ඔහුගේම රංගනවේදයක් ලංකාවට හඳුන්වා දුන්නා

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය
ජනවාරි 16, 2020

 

‘මංගල තෑග්ග චිත්‍රපටය කරන කාලේ ජයලත් මනෝරත්න කියන කලාකරුවා මටත් වඩා ඉදිරියෙන් ජනප්‍රියත්වය හා පිළිගැනීම තියාගෙන හිටපු කෙනෙක්. අපිත් ඒ කාලේ මනෝරත්න දිහා බලාගෙන ඉන්නවා. මනෝ සමඟ එකට වැඩකරන්න ලැබීම හරිම සුන්දර අත්දැකීමක්. මොකද ප්‍රධාන කොටම මේ මනුස්සයා හරිම සුන්දර මිනිහෙක්.’

විශිෂ්ට රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය තමා දුටු - නුදුටු ජයලත් මනෝරත්න නම් කලාකරුවා පිළිබඳ ගලා එන සිතිවිලි සමුදාය මුදාලන්නට පටන්ගත්තේ එලෙසින්ය.

 

"මංගල තෑග්ගෙදි මනෝරත්නට අයිති චරිතය ඒ සිදුවීම ඒ කියන්නේ මිනීමැරුම සිදුකළ හා එයින් ගලවා ගන්න ඉදිරිපත් වන පිරිස අතර, අතර මැදි වූ කෙනෙක් බවට, කඩාවැටීමට ලක්වුණ, විපිළිසර කෙනෙක් බවට පත් වනවනේ. එතැනදි මනෝ අපි සමඟ කරන වාද විවාදවලදි, ප්‍රතිවිරුද්ධ අදහස්, මිනී මැරුම පිළිබඳ සඟවා ගන්නා ක්‍රම ගැන හිනායන යෝජනාවන් කරන චරිතයක් ලෙසයි ඔහුගේ භූමිකාව දිගහැරෙන්නේ. පාරේ පිස්සු නටමින් කියන සින්දුව, මනෝ, ශ්‍රියන්ත එක්ක එහෙම ඉද්දි ඒක සාමාන්‍ය ජීවිතය වගේ අපට දැනෙන්නෙ. මොකද අපේ ඒ කාලේ ජීවිතේ ඒ වගේ පිස්සු නැටීම් අපෙත් තිබුණා. කොහොම වුණත් ඒ චරිත නිරූපණයේදි මනෝ කොයිතරම් සියුම් ලෙස රඟපානවාද කියන එක ඔහුගෙන් මතු වුණු රංග ලීලාවන් තුළින් අපි දැක්කා. එය දුරාතීත සුන්දර මතකයක් ලෙසයි අද ඉතුරුවෙලා තියෙන්නේ.

කොහොම වුණත් ජයලත් මනෝරත්න ගැන කතා කරද්දි පොතක් ලියලා වත් ඔහුගේ දක්ෂතාව කියලා ඉවර කරන්න බැරි රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගාවතීර්ණය සිදු වන්නේ අපේ සංස්කෘතික ප්‍රබෝධය ආරම්භ වන 60 දශකයේ පේරාදෙණියේ මුල්ම යුගයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ. සරච්චන්ද්‍රයන්ගේ මුල් කෘතිවල සුළු චරිත රඟපාලා “පේමතො ජායතී සොකෝ” කෘතියේ ප්‍රධාන චරිතය ලබාගන්නවා. ඉන් පසු ඒ රංග කලාවේ, ඒ කියන්නේ සරච්චන්ද්‍රයන් හඳුන්වාදුන් ශෛලිගත ක්‍රමයේ ප්‍රමුඛයා බවට පත් වනවා. අන් පිරිස ඒ කෘතිවලම රැඳෙමින් ඒ ක්‍රමයේම සිටිද්දි ඔහු එය ඉන් බැහැරට ගෙනයනවා.

සරච්චන්ද්‍රයන්ගේ සීමාවෙන් පිටට පැන විවිධ නාට්‍යකරුවන්ගේ නිර්මාණවල ඉතා සාර්ථකව විශිෂ්ට ලෙස ඔහුගේ රංගනය සනිටුහන් කරනවා. ඉතින් මනෝගේ රංගනය ගැන කතා කරද්දි මට ද දැනෙන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන මාධ්‍ය තුනම මාළුවකුට වතුර වගේ. එක හා සමානයි. මොකද අපි දකිනවා වේදිකාවේ අතිදක්ෂ සමහරු සිනමාවට ගියාම වතුරෙන් ගොඩදාපු මාළුවා වගේ.

මනෝ පසුගිය දශක තුනක සිංහල වේදිකාවෙ පැවැත්ම ප්‍රධාන කොට තහවුරු කළ රංගන ශිල්පියා කියලයි මට හිතෙන්නේ. වැනිසියේ වෙළෙන්දා, සොක්‍රටීස් වැනි චරිතවල ගැඹුර සහ රංගනයේ අසීරුතාව දකිද්දි මනෝ මේවා කොහොම හසුරුවා ගත්තාද කියලා රංගන ශිල්පියකු වන මටත් හිතාගන්න බැහැ. සමස්ත නාට්‍යයම කරපිට තබාගෙන ඔහු යන ගමන විස්මය ජනකයි. විශේෂයෙන් අපි කල්පනා කළොත් දෙබස් විතරක්... මොනතරම් දෙබස් තිබෙන සම්පූර්ණ පිටපතක් මනෝ වේදිකාවෙ වහරන්න ඕනෙද? ඒ වගේ ගැඹුරු චරිත වගේම ඉතාම සරල සැහැල්ලු ප්‍රහසන චරිත, ඔහුට තරම් හාස්‍යය මතුවන ආකාරයෙන් අලංකාරව මතුකරන්න පුළුවන් වේදිකා නළුවකු හිටියද කියන්න මට? හාස්‍යය විදිහට හාස්‍යය ඉදිරිපත් නොකර ඔහු තබන විරාමයන්, වචන ඉදිරිපත් කරන ආකාරය ආදිය මඟින් වගේම ඔහු සිනා නොවී අපට සිනා උපදවන ලෙස කරන රංගනය රිදී තිරයේ වගේම පුංචි තිරයේ දැක්ක මට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්.

අපේ රංගන ශිල්පීන් ගත්තාම මගේ තක්සේරුවට අනුව ලංකාවේ දක්ෂතම සිනමා නළුවා, ඉතා සියුම් නිරූපණ සහිත රංගනවේදියා ජෝ අබේවික්‍රම. ඒත් ජෝ අය්යා මම වගේම සිනමාවට හිර වෙනවා. මමත් වේදිකාවේ, ටෙලිනාට්‍යවල ඉඳලා තිබුණට ඒ මාධ්‍ය සඳහා මගේ දායකත්වය සහ සිනමාව බැලුවාම ලොකු පරතරයක් තිබෙනවානේ. ඒ අනුව මේ ක්ෂේත්‍ර තුනේම මනෝගේ දායකත්වය හා සුරුකම බැලුවාම විවාදයට තුඩුදෙන්න පුළුවන් වුණත් මට හැඟෙන්නේ අපට පසුගිය දශක හතර පහ ඇතුළත බිහිවුණු ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියා ජයලත් මනෝරත්න කියලයි.

වේදිකාවේ සොක්‍රටීස්ගේ සිට හෝගානා පොකුණේ රියැදුරු දක්වා රංග පරාසය බැලුවාම ඔහුගේ භූමිකා කොහොමද හසුරුවා ගන්නේ කියලා හිතෙනවා.

මට මතකයි මනෝගේ නාට්‍ය උලෙළක් තිබුණා. ඒ සතිය පුරා ඔහු රඟපාන නාට්‍යවල ප්‍රධාන චරිත එකිනෙකට වෙනස්. එහෙම දින ගාණක් රංගන ශිල්පියෙක් තමන්ගෙ දෙබස් මතක තබාගෙන ඉන්න එකම විශ්වකර්මයක්. මම නාට්‍ය කරලා තියෙනවානේ. මම එකම නාට්‍යය එකසිය හැත්තෑපස් වාරයක් රඟපෑවත් ඊළඟ දවසේ මට දැනෙනවා අර ඉංග්‍රීසියෙන් 'බටර්ෆ්ලයීස් ඉන් ද ස්ටොමැක්' කියන්නා වගේ තැතිගැන්මක් පපුව ගැහෙන ගතියක්. එහෙම තත්ත්වයකදි මනෝ අර විදිහේ චරිත කීපයක් කරනවා කියන එකට සම කරන්න මේ රටේ නෙවෙයි පිටරටකවත් ශිල්පියකු හොයාගන්න බැරි වෙයි.

 

ඒ වගේම ඔහු වේදිකාවට ගැළපෙන අයුරින් හොඳීන් හඬ විසිරුවා ගායනා කරන්න පුළුවන් ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ නර්තන හැකියාව, ඔහු නර්තන ගුරුවරයකු ලෙස කරන භූමිකාවකදී බෙරය වාදනය කරලා අන්තිමට 'තෙයි' කියලා ගැම්ම අරන් දෙන විදිහ දකිද්දි අපිට පේන්නේ නැහැ ජයලත් මනෝරත්නව. අපි දකින්නේ අප දැක තිබුණු අපට හුරු පාරම්පරික නැටුම් ගුරුන්නාන්සේ කෙනෙකුගෙ භූමිකාවයි.

ඉතින් මම කියන්න කැමතියි මෙහෙම දෙයක්. අපි හැමදාම දකිනවා මනෝව. වේදිකාවේ, ටෙලිවිෂනයේ, සිනමාවේ. ඒත් අපි කවදාවත් මනෝව දැක්කේ නැහැ."

මනෝරත්නයන්ගේ රංගනය පිළිබඳ ඔහුගේ හදවතේ මතු වූ ගෞරව පූර්වක විස්මය සමරනු වස් නිමේශයක නිහඬතාවකින් ඔහු ලද ඒ විරාමය උපකාරයට ගෙන මම පැනයක් ඇසුවෙමි. ඒ රවීන්ද්‍ර රන්දෙණිය නම් පුරවැසියා, ඉහත මාධ්‍යත්‍රයේ නොදුටු ජයලත් මනෝරත්න නමැති මිතුරකු දකින්නට ඇති නේද යන්නයි.

"ෂූ... අම්මා... මනෝරත්නව හැබැහින් දකින්න ප්‍රිය මිතුරු සමාගමක සම්භාෂණයක් වෙන්න ඕනා. ඇත්තෙන්ම කීවොත් ඔහු සාමාන්‍යයෙන් වුවත් හරිම ප්‍රිය මිතුරු සමාගමක් තියෙන්නෙ. ඔහු ඇති තැන සම්පූර්ණ පිරුණු තැනක්. කතා කරන ගැඹුරු මාතෘකා. ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලන ඇතැම් මොහොතක හාස්‍යයක්, ඔහුගේ කතාබහෙන්ම ඕනෑම කෙනකු ප්‍රීති ප්‍රමෝදයෙන් පැය ගාණක් තබාගත හැකි අපූර්ව හැකියාවක් තිබුණු කෙනෙක්.

(රන්දෙණිය මහතා සිනාසී ව්‍යංග්‍යයෙන් කියයි)

සමහර විටෙක අපි යම් යම් ආකාරයෙන් වැඩිපුර සන්තෝසෙන් ඉන්න අවස්ථාවක් නම්, අන්න ජයලත් මනෝරත්න අප දකින මහා සුවිශේෂි කලාකරුවාගේ සත්‍ය ස්වභාවය දකිනවා. ඒ සැන්දෑවල් නම් කවදාවත් අමතක වන්නේ නැහැ. ඒ ප්‍රිය සම්භාෂණවල අපි නොයෙක් රංගනයන් දාලා අවසන් වන විට ගෙදර මේසේ උඩ මනෝගෙන් අඩුම තරමින් මනමේ හෝ සේදරමන් ගුරුන්නාන්සේගේ පහතරට නැටුමක් හරි දැකලා තමයි නවතින්නෙ. ජීවිතේ ඒ තරමටම රසවත්ව වින්ද මිනිහෙක්."

 

තවත් මොහොතක විරාමයකින් පසු ඔහු කියයි.

"ඈත පිටිසරකින් ඇවිත් තමන්ගේ ස්ව ශක්තියෙන් ගොඩනැඟෙන්න, වේදිකාවේ ලෑලි ගොඩවල් උඩ මේ මිනිහා කොයි තරම් දාඩිය කඳුළු වගුරවන්න ඇත්ද? මනෝ කළ භූමිකා සංඛ්‍යාව, ඒ වෙනුවෙන් ඔහු වේදිකාව මත වැය කරපු කාලය, වේදිකාව මත පෙනී සිටිය කාලය මේ මෑත යුගයේ කිසිම කෙනෙක් කැප කරලා නැහැ. ඔව්... ඔහුගේ රංගන වේදයක් ලංකාවටම හඳුන්වා දුන්නා. රංගකලාව තුළ ඔහුගේ ප්‍රබුද්ධත්වය කොතරම්ද කීවොත් ඔහු සරසවි දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් නම සරසගත්තා. මනෝලාව උස්සලා ඔයතැනින් තියන්න ගෝඩ්ෆාදර්ලා හිටියේ නැහැ. තමන්ගේ ශක්තියෙන් ගොඩනැඟිලා, ජාතිය තුළ තමන්ගේ ලකුණ සටහන් කරලා, ජාතියම රසවත් කරලා, ජාතියම හඬවලා ඔහු යනවා.

රන්දෙණිය මහතාගේ හඬ බිඳී මෙසේ පැවසෙයි. "එඥ ඹඪතත දඥමඥප ඵඥඥ චදධබඩඥප ධදඥ තඪඬඥ ඩඪථ... ව්ඥමඥප."

අපට මනෝ වැනි රංගන ශිල්පියෙක්... නෑ ඒ වචනෙත් මදි... රංගධරයෙක්ද? කුමක්ද ප්‍රමාණවත් විශේෂණය ඔහුට යෙදිය යුතු?. ඔහු වැනි දැවැන්ත කලාකරුවෙක් අපේ ජීවිත කාලෙ ආයෙ කවදාවත් හමුවන එකක් නැහැ. කවදාවත් නෑ.