යුද ගිනි මැද ගෙදරට ආ අමුත්තිය

“සරෝජා”
ජුනි 25, 2020

යුද්ධය යනු සිනමා කරුවාට,

නිර්මාණයන් ඉදිරිපත් කළ හැකි හොඳම විෂයකි. එය කෙතරම් ජනප්‍රියද කිවහොත් ලෝක සිනමාව තුල 'වෝ ෆිල්ම්ස්' නම් වෙනස්ම වර්ගීකරණයක් මේ යුද්ධ චිත්‍රපට වලට ඇති වුණි. යුද්ධයක් ගත් කළ, එහී පැති ගණනාවක් ඇත. ත්‍රාසජනක අවස්ථා, ක්‍රියාවන්ත අවස්ථා, විනාශකාරි අවස්ථා මෙන් අතීශයින්ම සංවේදී අවස්ථාවන්ද, මෙම යුද්ධයන් තුල ඇත. සිනමා කරුවා මේ හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නා අතර, ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපටවල අර ත්‍රාසජනක, ක්‍රියාවන්ත අවස්ථාවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ට ඒවාට අත දිග හැර වියදම් කිරීමට හැකි නිසාය. සාමාන්‍යයෙන් යුද්ධ සම්බන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී, විශාල ධනස්කන්දයක් වැය වේ. යුද්ධ චිත්‍රපට මතු පිටින් අතගාමින් කළ නොහැක. ප්‍රේක්ෂකයන් ගේ ඇස් ඉදිරිපිට යුද්ධය ඒ අයුරින්ම සිදු වෙන ආකාරයට එය පෙන්විය යුතුය. 'ද ලෝන්ගස්ට් ඩේ', 'ටෝරා ටෝරා ටෝරා', 'ප්ලැටූන්' 'වෙයා ඊගල්ස් ඩෙයා' ' ද ඩර්ටි ඩසන්', 'ද ග්‍රේට් එස්කේප්', 'පැටන්' වැනි යුද්ධමය චිත්‍රපට, ඉදිරිපත් වූයේ අතීශයින්ම දැවැන්ත ලෙසටය.

ලංකාව තුල 'වර්ල්ඩ් වෝ' වැනි යුද්ධ සිදුවූයේ නැත. ලාංකේය සිනමා කරුවන්ට යුද්ධමය චිත්‍රපට යයි කිරීමට හැකිවූයේ,(රජ කාලයේ කළ යුද්ධයන් හැර) ජපන්නුන් කොළඹට බෝම්බ දැමීමත්, ජ.විපේ 71 කේ කැරැල්ලත්,80 දශකයේ තිබූ කැරැල්ලත්, දමිළ එල්.ටී.ටී.යුද්ධයත්ය. ජපනුන් බෝම්බ දැමීමේ කථාව ' සොල්දාදු උන්නැහෙ' චිත්‍රපටයේ තැන් කීපයක පෙන්වූ අතර, ජ.වි.පේ කැරැල්ලද, චිත්‍රපට දෙක තුනක බොහොම බාල විදියට පෙන්වුවා මතකය. සිනමා නිර්මාණ කරුවෝ එල්.ටී ටී යුද්ධය නම් සිනමා නිර්මාණ කීපයකට එකතු කර ගති. 'පුර සඳ කළුවර', ' ඉර මැදියම', 'ගාමණී', 'අලිමංකඩ', 'මාතා', 'ප්‍රභාකරන්', 'ඉඟිලෙන මාලු'යන මේ චිත්‍රපටවල තේමාවන් උකහා ගත්තේ එල්.ටී.ටී යුද්ධය තුළිණි.

සෝමරත්න දිසානායක කලාව තුලදී අපට මුලින්ම හමුවන්නේ 'මී පුර වැසියෝ' වේදිකා නාට්‍ය තුලිනි. ඔහු එය නිර්මාණය කරමින් වේදිකා ගත කළේ 1984 තරමේය. යලි ඔහුව මුණ ගැහෙන්නේ 1990 තුල, රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවකිනි. ඒ, ඔහු අධ්‍යක්ෂණය කළ 'ඉටි පහන්' ටෙලි වෘත්තාන්තය හරහාය. සිනමාවට ඔහු එක වරම පැමිණියේ නැත. තවත් අව්රුදු 10 ක් ගෙන,ඒ කාලය තුල ඔහු සිනමාව අධ්‍යනය කළේය. ඒ වෙනුවෙන් ගත හැකි ඉහළම අධ්‍යාපන සුදුසු කම් සපුරා ගත්තේය. ඔහු රංග කලාව උදෙසා එම්.ඒ.උපාධිය ගත්තේ ඕස්ට්‍රෙිලියාවෙ සිඩ්නි විශ්ව විද්‍යාලයෙනි. එලෙසම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිනමාව පිළිබදව තම පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. එසේ සියල්ලම පූර්ණව සපුරා ගත් පසුය, ඔහු ඔහුගේ මුල්ම සිංහල චිත්‍රපටයට අත ගැසුවේ. ඒ 2000 වර්ෂයෙදීය.

සැහැල්ලුවෙන්, පුංචි සමනලියක් මෙන් ගෙවූ කුඩා වරුණිගේ ජීවිතය වෙනස් අතකට හැරුණේ ගඟ ලගදී ඇයට හමුවූ ඇගේම වයසේ තවත් කුඩා ගැහැණු ළමයෙකු නිසාය. වරුණිගේ පමණක් නොව, පාසැල් ගුරුවරයෙකු වූ ඇයගේ පියා පුංචි බණ්ඩා හා ඔහුගේ බිරිඳගේද ජිවිත උඩුකුරු යටිකුරු වූයේ මේ අනාථ වූ කුඩා ළමයාව හමුවූ පසුවය.

ඒ ජන වාර්ගීක යුද්ධයේ බිහිසුණුම කාල වකවානුවයි. ලංකා යුද්ධ හමුදාව හා දෙමළ කොටි සංවිධානය අතර දරුණු යුධ සටන් ඇතිවුනු සමයයි. කොටි සාමාජිකයන් විසින්, ඔවුන්ගේම සාමාජිකයෙක් වූ සුන්දරලිංගම්ගේ නිවසට පැමිණ, ඔහුගේ බිරිඳව වෙඩි තබා මරා දමා ,නිවස ගිනි තැබුවේ සුන්දරලිංගම්ට සංවිධානය විසින් බාර දුන් කාර්යන් නිසි ලෙස ඉටු නොකෙරු බව කියමිනි. තම කුඩා දියණිය වූ සරෝජා සමඟ සුන්දරලිංගම්ට දිවි ගලවාගෙන කැලය තුලට පැන සැඟවෙන්නට හැකිවූවද, ඔහුට බේරිමක් නම් නැති විය. එක පැත්තකින් කැලය පීරා කොටි කල්ලිය සොයා යන හමුදාව. අනිත් පැත්තෙන් හමුදාව හා ගැටෙන්නට එන කොටි කල්ලිය. ඔය දෙගොල්ලන්ටම සුන්දර ලිංගම්ව හමුවුනොත් සිද්ධ වෙන්නෙ ක්ෂනික මරණයයි. ඔහුට මරණය ප්‍රශ්නයක් නොවේ. එහෙත් තම කුඩා දියණිය සරෝජාට තව බොහෝ කලක් ජීවත් වීමේ අයිතිය රැක දිය යුතුය. එහෙයින් කෙසේ හෝ ඇයව බේරා ගත යුතුය.

සෝමරත්න දිසානායකගේ ප්ලොට් එක යන්නේ මේ කරුණ අරබයාය. යුධ ගිනිදැල් මැද හෝ දිසානායකට අවශ්‍ය වූයේ සංවේදීත්වය හරහා, මේ ජනවාර්ගීක ප්‍රශ්නය දෙස බැලීමටය. එයට ඔහු තෝරා ගත්තේ පුංචි බණ්ඩා ඉස්කෝලේ මහත්මයාවය. ඔහු ඕනැම ව්‍යවසනයකදීද ඒ දෙස බැලුවෙත්, එයට ප්‍රති ක්‍රියා දැක්වූයෙත් ඉතාමත් මැදිහත් සිතිනි. ඔහුගේ එකම කුඩා දියණිය,වරුණි තම ඔඩොක්කුවට දා ගත්තේ අහක යන නයින්වය. එහෙත් ඒ නයින්ව හෝ බාර ගන්නට පුංචි බණ්ඩා පෙළඹුනේ ඔහු මේ ප්‍රශ්නය දෙස මධ්‍යස්තව, කෝණ කීපයකින්ම බැලූ නිසාය. සුන්දර ලිංගම් හා සරෝජාව මුලින් දුටුවේ වරුණිය. සුන්දර ලිංගම් වෙඩි වැදී ඔත්පලවී ගහක් යට සරෝජා සමඟ අසරණව සිටි අයුරු දුටු විට කුඩා වරුණිට ඇති වූයේ ඉමහත් සංවේගයකි. සෝමරත්න දිසානායක තම චිත්‍රපටය හැසිරෙව්වේ ඒ සංවේගය හරහාය. අව්රුදු ගණනාවක් ඇදී ගිය,එමෙන්ම, රටට, එහී ජීවත් වූ මිනිසුන්, ගැහැණුන්, හා ළමයින්ගේ ජීවිත වලට මෙන්ම රටේ සම්පත් වලට දැවැන්ත හානි පමුණවූ මේ යුද්ධය සෝමරත්න දිසානායක ගෙන ආවේ කුඩා ගැහැණු ළමයි දෙදෙනක් තුළිනි. යුද්ධයක් යනු කුමක්දැයි හරි හැටි වැටහීමක් නොමැති, යුද්ධයත් තමන් කරන එක් සෙල්ලමක් මෙන් යැයි සිතු කුඩා ළමුන් දෙදෙනා වූ වරුණි හා සරෝජා හරහා මුළු යුද්ධයම පෙන්වීම, දිසානායකගේ දක්ෂ කමකි.

'සරෝජා' චිත්‍රපටයෙන් සිනමා ගමන සවිමත් කර ගත් සෝමරත්න දිසානායක, දිගින් දිගටම ළමා චිත්‍රපට ගැන උනන්දුවක් දැක්වීය.

2002 දී ඔහු ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය වූ 'පුංචි සුරංඟනාවි' ඉදිරිපත් කළ අතර, 2004 දී 'සූරිය අරණ' ද, 2005 දී 'සමනල තටු' අධ්‍යක්ෂණය කර තිරගත කළේය.

යලි ඔහුගේ චිත්‍රපටයක් තිරගත කළේ 2008 වර්ෂයේය. ඒ 'සිරි රජ සිරි' ය. ඉන්පසු 2009 වසරේ 'බිංදු' යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිරගත කළේය. 2013 ඔහුගේ 'සිරි පැරකුම්' තිර ගත වූ අතර ,එයද අධි සාර්ථක විය. 2018 ඔහු ' සරිගම' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිරගත කළ අතර, එය ලෝ ප්‍රකට 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටයේ අනුසාරයක් විය. 2017 දී ඔහු තවත් චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ 'අන්ඩපෑන්ට්ස් තීෆ් හෙවත් 'ජංගි හොරාය' නමුත් එය තවම තිර ගත කළේ නැත. ඔහුගේ නවතම චිත්‍රපටය වූ 'සුනාමි' තිරගත කිරීම ආරම්භ කළේ මෙම වසරේදීය. එනම් 2020 දීය. මේ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව දිනාගත් අතර, හැම චිත්‍රපටයක්ම පාහේ ආදායම් අතිනුත් සාර්ථක විය.

කොටි කල්ලිය අහිංසක සිංහල මිනිසුන්ව ඉවක් බවක් නැතිව මැරූ ආකාරයට, කොටි කල්ලියේම සිටි සමාජීකයෙක් හා ඔහුගේ දියණියව, තම නිවසේ සඟවා ගෙන ඔහුගේ වෙඩි වැදුණු කකුලට සාත්තු කරන සිංහල ගුරුවරයෙක් වූ පුංචි බණ්ඩා, ඔහුගෙ බිරිඳ හා දියණිය විසින් ගන්නා 'රිස්ක්' එක සුළු පටු නොවේ. ඒ දෙස යථාර්තවාදිව සිතන විට, එලෙස අවදානමක් ගැනීම විශ්වාස කල නොහැක්කක් වූවද, සිනමාවේ දී, නිර්මාණ කරුවාට තම සිතැඟි අනුව ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බවක් අපි තේරූම් ගත යුතුය. යථාර්ථය අතරට මායානුපීත දෑ එක් කිරීම යනු සිනමාවය. සෝමරත්න, තම චිත්‍රපටයට ඒ මායානුපීත බවින් ප්‍රයෝජන ගෙන ඇත.

සරෝජාව තම නිවසට රැගෙන ආවේ වරුණිය. දෙමළ කෙල්ලෙක්ව ගෙදර අස්සේ දාගෙන මෙවැනි කාලයක, විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවන බව ඉවෙන් මෙන් වැටහුණු පුංචි බණ්ඩාගේ බිරිඳ මුලින් මෙයට තදින්ම විරුද්ධ වූවද, කුඩා සරෝජාගේ හුරතල් බව, අහිංසක බව, අසරණ බව, දුටු විට ඇය ඇයගේ විරෝධ හැගීම් මැඩ පවත්වා ගත්තා පමණක් නොව, පසු කලෙක සරෝජාව පොලිසියට භාර දෙමු යැයි පුංචි බණ්ඩා යෝජනා කරන විට එයට තදින්ම විරුද්ධ වන්නටද විය. ඒ සෝමරත්න දිසානායක තම 'ප්ලොට්' එක තුලින් මතු කර ගත්,අව්‍යජය මිනිස් හැඟීම්ය. 'සරෝජා' චිත්‍රපටය තුල මෙවන් සංවේදිවූ මිනිස් හැගීම් උද්දීපනය වන තැන් බොහෝ තිබුණි.

සරෝජාව තම නිවසට වරුණි රැගෙන ආවා සේම, සුන්දරලිංගම්ව තම නිවසට රැගෙන ආවේ පුංචි බණ්ඩාය. 'තාත්තලා, දුවල ඕන දෙයක් කරගන්න. ⁣දැං මේ දෙයින් වෙන්නෙ අපි ඔක්කෝටම හිර ගෙවල් වල ලඟින්න' කියා පුංචි බණ්ඩාගේ බිරිඳ දොස් කීවද, පසුව සුන්දරලිංගම්ට සාත්තු කරන්නට පුංචි බණ්ඩා හා එකතු වුණේද, පුංචි බණ්ඩාගේ බිරිඳය.

යුද්ධය ප්‍රචන්ඩාකාරි වූවද, ඔවුනගේ ජන්මය මොන ජාතියේ වූවත්, ඔවුන් තමන්ගේ පරම හතුරෙක් වූවත්, ඔවුන් අසරණව, හෝ මරණාසන්නව සිටින අවස්ථාවක මොන තරම් නීති රීති, බාධක ,කම්කටොළු, ජීවිත තර්ජන තිබුණත්, ඒ සියල්ල නොතකා මනුස්සකම වෙනුවෙන් ඉදිරිපත් වන දෙවිවරු, බෝසත්වරු මෙන් මිනිසුන් සිටින බව සෝමරත්න දිසානායක ඉදිරිපත් කර පෙන්වන්නේ පුංචි බණ්ඩා ගුරුවරයා, ඔහුගේ බිරිඳ හා ඔවුනගේ දියණිය වරුණි හරහාය.

සෝමරත්න දිසානායක, සුන්දරලිංගම්ගේ චරිතය තුළින් උද්දීපනය කළේ, මේ යුද්ධයට අකමැති,එය පිළිකුල් කරන එහෙත් බලෙන් කොටි සමාජිකයෙක් කළ පුද්ගලයෙක්වය. දිසානායක එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ කොටි කල්ලිවලට, එමෙන්ම මේ වාර්ගීක යුද්ධයට අකමැති,සාමකාමි ජීවිතයක් ගත කරන්නට කැමති දමිළ මිනිසුන් බොහෝ අය සිටින බවය. සුන්දරලිංගම්ගේ යොවුන් පුතුද කොටි කල්ලිය විසින් තම යටතට බලෙන් බදවා ගෙන පසුව ඔවුන් විසින් ඔහුව මරා දමා තිබුණි. ඉන් පසුව සුන්දරලිංගම්වත් ⁣බලෙන් මෙම කල්ලියට එකතු කර ගත්තද, ඔහු එහී සිටියේ නොකර බැරි කමටය . නමුත් යුද්ධයකදි,සුන්දරලිංගම්ලා ප්‍රති විරෝධීකයන්ය. එහෙයින් හමුදාවකට, මොවුන් විරෝධි කණ්ඩායම්වලට එකතුවී රටේ ජනජීවිතය විනාශ කරන්නේ කැමැත්තෙන්ද, අකමැත්තෙන්ද කියන එක හොය හොයා ඉන්නට බැරිය. සෝමරත්න දිසානායක ඒවා සොයා පිලියම් කිරීමට දැමු චරිතයන්ය පුංචි බණ්ඩා හා ඔහුගෙ පව්ලේ අය. චිත්‍රපටය තුළදී මේ සුන්දරලිංගම් නම් කොටි සමාජීකයාට ප්‍රේක්ෂකයන්ගෙන් අනුකම්පාව ,සෝමරත්න විසින් රැගෙන දෙන්නේ ඒ අයුරිනි.

ත්‍රස්ථවාදියෙක්ව සඟවා සිටීම යනු, ත්‍රස්ථවාදයට අනුබල දීමකි. නීතිය එයයි. මනුෂ්‍යගුණංග වලින් පිරුණද, සුන්දරලිංගම් යනු ත්‍රස්ථවාදියකි. පුංචිබණ්ඩා ගුරුවරයෙකු වූවද, ඔහු ත්‍රස්ථවාදියෙකුව සඟවාගෙන ක⁣ළේ වක්‍රමගින් ත්‍රස්ථවාදයට උපකාර කිරීමය. එහෙයින් ත්‍රස්ථවාදි නීතිය අනුව, පුංචිබන්ඩා ඔහුගේ පවුල හා කුඩා දියණිය වරුණි හිරේට යායුතුය. එහෙත් සෝමරත්න දිසානායක, ඒ තරම් කෘර වූයේ නැත. ඔහු එය නිත්‍යනුකූලව ඔප්පු කළේ, සුන්දරලිංගම්ට ත්‍රස්තවාදි යෙක් වීමට උවමනා කමක් නැති බවත්, පුංචි බණ්ඩා කළේ මිනිසෙක් මැරෙන්නට යාමත් ,කුඩා අහිංසක දරුවෙක් අනාථ වීමත් වලක්වාලන මානුෂික මෙහෙයක් බවත් ය. ඒ හරහා පුංචි බණ්ඩාව, සුන්දර ලිංගම්ව, සරෝජාව ඒ ප්‍රශ්න වලින් ගලවා දැමුනද, කොටි සමාජීකයන් දෙදෙනෙක් පැමිණ තමන්ගේ කල්ලියට ද්‍රෝහි වූ සුන්දරලිංගම්ට වෙඩි තබා මරාදමා පලා ගියහ. සුන්දරලිංගම්ගේ මරණය හරහා සෝමරත්න විසින් පුංචිබණ්ඩාව සම්පූර්ණයෙන්ම නිදහස් කළ අතර, ත්‍රස්ථවාදියෙක්ව සඟවා රටට වක්‍රමගින් හෝ ද්‍රෝහි වූ යුක්තිගරුක පුංචිබණ්ඩාට සෝමරත්න විසින් දුන් දඬුවමය ඔහුව ගමේ පාසැලින් මඩකලපුවට මාරු කර යැවීම. 'එයාටත් මොකක් හරි දඬුවමක් 'ලැබුණනෙ කියා ප්‍රේක්ෂකයන් ට සාධාරණීය වීමේ අවස්ථාව සෝමරත්න ලබා දුන්නේ එසේය.

සරෝජා ගේ චරිතය ඇත්තෙන්ම ඛේදවාචකයකි. ඇගේ මව කොටි කල්ලිය විසින් මරා දැමුවේ ඇයගේම ඇස් ඉදිරිපිටය. එම කල්ලිය ඇයගේ ගෙට ගිනි තිබ්බේද, ඇයගේ පියාගේ කකුලට වෙඩි වැදුනේද ඇයගේ දෑස් ඉදිරිපිටය. එහෙත් ඇයට කරුණාවන්ත සිංහල පවුලක්, වරුණි වගේ සොහොයුරියක් ලබන්නට වාසනාවන්ත විය. චිත්‍රපටය තුල සරෝජා මුල් කරගෙන බොහෝ සංවේදි තැන් තිබුණි. කැලැවේදි පැන දුවන සුන්දරලිංගම් හා සරෝජාව යුදහමුදාභටයෙකුට අහුවන විට, එම භටයා සුන්දරලිංගම්ට වෙඩි තබන්න යන විට, සරෝජා ගොස් ඒ තුවක්කුවේ එල්ලෙයි. හමුදාභටයාට මේ කුඩා ළමයා ගැන අනුකම්පා සිති, සුන්දරලිංගම්ට වෙඩි නොතබා කුඩා සරෝජාවත් ගෙන පැන දුවන්නට ඉඩ දෙයි. එලෙසම එක් අවස්ථාවක වරුණිගෙ මව වරුණිව තුරුලට ගෙන ඇයගේ හිස පීරන විට, සරෝජාට තම මිය ගිය මව තමාගේ හිස පීරූ ආකාරය මතක්වී ඇසට කඳුළු පිරෙයි. වරුණිගේ මව එය දකියි. ඇය වහා සරෝජාව තම තුරුලට ගෙන ඇයගේද හිස පීරයි.

සරෝජා හා වරුණි නියෝජනය වූයේ දමිළ හා සිංහල වූවද, සෝමරත්න එම චරිත දෙකෙන් දෙජාතියේ ඇතිවිය යුතු සංහිදියාව පෙන්වීමට උත්සහා කළේ ඔවුන් දෙදෙනා⁣ හා බැදුණු අපූරුවූ සහෝදරත්වය තුලිනි. සෝමරත්න දිසානායකගේ මුඛ්‍ය අදහස වී තිබුණේ,මේ සියලු ගැටීම්, නවතාලිය හැකි 'අවි' නම් ආදරය, කරුණාව, දයාව බවය. සරෝජා හා වරුණිගේ බැදීමත්, පුංචිබණ්ඩා හා ඔහුගේ බිරිඳ සුන්දරලිංගම්ට දැක්වූ කරුණාව හා දයාව තුලින් තහවුරු වුයේ එයමය.

නිත්‍යවානි කන්දසාමි 'සරෝජා' ලෙස විශිෂ්ඨතම රඟපෑමක් ඉදිරිපත් කළාය. ඇය තම චරිතයේ සංවේදි මෙන්ම හුරතල් කොටස් හොඳ හැටි හඳුනා ගෙන මනා අවබෝධයකින් රඟපෑවාය. සතුට, දුක, බිය, සංවේගය, ත්‍රාසය ,ආදරය, දයාව මේ හැම අවස්ථාවකම ක්ෂණිකව තම හැගීම් මාරු කිරිමෙදි ඇය විශිෂ්ඨ විය. දෙබස් උච්චාරනය,හඬ පාලනය හරහාද ඇ පෙන්වූයේ පලපුරුදු නිළියක් සේය. වරුණිට රඟපෑ ප්‍රමුදි කරුණාරත්නද හොඳ සහයක් ලබා දුනි. නිත්‍යවානි හා ප්‍රමුදි කාලයකට මතක හිටින රඟපෑමක් 'සරෝජා' වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණි.

ජනක කුඹුකගේ, පුංචිබණ්ඩා ගුරුවරයා ලෙස එම චරිතයේ තිබූ පහන් බව,හා සංයමය හඳුනාගෙන, තමාව පාලනය කරගනිමින් දක්ෂ රඟපෑමක නියුතුවූ අතර, නීටා ප්‍රනාන්දු ඔහුගේ බිරිඳ ලෙස තම සුපුරුදු දක්ෂතා විදහා දැක්වීය. මර්වින් මහේෂන් සුන්දරලිංගම්ගේ චරිතය රඟපෑවේය. මහේන්ද්‍ර පෙරේරා, විජේරත්න වරකාගොඩ, සුසන්තා චන්ද්‍රමාලි, අසෝක පීරිස්, රංජනි රාජ් මොහාන්, සම්පත් තෙන්නකෝන්, විනි වෙත්තසිංහ සෙසු චරිත රඟපෑහ. චිත්‍රපටය තවත් ගාම්භීර කිරීමට, දැවැන්ත නළුවන් කීප දෙනෙකුගේ 'ගරු චරිත' කීපයක් එක් කර තිබුණි. ඒ ජෝ අබේවික්‍රම (වෙද රාළ) ටෝනි රණසිංහ ( පොලිස් ස්ථානාධිපති) හා රවින්ද්‍ර රණ්දෙනියය.(යුධ හමුදා මේජර් වරයෙක් ලෙස).

සෝමරත්න දිසානායක කථාව, තිරනාටකය හා අධ්‍යක්ෂණය කළ එතෙර මෙ⁣තෙර සම්මාන රාශියක් දිනාගත් 'සරෝජා' තිර ගත කිරීම ආරම්භ කළේ 2000 වසරේ මාර්තු 10 වෙනිදා සිටය. මෙය රේණුකා බාලසූරියගේ නිශ්පාදනයකි. 'සරෝජා' ප්‍රේක්ෂක, විචාරක ප්‍රශංසාව නොමදව දිනාගෙන ආදයම් අතින්ද අධි සාර්ථක ලැබූ චිත්‍රපටයකි.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)