සම්භාවනීය නවකතාවක සම්මානනීය සිනමා ප‍්‍රවේශය

”‍විරාගය”‍
අප්‍රේල් 30, 2020

වික‍්‍රමසිංහ කී දේ බොරු බව , අබේසේකර තම සිනමාපටයෙන් ඔප්පු ක⁣ළේ, අරවින්ද, සරෝජිනි සමඟ පැන යාමට ලෑස්ති වීමත්, අන් අතකට බතී ජිනදාස සමඟ යහළු වී ඇති බව දැන ගත් විට අරවින්දට ගිය කේන්තියත් හරහාය.අවසානයේදී අරවින්ද සරෝජිනිට කියන්නේ තමා බතීට දුරක සිට ආදරය කරන්නට ඇතැයි කියාය.

”‍කසාද බැඳලා ගෑණුන්ව බදාගෙන ඉඹින්න හොඳයි. ගෑණුන්ගෙ මළකදන් අත ගාන්න නරකයි”‍

ජයසේන වෙදමහත්තයා මේ අයුරින් ගිගිරුවේ, තම පුත‍්‍රයා අරවින්ද ජයසේන, දොස්තර කෙනෙකු වීමට ඉගෙන ගැන්මට අකමැති බව පැවසූ නිසාය. ඔහු එයට හේතු දැක්වූයේ තමාට ගෙම්බො කපන්නට බැරි බව කීමත් ,ඊටත් වඩා මළමිනි අතගාන්නට බැරි බව කීමත් නිසාය. ඔහුගේ සහෝදරිය වූ මේනකාද එයට වැඩි කැමැත්තක් නොදැක්වූයේ, මල්ලිට දොස්තර කෙනෙක් වීමට සෑහෙන මුදලක් යට කරන්නට තාත්තාට සිදුවන නිසාය. ඇය ඒ ගැන කියන විට, ජයසේන වෙදමහත්තයා නැවතත් ගිගිරුවේ, ඒ වියදම් තමා බලාගන්නම් කියාය. එහෙත් තාත්තාට එතරම් දෙයක් කිරීමට නොහැකි බව මේනකා දන්නේ, තමාගේ මඟු‍ලටත් තාත්තා විශාල වශයෙන් නය වී ඇති නිසාත්, එලෙසම මෙම වලව්වක් බඳු විශාල ගෙයත් තම සැමියාට උකස් කර සල්ලි ගත් නිසාත්ය.

”‍තාත්තට ඕනෙ ලොකු ලොකු අයව ආශ‍්‍රය කරන්න. ඒක හින්ද තාත්තා හදන්නෙ මාව ලොකු මිනිහෙක් කරන්න.”‍

අරවින්ද තම මවට කීවිට ඇය ඔහුට කීවේ ‘ලොකු මිනිහෙක් වෙනවට වඩා හොඳ මිනිහෙක් වන්නට කියාය.

එහෙත් අරවින්දට වැරදුනේ අම්මා කී ලෙස හොඳ මිනිසෙකු වෙන්නට ගොස්ය. යම් හෙයකින් තාත්තා කී ලෙස දොස්තර කෙනෙක් වූවා නම් ,අරවින්දට මේ කිසිදු ව්‍යවසනයක් සිද්ධවෙන්නේ නැත.

මාටින් වික‍්‍රමසිංහ ලියූ ”‍විරාගය”‍ නවකථාව තුල සිනමාවට උචිත දෑ තිබෙනවාද යන්න සොයනවාට වඩා මාටින් වික‍්‍රමසිංහ ගේ නවකථාවක් සිනමාවට නංවනවා කියන එක සම්භාව්‍යට පත් වන්නට තියෙන කෙටිම මාර්ගයක් බව අධ්‍යක්ෂක වරුන් දැනගත්තේ ලෙස්ටර් ජේමිස් පීරිස් ”‍ගම්පෙරළිය”‍ නිර්මාණය කෙරුවාට පසුය. වික‍්‍රමසිංහ රැුල්ලක් සිනමාවට ගෙන ආවේ ලෙස්ටර්ය. ‘ගම්පෙරළියෙන් ‘ පසු ”‍විරාගය‘ සිනමාවට නැගීමට සිහින මැවූ ලෙස්ටර් එහී අරවින්ද වූ මුඛ්‍ය චරිතයට ටෝනී රණසිංහව වෙන් කරගෙනම සිටියේය.

වික‍්‍රමසිංහගෙ කෘතින් තුල සාහිත්‍යම වටිනාකම් කෙතරම් වුවද, එය සිනමාවට උචිත යැයි ලෙස්ටර් විසින් හදුන්වා දුන්නද, ලෙස්ටර් හැරෙන්නට වෙනත් සිනමා කරුවන්ට වික‍්‍රමසිංහගේ කෘතින් සිනමාවට ගෙන ඒමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ‘ගම් පෙරළිය‘ සිනමාත්මක සාර්ථකත්වයක් වූවද, වානිජ්‍යමය අසාර්ථක වීම තුළ වික‍්‍රමසිංහ රැුල්ලක් සිනමාව තුළ ඇතිවූයේ නැත. එය නැවතත් ඉපැද්දවූවේද ලෙස්ටර්මය. මෙඩාල්¥ව,කලියුගය සහ යුගාන්තය සමගය. ”‍විරාගය”‍ද ලෙස්ටර් සැලසුම් කලද, කැරකුනේ තිස්සටය.

සරෝජිනීලා ,අරවින්දලාගේ නිවසට යාම් ඊම් කළේ පොඩි කාලේ සිටමය. සරෝජිනීලා පමණක් නොව සිරිදාසලා පවා අරවින්දලගේ නිවෙස් වලට ආයේ ඒ කුඩා කාලයේදීමය. සිරිදාස කොහොමත් කඩිසරය. කෙළිලොල්ය. සරෝජිනි ගෙ වැඩි කැමැත්ත තිබුණේ තරමක් නිහඩ, ඔතෑනි චරිතයක් වූ අරවින්දටය. ඒ, සරෝජිනි, දඩබ්බර, සෘජු තීරණ වලට එළැබෙන ශක්තිමත් චරිතයක් නිසාය. සිරිදාස ගේ සිතේ සරෝජිනී ගැන ඇල්මක් ඇතිවූයේ කුඩා කල සිටමය.මේ ත‍්‍රිකෝන පේ‍්‍රම වෘත්තාන්ත නම් අපට, හින්දි, දෙමළ, මෙන්ම සිංහල චිත‍්‍රපට වල අනන්තවත් හමුවේ. නමුත් විරාගය තුළ එය සිදුවෙන්නෙ කිසිවකට නොදැනීමය.

අරවින්ද දොස්තර කෙනෙක් වූයේ නැත. එදා ජයසේන වෙද මහත්තයා එයට මුල් අදහස දුන්නද, එය ප‍්‍රායෝගීකව සිදු වූයේ නැත. අරවින්ද සරෝජිනිට කිව්වේ තමා සරෝජිනි කැමති රැුකියාවක් කරන බවය.එහෙයින් අරවින්ද සීනියර් විභාගය ලියා සමර්ථ වී ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විය. එකල ,ඉංග‍්‍රිසි ආණ්ඩුව යටතේ රජයේ කාර්යාලයක ක්ලාක් කෙනෙක් වීම යනු හොඳ පිළිගැනීමක් ඇති රැකියාවකි.

සරෝජිනීගේ ගෙදරින් සරෝජිනීට විවාහ යෝජනා ගෙන එන්නට විය. සරෝජිනිගේ අම්මා උසස් ⁣වෘත්තිකයෙකු යෝජනා කෙරූ අතර, පියා යෝජනා ක⁣ළේ සිරිදාසවය. ඇයව අරවින්දට විවාහ කරදීමට ඔවුන් කැමති නැත.

වික‍්‍රමසිංහ අරවින්දව විරාගීක කිරීමට උත්සහ කලද, අබේසේකර අරවින්දට ජීවයක් දීමට තැත් ක⁣ළේය. සරෝජිනි තනි තීරණයක් ගෙන අරවින්ද සමඟ පැන යාමට ලැස්ති වූ විට, අරවින්ද එක පයින් එයට එකතුවිය. ඔහු විරාගීක නම් එසේ එකතු වෙන්නේ නැත. ඔහුටද සරෝජිනි සමඟ එකතු වී පවුල් කෑමට උවමනා විය. සරෝජිනි අරවින්දට අවංකව ආදරය කළාය. ඇය දෙමපියන්ට හොරා අරවින්ද සමඟ පැන යාමට තීරණය කළේ අරවින්දට මාසයකට රුපියල් හැත්තෑ පහක පඩියක් ලැබෙන බවක් දැන දැනය. සිරිදාසට මසකට රුපියල් තුන්සීයක් හා තවත් අමතර ආදායම් රුපියල් පන්සීයක් ලැබෙන බව දැන දැනත් සරෝජිනි, අරවින්ද සමඟම යන්නට තැත් කළේ ඔහුට තිබෙන ආදරයටමය. සරෝජිනි අරවින්දට කීවෙි, ඔවුන් පැන ගොස් අව්රුදු දෙක තුනක් එකට ජීවත් වී පසුව දෙමාපියන්ගේ කැමැත්ත ගෙන නිත්‍යානුකූලව විවාහ වෙමු කියාය. මෙහී පැහැදිලිවම දක්නට ලැබුණේ පුරුෂාධිපත්‍ය අතට අරගෙන තිබුණේ සරෝජිනි බවය. ඇය අරවින්ද සමඟ එකට ඉන්නට උත්සහා කළේද පුරුෂාධිපත්‍ය තම අතට ගැනීමට ඇති හැකියාව නිසා විය හැක. සිරිදාස සමඟ විවාහ වුව හොත් ඇයට වන්නේ ඔහුට යටහත්ව සිටින්නටය. එහෙත් අරවින්ද ඕනෑම දෙයක් තීරණය කිරීමට සරෝජිනීට ඉඩදෙයි. ‘ මං සරෝජිනි කැමති රස්සාවක් කරන්නම්‘ කියා අරවින්ද කිව්වේ ඒ නිසාය.

වික‍්‍රමසිංහ, තම කෘතිය තුළ අරවින්දව උපද්දා තිබුණේ ⁣ තනි තීරණයක් ගැනීමට නොහැකි මිනිසෙකු ලෙසය. සරෝජිනි සමඟ පැනයාමද නතර වූයේ , මේනකාගේ සැමියාගේ ගෝරනාඩුවෙන් පස්සේය. ඔහු කීවේ සරෝජිනි බාල වයස් කාරියක් නිසා ඔහුට ඇය සමඟ ජීවත් වීම, නීතියෙන් කල නොහැකි බවය. අරවින්දගේ දෙපැත්තට වැනෙන තීරණ නිසා, සරෝජිනීව අයිති වූයේ සිරිදාසටය. සරෝජිනී බාල වයස් කාරියක් නමි, ඇය සිරිදාස සමඟ නිත්‍යනුකූලව විවාහ වුණේ කෙසේදැයි , තිස්ස අබේසේකර අපට පෙන්වන්නේ නැත. වික‍්‍රමසිංහ තම කෘතියෙන් ඒ ගැන විස්තර කෙරුවාදයි කියා නම් මට මතකයක් නැත.

සරෝජිනී විවාහ වීම ගැන අරවින්ද, වික්ෂෝප වූයේ නැත. සතුටු වූයේද නැත. එහෙත් ඔහු හුදකලා විය. ජීවිතය කන්තෝරුවටත්, නිවසටත් පමණක් සීමා විය. නිවසේ කාමරය තුල වෙඩි බෙහෙත් හැදීම ගැන අරවින්ද සුළු අත්හදා බැලීමක් කරන්නට ගොස් කාමරය තුළ සුළු වශයෙන් පිපීරීමක් වීමෙන් සිදුවූයේ අරවින්දට තම නිවසින් යෑමටය. ඒ වන විට මේ නිවස සම්පූර්ණයෙන්ම අයිති කර ගෙන තිබුණේ අරවින්දගේ සොහොයුරිය වූ මේනකාගේ ස්වාමිපුරුෂයාය.

අරවින්ද, බතී ගේ නිවසේ කාමරයක ලැගුම් ගන්නේ ඉන්පසුවය. එවකට බතී යනු අව්රුදු 10 -12ක පමණ දැරියකි. අරවින්ද ඇයට සැලකුයේ දියණියක ලෙසය. ඇය⁣ සිටියේ ඇයගේ මව සමඟය. පියා මිය ගොස්ය. මේ හේතුවෙන් ඇයගේ පාසැල් ගමනද නතර වී තිබුණි. අරවින්ද ඔහුගේ වියදමින් ඇයගේ පාසැල් ගමන යලි අරඹා දුන්නේය.

මේනකා යනු සටකපට, කුම්මැහි ,ආත්මාර්ථකාමි ගැහැණියකි. ඇය ගේ මව වෙද හාමිනේ තම සැමියා මිය ගිය පසු නිවස හැර ගියේද මේනකා සමඟ සිටීමට නොහැකි නිසාය. වෙද හාමිනේ කිසිවෙකුට නොනැමෙන ගැහැණියෙකි. ඇය ,ඇයගේ සැමියා සිටියදී පවා ඔහුට යටත්වම සිටියේ නැත. එහෙත් අරවින්ද, මේනකාට බයය. මේනකා මුළු ගෙයම අයිති කරගන්නා විටත් අරවින්ද එයට හඩනැගුවේ නැත. වෙඩි බෙහෙත් සිද්ධියෙන් පසු මේනකා වහලේ උළු හෙල්ලෙන්න කෑ ගැහැව්වද, එයට වචනයක් හෝ නොකියා අරවින්ද නිවසින් ගියේ මේනකාගේ කටට බය නිසා වන්නට ඇත. එතනද පෙනුනේ අරවින්දගේ නෝංජල් කමය.

එහෙත් ඒ නෝංජල් කම, එක් නිමේෂයකදී, රෞද්‍රවූයේ කෙසේද?. වික‍්‍රමසිංහ, මෙතෙක් හංගා හිටි දේ අබේසේකර විසින් එළියට දැමීය. ඒ බති තුරුණු වියට එළැබී, ජිනදාස නම් ඩ‍්‍රයිවර් කෙනෙකුට කවි ලිවීම නිසාය. බතීව බැලීමට ?ට ?ට ජිනදාස ජනේලය ලඟට පැමිණෙන බවත් අරවින්ද දැනගති. අරවින්දගේ අත වේගයෙන් බතීගේ කම්මුල හරහා ගියේ, ඔහු මෙතෙක් කල් රැුක ගෙන සිටි නෝංජල් කමත් නැති කර ගමිනි.

බතී ⁣වල් කෙල්ලෙක් යැයි, කියා පරිබව කළේ මේනකාය. ඇය පමණක් නොව, සිරිදාසත් එසේ කීය. එහෙත් පුදුමය නම් සරෝජිනිත් එයම මිමිණීමයි. බතී කෙරු වල් කමක් නැත. ඇය ජිනදාස සමඟ යාළු වීමත්, ජිනදාසට කවි ලිවීමත්, ?ට ?ට ජනෙල් කූරු අස්සෙන් ජිනදාස සමඟ උකුළු මුකුළු කිරීම වල් කමක් සේ නමි සැලකිය නොහැක. එහෙත් මේනකා කී පරිදි, ගම්මුන් කථා වෙන්නේ වෙන දෙයකි. ඒ අරවින්ද, දැං හොදට ඇග පත හැදී ඇති බතී සමඟ නොමනා සම්බන්ධයක් ගෙන යනවා කියාය. අරවින්දට එතරම් දෙයක් කිරීමට නොහැකි බව මේනකා දැන ගත්තද, මේනකා එය උලූ‍ප්ප උලූ‍ප්ප පෙන්වූවේ, අරවින්ද බතී වෙනුවෙන් වියදම් කරන නිසාය.

සරෝජනීටද, අරවින්දව නොලැබීම ගැන තවමත් ඇත්තේ ලෝබ කමකි. ඇය උඩු හිතින් නොපෙන්නුවාට, සරෝජිනි අරවින්දගේ ආදරයට පෙරේත විය. බතී එම ආදරය ඩැහැ ගනීවි යැයි, ලෝබ කමක් ඇයට තිබුණි. ‘ අරවින්දට ආදරය කරන්න දන්නෙ නැහැ. අරවින්ද ආදරය කරන්නෙ දුර ඉදන්‘. අර ලෝබ කමත් පෙරේත කමත් යටපත් කරගෙන සරෝජිනී කී දෙයට අරවින්ද කීවේද තමාට ආදරය කිරීමට නොහැකි බවය. එසේම ඔහු සරෝජිනිගේ මුහුණටම කීවේ තමා සරෝජිනීට ආදරය කලාද කියාත් තමන්ට විශ්වාස නැති බවය.

එහෙත් වික‍්‍රමසිංහ කී දේ බොරු බව , අබේසේකර තම සිනමාපටයෙන් ඔප්පු ක⁣ළේ, අරවින්ද, සරෝජිනි සමඟ පැන යාමට ලෑස්ති වීමත්, අන් අතකට බතී ජිනදාස සමඟ යහළු වී ඇති බව දැන ගත් විට අරවින්දට ගිය කේන්තියත් හරහාය.අවසානයේදී අරවින්ද සරෝජිනිට කියන්නේ තමා බතීට දුරක සිට ආදරය කරන්නට ඇතැයි කියාය. මාර්ටින් වික‍්‍රමසිංහ විසින් විරාගී කරන්නට උත්සහා කල අරවින්දව, තිස්ස අබේසේකර විසින් සරාගී කරාදෝ කියන හැඟීම ‘ විරාගය‘ සිනමා පටය තුල සැගවී තිබුණා කියා දැනෙන්නට වීමම අබේසේකර විදහා පෙන්වූ දක්ෂකමය .

වික‍්‍රමසිංහ අසීමාන්තිකව අරවින්දගේ මනසට කිදා බැස ඒ තුල සක්මන් කරන විට, ඔහුට අරවින්දව එක් එක් අර්ථකථනයකින් හැදින්වීමට නිදහස තිබුණි. ඔහු අරවින්දව ‘සයිකොලෝජිකල් කැරැුක්ටර්‘ එකක් ලෙස හඳුන්වන්නෙත්, තම කෘතිය ‘සයිකොලෝජිකල් නවල්‘ එකක් ලෙස හඳුන්වන්නෙත් ඒ නිදහස තුළය.

එහෙත් සිනාමවෙිදි ඇති කාල පරාසය තුල අබේසේකරට ඒ අසීමිත නිදහස තිබුණේ නැත. එනමුදු, තිස්ස ,අරවින්දව මතුපිටින් අතගාන්න කැමතිවී තිබුණේද නැත. අරවින්දගෙ අභ්‍යන්තරය අර සීමාන්තික කාල පරාසය තුලින් පෙන්වීමට තිස්ස උපයෝගි කරගත් චරිතය වූයේ කුලසේකර තැපැල් මහත්තයාය. අරවින්දව බොහෝ විට බුද්ධිමත් පේ‍්‍රක්ෂකයා හඳුනා ගත්තේ තැපැල් මහත්තයා හරහාය. මේනකා හිතන්නෙ අරවින්දගේ ඔලූ‍ව නරක් කරන්නේ කුලසේකර කියාය. නමුත් හැම ප‍්‍රශ්නයකදිම මධ්‍යස්ථව සිටින ලෙස අරවින්දට කියා දෙන්නේ කුලසේකරය. මුළු චිත‍්‍රපටය පුරාවටම අරවින්දට සිටින එකම හිතේෂීයා කුලසේකර තැපැල් මහතාය. බතී ජිනදාස සමඟ කසාදෙ රෙජිසිටර් කිරීමට, අරවින්ද මේනකාට මෙන්ම සරෝජිනිටද ආරාධනා කළද , ඔවුන් නොයෙකුත් හේතුන් පෙන්වා එය මඟ හැරියද, අරවින්ද සමඟ සියලූ‍ වැඩ කටයුතු කරට ගත්තේද කුලසේකර තැපැල් මහත්තයාය.

අරවින්ද දරුණු ලෙස අසනීපවූ විට, සරෝජිනි බලන්නට පැමිණියද, ඇය කීවේ මේනකාගේ නිවසට ගොස් නවතින්නට කියාය. ඇය සාත්තුවට කෙනෙකු එවන බවක්ද කීය. සරෝජිනි අරවින්දටත්, අරවින්ද සරෝජනිටත් දැඩිව ආදරයෙන් සිටි බවක් හොඳහැටි ඔප්පු වූයේද ඔවුනගේ ඒ අවසන් හමුවේදීය. ඔවුන් දෙඅත් පටලවාගෙන සුළු වේලාවක් සිටියේ ඒ නිසාය. වික‍්‍රමසිංහගේ විරාගී අරවින්ද ද සෙනෙහස, ආදරය හඳුනන බවක් තිස්ස පෙන්වූයේ එසේය.

මේනකා ලඟට නොගොස් සිටි,රෝගී අරවින්දව, අවසානායේ මිය යන තෙක් බලා ගත්තේ හැමෝම අපහස කල බතී සහ ජයසේනය. නියම මිනිස් කම අරවින්දට ඇත්තටම ලැබුණේ, බතීගෙන් සහ ජයසේනගෙනි. අරවින්ද තෘප්තිමත්ව මිය ගියේ ඒ සෙනෙහසත් තුරුළු කරගෙනය.

තිස්ස අබේසේකර ”‍විරාගය ”‍ චිත‍්‍රපටය තුළින් අභියෝග කීපයක්ම ජයගත්තේය. සනත් ගුණතිලක වැනි වානිජ්‍ය ධාරාවේ රැුගූ නළුවෙකු, සම්භාව්‍ය රංගන ශෛලයකට හුරු කිරීම, මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පමණක් අයිතිවූ මාටින් වික‍්‍රමසිංහ ගේ කෘතින් තිස්ස අබේසේකරටද කර හැකි බව ඔප්පු කිරීමය. ඒ හැමටම වඩා තිස්ස, අද්විතීය ලෙස තිරනාටකය සකසා කාව්‍යයක් මෙන් නිර්මාණය කිරීම හා කෘතියෙන් ලැබෙන තෘප්තියම සිනමා පටයෙනුත් ලබා දීම. ඒවා අගය කළ යුතු කරුණු විය. එයට කැමරා අධ්‍යක්ෂණය, සංගීතය හා වේෂ නිරූපනය විශිෂ්ඨ මෙහෙවරක් කර තිබුණි.

සනත් ගුණතිලකගේ කැපවීම මුලූ‍ චිත‍්‍රපටය පුරාවටම විය. සනත්ගේ බාහිරත්වය, චරිතයේ වියපත් ස්වරූපයට නොගැලපුනද, ඔහු එය තම විශිෂ්ඨ රංගනයෙන් ඒ නොගැලපෙන තැන් යටපත් කර දැමීය. විරාගයේ අරවින්දගේ චරිතය සනත් ගුණතිලකගේ සිනමා රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂණය විය. එතෙක් සීනිබෝල චරිත රඟපෑ සනත්, රඟපෑම යනු කුමක්දැයි හඳුනා ගත්තේ මෙම චරිතය තුළිනි. අරවින්දගේ අභ්‍යන්තරය මැනවින් වටහා ගෙන තම සිරුර,චලනය,හැගීම් ඒ අනුව හසුරවමින්, සනත් ගුණතිලක, අරවින්ද ජයසේනට පරිවර්ථනය වී ‘විරාගය‘ සිනමා පටය තුළ අද්විතීය විය.

ශ‍්‍රියාණි අමරසේන, සරෝජිනි ලෙසත්, සබීතා පෙරේරා බතී ලෙසත් කල රඟපෑම තුළින් සනත්ට කදිම සහයක් ලබා දුනි. ඩග්ලස් රණසිංහ සිරිදාස විය. ජෝ අබේවික‍්‍රම ⁣ජයසේන වෙද මහත්තයා ලෙසත්, සෝමලතා සුබසිංහ වෙද හාමිනේ ලෙසත්, සුනෙත‍්‍රා සරත්චන්ද්‍ර මේනකා ලෙසත්, ක්ලීටස් මෙන්ඩිස් ජිනදාස ලෙසත්, දයා අල්විස් කුලසේකර තැපැල් මහත්තයා ලෙසත්, සුවිශේෂිත රංගනයක නිරත වූහ. නිහාල් ප‍්‍රනාන්දු , අසෝකා පීරිස්, මියුරි සමරසිංහ, ජී.ආර්.පෙරේරා, රත්නා සුමනපාල, සුනිල් හෙට්ටිආරච්චි, සෙසු චරිත වලට පණ පෙවුහ.

ලාල් වික‍්‍රමආරච්චි කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සරත් ප‍්‍රනාන්දු සංගීතයෙන්ද, ශේෂා පළිහක්කාර වේශ නිරූපණයෙන් එක්වූ ‘විරාගය‘, තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළේ තිස්ස අබේසේකරය. චන්ද්‍රා මල්ලවආරච්චි නිශ්පාදනය කළ මෙය තිරගත කිරීම ආරම්භ කළේ 1987 ඔක්තෝබර් 2වනිදාය. විරාගය සරසවිය සම්මාන උෙලෙළ් හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 11 ක් දිනා ගැන්මට සමත්විය.



(ලබන සතියේ තවත් චිත‍්‍රපටයක්)