වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
අපේ චිත්‍රපට අපටම සංරක්ෂණය කළ හැකියි
සිනමා සංස්කෘතියක් පිළිබඳ කතාබහ කරන ඕනෑම රටක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ චිත්‍රපට සංරක්ෂණයයි. මෙතෙක් අප රේඛාව, නිධානය, වැලිකතර, ආදි චිත්‍රපට කීපයක් පමණක් සංරක්ෂණය සඳහා විදේශයන්හි දැනුම හා තාක්ෂණය භාවිත කළද මේ වන විට අපේම රටේ අපේම නිපැයුම් යොදාගෙන එය කළ හැකි බව පවසන්නේ සිනමා සංරක්ෂණයට කැපවූවකු වන මහීල් පෙරේරා මහතාය. ඔහුගේ නවතම වෑයම ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් 1992දී අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන 'සිසිල ගිනි ගනී' චිත්‍රපටය ප්රතිසංස්කරණයයි. චිත්‍රපට ප්‍රතිසංස්කරණය, සංරක්ෂණය හා එයින් අපේ සිනමාවට අත්වන ප්‍රයෝජන පිළිබඳ මහීල් පෙරේරා මහතා සරසවියට අදහස් දැක්වූයේ මෙසේය...
මුලින්ම අපි කැමැතියි සිසිල ගිනි ගනී චිත්‍රපටයම ප්‍රතිසංස්කරණයට ඔබ යොමු වුණේ ඇයිද කියා දැනගන්න?
චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ යාපනේ තුන්දෙනෙක් චිත්‍රපටය කරමින් ඉන්න අතරේ මේ සංරක්ෂණ කටයුතු ගැන දැනගෙන මට කතා කළා. ඔහු මගෙන් ඇසුවා ටෙලිසිනේ බවට පත් කළ චිත්‍රපට සංරක්ෂණය කරන්න පුළුවන්ද? කියලා. ඉරමැදියම, පුරහඳ කළුවර, අනන්ත රාත්‍රිය, පවුරු වළලු, ආකාස කුසුම් වැනි ඔහුගේ චිත්‍රපට එතැන තිබුණා. ඉන් පවුරු වළලු ඩීවීකැම් ක්‍රමයට හරවා තිබුණා. ඒ ඩීවී කැම් පටයෙන් පරිගණකයට ග්‍රහණය කරගෙන ඉන් පසුවයි අපි එය සංරක්ෂණය කළේ. ආකාස කුසුම් නම් හයි ඩෙෆිනිෂන් වර්ගයේ ෆයිල් එකක තිබුණා. අනෙක් හතර තිබුණේ තනි වීඩියෝ ෆයිල් විදිහට. ඒ චිත්‍රපට සියල්ල අපි සංරක්ෂණය කළා. ඒ නිසා අපට දැන් රූපවාහිනියේ දකින ඒ චිත්‍රපට පහේම කිසිම ඉරක් හෝ හානි වූ ගතියක් පේන්න නැහැ. ඒත් ඒවා අපට ලැබෙනකොට දෝෂ දෙකක් තිබුණා. එකක් පටල පටයේ සීරුම්. දෙවැන්න වීඩියෝ පටවල ඇති දුර්වලතා. ඒ සියලු දෝෂ අප ඉවත් කළා. එයින් ඔහුට ඔප්පු වුණා අපට ගුණාත්මක බවින් යුතු සංරක්ෂණ ක්‍රියාවලියකට යන්න පුළුවන් කියලා. ඉන්පසු තමයි ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක නිෂ්පාදනය කළ සිසිල ගිනි ගනී චිත්‍රපටය ගැන කතා වුණේ. මේ චිත්‍රපටයේ ප්‍රදර්ශන අයිතිය පමණක් හරේන් සහ චරිත් නාගොඩවිතානලාට තිබෙනවා.
ටෙලි සිනේ, හයිඩෙෆිනිෂන්, වීඩියෝ ෆයිල් වැනි වචන ඔබ භාවිත කළා. සංරක්ෂණය හා ඒවා අතර සම්බන්ධය ටිකක් පැහැදිලි කරගමු?
ඒ කතාව තරමක් ඈතට දිවෙනවා. මම 2008 වසරේ ජාතික චිත්‍රපට සංස්ථාවේදි නිදර්ශන සහිත දේශනයක් ඉදිරිපත් කළා චිත්‍රපට ප්‍රතිසංස්කරණය සම්බන්ධව. එතකොට ඩිජිටල් හෝ හයි ඩෙෆිනිෂන් කියන තාක්ෂණ ලංකාවට ඇවිල්ලා තිබුණෙත් නැහැ. එදා රන්සළු සහ වෙසතුරු සිරිත චිත්‍රපටවල කුඩා කොටස් කීපයක් ප්‍රතිසංස්කරණය කර පෙන්නුවා. ඒවා තිබුණේ හරියට කැමරා කොපි වගේ ගුණාත්මක බවින් අඩු තත්ත්වයක. ආසියානු කලාපයේ ඒ වෙනකොට තිබුණේ ටෙලි සිනේ කියන තාක්ෂණය. එයින් කළ හැකිව තිබුණේ වීඩියෝ තාක්ෂණයට මාරු කිරීම පමණයි. ඒ කාලයේ රජයේ චිත්‍රපට අංශයට කෝටි ගාණක උපකරණ ගෙනාවත් එයින් ප්‍රයෝජන ගෙන තිබුණෙත් නැහැ. හැබැයි සංරක්ෂණය සඳහා අවශ්‍ය වන්නේ රූප රාමුවෙන් රාමුවට වෙනමම ස්කෑන් කළ යුතු ක්‍රමයක්. සරලව කීවොත් සාමාන්‍යයෙන් ටෙලි සිනේ ක්‍රමයට පරිවර්තනයක් කළාම චිත්‍රපටයට අදාළ මුළු කාලයටම එකම වීඩියෝ ෆයිල් එකක් පරිගණකයේ ඒ වෙනුවෙන් හැදෙනවා. ඒත් අද අපි කරන මේ ක්‍රමයට සෑම රූප රාමුවක් වෙනුවෙන්ම එක ෆයිල් එක බැගින් හැදෙනවා. එය තමයි ඩිජිටල් ක්‍රමයට සංරක්ෂණය කියන්නේ.
ඒ කොහොම වුණත් 2008 දීත් අපි කළේ එවැනි ක්‍රමයක්. ඒත් අපට ස්කෑනරයක් තිබුණේ නැහැ. ඉතින් අපට අවශ්‍ය වුණා ඒ පළමු පියවර කෙසේ හෝ මෙහි අපිම තනා ගන්න. අපි එවැනි යන්ත්‍රයක් අදාළ ආයතනයකින් මිල දී ගන්න ගියොත් එහි පහසුකම්වල, විශේෂතාවල ස්වභාවය මත මිල තීරණය වනවා. ඉතාම සරල මට්ටමේ බ්ලැක් මැජික් ෆින්ටල් වැනි යන්ත්‍රයක් පවා ලක්ෂ 80ට වඩා වැඩි වෙනවා. ආකයිවල් ස්කෑනර්ස් කියන සංරක්ෂණ කටයුතු සඳහාම වන යන්ත්‍රයක් ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් පමණ වෙනවා. ඒ නිසාම සංවිධානයක් තිබුණා තමන්ට අවශ්‍ය ස්කෑනර් වර්ග තමන්ම නිපදවා ගන්නා. ඒ සංගමයේ මමත් ඉන්නවා. තමන්ගේ රටේ අවශ්‍යතා අනුව බලා ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගෙන අපිම යන්ත්‍රයක් නිපදවූවා. එහි එක රූපරාමුවක් ස්කෑන් කිරීම සඳහා තත්පර තුනක් පමණ ගතවනවා. මොකද අප වගේ රටකට වේගය එතරම් අවශ්‍ය නැහැ. චිත්‍රපටයක තත්පරයට රූපරාමු 24 නිසා තත්පරයක් ස්කෑන් කරන්න තත්පර 72ක් ගත වෙනවා.
ස්කෑන් කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණයට තමයි මාස ගණනක් ගතවෙන්නේ. ඒ නිසා ස්කෑන් කිරීමට කාලය ගත වීම එතරම් විශාල ගැටලුවක් නෙවෙයි. ඊළඟ කරුණ රෙසලූෂන් එක. (යම් හතරැස් කොටුවක තිබෙන තිත් (ර්ථඪයඥත) ප්‍රමාණය) දැන් අපි හයි ඩෙෆිනිෂන් තාක්ෂණය පසුකරලා තිබෙන්නේ. බොහෝ රටවල දැන් තිබෙන්නේ 2ම්කියන ප්රක්ෂේපණ ප්‍රමාණය. එහෙම ප්රක්ෂේපණය කළාට අපි සංරක්ෂණය කළ යුත්තේ ඊට වැඩි ප්රක්ෂේපණ අගයකින්. සාමාන්‍යයෙන් එය හඳුන්වන්නේ 4ම්කියලා. හැබැයි මෙහි ඇත්ත ප්‍රමාණයන් බොහෝ දෙනෙකු අවබෝධ කරගෙන ඉන්නවාද කියන එකේත් ගැටලුවක් තිබෙනවා.
ඇත්තම කතාව මේ පික්සල් සංඛ්‍යාව කියන කතාව තරමක මුලාවක්. එහෙම වෙනවා නම් ඇරී ඇලෙක්සා කැමරාවකත් 4ම් කියද්දි ජංගම දුරකථනයකත් ඒ විදිහටම 4ම් තියෙන්න බැහැනේ. සංවේදකය (සෙන්සර්) එකෙන් උකහා ගන්නා තොරතුරු ප්‍රමාණය අනුව තමයි ඇත්තෙන්ම දසුනක ගුණාත්මක බව පවතින්නේ. කෙසේ හෝ වේවා අපි 4ම්ප්රමාණයෙන් ස්කෑන් කරලා ඉන්පසු අදියර වන ප්‍රතිසංස්කරණයට යොමු වෙනවා. මීට පෙර විදෙස්වලින් සංරක්ෂණය කළ රේඛාව, වැලි කතර වැනි චිත්‍රපට ස්කෑන් කළේ 2ම්වලින්. ඒත් අපි කරන්නේ 4ම් ප්‍රමාණයෙන් ස්කෑන් කරලා පසුව 2ම් ප්‍රමාණයෙන් සුරක්ෂිත කරගැනීමයි.
ප්‍රතිසංස්කරණය සඳහා ඔබට ලැබුණේ සිසිල ගිනි ගනී හි කෙබඳු පිටපතක්ද?
කළු සුදු නිර්මාණයක් වන සිසිල ගිනිගනී චිත්‍රපටයේ අපට ලැබුණු වීඑච්එස් පිටපත ඉතාම දුර්වල මට්ටමක තිබුණේ. සමහර තැන්වල විශාල වශයෙන් (ඉන්ටලේස්) ඉරි පේනවා. චිත්‍රපටය බොඳවෙලා. සමහර තැන් කළුම වෙලා. නාගොඩවිතානලා ළඟ තිබුණේ ඒ පිටපත විතරමයි. ඒ තත්ත්වයෙන් තිබුණු නිසා අපි මෙය නෙගටිව් එකෙන්ම පටන් ගමු කියලා හිතුවා. ඒ නෙගටිව් නවයෙන් අටවැනි කෑන් එක විවෘත කරද්දි පැත්ත පළාතක ඉන්න බැරි තරම් දුඟඳක් ආවේ. එච්චරට නරක් වෙලා. විනිගර් සින්ඩ්‍රොම් තත්ත්වයේ තුන්වැනි අවස්ථාවට ඇවිත් නිසා පටි ඇලිලා. එවැන්නක් ප්‍රකෘතියට පත් කරන්න සාමාන්‍යයෙන් බැහැ. ඒ නිසා මම ප්‍රසන්නට කීවා ඊට අදාළ පිටපත සොයාගන්න, එතකල් අපි මේ තත්ත්වයෙන් හෝ නෙගටිව් එක ස්කෑන් කරන්න උත්සාහයක් දරනවා කියලා. මුලින් කියූ පරිදි රූප රාමුවක් සඳහා තත්පර තුනක් ගත වන තරම් අඩු වේගයක් නිසා පටල පටයට දරාගන්න පුළුවන් වගේම අනතුරකුත් නැහැ. කෙසේ හෝ ප්‍රසන්න පිටපත සොයාගන්න අතර අපිට ඒ නෙගටිව් පටය ස්කෑන් කරගන්නත් පුළුවන් වුණා. අද මේ දකින සියලුම රූපරාමු ඒ පටයෙන් ලබා ගත් ඒවා.
එතකොට චිත්‍රපටයේ ශබ්ද පටය?
සාමාන්‍යයෙන් ශබ්දපටය තත්පරයට රූපරාමු විසිහතරේ වේගයෙන් ගත යුතුයි. ඒත් සිසිල ගිනිගනී චිත්‍රපටයේ අපට ලැබුණේ පින්තූර සහිත නෙගටිව් එක නිසා ශබ්දය පිළිබඳ ගැටලුව අදාළ නැතත්, අපේ සංරක්ෂණ ක්‍රමවේදය ගැන කීමේදී එය වැදගත්. සාමාන්‍යයෙන් අප රූපරාමු ස්කෑන් කරන්නේ සවුන්ඩ් ට්‍රැක් තොරතුරුත් සමඟයි. එනිසා සවුන්ඩ් ට්‍රැක් එකේ රටාවත් ස්කෑන්වන පින්තූරයේ වදිනවා. මම කලින් කියූ සංගමය මඟින් කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක ව්‍යාපෘතියක් කරනවා ශබ්ද පටය පිළිබඳ තිබෙන පින්තූරයේ හැඩයෙන් සවුන්ඩ් ට්‍රැක් එක උකහා ගන්නේ කොහොමද කියා සොයා බලන. එහි සාමාජිකයකු නිසා ව්‍යාපෘතියේ වර්ධනීය අධ්‍යයන කටයුතුවලට යොදාගන්න මටත් ඒ මෘදුකාංගය ලබා දී තිබෙනවා. එනිසා අපටත් පුළුවන් ප්රක්ෂේපණ යන්ත්‍රයට නොදා, ශබ්ද පටයේ පින්තූරවල හැඩයෙන් ශබ්ද පටය නිර්මාණය කරගන්න. සිසිල ගිනිගනී චිත්‍රපටය ගැන කීවොත් එහි ශබ්ද පටයට අදාළ නෙගටිව් පටය ප්‍රසන්න ළඟ තිබුණා. හැබැයි අපට චිත්‍රපටයක පිටපතක් ලැබුණොත් කලින් කී ක්‍රමයට ශබ්ද පටයත් වෙනම ෆයිල් එකක් විදිහට ලබා ගන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් පිටරට නොගොස් ලංකාවේම චිත්‍රපට සංරක්ෂණය කළ හැකියි?
පුළුවන්. හැබැයි අපේ වෘත්තිකයන්ගේ ගති ස්වභාවය තමයි ලංකාවේ කෙනෙක් දෙයක් කරනවා කීවාම අඩිකෝදු මිනුම් ඔක්කෝම අරගෙන මනින්න යන එක. ඒ අත්දැකීම මට ලැබුණේ ඩිජිටල් මාධ්‍යයෙන් කළ නිර්මාණ මිලිමීටර 35ට හැරවීමට රෙකෝඩරය හැදූ අවස්ථාවේ. හරි විදිහට පර්යේෂණයක් කළාට කමක් නෑ. මම ඔවුන්ට යෝජනා කළේ අපටත් ඩිජිටල් ෆයිල් එකක් දෙන්න, ඉන්දියාවටත් ගිහින් ට්‍රාන්සර් එකක් කරගන්න, ඒ දෙක සන්සන්දනය කර බලන්න කියලායි. ඇත්තෙන්ම දිනේෂ් ප්‍රියසාද් විසිනුත් ඒ වෙද්දි ෆිල්ම් රෙකෝඩරයක් හදලා තිබුණා. ඒ ගැනත් සඳහන් කළ යුතුමයි. ඒත් අපේ ක්‍රමය හෙළා දුටු අය කීවේ අපි කරන්නේ චිත්‍රපටය බිත්තියකට ප්රක්ෂේපණය කරලා මිමි35 කැමරාවකින් රූපගත කිරීම කියලායි. හිතන්න අරුණි පොඩ්ඩක්... අඩි සියයක එකසිය පනහක ප්රක්ෂේපණයක් ගැනයි අපි කතා කරන්නේ. එතකොට වීඩියෝ ප්‍රොජෙක්ටරයකින් බිත්තියකට නෙවෙයි, හොඳ සුදු තිරයකට වුණත් ප්රක්ෂේපණය කරලා යළි කැමරාවකින් ගත්තා කියලා. එතකොට ඒ වීඩියෝවේ තිබෙන තිත් ආදිය කොයි තරම් පේන්න ගන්නවාද? හැබැයි බොහෝ දෙනකු ඒ මතය පිළිගත්තේ නැහැ කියලා මට හිතෙනවා. මොකද ඒ වෙද්දි වසර පහක් පමණ ඇතුළත අපි චිත්‍රපට 28ක් පමණ ඒ විදිහට පරිවර්තනය කර තිබූ නිසා. ඒ වෙද්දි ඉන්දියාවට ගෙනගොස් පරිවර්තනය කර තිබුණේ චිත්‍රපට තුනක් පමණයි. එසේ අපි පරිවර්තනය කළ පළමු චිත්‍රපටය බීටා කෑම් එකකින් කර තිබුණු සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ ආදරණීය වස්සානය. ඉන්දියාවේ ලක්ෂ 30ක් පමණ වැයකරද්දි අපිට වැය වුණේ ලක්ෂ 14ක පමණ මුදලක්. එයින් වැඩි හරියක් නෙගටිව් එකට. ඒ මුදල වෙනස් කරන්න බැහැනේ. ඉතින්, ලංකාවේ යමක් කරද්දි ඒවා හෙළා දැකීමේ පුරුද්ද හරිම කනගාටුදායකයි.
එතකොට සිසිල ගිනිගනී සම්පූර්ණයෙන් සංරක්ෂණය කර නිම කරන්න කොපමණ කාලයක් ගත වෙයිද?
මුළු චිත්‍රපටයම ස්කෑන් කරන්න නම් අපට ගත වන්නේ දින 12ක වගේ කාලයක්. ඒත් සංරක්ෂණය සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. හැම රූපරාමුවෙන් රාමුවටම තිබෙන ඉරි ආදි දෝෂ බලා ඉවත් කරන්න ඕනෙ. හැබැයි උදාහරණයකට ෆොටෝෂොප් වගේ සියලු දෙනා දන්න සරලම මෘදුකාංගයක් ගැන හිතමු. එයින් රූපරාමු පෙළක ඉරි ඉවත් කළොත් ඒ මැකූ තැන්වල ලප වැනි කොටස් රූප පෙළ ධාවනය වෙද්දි වෙනමම පේන්න ගන්නවානේ. ඒ නිසා ඒ තත්ත්වය ඇති නොවන්න ඉතාම සැලකිල්ලෙන් සියුම්ව කළ යුතු දෙයක් එය. එක දිගට පහළට තිබෙන ඉරක් නම් ඒ ආකාරයෙන්ම ඉවත් කරන්න පුළුවන්. ඒත් තැන් තැන්වල ඇතිවෙලා තිබෙන හානි ඒ විදිහට කරන්න බැහැ. අනෙක චිත්‍රපටයෙන් චිත්‍රපටයට සහ හානියේ ස්වභාවය මත ගතවන කාලය වෙනස් වනවා. මෙය බොහොම ප්‍රායෝගික ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. සමහර චිත්‍රපට සංරක්ෂණයට අවුරුදු හතර ගිය අවස්ථා තිබෙනවා. ඒත් සිසිල ගිනි ගනී චිත්‍රපටය අපට තව මාස දෙකකින් පමණ පූර්ණව සංරක්ෂණය කළහැකි බව තමයි අපේ විශ්වාසය. එය මේ වෙද්දි කරන්නේ තිලංක පෙරේරා.
මෙය පර්යේෂණ මට්ටමින් කෙරෙන්නක්ද? අනාගත සිංහල සිනමාවට මෙහි ප්‍රයෝජනය කෙබඳුද?
ඇත්තටම මෙය පර්යේෂණ මට්ටමක පවතින්නක් නෙවෙයි. දැන් ඒ පියවර අවසන්. අප මේ කරන්නේ පළමු නිකුතුව. අප 2008 සිට සංරක්ෂණ කටයුතු පහක් කර තිබෙන නිසා පළමු චිත්‍රපටය වන්නේ පුරහඳ කළුවර. සිසිල ගිනි ගනී ස්කෑන් කිරීමේ පළමු නිකුතුව ලෙස නම් හඳුන්වන්න පුළුවන්. මෙහිදී අප අතරින් වියෝ වූ සුමින්ද වීරසිංහ ප්‍රවීණ කැමරා ශිල්පියාගේ පරිචය ගැන කිව යුතුයි. ඇතැම් චිත්‍රපටවල වර්ණ පිළිබඳ සැලකීමේදී එන ගැටලු මේ චිත්‍රපටයේ නැහැ. එකක් මෙය කළුසුදු වීම නිසා. ඒ වගේම කළුසුදු වුණත් ඒ සිනමාකරණයේ විශිෂ්ටත්වය කොපමණද කීවොත් වර්ණ පරාස සම්පූර්ණයෙන්ම පටල පටයේ තැන්පත් කිරීමේදී නියමිත ආකාරයෙන් සුමින්ද එය කර තිබෙනවා. ඔවුන් මේ චිත්‍රපටය කළුසුදුවෙන් රූපගත කිරීමට සිතූ මොහොතේ සිට පරිසරයේ තිබෙන ගස්කොළන් හැරුණු විට ඇඳුම් ආයිත්තම්, බිත්තිවල පැහැයන් පවා කළු සුදු අළු ප්‍රභේදයන්ගෙන් යොදාගැනීමට උත්සුක වී තිබෙනවා. මේ ලිපියේ පළවන රූපරාමු දකින විට ඔබට පැහැදිලි වෙයි එය. ඒ වගේම නොදන්නා ජාතිකයකුට මේ චිත්‍රපටයේ රූපරාමු පෙන්වුවහොත් ඒවා ප්‍රංශයේ හෝ ස්වීඩනයේ හෝ නිර්මාණය කෙරුණක් කියා හිතන මට්ටමට සුසංයෝග කර තිබෙනවා.
හැබැයි ඉතින් මෙහි අයකිරීම පැත්තෙන් ගත්තොත් නම් පර්යේෂණයක් කරන්න වෙනවා. මොකද ප්‍රසන්නට හෝ නාගොඩවිතානලාට මෙහි කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. බොහෝ චිත්‍රපටවල අයිතිකරුවන් සංරක්ෂණය ගැන හිතන්නේ නැහැ. ඒ වගේම සංරක්ෂණය කළ යුතු චිත්‍රපට මොනවාද කියා තීරණය කිරීම අපේ පැත්තෙන් කළ හැකි දෙයකුත් නෙවෙයි. අපට කළ හැක්කේ තාක්ෂණය සහ සේවය සපයා දීම පමණයි.
ඔබට පුළුවන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණ වැඩපිළිවෙළට සහයෝගය සහ උපදෙස් දෙන්න?
ඒකත් දිග කතන්දරයක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට සියල්ලම ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙද්දි මම ඉදිරිපත් වුණා රේඛාව චිත්‍රපටයෙන් පැය භාගයක් හෝ නොමිලේ සංරක්ෂණය කර දෙන්න. ඒත් ඒ සඳහා යන්ත්‍රය එහි ගෙන යන්න සූදානම් කරමින් ඉද්දි නිධානය සංරක්ෂණයට විශාල මුදලක් වැය කරමින් ජර්මනියට ගෙනගියේ. ඔබේ සරසවිය පුවත්පතේම සඳහන් කර තිබුණා ලක්ෂ 140ක් වැය වනවා කියලා. එයට හේතුව ඒ සඳහා පුහුණු ශිල්පීන් වෙනුවෙන් වැය වන මුදල ඉතා අධික වීම. ඒ සමඟම අපේ කටයුත්ත මඟහැරුණා. කෙසේ වෙතත් මම චිත්‍රපට සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ගැන 2008 සිට මම සංස්ථාවට යෝජනා කරන්නේ. විද්‍යාත්මකව කළ යුතු වන්නේ දැනට තිබෙන චිත්‍රපටවල තත්ත්වය පිළිබඳ ඇගයීමක් කිරීමයි. ඒවායින් ප්‍රමුඛතාව දිය යුතු සහ සංරක්ෂණය කිරීම වැදගත් ඒවා මොනවාද කියා තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නම් කමිටුවක් පත් කළ හැකියි. රජයටත් බරක් නොවී ස්ථිරසාර ලෙස මෙය කළ හැකි ක්රමවේදයත් මම කියා තිබෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ලක්ෂ තිහක් හතළිහක් පමණ වැය වන චිත්‍රපටයක් සංරක්ෂණයට අපට වැය වන්නේ ලක්ෂ හයේ සිට දහය දක්වා මුදලක් පමණයි. ඉතින් ඒ ගැන තීරණය කළ යුත්තේ චිත්‍රපට සංස්ථාවයි.
කඩවුණු පොරොන්දුවේ දර්ශන පෙළක්
මෙරට කථානාද සිනමාවේ ආරම්භක චිත්‍රපටය ලෙස සැලකෙන කඩවුණු පොරොන්දුව ප්‍රදර්ශනය කර අදට (ජනවාරි 21) හරියටම වසර 74කි. (චිත්‍රපටය පිළිබඳ පූර්ණ විස්තරයක් අද කතුවැකියේ (Editors Cut) සඳහන් වෙයි.) මෙරට චිත්‍රපට ප්‍රතිසංස්කරණය සඳහා කැපවීමෙන් කටයුතු කරන මහීල් පෙරේරා සහ තිලංක පෙරේරා පියපුතු දෙපළ විසින් දේශීය කථානාද සිනමාවේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සොයාගත හැකි කොටස් ඇසුරින් ප්‍රතිසංස්කරණය කරන ලද මිනිත්තු 10ක පමණ දර්ශන පෙළක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. එම සිනමා රීලය ඔවුන් වෙත බාර දී ඇත්තේ කුරුණෑගල පලාගල ජේ. ආර්. රන්ජිත් මහතාය. ඔහු තම වියදමින් සිනමා ප්රක්ෂේපණ උපකරණ සහ ලේඛන සංරක්ෂණයෙහි යෙදී සිටින සිනමා ලෝලියෙකි. ප්‍රතිසංස්කරණය කරන ලද කොටස රිදී ටීවී ඔස්සේ විකාශය කිරීමට නියමිත බව හරේන් නාගොඩවිතාන සරසවියට පැවසීය. මෙහි දැක්වෙන්නේ කඩවුණු පොරොන්දුවේ රුක්මණී දේවියගේ දර්ශනයක් ප්‍රතිසංස්කරණයට පෙර තිබූ අයුරු සහ ප්රතිසංස්කරණයෙන් පසුව තීව්රව පැහැදිලිව පෙනෙන අයුරුය.