පරම සොඳුරු ආලේ විජය ධජය පෙනේ

චණ්ඩාලි
ජුනි 13, 2019

"අපේ මේ ප්‍රේමය ලොව හැම පෙම්වතුන්ටමආදර්ශයක්,

ආශිර්වාදයක් වේවා"

1960 මැද භාගයේ තිරගත කළ සිංහල චිත්‍රපටවල බොහෝ විට තේමා පාඨයන් වූයේ ,ආදර්ශයන්, ආශිර්වාදයන් දෙන කථාන්තරයන්ය. ඒ එකල බහුතර ප්‍රේක්ෂකයන් කැමති එම ගණයේ බයිස්කෝප්වලට නිසාය.

අන් අතකට, එම කාලවකවානුව තුළ, ඉතිහාස, රජ කථා හා ජාතක කථා තුළින් පැන නැගුණු ආලය, ආදරය, හා ප්‍රේමය වැනි දේ ගැන බොහෝ අධ්‍යක්ෂකවරුන් අවධානයෙන් සිටී. එල්.එස්.රාමචන්ද්‍රන් ද සාලිය, අසෝකමාලා, ඉතිහාස කථාන්තරයට නව අර්ථ කතනයක් දෙන්නට වෙර දැරූ බවක් පෙනේ.

එය රොඩී ගම්මානයකි. රොඩී යනු, ඉතාමත් පහත් කුලයකි. කුලැත්තන්, රොඩී නිවසකින් දිය පොදක් වත් බොන්නේ නැත. මෙම රොඩි ගම්මානය, යටත් කර ගෙන සිට්යේ හාමු මහත්තයාය. ඔහු එන්නේ අසු පිටය. ඔහු එන විට රොඩී මිනිසුන් පාර අයිනට වී වැඳ වැටෙයි. රූමත් තරුණියන් වහා දුව ගොස් වන ලැහැඹේ හෝ අකුලක සැගවෙයි. නැවත එළියට එන්නේ හාමු මහත්තයා නොපෙනී ගිය පසුය. හාමු මහත්තයා බලවතෙකි, ධනවතෙකි, එලෙසම, සුරා සොඩෙකි, එමෙන්ම සල්ලාලයෙකි. ඔහුට ධන බලය මෙන්ම පිරිස් බලයද සිටි.

සාලිය පොහොසත් පවුලක උගත්, බුද්ධිමත්, කඩවසම් තරුණයෙකි. ඔහුත් මේ රොඩි ගම්මානයේ නිතර සැරිසරයි. පේන අන්දමට නම් ඔහුට මේ රොඩී ගම්මානයේ සැරි සරන්නට සුවිශේෂිත වූ හේතුවක් නැත. එහෙත් ඔහු එසේ සැරි සරමින් එක එක ලෙඩ වලට බලෙන්ම පැටලේ. සාලිය හෙන පණ්ඩිතයෙකි. නොදන්න දෙයක් නැත. ඒ ඉස්සර චිත්‍රපටවල ප්‍රධාන නළු භූමිකාවේ හැටිය. ඔවුන් සියල්ල දත් අයය. සාලියද එසේය.

දිනක් සාලිය රොඩී ගම්මානයේ රස්තියාදු වෙන විට, ලස්සන තරුණියක් ගඟක ගිලෙන්නට යයි. සයිඩ් එකෙන් කිඹුලෙක්වත් පෙන්නුවද, ඌ දියට පැන්නද, ඊට ප්‍රථම සාලිය ගඟට පැන අර තරුණියව බේරා ගනියි. කිඹුලට නෝ චාන්ස්ය. සාලිය වැඩ්ඩෙක් කියා මුලින්ම පෙන්නූ ජවනිකාව එය විය.

සාලිය බේරා ගත් ඒ තරුණිය නිල්මිණී නම් රොඩි තරුණියකි. ඇය රොඩී ගමටම සිටි රූමතියකි. සාලිය මේ තරුණියට වශී වෙයි. සාලිය නිතරම කියන්නේ කුලය යනු මිනිසුන් විසින් මවා ගන්නා පුහු දෙයක් බවය. හැම මිනිසෙකුගේම, හැම ගැහැනියකගේම ඇඟේ දුවන්නේ රතු ලේය. හැම මිනිසාම එක සමානය. මේවා සාලිය හරහා එළියට දැම්මේ මෙහී අධ්‍යක්ෂක එල්.එස්.රාමචන්ද්‍රය.

මේ පූර්විකාව, එල්.එස්.රාමචන්ද්‍ර අධ්‍යක්ෂනය කළ "චන්ඩාලි" චිත්‍රපටය ගැනය. රොඩී කෙල්ලෙකුට පෙම් කළ කුලැත්තෙකු ගැනය. "චන්ඩාලි" හී තේමාව වූයේද එයයි.

ගඟේ ගිලෙන්නට ගිය නිල්මිණීට හාමු මහත්තයාද ඇහැ ගහගෙන සිට්යේය. දිනක් හාමු මහත්තයා තම තුවක්කුවෙන් අහසේ ඉඟිළෙන කොකෙකුට වෙඩි තබා බිම වට්ටයි. එතනට සාලිය පැමිණ සතුන්ට හිංසා කිරීමේ ආදිනත්වය කියා දෙන්නට ගොස්, දෙදෙනා ලොකු වලියකට පැටලේ. ඒ කාලේ ෆයිට් නිකං චක්ගුඩු සෙල්ලම් කරනවා වගේය. කෙසේ හෝ එම ගෝරියෙන්, හාමු මහත්තයට මඩ වතුර වලකට වැටෙන්නටම සාලිය නෙළයි. සාලිය හා හාමු මහත්තයාගේ වෛරය පටන් ගන්නේ එතැන් සිටය.

මේ අතරේ, ගමේ ගොයම් කැපූ දා, උත්සවයක් තිබුණි. එදින රොඩී කෙල්ලන්ගෙ කුළු නැටුම් සංදර්ශනයක් විය. නිල්මිණිද නැටුම් කණ්ඩායමේ සිටියාය. පුංචි මොන්ටිසෝරි ළමයි , ඊට වඩා හොඳට කුළු නැටුම් නටයි. මෙහී ප්‍රධාන අමුත්තා වූයේ සාලියය. නැටුම අතර මඟ නිල්මිණි ට කලන්තේදා වැටෙයි.

එය චාන්ස් එකක් කරගත් සාලිය, තම යහළුවාත් සමඟ, නිල්මිණීව බැලීමට යයි. කුලැත්තන් රොඩී ගෙදරකට ගොඩ වදිනවා කීම ඒ රොඩී පවුලට විශාල ගෞරවයකි. නිල්මිණී තරමක් ලෙඩ ගානේය. එම ගෙදර නිල්මිණී ගේ මව, පියා හැරෙන්නට ඇයට සොහොයුරෙක් සිට්යේය. ඒ රන්බණ්ඩාය. රන්මලී යනු නිල්මිණී ගේ 'කසින්' කෙනෙකි. ඇය ද රූමත්ය. ඇය ආලය කළේ නිල්මිණීගේ සහෝදරයා වූ රන්බණ්ඩාටය. මේ හේතුවෙන් රන්මැණිකා බොහෝ විට සිටියේ නිල්මිණි ගේ නිවසේය. එදින සාලිය හා ඔහුගේ යහළුවා නිල්මිණීව බලන්න ආ දිනයේද රන්මැණිකා සිටියේ නිල්මිණිගේ නිවසේය.

සාලිය හා මිතුරා රන්බණ්ඩා සමඟ දොඩමළු වී සිටින විට, හදිසියේ හාමු මහත්තයා හා ඔහුගේ සහචරයන් පැමිණේ. එසේ පැමිණ සාලියටත්, ඔහුගේ මිතුරාටත් ගුටිඇණ, නිල්මිණීව පැහැර ගෙන යයි. පසුව සාලිය හා ඔහුගේ මිතුරා, ඔවුන් පසුපස හඹා ගොස් ඔවුන්ට 'රිටන්'එක දී නැවත නිල්මිණීව බේරා ගනී. හාමු මහත්තයා සහ ඔහුගේ සහචරයන් ෆුල් නොකවුටිය. මෙම සිදුවීමෙන් පසු සාලිය හා නිල්මිණී පෙම්වතුන් බවට පත් වේ. සාලිය තනිවී සිටින විටද, ඔහුට සිහිවෙන්නේ නිල්මිණීවය.

සාලිය හා නිල්ම්ණී ගේ ආලය එසේ ගලා ගෙන යන විට, අනෙක් පැත්තෙන් රන්මැණිකා හා රන්බණ්ඩාගේ ආදරය දෙගොඩ තලා යයි.

එල්.එස්.රාමචන්ද්‍රන් සාලිය ගේ චරිතය තුලින් මතුකළේ, ඉතාමත් සාධාරණව සිතන, හොඳ දේවල් පමණක් කරන පුද්ගලයෙක්වය. ඔහු ලෝකේ ඉපදුනු සැවොම එක සමාන යැයි සිතන කෙනෙකි. ඔහු උසස් සමාජය පිළිකුල් කළද, ඔහුත් ඒ තුළම ගැටී සිටී. ඔහුගෙ සොහොයුරිය ඔහුට රොවිනා නම් සංකර සමාජයේ තරුණියක් යහළු කර දීමට උත්සහ කළද, ඔහු ඇයව තරයේම ප්‍රතික්ෂේප කළේය. මේ සංකර ගැහැනුන්ට වඩා ඔහුට ඔහුගේ පෙම්වතිය වූ රොඩී කෙල්ල නිල්මිණීව වටින්නේය. ඔහු නිල්මිණීව නිතර සිහිකිරීම වස් ඇයගේ රූපය අඹන්නට විය.

"සඳෙහි සඳුන් වනේ- සීත සුවය දැනේ
පරම සොඳුරු ආලේ-විජය ධජය පෙනේ

පිනෙක බලය දැනේ-පැතුම සැබෑ වුණේ 
සිසිල සුළං කැරලි රඟයි- 
මහිමේ කියා සෙනේ"

සාලියට එංගලන්තයට යන්නට සිදුවන්නේ මේ අතරේදීය. චිත්‍රපටය පුරාවටම බටහිර සංස්කෘතිය, අපහාසයට, උපහාසයට ලක් කරන සාලිය, ඇදෙන්නේම බටහිරටය. සමාජශීලී සම්භාෂණ පිළිකුල් කරන ඔහු උසස් සමාජයේ ප්‍රිය සම්භාෂණවල මත් පැන් විදුරු අතේ තබාගෙන, ලංකාවේ සංස්කෘතිය ගැන දොඩවයි. අධ්‍යක්ෂක රාමචන්ද්‍රන් නම් මාරයිය.

සාලිය එංගලන්තයට යන්නේ දේශනයක් පවත්වන්නටය. ඔහුට අපහසුම කරුණ නිල්මිණී ව දමා යෑමය. ඔහු යන්නේ මාස තුනකටය. නිල්මිණී කියන්නේ එක දවසක් සාලියව නොදැක සිටීමට නොහැකි විට මාස 3ක් නොබලා සිටින්නේ කෙසේද කියාය. කෙසේ හෝ පෙම්වතුන් යුවල හඩා දොඩා, අවසානයේ සාලිය එංගලන්තය බලා ගියේය. නිල්මිණී ඔහු එන තෙක් ශෝකබරිතව කල් ගෙව්වාය.

"පාළුයි තනි මට මේ ලෝකේ

ලැව් ගින්න සේ නැගෙනා සෝකේ

වෙන් වෙන්න මෙලෙසේ,

ඇයි හමු වූයේ

තොරතුරු ඔබගේ විමසා බලාවී

මා නම් එසේමයි -වෙනසක් නොවේ".

සාලිය, රොඩී කෙල්ල වූ නිල්මිණී සමඟ පෙමින් බැදී ඇති බව සාලියගේ මවට ආරංචි වන්නේ සාලිය එංගලන්තයට ගිය පසුවය. ඒ ඔහුගේ සොහොයුරියගේ පෙම්වතා වූ සාගර ගෙනි. එංගලන්තයට ගිය පසු සාලිය නිල්මිණීට ලිපි එව්වද ඇයට ලැබුණේ පළමු ලිපිය පමණි.

සාලිය නැවත ලංකාවට පැමිණීමට පෙර සාලියගේ මව, සොහොයුරිය, ඇයගේ පෙම්වතා සාගර, හාමු මහත්තයා සමඟ එක්වී කුමන්ත්‍රණයක් කරමින්, නිල්මිණිගේ නිවස ගිනි තබා නිල්මිණී, ඇයගේ සොහොයුරා රන්බණ්ඩා, සහ ඔවුන්ගේ දෙමාපියන් ඒ සියල්ලම මරුමුවට පත් කරයි. රන්මලී පමණක් බේරී තිබුණි. සාලිය නැවත ලංකාවට ආ සැනින්ම නිල්මිණීව සොයා ගියේය. එහෙත් ඔහුට හමු වූයේ රන්මලීවය. සිදුවූ සියල්ල රන්මලී සාලියට පවසා, ඔහුව නිල්මිණී වැළලු තැනටද රැගෙන ගියාය. අප සිතුවේ චිත්‍රපටය එතැනින් ඉවර ඇත කියාය. එහෙත් රාමචන්ද්‍රන් එතරම් ඉක්මනින් අපව ශාලාවෙන් පිටමං කරන්නට කැමති වූයේ නැත.

ජවනිකාව එක්වරම කොළඹ දර්ශනයකට ඡේදනය විය. අර මැරුණා යයි කියූ නිල්මිණි කොළඹ නගරයේ හසරක් නොමැතිව ඇවිදිනවා අපි දකිමු. ඔය වගේ සිදුවීම් ඒ කාලේ චිත්‍රපටවල හරි සුලභය. අප රාමචන්ද්‍රන්ලා පෙන්වන දෙයට අනුගත විය යුතුය.

තමාගේ මව, සහෝදරිය , සාගර හා හාමු මහත්තයා සමඟ එක්වී නිල්මිණීගේ පවුල විනාශ කෙරූ බව සාලියට ඔප්පු වෙන්නේ, මවගේ අල්මාරියේ හාමු මහත්තයා එවූ ලිපියකිනි. එහී මෙම කුමන්ත්‍රණය ගැන සඳහන් වී තිබූ සේම, එම ගිනිතැබීම සැලසුම වෙනුවෙන් අයවිය යුතු මුදලේ ඉතිරිය එවන ලෙසද එහී සඳහන් කර තිබුණි. මෙය තනිකරම තම පව්ලේ අයගේ කුමන්ත්‍රණයක් බව දැන ගත් පසු සාලිය ඔහුගේ මවට දොස් කියා ඒ නිවසින් පිට විය.

ඒ අතර අහම්බෙන් මෙන් සාලියට නිල්මිණීව මුණ ගැසේ. ඒවා රාමචන්ද්‍රන් ගෙනෙන 'ත්‍රිල්' කෑලිය. දෙමල, හින්දි චිත්‍රපටවල ඒ දිනවල ඔය වගේ අහඹු හමුවීම් අනන්තවත් ඇත. රාමචන්ද්‍රන්ලා ඒවා සිංහල චිත්‍රපටවලටත් ගෙන ආහ.

එදා ගින්න ඇවිළු, හාමු මහත්තයා හා සහචර පිරිස නිල්මිණීව පැහැරගෙන ගොස් නිවසක රැකවල් යොදා හිර කර තිබුණද, නිල්මිණී කෙසේ හෝ එයින් පැන ගතී. ඒවා සිද්ධ වූ ආකාරය නම් දන්නේ රාමචන්ද්‍රන් ම පමණි. නිල්මිණී නම් සාලියට කීවේ, හිර කර තිබූ එම නිවසේ දොර අඩවල් කර තිබූ හෙයින් ඇය ඉතාමත් පහසුවෙන් පැන ආ බවකි. බොහෝ සිදුවීම් අද්භූත ලෙස හෝ සිදු කර ඒවාට ක්ෂනික විසඳුම් දීම නම් රාමචන්ද්‍රන්ගෙන් හරි අපූරුවට සිදු විය.

අරුම පුදුමය නම් කොළඹ නගරයේදී සාලියට නිල්මිණී ව හමුවීමය. ඒ හමුවීමෙන් පසු සාලිය නිල්මිණීව තනි කැමැත්තට විවාහ කර ගති.

'මැණිකක් රකිනා නා රජිදෙකුසේ 
මම ඔබ නිරතුරු රකිම් 
මොහොතක් පාසා නිල්මිණි කියනා 
නාමය මතුරා කියමි

සෙවණැල්ලක් මෙනි හසරැල්ලක් 
සැනසෙන්නට මම ආමි 
හද පුදසුන මත පූජාවේවා 
අද ඔබ හට මගෙ ජීවේ"

ඔවුන් දෙදෙනා විවාහයෙන් පසු සංස්කෘතික සංචාරයක් කළෝය. රාමචන්ද්‍රන් ප්‍රේක්ෂකයන්ට සීනි බනිස් දුන්නෙ ඒ සංචාරය තුළිනි. අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය මෙන්ම නුවරදළදා මාලිගාව ද එම සංස්කෘතික සංචාරයට අයිති විය. සාලිය හරියට සංචාරක මාර්ග උපදේශකයෙක් මෙන් නිල්මිණීට කියා දුනී. රොඩී ගම්මානයක සිට පැමිණුන නිල්මිණී වැන්නෙකුට නම් මේවා මැජික් වගේය.

සාලියගේ මවට සාලිය නැති සාංකාව දරුණු අන්දමට දැනුණි. ඇය සාලිය අඹා තිබූ නිල්මිණගේ රූපය රැගත් පිළිරුව පොළවේ ගැසුවේ ඒ නිසාය. ඒ අවස්ථාවේදී එතැන තිබූ කිසියම් රසායනික ද්‍රව්‍යක් බිම වැටී එයින් නැගුණු දුමාරයකින් ඇය ගෙ දැස් අන්ධ විය.

රන්බන්ඩා මිය ගිය පසු නයෙක් වී ඉපදී නිතරම රන්මලීව බලන්නට පැමිණීය. මේවාද රාමචන්ද්‍රන්ගේ ත්‍රිල් කෑලිය. එකල නයෙක් දුටු විට ප්‍රේක්ෂකයෝ බයින් ත්‍රස්ත වේ. රාමචන්ද්‍රන් ලා ඔය ට්‍රික්ස් දැන ගෙන සිටියේය. සාලිය රන්මලීට සාත්තු සේවිකාවක් ලෙස කොළඹින් රැකියාවක් රැගෙන දුනී.

අවසානයේ රන්මලී අහඹු ලෙස මිය ගියේ රන්බණ්ඩා ගේ සොහොන ළඟය. මැරෙන විට ඇය කීයේ තම ඇස් සාලියගේ මවට දෙන්නට කියාය. තවත් හුට පට කීපයක් සිදුවුණිද, ඒවා ඒ තරම් වැදගත් දෑ නොවේ.

චන්ඩාලි නිම වන්නේ නිල්මිණී ගේමුලු පවුලම ගිනි තබා සැරූ කළු මහත්තයාට මරණිය දඩුවම් පමුණවා, සාලියගේ සොහොයුරිය හා ඇයගේ පෙම්වතා සාගරව මිනීමැරුමට අනුබල දීම නිසා විසි අවුරුද්දකට හිරේට නියම වීමෙනි. එලෙසම සාලියගේ මවට රන්මැණිකා නිසා ලැබුණු ඇස් වලින් යළි පෙනුම හිමි විය. එලෙසම කුල මානයෙන් සිටි අයට යථාර්ථය අවබෝධ කිරීමත් මෙම කථාවේ එක් අරමුණක් බව පෙනුණි. එකල සිනමාව තුළින් බහුලව ඉදිරිපත් කෙරුණේද ඔවැනි ආදර්ශය දෙන කථාන්තරයන්ය.

ස්ටැන්ලි පෙරේරා සාලිය ලෙසත්, ජෙනී විනිප්‍රීඩා නිල්මිණී ලෙසත් ප්‍රධාන චරිතයට පන පෙවීය. ඔවුන්ගේ රඟපෑම් නම් දුරස්ථපාලකයක් නැතිව හසුරවන රෝබෝලා වගේය. කියන දේ නොව කරන්නේ, කරන⁣දේ නොව කියන්නේ. එච්.ඩී.කුලතුංග ,රුබීද මෙල්, ලියෝනි කොතලාවල ගෙ රඟපෑමි නම් යම් ප්‍රසස්ත මට්ටමක තිබුණි. සෝමා මහවලගේ රන්මැණි⁣කා ලෙස රඟපෑවාය. රොක්සාමි අතීශයින්ම සුන්දර තනු කීපයක් චන්ඩාලි වෙනුවෙන් නිර්මාණය කළේය. මොහිදීන් බෙග් හා ජී.එස්.බී.රාණී පෙරේරා, එම ගී විශිෂ්ට ලෙස ගායනා කළහ. ඒවා අද වුවද රස විදිය හැක. කරුණාරත්න අබේසේකර හා එම ගීත රචනා කළේය.

එල්.එස්.රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ 'චන්ඩාලි' එස්.ඩී.එස්. සෝමරත්නගේ නිෂ්පාදනයකි. ඩී.වී.සෙනවිරත්නගේ කථාවක් වූ මෙය තිරගත කිරීම ආරම්භ කළේ 1964 අගෝස්තු 15 වනදාය

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.