රීගල් සිනමාහලට අවුරුදු අනූවයි

ජූලි 30, 2020

දිනය 1980 වසරේ සැප්තැම්බර් මාසයේ 14 වැනිදාය. යළිත් දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට කොළඹ ආක්‍රමණය කරන්නට පටන් ගත් මුල් අවදියයි. මගේ සීමාරහිත සිනමා මාන්දම වැඩිවෙමින්   පවතින බැව් මගේ පාසැලේ  පන්ති සගයෝ පමණක් නොව ඇතැම් ගුරුතුමන්ලා ද දැන සිටියහ. ‘අන්න රීගල් එකට හොඳ ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා ගිහින් බලනවා. ‘සමරසේකර සර් මට පැවසුවේය. එදිනම සවස මම රීගල් සිනමාහල සොයා ගියෙමි. 

තිර ගත වූයේ ඩේවිඩ් ලීන් නම් මහා සිනමාකරුවා විසින් නිර්මාණය කරන ලද ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටයයි. ඩේවිඩ් ලීන් පිළිබඳව හෝ චිත්‍රපටයට පාදක වූ බොරිස් පැස්ටරික් ගේ නවකථාව පිළිබඳ හෝ එහි චරිත නිරුපණය කළ නළු නිළියන් ගැන හෝ මා දැන සිටියේ නැත. එය දැන ගත්තේ ඊළඟ සතියේ සරසවිය පුවත්පතේ පළ වූ ලිපියකිනි. මා සරසවිය පාඨකයකු වූයේ හැම අලුත් විදෙස් චිත්‍රපටයක් පිළිබඳව ලිපියක් පළ වූ බැවින් එමඟින් එකල චිත්‍රපටය තේරුම් ගත හැකි නිසාය.  සිනමා කෘතිය දකින්නට පෙරාතුව මා විස්මයට පත්වූයේ  සිනමාහලේ  හැඩ තල පිළිබඳවය. පැරැණි රාජ මාළිගාවක් සිහිපත් කරන සඳලු තල මෙන්ම ආකර්ෂණීය  පඩිපෙළ හා පුවරු ද අපූරු ප්‍රෙව්ශ පත්‍ර කවුළු ද සහිත මේ මන්දිරය ට මම වසඟ වීමි. එය එතෙක් මා දැක තිබුණු සිනමාහලක ස්වරූපය නොවිණ. එල්ෆින්ස්ටන් සිනමාහල ද පැරැණි මාළිගා සිරියක් ගත්ත ද එය මෙතරම් හොඳීන් නඩත්තු වී තිබුණේ නැත. මේ අවදියේ  රීගල් සිනමාහල වෙන් වූයේ ඉංග්‍රිසි චිත්‍රපට සඳහාය. එහි සිංහල චිත්‍රපටයක් තිර ගත වූයේ එහෙමත් දිනයකය. ඒ ද  සුවිශේෂ ගණයේ චිත්‍රපටයක් නම් පමණකි. එහි තිර ගත කරන ලද බොහෝ ඉංග්‍රිසි චිත්‍රපට ද  ඉහළ ගණයේ සම්මානනීය චිත්‍රපට විය. මා රීගල් සිනමාහලට අවසන් වතාවට ගොඩ වැදුණේ පසුගිය 17 වැනි දාය. ඒ අලුත් සිනමාකරුවකු වූ  කුෂාන් වීරරත්න නිර්මාණය කරන ලද සූස්ති චිත්‍රපටය නැරඹීමටයි. මේ වන විට කොළඹ නගරයේ සිංහල චිත්‍රපට උදෙසා ඇති ප්‍රධානතම සිනමාහල රීගල් සිනමාහලයි.  ඩොක්ටර් ෂිවාගෝ හා සූස්ති අතර වසර හතළිහක කාලයේ  දී මා රීගල් සිනමාහලේ නරඹා ඇති සමස්ත චිත්‍රපට සංඛ්‍යාව  236 කි. 

සිනමාව පිළිබඳ මගේ මනස පුබුදුවා ලූ   කෘතින් රැසක් නරඹන්නට ඉඩ ලැබුණේ එහිය. එය මහා විස්මිත කලාවක් යැයි දැනුණු බොබ් ෆොසී ගේ  ඕල් දැට් ජෑස් මෙන්ම සිනමාව තරම් අපූරු භාෂාවක් ලොව තවත්   නැතැයි මට මුල් වරට වටහා දුන්  අපර්ණා සෙන් විසින් නිර්මාණය කරන ලද 36 චෞරංගී ලේන් නරඹන්නට මට ඉඩ ලැබුණේ මේ සිනමාහලේය. කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ නරඹන්නට ලැබුණේ එහිය. ඒ සියල්ලට වඩා සරසවිය සම්මාන උලෙළ හා සමගාමිව පැවැත්වෙන සිනමා සතිය වැඩි වාර ගණනාවක් පැවැත්වූයේ එහිය. එකල සරසවිය සිනමා සතියේ එයට ගොඩ වදින සිනමා තරු බලන්නට නොව මග හැරුණු චිත්‍රපට නරඹන්නට පෝලිමේ සිටි මම පසුව එහි සංවිධායකයකු වීමේ අභිමානය විඳ ගතිමි.  රීගල් සිනමාහලේ පෝලිමට වී ප්‍රෙව්ශ පත්‍රයක් ලබා ගන්නට වරු ගණන් සිටි අවදියක් විය. ඇත්තටම ජීවිතය දෙස හැරී බලන විට  සරසවිය නිවහන වූ ලේක් හවුස් ආයතනයට ගොඩ වදින්නට පෙර සිනමා රසිකයකු ලෙස මා ගොඩ වැදුණේ  රීගල් සිනමාහලටය. 

කොළඹ  රීගල් සිනමාහල දේශිය සිනමාවේ විශාල සංකේතයක් බැව් බොහෝ  දෙනා නොදනිති. මේ මහා සංකේතය පසුගිය ඉරිදා වයස අවුරුදු අනුව සපුරාලූයේය.  රීගල් සිනමාහල ආරම්භ වූයේ 1930 වසරේ ජූලි මස 26 වැනි දිනය. රීගල්  සිනමාහලේ අවුරුදු අනූව මෙරට දේශිය සිනමාවේ සුවිශේෂ සැමරුමකි. සැබැවින්ම විදේශිය සිනමා ව්‍යාපාර ආක්‍රමණයට එරෙහිව දේශිය සිනමා කර්මාන්තය බිහිවීමේ පළමු වෙඩිමුරය රීගල් සිනමාහල බිහිවීමය. රීගල් සිනමාහලේ බිහිවීම අපේ සිනමා ඉතිහාසයේ එක් වැදගත් සිදුවීමක් ලෙස හැඳීන්විය යුත්තේ එහෙයිනි.  

විසි වැනි සියවස මූලාරම්භයේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුණේ දේශිය ව්‍යාපාරිකයන් අතින්ය. කොටින්ම දකුණු ඉන්දියාවේ චිත්‍රපට ව්‍යාපාරය අරඹන ස්වාමිකන්නු වින්සන්ට් එරට චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය  ආරම්භ කරන්නට චිත්‍රපටයක් ලබා ගන්නේ ද ප්‍රක්ෂේපණ යන්ත්‍ර ලබා ගන්නේ ද මෙරට දී බව ඉන්දියානු සිනමා ඉතිහාස වාර්තා හෙළිදරව් කරයි. එහෙත් 1910 වසර වන විට වේගයෙන්  ගොඩනැගුණ ඉන්දියානු සිනමා ව්‍යාපාරයේ නියැළුණු පිරිස  මෙරට සිනමා වෙළෙඳපොළ සහමුලින්ම අත්පත් කර ගන්නට සමත් විය. අපේ සිනමාවේ පුරෝගාමිහු අකල්මරණයට ගොදුරු වූහ. මදුරාසියේ පුරෝගාමි සිනමා ප්‍රදර්ශකයකු වන වෝවික් මේජර් මෙහි පැමිණි  මුල්ම ඉන්දියානු සිනමා ප්‍රදර්ශකයා වූයේය. එහෙත් කල්කටාව පාදක කර ගනිමින් මුළු මහත් ආසියාව පුරා සිනමා ව්‍යාපාර ජාලයක් ගොඩ නගා ගත් මදාන් තියටර්ස් සමාගම ඉතා ඉක්මනින් ලංකාවේ ද සිනමා ව්‍යාපාරය ට අත ගැසුවේය. එපමණක් නොව ඒ වන විට නැඟෙමින් තිබුණු කේවල සිනමා ව්‍යාපාර සියල්ල තමා සතු කර ගන්නට තරම් ඔවුහු  බලසම්පන්න වූහ. 

ඉන්දියානු සම්භවයක් සහිත වුව ද ලාංකික සිනමා ව්‍යාපාරයේ පුරෝගාමි කර්තවයක නියැළුණු ටී.ඒ.ජේ .නූර්බායි ට පවා සිය සිහින සැබෑ කර ගන්නට එක් අතකින් නොහැකි වනුයේ මේ දැවැන්ත ඉන්දියානු සමාගම් සමඟ තරග වදින්නට තරම් සංවිධාන ජාල ශක්තියක් නොමැති වීම නිසාය. මදාන් තියටර්ස් අධිරාජ්‍යය ඒ වන විට සමස්ත ඉන්දියාව පුරා පමණක් නොව සිංගප්පූරුව දක්වා ද අනිත් පසින් ඇෆ්ගනිස්ථානය ඉරානය දක්වා ද සිනමාහල් සිය ගණනක   දැවැන්ත ඒකාධිකාරයක් පවත්වා ගෙන ගියේය. 

කෙසේ හෝ 1920 වසර වන විට කොළඹ කොම්පඤ්ඤ වීදියේ පාසන්ස් පාරේ  වෝවික් මේජර් විසින් පවත්වා ගෙන ගිය එම්පයර් නම් සිනමාහල ද මදාන් තියටර්ස් අධිරාජ්‍යයට යටත් විය. රාජකීය වික්‍රමය නමින් මෙරට චිත්‍රපට ඉතිහාසයේ මුල්ම නිෂ්පාදනය කරමින් හා වැල්ලවත්තේ ටිවොලි සිනමාහල (පසුව ප්ලාසා නම් විය) ඉදි කරමින් ටී.ඒ.ජේ.නූර්බායි ගෙන ගිය ව්‍යාපාරයට ද මදාන් තියටර්ස් වෙතින් විවිධ බාධා ඇති වූ වග පැරැණි දිනපතා පුවත්පත් පරිශිලනයේ දී  පෙනෙන්නකි. ඔවුන් හා තරග වැද මෙරට සිනමා ව්‍යාපාරයක් ගොඩනඟන්නට 1928 වසර වන තෙක් කිසිවකු හෝ සමත් වන්නේ නැත. මුල් වරට ශක්තිමත් දේශිය සිනමා ව්‍යපාරයක් ගොඩ නැංවීමට සමත්වන්නේ යාපනයේ සිට පැමිනි අලුත් ආකල්පවලින් පිරි තරුණ ව්‍යවසායක පිරිසකි. එහි ආරම්භකයා චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර් වූ අතර සී.එල්.තම්බයියා හා එස්. සවරිමුත්තු එහි කොටස් කරුවෝ වූහ.

සීමාසහිත ලංකා නෘත්‍ය සමාගම හෙවත් සිලෝන් තියටර්ස් නමින් ආරම්භ කරන මෙම සමාගම වසර දෙකක් ඇතුළත ඉන්දියානු සමාගමට එරෙහිව දැවැන්ත තරගයක්  දීමට සමත් වන්නේය. (එකල දිනමිණ පුවත්පතේ සිලෝන් තියටර්ස් දැන්වීම් පළ කරනු ලබනුයේ ලංකා නෘත්‍ය සමාගම නමිනි.) පළමුව නුවරඑළියේ ක්ල්ෆර්ඩ් පැවිලියන් සිනමා ශාලාව බදු ගන්නා ඔවුහු  පසුව මරදානේ ඔලිම්පියා සිනමාහල ද බද්දට ලබා ගනිති. ඒ වන විට හුදකලා සටනක යෙදෙන නූර්බායි ද ලංකා නෘත්‍ය සමාගම සමග හවුල් වන අතර ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද විය. එයින් පසු ප්ලාසා සිනමාහල ද ලංකා නෘත්‍ය සමාගමේ හෙවත් සිලෝන් තියටර්ස් සමාගමේ  සිනමාහලක් ලෙස හැඳීන්විණ. එපමණකින් නොනවතින ගාඩිනර් සිය සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලියා පදිංචි සමාගමක්  බවට ද පත් කර ගනියි. එය මෙරට කොටස් වෙළෙඳ පොළ ලියාපදිංචි වන මුල්ම සිනමා සමාගමයි. 

 පාසන්ස් පාරේ පැවැති එම්පයර් සිනමාහල් භූමියේ නියමිත බදුකාලය අහෝසි වන හෙයින්  කොළඹ නගර සභාව මගින් එය  නැවත බදු දීමට සැරසෙන්නේ 1929 වසෙර්ය. එහෙත් ඉඩමේ නව බදුකරු වන්නට මදාන් තියටර්ස්ට හැකිවන්නේ නැත.  එහි අලුත් බදු කරු වනුයේ ලංකා නෘත්‍ය සමාගමයි. ඔවුහු 1929 වසරේ පෙබරවාරි මස 27 වැනි දින අලුත් සිනමාහලක් සදහා මුල්ගල තැබුහ. ඒ පැරණි එම්පයර් ගොඩනැගිල්ල පැය විසි හතරක් ඇතුළත සහමුලින්ම ඉවත් කරමිනි. ගාඩිනර් සිලෝන් තියටර්ස් අලුත් සිනමාහලට මුල්ගල තබන දවසේම එයට මුහුණලා තවත් තරුණ ව්‍යවසායකු පත්තර මහ ගෙදර නම් ලේක් හවුස් මන්දිරයට ගෙවැදුණේය. මේ තරුණ ව්‍යවසායකයා  ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතානනන්ය.  තවත් වසරක් ඇතුළත නව සිනමාහල ගොඩ නගා විවෘත කරන්නට ගාඩිනර් සමත් විය. එය මෙරට කථානාද සිනමා ශාලාවක් ලෙස ඉදිවුණු මුල්ම සිනමාහල ද වෙයි.

ඒ වන විට පාසන්ස් පාරේ එම්පයර් සිනමාහල අහිමි ව සිටි මදාන් තියටර්ස් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නම් කොට මෙරට මුල්ම කථානාද සිනමාහල ලෙස නම් කොට කොට තිබිණ. ඒ 1929 වසරේ ජූලි මස 13 වැනි දිනයේය. එහෙත් එම්පයර් ශාලාව සිනමාහලක් ලෙස අනුවර්තනය කරන ලද බහුකාර්ය ශාලාවක් විනා සිනමාහලක් ලෙස ගොඩ නැගුණක් නොවිණ. එහෙත් රීගල් සහමුලින්ම  ඉදිවුණේ කථානාද සිනමා ශාලාවක් හැටියටය. ඒ වන විට වැල්ලවත්තේ ප්ලාසා හැර අන් සියලු සිනමා ශාලා  ද ආරම්භ ව තිබුණේ  නාට්‍ය හෝ බහුකාර්ය ශාලා ලෙසය. ප්ලාසා නිහඬ සිනමා ශාලාවක් ලෙස ඉදිවුණකි. 

රීගල් සම්ප්‍රදායික සිනමාහලකට වඩා ගෘහ නිර්මාණ ශිල්පය අතින් ළඟා වූයේ හොලිවුඩ් සිනමා මාලිගාවකටය.  (ර්‍ථඪජබභපඥ නචතචජඥ).එක් අතකින් එය මදාන්ට සෘජුව කළ අභියෝගයක්  වනුයේ 1926 වසරේ දී මදාන් ගොඩ නැංවූ  එල්ෆින්ස්ටන් සිනමාහල ද සිනමා මාළිගා ආකෘතියෙන් ගොඩ නංවන ලද්දක් වීමය. මෙම සිනමා මාළිගා සංකල්පය සෘජුවම හොලිවුඩ් ආකෘතියක් වීම විශේෂයකි. මේ සිනමාහල් ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව නෘත්‍ය ශාලා වල ස්වරූපය ද සුඛෝපභෝගි රාජකීය මන්දිර ලක්ෂණ ද සංකලනයක් විය.  එමෙන්ම මදාන්ගේ එම්පයර් (අධිරාජ්‍යය) නමට එරෙහිව ගාඩිනර් යොදා ගන්නේ රීගල් (රාජකීය)  යන නාමයයි. රීගල් සිනමාහලේ ආරම්භක චිත්‍රපටය වූයේ හිස් කැප්ටිව් වුමන් චිත්‍රපටයයි. ජෝර්ජ් ෆිට්ස්මොරිස් එහි අධ්‍යක්ෂවරයාය. මිල්ටන් සිල්ස් හා ඩොරති මැකේල් ප්‍රධාන චරිත නිරූපණය කළහ. එය පසුකලෙක වෝර්නර් බ්‍රදර්ස් සමාගමේ අනුබද්ධ වූ ෆස්ට් නැෂනල් සමාගමේ නිෂ්පාදනයකි. 

 වසරක් ඇතුළත රීගල් සිනමාහල ගොඩ නැඟිමේ කොන්ත්‍රාත්තුව බාර ගන්නේ එවකට සුප්‍රකට ඉදිකිරිම් සමාගමක් වන වෝකර් පුත්‍ර සමාගමයි. ඒ සී.ඊ.ජොන්සන් නම් එහි ඉංජිනේරුවාගේ ප්‍රධාන අධීක්ෂණය යටතේය. සිනමාහලේ ගෘහ නිර්මාණ සැලැස්ම එඩ්වඩ්,රෂ් හා බූත්යන ගෘහ නිර්මාණ ශිල්පී සමාගමෙනි. කොන්ක්‍රිට් පදනම හා ගඩොල් ස්ථරනය මත  තනි යකඩ පට්ටමක් සවි කළ අතර භාවිත කරන ලද යකඩ බර පමණක් ටොන් 250 ක් විය. 

පදනම ට යෙද වූ  කොන්ක්‍රිට් ස්ථරයේ බර ටොන් පන්සියයක් විය. මුළු ගොඩනැගිල්ලම ප්‍රධාන බාල්ක තුනක් යටතේ සවි වන අන්දමට එය නිර්මාණය කෙරිණ. ගොඩනැගිල්ල සඳහා එකල වැය කළ මුදල රුපියල් ලක්ෂ පහක් විය. සිනමාහලට අමතරව එහි වහල මත අවන්හලක් නර්තන  වේදිකාවක් (dancing floor) සහ සාද පැවැත්වීමේ හැකි ඉඩකඩක් ද විය. මුල් සැලැස්මේ දී සිනමාහලේ ගොඩනැගිල්ලට පරිබාහිරව  එයට යාබදව පාර්සන් පාරට මුහුණලා හා ලේක් හවුස් ආයතනයට   පසුපසට යන අතුරුපාර දෙසට (වර්තමාන රීගල් ටෙරස්) කාර්යාල පෙළක් ද පසුව ඉදිවිණ.  වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් සමාගමේ ශබ්ද උපකරණ සිනමා ශාලාව කථානාද සිනමා ශාලාවක් බවට පරිවර්තනය කර තිබිණ.  එහි ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ලද්දේ එම්.එම්.කූබර්ට්ය. ඔහු  ඒ වන විට ආසියාවේ ප්‍රධාන පෙළේ සියලු සිනමා ශාලාවන් ශබ්ද තාක්ෂණයෙන් ගොඩ නැංවූ ඉංජිනේරුවා විය. ප්‍රක්ෂේපණ හා  ශබ්ද උපකරණ සදහා ලක්ෂ එක හමාරකට වඩා වැඩි මුදලක් වැය කෙරිණ. මේ සියලු කරුණු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒබ්‍රහම් ගාඩිනර් විසින් සඳහන් කරනුයේ සිනමාහල විවෘත වූ දවසේ ඩේලි නිවුස් පුවත්පතේ පළ කළ දැන්වීම් අතිරේකයටය. සිනමා ශාලාව ආරම්භයේ බැල්කනිය හා පහත මාලය ආසන 900කින්  සමන්විත විය. එමෙන්ම  මුල්වරට මෙරට සිනමා ශාලාවක බොක්සස් ආසන වෙන් කරන ලද්දේ එහිය. එමෙන්ම ශාලාව විවිධ අලංකාර වර්ණයෙන් ඔපවත් වින. කුළුණු ඇතුළු බොහෝ තැන් වර්ණවත් කරන ලද්දේ රන් පැහැයෙනි. එමෙන්ම රීගල් වේදිකාව ගොඩ නංවන ලද්දේ අවශ්‍ය නම් සිනමා ප්‍රදර්ශණයට අමතරව වෙනත් උත්සවයක් හෝ පැවැත්විය හැකි ආකාරයට වඩා ශක්තිමත් ආකාරයෙනි.    1953 වසරේ දී බ්‍රිතාන්‍ය මහා රැජන  මෙරටට පැමිණි විට නිල උත්සවය පවත්වන ලද්දේ රීගල් සිනමාහලේ දීය. මේ වේදිකාව කෙතරම් ශක්තිමත් දැයි දැක්වීමට එහි දී ඇතෙකු ද වේදිකාවට ගොඩ නැංවූ බව පැරැන්නෝ කියති.

 මුල් යුගයේ විශිෂ්ට ඉංගිසි චිත්‍රපට සදහා වෙන්වුණ රීගල් සිනමාහලේ තිර ගත කරන ලද මුල්ම සිංහල චිත්‍රපටය වූයේ  මෙරට දෙවැනි කථානාද චිත්‍රපටය වන  අශෝකමාලාය. එයි සිලෝන් තියටර්ස් සමාගමේ නිෂ්පාදනයක් විය. අශෝකමාලා මහජන ප්‍රදර්ශනය 1947 අප්‍රේල්‍ මස 10 වැනි දින ඇරඹුණ අතර එහි මංගල දර්ශනය එයට පෙර දින එනම් නව වැනි දින සභානායක ඩී.එස්.සේනානායක මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ද රීගල් සිනමාහලේය. මේ සමය වන විට ඩී.එස්.සේනානායකයන්ගේ  දෙවැනි පුත් රොබට්  සේනානායක සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුව සිටියේය. 1967 වසරේ සරසවිය සම්මාන උලෙළ පවත්වා ඇත්තේ ද රීගල් ශාලාවේය.  පසුකලෙක සරසවිය සිනමා සතිය බහුලවම පැවැත්වූ රීගල් සිනමාහල නිසා සරසවියේ සාමාජිකයන්ට බොහෝ විට රීගල් සිනමාහල ඉතා හුරු පුරුදු නෑ ගෙදරක් විය. 

 සිලෝන් තියටර්ස් සමාගමේ නිෂ්පාදන පවා හැම එකක්ම එහි ප්‍රදර්ශනය නොකොට රීගල් තත්ත්වය රැක ගන්නට එහි පාලකයන් උත්සාහ දැරූ වගක් පෙනී යයි. එබැවින් රීගල්  සිනමාහලේ එකල ප්‍රදර්ශනය වූයේ කිසියම් වටිනාකමක් සහිත චිත්‍රපටයය. මේ නිසා පසුකලෙක සිලෝන් තියටර්ස් ජාලයට එක් වූ  එල්ෆින්ස්ටන් සිනමාහල සිංහල චිත්‍රපට සඳහා වෙන් විය. 

කෙසේවෙතත් 1994 වසරේ දී සිලෝන් තියටර්ස් සභාපතිව සිටි ඇල්බට් පේජ් මහතා හා කළමනාකාර අධ්‍යක්ෂව සිටි ඇන්තනි ජේජ් පිය පුතු දෙපොළ රීගල් සිනමාහල සිංහල චිත්‍රපට සදහා පමණක් වෙන් කරලීමට  තිරණය කළහ.   එකල පැවැති සම්භාවනීය පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලයේ ආරම්භක සිනමාහල ලෙස රීගල්  අතිශය ජනප්‍රිය විය. ඒ වන විට මෙරට පවැති හොඳම සිනමාහල ලෙස විරුදාවලිය ලත්  රීගල් සිනමාහල සම්පූර්ණයෙන් සිංහල චිත්‍රපට සඳහා වෙන්වීම දේශිය සිනමා ව්‍යාපාරය ආරම්භයේ  එහි පුරෝගාමින් විසින් ගොඩනඟන ලද අර්ථය සම්පූර්ණ කිරිමක් බඳුවිය. කෙසේ වෙතත් රීගල්  සිනමාහල යනු මෙරට සිනමා ප්‍රදර්ශනයේ එක් පැළැන්තියක් නියෝජනය කළ සංකේතයක් විය. 

 සර් ගාඩිනර් ලා රීගල් සිනමාහල බිහි නොකරන්නට අපේ සිනමාව සහමුලින්ම පාලනය වනුයේ විජාතිකයන් අතින්ය. රීගල් සිනමාහල බිහිවීමත් සමග එහි තිබුණු සුඛෝපභෝගී  හා ගාම්භීර සම්භාවනීය පෙනුම නිසාම එය ජනප්‍රීය හා වැදගත්  සිනමාහලක් දේහ ලක්ෂණ විදහා දැක්වීය. රීගල්   ආරම්භ කොට සත් වසක් යන්නට මත්තෙන් මදාන් අධිරාජ්‍යය ලංකාවෙන් අතු ගෑවී ගියේ ඔවුන්ගේ සියලු වත්කම් මෙකී අලුත් සිනමා සමාගමට හිමි කර දෙමිනි. එසේ නොවන්නට අපේ සිනමාවේ කථාව මෙයට වඩා වෙනස් වනු ඇත. 

රීගල් සිනමාහලෙන් එළියට බසින ඕනෑම කෙනෙකුට  ඉදිරියෙන් පෙනෙන්නේ ලේක් හවුස් මන්දිරයයි.  ලේක් හවුස් ආයතනයෙන් එළියට බසින්නෙකුට මුලින්ම  පෙනෙන්නේ ද  රීගල් සිනමාහලයි.  දකුණේ  විජයවර්ධන හා උතුරේ ගාඩිනර් යන නව ව්‍යාපාරයන්ට අභියෝගාත්මකව එක් වන තරුණ  නිර්මාතෘවරුන් දෙදෙනාම සිය ව්‍යාපාර අරඹන්නේ මුහුණට මුහුණ ලා ගෙන වීම කැපී පෙනෙන්නකි. එක් අයකු දේශිය පුවත්පත් කලාවේ  මහ ගෙදර ගොඩ නඟද්දී අනෙකා දේශිය සිනමාවේ  මහ ගෙදර ගොඩ නැංවූයේය. මේ ව්‍යාපාර දෙකම ඒ අවදියේ මෙරටට අලුත් ව්‍යාපාරයන්ය.   එමෙන්ම අද මේ ආයතන දෙක ඉදිරිපිටින් ඇති වටරවුමෙන් දෙපසට විහිද යන මාවත් දෙක නම් වනුයේ ද මේ නිර්මාතෘවරුන්ගේ නමින්ය. පුවත්පත් ලෝකයේ සහ සිනමා ලෝකයේ පුරෝගාමින් දෙදෙනෙකුගේ නමින් මාවත් දෙකක් එකම තැනින් ඇරඹෙන ලොව එකම තැන  ලේක් හවුස්/ රීගල් වටරවුම විය යුතුය. මුහුණට මුහුණ පිහිටිය ද  ලේක් හවුස් මන්දිරය පිහිටියේ මරදානේය. රීගල් මන්දිරය පිහිටියේ කොම්පඤ්ඤවීදියේ ය. 

 අද රීගල් සිනමාහලේ සිනමා තාක්ෂණය පිළිබද මගේ පැහැදීමක් නැති වග කනගාටුවෙන් නමුත් කිව යුතුය.  සිනමාවේ භාෂාවට අයත් ආලෝකය අඳුර හා ශබ්දය  පිළිබඳ සිනමාකරුවන් විසින් ඉස්මතු කරවනු ලබන  ප්‍රබලත්වය ඒ ආකාරයෙන්ම රීගල් සිනමාහලේ තිරය මත දැක ගැන්මට නොහැකි බවක් පෙනෙන කරුණකි. එවිට සිදුවනුයේ සිනමාකරු හැදූ චිත්‍රපටයට වඩා වෙනස් චිත්‍රපටයක් දැක ගන්නටය.   මේ නිසාම රීගල්  සිනමාහල පෙනි පෙනීම කොළඹ එයට වඩා යාවත්කාලින සිනමා ශාලා සොයා යන්නට සිනමා රසිකයකු වූ මට  සිදුව ඇත. ඒ කොහි ගිය ද රීගල් සිනමාහලේ ඇති මහා ප්‍රතාපවත් පෙනුමත් එහි ඇති රාජකීය මන්දිරයක ප්‍රෞඩත්වය  ෙ විදහා දැක්වෙන  සදළුතලයන්ගේ  හා වර්ණයන්ගේ ඇති චමත්කාරයත් නූතන  කිසිදු සිනමාහලක අහලක වත් නැත. ඒ නිසාම රීගල් සිනමාහලට ඇත්තේ අප්‍රමාණ ආදරයකි.  ගැටවර වියට එළැඹෙත්ම  සිනමාවට බැඳුණ ආදරයේ කුසුම විදහා හළ මේ මහා ශාලාව ගෙන දුන්  චමත්කාර අත්දැකීම් වෙනත් සිනමාහලක දී මේ ජීවිතයේ යළි මට කිසිදිනෙක  ලැබෙන්නේ ද නැති වග වැටහීමත් සමඟය. අද මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදෙන එකම සිනමා මාළිගා ගොඩනැඟිල්ල ද රීගල් සිනමාහලයි.  තවමත් රීගල් සිනමාහලට ඇතුළුව එහි අසුනක වාඩි වෙද්දී මට දැනෙන්නේ යොවුන් වියේ දී රසිකයකු ලෙස මා විඳී සිනමා ආදරයේ චමත්කාරයයි. ඒ බිත්ති මැද සිට  කිසිවකුට හෝ වැටහෙන අන්දමින් කියා දිය නොහැකිවූ  සිනමා ශාලාවේ අඳුර හා ආලෝකය ඉගැන්වූ  ලෝකයේ මිහිරිම භාෂාවටත් . මිහිරිම  ආදරණිය පාඩමටත් තවම මම වසඟ ව සිටිමි.   

එය ඉගැන් වූ රීගල් සිනමාහල යාවත්කාලිනව  වැජඹේවායැයි  එහි අනූ වැනි උපන් දිනයේ පතන්නේ එහෙයිනි.