අපි ලෑස්ති වෙන්නේ මෙන්න මෙහෙමයි

ස්කෝප් සිනමාස් ප‍්‍රධාන විධායක-තුෂාන් මීමනගේ
මැයි 21, 2020

මුළු ලෝකයම සුවපත් විය යුතුය යන්න අප සියල්ලන්ගේම විශ්වාසය හා ප‍්‍රාර්ථනයයි. අපේ පුංචි දිවයින ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු දැකීමත් සිතට සහනයක් ගෙනෙන්නකි. කොරෝනා වසංගතයෙන් පසු සිනමා වසන්තය එලැඹෙන්නේ කවදාද යන්න සමස්ත සිනමා ලෝලීන් හට ඒ සමඟම නැගෙන හැඟීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැන්නන් හට සුබාරංචියක් ගෙන ඒමටයි සරසවියේ මේ සූදානම. එහෙත් ඒ සියල්ලන්ට වඩා ජීවිතය වටින බැවින්, ඒ සියල්ල විඳිය හැක්කේ නිරෝගීව ජීවත් වුවහොත් පමණක් බැවින්, මේ ආරංචිය සැබෑ සුබ ආරංචියක් කිරීමට අප සෞඛ්‍යාරක්ෂණ ක‍්‍රමවේද පිළිබඳ වැඩි අවධානයකින් ප‍්‍රශ්න කළා. ඉතින් දැන් හෙළි කරන්න සූදානම් වන්නේ තව සති කීපයකින් නැවත විවෘත වන ස්කෝප් සිනමා සංකීර්ණය පිළිබඳවයි. එහි ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාන් මීමනගේ සමඟ අපි ස්කෝප් සිනමා සංකීර්ණයේ ප‍්‍රදර්ශන ඇරඹීම පිළිබඳව මෙන්ම වත්මන් සිනමා කර්මාන්තය පිළිබඳවද දුරකථන සංවාදයක යෙදුණා.
 
 අගෝස්තු පමණ වනවිට ස්කෝප් සිනමාස් සංකීර්ණය යළි විවෘත වන ආරංචියට අපි සතුටුයි වගේම පොඩි බියකුත් දැනෙනවා?
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවානේ මේ කොරෝනා වෛරසය නැති වන්නේ නැහැ කියලා. ඉතින් රටේ අපි හැමෝටම මේ තත්ත්වය සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම.
 
 හැබැයි බොහෝ දෙනා කියන්නේ මුලින්ම අවධානය යොමුවන්නේ විනෝද කටයුතුවලට වඩා මූලික අවශ්‍යතා සපුරාගන්නා ආර්ථික කළමනාකරණයකට ජනතාව හුරු විය යුතු බව නේද?
 
 අපේ ජීවිතවලට එන්ටර්ටේන්මන් නැත්නම් විනෝදාස්වාදය කියන දේ අනිවාර්යයෙන් ඕනෙනේ. අපි හැමකෙනෙක්ම සතුට කියන දේ හොයාගෙන යනවා. හැබැයි ඒ අවස්ථාවේදී බොරු නොකර, සැබැවින්ම මිනිසුන්ට විනෝද විය හැකි දෙයක්, තමන්ගේ ප‍්‍රශ්න මදිවට තවත් ප‍්‍රශ්න ඔළුවේ දාගෙන එන්නේ නැතුව සතුටින් සියලූ‍ ප‍්‍රශ්න මොහොතකට අමතක කරන්න පුළුවන් විදිහේ මනස නිදහස් වන චිත‍්‍රපටයක් තෝරාගෙන පෙන්නුවොත් සහ අපි අපේ ප‍්‍රවේශපත‍්‍ර මිල ගණන් තවදුරටත් සහනදායී මිලකට ගෙනාවොත් අනිවාර්යයෙන්ම පේ‍්‍රක්ෂකයන් සිනමාවට ඇදෙනවා. හැබැයි සමහරු හිතනවා වගේ පරණ චිත‍්‍රපට පෙන්නලා නම් ජීවිතේට පේ‍්‍රක්ෂකයන් ආකර්ෂණය කරගන්න බැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ආයතනයක් ලෙස නිරන්තර ගෙන්වූ ෆැමිලි ෆිල්ම්ස් ඒ කියන්නේ පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න. අප සමඟ වැඩකරන චිත‍්‍රපට ආයතන සමඟ කතා කළාම කීවේ ජූලි මාසයේ ඉඳලා ඔවුන් තමන්ගේ චිත‍්‍රපට මුදාහරින්න බලාපොරොත්තු වෙනවා කියලයි. බොහෝ වෙලාවට මුලාන්, වොන්ඩර් වුමන් වගේ විදේශ චිත‍්‍රපට වගේම දේශීය වශයෙන් ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු, ජැක්සන් ඇන්තනීගේ සොකරි, ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, ප‍්‍රසන්න විතානගේගේ ගාඩි වගේ හොඳ චිත‍්‍රපට රැුසක් අපට ඉදිරියට එන්න තිබෙනවා. ඒවා සමඟ ගියොත් අපට පේ‍්‍රක්ෂකයන් එකපාරටම සියලූ‍ දෙනාම නැතත් ක‍්‍රමක‍්‍රමයෙන් ආපසු ඇදෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි දකිනවා සුපර් මාකට්වලට මේ තත්ත්වය යටතේ වුණත් පාරිභෝගිකයන් යනවා. සල්ලි කොච්චර නෑ කීවත් බාර්වලට පෝලිම් ගැහෙනවා අපට පේනවා. ඒ නිසා මිනිසුන්ට අවශ්‍ය දේ වංචාවකින් තොරව ලබා දෙනවා නම් ආර්ථිකයත් ක‍්‍රමයෙන් හරියද්දි යළි යථා තත්ත්වයට පත් වෙයි. අපි දැක්කා එක්සත් ජනපදයෙන් මුඛාවරණ ලක්ෂ දෙකක පමණ ඕඩරයක් අපේ රටේ ආයතනයකට ලැබුණා. ඒ වගේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි අපට පුළුවන් ආපසු නැඟී සිටින්න. හැබැයි කාලයක් යයි.
 
 හොඳයි, ඒත් සිනමාවක් කියන්නේ පැය ගාණක් නන්නාඳුනන අය සිය ගණනක් මැද ඉන්න සිදුවන තැනක්. සමාජ දුරස්ථීකරණය සහ සෞඛ්‍යාරක්ෂිත බව දැඩි ලෙස තහවුරු විය යුතුයි?
 
 අනිවාර්යයෙන්ම. අපි ඒ සඳහා ක‍්‍රමවත් සූදානමක් තිබෙනවා. අපේ සේවක සේවිකාවන් පැයෙන් පැයට සැනිටයිස් (විෂබීජහරණය) වෙන්න ඕනා. ඒ අය අත් ආවරණ සහ මුඛාවරණ පැලඳ සිටින්නේ. චිත‍්‍රපට ශාලාවල සැම දර්ශනයක් අවසානයේම මුළු ශාලාවම විෂබීජහරණය කරනවා. මීට පෙර චිත‍්‍රපටයක් වාර පහක් බැගින් පෙන්වූවත් එය වාර තුන දක්වා සීමා කරලා විෂබීජහරණය සඳහා ඒ කාලය යොදවනවා. අපේ තිබෙන වෙනම ස්කෑනිං යන්ත‍්‍ර මඟින් සියලූ‍ම පේ‍්‍රක්ෂකයන්ගේ උෂ්ණත්වය මැනලා තමයි ඇතුළු කරන්නේ. අපේ සේවක සේවිකාවන් සමඟ පේ‍්‍රක්ෂකයන් සම්බන්ධවන අවස්ථා අඩු කිරීම සඳහා අපි යන්ත‍්‍ර මඟින් ස්වයංක‍්‍රීයව ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ ක‍්‍රමවේදය සකසනවා. අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන් කළ විට එන අංකය යන්ත‍්‍රයට ඇතුළු කළාම ප‍්‍රවේශ පත‍්‍රය ලැබෙන පරිදි එය තනා තිබෙන්නේ. ඒවායේදීත් සැනිටයිසර් තබා තිබෙනවා ප‍්‍රවේශ පත‍්‍රය ගැනීමේදී යන්ත‍්‍රය භාවිත කළ පසු දෑත් පිරිසුදු කරගැනීම සඳහා. ඒ වගේම අපේ මුළුතැන්ගෙයක් වෙනම තිබෙනවා. ඒවායේ ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන්ට අනුකූලව අපි කටයුතු කරනවා.
 
 ශාලාව තුළ සෞඛ්‍යාරක්ෂාව සඳහා වෙනම අසුන් පැනවීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙනවා. අපේ කොහොමත් සාමාන්‍යයෙන් ආසන අතර පරතරය වැඩියෙන් තිබෙන්නේ. ඊට අමතරව අපි පේ‍්‍රක්ෂකයන් දෙදෙනකු එක පේළියේ අසුන්ගන්වන්නේ අතරමැද එක අසුනක් හිස්වන ආකාරයටයි. ඒ වගේම එක් පේළියකට ඉදිරි සහ පසු පේළිවලත් ආසන වෙන් කරන්නේ හරියටම පසුපස හෝ ඉදිරි ආසනය හසු නොවන පරිදි සිග්සැග් ක‍්‍රමයටයි. එතකොට මීටරයකටත් වඩා පරතරයක් ඒ දෙදෙනකු අතර පිහිටනවා. ඒ වගේම මෝල් එකට ඇතුළු වද්දි ගිය වසරේ සිට බෝම්බවලට පරීක්ෂා කරනවා වගේම දැන් කොරෝනාවලටත් වශයෙන් දෙවරක් පරීක්ෂා කෙරෙනවා. ආයෙත් ශාලාවට ඇතුළුවද්දිත් ඒ ආකාරයෙන්ම පරික්ෂාවට ලක්කරනවා. අවස්ථා දෙකකදි පරීක්ෂාවට ලක්වෙනවා කියන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අවදානම අවම කිරීමයි.
 
 දැන් මට ප‍්‍රශ්නයක් තිබෙනවා. චිත‍්‍රපටයක් සාමාන්‍යයෙන් බලන්නේ තනිවම නෙවෙයි. පවුලේ අය හෝ යුවළක් ආවොත්?
 
 යුවළක් හෝ පවුලේ සාමාජිකයන් අතර බොරුවට පරතරය ඇති කරන එකේ තේරුමක් නැහැ. ඒ අය ගෙදරදි එක ළඟ ඉන්නවානේ. එනිසා ඔවුන්ට එකට ඉඳගත හැකියි. ඊට පෙර හා පසු ආසන පේළිවල අයට ඔවුන්ගේ ආසනවලින් පසු අසුනක් හැර අසුනක් වශයෙන් ඉඳගන්නට සලස්වනවා.
 
 ප‍්‍රවේශපත‍්‍ර මිලගණන්වල අඩුවීම කොයිවගේ වේවිද?
 
 මම විශ්වාස කරන විදිහට නම් දැන් තිබෙන මිලෙන් භාගයකට වගේ අඩු කරන්න වෙයි. ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ආයතනයක් ලෙස ලාභයක් නෙවෙයි මේ වෙලාවේ. ඒ නිසා ආර්ථිකය නැවත හරියන තුරු ඒ කියන්නේ මාස හතරක් හෝ හයක් වැනි කාලයක් තුළ යම්කිසි සහනයක් දෙන්නම වෙනවා. ඇත්තෙන්ම කීවොත් ලංකාවේ ආයතන කීපයයි වහලා තිබෙන අවස්ථාවේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවන්නේ. ඉන් එකක් තමයි අපි. ස්කෝප් සිනමාස්. ඒ වෙනුවෙන් අපේ ඉහළ කළමනාකරණයේ වැටුප්වල යම් අඩු කිරීමක් කළා. ඒත් සාමාන්‍ය සේවකයන් සියලූ‍ දෙනාගේම වැටුප් ඒ ආකාරයෙන්ම ලබා දුන්නා. අපි විශ්වාස කරන්නේ මෙය විනෝදාස්වාදය සපයන ආයතනයක්. ඉතින් විනෝද වෙන්න එන අයට සලකන්න නම් සේවකයන්ගේ සිත් පළමුවෙන්ම සතුටින් තිබෙන්න ඕනා. ඔවුන් අසතුටින් හිටියොත් අපේ පාරිභෝගිකයන් සතුටින් තියන්න ඔවුන්ගේ මනස කටයුතු කරන්නේ නැහැ. අනෙක ආයතනයක් ලෙස අපි ඔවුන් කවදාවත් සේවක සේවිකාවන් ලෙස නෙවෙයි දකින්නේ, අපේ ආයතනයේ කණ්ඩායම් සාමාජිකයන් ලෙසයි. පවුලක් ලෙස වැඩකරද්දි අපි ඔවුන් ආරක්ෂා කරගත යුතුයි.
 
 ඔබ රජයෙන් අවසර ගත්තාද?
 
 අපි විශ්වාස කරනවා ජූලි මැද හෝ අගෝස්තු වනවිට අපට විවෘත කිරීමට ආණ්ඩුවෙන් අවසරය ලැබෙයි කියලා. අපි රජයට ලිපිගොනුවක් බාරදුන්නා මේ වගේ අවස්ථාවක සම්පූර්ණයෙන්ම සිනමා ශාලාවක් විවෘත කිරීමට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක‍්‍රමවේදය අපේ රටට ගැළපෙන විදිහට වෙනස් කරලා සැකසූ ක‍්‍රමවේදය. ඒකේ තමයි අපි ඉහත කතා කළ විෂබීජ හරණ ක‍්‍රියාවලි එහෙම ඇතුළත් වන්නේ. එහෙම නොකර සිනමා ශාලා විවෘත කරන එකේ තේරුමක් නැහැ. මොකද ලාබෙට වඩා අපේ සේවක සේවිකාවන් වගේම අපිත්, පේ‍්‍රක්ෂක ජනතාවත් රැුකගෙන ඕනේ මේ ගමන යන්න. ලෝකේ ඇතැම් රටවල් අපට වඩා අවදානම් තත්ත්වය තිබියදී සිනමා ශාලා විවෘත කරනවා. දකුණු කොරියාව පටන් ගත්තා. තායිවානය, හොංකොං වගේ රටවල් පටන්ගන්න කටයුතු යොදමින් ඉන්නවා. බොහෝවෙලාවට ජූනි මැද වගේ ඉඳලා බොහෝ රටවල් සිනමා ශාලා යළි විවෘත කරන්නයි සැලසුම තිබෙන්නේ.
 
 සිනමා ශාලා හිමිකරුවන්ගේ පැත්තෙන් ඔබ සිනමා කර්මාන්තය පිළිබඳ අනාගත වැඩපිළිවෙළක් බලාපොරොත්තු වෙනවා ඇති?
 
 කර්මාන්තයක් ලෙස ගත්තොත් අපේ ජාතික චිත‍්‍රපට සංස්ථාවට පුළුවන් කමක් ලැබිලා නැහැ මේ වෙද්දිත් සිනමාවට යහපතක් වන අන්දමේ යමක් කරන්න. සේවක සේවිකාවන් 130ක් ඉඳලත් ඒ අය අපොහොසත් වෙලා සිනමාවට සේවය කරන්න. මට පෙනෙන හැටියට සමහරුන්ට අවශ්‍යතාව තිබුණත් එය කරගන්න බැරි තත්ත්වයක් ඇතුළාන්තයේ ගොඩනැඟී තිබෙනවා. උදාහරණයකට 2014 සිට 2019 දක්වා වසර පහ ගත්තොත් සංස්ථාවෙන් චිත‍්‍රපට කීයකට ණය සහනයක් දී තිබෙනවාද? ආනයනය කරන චිත‍්‍රපට කීයකට ණය දුන්නද? කිසිම එකක් නැහැ. සියල්ලම කර තිබෙන්නේ පෞද්ගලික අංශයෙන්. දෙවැනි කාරණය, කර්මාන්තය කඩා වැටෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ පාස්කු ප‍්‍රහාරයෙන්. ඒ යුගයේ සිටි ඇමැති ඇතුළු කිසිම නිලධාරීයෙක් සිනමාවට කිසිම දෙයක් කර නැහැ. අද හොයලා බැලූ‍වොත් චිත‍්‍රපට ශාලා නඩත්තු වන්නේ සියයට අනුවක් විදේශ චිත‍්‍රපටවලින්. ඒ කියලා ඔවුන් සිංහල චිත‍්‍රපට නොපෙන්වා ඉන්නේ නැහැ. අපි වගේම විදේශ සිනමා සංකීර්ණයක් වන පීවීආර් වගේම ලිබර්ටි සිනමා ශාලාවල පවා සිංහල චිත‍්‍රපටවලට අවස්ථාව ලබා දී තිබෙනවා. එහෙම පේ‍්‍රක්ෂකයා කැමැති චිත‍්‍රපට නොපෙන්නුවොත් ශාලාවලට පවතින්න බැහැ. පේ‍්‍රක්ෂකයන් එන්නේ නැහැ. මොකද දැන් ඕනෑතරම් විකල්ප තිබෙනවා වෙනත් මාධ්‍යවලින් චිත‍්‍රපට නරඹන්න. ඒ අතර කෝටා ක‍්‍රමයක් තාම ක‍්‍රියාත්මක වෙනවා. මේ තිබෙන්නේ යල්පැනගිය නීති රාමුවක්. වත්මන් ජනාධිපතිතුමා කියනවා මම අහගෙන හිටියා අද කාලෙට ගැළපෙන විදිහට යාවත්කාලීන වෙන්න බැරිනම් ඒ නිලධාරීන් ආයතනවල ඉන්න ඕනේ නැහැ කියලා. ඒක සම්පූර්ණ ඇත්තක්. අදටත් මේ කර්මාන්තය දුවන්නේ අවුරුදු 50ක් පරණ පනතකින්. ඒ නිසා අදට ගැළපෙන විදිහට නීති රාමුව වෙනස් වෙන්න ඕනේ. ඔබ කතා කළොත් චිත‍්‍රපට ආනයනය කරන ඕනෑම කෙනකුට ඔවුන් කියාවි මේ යල්පැනගිය නීති රීති වෙනස් විය යුතුයි කියලා. අනෙක චිත‍්‍රපට සංස්ථාවේ සේවකයන් එකසිය තිහම රජයේ භාණ්ඩාගාරයෙන් යැපෙනවා විනා ආපස්සට සිනමාවට ලබාදුන් දායකත්වය මොකක්ද? මේ කළමනාකාරීත්වය යම් ආකාරයකට ප‍්‍රතිව්‍යූහගතකරණය කරලා මේ කර්මාන්තයට බරක් නොවී එයට එකතු කළ අගයක් ලබාදෙන පිරිසක් බවට පත් කරන්න ඕනෙ. අනෙක විනෝද බද්ද කියලා නගර සභාවෙන් බදු මුදලක් අය කරනවා. ඒක අය කළේ මිලිමීටර 35 සිනමා පට එන්නත් ඉස්සරම අපේ සිනමා ශාලාවල ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර දිවුවේ කාබන් කූරු උපයෝගී කරගෙන. ඒ රීල් එක ඉක්මනින් ගිනිඇවිළෙන සුළු නිසා ගිනි නිවන නිලධාරියකු නගර සභාවෙන් යොදවන්න තමය අර බද්ද අය කළේ. දැන් ඒ මුකුත් නැහැ. අද ඩිජිටල් තාක්ෂණයෙන් කටයුතු කෙරෙන්නේ ගිනි ගැනීමේ අමුතු අවදානමකුත් නැහැ ගිනි නිවන නිලධාරියකුත් නැහැ. ඒත් අර සියයට ගණන තවම අය කරනවා. ඒ නිසා තාවකාලිකව හෝ ඒ බද්ද ඉවත් කළ යුතුයි.
 
 අනෙක මණ්ඩල පහක් ලංකාවේ තිබෙනවා. මේ මණ්ඩල පහෙන් දැන් කෙරෙන දෙයක් නැති තරම්. ඉස්සර නම් ෆිල්ම් කෑන් ලොරි පිටින් ආවාම ඒවා ගබඩා කරගෙන ලොකු කාර්යභාරයක් කරන්න ඕනේ මණ්ඩලය. දැන් චිත‍්‍රපටය එන්නේ පොඩි හාඞ් ඩිස්ක් එකක. ඒ එකක් ඇති ශාලා පනහකට හරි දෙන්න. ඒවා බෙදාහරින්නේ නිෂ්පාදකයා හෝ ගෙන්වන්නා මිස මණ්ඩලය නෙවෙයි. ඒ නිසා මණ්ඩලවලින් කෙරෙන කාර්යය අවම වෙලා තබෙන්නේ. ඒත් අදටත් අම්මගේ අප්පගෙ බූදලය වගේ අර සියයට 10 අය කරනවා. මේ සියලූ‍ මුදල් අහිමි වෙන්නේ නිෂ්පාදකයා, චිත‍්‍රපට සපයන්නා සහ ප‍්‍රදර්ශකයා. ඒ අය තමයි අවදානම අරගෙන කටයුතු කරන්නේත්. බැංකු ණය හෝ ගෙවල් ඉඩම් උගස් කරලා හෝ චිත‍්‍රපට නිෂ්පාදනය හා ගෙන්වීම කරන්නේ ඒ අය. ඉතින් කූඩැල්ලෝ වගේ මේ අයගේ මුදල් සූරා කන මණ්ඩල සහ විනෝද බද්ද එක්කෝ ඉවත් කරන්න ඕනේ නැත්නම් සියයට 5ටත් වඩා අඩු කරන්න ඕනේ .තවත් දෙයක් දියුණු රටවල් කියන ඇමෙරිකාව, ඕස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍යය වගේ දියුණු රටවල් අතර පොඩි රටවල් වන බංගලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, නේපාලය, මාලදිවයින වගේ රටවල් ගත්තත් චිත‍්‍රපට කර්මාන්තය නිදහස් කරලා තිබෙන්නේ. හැබැයි නියාමන මණ්ඩලයක් ඉන්නවා. එතකොට තමයි කර්මාන්තය දියුණු වෙන්නේ. අපි සිංහල චිත‍්‍රපට සැලකුවොත් ගිය වසරේ අපේ‍්‍රල්වලින් පස්සේ කිසිම එකක් ලාභ ලබලා නැහැ. අපේ චිත‍්‍රපට කර්මාන්තය දියුණු නොවෙන්නේ පරණ සිස්ටම් එකට යන නිසා. චිත‍්‍රපට සංස්ථාව හරිනම් කළ යුත්තේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වගේ නියාමන කටයුත්තක්. අනෙක් අයට නිදහසේ කටයුතු කරන්න දිය යුතුයි. එතකොට හොඳින් කටයුතු කරන අය ඉහළට යයි. එහෙම නැති අය පසු බසී. අද වෙද්දී රිද්මා මණ්ඩලය ඇතුළු බොහෝ දෙනෙක් නිෂ්පාදකයන්ට ණයයි. ඒ ඒ අයගේ අකාර්යක්ෂමතාව නිසා. මේ කර්මාන්තය නිදහස් වුණොත් අකාර්යක්ෂම අය වැහෙනවා. අලූ‍ත් ඒවා එක්වෙයි. හරියට දුරකථන ආයතන වගේ. ඒක නේද විය යුත්තේ. නැත්නම් රටක් කොහොමද දියුණු වෙන්නේ.
 
 ඒකට ක‍්‍රමවේදයක් ඔබ යෝජනා කරනවාද?
 
 ලොකු දේවල් ගැඹුරෙන් හිතන්න අවශ්‍ය නැහැ. ලෝකෙම භාවිත කරන එක මොඩියුල් එකයි තියෙන්නේ. ඒක ලංකාවට ගැළපෙන විදිහට සකස් කරලා ක‍්‍රියාත්මක කරනවා නම් හරි. සිනමාව දියුණු වෙයි.
 
 කර්මාන්තය නිදහස් කළා කියමු. ස්කෝප් වැනි ආයතනයකින් කොහොමද ක්ෂේත‍්‍රයේ නියැළි අයගේ සුරක්ෂිතතාව තහවුරු කරන්නේ?
 
 කර්මාන්තය නිදහස් කළොත් අපට පුළුවන් චිත‍්‍රපට නිෂ්පාදනයට එන්න. අනිවාර්යයෙන් අපිනම් නිෂ්පාදනයට එනවාමයි. මේ කාලේ අපි නිෂ්පාදනයට බය වෙන්නේ අමාරුවෙන් අපි චිත‍්‍රපට නිෂ්පාදනය කරලා කොහෙවත් ඉන්න සර්කිට් එකකට සියයට දහයක් ගෙවන්න ඕනේ, ඒ වගේ අනවශ්‍ය දේවල් සහිත සිස්ටම් එක වෙනස් වෙනකල් තමයි අපි බලාගෙන ඉන්නේ. ඇත්තෙන්ම අපි නිෂ්පාදනයකට සූදානමිනුත් හිටියා. පිටපත ලියලා සකස් කරලා. ඒත් අපි සටන් කරන්නේ මෙය වෙනස් කරගන්න. ඒ වෙනස්කම් සිදු වුණු ගමන් අපි සිංහල චිත‍්‍රපට නිෂ්පාදනයටත් එනවා. බෙදාහැරීමටත් සම්බන්ධ වෙනවා. ලෝකෙ තියෙන ප‍්‍රධාන ක‍්‍රම දෙක අපි අනුගමනය කරනවා. එකක් තමයි අපට පුළුවන් ණයක් දෙන්න චිත‍්‍රපට නිෂ්පාදකයන්ට. එහෙම නැත්නම් අපට පුළුවන් ස්වාධීනව කරන නිෂ්පාදකයකුගෙන් චිත‍්‍රපටය තැනූ පසු මිලදී ගන්න. ලෝකේ ලොකුම සිනමා කර්මාන්ත නියැලෙන්නෙත් ඔය ආකාරයට තමයි. එහෙම වුණොත් හැමෝටම හොඳක් වෙයි. රාජ්‍ය හා පෞද්ගලික අංශවල කූඩැල්ලෝ අයින් වෙයි. ඒ වගේම අද චිත‍්‍රපට තනන අයටත් යම් පණිවිඩයක් මේ කොරෝනා කාලෙම ලැබෙනවා. ඒ තමයි ඇක්ෂන් ෆිල්ම් එකක වුණත් ඉස්සර වගේ වෙඩි තියාගැනිලි විතරක්ම නෙවෙයි තිබෙන්නේ පවුල කියන සාධකය කොහෙන් හරි මතුවෙනවා. ඇනිමේෂන්වල වුණත් එහෙමයි. ඒ නිසා පවුල සහ සතුට ඇතුළත් චිත‍්‍රපට වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කර ගනී කියන රහස දැනගෙන නිර්මාණ කළොත් කර්මාන්තයක් ලෙස අපට බොහෝ දුරක් යන්න පුළුවන් වෙයි. ඒ වගේම ලංකාවේ තිබෙන ලොකුම ප‍්‍රශ්නය තමයි නළු නිළියන් රඟපාන බව පේ‍්‍රක්ෂකයන්ට දැනීම. එහෙම නැතිව හොඳ රංගනයක් ඉදිරිපත් වන පේ‍්‍රක්ෂකයන්ට වංචා නොකරන චිත‍්‍රපට හැදුණොත් අපේ සිනමාව දියුණු වන එක නවත්වන්න බැහැ.
 

 
 නිශ්ශංක විජේරත්න