බොරුව ඇත්ත වුණු දවස “ජනේලය”

ජුනි 18, 2020

 

 

වර්ෂ 1947දී බ්‍රිතාන්‍ය ජාතික ලේඛක කෝර්නල් වූල්රිච්, 'ද බෝයි ක්‍රයිඩ් මර්ඩර්' නම් කෙටි කථාවක් පළ කළේය. එය, මිනීමැරුමක් දකින කුඩා ළමයෙකු වටා ගෙතුනු, ත්‍රාසජනක කථාවකි. මෙය ටෙඩ් ටෙට්ස්ලා නැමැති බ්‍රිතාන්‍ය සිනමා අධ්‍යක්ෂක වරයා විසින් "ද වින්ඩෝ" නමින් කළු සුදු චිත්‍රපටයකට නංවා 1949 දී ප්‍රදර්ශනය කළේය.

ටොමි නම් කුඩා ළමයෙකු විනෝදංශයක් වශයෙන් හෝ පුරුද්දක් වශයෙන් බොරු කියන්නට විය. ඔහු කියන්නෙත් ඔහුගේ වයසට විශ්වාශ කිරීමට නොහැකි බොරුය. එහෙයින් ඔහුගේ දෙමාපියන් , ඔහුව පිළිගත්තේ බොරුකාරයෙක් ලෙසය. ඔහු නිතරම දෙමාපියන්ගෙන් දඬුවම් ලබන්නේ මේ බොරු කීම සම්බන්ධවය. කෙතරම් ගුටි කෑවත්, ඔහුගේ බොරු කීම නම් අඩුවූයේ නැත.

එහෙත් එක් මැදියම් රැයක ටොම් ,ඔවුන්ගේ තට්ටු නිවසේ ඉදිරි නිවාසයේ සිටින යුවලක් වූ ජෝ කෙලර්සන්, හා ජීන් කෙලර්සන්, විසින් ඔවුන්ගේ නිවස ඇතුළේම මිනිසෙක් මරා ඒ මහ රෑම මිනිය මුහුද පැත්තට රැගෙන යනවා දුටුවේ, තමන්ගේ නිවසේ ජනේලය තුළින්ය. ඔහු තමා දුටුව දේ වහාම තම දෙමාපියන්ට ගොස් කීවද, ටොම්ගේ දෙමාපියන් ඔහුව කිසිසේත්ම විශ්වාස නොකළේ ඔහු ගේ බොරු කීමේ පුරුද්ද නිසාය. එහෙයින් ටොම්⁣, තමා ඇත්තටම දුටුදේ දෙමාපියන්ට ඒත්තු ගන්වන්නට, ඔහුට නොහැකි විය.

1949 වර්ෂයේ 'ද වින්ඩෝ' චිත්‍රපටය ලද අතී සාර්ථකත්වය නිසා, එය ජෝර්ජ් පී බ්‍රෙක්ස්ටන් විසින් 1966 වර්ෂයේදී, එම කෙටි කථාවේ නම වූ 'ද බෝයි ක්‍රයිඩ් මර්ඩර්' නමින්ම වර්ණ චිත්‍රපටයක් නිර්මාණය කර තිරගත කළේය. ෆ්‍රෙරෙසර් මැකල්ටොශ් නම් නළුවෙක් අර කුඩා ළමයාගේ චරිතය නිරූපනය කළේය.

සාලින්ද, තවම අවුරුදු 10 ක් පමණ වයසැති හුරුබුහුටි කොළු පැංචෙකි. සාලින්දලා ජීවත් වූයේ කොළඹ බම්බලපිටියේ තට්ටු නිවාසයේය. මේ 1970 දශකයේ මැද භාගයේ වගේය. එකල අද මෙන් 'අපාර්ට්මන්ට්' වර්ගයේ තට්ටු නිවාස තිබුණේ බොහොම අවම ලෙසය. ඒ අතරින් බම්බලපිටිය තට්ටු නිවාස සංකීර්ණය සුවිශේෂයක් විය. සාලින්දට සිටියේ මවත්, පියාත් පමණි. පියා ගේ රැකියාව තිබුණේ රාත්‍රියටය. ඔහු රාත්‍රියේ රැකියාවට ගොස් උදය වරුවේ නිවසට පැමිණේ. මව සාලින්දව බලාගෙන නිවසට වී සිටියාය.

සාලින්දටද, අර ' ද වින්ඩෝ' චිත්‍රපටයේ සිටි ටොම්ට මෙන් බොරු කීමේ පුරුද්දක් තිබුණි. ඒවාද ලොකු බොරුය. විටෙක ඔහු බැංකුවක් මංකොල්ල කනවා දුටු බවක්, තම දෙමාපියන්ට කියන්නේ හරියට ඔහු එතැන සිට එය දුටුවාක් මෙනි. තව තවත් ලොකු බොරු කියන හෙයින්, සාලින්දගේ මව ඔහුට කීප වරක් තරවටු කළාය. එහෙත් සාලින්ද නම් බොරු කීම අඩු කළේ නැත. මේ හේතුවෙන් ඔහුගේ පි⁣යා සාලින්දට කීප විටක්ම අවවාද කල නිසා, ඔහු යලිත් බොරු නොකියන බව, ඔහුගේ පියාට පොරොන්දු විය.

සාලින්ද 'මර්ඩර් ට්‍රැප්' එකකට අසුවුනේ කට තියාගෙන ඉන්න බැරි කමටය. තට්ටු නිවාස සංකීර්ණයේ සාලින්දලගෙ ගෙදරට ඉදිරිපස නිවසේ සිටියේ වීරසිංහ යුවලයි. එහී සිටින වීරසිංහ තරමක් අමුතු පුද්ගලයෙක් විය. ඔහු කිසිවෙක් සමඟ වැඩි කථාවක් නැති මිනිසෙකි. එහෙත් ඔහුගේ බිරිඳ නම් තරමක් සමාජශීලි කාන්තාවක් බව ඇඟවෙන්නේ සාලින්ද ගේ මව හරහාය.

එක් මධ්‍යම රාත්‍රියකදී, සාලින්ද තම නිවසේ බැල්කනියේ සිට දුටු දර්ශනයකින් ඔහු තුෂ්නින්භූත විය. ඒ , වීරසිංහ විසින් ඔවුනගේ නිවස තුල සිට තවත් මිනිසෙකුට පිහියෙන් ඇන මරා දමන දර්ශනයක් නිසාය. එතැන ඔහුගේ බිරිඳත් සිටියාය. එම මිනිසාව මරා දැමූ වීරසිංහ යුවල එම මිනිය වත්තන් කරගෙන ගොස් පිටුපස තිබෙන මුහුදට දැමීය. සාලින්ද මේ සියල්ලම බලා සිටියේය. ඔහු වහාම තම මවගේ කාමරයට ගොස් මවව ඇහරවා තමා දුටු මිනිමැරුම කීවද, සාලින්දගෙ බොරු කීම ගැන දන්නා ඇය එය කෙළෙසකවත් විශ්වාස කළේ නැත. සාලින්දටත් සිදුවූයේ අර බොරුවට කොටියෙක් එනවා කියමින් ගම්මුන්ව කුලප්පු කෙරූ කොළුවාට වූ දෙයයි. දවසක් ඇත්තටම කොටියෙක් පැමිණුනද, කොළුවා කොතෙක් කෑ ගැසුවද, කිසිවෙක් ඔහුව බේරා ගන්නට නොපැමිණියේ ඔහුගේ බොරු ගැන දන්නා නිසාය. සාලින්ද මොන තරම් උත්සහා කළත් ඔහුගේ දෙමාපියන් එය පිළිගත්තේ නැත. සාලින්දගේ මව වූ ප්‍රනාන්දු මහත්මිය ඔහුව වීරසිංහලාගේ නිවසට රැගෙන ගොස් ,ඔවුන්ටද මේ බව කීවාය. වීරසිංහලාගේ නිවසේ මිනී මැරුමක් සිදුවූ බව, සාලින්ද කියන බවත්, සාලින්ද මෙලෙස නිතරම බොරු කියන නිසා, ඔහුට පාඩමක් උගන්වන්නටත්, වීරසිංහලාගෙන් සමාව ගන්නටත්, මෙලෙස රැගෙන ආ බවක් සාලින්දගේ මව වීරසිංහලට කීය. එයින් සිඳුවූයේ තමන් කළ මිනීමැරුම සාලින්ද විසින් දුටු බව වීරසිංහලට ප්‍රත්‍යක්ෂ වීමය. සාලින්දගේ සාක්ෂිය නැති කිරීමට නම්, සාලින්දව නැති කල යුතුය. වීරසිංහ හා සාලින්ද අතර 'චේස්' එක පටන් ගන්නේ ඉන් පසුවය.

චන්ද්‍රන් රත්නම් සිනමාවට පැමිණියේ 1980 දශකයේදීය. ඔහු බොහෝ උනන්දු වූයේ ජාත්‍යන්තර සිනමාවටය.එහෙයින් ඔහු මුළින්ම සිනමාවට පැමිණියේ 'ටාසන් ද ඒප් මෑන්' බටහිර චිත්‍රපටය හරහාය. ඔහු එහී නිෂ්පාදන කළමනාකරු විය. ඒ 1981 දීය. යළි ඔහු එකතු වූයේ ලොව දැවැන්ත අධ්‍යක්ෂක වරයෙකුවූ ස්ටීවන් ස්පීල්බර්ග් සමඟය. ඒ, 'ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ද ඩූම්' චිත්‍රපටයටය.⁣ එහීද ඔහු නිශ්පාදන කළමනාකරු විය. මේ චිත්‍රපට යුගලම, වැඩි හරියක් රූ ගත කළේ ලංකාවේදීය. චන්ද්‍රන් රත්නම් හොලිවුඩ් චිත්‍රපටවලට , ලංකාවේ දර්ශන, සොයා දීමත්, එලෙසම පසුතල ,අතිරේක නළු නිළියන් හා කාර්මික ශිල්පීන් ,කම්කරුවන් මෙන්ම, දර්ශන වලට අවශ්‍ය විශාල පිරිස්, සොයා දීමත්, ⁣වෘත්තිමය ලෙස කෙරූ අතර, මේ ආදි සම්බන්ධ කිරීම් කටයුතු මහ පරිමාණයෙන ලෙස කරන්නට විය. ඒ තුළින් බොහෝ ලාංකීය ශිල්පීන්ට දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට වලට සම්බන්ධ වීමට හැකි විය.

චන්ද්‍රන් රත්නම් ලාංකේය සිනමාවට අධ්‍යක්ෂක වරයකු ලෙස පූර්ණව එකතු වූයේ 'ආදර කථාව' චිත්‍රපයටයෙනි. ඒ 1984 දීය. විලියම් ශේක්ස්පියර්ගෙ ' රෝමියෝ ජුලියට්' කථාවට සමගාමීව, එම ආකෘතිය තුළින් ඔහු 'ආදර කථාව' නිර්මාණය කළේ, එකළ පැවති දෙමළ සිංහල වර්ගීකරණයටද සමගාමීවය. 'ආදර කථාව' ප්‍රේක්ෂකයන් පිළිගත් අතර, චන්ද්‍රන් රත්නම් සිංහල චිත්‍රපට අධ්‍යක්ෂක වරයන්ගේ නාමවලියට එකතු විය. එසේ එකතු වූවද, ඔහු දිගින් දිගටම සිංහල චිත්‍රපට කිරීමට උනන්දු වූයේ නැත. ඔහුගේ ප්‍රධානතම උනන්දුව වූ ජාත්‍යන්තර,චිත්‍රපට කෙරෙහීය. විශේෂයෙන්ම හොලිවුඩ් චිත්‍රපට ගැන ය, ඔහු අවධානය යොමු කළේ. එහෙයින් ඔහුගෙන් නිර්මාණය වන සිංහල චිත්‍රපටවලට වඩා, ඔහු සම්බන්ධීකරණය කරන ජාත්‍යන්තර චිත්‍රපට ලැයිස්තුව දිගු විය. එය සංඛ්‍යාත්මකව 50 ක් පමණ විය. ඒ අතරේ ඔහු සෘජුවම නිශ්පාදනයෙන් හවුල් වූ ජාත්‍යන්තර සිනමා නිර්මාණ 10 යකට වැඩිය. ' ද කිංග් ඔෆ් ද කෝබ්රා', 'ඩර් ස්ටේයින් ඩස් ටොඩ්ස්', ' අ ඩේන්ජරස් ලයිෆ්', ' ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා', ' බ්ලඩ් ස්පොට් 2 සහ 3', 'මදර් තෙරේසා',

' ද ස්ලීපින් ඩික්ෂනරි' ' අග්යාල්', 'අ කොමන් මෑන්', 'එකෝඩින් ටු මැතිව්', එලෙස නිෂ්පාදනයෙන් සම්බන්ධවූ චිත්‍රපටයන්ය. එලෙසම ' මදාරා පරසතු', 'මිල්ලෙ සොයා' ' තීර්ථ යාත්‍රා', ' වෑ කන්ද වලව්ව', 'ලව් 2002', 'ධීවරි' , යන සිංහල චිත්‍රපටවලටද ඔහු නිශ්පාදනයෙන් සම්බන්ධ වුනි. එලෙසම ජත්‍යන්තර තලයේ චිත්‍රපට 40 කට කිට්ටු සංඛ්‍යාවක ඔහු නිශ්පාදන කළමනාකරු වශයෙන් එක්වී තිබුණි. ඒ අතර ' ලෝඩ් මවුන්ට් බැටන්', ' ද ජංගල් බුක්-2', 'ජිස්ම්', ' වෝටර්', ෆෙයාවෙල් ටු ද කිංග්', 'ඉන්ඩුචයින්' වැනි චිත්‍රපටද ඇතුළත් විය. ලොව පතල ඔස්කාර් සම්මාන හිමි ශ්‍රේෂ්ඨ නළු බෙන් කිංග්ස්ලිව, තම චිත්‍රපටයක් තුළින් අධ්‍යක්ෂණය කිරීමටද, චන්ද්‍රන් රත්නම් වරම් ලැබීය. ඒ 'කොමන් මෑන්' චිත්‍රපටය තුළිනි. පසු කලෙක ඔහු 'පොරොන්දුව' හා 'අලිමංකඩ' සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය

1984 දී ' ආදර කථාව' නිර්මාණය නළ චන්ද්‍රන් රත්නම්, නැවත සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ ,ඊට අවුරුදු 6 කට පමණ, එනම් 1990 දී පමණය. ඒ ' ජනේලය' චිත්‍රපටයයි. ' සස්පෙන්ස්' යන කැටගරිය, හරියටම කරන්නේ හොලිවුඩ් සිනමාවයි. චන්ද්‍රන් රත්නම්ටත් අවශ්‍ය වී තිබුණේ එකී කැටගරිය ඒ අයුරින්ම ලංකාවේ චිත්‍රපටයකින් ඉදිරිපත් කිරීමටය. ඒ ඔහු ජාත්‍යන්තර චිත්‍රපට සමඟම සිටි නිසා වන්නට ඇත. ' අයි විට්නස්', නැමති තේමාවන් බොහෝමයක් ලෝකයේ බොහෝ රටවල සිනමාවට හසු කර ගති. මිනී මැරුමක් දුටු සාක්ෂියක් , නැති කර දැමීමට ,මිනීමරුවා එකී සාක්ෂිකරු පසු පස එලවන, චිත්‍රපට, බෙහෙවින් ජනප්‍රිය වන්නේ එහීදී නිරාසයෙන්ම ඇති වන කුතුහලයත්, ත්‍රාසයත්, භීතියත් නිසාය. මෙම මිනීමැරුම දකින්නේ කුඩා ළමයෙකු නම්, එලෙසම මෙම මිනීමරුවා එලවනුයේ මෙම කුඩා ළමයා පසු පස නම් එතන ත්‍රාසය , භීතිය මෙන්ම කුඩා ළමයා ගැන අනුකම්පාවත්, මිනිමරුවා ගැන ද්වේශයත් ඇති වෙනවා වැඩිය. චන්ද්‍රන් රත්නම් තම ' ජනේල⁣ය' චිත්‍රපටයට ටෙඩ් වෙට්ස්ලාගේ 'ද වින්ඩෝ' චිත්‍රපටයම තෝරා ගත්තේ ඒ නිසා විය හැක.

වීරසිංහ යුවලගේ එකම අභිප්‍රාය සාලින්දව මරා දමා, තමුන් මිනීමරනවා දුටු සාක්ෂිය සඳහටම වළලා දැමීමටය. ඒ අව් අස්සේම, සාලින්ද⁣ගේ මවගේ පියා,ට අසනීප වූ නිසා ඔහුගේ මවට කුරුණෑගල මහ ගෙදරට යෑමට සිදුවිය. සාලින්දගේ පියාද රාත්‍රි වැඩ මුරයට යන නිසා, සාලින්දට සිදුවන්නේ, තනියම තම තට්ටු නිවසේ රාත්‍රිය ගෙවීමටය. මේ මිනිමැරුම ගැන සාලින්ද කොතෙක් දේ කීවද, ඔහුගේ මව හෝ පියා ඔහු කී දේ ගනන් ගත්තේම නැත. බැරිම තැන ඔහු දෙමාපියන්ට හොරෙන් පොලීසියට ගොස් මේ බව කීවද, පොලිසිය පැමිණ සාලින්දගේ මව හමුවී විමසුවද, ඇය කීවේ, සාලින්දට බොරු කියන නරක පුරුද්දක් තිබෙන නිසා, මෙය සාලින්ද විසින් ගොතන අමූලික බො⁣රුවක් කියාය. එහෙයින් දෝශාරෝපනයට ලක් වූයේ සාලින්දමය. පොලිසීය ඉන්පසු එය පසු පස එලවූයේ නැත. එය මිනීමරුවාට වාසියක් විය.

මිනීමරුවා වූ වීරසිංහ, සාලින්ද පසු පස එලවන්නට පටන් ගත්තේ සාලින්දගේ නිවසේ සාලින්ද හැරෙන්නට වෙන කිසිවෙක් නොසිටි ඒ රැයේදීය.එතැන් සිට, සාලින්ද ඔවුනගෙන් බේරෙන්නට ගන්නා උත්සහායත්, වීරසිංහ යුවළ සාලින්දව මරාදමන්නට ගන්නා තැතත්, චන්ද්‍රන් රත්නම් ගේ මෙහෙයුම හරහා විශ්මිත ලෙස සිදුවිය.

'සස්පෙන්ස්' චිත්‍රපටයකින්, ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නේ, ත්‍රාසය, භීතිය, තැතිගැස්ම, හා කුතුහලයයි. ඇතැම්විට එය යථාර්තයට ප⁣ටහැනි විය හැක.එහෙත් මූලිකව තැන දිය යුත්තේ, ත්‍රාසයටය. අන් අතකට චන්ද්‍රරන් රත්නම් ගේ 'ජනේලය' බටහිර චිත්‍රපටයක ආකෘතියකි. එහෙත් එය ලාංකීය සිනමා සංස්කෘතිය තුළින් ඉදිරිපත් විය යුතුය. චන්ද්‍රන් රත්නම් එය අපූරුවට සමතුලිනය කර තිබුණි. ඔහු වැඩි බර දුන්නේ අර සස්පෙන්ස් චිත්‍රපටවල එන න්‍යායන්ටය. එනම්, ත්‍රාසය, කුතුහලය හා භීතියටය. මිනී මරුවා ,ළමයාව, ඒ බියකරු රාත්‍රියේදී මුහුදු තීරය දිගේ එළවාගෙන එන විට, ළමයාගේ පය පැටලෙන්නේ, බාගෙට නරක්වුණු මළ සිරුරකය. ඒ, බොහෝවිට මිනිමරුවා විසින් මරා මුහුදට දැමූ මිනිය විය හැක. එතැනින් චන්ද්‍රන් රත්නම් මතු කළේ භීතියයි.

වැඩ කර ගෙන යන තට්ටු බිල්ඩිමක් තුළ මිනිමරුවා , ළමයාව මරන්නට තැත්කිරීම මෙන්ම, දිව යන දුම්රියක් යට සැඟවී සිට, අවසන් පෙට්ටියේ ළමයා එල්ලී යන දර්ශන තුළින් චන්ද්‍රන් රත්නම් ඇති කළේ ත්‍රාසයයි. මෙවන් දර්ශන බටහිර චිත්‍රපට සේම ඉදිරිපත් කිරීමෙන් චන්ද්‍රන් රත්නම්ගේ 'ජනේලය' ලාංකීය සිනමාවට සුවිශේෂයක්ම විය.

දැවැන්ත නළු නිළියන් වූ, රවින්ද්‍ර රණ්දෙනිය, ටෝනි රණසිංහ, සුවිනීතා වීරසිංහ, අනෝජා වීරසිංහ අතරින්, මතු කර පෙන්වන්නට, චන්ද්‍රන් රත්නම් හරි අපූරුවු ළමා නළුවෙකු සිංහල සිනමාවට හඳුන්වා දුනි. ඒ සම්මත ළමා නළු, ප්‍රතිරූපනයෙන් මිදුණු 'රාසි අන්වර්' නම් නළුවෙකි. ඔහුට හැප්පෙන්නට තිබුණේ අර ඉහත කී රවින්ද්‍ර, ටෝනි, සුවිනීතා, අනෝජා, වැනි දැවැන්තම නළුනිළි ගොන්නක් සමඟය. හැම ළමා නළුවෙක්ම මතකයත් සමඟ ගිලිහී ගියද, අදද 'රාසි අන්වර්' යන නම සිහිකල සැනින්ම ඕනෑම ලාංකේය ප්‍රේක්ෂකයන්ට මතක් වන්නේ 'ජනේලය' චිත්‍රපටයයි. ඒ ඔහු අර දැවැන්ත නළු නිළියන් අතරේ ඔවුනට අභියෝගයක් සේ රඟපෑ නිසාමය.

1988 සරසවිය සම්මාන උළෙලේ හොඳම රඟපෑම උදෙසා විශේෂ සම්මානයක් රාසි අන්වර්ට හිමිවීම, හා ඕ.සී.අයි.සී. සිනමා සම්මාන උළෙලෙ හොඳම දෙවැනි නළුවා ලෙස රාසි අන්වර් සම්මාන ලබා ගැනීම හරහා ඔහුගේ රඟපෑමේ විශිෂ්ඨ බව, මොනවට පැහැදිලි වේ. එලෙසම ඒ වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම කැමරා අධ්‍යක්ෂණය ,ඩැරන් ඔකාඩා, හා හොඳම ශබ්ද පරිපාලනය ,ජෝර්ජ් මනතුංග ලබා ගත්තේද

' ජනේලය' වෙනුවෙනි.

සිනමාව යනු විවිධ තේමාවන් යටතේ විහිදවිය යුත්තක් බවත්, එය ජාත්‍යන්තර තලය දක්වා යා යුත්තක් බවත්, චන්ද්‍රන් රත්නම් තම 'ජනේලය' චිත්‍රපටයෙන් ඔප්පු කර පෙන්වීය. ප්‍රියංකර පෙරේරා, ශ්‍රීනාත් මල්දෙනිය, අසෝක පෙරේරා, ජයන්ත ජයතිලක, චන්ද්‍රන් රත්නම්ද, මෙහී, සෙසු චරිත වලට පෙනී සිටියහ.

චන්ද්‍රන් රත්නම් විසින්ම කථාව ලියා අධ්‍යක්ෂණය කළ 'ජනේලය' චිත්‍රපටය, නිශ්පාදනය කළේ ජයන්ත ජයතිලකය. එය 1987 පෙබරවාරි 27 වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය