කරන්නෙ නැතුව. මුලින්ම අපිත් කැමරාවක්වත් අල්ලන්න දැනගෙන හිටියෙ නෑ.(චමෝද් සිනාසී පවසයි.) මහන්සියෙන් තමයි හැමදේම ඉගෙන ගත්තේ.


ලංකාවේ සිනමා ක්ෂේත්‍රය ගැනත් අදහසක් ඇති?


අද ගොඩක් අය වෙන වෘත්තීන්වල යෙදෙන ගමන් රංගනය කරනවා. එය වැරදි දෙයක්. ගාමිණී ෆොන්සේකා වගේ සිනමාවේ දැවැන්තයින් කවදාවත් දැන්වීම්වලට හිටියෙ නෑනෙ. රංගනය කැපවීමෙන් කළ යුතු දෙයක්. අද ගොඩක් අය සිනමා ශාලාවලට යන්නෙ නැහැ. ඒ හින්දා සමහර නිර්මාණකරුවන් නිර්මාණ බිහි කරන්න බයයි. පාඩු ලබන්න වෙයි කියලා. ගොඩක් අයට ප්‍රාග්ධනය පිළිබඳවත් ගැටලු තියෙනවා.

විශේෂ ස්තූතියක් කරනවානම් එයටත් අවස්ථාව තියෙනවා නම් වශයෙන් සඳහන් කරන්න බොහොම අපහසුයි. ගොඩක් අය අපිට උදවු කළා.අතුල පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, අනුර ජයවර්ධන, ගුණසිරි ප්‍රනාන්දු, සහන් ලියනාරච්චි, පුබුදු අරුණ රණසිංහ, අමා මංජරී ඇතුළු පවුලේ අයටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන සමන්තිකා ප්‍රියදර්ශනී, ධම්මික බණ්ඩාර හේරත් සහ අරුණ ලොකුලියන යන මහත්ම මහත්මීන්ට ස්තූතිවන්ත වෙනවා.

සමාජයේ කතා කළ යුතුම තැන් තම නිර්මාණ සඳහා ස්පර්ශකොට යමක් තම මහන්සියෙන් කිරීමට උත්සාහ කරන මේ යොවුන් නිරිමාණකරුවන්ට සමුදීමට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ “වස්සානය” කාව්‍ය සංග්‍රහයේ මේ කවිය ආශිර්වාදයක් වේ යැයි කියා අපට සිතුණා.
“ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැළිව
ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස‍”

 



 

Add new comment