සිත්තම්පලම් ඔබ එනතුරු බලා සිටී...

අගෝස්තු 13, 2020

කෝවිඩ් 19 මාරාන්තික වසංගතය ඉදිරියේ වසා දැමුණු සිනමා ශාලා මේ වන විට යළි ටිකෙන් ටික විවෘත වෙමින් පවතිනවා. මගේ මතකයේ හැටියට අප ජීවත් වූ කාලය තුළ වැඩිම කාලයක් සිනමා ශාලා වසා දැමුණේ කෝවිඩ් වසංගතයට වෙන්න ඇති.

කෙසේ වෙතත් සිනමා ශාලා වසා දැමුණු ඉතිහාසය 1993 දක්වා දිව යනවා. 1983 කළු ජූලියත් සමඟ සිනමා ශාලා සියල්ල වසා දැමුණා. ඇතැම් සිනමා ශාලා කළු ජුලියේ ගින්නට හසුවෙලා සදහටම සමු ගත්තා. ඊට පස්සෙ 1988 - 89 භීෂණ යුගත් අපේ සිනමා කර්මාන්තයට නරක දසාවක් උදා වුණා. උතුරු - නැගෙනහිර කොටි ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟ ඒ පළාත්වල සිනමා ශාලා සියල්ල වසර 30 ක් පමණ වසර දැම්මා. ඇතැම් සිනමා ශාලා යුද හමුදා කඳවුරු වුණා. ඉතිරි කොටස කොටි සංවිධානයේ කඳවුරු බවට පත් වුණා. රට තුළ සිදු වූ මේ අවාසනාවන්ත තත්ත්වය ඉදිරියේ සිනමා කර්මාන්තය දිගින් දිගටම කඩා වැටෙන්න පටන් ගත් අතර බොහොමයක් සිනමා ශාලා පවත්වාගෙන යාමට ක්‍රමයක් නැතිව වසා දැමුණා.

මේ වනවිට අපේ රටේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේ සිනමා ශාලා 125 ක් වැනි ප්‍රමාණයක පමණයි. කොරෝනා වසංගතය අස්සේ වැසුණු සිනමා ශාලා ගැන මතකය අවදි වුණේ පසුගිය දවසක ඓතිහාසික අනුරාධපුරයට ගිය අවස්ථාවේදීය. ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුව අනුරාධපුරයට ගියේ එහි රණවිරුවන් අතින් ඉදි වන ‘සඳහිරු සෑය’ පිළිබඳ නවතම තතු ජනතාවට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ චාරිකාවට ගිය අතරතුර ලැබුණ පුංචි විවේකයක් අතරතුර මම අනුරාධපුර නගරයේ බණ්ඩාරනායක මාවතට පිවිස හින්දු කෝවිලත් විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයත් පසු කරගෙන ඉදිරියට ගියේ පැරණි මතක සටහනක් හොයාගෙන. ඒ මතක සටහන තවමත් නිසොල්මනේ බණ්ඩාරනායක මාවත දිගේ එහෙ මෙහෙ යන මිනිසුන් දෙස නොසැලී බලාන ඉන්නවා. ඒ නිහඬ මතක සටහන තමයි ‘සිත්තම්පලම්’ සිනමා ශාලාව.

1983 ජූලි කලබලවලදී වර්ගවාදීන් විසින් ගිනිබත් කරන ලද දැවැන්ත සිනමා ශාලාව අදත් හූල්ලමින් විලාප දෙන හඬ ඒ ගොඩනැගිල්ල ඉදිරිපිටට ගියාම හදවතට දැනෙනවා. උතුරු මැද පළාතේ ලක්ෂ සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ මනදොළ සපුරාලූ මේ සුවිසල් සිනමා ශාලාව අද ගරාවැටුණු බිත්තිවලට පමණක් සීමා වෙලා. ‘සිත්තම්පලම්’ කියල දෙමළ නමක් වුණත් ලොකු සිංහල අකුරින් සටහන් කරපු නම තවමත් නොමැකී ඉදිරිපස බිත්තියේ දකින්න පුළුවන්. ඉදිරිපස පෙනුම තවමත් හරිම ප්‍රතාපවත්. එදා තිබූ අභිමානය තවමත් නොනැසී පවතින මේ සිනමාහල කෙදිනක කවුරුන් විසින් හෝ යළි පණ දෙනු ඇතැයි යන විශ්වාසයෙන් මඟ බලා සිටින අයුරු දකින විට හදවතට දැනෙන්නේ තදබල වේදනාවක්.

වැස්සකටවත් සිනමා ශාලාවකට ගොඩ වැදුණු මිනිස්සු නම් කවදාවත් මේ වගේ වස්තුවකට ගිනිකූරක් ගසන්නේ නෑ කියලා මට විශ්වාසයි. ඒ හිත්පිත් නැති කාලකණ්ණි මිනිස්සුන්ට සිත්තම්පලම් කියන්නේ මස් මඩුවක් කියලා හිතාගෙන මේ විදියට ගිනි තියන්න ඇති. දෙමළ ජාතිකයකුට සිත්තම්පලම් අයිති වුණත් එදා අනුරාධපුරේ විතරක් නොවේ රට වටේම අනුරාධපුර පූජා භූමියට ආපු මිනිස්සු චිත්‍රපට බැලුවේ මේ සිනමා ශාලාවෙන්. සිත්තම්පලම් පැරණි සිනමා ශාලාව තිබුණේ පූජා නගරයේ. පූජා නගරය වෙනුවෙන් නව නගරය ගොඩනැඟුණාම එහි තිබුණු ව්‍යාපාර නව නගරයට ආවා. ඒ 1957 විතර. අනුරාධපුර නගරයේ විශාලම සිනමා ශාලාව වුණේ සිත්තම්පලම්. ඒත් දැන් මේ දැවැන්ත ගොඩනැගිල්ල වසාගෙන රූස්ස ගස් පවා වැවිලා. තව කලක් ගත වුණොත් මහා වනයට යටවුණු පුරා වස්තුවක් බවට මේ සිනමා හල පත් වේවි. ඊට පෙර කවුරුන් හෝ සිනමා කර්මාන්තයට ළැදි මිනිසකු විසින් මේ සිනමා ශාලාවට පණ දිය යුතුය.

සියලු ජාතීන් අද මේ රටේ නිදහසේ ජීවත් වන යුගයක්. එබැවින් සිත්තම්පලම් සෙවන යට උතුරු මැද පළාතේ සිංහල දමිළ මුස්ලිම් මිනිස්සු එකට අත්වැල් බැඳගෙන මේ දැවැන්ත තිරය මත චිත්‍රපට නරඹන දිනයක් උදා වේවි නම් මේ රට වගේම අපේ ජාතික සිනමාවත් කෙතරම් සුන්දර වේවිද?

අමිල ප්‍රභාත් වනසිංහ