බිඳුණා දැහැන් බිඳුණා වීසි දැල

ජනවාරි 9, 2020

1971 වසරේ , 'තොහා ස්ලවානා අනන්දා' නමින් චෙකෙස්ලියානු චිත්‍රපටයක් නිර්මාණය විය. මෙය 'ඇඩ්‍රිෆ්ට්' නමින් ශ්‍රී ලංකාවේ එකල බම්බලපිටියේ මැජස්ටික් සිනමාහලේ තිරගතවිය. ලොව අනෙක් බටහිර රටවලත් එය තිර ගත කළේ 'ඇඩ්‍රිෆ්ට්' නමින්මය. එහී එක්තරා කැලෑබද ගම්මානයක වෙසෙන මත්ස්‍යන් මරමින් ජීවිකාව කරගෙන යන මැදිවියට එළඹුණු මිනිසෙකු හා ඔහුගේ බිරිඳ වටා ගෙතුණු කථාවක් අඩංගු විය. ඔවුනගේ ජීවිත වෙනස් වන්නේ එක්තරා රූමත් තරුණියක්වූ අනාදා සිහිසන්ව එම ගඟ දිගේ පාවී විත් ඔවුන් සිටි තැන නතර වී, යානුස් නම් මත්ස්‍යන් මරන්නාට හමුවූ පසුවය.

මස් වැද්දා යන අන්වර්ථ නාමයෙන් හැදින්වූ ගුණපාලට, ඒ නමින් උච්චාරනය කළ එකම කෙනා ඔහුගේ බිරිඳ වූ එමලිය. ඒ ඔහු ඇයට තාඩන පීඩන කරන අවස්ථාවලදීය. ඔහුට ඇයව අවශ්‍ය වන්නේ මහ රැයේදී කරන රතී කෙළියට හැරෙන්නට, ඔහුගෙ බත හදා ගැන්මට පමණි. එය පැහැදිලිවම පෙණුනේ, ගුණපාලගෙ අතට මුදල් ආ විට, ඇය ඔහුට කියන්නේ ' අඳීන්නට වස්තරයක් නැති බවත්, තිබෙන ඒවා සියල්ලම ඉරී ඇති බවකි'. එවිට ගුණපාල කියනුයේ 'අඳීන්න ඇඳුම් නැත්නම් හෙළුවැල්ලෙන් හිටපං' කියාය.

ගුණපාල මස් වැද්දෙක් වුවද තමාගේ පාඩුවේ ගඟ මැදින් ඔරුවේ ගොස් මත්ස්‍යන් අල්ලා ජීවත් වූවෙකි. මසුන් මරන්නන් සාමාන්‍යයෙන් රළු මිනිසුන් යැයි සම්මත වූ නිසා ගුණපාලගේ මතුපිට තුළ ඒ රළු බව එයාකාරයෙන්ම පිහිටා තිබුණද, ඇතුළත ඔහු ගේ රළු බව පෙන්වූයේ ඔහුගේ බිරිඳටය. ඔහු බිරිඳට රතී කෙළියට අඩගහන්නේද පයින් ඇගේ පිටු පසට ඇන රළු අන්දමටය. නමුත් ඔහුගේ රස නහර තුළ සැගවී තිබූ රාගය නිසිආකාරයෙන්ම ඇවිස්සුවේ නම් 'සිරිමාය'.

'ඇඩ්‍රිෆ්ට්' හී යානුස්ට සිදුවූයේද එයමය. ඔහුද තම බිරිඳ සමඟ එතරම් බැඳීමකින් සිටි බවක් පෙනුනේ නැත. අනාදා හමුවූ පසු යානුස්ටත් වඩා අනාදාට දයාබර වූයේ යානුස්ගේ බිරිඳය. ඒ ඇය හුදකලාවේම ජීවත් වන නිසා විය හැකිය.

එච්.ඩී.ප්‍රේමරත්න තම චිත්‍රපටය වූ 'වීසිදැල' හරහා බොහෝ පැති, චරිත උලුප්පා පෙන්වුවද, ඒ සියල්ලම යටපත් කර මතුවූයේ ශෘංගාරයයි.ඒ ශෘංගාරය ප්‍රේමරත්න විසින් සිරිමාගේ සිරුර තුළට රිංගෙව්වේය. ඉන්පසු ඇය ගම්තුලාව තුල පැද්දී ඇඹරී ඇවිදින විට,දකින දකින පිරිමියාගේ ඇග ඇතුල හිරිවට්ටා, එළියට පනින්නේ ඒ සිරවී ඇති රාගයයි. ගුණපාල ට එය දැඩිව දැනෙන්නේ ගුණපාල, සිරිමාගේ මාමා කෙනෙක් නිසාය. තම හැඟීම් කෙතරම් පාලනය කලද, තම වැඩිහිටි කම දෙදරා ගොස් නැවතුනේ මේ නෑඹුල් තරුණිය ළඟමය.

'ඇඩ්‍රිෆ්ට්' හා 'වීසි දැළ' අතර බොහෝ සමාන කම් තිබුණි. යානුස්, ඔහුගේ බිරිඳ වූ සුසාකා, හා දියේ පාවී ආ අනාදා , 'වීසි දැල' හරහා අප දුටුවේ ගුණපාල, එමලි හා සිරිමා තුළිනි.

'සිකුරු ලියා', ' අපේක්ෂා', 'සසරක පැතුම' 'සප්ත කන්‍යා' වැනි ආදර ශානර චිත්‍රපට තුළින් මෑත්වී, ශෘංගාරාත්මක ශෛලයක් මත "වීසි දැළ" තිරනාටකය ලියූ ප්‍රේමරත්න ඒ මතට වෛරය, පළිගැනීම මෙන්ම ත්‍රස්ත කැරැල්ලද ඈදෑ ගති.

මෙහී කිසිදු චරිතයකට 'ආදරය' කිරීමට උවමනාවක් තිබුණේ නැත.සිරිමා, ගාමිණි සමඟ ආදරයෙන් වෙලී සිටියද, ගාමිණිට අවශ්‍ය වූයේ ත්‍රස්තවාදි කල්ලියට එකතු වී රජය සමඟ සටන් කර තමන් බලාපොරොත්තු වන නිදහස ලබා ඉන්පසු ආදරය කිරීමටය. සිරිමාගේ සහෝදරයා වූ නිමල්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ පොලීසියට බැඳී පොලිස් කාරයෙකු වීමටය. ඔහු ඒ වෙනුවෙන් පොලිස් ඕ.අයි.සී. කෙනෙක්ගෙ නිවසක බැල මෙහෙවර කම් කරයි. එහෙයින් ඔහුට ආදරය කිරීමට උවමනාවක් නැත. ඒ. ඕ.අයි.සී.ගේ දියණියන් දෙදෙනා වූ සරෝජා හා අචලාටද හරි හමං ආදර සම්බන්ධ තිබූ බවක් පෙන්වන්නේ නැත. එහෙත් සිරිමාගේ සිතේ නම් ආදරය මෝදු වන බවක් නම් ඇතැම් අවස්ථාවල දැනෙන්නට විය

"ගුමු ගුමුව වදුලේ 
සිලි සිලිය සුළඟේ 
මුණු මුණුව නදියේ 
කසු කුසුව ගඟුලේ 
අදයි මට ඇසු⁣ණේ 
අදයි මට ඇසුණේ "

ඒ මෝදුවීම පිටාරය ගලන විට, එයින් ඇවිස්සුනේ ගුණපාල මාමාගේ රාගයයි.

සිරිමාද ආදරය පිදීමට කෙනෙක් නොමැතිව, තම හැඟීම් හිර කරගෙන සිටීම තුළින් වාසි වූයේ ගුණපාලටය. මුලින්ම ඔහු 'සීන්' එකට 'එන්ටර්' වූයේ ' මම උඹලගෙ ගුණපාල මාමානෙ කියමිනි.

ප්‍රේමරත්න ඉතාමත් සූක්ෂම ලෙස සිරිමාව ගුණපාල ළඟට තල්ලු කළේ, ඇයව අනාරක්ෂිතව කරමිනි. සිරිමාගේ පියා නිතරම සිටින්නේ කට ගොන්නක් බී ගෙනය. ප්‍රේමරත්න ගුණපාල ලවා කසිප්පූ බීමට සිරිමාගේ පියා වූ,පියදාසව ගුණපාල වෙතට හරවා ගත්තේ සිරිමාව අනාරක්ෂිත කරවමිනි. එලෙසම සිරිමාගෙ එකම සහෝදරයා නිමල් පොලීසි රැකියාවට ගියේද සිරිමාව තව තවත් අසරණ කිරීමෙනි. ඇය සිතා සිටි ඇයගේ එකම ආරක්ෂකයා වූ ඇගේ පෙම්වතා ගාමිණීද ත්‍රස්ත කල්ලියට එක්විය. එහෙයින් ඇයට ගුණපාල මාමා හා ඔහුගේ බිරිඳ එමලිගේ රැකවරනය යටතට යන්නටම සිදුවිය. සිරිමාව ගුණපාල තම ග්‍රහණයට නතු කර ගත්තේ එසේය.

ප්‍රේමරත්න තම තිරනාටකය තුළ චරිත ගනනාවක් මැව්වද, එහී සාරවත් කථාවක් තිබුණේ නැත. කථාන්ත⁣ර කලාවෙන් බැහැර වූ 'වීසි දැළ'තුළ ට එක්වූයේ සුළු සිදුවීම් කීපයකි. එහෙත් ඒ සිදුවීම් ඇඟට දැනෙන ලෙස ඔහු ඉදිරිපත් කර තිබුණි.

කල් යල් බලා ගුණපාල, සිරිමා සමඟ රතී කෙළියේ යෙදුණේ ඔවුන් සියල්ලම එක්වී වන්දනා ගමනක් ගිය වේලේය. අන්ත අසරණ කමට තල්ලුවුනු සිරිමා, තම පියාමෙන් වයස සීමාවක සිටි ගුණපාල මාමාගේ ලිංගීක හිංසනයට යටත් වූයේ, කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද කියනවට වඩා විකල්පයක් නොමැති වීම හේතුවක් වන්නට ඇත. එහෙත් පසුව ඇය එයට හුරුවූවාය.

සිරිමා ලැබුණු පසු ගුණපාලට උවමනා වූයේ තම බිරිඳ එමලි එළවා දමන්නටය. එමලි වුවද සිරිමා තමාට එසේ කරාවියැයි කිසිදිනෙක සිතුවේ නැත. නමුත්, ඇයත්, සිරිමාත් ගුණපාල හමුවේ දැඩිව අසරණ වී ඇති බව නම් ඇයට වැටහී ඇති බව සිතිය හැක.

නිමල්ගේ චරිතය, ප්‍රේමරත්න විසින් නිර්මාණය කළ ඇත්තේ පළිගැනීමේ අදහසින්මය. නිමල් ගේ චරිතය, අවසාන ජවනිකාව එනතෙක් තිබුණේ ඔහේ පාවී පාවීය. ගුණපාලගෙන් පළිගන්නා දර්ශනය එනතෙක් නිමල්ව එතරමි හයිලට් වූයේ නැත. පොලිස් සේවයේ වි⁣ශේෂ අංශයට බැදුනු පසු ඔහුට ලැබු තුවක්කුව ඔහු මුලින්ම පාවිච්චි කළේ කීරාළව හා ගුණපාලව මැරීමටය. එතැනින් පසු ඔහු ජීවිත කාලයේදීම සිහින මවමින් සිටි පොලිස් රස්සාව ලැබුණු ගමන්ම නැති කරගෙන නැවත පොලිසියට යන්නේ මිනීමරුවෙක් ලෙසටය.

එච්.ඩී. ප්‍රේමරත්න 'වීසි දැල' නිර්මාණයේදී , බොහෝ විට භාවිතා කළේ 'ඇඩ්රිෆ්ට්' අධ්‍යක්ෂක වූ ⁣ජාන් කාදර්ගෙ උපක්‍රමයි. 'ඇඩ්රිෆ්ට්' හී යානුස්ගේ මෙන්ම වීසි දැල හි ගුණපාලගේ ආකල්පයන් දෙකක් වුවද, අරමුණ නම් එකකි. එහෙත් යානුස්ට වඩා ගුණපාල නිර්භීතය. ඔහු තම ඇඹේනිය එලවා දමා සිරිමාව තමා ලඟ තබා ගත්තා පමණක් නොව, සිරිමාගේ කුසට දරුවෙක් දීමට පවා උත්සුක වී තිබුණි. නමුත් යානුස් කළේ අනාදා නිරුවත්ව දියේ නාන විට ඒ දෙස බලමින් සුසුම් හෙළීමය. එයම ගුණපාලගෙ අතින්ද සිදුවිය. ඔහුද මුල් දිනවල සිරිමා වැවේ නානවා බලමින් සුසුම් හෙළිය. එහෙත් යානුස්ට වඩා ඉක්මනක් ගුණපාලට තිබුණි.

ගාමිණීගේ චරිතය තුළ දක්නට ලැබුණේ ඒ කාලවකවානුව තුල රැඩිකල් වන්නට යන යෞවනයෙක් ලෙසය. කැරැල්ලට සම්බන්ධවී සටන් කරන්නට ඔහුට අවශ්‍ය වූයේ යොවුන් වියේදී ඇති වන විසේකාර හැඟිම් නිසා විනා, සටනක් ගැනවත් හරි හැටි දැනගෙන නොවේ.ඔවුනට අවශ්‍ය ඉක්මනින් වීරයෝ වීමටය. සිරිමා , ඔහු ගැන සිතනවා තරමටවත් ගාමිණී සිරිමා ගැන සිතන්නේ නැත. ඔහුට අවශ්‍ය ,එම ත්‍රස්තවාදි කණ්ඩායම මවා පෙන්වාදුන්නු මාවත දිගේ ගොස් වීරයෙක් වී ප්‍රශංසා ලබන්නටය. මේ යන්නේ මිරිඟුවක් පසු පස යැයි සිතන්නට තරම් ඔළුවක් ගාමිණීට තිබුණේ නැත.

එච්.ඩී.ප්‍රේමරත්න, ගාමිණීගේ චරිතය වෙනුවට ගෙන ආ ප්‍රතිවිරෝධි චරිතය නිමල්ය. නිමල්ට අවශ්‍ය රටට දැයට සේවය කිරීමට යයි නම් සිතිය නොහේ. ඔහුටද අවශ්‍ය පොලිස් ඇඳුම ඇග ලා ගෙන වීරයෙකු සේ ගමට යාමටය. මේ දෙදෙනාම විනාශ වූයේ දෙවිදියකටය. ඒ විනාශ දෙකම ගුණපාල හරහා සිදුකර, ගුණපාලව කේන්ද්‍රීය චරිතය බවට පත් කරන්නට ප්‍රේමරත්න උත්සහා ගතී. ගාමිණී කැරලි කරුවෙක් යැයි පොලීසියට ඔත්තුව දුන්නේ ගුණපාල සහ කීරාළය. ගුණපාල එසේ කලේ ගාමිණී,සිරිමාගේ පෙම්වතා නිසාය. ගුණපාලට උවමනා වූයේ සිරිමාට සම්බන්ධ වෙන අයව විනාශ කර දමන්නට විය හැකිය. ගාමිණීව විනාශ වුණේ ඒ අයුරිනි.

තමාව අඹුකමින් එලවා දමා දැං ගුණපාල නිමල්ගේ නැඟනිය වූ සිරිමාව තියාගෙන සිටින බවත්, සිරිමාගේ කුසේ ගුණපාලගෙන් දරුවෙක් පිළිසිදී ඇති බවක් නිමල්ව සොයා ගොස් පැවසුවේ ගුණපාලගේ බිරිඳ වූ එමලිය. එයට බස් එක එලවන කීරාළත් හවුල් බව කීවෙත් එමලිමය. නිමල්ගේ පියා ගුණපාල දෙන අරක්කුවලට කෑදර වී, තම දියණිය සිරිමාව ගුණපාලට පංගාර්තු කෙරූ බව නිමල්ට කීවේද එමලිය. කීරාළත්, ගුණපාලත් පමණක් නොව තම පියාවද වෙඩි තබා මරා දමන්නටය නිමල් ගමට ගියේ. ඔහුට මරන්නට ලැබුණේ කීරාළත්, ගුණපාලත් පමණි. පියා හැංගුනේය. ඔහුව මරන්නට තැත් කරන විටය පොලීසිය පැමිණ නිමල්ව තුවක්කුවත් සමඟ පොලිස් අත් අඩංගුවට පත් වූයේ.

අවසානයේ යළි තනිවූයේ සිරිමාත් ,ඇයගේ පියාත් පමණි.

එය ඔය ආකාරයෙන් නොවුනත් , 'ඇඩ්රිෆ්ට්' හී යානුස්ටත්, අනාදාටත් එයම සිදුවිය.ඔවුනගේ අවසානයද එවන් ⁣ඛේදවාචකයකින් නිම විය. ජාන් කාදර් 'ඇඩ්රිෆ්ට්' තුළින් වරිත හතර පහකින් කිව යුතු දේය, ප්‍රේමරත්න චරිත 10යකින් හෝ 15 කින් කීවේ. ඔහු ඒ හැම චරිතයකටම , ජනප්‍රිය එමෙන්ම දක්ෂතම නළු නිළි රෑනක් සහභාගී කර ගති. බොහෝ ප්‍රවීණ නළු නිළියන්ට, කිරීමට වැදගත් දෙයක් නොතිබූ නිසා ඔවුන් නිකං පෙනී සිටියාක් මෙනි.

ඩබ්ලියු.ජයසිරි, ගුණපාල ලෙස ප්‍රබල රංගනයක යෙදී තිබුණි. 'ඇඩ්රිෆ්ට්' හී යානුස් ගේ චරිතය රඟපෑ රාඩේ මාකෝවික් නමි නළුවාද අතී දක්ෂ රඟපෑමක නිරත වීය. අනූෂා සොනාලි, සිරිමාගේ චරිතය තුළට කිදා බැස තිබුණි. ඇය මනා ලෙස චරිතය අවබෝධ කර ගත් බවක් පෙනුණි. ජැක්සන් ඇන්තනීගේ තවත් සාර්ථක රඟපෑමකි නිමල්ගේ චරිතය. තවත් විශිෂ්ට වූ රඟපෑමක් ග්‍රේස් ⁣තෙන්නකෝන් විසින් රඟදැක්වුවාය. ඒ ගුණපාලගේ බිරිඳ වූ එමලිගේ භූමිකාවය. කී රාළ වූයේ දයා අල්විස්ය. සිරිමාගේ පියා පියදාස, දයා තෙන්නකෝන්ය. ගාමිණී, රාසි අන්වර්ය. සරෝජා, වසන්ති චතුරානි වූ අතර, අචලා වූයේ රමණී සිරිවර්ධනය. ඔවුන් දෙදෙනාගේ පියාවූ පොලිස් ඕ.අයි.සී. ,රොබින් ප්‍රනාන්දුය, ඔහුගේ බිරිඳට රඟපෑවේ ඇන්ජලා සෙනවිරත්නය.

මහේන්ද්‍ර පෙරේරා, ප්‍රදීප් සේනානායක, ඥාානංග ගුණවර්ධන, සෙසු චරිත රඟපෑහ. කැමරාව ඇන්ඩෘ ජයමාන්නය. රෝහණ වීරසිංහ සංගීතය සැපයීය.

එච්.ඩී. ප්‍රේමරත්න තිරනාටකය ,ලියා අධ්‍යක්ෂණය කළ " වීසි දැල" තිරගත කිරීම ආරම්භ කළේ 1997 නොවැම්බර් 7 වෙනිදාය. 'වීසි දැල' චිත්‍රපටය ඊ.ඒ.පී.චිත්‍රපට සමාගම වෙනුවෙන් නිශ්පාදනය ක⁣ළේ සෝමා එදිරිසිංහය.

"විහඟ මිහිරාවී 
මුදු හඩින රාගී 
කොතැන තිබුණීද තී 
අද ගයන මේ ගී 
ගුමු ගුමුව වදුලේ 
සිලි සිලිය සුළඟේ......" 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.