සිනමාශාලා තහනම් කලාපයට

දැන් සිනමාවට මොකද වෙන්නේ?
නොවැම්බර් 12, 2020

මෙරට සිනමා කර්මාන්තය මේ වන විට පවතින්නේ දැවැන්ත අර්බුදයකට මැදිවය. කොවිඩ් 19 හමුවේ සිනමා ශාලා වසා දැමීම මෙහි ආසන්න සිදුවීම වුවද එය ැබැවින්ම අඩන්නට සිටි කෙනෙකුට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැනි සිදුවීමකි. කෙසේ වෙතත් වර්තමානයේ සෞඛ්‍ය නිර්දේශ මත මෙරට සියලු සිනමා ශාලා වසා දැමීමට නියෝග ලැබී ඇත. මේ සමඟ රුපියල් මිලියන ගණනාවක් වැය කොට තැනුණු චිත්‍රපට රැසක් සහමුලින්ම අතරමග ඇණ හිට තිබේ. සිනමා ශාලා වසා දැමුව ද ඒවායේ දිනපතා නඩත්තු කටයුතු කළ යුතුය. එමෙන්ම ඒවායේ සේවය කළ නිත්‍ය සේවකයෝ රාශියක් රැකියා අර්බුදයක පසුවෙති. සරසවිය විමසා බලන්නේ මෙම අර්බුදය ගැන නිෂ්පාදකවරුන්ගෙන් හා ප්‍රදර්ශකයන්ගෙනි.

 

ගොඩගන්න අමාරුයි

සුනිල් ටී. ප්‍රනාන්දු - චිත්‍රපට නිෂ්පාදක

අපේ සිංහල සිනමාව ගොඩ ගන්න අමාරු තත්ත්වයකයි තියෙන්නෙ. ඒක කොරෝනා එන්න කලින් ඉඳලම සිද්ධ වෙච්ච දෙයක්. මගේ මතයට අනුව තව ටික කලකින් ප්‍රධාන නගරවල ඇති සිනමා ශාලා පමණක් ඉතිරි වේවි. මේ වන විට වන විට සිනමාව කියන දේ ආලින්දයට ගෙනල්ල ඉවරයි. අපේ ප්‍රේක්ෂකයෝ දැන් හුරු වෙලා තියෙන්නෙ ටීවී එකේ යන චිත්‍රපටයක් බලන්න. මේ කණ්ඩායම සිනමා ශාලාවකට ගෙන එන එක අමාරු කර්තව්‍යයක්. ඒක කරන්න නම් අති දැවැන්ත මට්ටමේ වාණිජ චිත්‍රපට නිර්මාණය විය යුතුයි. කොහොමත් කොවිඩ් එන්න කලින් ඉඳලා වුණත් අපේ ඇතැම් ශාලාවල හිටියේ නරඹන්නෝ දහ පහළොස් දෙනයි. මේ යන තත්ත්වය මත මට දැනෙන පරිදි වසර එකහමාරක් විතර යයි නැවතත් ශාලාවලට මිනිස්සු එන්න පටන් ගන්න. හොඳ වාණිජ චිත්‍රපට ටිකක් ආවොත් නම් අවුරුද්දකින් විතර නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්න, තමන්ගෙ දරුවන්ගෙ ප්‍රශ්න, අයියලගෙ ප්‍රශ්න, මල්ලිලාගේ ප්‍රශ්න, සිනමාවට නඟලා නම් ඒ තත්ත්වය ඇති කරන්න බැරි වෙයි කියලයි මට කියන්න පුළුවන්.

කලින් වතාවේ පොඩි චාන්ස් එකක් තිබුණා

උදයකාන්ත වර්ණසූරිය -

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ

අපි අන්තිම කර මුලටම හිර වෙලා ඉන්න බවක් තමයි පේන්නෙ. මේක කවදා ඉවර වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. කලින් වතාවේ පොඩි චාන්ස් එකක් තිබුණා මේ ලෙඩේ කොහොමහරි යම්තාක් දුරකට මර්දනය වෙලා කියලා. ලෙඩ්ඩුත් එන්න එන්න අඩු වුණානේ. මෙදා සැරේ එහෙම නෙමෙයි රටම දැන් අඩපණ වෙලා තියෙන්නේ. මේ යන තත්වෙත් එක්ක අපිට බලාපොරොත්තු තියාගන්න අමාරුයි අද හෙට සිනමා ශාලා විවෘත වෙයි කියලා. එහෙම විවෘත වුණත් මිනිස්සු පොඩි තිගැස්මකින් තමයි ශාලාවලට වුණත් එන්නෙ. කොහොම කොයි වෙලාවක මේ ලෙඩේ බෝ වෙයි ද කියලා කියන්න බැහැනෙ. මොනවා උනත් මම හැම දෙයක් ගැනම සුබදායිව බලන කෙනෙක්. මේ තත්ත්වය ක්‍රමානුකූලව අඩු වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ කොවිඩ් දෙවැනි රැල්ල ආවෙ නැත්නම් ජනවාරි වල වගේ ගින්දරී 3 චිත්‍රපටය තිරගත කරන්න මම හිතාගෙන හිටියා. එහෙත් දැන් ඒක ප්‍රදර්ශනය වන කාලවකවානුව නිශ්චිතවම කියන්නට අමාරුයි.

අපි වැටන්නේ නෑ

ජයරත්න ගලගෙදර -

අළෙවි හා නිෂ්පාදන කළමනාකරු ස්කෝප් සිනමා සමාගම

සිනමාශාලා විවෘත කරන්න කියලා රජයෙන් අපට දැනුම් දීමක් කළ විගසම ස්කෝප් සිනමා සංකීර්ණය විවෘත කරනවා. ගියපාර කොරෝනා වසංගතයෙන් පස්සේ සිනමා ශාලාවන්ට ප්‍රේක්ෂකයන් ගෙන්වාගන්න සරසවිය පුවත්පත හා එක්ව සිනමා උළෙලක් පැවැත්වූවා ඔබට මතක ඇති. මෙවරත් අපි ගාව ලොකු සැලසුමක් තියෙනවා ඒ වගේ ප්‍රේක්ෂකයන් ද නැවතත් සිනමා ශාලාවන්ට ගෙන්වා ගන්න. කොහොමහරි ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න එක ගෙන්වා ගන්නවාම තමයි. ගිය සැරයටත් වැඩිය අපි ආරක්ෂක උපක්‍රම දැඩිව පාවිච්චි කරනවා සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මොන වසංගත ආවත් අපි වැටෙන්නෙ නෑ. සිනමාව ප්‍රේක්ෂකයන්ගෙන් ගිලිහෙන්නට අපි ඉඩ තියන්නෙත් නැහැ. අපි මේ බලාගෙන ඉන්නෙ නැවතත් සිනමා ශාලා විවෘත කරන්න කියන නිවේදනය ලැබෙනකම්.

දැඩි අර්බුදයක ඉන්නේ ශාලාහිමියෝ

සුනිල් අරුණ වීරසිරි -

චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ සහ කිරිබත්ගොඩ අරුණ සිනමා ශාලා හිමිකරු

කොරෝනා වසංගතයේ කාටවත් දොස් කියලා වැඩක් නෑ. මේ පුංචි වෛරසයට ලෝක බලවතාත් දණින් වැටුනනේ. බලන්න ඕනෙ මේ තියන තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන් විදිහක්. මම මෙහිදී දකින්නේ වඩාත්ම අර්බුදයකට පත් වෙලා තියෙන්නේ ශාලා හිමියෝ. බොහෝ දෙනෙකු චිත්‍රපට ශාලා පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැඟිල්ලක. මොන වසංගත තත්වයන් ආවත් ඒවායේ කුලිය නම් ගෙවන්න ඕනේ. මේ වෙලාවේ ඒවාට සහනයක් ලබා දෙන්න වගකිවයුත්තන් මැදිහත් වෙනවා නම් ඉතාම අගය කොට සලකනවා. මම මේ කතා කරන්නේ හැමෝම ගැන හිතලා. කොච්චර වියදම් කරලා ලෝකේ හොඳම චිත්‍රපටය අපේ රටේ හැදුවත් ඒක පෙන්න ගන්න ශාලා නැත්නම් වැඩක් තියනවද. ඒ නිසා ඒ ගැන අවධානය යොමු වෙනවා නම් ඉතා හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපේ සිනමාවේ කොහොමත් අර්බුද තිබුණානේ. සිනමාපටයක් කෙනෙකු නිර්මාණය කරන්නේ දහසකුත් බාධක මැද. එහෙම තිබිලා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගන්න ගියාම නොයෙකුත් හිරිහැර, අකටයුතුකම්වලට ලක් වන්නට සිද්ධ වෙනවා. මේවා මම කියන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු විදිහට ලැබූ අත්දැකීම් එක්ක. යම් කෙනෙකු සිනමාවට එන්නේ ඒ කෙරෙහි තියෙන ආදරේටනේ. මම වුණත් අතිශය විශාල මුදලක් වියදම් කරලා චිත්‍රපට ශාලාවක් හැදුවේ මේ ක්ෂේත්‍රය ගැන නොදන්නා කමට නෙමෙයි. මං දන්නවා, සිනමාවේ නියැළිලා ලාභ ලබන්න අමාරුයි. නමුත් මම සිනමාවට ආසයි, ඒ වගේම ආදරෙයි. මම විතරක් නෙමෙයි ඔය සිනමාවෙ ඉන්න බහුතරයක් එහෙමයි. ඒ පිරිස මේ මොහොතේ රැක ගත යුතුයි කියලයි මට කියන්න තියෙන්නේ. වැරදියට තේරුම් ගන්න එපා , මම මේ කියන්නේ මම ගැන නෙවෙයි. මට කොහොම හරි මගේ දේවල් පවත්වා ගෙන යන්න පුළුවන්. එහෙම නෙමෙයි, මේ වෙලාවේ බොහොම අපහසුවෙන් සිනමා ශාලා පවත්වාගෙන යන පිරිසක් ඉන්නවා. චිත්‍රපට සංස්ථාවෙන් ඒ අය ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

සුපිරි චිත්‍රපට තිහක් පෝළිමේ

සුරංග ද අල්විස් -

චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක, පිළියන්දල ස්කයි ලයිට් මාලබෙි ස්කයි ලයිට් සිනමා ශාලා හිමිකරු

කෝවිඩ් ව්‍යසනය අපිට විතරක් බලපාන එකක් නෙවෙයි. ඒ නිසා මේ මොහොතේ අපිට අවස්ථාවාදී වෙන්න බැහැ. කොවිඩ් එකට කලින් අපේ සිනමාශාලා පවත්වාගෙන ගියේ 50%ක් පමණ විදෙස් චිත්‍රපටි වලින්. ඒවා නරඹන්න සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රේක්ෂකයෝ ආවා. නමුත් මේ ගෝලීය වසංගත තත්ත්වය එක්ක ඒ සිනමාපට අප රටට ආනයනය කෙරෙන්නේ නැහැ. මේ නිසා ඒ 50% ආදායමක් අපිට හිමිවන්නේ නැහැ. මම හිතනවා මේ තත්ත්වය සමනය වෙච්ච වහාම සිනමා ශාලා විවෘත කළ යුතුයි කියලා. මොකද මිනිස්සුන්ට එන්ටර්ටේන්මන්ට් කියන එක ඕනේ. දැන් වඩාත් නැතිවෙලා තියෙන්නෙත් ඒක. අනිත් බඩගිනි වගේම තමා මේ එන්ටර්ටේන්මන්ට් බඩගින්න කියන එක එද්දි මිනිස්සු සිනමා ශාලාවලට එන්න තියෙන ඉඩ කඩ වැඩියි. අපි ඒ එන ප්‍රේක්ෂකයින්වයි ආරක්ෂා කර ගන්ඩ ඕනේ. මා දන්නා පරිදි සුපිරි චිත්‍රපට තිහක් විතර ප්‍රදර්ශනය වන්නට පෝලිමේ තියෙනවා. ඒ නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන් දැනගත යුතුයි චිත්‍රපට ශාලා විවෘත වෙලා තමන්ගේ ඒ චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දි හොඳ ප්‍රචාරණයක් ලබා දෙන්න. ඒ වගේ චිත්‍රපට බලන්න මේ ප්‍රේක්ෂකයෝ අනිවාර්යනේම පැමිණෙයි කියලා මම හිතනවා. ද ගේම් සහ කිඩ්නැප් කියන මගෙ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒවා සුදුසු කාලෙක තිරගත කරන්නට තමයි මම හිතාගෙන ඉන්නේ.

මාස තුනක්වත් යයි මනස හැදෙන්න

රුවන් ජයසිංහ - චිත්‍රපට නිෂ්පාදක, කටුනායක රූ සිනමා අධිපති

මම නිෂ්පාදනය කරපු චිත්‍රපට තුනක් එන්න තියෙනවා. එකක් ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය. අනික ශ්‍රියානි අමරසේන අක්කලත් එක්ක කරපු යාත්‍රා. එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි තමයි තුන්වැනි චිත්‍රපටය. අපි සැලසුම් කරගෙන හිටියා ජනවාරි අග වෙද්දී මිදුණු විශ්වය චිත්‍රපටය රිලීස් කරන්න. නමුත් දැන් අපිට මේ තියෙන තියෙන තත්ත්වෙත් එක්ක හිතා ගන්න බැරුවයි ඉන්නේ මොනවද කරන්නේ කියලා. මගේ සිනමා ශාලාව තියෙන්නෙ කටුනායක. මේ වෙනවිට ඒ අවට කර්මාන්ත ශාලා බහුතරයක් වහලා තියෙන්නේ. ඒවායේ සේවය කරපු පිරිස තමයි වැඩිපුර ඒ සිනමා ශාලාවට ඇවිත් චිත්‍රපටයක් රසවින්දෙ. ශාලා විවෘත කළත් ඔවුන් වුණත් පෙර පරිදි එයි කියලා හිතන්න අමාරුයි. කවදා චිත්‍රපටි ශාලා විවෘත කරයි ද කියලා අපිට දැනුම්වත් කරලා නැහැනේ. ජනවාරිවල චිත්‍රපටි ශාලා විවෘත කරනවා කියලා හිතමුකෝ.

ඒ ක්ෂණයෙන් අනිත් අතට ශාලාවලට මිනිස්සු එන එකක් නැහැ. තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳගෙන ඊට පස්සේ රස්සාවල ප්‍රශ්න විසඳගෙන අන්තිමේ තමයි චිත්‍රපටයක් බලන්න එනවා නම් එන්නේ. එතකොට මම හිතනවා ජනවාරිවල චිත්‍රපටි ශාලාවට විවෘත කළත් මාස තුනකවත් යයි මිනිසුන්ගේ මානසිකත්වය හැදෙන්න.

අපි ඉල්ලන්නේ පිනට දෙයක් නෙවෙයි

ආචාර්ය සෝමරත්න දිසානායක -

චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක

මම දකින විදිහට සිනමාව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන දෙකොට්ඨාසයක් ඉන්නවා. පාර්ශ්වයක් තමයි ඒ චිත්‍රපට නිෂ්පාදකවරු. සිනමාශාලා හිමියන් තමයි අනෙක් පාර්ශ්වය. මේ දෙගොල්ලොම අවධානයක් අරගෙන තමයි මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. මේ රටට සිනමා කර්මාන්තය කියලා දෙයක් අවශ්‍ය නම් මේ වෙලාවේ කරන්න ඕනේ රජය ඊට මැදිහත් වෙලා ඒ සියලු දෙනාම රැක ගන්න එක. මේ කොරෝනා වසංගතයේ එද්දී තිරගත වෙමින් තිබුණු චිත්‍රපටකරුවන් ලොකු අසාධාරණයකට ලක් වුණා. ඒ පිරිස අතර මමත් ඉන්නවා. මේ වසංගතයේ ඉවර වෙලා චිත්‍රපට ශාලා විවෘත කළත්, ඒ තිරගත වෙමින් තිබුණු චිත්‍රපටයක් ආයෙ ප්‍රදර්ශනය කරද්දී ප්‍රචාරණය ඇතුළු තවත් වියදම් රාශියක් නැවත දරන්න වෙනවා. එහෙම කළත් නැවතත් චිත්‍රපටයක් තිරගත වෙද්දි පෙර තිබුණු තරම් ආකර්ෂණය ලක් නොවන්න පුළුවන්. මමත් මගේ සුනාමි සිනමා පටය නැවතත් එහෙම ප්‍රදර්ශනය කරන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඒ එක්කම තමයි මේ කොරෝනා වසංගතය නැවතත් හිස එසෙව්වේ. අති විශාල මුදලක් සුනාමි චිත්‍රපටය සඳහා අපි වියදම් කළා. ඇතැම් අවස්ථාවල දී මාස පොලියට පවා අපිට මුදල් ගන්න සිදු වුණා. ඒ හැම මුදලකට ම වෙන කවුරුවත් වගකියන්න එන්නේ නැහැනේ. ඒවට ඉතින් අපිම තමයි වග කියන්න ඕන. මම දැකලා තියනවා වෙන වෙනකන් වෙන කර්මාන්තවල උන්නතිය උදෙසා සියයට හතරෙ පොලී අනුපාතයට ණය දෙනවා. අන්න ඒ ආකාරයේ සැලසුමක් සකස් කරලා තිරගත වෙමින් තිබුණු චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සහන පොලී අනුපාතයට ණයක් ලබා දෙනවා නම් ඒක හුඟාක් වටිනවා මේ වෙලාවේ. තිරගත වෙමින් තිබුණු චිත්‍රපට කිහිපයයිනේ තිබුණෙත්. අනික අපි ඉල්ලන්නේ මේ පිනට මුදලක් නෙවෙයි. සහන පොලියට ණයක් තියෙන කියන්නේ ඒක කවදා හරි ආයෙ ආපිට ගෙවන්න ඕන. ඒ වගේ දෙයක් මේ වෙලාවේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සහ චිත්‍රපටශාලා හිමියන්ට කරනවා නම් ඒක ලොකු සහනයක්.

සිනමාවට ජාතික ප්‍රතිපත්තියක්

ප්‍රසන්න විතානගේ - සිනමා අධ්‍යක්ෂ සහ නිෂ්පාදක

මම අධ්‍යක්ෂණය කළ ගාඩි සිනමාපටය ප්‍රදර්ශනය සඳහා සියලුම කටයුතු සූදානම් කරලයි තිබුණේ. ඒත් එක්කම තමයි මේ කොරෝනා වසංගතය නැවතත් ආවේ. මේ වසංගත තත්ත්වයට කලින් මගේ චිත්‍රපටය සූදානම් ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙලා තියෙන කොට මම ගියා චිත්‍රපට ශාලා කිහිපයක් නිරීක්ෂණය කරන්න. එතකොටත් ඇතැම් සිනමා ශාලා නියෝගයකින් වසා නොදැම්මත් වසා දමන තත්ත්වයට පත්වෙලයි තිබුණේ. ඒක ඇත්තටම ශෝචනීය තත්ත්වයක්. පසුගිය දවසක සිනමාව, සිනමාවේ කිහිපදෙනකු අගමැතිතුමත් සමඟ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුණා.එහිදී චිත්‍රපටි ශාලා වලට ඇති විදුලි බිල හා සම්බන්ධ ප්‍රශ්න සහ විනෝද බද්ද යම්තාක් දුරට අඩු කර දෙනමෙන් සහ වෙනත් සහන යෝජනා ඉදිරිපත් වුණා. ඒ මොහොතේම අගමැතිතුමා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කිව්වා මේ සිනමාව වෙනුවෙන් ලබාදෙන්න පුළුවන් දේවල් වෙනුවෙන් අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන්කරන්න පුළුවන් නම් ඒ දේ වහාම කරන්නයි කියලා. තව නොබෝ දිනකින් අයවැයක් එනවා. අගමැතිතුමාගේ ඒ යෝජනාව නැවතත් මතක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ වසංගතයෙන් පස්සේ නැවතත් සිනමා ශාලා දෙපයින් නැගී සිටින්න නම් රජයේ අත්වැලක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒකට සිනමා කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනි. ඉකුත් දවස මම දැක්කා ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල සිනමා ශාලා විවෘත කරලා තියෙනවා. ඒ වගේම ලබන ජනවාරියේ තියෙන පොංගල් උත්සවය උත්සවයට සමගාමීව සුපර්ස්ටාර් කෙනකුගේ චිත්‍රපටයකුත් ඉන්දියාවේ තිරගත වීමට නියමිතයි. ඒත් එක්කම ඒ රටේ සිනමා ශාලා බහුතරයක් විවෘත කරන්න බව නිල නොලත් ආරංචි අපට ලැබෙනවා. අපිටත් පුළුවන් ඒ වගේ චිත්‍රපටයක් එක්ක ප්‍රේක්ෂකයින් නැවතත් සිනමා ශාලාවන්ට ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් හදන්න.

කර්මාන්තය ගැන බලන්න කවුරුත් නෑ

අනුරාධ බී. රැකව -

සභාපති චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය

මේ වනවිට සිනමා කර්මාන්තයේ තිබුණු ප්‍රශ්න සියයට සියයක් වැඩි වෙලයි තියෙන්නේ. ඉකුත් කොරෝනා වසංගතයෙන් පස්සේ සිනමාශාලා විවෘත කරලා මාස දෙකයි ගත වුණේ. ඒ කාලයේ වෙන වෙන ප්ලැට්ෆෝම්වල එන්ටර්ටේන්මන්ට් හොයාගෙන ගිය අපේ ප්‍රේක්ෂකයෝ නැවතත් සිනමාශාලාවලට එමින් හිටියේ. ඒ පැමිණීම ප්‍රශස්ත මට්ටමින් පැවතුණා. ඉන් පසුව නැවතත් මේ ජධපධදච හිස ඔසවනවා සමග සිනමාශාලා වහන්න කිව්වා. ඕපන් කරන දවසක් අපිට දැනුම් දීලා නැහැ. කොහොම වුණත් සිනමාශාලා වහලා තිබුණත් ඒවායේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර දවස් දෙකකට සැරයක් ක්‍රියාත්මක කරන්න ඕනි. ඒකට කරන්ට් එක වැය වෙනවා. ඒ වගේම සිනමශාලා පවත්වාගෙන යන ගොඩනැගිලිවලට ගෙවන කුලිය එහෙමම ගෙවන්නත් ඕනේ. මේ තත්ත්වය ගැන කියලා අපි නිසි බලධාරීන්ට වරින්වර දැනුම් දීම් කළත් කිසිම විසඳුමක් අපිට පෙර ලැබුණෙත් නෑ, මෙදා සැරේ ලැබුණෙත් නැහැ. මට දැනගන්න ලැබුණු අපේ කර්මාන්තයට සබැඳී වගකිව යුතු නිලධාරීන් අතර මොකක් හෝ ගැටුමක් තියෙනවා. ඒ ඒ අය ඒ ඒ ප්‍රශ්න විසඳ ගන්න හදනවා මිසක් කර්මාන්තය ගැන මේ වෙනකල් ඇහැක් ඇරලා බැලුවේ නැහැ. උතුරු නැගෙනහිර තියෙනවා දෙමළ චිත්‍රපට පමණක් පෙන්වන සිනමාශාලා. ඒවා අති නවීන තාක්ෂණික උපාංග භාවිත කරලා උසස් තත්ත්වයේ නිමවූ ශාලා. ඒවාට ගිය මාර්තුවේ ඉඳලා විදෙස් චිත්‍රපට නැහැ පෙන්වන්න. සිංහල චිත්‍රපට ශාලාවලට නම් ඉකුත් මාස දෙකේ සිංහල චිත්‍රපට හරි තිබුණා පෙන්වන්න. අපව පැත්තකින් තියලා, ඒ දෙමළ හෝ වෙනත් විදෙස් රටක චිත්‍රපට පමණක් පෙන්වන ශාලාවලටවත් අඩුම තරමේ සහනයක් දෙන්න කියලා අපි වරින් වර කිව්වත් කිසිම කෙනෙක් ඒ ගැන වගේ වගක් නැතුව හිටියා. මෙහෙම අදාළ බලධාරීන් දිගින් දිගට ම නිහඬව හිටියොත් චිත්‍රපට ශාලා හිමියන් එකතු වෙලා දැඩි තීරණයකට යන්න සූදානම් වෙනවා කියලත් මම කියන්න කැමතියි.

 

අපිට වගකියයුත්තෙක් නෑ

අනුර ජසෙන්තුලියන -

මූවි වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ලයිට් සිනමා

ඇත්තටම මේ සිනමාවෙ තියෙන්නෙ දැන් දරුණු තත්ත්වයක. හරියාකාරව හොයන්න බලන්න කෙනෙක් නැති කම තමයි ඒකට ප්‍රධාන හේතුව. අපි දන්නවා මේ වෙලාවේ හැම ඉන්ඩස්ට්‍රි එකක්ම බොහොම ඛේදනීය තත්වයක තියෙන්නෙ. හැබැයි ඒවායේ ඉන්න පිරිස ඒ තියෙන ප්‍රශ්න වලට මොන මොනවා හරි පිළියම් යොදන්න සාකච්ඡා කරමිනුයි ඉන්නේ. හැබැයි ඒ අපේ සිනමා කර්මාන්තය කවුරුවත් වගකියන්නේ නැති තත්ත්වයකට පත් වෙලා. මේ සිනමාවට වගකිය යුතු පුද්ගලයෙක් හමුවන්න අපි දෙතුන් දෙනා දවස් ගණනාවක් උත්සාහ කළා. නමුත් ඒ තැනැත්තාව හමු වන්නට අපිට බැරි වුණා. මම හිතන්නේ ඒ තැනැත්තා මේ සිනමා කර්මාන්තය ගැන දැනුමක් ඇති කෙනෙක් කියලා. ඔන්න ඔතන තමයි අපිට වැරදිලා තියෙන්නේ. මේ කොරෝනා වසංගතය ඉවර වෙලා අපේ සිනමා ශාලා විවෘත කරන දවසට හරියටම මේ තියෙන සිනමා ශාලා වලින් හරි අඩක්වත් ඉතුරු වෙලා තියෙයිද කියලා කියන්න බෑ. එච්චරටම අවදානම් තත්ත්වයක දැන් තියෙන්නේ.

අපිට වටින්නේ පේ‍්‍රක්ෂකයෝ

ජීවක පල්ලේගම - ප්‍රධාන විධායක නිලධාරී සැවෝයි සිනමා(ඊ. ඒ. පී. සිනමා ඇන්ඩ් තියෙටර් ලිමිටඩ්)

කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල එද්දී අප සිනමා මණ්ඩලයේ ප්‍රදර්ශනය වෙමින් තිබුණෙ රූකඩ පැංචි සිනමාපටය. ඒ මොහොතේ ලොකු ලොකු නිෂ්පාදකවරුන් පවා චිත්‍රපටය ප්‍රදර්ශනයට මැලිකමක් දක්වමිනුයි හිටියෙ. එවන් වූ කාලයක තමයි වින්දන හා කල්පන ආරියවංශ කියන අධ්‍යක්ෂවරුන් රූකඩ පැංචි සිනමාපටය රිලීස් කරන්නෙ. අභාග්‍යයකට ඒක අපිට හරියාකාරව ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තමයි අපේ මණ්ඩලයේ ශාලා විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට අපගේ සිනමා ශාලා සියල්ල විෂබීජහරණය කරනවා. ඒ වගේම චිත්‍රපට ශාලාවට ගිහිල්ලා තමන් විසින්ම ටිකට් ගන්නා ක්‍රමයක් අපි හදලා තියෙනවා. අපට ඒ සඳහා අති විශාල පිරිවැයක් ද වැය වුණා. ඒ වුණාට අපි මේ වෙලාව හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ ගැන. සමහර මාධ්‍ය මගින් හුවා දක්වලා තිබුණා සිනමා ශාලා කියන්නේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන්ට පවත්වාගෙන යන්නෙ නැති ස්ථාන විදිහට. නමුත් ඒක නෙමෙයි ඇත්ත. අපේ මණ්ඩලයේ සිනමා ශාලා හරි ක්‍රමවත්ව පවත්වා ගෙන යනවා. ඒ වගේම නැවත විවෘත කළාට පස්සේ 50% ක් පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමයි අපි ශාලාවට ගන්නෙ. එකම පවුලේ සාමාජිකයින්ට පමණයි එක ළඟ ආසනවල වාඩි වෙන්න පුළුවන් වෙන්නෙ. මේ දිනවල අපේ චිත්‍රපටි ශාලා වහලා තියෙනවා වුණාට ස්ථාවර වියදම් ටිකක් තියෙනවා. ඒවා පියවන්නම ඕනේ. විශේෂයෙන්ම සේවක වැටුප් වගේ. මේ තත්ත්වය සමනය වෙලා ඉක්මනින් චිත්‍රපට ශාලාව විවෘත වෙනවා නම් තමයි අපි කැමති. මොකද මාර්තු මාසෙ ඉඳලා මිනිසුන් විනෝදාස්වාදය සපයන අවස්ථා හොයමින් හිටිය කියලා අපි දන්නවා. තව දෙයක් මෙහිදී මතක් කරන්න ඕනේ. කොරෝනා මැඩපැවැත්වීම උදෙසා තමන්ගේ ශ්‍රමය කැප කළ ආරක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් යනාදී වෘත්තීන්වල යෙදෙන්නන්ට රූකඩ පැංචි සිනමා පටය තමන්ගේ හැඳුනුම්පත පෙන්වා නොමිලේ නරඹන්න අපි අවස්ථාව උදාකර දෙනවා. ඒ වගේම පුංචි ළමයින්ටත් නොමිලේ චිත්‍රපටය නරඹන්න පුළුවන්. මෙවැනි ක්‍රමෝපායන් හදලා තියෙන්නේ අපිට වඩාත් වටින්නේ සිනමා ප්‍රේක්ෂකයෝ නිසා.

නිෂ්පාදකවරුන්ගේ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ඕනෑ

සුසාර දිනාල් -

ප්‍රධාන විධායක නිලධාරී

-සිරස මූවීස්

මම දකින විදියට අපේ සිනමා ක්ෂෙත්‍රයේ තියෙන දැඩි ප්‍රශ්නයක් තමයි චිත්‍රපට නිෂ්පාදකවරුන් ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම. සීමාසහිත මහරාජා සමාගම නිරන්තරයෙන්ම චිත්‍රපට නිර්මාණය කරන ආයතනයක්. අපි චිත්‍රපට නිෂ්පාදනය කරනවා, ඒ වගේම චිත්‍රපට තිරගත කරන්නට අවශ්‍ය සහයෝගයක් ලබා දෙනවා. ජනවාරි මාසයේ අප නිෂ්පාදනය කළ චිත්‍රපටයක් තිරගත වුණා. ඒකට ලැබෙන්න තියෙන ලක්ෂ පනහකට අධික මුදලක් අපිට තවම ලැබිලා නැහැ. ඒ මුදල අපට ලැබිය යුතු වන්නේ චිත්‍රපට හරහා. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ මණ්ඩලය, චිත්‍රපට සංස්ථාව හා යම් ගැටලුවක් තිබෙනවානම් ඔවුනට පුළුවන් ඒ මුදල අපට සෘජුවම ලබා දෙන්න. නමුත් එහෙම කළේවත් නැහැනේ. මේ නිෂ්පාදවරුන්ගේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින් විසඳුමක් අවශ්‍යයි. චිත්‍රපට නිෂ්පාදකවරුන් හිටියොත් තමයි චිත්‍රපට නිර්මාණය වන්නේ.එහෙම නේද.. මම දැකලා තියනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය එක්ක වෙන රටවලවල චිත්‍රපට නිෂ්පාදකවරුන් රැක ගැනීමේ යම් වැඩපිළිවෙළවල් සකස් වෙලා තියෙනවා. මම හිතනවා අපේ රටෙත් ඒ වගේ ක්‍රියාවලියක් තිබිය යුතුයි.