කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔක්තෝබර් 31, 2019

සැමියා බිරිඳගේ දෙවියාය

කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙන දේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැක ගෙන මංගල මුදුව අතේ

දිඟු කල් ජීවත් වෙන්නකෝ"

ගීතයක් විසින් චිත්‍රපටයක් දශක ගණනාවක් රදවා ගෙන ඇති ආකාරය මැනවින්ම පෙණුනේ "සැමියා බිරිඳගේ දෙවියාය' චිත්‍රපටයේය. එච්.ආර්.ජෝතිපාල ගැයූ ඉහත ස්වතන්ත්‍ර ගීතය, "සැමියා බිරිඳගේ දෙවියාය' කියන චිත්‍රපටයට ගෙන ආවේ එසේ මෙසේ ආලෝකයක් නොව. එම ගීතය නිසාම චිත්‍රපටය නැරඹූ අය එකල අනන්තවත් සිටියහ.

1962 ඉන්දියාවේ තිර ගත කල කල්යාන් කුමාර්, දේවිකා, ආර් මුත්තුරාමන් රඟපෑ සී.වී. ශ්‍රීදර් ගේ ⁣'නෙන්ජිල් ඕර් ආලයම්' නම් දමිළ චිත්‍රපටය අනූරූපයක් වූ 'සැමියා බිරිඳගේ දෙවියා' හී අවසානය පමණක් දමිළ චිත්‍රපටයට වඩා වෙනස් විය. දමිළ චිත්‍රපටයේ අවසානය වූයේ සැමියාගේ ශෛලකර්මය සාර්ථක වූ බව අසා, එහී සතුට දරා ගැන්මට නොහැකිව ඔහුගේ රුධීර වේගය උත්සන්න වී මිය යෑම වූවද, සිංහල චිත්‍රපටය වූ 'සැමියා බිරිඳගේ දෙවියාය' චිත්‍රපටය අවසානය වූයේ සැමියාගේ ශෛලකර්මය සාර්ථක වූ බව අසා බිරිඳට ඒ සතුට දරා ගැන්මට නොහැකිව ඇය හෘදාබාධයකින් මිය යෑමය.

මෙම කථා ශාරය ශ්‍රීධර් විසින්ම 1963 හින්දි භාෂාවට පෙරලුයේ 'දිල් ඒක් මන්දීර්' ලෙසය. රාජේන්ද්‍ර කුමාර්, මිනා කුමාරි, සහ රාජ් කුමාර් මෙහී රඟපෑහ. 1967 දී මෙය තෙලිඟු බසින් නිර්මාණය වූයේ 'මානසේ මන්දීරම් ' කියාය. "හිර්දියම් ඔරු ක්රෙෂ්තම්' ලෙසින් මලයාලම් බසටද පරිවර්තනය වූ මෙය 'කුම්කුම රාක්ෂෙ' නමින් කන්නඩ භාෂාවෙන් නිපද විය.

චන්ද්‍රා තම සැමියා වූ විමල්ව කොළඹ රෝහලට රැගෙන එන්නේ ඔහු පිළිකා රෝගයෙන් පෙළෙන නිසාය. චන්ද්‍රා එතනදී මුහුණ පාන විශාලතම ප්‍රශ්නය වනුයේ එම වාට්ටුව භාරව සිටි දොස්තර නිහාල් තම පරණ පෙම්වතා වූ හෙයිනි.

පරණ පෙම්වතාව තම සැමියා ඉදිරියේ මුණ ගැසීමත්, එම දොස්තරම ඇයගේ සැමියාට වෙදකම් කරන්නට යෙදවීම තුළින් කථා රචකයා බලාපොරොත්තු වන්නට ඇත්තේ කිසියම්, තිගැස්සීමක්, මෙන්ම සංවේදී බවක් ඒ තුළින් ඇති කරමින් ඒ හරහා පොඩි ත්‍රිලක් දීමටය.

දොස්තර නිහාල් , අතීතයේදී චන්ද්‍රාට පෙම් කර, තම දොස්තර විභාගය අවසන් වූ සැණින් ඇය හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියද, කුමක් හෝ හේතුවක් නිසා එය සිදුවූයේ නැත. එතරම් කිට්ටුවෙන් සිටි ඔවුන් දෙදෙනා විවාහයට ඔන්න මෙන්න තිබියෙදී, චන්ද්‍රා වෙන කෙනෙක් සමඟ විවාහ වීම දොස්තර නිහාල්ට නොවිසඳුණු ප්‍රශ්නයක් විය. චන්ද්‍රා අවුරුදු කීපයකට පසු තම සැමියා සමඟ දොස්තර නිහාල් වැඩ කරන රෝහලටම පැමිණීයේ ඔහු එහී සිටින බවක් දැනගෙන නොවේ. ඒ වන විටත් අවිවාහකව සිටි දොස්තර නිහාල්ට තම පැරණි පෙම්වතියව දැකීමෙන් එක් අතකට විශාල සතුටක් මෙන්ම තව අතකට විශාල වේදනාවක් විය.

ඔබ එන තුරු මම තනියෙන් සිටියා
ඔබ ⁣වෙන කිසිවෙකු සමඟින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
ගුණවන්තිය ඔබ,
දිගුකල් ජීවත් වෙන්නකෝ

චන්ද්‍රාගේ සැමියා වූ විමල් එම රෝහලේ දින කීපයක් නේවාසීකව නතර වූ අතර ඔහුට ආවතේව කිරීමට ඔහු සමඟ චන්ද්‍රාද නතර විය. ශ්‍රීධර් විසින්ම මෙම කථාව ලියා තිබුණේ, ප්‍රේක්ෂකයාගේ හද ගැස්ම ගැහෙන ආකාරයටය. චිත්‍රානන්ද අබේසේකරද එය හැටේ දශකයේ ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ මන මෝහනය කරන අයුරින් ශ්‍රීධරන්ගේ එම කථාවස්තුව ලියා තිබුණි.

චන්ද්‍රාට රෝහලේදී හමුවුණු කුඩාදැරිය වු බේබි සන්ධ්‍යාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට හුරතල් වින්දනයක් ලබා දෙන්නට උත්සහා කළ අතර, තවත් විටෙක දැඩි සංවේගයක් ලබා දෙන්නටද උත්සහා කර තිබුණි. චන්ද්‍රා කුඩා සන්ධ්‍යාට දැඩිව ආදරය කරන්නට විය. ඇය ඇගේම දියණියක් ලෙසය සන්ධ්‍යාව රැක බලා ගත්තේ. 'සැමියා බිරිඳගේ දෙවියා' චිත්‍රපටය 'ඉමෝෂනල්' වූයේ මේ ජවනිකා තුලිනි.

විමල් යළි සුව වේ කියා ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. එහෙයින් ඔහු මරණයට ලෑස්ති වී සිටියේය. ඔහුට තිබූ එකම දුක, චන්ද්‍රා වැන්දඹුවක් වනු දැකීමය.

දොස්තර නිහාල්ට, චන්ද්‍රාගෙන් දැන ගැන්මට එක දෙයක් තිබුණි. ඒ විවාහවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී චන්ද්‍රා, දොස්තර නිහාල්ව අත හැර විමල් හා විවාහ වූයේ ඇයි යන හේතුවය.

දිනක් දොස්තර නිහාල් හා චන්ද්‍රා රෝහලේ එක් කොනක කථා කරමින් සිටිනු විමල් දුටුවේය. ඔහු ඔවුන්ගේ කථාව අසා සිටීමේදී, මොවුන් දෙදෙනා පෙර පෙම්වතුන් බවත්, චන්ද්‍රා තමා හා විවාහ වූ නිසා, ඒ විප්පයෝගයෙන් දොස්තර නිහාල් අවිවාහකව සිටින බවක් විමල්ට අවබෝධ විය. එය එක්තරා අතකට විමල්ට වේදනාවක් ගෙන දුන්නද, එයම ඔහුට මෙතෙක් ඔහුගේ සිතේ තෙරපෙන පැනයට පිළිතුරක්ද වීය. ඒ, මෙම රෝගයෙන් ඔහුව මිය ගියහොත් චන්ද්‍රාව, දොස්තර නිහාල් විසින් අනිවාරයෙන්ම විවාහ කර ගන්නා බව ඔහු දැන් දන්නා නිසාය.

චන්ද්‍රාගේ උපන් දිනය පැමිණියේද මේ අතරේදීය. විමල්ට උවමනා වූයේ වෙන වසරවල උපන්දින උත්සවයක් ගන්නා සේ, මෙවරද එම උත්සවය ගැනීමටය. එහෙත් චන්ද්‍රා කීවේ එය රෝහලේ කාර්ය මණ්ඩලය අතරේ පමනක් සිදුවිය යුතු බවකි. සාදය අලෝකමත් කළේ බේබි සන්ධ්‍යාය.

"ලස්සන සුදු ඇන්ටි මගේ
උපන් දිනය අදයි ඔබේ
සිරියාවයි මුහුණ ඔබේ
හිනා වෙන්න මලක් වගේ

" ලස්සන රත්තරන් බබෝ
මුතු ඇටයක් නේද බබෝ
සුවඳ මලකි ඔයා බබෝ
දෙවියො දුන්නු පුංචි බබෝ "

දොස්තර නිහාල් හා විමල් දැඩි හිත මිතුරන් වූ හෙයින්, දිනක් විමල් දොස්තරගෙන් ඉල්ලීමක් කළේය. ඒ යම් හෙයකින් තමා මිය ගියහොත් චන්ද්‍රාව වැන්දඹුවක් නොකර විවාහ කරන ලෙසය. දොස්තර කීවේ ඔහු කෙසේ හෝ විමල්ව සුවකරන බවයි. නමුත් විමල්ගේ හිත සනසවන්නට ,විමල්ගේ ශෛලකර්මයේදී කිසියම් අනේපේක්ෂිත දෙයක් සිදුවුවහොත් තමා චන්ද්‍රාව විවාහා කර ගන්නා බවට විමල්ට පොරොන්දු විය.

චන්ද්‍රා විමල්ව වෙනත් රෝහලකට රැගෙන යාමට උත්සහා කළේ, ඉදිරියේදී විමල්ට කරන ශෛලකර්ම⁣යේදී දොස්තර නිහාල් සැලකිල්ලකින් නොකරයි යන සැකයෙනි. තමාව ලබා ගැනීම නිසා ඔහු එසේ කරනු ඇතැයි ඇයගේ සිත කියන්නට විය. එහෙත් එයට විමල් එක හෙළාම විරුද්ධ විය. නමුත් විමල් චන්ද්‍රාට කීවේ යම් හෙයකින් තමා මිය ගියහොත් ඇය දොස්තර නිහාල් සමඟ විවාහ වන්නට කියාය. එයින් චන්ද්‍රාගේ සිත දැඩිව පෑරුණු අතර, ඇය කීවේ, එසේ වූවහොත් ඇයද මිය යන බවයි.

කියන්න රන්කඳ, මොන හිතකින් ඔබ
කීවාදැයි මට මේවා
ඇයි මගෙ රන්කඳ, හිතට එකඟවද
කියන්නෙ ඔබ මට මේවා "

බේබි සන්ධ්‍යාගේ ⁣රෝගය උත්සන්න වී ඇය මිය ගියාය. එය චන්ද්‍රාට කිසිසේත් දරා ගත නොහැකි විය. මෙම කුඩා දරුවාගේ මරණය, අධ්‍යක්ෂකට ප්‍රේක්ෂකයාව චිත්‍රපටය හා දැඩිව බදවා ගැන්මට හොද 'ඉමෝෂනල්' පොයින්ට් එකක් විය. මට මතක හැටියට අපේ අම්මලා මෙම දර්ශනය නරඹන විට ලේන්සු විකා ගනිමින් ඉකි ගසා හැඩුවේ හරියට තමාගේ දරුවකුගේ මළගෙයක මෙනි. අම්මලාද අධ්‍යක්ෂකගේ ඉමොෂනල් පොයින්ට් එකට අසුවී තිබුණි.

විමල්ගේ ශෛලකර්මයේ දිනය ලගාවිය. චන්ද්‍රා මංගල ඇදුමෙන් සැරසී සිටිනවා දකින්නට විමල්ට අවශ්‍ය විය. විමල්ටත් හිතෙන්නේ මාරම දේවල්ය.

" මොනවා හිතාගෙන මාව කැඳෙව්වද, රත්තරනේ මාගේ
මංගල ඇඳුමෙන් සැරසී එන්නට
කිව්වේ මොකද අනේ"

දොස්තර නිහාල්ට ,තම මවගෙන් බේරිල්ලක් නැතිවූයේ ඉක්මනින් විවාහයක් කර ගන්නට කියාය. එහෙත් ඔහුට ඊට ප්‍රථම චන්ද්‍රා තමාව අත්හැර ගිය හේතුව දැනගැනීමට උවමනාම විය.

මේ ගැන ඔහු චන්ද්‍රාගෙන් විමසන විට ඇය කීවේ මෙවැනි කථාවකි. තම පියා ,ඔහු රැකියා කරන ස්ථානයේ මුදල් වංචාවකට අසුවී තිබුණි. ඔහු එය නොගත්තද, ඒවා තිබුණේ ඔහුගේ පාලන⁣ය යටතේ නිසා ඒ විශාල මුදල් ප්‍රමාණය එම සමාගමේ හිමියා ඇයගේ පියාට පියවන්නට කියා තිබේ. එහෙත් යම් හෙයකින් චන්ද්‍රා ඔහුගේ පුතාව විවාහ කර ගතහොත්, පියාව මෙම චෝදනාවෙන් නිදහස් කරන බවද සමාගම හිමියා ඇයට කියා තිබේ. තම පියාව මෙම ⁣නොකෙරූ හොරකමින් ගලවා ගන්නට උවමනා නිසා, ඇය එම සමාගම් හිමියාගේ පුත්‍රයා වූ විමල් සමඟ විවාහ වූ බවත්, ඇය කිසිදිනයක දොස්තර නිහාල්ට ⁣ද්‍රෝහී නොවු බවත් , වෙන කළ හැකි දෙයක් නොවූ නිසා විමල්ව විවාහ කර ගත් බවත්, එහෙත් දැන් ඔහු තමාගේ සැමියා නිසා , තමා පතිවත රකින සුවිනීත බිරිඳක් බවත් , කීවාය. එහෙයින් දොස්තර නිහාල්ට වෙනත් විවාහයක් කරගන්නට කියා ඉල්ලීමක්ද කළාය. හේතුව දැන ගත් පසු දොස්තර නිහාල් තමාට විවාහවීමට සුදුසු කෙනෙක් සොයන්නට කියා තම මවට කීය.

ශ්‍රීධර් තම 'නෙන්ජීල් ඔර් ආලයම්' චිත්‍රපටය සෝකාන්තයක්ම කිරීමට උත්සහා ගත්තේ නැත. ඔහුගේ චරිත වූ මුරලි, සීතා හා දොස්තර වෙනූ, අතරින් සීතාගේ සැමියාව හදිසි හෘදාබාධයකින් මිය යන්නට සලස්වා ඇයගේ පරණ පෙම්වතා වූ දොස්තර වෙනූ සමග එකතු වන්නට ඉඩ සැලසීය. එහෙත්, 'සැමියා බිරිඳගේ දෙවියා' චිත්‍රපටයේ කථා රචක චිත්‍රානන්ද අබේසේකර කළේ වෙනත් දෙයකි.

විමල් ගේ ශෛලකර්මය දොස්තර නිහාල් ඇතුළු විශේෂඥ්ඥ වෛද්‍ය වරුන්ගේ පැය ගානක ප්‍රතිපලයකින් පසු එය සාර්ථක ලෙස නිම කළහ. විමල්ට සිහිය ආ සැණින්ම දොස්තර නිහාල් දිව ගියේ චන්ද්‍රා සිටි තැනටය. ඔහු ඇයට මේ සතුටු දායක ආරංචිය කී සැනින්, ඒ අධික සතුට ඇයට දරා ගැන්මට නොහැකි විය. ඇය හදිසි හෘදාබාධයකට ගොදුරුවී මිය ගියාය. චිත්‍රානන්ද අබේසේකරට අවශ්‍ය වී තිබුණේ මෙය සෝකාන්තයකින් නිම කිරීමට විය හැක. එකල හැටේ දශකයේ සිංහල ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වූයේ කඳුළු සලා ගෙන හෝල් එකෙන් පිටවීමටය. එයට විශේෂ හේතුව වූයේ එකල චිත්‍රපට බොහෝ විට නරඹනුයේ කාන්තාවන් වීම නිසාය. ඔවුනට අවශ්‍ය චිත්‍රපටයේ චරිත සමඟ බද්දවී හැඩීමටය. අවසානයේදී මිය ගිය චන්ද්‍රා අහසේ වළාකුළු මත පාවෙනවා පෙනුනු අතර,මිය ගිය කුඩා දැරිය වූ බේබි සන්ධ්‍යාද වලාකුළු හරහා ඇවිත් චන්ද්‍රාට එකතු විය. ගැහැණුන්ව හැඬවීමට එයට වඩා වෙනත් දෙයක් තිබේද?.

"සැමියා බිරිඳගේ දෙවියාය" චිත්‍රපටයේ චන්ද්‍රා වුයේ එකල කාන්තා ප්‍රතිමූර්තිය, සිංහල සිනමාවේ කඳුළු බිදුව වූ රුක්මණී දේවිය. ඇය සමඟ හඬන්නට එකල අප ප්‍රේක්ෂිකාවන් පෙළගැසී සිටියහ. අසෝකා පොන්නම්පෙරුම දොස්තර නිහාල් වූ අතර, හැමවිටම දුෂ්ටම චරිත රඟපාන ඩොමි ජයවර්ධනට මෙවර ලැබුනේ අතීශය සංවේදී චරිතයකි. ඒ, පිළිකා රෝගයට ගොදුරු වූ චන්ද්‍රාගේ සැමියා වූ විමල්ගේ චරිතයයි. ධර්මශ්‍රී රණතුංග, බොනිපස් ප්‍රනාන්දු, එල්.එම්.පෙරේරා, විජිත මල්ලිකා, එඩී ජයමාන්න, පර්ල් කුරේ, ලක්ෂ්මී බායි, තලතා ගුණසේකර, සහ බේබී සත්‍යා සෙසු චරිත රඟපෑහ.

සංගීතය මොහොමඩ් සාලි ගෙනි. රුක්මණි දේවී, එච්.ආර්.ජෝතිපාල, මොහිදින් බෙග්, සුජාතා අත්තනායක, චිත්‍රානන්ද අබේසේකර විසින් පබැදූ ගීත ගායනා කළහ.

ඩබ්ලියූ, එම්. එස්. තම්පෝ , නිෂ්පාදනය හා අධ්‍යක්ෂනය කළ 'සැමියා බිරිඳගේ දෙවියාය' චිත්‍රපටය මීනා මූවිස් ඉදිරිපත් කිරීමක් වූ අතර,එය 1964 අගෝස්තු 6 වෙනිදා සිට තිරගත කීරීම ආරම්භ විය.

"සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ,
දිගු කල් ජීවත් වන්නකෝ."

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.