දුවගේ අදහසින් ලොවටම චිත්‍රපට බෙදන්න සුනිල් ටී පෙරමුණ ගනියි

දෙසැම්බර් 31, 2020

සුනිල් ටී නාමය සිංහල සිනමාව හා සබැඳෙන්නේ අදින් දශක හතරකට පමණ පෙරාතුවය. නිෂ්පාදකවරයෙකු ලෙසට සක්‍රීයවූ හෙතෙම චිත්‍රපට අසූවකට ආසන්න සංඛ්‍යාවකට සිය මූල්‍ය දායකත්වය සැපයුවේ මෙරට වැඩිම සිනමාපට නිපැයූ තැනැත්තා වශයෙන් ඉතිහාසගත වෙමිනි. කලින් කල සිංහල සිනමාවේ වන වෙනස්වීම්වලට අනුගතව වෙනස්වෙමින් සිනමාව කිසිදිනෙක අතැර නොගිය සුනිල් ටී තවත් නවමු අත්දැකීමක් සිනමාලෝලීන්ට රැගෙනවිත් තිබේ. rickyflicks .ජධථ යනුවෙන් නම තබා ඇති මෙය වෙබ් පිටුවක් සහ එනමින් ඇති ඇප් එකක් වේ. මේවා මගින් සමස්ත ලොව වටා සිටින පිරිසට සිංහල සිනමාපට නැරැඹීමේ හැකියාව උදාවනු ඇත. මේ පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් සුනිල් ටී අප සම්බන්ධ කර ගත්තෙමු.

 

පළමුව සඳහන් කරමු rickyflicks  මේ සංකල්පය කොහොමද ඔබ හිතට එන්නෙ කියලා?

ඇත්තටම මට නෙවෙයි මගේ දුවගේ හිතට තමයි මේ අදහස එන්නේ. පසුගිය කොවිඩ් කාලයේ අපිට චිත්‍රපට පෙන්න ගන්න විදිහක් නැතුව හිටියනේ. කාලයක් යනකම් චිත්‍රපට හෝල් වැහැව්වනේ. එහෙම ඉන්නකොට තමයි දුව කිව්වේ තාත්තා මේ වගේ වැඩක් පටන් ගත්තොත්, ඒ කියන්නේ දඥබටතඪය වගේ අන්තර්ජාතික මට්ටමේ චිත්‍රපට මුදා හරින ක්‍රමවේදයක් පටන් ගත්තොත් හොඳයි නේද කියලා. කොහොමත් දඥබටතඪය එකෙන් අපේ චිත්‍රපටි ගන්නෙ නෑ. අපේ රට එයාලා නොසලකා හැරලා තියෙන්නේ. එයාලා ගන්නේ විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරපු අන්තර්ජාතික මට්ටමේ සිනමාපට. ඉතින් ඒ වගේ වැඩපිළිවෙළක් ලංකාවේ මෙතෙක් කරලා තිබුණේ නැහැ. ලංකාව එක එක පැතිවලින් එක එක ජාතීන් ගිල ගන්නවානේ. ඇමරිකාව එහෙන් ගිල ගන්නවා. චීනය මෙහෙන් ගිල ගන්නව. තව ටිකක් කල් යද්දි ඉන්දියාවෙන් ඇවිත් මේ වගේ වෙබ් සයිට් එකක් හෝ ඇප් එකක් පටන් ගන්න ඉඩ තිබුණා. ඊට කලින්ම මම පටන් ගත්තේ. මේ rickyflicks  කියන සංකල්පය වෙබ් සයිට් එකක් වගේම ඇප් එකක්. එකෙන් වෙන්නේ චිත්‍රපටය රිලීස් කිරීම. අපේ සිංහල චිත්‍රපට මේ හරහා ලෝ වටා ඉන්න ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මේ වනවිට මිලියන හතරකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයින් එක එක රටවල් වල ජීවත් වෙනවා. මම ටාගට් කළේ ඒ අතරින් එක් මිලියනයක පිරිසක්. පොඩි මුදලක් දීලා මෙයට රෙජිස්ටර් වුණාම පවුලේ සියලු දෙනාටම අලුත් චිත්‍රපට නරඹන්න අවස්ථාව උදා වෙනවා. ඒවාත් එක්ක මම නිෂ්පාදනය කරපු චිත්‍රපට ඇතුළු තවත් චිත්‍රපට සියයක් විතර නරඹන්න පුළුවන්. ඇතැම් චිත්‍රපට නොමිලේ නැරැඹීමේ හැකියාවත් තියෙනවා. ඇත්තටම මේවගේ වැඩක් මම නෙමේ අවුරුදු විස්සෙ විසිපහේ තරුණ තරුණ උදවිය තමයි පටන් ගන්න තිබුණේ. නමුත් එහෙම දෙයක් මෙතෙක් වුණේ නැති හින්දා මමම මේ සංකල්පය දියත් කළා.

 

rickyflicks  සඳහා අපේ කලා ක්ෂේත්‍රය තුළින් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

පසුගිය විසි එක් වැනිදා තමයි rickyflicks  මුදාහැහැරීම සිදුවුණේ. චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක ඇතුළු ප්‍රවීණයෝ රැසක් ඊට සහභාගී වුණා. ඔවුන් එදා මේ පිළිබඳ කමෙන්ට් බලන්න. ඇත්තටම මට අදහගන්න බැහැ ඔවුන් ඒ ගැන පවසලා තිබුණු දේවල් පිළිබඳ. බොහෝ දෙනෙක් කියලා තිබුණේ මේ වගේ දෙයක් පරක්කු වෙලා හරි පටන් ගන්න එක සිංහල සිනමාවට කරපු ලොකු සේවයක් කියලායි.

 

මෙමඟින් සිංහල සිනමා ප්‍රේක්ෂකාගාරයට, ඒ කියන්නේ සිනමාශාලාවලට යන ප්‍රේක්ෂකයෝ අඩු වෙනවා කියලා කිසියම් වූ කෙනෙක් චෝදනාවක් කළොත්?

එහෙම කියන්න බැහැනේ පුතා. සිංහල සිංහල චිත්‍රපට නරඹන්න හෝල් එකට එන ප්‍රේක්ෂකයින් අඩු වෙලා තිබුනේ කොවිඩ් එන්නත් ඉස්සර. අපේ ලංකාවේ සිනමාශාලා අලුතෙන් විවෘත කරනවට සාපේක්ෂව සිනමාශාලා වහන ප්‍රමාණය වැඩියි. මටත් තිබුණනේ ෆිල්ම් හෝල් 12ක් විතර. දැන් තියෙන්නේ ශාලා දෙකයි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන්න ප්‍රේක්ෂකයො ආවේ රිකී සිනමාශාලාවට දහයක් දොළහක් විතර. මේ තත්ත්වයක් මත සිනමා ශාලාවක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා මම අහනවා. අපිට ටැක්ස් ගෙවන්න තියෙනවා. සිනමා සංස්ථාවට ගෙවන්න තියෙනවා. විදුලි බිල ගෙවන්න තියෙනවා. ඒවා අඩු වැඩි වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ අඩු වැඩි වුණත් ඒ වියදම් ස්ථාවරයි. මේ තත්ත්වය මත අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණෙන චිත්‍රපට හෝල් පවත්වාගෙන යෑම අතිශය විශාල පාඩුවක්. ඒ හින්දා හෝල් එන්න එන්න වැහෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ ඇත්තට අපි මුහුණ දෙන්න ඕන. තව අවුරුදු දෙකක් විතර යනකම් මේ කොරෝනාත් එක්ක තමයි ජීවත් වෙන්න වන්නේ. මේ තත්ත්වය මත බොහෝ දෙනෙක් හෝල්වලට පැමිණ චිත්‍රපට නැරඹීමෙන් ප්‍රවණතාවය තවත් අඩුයි. ඉතින් ඒ සියලු දෙනාට පුළුවන් rickyflicks  සමඟ එක්වෙලා අලුත් චිත්‍රපට නරඹන්න.

 

ඔබ හිතනවද, ලාංකේය ප්‍රේක්ෂකයෝ, විශේෂයෙන්, හෝල් වලට ගිහින් චිත්‍රපට නරඹපු පිරිස මේ ක්‍රමය පිළිගනියි කියලා?

දැන් බලන්න්කෝ සමස්ත ජනගහනයට වැඩිය ජංගම දුරකථන අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ එක් අයෙකුට අනිවාර්යනේම ජංගම දුරකථන දෙකක්වත් තියෙනවානේ. මේවා එක්ක තමයි මිනිස්සු ජීවිතය ගෙවන්නේ. ලෝකය ඩිජිටලයිස් වෙලා අලුත් වෙලා යද්දී අපිත් ඒ එක්ක යන්න ඕනේ. තමන් ඉන්න රටේ තමන් ඉන්න තැන ඉදල චිත්‍රපටි නරඹන්න ඒක බොහෝ දෙනෙකුට පහසුවක්. අනික ඉතා සුළු මුදලක් ගෙවලා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නරඹන්න පුළුවන්නෙ. rickyflicks  කියන්නේ සිංහල සිනමා ලෝලීන්ට ලැබුණු බෝනස් එකක්.

 

මේ හරහා අලුතින් චිත්‍රපට මුදාහරින බලාපොරොත්තු වෙන පිරිසකට මොකද කියන්න තියෙන්නේ?

මට ඇත්තටම කියන්න තියෙන්නේ ඇවිත් rickyflicks  හරහා එකතු වෙන්න කියලා. මේ වන විට මුදා හරින්නට නොහැකිව බලාගෙන ඉන්න චිත්‍රපටය ඕන එකක් මං මේ හරහා රිලීස් කරනවා. ඒ සඳහා නිෂ්පාදකවරයාට ලැබෙන ප්‍රතිලාභයද ඉතා ඉහළයි. ඒ වගේම අපේ මෙහෙ ගිණුම් පවත්වාගෙන යන ක්‍රමවේදයද ඉතා විනිවිදයි. කෙනෙකු චිත්‍රපටයක් රැගෙන rickyflicks  හරහා මුදා හැරියොත් එතැන් පටන් අපි ඔහුට ලින්ක් එකක් ලබා දෙනවා. එමඟින් ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ අතේ ඇති ජංගම දුරකථනයෙන් ඒ මොහොතේදීම මට අද දිනය තුළ තමන්ගේ චිත්‍රපටය කී දෙනෙක් නරඹලා තියෙනවාද, තමන්ට ඒ සඳහා කුමන මුදලක් ලැබෙන්න තියනවද කියලා එවලෙම දැනගන්න. හරියට සතියක් වෙද්දි ඒ වන තෙක් තමන්ට ලැබිලා තියෙන මුදල ගන්නත් පුළුවන්. මේ හරහා චිත්‍රපටයක් මුදාහැරියයි කියලා චිත්‍රපට හෝල් එක චිත්‍රපටයක් මුදා හරින්න බැරි වෙන්නෙත් නැහැ. මම වෙන වෙන රයිට්ස් තියා ගන්නෙත් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ටීවී රයිට්ස් වුණත් ඒ අයට දෙන්න පුළුවන්. මම ඒවා ගන්නේ නැහැ කෙනෙකු චිත්‍රපටයක් මේ හරහා මුදා හැරියොත් ලෝ වටා තියෙන සමස්ත ප්‍රේක්ෂකයින්ට ඒ චිත්‍රපටය නරඹන්න පුළුවන්. මම විදෙස් රටවල් වලට ගිහිල්ලා චිත්‍රපට පෙන්නද්දි දැකලා තියෙනවා අති විශාල ප්‍රේක්ෂකයෝ පිරිසක් ඒවා නරඹන්නේ හරිම උනන්දුවකින්. අන්න ඒ පිරිසට මේ හරහා අලුත් චිත්‍රපට නරඹාවි. මේ වන විට සැලකිවයුතු සංඛ්‍යාවක් චිත්‍රපටි නරඹලා තියෙනවා. ඒකත් ජයග්‍රහණයක් කියලා මම සලකනවා.

 

මේ වැඩ කටයුතුත් එක්ක ඔබ ආයේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තුවක් නැද්ද?

මේ කාරණය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මම ආයේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ rickyflicks  වලින් මුදා හරින්න. හරියටම වසරකට චිත්‍රපට දොළහක් විතර මම එහෙම නිෂ්පාදනය කරලා rickyflicks  සමස්ත ලෝකයටම ඒ චිත්‍රපට මුදා හරින බලාපොරොත්තු වෙනවා.

 

නිශ්ශංක විජේරත්න