බොන්න තව මන්ද ප්‍රමාදේ

“සිහින හතක්”
ජූලි 9, 2020

'සුපුන් සඳක් නැගීලා

කිරි බැබලෙන පාරුවේ

රිදී ගඟක් ගලාලා

පළිඟු පුලින තලාවේ'

ඇතැම් ගීත චිත්‍රපටවලට මොන තරම් බලපෑමක් කරනවා ද කියා දැනෙන අවස්ථාවකි ඉහත ගීතය. චිත්‍රපටය කුමන තත්වයක තිබුණ ද , ගීත විසින් චිත්‍රපටය 'හයිලයිට්' වන ලද අවස්ථාවකි නිහාල් ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කැරුණු 'සිහින හතක්' චිත්‍රපටය. 'සිහින හතක්' චිත්‍රපටය තුළ ඇත්තෙන් ම උලුප්පා පෙනුණේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගේ සංගීතය, තනු හා ජේ.ඒ.මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක, නාරද දිසාසේකර, හා මොහිදින් බෙග් ගැයූ ගීත ය. ඒවා අදත් ඉතා මත් ජනප්‍රිය ය. මතුවටත් ඒ ජනප්‍රියත්වය රැකෙනු ඇත.

'සිහින හතක්' චිත්‍රපටය සරල කථා තේමාවක් හරහා, ආකාර්ෂණීය නළු නිළියන් කීප දෙනකු තුළින් ඇදගෙන ගිය චිත්‍රපටයකි. 60 දශකයේ මැද භාගයේ දී, බොහෝ චිත්‍රපට නිර්මාණය වූයේ 'සංවේදී' බව ඉස්මතු කරගෙනය. එකල කාන්තාවන් අතර සිනමාව ඉතා මත් ප්‍රචලිතය. එ ලෙස ම කාන්තාවන්, සිනමා ශාලාවට පැමිණෙන්නේ චුට්ටක් හෝ හඬන්නට බලාගෙන ය. ඒවා රුක්මණී දේවීලා, ජීවරාණීලා 'ඩිවලප්' කෙරූ දේවල් ය. ඉතින් පිරිමි ප්‍රේක්ෂකයන්ට සටන් අවශ්‍ය වූවාක් මෙන් කාන්තාවන්ට සංවේග ජවනිකා අවශ්‍ය වූයේ ශාලාව තුළ ඇති තරම් හඬන්නට ය. පසු කලෙක ඇතැම් චිත්‍රපටවලට 'ගැහැනුන් හඬවා මුදල් ගැරීම' කියා ලේබල් ඇලවූයේ ඒ නිසා ය.

නිහාල් ජයසිංහ ද මේ ආර්ට් එක අල්ලා ගත්තේ ය. ඔහු'සිහින හතක්' චිත්‍රපටය බලන කාන්තාවන්ව හඬවන්නට යොදා ගත්තේ 'සරෝජිනී' ගේ චරිතය තුළින් ය.

සරෝජිනි යනු 'සිහින හතක්' චිත්‍රපටයේ එක් කථා නායිකාවියකි. ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවකි. උපුල් පලිහක්කාර ඒ රෝහලේ සේවය කරන ⁣දොස්තරවරයෙකි. ඔහු තරුණ ය, මනා කඩවසම් ය, එ ලෙස ම ඉතා මත් ධනවත් පුද්ගලයෙකි. ඔහු උඩරට වතුහිමි පවුලක එක ම පුත්‍රයා ය. ඔහු මුලින් ම ප්‍රේම කළේ ඔහුගේ ඇවැස්ස නෑනා කෙනකු වූ සිල්වියා දුනුතැන්න ටය. ඇය ද 'සිහින හතක්' චිත්‍රපටයේ කථා නායිකාවකි. සිල්වියා රූමත් ය, ඇය ගේ දේහ ලක්ෂණ ය, ක්‍රියා කලාපය,ඇඳුම පැලදුම, ගමන බිමන බටහිර උරුවට හැඩ ගැසී තිබිණි. සිල්වියා උපුල්ට කෙතරම් ආදරය ද කිව හොත් ඇය ගේ දෑස් නිකමට හරි පියවුනි ද, ඇයට පේ⁣⁣න්නේ උපුල් සමඟ දිය ඇලි ළඟ, මල් වතුවල, අතැඟිලි පටලාගෙන ගීත ගයමින් ප්‍රේමයෙන් වෙලී, ගැලී, සිටින සිහිනයන් ය. ඇයට උපුල් වෙනුවෙන් ⁣ සිහින හතක් නො ව, සිහින දාහතරක් වූව ද පෙනෙයි.

 

' " පුෂ්ප මකරන්දය මාගේ

බෘංග මධිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ

බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ " "

මේ සිහින ජවනිකා චිත්‍රපටයේ කථාවට කිසි සේත් සම්බන්ධ ඒවා නම් නො වේ. නමුත් මෙම ගීතමය ජවනිකාව නම්, 'සිහින හතක්' චිත්‍රපටයට අනගි ආකර්ෂණයක් ලබා දුනි. අද 'සිහින හතක්' චිත්‍රපටය ගැන මතකය ඉතිරි කළේ එහී තිබූ ගීතමය ජවනිකාවන් ය. මෙම ගීතය ද එවන් ඉතිරි කර ගිය මතකයකි.

ඇතැම් සිංහල චිත්‍රපටවල ගන්න ම දෙයක් නැත. එහෙත්, එම චිත්‍රපට චිරාත් කාලයක් රැක දෙන්නේ ගීත හා සංගීතයයි . 'සිහින හතක්' චිත්‍රපටය ද එවැන්නකි. එහි සංගීත අධ්‍යක්ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න නොසිටියා නම් 'සිහින හතක්' සිහිනයක් සේ ම බොඳ වී යන්නේ ය.

උපුල්, සිල්වියාට ආදරය කළ බව, නාමිකව කීව ද, චිත්‍රපටය තුළ එය ලොකුවට පෙන්වන්නේ නැත. එහෙත්, සිල්වියා නිතර ම උපුල් ලඟ දැවටි දැවටි සිටිමින් ආදරය බොහොම 'චීප්' විදියට අයදියි. ඔවුන් දෙ දෙනා එකල පෙම්වතුන් ලෙස සිටි බවක් අපට හැඟවෙන්නේ වරක් සිල්වියා විසින් උපුල්ට කියූ කථාවක් තුළිනි. ඒ, දෝෂාරෝපණයකි. උපුල් ඇයට මීට ප්‍රථම ආදරය කළ බවත්, දැන් දැන් ඔහු ඇයව මඟ අරින බවත් ය ඒ දෝෂාරෝපණයෙන් එල්ල වූයේ.

'සිහින හතක්' කථා සාරයේ දී, උපුල් සිල්වියාට ආදරය කළ බව ඇත්තකි. එහෙත්, ඔහුට සරෝජනීව මුණ ගැසුණු පසු මේ තමාට වඩාත් ම ගැලපෙන කෙනා බව ඔහුට දැනිණි. සිල්වියා ගේ සංකර පෙනුමට, හාත් පසින් වෙනස් වූ සරෝජිනි ගේ චාම් බවට, උපුල් දැඩි ව ප්‍රිය කළ අතර, ඔහුට නියමාකාරයෙන් ආදරයෙන් බැඳෙන්නට වුවමනා වූයේ ද සරෝජිනි සමඟ ය.

' " නළවන තුරුල්ළටයි

රළ පෙළ ඇදෙන්නේ

සුවදෙන කැඳැල්ලටයි

අත් තටු සලන්නේ ' "

උපුල් තනි කැමැත්තට සරෝජිනී හා විවාහ වූයේත්, තම දෙ මාපියන්ට හොරෙන් ඇය සමඟ වෙන ම ගෙයක පදිංචි වූවේත් ඔහු ඇයට දැක්වූ මේ ආදරය නිසා ම ය. උපුල්ට ඇයව ඔහු ගේ සිතැඟිවලට හොඳට ම ගැලළපිණි. ⁣උපුල් විවාහ වූ බවක් නොදැන, ඔහු ගේ දෙමාපියන් වූ මේබල් හා ජෙරාඩ්, තම පුතුව මේබල් ගේ වැඩිමහල් සොහොයුරා වූ හැරී දුනුතැන්න ගේ දියණිය සිල්වියාට කර කාර බන්ඳවා දීමට ලක ලැස්ති වුවා පමණක් නො ව හැරී දුනුතැන්න ගේ විශාල බූදලය ම දියණිය ගේ හා උපුල් ගේ නමට හරවන්නට ද කතිකා කර ගති.

නිහාල් ජයසිංහ ලාංකේය සිනමාවට එකතු වූයේ දෙබස් රචකයකු හා ගීත රචකයකු ලෙස ය. ඒ ඩග්ලස් කොතලාවල අධ්‍යක්ෂණය කළ 'කිංකිණි පාද' චිත්‍රපටයෙනි. ඒ කාල වකවානුවේ ම ය ඔහු 'සිහින හතක් ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙළඹුණේ. ඉන් පසු 'ඇමතිකම' සහ ඒක දිග කතාවක් චිත්‍රපටවලද අධ්‍යක්ෂවරයා ද ඔහුය. 'ඔහොම හොඳ ද?' චිත්‍රපටයේ දෙබස් රචනා කළේද ඔහුය. මගේ මතකය නිවැරදි නම්, බැප්ටිස්ට් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ' ඒක දිග කථාවක්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද මේ නිහාල් ජයසිංහ ය. 'සිහින හතක්' චිත්‍රපටයෙන් ඔහු ජනප්‍රිය වූ බවක් නම් කිව යුතු ය.

හැටේ දශකයේ පවා 'පැපරාසින්' සිටි බවක් ප්‍රේක්ෂකයන් දැන ගත්තේ උපුල්ගේ පියාට නිර්නාමිකව ලිපියක් පැමිණි පසු ව ය. එහී තිබුණේ, උපුල්, සරෝජිනි නම් දුප්පත් 'නර්ස්' කෙනෙකු සමඟ විවාහ වී වෙන ම නිවසක පදිංචි වන බව ය. බෝම්බය පිපිරුණේ ඉන්පසු ව ය.

ඒ අතර වාරයේ චිත්‍රපටයට පොඩි ත්‍රිලක් ගෙන එන්නට දෝ නිහාල් ජයසිංහ කථාව වෙනස් 'ට්‍රැක්' එකකට දැම්මේ ය. උපුල් ගේ පියාවූ ජෙරාඩ්, තම උඩරට තිබෙන වත්ත හා ෆැක්ටේරියට තම රියදුරු සමඟ යන විට රථය ගලා යන දිය පාරක හිර විණි. රියදුරාට රථය තනියෙන් තල්ලු කර ගැන්මට නො හැකි නිසා ඔහු ජෙරාඩ්ව කාරයේ දමා උදව්වට මිනිස්සුන් කීප දෙනෙක්ව සොයා ගෙන ඒම සඳහා ගම ඇතුළට ගියේ ය. ඒ අතරේ දී ජෙරාඩ් අසල තිබු විශාල ගසක සිටි හොල්මනක් දිටීය. එලෙස ම තම රථයේ ඩ්‍රයිවර් අසුනේ , මීට ටික කලකට ඉහත එම වත්තේ ම මිය ගිය, වත්තේ කම්කරුවෙකු වූ මුත්තු සිටිනවා දුටුවේ ය. එය දුටු ජෙරාඩ්, කාරයේ දොර ඇරගෙන එළියට පැන දුවන්නට ගියද ඔහුව බය වී සිහිය නැතිව ඇඳගෙන වැටිණි. ඒ අතර වාරයේ සෙනඟ සොයන්නට ගිය රියදුරු ගම්මුන් කීප දෙනෙක් රැගෙන එන විට, ජෙරාඩි පාරේ වැටී සිටිනවා දුටුවේය. ඔහු වහා ම ගම්මුන්ගේ ආධාර ඇති ව ජෙරාඩ්ව උසුලාගෙන නිවසට රැගෙන ගියේ ය. එ තැන් සිට ජෙරාඩ් ඔත්පළ විය.

උපුල් හා සරෝජිනි මේ කිසිවක් නොදැන ඔවුන් ගේ විවාහයේ මුල් දින කීපය ඉතා මත් විනෝදයෙන් ගත කරන්නට විය.

" " ආදර දියඹ යටයි

මිණි මුතු දිලෙන්නේ

ගී රස තාලයටයි

පෙම් රළ රඟන්නේ " "

තම පියා ගේ අසනීපය උපුල්ට කෙසේ හෝ ආරංචි විය. ඔහු සරෝජිනීව,නිවසේ නවත්වා, තනියට වයසක ගැහැනු කෙනෙක්ව ද තබා, පියාව බැලීමට තම මහ ගෙදරට ගියේ ය. ඔහු සරෝජිනීට කියන්නේ තම තම මහ ගෙදරට ලියුම් එවන්න එපා කියාය. සතියකට සැරයක් ඔහු ඇයට ලියුම් එවන බව පොරොන්දු විය.

හැටේ දශකය තුළ ලංකාවේ සන්නිවේදනය තිබුණේ ඉතා මත් දුර්වල තත්වයක ය. ලිපි, හා ටෙලිග්‍රෑම් හැරෙන්නට වෙන යම් ක්‍රම වේදයක් තිබුණේ ම නැත. දුර කථන පහසුකම් ද නිවෙස් වලට තිබුණේ නැත. තිබුණා නම් බොහොම අතළොස්සක් ය. එ හෙයින් හැමදෙනාට ම පාහේ ලිපි ගැන විශ්වාසය තබන්නට සිදු විය. උපුල් තම මහ ගෙදරට ගිය පසු සරෝජිනීට ද බලාපොරොත්තු තැබීමට සිදු වූයේ උපුල් එවන ලිපි ගැන පමණි.

නිහාල් ජයසිංහ 'සිහින හතක්' තුළින් කරකවා අතහැරියේ මේ ලිපි සෙල්ලම ය. උපුල් තම මහ ගෙදරට ගියේ තම විවාහය කිසිම කෙනෙක් නොදැන යයි සිතා ය. එහෙත් නිවැසි සියල්ල ම ඒ බව දැනගෙන සිටිය ද, ඔවුන් දන්නා බවක් උපුල්ට හැඟෙව්වේ නැත. එහෙත්, සිල්වියා මේ බව දැන ගෙන සිටියේ නැත. උපුල් සරෝජිනීට ලිපි ලියා දමන්නේ තම ගෙදර ගේට්ටුවේ සවි කර තිබූ ලියුම් පෙට්ටිය තුළට ය. ගෙදරට එන ලියුම්කාරයා ඒවා ⁣රැගෙන තැපැල් කරනවා යැයි අපි සිතමු. උපුල් එම ලිපි පෙට්ටියට දමනවා ඔහු ගේ මව දකියි. එ තැන් සිට එසේ දමන හැම ලිපියක් ම උපුල් ගේ මව උපුල්ට හොරෙන් අර ගත්තා ය. එයින් සිදුවූයේ උපුල් ගේ ලිපි සරෝජිනිට නොලැබීම ය.

උපුල් ගොස් මාසයක් පමණ ගත වූ අතර, ඒ මාසය තුළ ම එකදු ලිපියක් හෝ නො එවීම ගැන සරෝජිනි වික්ෂෝප විය.

" රන් තරු පුන්සඳ ගිලුනාදෝ

පෙම් ලොව මේ ඝනදුරු වී දෝ

රන් අත්තටු පෙළ සිඳුනාදෝ

රන් කූඩුව අමතක වීදෝ"

නිහාල් ජයසිංහ, තම චිත්‍රපටය තුළ ඇති කෙරූ මේ එකිනෙකට වෙනස් සිදු වීම් හරහා ඔහුට ගුණාත්මක චිත්‍රපටයක් හෝ, හොඳ වාණිජ චිත්‍රපටයක් කිරීමේ අටුවා ටීකා තිබිණි. ඒවා තිබුණ ද, මෙම චිත්‍රපටය ගුණාත්මකබවින්, එ සේත් නැත්නම් වාණිජ්‍ය බවින් හෝ සාර්ථක කර ගැන්මට නිහාල් ජයසිංහ ගේ දක්ෂකම මදි විය.

උපුල් ගේ පියා ගේ විකල් බව දිගට ම තිබූ හෙයින්, ඔහු වෙනුවෙන් තොවිලයක් කිරීමට සිදු විය. ඒ අතරෙදි සිල්වියාට , උපුල් විසින් සරෝජිනීව විවාහකර ගෙන සිටින බව හසු විය. සිල්වියා සරෝජිනීව සොයා ගෙන ගොස් ඇයට කම්මුල් පාරක් ගැසී ය. එතෙක් වේලා ප්‍රේක්ෂකයන් ගේ අනුකම්පාව දිනා ගෙන සිටි සිල්වියා, එක වර ම දුෂ්ට චරිතයකට අවතීර්ණ වීම නිසා ඇය ප්‍රේක්ෂකයන් ගේ අප්‍රසාදයට ලක් විය.

ඉන් පසු එක වර ම උපුල් ගේ පියා වූ ජෙරාඩ්, ඔහු එතෙක් කල් රහසක්ව සිටි කථාවක් හෙළි කළේ ය. ඒ ඔහු තරුණ කල, තම වත්තේ වැඩ කරමින් සිටි මුත්තු ගේ බිරිඳව දූෂණය කර, එය මුත්තු දැන ගත් පසු, මුත්තුව මරා ගඟට තල්ලු කෙරූ සිදු වීම ය. ඔහු එය තම බිරිඳ වූ මේබල්ට හා තම පුතු උපුල්ට කී ය. එය කී සැණින් ම ඔහු මිය ගියේය. සිංහල චිත්‍රපට එහෙම ය. මෙතෙක් තමා මහ ඉහළින් තබාගෙන සිටි තත්වය, මාන්නය, තම සැමියා ගේ නොහොබිනා කථාව ඇසූ සැණින් ම මේබල් ගේ ලොකුකම සුනු විසුනු වී ගියේ ය. අධ්‍යක්ෂක නිහාල් ජයසිංහ මේ සියලු උප්පරවැට්ටි දැම්මේ සරෝජිනීව ,උපුල්ගේ මවට 'සෙට්' කිරීමට ය. දැන් ඉතින් බොරු තත්ත්වය, මාන්නය හිතේ තබාගෙන සිටීම ⁣පලක් නැති බව තේරුම් ගත් මේබල්, සරෝජීනිව දෝත බදාගෙන තම පවුලට පිළිගත්තා ය. සිල්වියාට හුළං ය. ඒ සිංහල චිත්‍රපට ඉවර කරන හැටි ය.

කිසිදු නළු නිළියකගේ හොඳ රඟපෑමක් නොතිබූ තවත් චිත්‍රපටයක් ලෙස 'සිහින හතක්' සැලකිය හැකි ය. දොස්තර උපුල් ලෙස ටෝනි රණසිංහත්, සරෝජිනි ලෙස නවක නිළියක් වූ ශ්‍රීමා අබේරත්නත්, සිල්වියා ලෙස සන්ධ්‍යා කුමාරිත්, ප්‍රධාන චරිත ත්‍රීත්වයට පණ දුනි. උපුල් ගේ මව වූ මේබල් වූයේ රුබී ද මෙල් ය .ජෙරඩ් ලෙස මාකස් පෙරේරා රඟපෑය. සෙසු චරිත, ශේන් ගුණරත්න, ගාමිණි විජේසූරිය, දයානන්ද ගුණවර්ධන , නවනන්දන විජේසිංහ, ලිලියන් එදිරිසිංහ, රිචඩ් ඇල්බට්, තලතා ගුණසේකර, දෙනවක හාමිනේ, හා ලොයිඩ් වාකිස්ට රඟපෑහ.

නිහාල් ජයසිංහ හැදූ "සිහින හතක්" චිත්‍රපටය තිර ගත කිරීම ආරම්භ කළේ 1966 මැයි මස 02 වැනි දා සිට ය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)