ලංකාවේ මුල්ම online සිනමා උලෙළ

මේ දවස්වල ෆේස් බුක් හරහා කොළම අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළ 2020
දෙසැම්බර් 3, 2020

ලාංකේය සිනමා රසවතුන්හට නවමු අත්දැකීමක් ලබා දෙමින් කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළේ දෙවැනි දිගහැරුම නොවැම්බර් 30 වැනිදා සිට 14 දෙසැම්බර් දක්වා අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව  Colombo International Women's Film Festival ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම චිත්‍රපට උලෙළ නැරඹීමට හැකියාව ඇත.

පසුගිය මාර්තු 15 සිට 22 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟ කල් දැමුණු කොළඹ අන්තර්ජාතික කාන්තා චිත්‍රපට උලෙළේ දෙවැන්න මෙලෙස නව ප්‍රවේශයකින් ගෙන ඒමට පූරෝගාමී වූ නිර්මාණශීලි අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසින්.

"කොළඹ අන්තර්ජාතික කාන්තා චිත්‍රපට උලෙළ මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්විමට නියමිතව තිබුණද කොවිඩ් -19 පළමු රැල්ල හේතුවෙන් එය කල් දැමීමට අපට සිදු වුණා. ජූලි - අගෝස්තු වන විට ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් කලා සංස්කෘතික කටයුතු නැවතත් ආරම්භ කිරීමට සූදානම් වන විටදී අපි මෙම උලෙළෙ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කළා. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා වන කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දින 16ක ක්‍රියාකාරීත්වය සේම නොවැම්බර් 30 වැනිදාට යෙදෙන දකුණු ආසියානු කාන්තා දිනයත් එහිදී විශේෂ වෙනවා. නමුත් ඒ අතර ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව කොවිඩ් -19 හි දෙවන රැල්ල අත්විඳීමින් සිටීම නිසා අන්තර්ජාලය හරහා මෙම සිනමා උලෙළ ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා.

ඒ සමඟ දෙවැනි කොළඹ අන්තර්ජාතික කාන්තා චිත්‍රපට උලෙළ තරඟකාරී කෙටි චිත්‍රපට සහ තෝරාගත් චිත්‍රපට කිහිපයකට සීමා කිරීමට අපට සිදු වුණා. ලොව පුරා කාන්තාවන් විසින් විවේචනාත්මකව පිළිගත් හා කලාත්මක නිර්මාණ ප්‍රදර්ශනය කිරීම, චිත්‍රපට කර්මාන්තයේ නියැළෙන කාන්තාවන් දිරිමත් කිරීම, සමාජයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය බිඳ දැමීම සඳහා සමාජයට බලපෑම් කිරීම වෙනුවෙන් කාන්තා නිරූපණය අභියෝග කිරීම සහ තරුණියන්ට ප්‍රකාශන සඳහා සිනමාව භාවිත කිරීමට අවස්ථාව නිර්මාණය කිරීම මෙහි අරමුණු වෙනවා".

දෙසැම්බර් 14 වැනිදා සම්මාන උලෙළ රාත්‍රී 7.00ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර සම්මාන උලෙළේ ජූරිය ඔන්ලයින් ක්‍රමයට සිදු වන අතර මහාචාර්ය සුමති සිවමෝහන් (ශ්‍රී ලංකාව), තත්යානා ටුරාන්ස්කි (චිත්‍රපට නිෂ්පාදිකා - ජර්මනිය), වහියුනි ඒ. හාඩි (නිෂ්පාදිකා/අධ්‍යක්ෂිකා - සිංගප්පූරුව) ඒ සඳහා සහභාගි වෙති. දෙවැනි කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උලෙළේ යාවජීව සම්මානය ඉන්දීය ජ්‍යෙෂ්ඨ සිනමාකාරියක වන අපර්ණා සෙන් (ඉන්දියාව) වෙත පුද කිරීමට නියමිතයි.

ප්‍රවීන සිනමාවේදනී සුමිත්‍රා පීරිස්, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, ශ්‍රියානි අමරසේන, නීටා ප්‍රනාන්දු, රේණුකා බාලසූරිය, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනි සෙනෙවිරත්න, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, සබීතා පෙරේරා, චරිතා ප්‍රියදර්ශනී, ෂෙරීන් කුමාරතුංග, මනෝහාරී හේවාවසම් ලාංකේය සිනමාවේ නියැළෙන කාන්තා එකමුතුවක් ලෙස මෙම චිත්‍රපට උලෙළට සහයෝගය ලබා දෙති. අජෙන්ඩා 14 සමඟින් කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උලෙළේ දෙවැන්න අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම සඳහා දායකත්වය ලබා දෙන්නේ, ජාත්‍යන්තර චිත්‍රපට සංගම් සම්මේලනයේ ආසියා පැසිෆික් ශාඛාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, කැනේඩියානු තානාපති කාර්යාලය, උව්ජ්ර්‍ථඒ සමඟ ප්‍රංශ තානාපති කාර්යාලය විසිනි.