සුනාමි යනු එකමුතුවේ ප්‍රතිඵලයක්

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා
ජනවාරි 30, 2020

මෙරට සිනමා වංශ කතාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමා නිර්මාණයන් බිහි කළ සිනමාකරුවන් අතර ආචාර්ය සෝමරත්න දිසානායක සුවිශේෂ පුද්ගලයෙකි. ඔහු අතින් නිර්මිත බොහෝ චිත්‍රපට නිර්මාණ මෙම මිනුම් දණ්ඩට ඇතුළත් වීම සුවිශේෂ ලක්ෂණයකි. එම සියලු නිර්මාණයන් පිටුපස සිටින දැවැන්ත සෙවනැල්ල රේණුකා බාලසූරියයි. ඇය විසින් මෙතෙක් නිෂ්පාදනය කළ බොහෝ සිනමා නිර්මාණ ආදායම් වාර්තා තබමින් තිරගත වූයේ වාර්තා පිට වාර්තා තබමිනි.

නිවේදිකාවක, රංගන ශිල්පිණියක ලෙසින් ද ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය රේණුකා බාලසූරිය චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසින් හෙළ සිනමා වංශ කතාවට එක් වනුයේ අනූව දශකයේ අග භාගයේ සරෝජා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමත් සමඟය. එතැන් පටන් ආචාර්ය සෝමරත්නයන්ගේ සෑම සිනමා නිර්මාණයක් සඳහාම නිෂ්පාදනයෙන් දායක වන රේණුකා බාලසූරිය මේ වන විට සෝමරත්නයන්ගේ සිනමා නිර්මාණ දහයක් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස දායක වී ඇත. සරෝජා, පුංචි සුරංගනාවි. සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, බිංදු, සිරිපැරකුම්, අන්ඩ පෑන්ටීස්, සරිගම, සුනාමි, සංකාරා ඇය තනිව නිෂ්පාදනය කළ සිනමා නිර්මාණයන් වන අතර කුසපබා, දැවෙන විහඟුන්, තුන්පත් රෑණ, තන්හා රතී රඟා, සිනමා නිර්මාණයන් වෙනුවෙන් ද ඇය සම නිෂ්පාදිකාවක ලෙස දායක වී ඇත. මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වන සුනාමි චිත්‍රපටය රේණුුකා බාලසූරියගේ නවතම චිත්‍රපට නිෂ්පාදනයයි.

 

චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසින් ආචාර්ය සෝමරත්නයන්ගේ සිනමා නිර්මාණයන් වෙනුවෙන් එක් වන ඔබට මේ භාරධූර කර්තව්‍යය අභියෝගයක් නොවේද?

සෝමරත්න දිසානායක කියන සිනමාකරුවාගේ හැම සිනමා නිර්මාණයක්ම එහි නිෂ්පාදිකාව ලෙස මට අභියෝගයක්. ඔහු නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම වගේ එකිනෙකට වෙනස්. ඒ නිර්මාණ වෙනුවෙන් යොදා ගන්න ලොකේෂන් හැම දෙයක්ම කළේ තම නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න. ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් ලබා දෙන්න. මෙතනදි නිෂ්පාදිකාව ලෙස ඔහු අපේක්ෂිත ඒ නිර්මාණ දැක්ම වෙනුවෙන් මට එන හැම අභියෝගයක්ම භාර ගන්න සිද්ධ වුණා. මේ වෙන කොට මම සෝමරත්න කියන සිනමාකරුවා සමඟ නිර්මාණ දහයක් වෙනුවෙන් ඒ අභියෝගය භාර ගත්ත නිෂ්පාදිකාවක්. සිනමාකරුවකු ලෙස සෝමේ මගෙන් යම් දෙයක් අපේක්ෂා කළා නම් ඒ ඔහු තනන නිර්මාණය වෙනුවෙන් කියන දේ නිෂ්පාදිකාවක් ලෙස මම අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසාවෙන් අපේ ප්‍රේක්ෂකයෝ ගැන හිතලා මම ඒ හැම අභියෝගයක්ම දුෂ්කරතා මධ්‍යයේ ජය ගත්තා.

ඔබ නිෂ්පාදනය කළ සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් නිෂ්පාදිකාවක ලෙස වඩාත් කැමැත්තක් දක්වන්නේ මොන නිර්මාණයන් වෙතද?

සෝමෙගේ හැම නිර්මාණයක්ම මට නිෂ්පාදිකාවක ලෙස අභියෝගයක් වගේම ඒ හැම දේටම මම කැමතියි. ඒ අතරින් මම වඩාත් කැමති සූරිය අරණ සිනමා නිර්මාණයට. ඒකට හේතුව අපි ඒ නිර්මාණය වෙනුවෙන් කැලේම තමයි ජීවත් වුණේ. එහි ෂූටින්වලට කොච්චර අපි මහන්සි වුණත් කැලේ තුළ අපි ජීවත් වුණු නිසා ඒක අපිට හරියට භාවනාවක් වගේ වුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් මුළු ජීවිත කාලයටම ඇති වෙන්න ඇවිද්දා කිව්වොත් හරි. ජීවිතයට ඇති වෙන්න දිය ඇලි බැලුවා, කැලේ දැක්කා. කැලේ නිදාගත්තා. අන්න ඒක තමයි මම වින්ද සැප. මනුස්සයෙක් කියල ස්වභාව ධර්මයත් එක්ක සැපයි කියලා හිතෙන් වින්ද අවස්ථාවක් වුණේ සූරිය අරණ නිර්මාණයේ අප ලබපු අත්දැකීම. මේ චිත්‍රපටය වෙනුවෙන් අපි දවසකට කිලෝ මීටර් පහක් හයක් ඇවිද්දා. අපි නතර වෙලා හිටිය තැනට හරියටම කිලෝ මීටරයක කන්දක් නගින්න ඕනේ. කිසිම වාහනයක් යන්න බෑ. මම ප්‍රඩක්ෂන් මැනේජර් වශයෙන් මේ හැම දෙයක්ම සම්බන්ධීකරණය කරන්න විශාල වෙහෙසක් දැරුවා. මම හිතන්නේ මම ජීවත් වෙන්න තියෙන කලායටත් වඩා මම ඇවිදලා තියෙනවා කියලා.

ඔබේ නවතම සිනමා නිෂ්පාදනය වූ සුනාමි වෙනුවෙන් නිෂ්පාදිකාවක ලෙස ආ අභියෝග ජයගත්තේ කොහොමද?

සෝමේ අධ්‍යක්ෂණය කළ අනික් චිත්‍රපටත් හරි සුනාමිත් හරි. මම එහෙම කියන්නේ සුනාමි චිත්‍රපටය සෝමරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් දැවැන්තම චිත්‍රපටය නිසා මේ චිත්‍රපටය තුළ තියෙන දැවැන්තකම නිසාම අපි මුල ඉඳලම සැලසුමක් ඇතුව තමයි මේ අභියෝගයට මුහුණ දුන්නේ අපි හැම නිර්මාණයකම වගේ කරන්නේ මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම නළු නිළියන් පවා ඒ අවශ්‍ය ලොකේෂන් වලට එක්ක ගිහින් ඒ පරිසරය තුළ ඉඳගෙන චිත්‍රපටය ගැන කතා කිරීම. මෙහි තියෙන විශේෂත්වය තමයි අපි රූපගත කිරීම්වලට කලින් ඒ ස්ථානවල කලින් ගත කරලා නිසා ඒ පරිසරයට අපි හොඳට අනුගත වෙලයි ඉන්නේ. එතකොට අපිට වඩාත් පහසුවක් රූපගත කිරීම්වලට.

මට මතකයි අපි සරිගම චිත්‍රපටය කරන කොට ඒ චිත්‍රපටයේ හිටිය ළමයි දෙමව්පියෝ එක්ක අපි ඒ තෝර ගත්ත ලොකේෂන්වල ටි‍්‍රප් එකක් ගියා. කලින්ම එතනදි දරුවෝ ඒ පරිසරය වින්දා. ඒ පරිසරයට ටික දවසකින් අනුගත වුණා. ඒක අපිට හරි පහසුවක්.

සුනාමි නිර්මාණයේ තිබුණු අභියෝගත් ජය ගත්තේ ඒ අයුරින්ද?

ඔව්. මුලින්ම ලොකේෂන් හොයන්න මමත් සෝමෙත් ඇවිද්දා. ඊට පස්සේ අපේ පිටපතේ විධියට අවශ්‍ය ලොකේෂන්වලට කලා අධ්‍යක්ෂ කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන් අපි කලින් එක්කගෙන ගිහින් ඒ අවශ්‍ය දේ ඒ පරිසරය තුළ හිඳිමින් කතාබස් කරලා සැලසුම් කළා. ඊට පස්සේ නළු නිළියන් එක්කගෙන ඇවිත් පිටපතේ චරිත ගැන කතා කළා. ඒ ඒ දර්ශනවලට ඕනෑ කරන ලොකේෂන්වල කලා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිසරයන් නිර්මාණය කළා. ඒ දර්ශන පසුබිම් අපිට අභියෝගාත්මක වුණා. අපි මුලින් සැලසුම් කරලා තිබුණේ කල්පිටිය ප්‍රදේශයේ සුනාමි ටැංකිය නිර්මාණය කරන්න. ඒ සඳහා අප තෝර ගත්තේ ලුණු ලේවායක්. එතනදි අපිට විශාල බ්ලූ ස්ක්‍රීන් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා කිසිම ආකාරයකින් බඩු ගේන්න ඒ ස්ථානයේ පහසුකම් තිබුණේ නැහැ. මේ තත්ත්වය තුළ අපිට අලුත් තැනක් සොයා ගන්න සිද්ධ වුණා. ඒ අනුව තමයි අපිට උස්වැටකෙයියාවේ පමුණුව ප්‍රදේශයේ අතහැරලා දාපු ඉස්සන් කොටුවක් ගැන ආරංචියක් ලැබුණේ. මමත් සෝමෙත් ඒ ගැන හොයාගෙන ගියා. ප්‍රදේශයේ වැඩිහිටියකුට අපේ අවශ්‍යතාවය ගැන කිව්වම ඔහු අපිව එක්තරා පුද්ගලයෙක් ළඟට එක්ක ගියා. ඒ අතහැර දාපු ඉස්සන් කොටුව අයිති පුද්ගලයා ඊට දවස් හතකට කලින් මිය ගොස් තිබුණා. ඔහුගේ ගෙදරට අපි යන කොට මියගිය අයගේ පුතාගේ බිරිය අපි ආව කාරණය ගැනවත් නොවිමසා අපිට ආරාධනය කළා ගෙදරට එන්න වාඩි වෙන්න කියලා. ඊට පස්සේ ඇය තම ස්වාමියා වූ සාගරට කතා කරලා අපි ඇවිත් ඉන්නවා කියලා දැන්නුවා. පස්සේ අපේ අවශ්‍යතාවය ඔහුට කිව්වා. සාගරත් ඒ වෙන කොට හිතමින් ඉඳල තියෙනවා මෙතන මම මොකක්ද කරන්නේ කියලා. කොහොම හරි එයාට හිතුණලු එයා හිතමින් හිටිය දේට දෙවියන් වහන්සේ විසින් එවල තියෙන දේව දූතයෝ දෙන්නෙක් තමයි අපි දෙන්නාව කියලා. අපි දෙන්නට ඕනෑ දෙයක් මෙතන කරගන්න කියලා සාගරගේ කැමැත්ත අපිට ලබා දුන්නා. හැම දේකටම උපරිම සහයෝගයක් ඔහු ලබා දුන්නා.

චිත්‍රපටයේ සුනාමි රළ හා ඒ ව්‍යසනය වඩාත් අභියෝගයක් වුණා නොවේද?

සුනාමි ටැංකියේ රූපගත කිරීම් තමයි අපි අන්තිමටම තියා ගත්තේ. ඒකට හේතු වුණේ මේ චිත්‍රපටයේ තියෙන අමාරුම හා අවදානම් රූපගත කිරීම් වුණෙත් මේක. වතුරත් එක්ක තියෙන අනතුරුදායක බව වැඩි නිසා අවදානම අවම කර ගන්න කිමිදුම්කරුවන් ඒ වගේම සුනාමි රළ නිර්මාණයේදී ඇති මැෂින්වලට ඇදිල යන එක වලක්වන්න වතුර යට දැල් ගහල ඒ ප්‍රදේශ වෙන් කරලා ඒ අවදානම අඩු කළා. රඟපාන අයට වගේම රූපගත කරන අයටත් කාර්මික ශිල්පීන්ටත් මේ වැඩේ තියෙන අවදානම අපි අඩු කරන්න විශාල මුදලක් කාලයක් වෙනම වැය කළා. තාක්ෂණය කියන දේ උපරිම භවිතා කළ චිත්‍රපටයක් වුණාට මේ චිත්‍රපටයට මිනිස් බලය එකමුතුකම තමයි ඒ තාක්ෂණයටත් එහා ගිය මහා ශක්තිමත් බලයක් වුණේ. කොච්චර සල්ලි වියදම් කළත්, කොච්චර තාක්ෂණය භාවිතා කළත් මිනිස්සු දුන්න ඒ එකමුතුවේ තිබුණු ශක්තිය තමයි සුනාමි චිත්‍රපටය හැදුවේ.

චිත්‍රපටය පුරාවට කතා කරන්නෙත් මනුස්සකම. ඒ බව චිත්‍රපටය තැනීම පුරාවටත් තිබුණු දෙයක් බවයි ඔබ කියන්න උත්සාහ ගන්නේ?

අපි කොච්චර ලොක්කො වුණත්, කොච්චර සල්ලි වියදම් කළත්, තාක්ෂණය කොච්චර එක් කළත් අපේ චිත්‍රපට කණ්ඩායමේ තිබුණු සාමුහික එකමුතුකම නොවෙන්න සුනාමි හීනයක්. පසුතල හදන්න ඕන තල් ගස්, පොල් ගස් ගෙනාවේ ක්රේන් එකකින් හලාවත ඉඳලා. ඒත් ඒ ගෙනා වාහන අපේ ටැංකිය ළඟට ගන්න බැහැ. පොළව බහිනවා ඉඩකඩ නැහැ. ඒත් උත්සාහය අත්හැරියේ නැහැ. ටොන් ගාණක් බර මහ තල් ගස්, පොල් ගස් අපේ කණ්ඩායමේ මිනිස් ශ්‍රමයෙන් ටැංකිය ළඟට උස්සන් ආවා. කරමතින් ගෙනත් තමයි ටැංකියේ හිටෙව්වේ. දකුණට ආ සුනාමියත් උතුරට ආ සුනාමියත් දෙකම ෂූට් කළේ ඔය ටැංකියේ. වතුරෙම ගස් ගලවල ගස් හිටවන දේවල් පවා අපි කළා. ඒ සඳහා මීගමුව පැත්තේ වතුරෙම පාලම් ගහන විශේෂඥ පිරිසක් අපිට උදව් කළා. සමහර දාට කලින් දවසේ දාපු සෙට් හුළඟට කැඩිල රූපගත කරන්න එනකොට. ඒ වෙලාවට කවුරුවත් තමන්ගේ තානාන්තර ගැන බැලුවේ නැහැ. එකාවන්ව ඒ හැම දෙයකටම සහය දුන්නා. මගේ ප්‍රඩක්ෂන් එකේ ටී බෝයි ඉඳලා හැම කෙනෙක්ම තමන්ගේ දෙයක් විදියට තමයි සුනාමි ගොඩ නැඟුවේ. ඒ එකමුතුකම ආ හැම ස්වභාවික ව්‍යසනයක්ම ජය ගත්තා. ඇත්තෙන්ම කියනවා නම් ටීම් වර්ක් දකින්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම එන්න ඕනෑ අපේ ලොකේෂන් එකකට.

 රේණුකා ඔබ සාම්ප්‍රදායික චිත්‍රපට නිෂ්පාදනයෙන් බැහැර වූ නිෂ්පාදිකාවක් ලෙසයි ප්‍රසිද්ධ? 

මට චිත්‍රපටයේ අධ්‍යක්ෂකත් එකයි, ටී බෝයිත් එකයි. මම අනිත් නිෂ්පාදකයෝ වගේ නොවෙයි. මට ආවේණික ක්‍රමයක් මා තුළ තියෙනවා. කවුරු හරි මගේ නිෂ්පාදනය වෙනුවෙන් ලොකේෂන් එකකට ආව නම් ඒ කෙනාගේ වගකීම මට තියෙනවා. ඒ ආ කෙනාට සැලකීම, අවශ්‍යතා ඉටු කිරීම මගේ යුතුකමක්. මම අන්න ඒ මනුස්සකම අගයන කෙනෙක්. කාට හරි සීරීම් තුවාලයක් වුණත් ඒක මට වෙච්ච දෙයක් විදියටයි මට හැඟෙන්නේ. චිත්‍රපටයේ නිෂ්පාදිකාව කියලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි මම. එදා කුස්සියේ සියයකට උයන්න ඕනෑ නම් මමත් උයන්න ගියා. බත් පාර්සල් බදින්න ඕනෑ වුණා නම් ඒවත් මම බැන්දා. කාටද අවශ්‍ය දෙයක් ඕනෑ වුණේ ඒ හැමෝටම මම ඒ දේවල් කරලා දුන්නා, ලබලා දුන්නා. ඒ හැමෝම වෙනුවෙන් මම පුද්ගලිකව හොයල බලන, කන බොන දේ, ඉන්න හිටින තැන් පවා සොයලා බලන මානුෂික ගුණයක් මම ළඟ තියෙනවා. ඒ හැම කෙනෙක්ම මගේ ළඟට රැකියාවකට ආවත් මම ඒ හැමෝටම සලකන්නේ මනුස්සකම කියන එක හැන්දෙන්.

එකමුතුකමේ ටීම් වර්ක් එක සුනාමි බිහි කරන කොට විශාල නළු නිළි පිරිසක් මෙහෙයවීම නිෂ්පාදිකාවක ලෙස අභියෝගයක් වුණේ නැද්ද?

චිත්‍රපටය පටන් ගන්න කලින් අපි සැලැස්මක් හදලා ඒ අනුව කටයුතු කළ නිසා අපිට ගොඩක් පහසු වුණා නිර්මාණය බිහි කරන්න. විශේෂයෙන් කියන්න ඕනෑ සුනාමි නිෂ්පාදනයේදී මම පුංචි හරි විවේකයක් ලැබුවේ මට අනගි සහයක් ලබා දුන්න මධුරංග ජාගොඩ නිසා කියලා. සමහර ලොකේෂන් කළමනාකරණයේදී මධුරංග මට ලබා දුන්නේ සුළුපටු සහයක් නොවෙයි.

විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරන චිත්‍රපටයක් වුණත් අද ප්‍රේක්ෂකයන්ට පෙන්නීමේදී අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා නොවේද?

මේ සඳහා ගැටලු ගණනාවක් තියෙනවා. ලංකාව තුළ චිත්‍රපට බෙදා හැරීමේ තියෙන අවධිමත්කම, චිත්‍රපට කර්මාන්තයක් ලෙස අප රට තුළ ක්‍රියාත්මක නොවීම. අපි අන්තර් ජාතික සම්මාන ලැබුවත් අපි ඉන්නේ චිත්‍රපට කර්මාන්තයක් විදියට පහත්ම තත්ත්වයේ. රංගනය ගැන ඉගෙන ගෙන, කාර්මික පැත්තෙන් ඉගෙන ගෙන වෘත්තියක් ලෙස ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපිට ඉඩක් නැහැ. අපේ රටේ චිත්‍රපට කර්මාන්තයක් ලෙස නොපැවතුණත් ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව ඉහළ මට්ටමක තියෙනවා. ඒකට හේතුව ප්‍රේක්ෂකයන්ට ලෝකයේ ඕනෑම චිත්‍රපටයක් නැරඹීමේ තාක්ෂණික මෙවලම් ඔවුන් අතට පත්වීම. දවසින් දවස ප්‍රේක්ෂක රසඥතාව ඉහළ යාම තුළ ඔවුන් අපෙනුත් බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනෙක් රටවල තැනෙන සිනමා නිර්මාණ මට්ටමේ චිත්‍රපට. මෙතන විශාල පරස්පරයක් තියෙනවා. අපිට ඒ වගේ චිත්‍රපට හදන්න බැහැ නොවෙයි. දැනුම තියෙන අය, ඕනෑ තරම් සල්ලිත් තියෙනවා කියමුකො. ඒත් කෝ කර්මාන්තයක් විදියට වෙළෙඳපොළක්. අන්න එතනයි ප්‍රශ්නය.

ඔබ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කියන්නේ නිර්මාණය වන චිත්‍රපට ලෝකයට යන්න නම් රජයත් ඒ සඳහා මැදිහත් විය යුතුයි කියලද?

පැහැදිලිවම. අපිට පුළුවන් චිත්‍රපට හදන්න. ඒත් අපිට බැහැනේ ඒක විකුණන්න. අපේ රටෙත් චිත්‍රපට කර්මාන්තයක් ලෙස මේක පවතිනවා නම් ඒක අනෙක් රටවල පෙන්නීමට රජයකට පුළුවන් සබඳතාවයක් ඇති කර දෙන්න. මේක පුද්ගල න්‍යායකට වෙන දෙයක් නෙවෙයි. කාටත් පොදු ප්‍රතිපත්තියක් විය යුතු දෙයක්. අපි චිත්‍රපටයක් කළාට ඒක පෙන්වන්න එළියට දැම්මට පස්සේ ඒක පාරිභෝගික භාණ්ඩයක්. යම් අයෙකුට පුළුවන් මුදලක් ගෙවලා ඒක නරඹන්නත්, නැත්නම් නිකන් ඉන්නත්. අපිට බැහනේ මේක බලන්න ඕනෑමයි කියලා නීති දාන්න.

අධික පිරිවැයක් දරා නිර්මාණය කළ සුනාමි අද පේ‍්‍රක්ෂකයන් අතරට ගෙන යාම ඔබට ගැටලුවක් වෙලා තියෙනවාද?

ඔව්. ප්‍රේක්ෂකයා වෙත චිත්‍රපටය ගෙන යන්න නම් අපිට ප්‍රචාරය අවශ්‍යයි. චිත්‍රපටයක් කියන්නේ කලා කෘතියක්. මේ කලා කෘතියත් වාණිජ වටිනාකමක් තියෙන වෙළඳ භාණ්ඩයක්. ප්‍රචාරණයේදී ගණන් ගන්නේ එකම මට්ටමකින්. චිත්‍රපටයක් උපරිම මාස දෙකක් තුනක් පවතීවි. ඒත් වෙළෙඳ භාණ්ඩයක් සැමදාටම පවතීවි. මෙතනදි රූපවාහිනි මාධ්‍යයේ එක තත්පර තිහක දැන්වීමක් වෙනුවෙන් අපි රුපියල් ලක්ෂ අටකට වැඩි මුදලක් වියදම් කරන්න ඕනෑ ප්‍රේක්ෂකයා දැනුවත් කරන්න විතරක්. හැබැයි අපි මේ හැම දෙයක්ම කරන්නේ ප්‍රේක්ෂකයගේ ජනමනස පුබුදාලන්න. මම අහන්නේ වෙළෙඳ භාණ්ඩය විකුණන්න ගන්න මුදල අපේ කලා නිර්මාණයක් වෙනුවෙනුත් ගන්න එක හරිද කියලයි. කලා නිර්මාණයකින් රටක ශිෂ්ටාචාරයක් හැදෙනවා. මිනිස්සුන්ගේ ජන මනස ඉහළ යනවා. මෙන්න මේ වගේ පොදු ව්‍යුහයක් ගැනවත් නොසිතන කොට කොහොමද කලා නිර්මාණයක් ජනගත කරන්න නිෂ්පාදකයෙක් පෙළඹෙන්නේ.

චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණොත් ඔහුට තම නිර්මාණ ජනගත කරන්න රූපවාහිනී මාධ්‍ය ආයතනයක් තිබිය යුතුයි කියල ද ඔබ කියන්නේ?

එහෙම තත්ත්වයක් තමයි අද දකින්න තියෙන්නේ. සිනමාහල් වුණත් කැමති හොඳ ප්‍රසිද්ධියක් තියෙන චිත්‍රපට ගන්න. එවැනි මාධ්‍ය ආයතන හිමි අය කරන චිත්‍රපට සමඟත් සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයන්ට අද තරඟ කරන්න සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ නිර්මාණය වෙනුවෙන්.

මේ වෙන කොට සුනාමි වටා ප්‍රේක්ෂකයෝ එක් වෙලාද?

ඔව්. අද වෙන කොට රේණුකා - සෝමරත්න සුසංයෝගයේ චිත්‍රපට බලන්න ආස කරන ප්‍රේක්ෂකයෝ අපි වටා රොක් වෙමින් ඉන්නවා. ඒක තව ඉදිරි දිනවලදී තවත් වර්ධනය වෙයි. චිත්‍රපටය තිරගත කරලා මුල්ම සති අන්තයේ අපිට ඒ ප්‍රේක්ෂක වර්ධනය ඉහළින්ම දකින්න තිබුණා. අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ හුඟක් ඉන්නේ කොළඹින් බැහැර දුර පළාත්වල. සමහර ප්‍රේක්ෂකයෝ අපිට දුරකථනයෙන් කතාකරලා චිත්‍රපටය ගැන හොඳ කියනවා. සුනාමි බලපු කවුරුවත් නරකක් කිව්වේ නැහැ. බලපු ගොඩක් අය හරියට සංවේදී වුණා කියලා තමයි කිව්වේ.

ඔබේ මෙවර සුනාමි නිෂ්පාදනය අපේ සහජීවනයට හොඳ පාලමක් නොවෙයිද?

අපි මේ චිත්‍රපටයේ අවුරුදු ගාණක් කතා කළ සහජීවනය, මනුස්සකම ගැන කතා කරනවා. මේ චිත්‍රපටය බලපු දෙමළ ජනමාධ්‍යවේදීන් අපිට උපරිම සහායක් ලබා දෙනවා. ඒත් අපිට උතුරු නැගෙනහිර මේ චිත්‍රපටය පෙන්වන්න හෝල් දෙන්නේ නැහැ. ඒ හෝල් ඔක්කොම ඉන්දියානු චිත්‍රපට ආක්‍රමණය කරලා. මේ චිත්‍රපටයේ ෆයිට් නැහැ. ඒත් අපි කාටත් වැදගත් වෙන පණිවිඩයක් මේ චිත්‍රපටයේ තියෙනවා. මේ රටේ හැම පුරවැසියෙක්ම ජාති, ආගම් භේදයෙන් තොරව නැරඹිය යුතු චිත්‍රපටයක් සුනාමි. එතකොට තමයි තමන් තුළ ඉන්න මනුස්සයා අවදි වෙන්නේ. සිංහල මිනිස්සු විතරක ්බැලුවට වැඩක් නැහැ. අනික් ජාතීන්වල මිනිස්සුත් මෙය නැරඹිය යුතුයි. ඒ අයට බලන්න පුළුවන් විදියට ඒ භාෂාවන්ගෙන් මේක හදලා තියෙනවා. නමුත් ඒ පළාත්වල පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඉඩක් නැහැ. හැබැයි අපිට මේ චිත්‍රපටය පෙන්වන්න මේ පළාත්වල සිනමාහල් ලැබුණේ නැත්නම් මේ චිත්‍රපටයේ තියෙන උතුම් පරමාර්ථය නිසාම මම නිෂ්පාදිකාව ලෙස මේ චිත්‍රපටය කඩමණ්ඩිවල හරි නොමිලේ පෙන්වනවා. මම ඉල්ලීමක් කරනවා අපි ජාතීන් ලෙස සමඟියෙන් එකට ජීවත් වෙනවා දකින්න කවුරුන් හෝ කැමති නම් එන්න අපිත් සමඟ එකතු වෙලා මේ චිත්‍රපටය උතුරු නැගෙනහිර හා අනෙකුත් පළාත්වල දෙමළ, මුස්ලිම් ජනතාව ඉන්න පැතිවල පෙන්වන්න උදව් කරන්න කියලා. තවත් එක දෙයක් මම අපිට ආදරය කරන ප්‍රේ්ක්ෂකයන්ට කියනවා. අපි විශාල පිරිවැයක් දරලා ඔබ වෙනුවෙන් දැවැන්ත සිනමා නිර්මාණයක් කළා. තමන්ට පුළුවන් හැකි ඉක්මනින් ළඟම සිනමා ශාලාවට ගොස් චිත්‍රපටය නරඹා තමන්ට මේ චිත්‍රපටය දැනුණා නම් තවත් කෙනෙකුට එය සිනමා ශාලාවකදීම නරඹන ලෙස මතක් කරන්නත් අමතක කරන්න එපා කියලා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.