අපට කොයින්දෝ රන්වන් රං ඔන්චිල්ලා

රං ඔන්චිල්ලා
නොවැම්බර් 7, 2019

ධර්මශ්‍රී කල්දේරාගේ මුල් සිනමා ශානරය සිදුවුයේ 'ඇඩ්වෙන්චර් ඇන්ඩ් ත්‍රිල්ස්' යන 'කැටගරිය' යටතේය. කල්දේරා, අනෙක් සිනමා කරුවන්ගෙන් වෙන්ව,කැපී පෙනුනේ ඒ නිසාය. ඔහු මුල් කෘති කිපයටම ප්‍රධාන චරිතය සැකසුම් කළේ ගාමිණී ෆොන්සේකාගේ පෞරුෂත්වයට සරිලන ලෙසටය. විශේෂයෙන් 'සූරයා, වීරයා, චන්ඩියා' යන චරිත සම්මිශ්‍රනය තුළය, කල්දේරා තම ප්‍රධාන චරිතය ජීවමාන කළේ.

අන් අතකට අර මුලින් කී විලස, ගාමිණී ෆොන්සේකා ගේ ප්‍රතිරූපය තව තවත් ඉහල නංවා, ඒ හරහා චිත්‍රපටය තරමක් දෙදරවීමටය, නිතරම කල්දේරා උත්සහ කළේ. එය ඔහුගේ මුල් චිත්‍රපටය වූ 'සීතල වතුර' තුළින් පටන් ගති. 'රෑන ගිරව්' එහී ඉදිරි පිම්මය. මේ චිත්‍රපට දෙක හරහා කල්දේරා තමාගේ චිත්‍රපට 'ෆැන්ටැසියක්' හදා ගත්තේය. 'මී මැස්සෝ' හා 'රත්තරන් අම්මා' කල්දේරාගේ අනෙක් 'කැටගරීස්'ය. මේ චිත්‍රපට හතරම ගාමිණී ෆොන්සේකා වෙනුවෙන්ම නිර්මාණය වූ චිත්‍රපටයන්ය. කල්දේරාගේ ඒ චිත්‍රපට හතරම 'හිට්' විය. ගාම්ණී ෆොන්සේකා එම හිට් වීමට බෙහෙවින් බලපෑවා සේම, කල්දේරා ගෙන ආ 'ත්‍රිලිං ඇඩ්වෙන්චර්' ක්‍රමයට ප්‍රේක්ෂකයන් කැමතිවිය. නගරයත්, ගම්මානයත්, කැලයත් එකට යාවෙන ලෙසටය කල්දේරා තම කථාව ගොතා ගැණුනේ. එහෙයින් 'ත්‍රිලිං' පැත්ත වැඩිය.

1966 වර්ෂයේ 'සීතල වතුර' අධ්‍යක්ෂණය කළ ධර්මශ්‍රී කල්දෙරා, 1967 වර්ෂයේ 'රෑන ගිරව්' අධ්‍යක්ෂණය කළේය. 1969 වර්ෂය තුළ 'මීමැස්සෝ' නිර්මාණය කෙරූ ඔහු ගාමිණී ෆොන්සේකාගෙන් බැහැරව එවකට සීග්‍ර ලෙසින් ජනප්‍රියට පත්වී එන කඩවසම් තාරුණ්‍ය වූ විජය කුමාරණතුංගව යොදවා ගෙනය 1971දී 'රං ඔන්චිල්ලා' නිශ්පාදනය හා අධ්‍යක්ෂණය කළේ. එයද නගරය, ගම, කැලෑව යාකර තැනූ චිත්‍රපටයක් විය. ගාමිණී ෆොන්සේකා කල්දේරාගේ චිත්‍රපට හරහා ගෙන ආ වීරත්වය, හා පෞරුෂත්වය නම් විජයට රං ඔන්චිල්ලා තුළින් ගෙන ඒමට නොහැකි විය. විජයගේ පෞරුෂත්වයේ අඩුව පිරවීමට, කල්දෙරා, රොබින් ප්‍රනාන්දු හා සේනාධීර රූපසිංහව ප්‍රධාන චරිත දෙකකට ගෙන ,අර අඩුව පුරවා දැමීය. එලෙසම එවකට ගුවන් විදුලියෙන් අතීශය ජනප්‍රියව සිටි තරුණ ගායක මිල්ටන් මල්ලවආරච්චිට සිනමාව තුළ ගී ගැයීමට අවස්ථාව විවර කර දුන්නේද ධර්මශ්‍රී කල්දෙරා විසිනි. ඒ 'තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ' ගීතය හරහාය. එමෙන්ම ගායක කේ. සේනවද චිත්‍රපට පසුබිම් ගායනයට මුලින්ම එකතු කරගත්තේද 'රං ඔන්චිල්ලා' චිත්‍රපටය තුළිනි. ඒ ඇන්ජලීන් ගුණතිලක හා ගයන 'මී විත ඔබ සමඟින් බොන්නම්' ගීතය සමගිනි. ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන නැටුම් කන්ඩායමක නාට්‍යංගනාවියක් ලෙස ලාංකේය සිනමාවට එකතු වූයේද, විජය කුමාරණතුංගගේ වැඩිමහල් සොහොයුර මෙන්ම, සිනමා නළු ජීවන් කුමාරණතුංග ගේ පියා වූ සිඩ්නි කුමාරණතුංගගේ ප්‍රථම හා අවසාන රංගනය පැමිණියේද 'රං ඔන්චිල්ලා' චිත්‍රපටයෙනි. එමෙන්ම ධර්මශ්‍රී කල්දේරා චිත්‍රපට නිශ්පාදකයෙක් ලෙස සිනමාවට එකතු වූයේද රං ඔන්චිල්ලා චිත්‍රපටය තුළිනි. ඒවා සුවිශේෂිත සිදුවීම් විය.

'රං ඔන්චිල්ලා' කථාශාරය ලියවී තිබුණේ 'රිද්මා' කේන්ද්‍රීය කරගෙනය. රිද්මාගේ චරිතය අධ්‍යනය කරන විට, එය සංකීර්ණ වූ චරිතයක් විය. ඇය රාගයත්, මුදලුත් අතර ගැටෙන බවක් ඇඟෙව්වද, ඇයගේ චරිතයේ ගැඹුර සොයා ගියහොත්, ඇය මේ තත්වයට පත්වූ ආකාරය සොයා ගත හැකි අතර, මේ සිදුවීම් සියල්ල ඇයගේ පිටටම දැමීම සාධාරණ නොවේ යැයි සිතෙනු ඇත. මෙහී එන බොහෝ චරිත රිද්මා සමඟ ගැටී විනාශ වුනු, විනාශ වෙන්නට ගිය අයය. කල්දේරා චරිත ගනනාවක් රිද්මා වටා කරකවන්නට විය. සුගත්, වික්‍රම,ප්‍රසාද්,සේනක, හා රේඛා පමණක් නොව, සයිමන් හා සිසීගේ ජීවිත වෙනස් වන්නේද රිද්මා නිසාය.

කල්දෙරා, රිද්මාගේ පෙර තිබූ ප්‍රේම සම්බන්ධයක් එළිදරව් කරනුයේ ඇය සුගත්ව විවාහ කර ගත්තාට පසුවය. ඒ ඇය සේනක සමඟ තිබූ සම්බන්ධයයි. එලෙසම ඇය සේනක අතින් අනාථ වූ බවක්ද ප්‍රේක්ෂකයාට දන්වන්නේ ඇයට යළි සේනකව හමුවූ පසුය. සේනක විසින් රිද්මාව අනාථ කර ඇයව මඟ හරිනු වස්, ඔහු පිටරටකට ගොස් ඇත. එහෙයින් ඇය, ඇයට වඩා තරමක් වැඩිමහලුවු සුගත් හා විවාහ වන්නට තීරණය කළේ හේතු කීපයක් නිසාය. ඒ ඔහුට හිමි විශාල වූ බූදලයත්, ඇය සේනක සමඟ අනාචාරයේ හැසිරීමෙන් අනාථ වූ නිසාත්ය. කල්දේරා කථාවේ මුල් හරිය ගලපා තිබුණේ ඇයට වාසිවන අන්දමටය. ඒ විවාහයට පෙර සුගත්ව අනතුරකට ලක් කර අබාධීත කිරීමෙනි. මේ හෙයින් සුගත් මේ විවාහයට අකමැති වූවද, රිද්මා එක හෙළා මේ අබ්බගාත සුගත්ව විවාහ කර ගැන්මට කැමති වූවේත්, ඔහු ලඟ සිට ඔහුට සාත්තු කළේත්, අර බූදලය ලබා ගැන්මටත්, අනාථ වූ ඇය කව්රුන් හෝ සමඟ විවාහ විය යුතු නිසාත්ය. එහෙයින් සුගත්ගේ අබ්බගාත කම ඇය ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

එහෙත් විවාහයෙන් පසු නම් ඇයට ප්‍රශ්න ගොඩක් ඇති විය. සුගත්ගේ අබ්බගාත කම නිසා, ඔහුට ඇය සමඟ විවාහ ජීවිතයේ පූර්ණ සතුට ඇයට ලබා දීමට නොහැකි විය. මේ හේතුවෙන් ඇය හුදකලා, අසහනකාරි, අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට විය. හැම රැයකම ඇය තම සැමියාගේ පහස නොලබා හැඬූ කඳුලින් ගත කරන්නට විය.

මේ අතර සුගත්ගේ සැර පරුෂ වූ පාලනයද ඇයව තවත් අසරණ කරන්නට විය. ඔහු ඇයට, ඔහු නොමැතිව නිවසින් පිට යාමට පවා තහනම් කරන්නට විය. නමුත් ඇයගේ යෙහෙළියක් වූ ශ්‍රියාගේ පැමිණීමෙන් ඇයට මේ තත්වයෙන් මිදෙන්නට හැකි විය. ශ්‍රියා කීවේ, මිනිස්සුන්ගේ අණසක යටතේ ජීවත් නොවී, සමාජ ශාලා වලට ගොස් ඇති තරම් විනෝද වන ලෙසටය. ශ්‍රියාද ගත කරනුයේ එවන් ජීවිතයක් බවත් ඇය ඇයගේ තරුණ ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන බවක් කීවාය. රිද්මා 'ක්ලබ්' ජීවිතයට හුරු වූයේ එලෙසය. ⁣ප්‍රසාද්ව ඇයට හමුවූයේ මේ ක්ලබ් ජීවිතය තුලදීය

 

මී විත ඔබ සමඟින් බොන්නම්

ජීවිතයක මිහිර සදන්නම්

සීගිරියේ ආදර වන්නම්

රඟන්න මම ගීත ගයන්නම්

 

සිනිඳු ඉඟක නෙත රඳවන

අනග පුදක හද බදවන,

සීගිරි දෝණි

සුවඳ මලක රුව අඟවන

පැණි කඳුලක මුව සඟවන,

සීගිරි දෝණී "

 

වික්‍රම මෙම කථාවට සමිබන්ධ වනුයේ සුගත්ගේ මල්ලි ලෙසය. ඔහු සිටින්නේද සුගත්ගේම විශාල නිවසේය. රිද්මාගේ නොමනා සම්බන්ධකම් හා ගමන් බිමන් නිසාත්, ඇය දැන් ඔහුගේ පාලනයට නතු නොවන නිසාත් තම බූදලය වික්‍රමගේ නමට ලිවීමට සුගත් කට යුතු කළේය. මේ බව දැනගත් රිද්මා, ප්‍රසාද් ට කියනුයේ සුගත්ව මරා දමන ලෙසටය. කල්දේරා මෙහිදෘ තවත් 'ජිමික්ස්' එකක් කළේය. ඒ ප්‍රසාද්, වික්‍රමගේ හොඳම යහළුවා ලෙසට පත් කිරීමය. ප්‍රසාද් රිද්මා සමඟ සම්බන්ධය ගෙනියන්නේ වික්‍රමට හොරාය. ප්‍රසාද්ට අවශ්‍ය වූයේද මුදල්ය. රිද්මාගේ සැලැස්ම වූයේ ප්‍රසාද් ලවා සුගත්ව බිය කර බූදලයට අත්සන් කර,ඉන්පසු සුගත්ව මරාදමා, ප්‍රසාද් සමඟ ජීවත් වීමටය. ⁣ප්‍රසාද්ටද මුදල් අවශ්‍ය නිසා සුගත්ව මැරීමට එකඟ විය.

මේ අතර සුගත්ට, වික්‍රමව හොඳ තැනකට විවාහ කර දීමට උවමනා වූයේ වික්‍රම තමන්ගේම වත්තේ කංකානම්ගේ දියණිය වූ රේඛා සමඟ ප්‍රේම සම්බන්ධයකට පැටලී ඇති නිසාය. රිද්මා කීවේ රේඛා වලව්වේ දංකුඩ කාපු උං කියාය. කෙසේ හෝ නියමිත පරිදී, ප්‍රසාද් වෙස්වලාගෙන රිද්මාගේ නිවසයට පැමිණ සුගත්ට බූදලයට අත්සන් කරන ලෙස තර්ජනය කර, එය ඉටු කරගැන්මට නොහැකි වූ විට ඔහුට පිහියෙන් ඇන පලා ගියේය. ඒ අවස්ථාවේ වික්‍රම එම කාමරයට ආ විට ,තම සොහොයුරා පිහි ඇනුම නිසා මරණාසන්නවී සිටිනු දැක, එම පිහිය තම අතින් ඇද එලියට ගන්නා විටම, රිද්මා විසින් පොලීසියට දන්වා තිබූ නිසා හරියටම ඒ වෙලාවටම පොලිසිය පැමිණ මේ මිනිමැරුම කර ඇත්තේ වික්‍රම බව සාක්ෂි ඇතිවම ඔප්පු වූ හෙයින්ද, රිද්මාද ,වික්‍රම විසින් සුගත්ට පිහියෙන් ඇන්න බව තමා සියැසින් දුටුවා යැයි කී නිසා, පොලීසිය වික්‍රමව කුදලාගෙන පොලිස් කූඩුවේ දැම්මහ.

මේ මිනී මැරුම නිසා එම බංගලාවේ වැඩ කරමින් සිටි සයිමන් හා සිසී, රේඛාවත් රැගෙන එම ගමින් පිටවිය.

සේනකගේ චරිතය නැවතත් පැමිණෙන්නේ මේ අතරේදීය. ඔහු යලිත් රිද්මා සමඟ සම්බන්ධයක් පටන් ගනී. රිද්මාද මිය ගිය සුගත්ගේ මුදල් වලින් මිනිසුන් මාරුකරමින් ඉතාමත් රාගාධීක සැපපහසු, ජීවිතයක් ගත කරන්නට විය.සේනකද එවන් කෙනෙකි. ඔහු ඔහුගේ වත්තේ බංගලාවට ගමෙි කෙල්ලන්ව ගෙනත් ඩෙගා නටයි.

වික්‍රම පොලිස් අත්අඩංගුවෙන් පැන යන්නේ ඔය අතරේදීය. ඔහු එසේ පැන ගොස් කැලෑවකට වැදී හොරු කණ්ඩායමකට එකතු වී එහි නායකයාද වී පෝසත් මිනිසුන්ගෙන් හොරකම් කරමින් දුප්පත් මිනිස්සුන්ට බෙදා දී සූර සරදියල් වන්නට විය. රේඛාද මෙම කැලෑවට අහම්බෙන් පැමිණ මේ හොරුන්ටම අහුවුනද ,ඇයව වික්‍රමගේ ඇහැ නොගැටේ. ඒවා ධර්මශ්‍රී කල්දෙරාගේ 'ජිමික්ස්ය'.

ගමේ බංගලාවේ සිටි දවසක සේනකගේ ඇසට රේඛාව දක්නට ලැබූ අතර, ඔහු ඇයව 'රේප්' කිරීමට සැරසේ. එයින් ඇය බේරෙයි. මේ අතර හොර ගුහාවට නැටුම් කණ්ඩායමක්ද පැමිණ නැටුම් නටයි.

තක්කිට තරිකිට පදයට

නටපන් නෑනෝ

ලස්සන, ගස්සන උකුලට

හැඩ දෙන් නෑනෝ .

හැඩ දෙන් නෑනෝ

 

පොලිසිය හොර ගුහාව වටලන විට වික්‍රම කෙසේ හෝ පැන ගනී. සේනකගේ කාර් රථය රේල් පාරක් මැද හිරවෙන්නේ මේ අතරේදීය. එතැනට අහම්බෙන් මෙන් වික්‍රම හා තව සඟයන් දෙදෙනෙක් පැමිණ කාරය තල්ලු කර දී සේනකව බේරයි. ඒ වෙනුවට සේනක වික්‍රම හා අනෙක් දෙදෙනාට තම කාර් සේල් එකේ රැකියාවක් දෙයි. එලෙසම වික්‍රම සේනකගේ තාවකාලික රියදුරාද වේ.

රිද්මා සේනක සමඟද සම්බන්ධයක් ගෙන යන බවත්, ඇය තමාව මඟහරින්නේ සේනකගේ මුදල් වලට වහවැටි ඇති නිසා බවත් ප්‍රසාද් දැනගනී.

එක් දිනක් ප්‍රසාද් සේනක හා රිද්මා එකට සිටින විට එතනට කඩා පනී. ඉන්පසු එතන හෙන ගුටි කෙළියකි. රිද්මා පොලිසියට ටෙලිෆෝන් කරයි. ඒ අවස්ථාවේ සේනකගේ රියදුරු ලෙස පැමිණි සිටියේ වික්‍රමය. රේඛාද ඒ අවස්ථාවේ එතැනට පැමිණීය. ඒවා ධර්මශ්‍රී කල්දේරාගේ හාස්කම්ය. අප ඒ ගැන ඒ තරම් සිතිය යුතු නොවේ. සේනකව බේරාගැනීම නිසා වික්‍රම ,ප්‍රසාද් සමඟ ගුටිබැට හුවමාරුවක් සිදුවූයේ මුලින්ම ඔවුන් දෙදෙනා හඳුනා ගෙන නොතිබූ නිසාය. පසුව දෙදෙනා හඳුනා ගන්නා විට එතැනට පොලීසිය පැමිණ සිටියහ. සිංහල චිත්‍රපට තුල මේ වගේ අද්භූත මැජික් සිදුවන නිසා, ප්‍රේක්ෂකයා ඕවා හාරා අවුස්සන්නට යන්නේ නැත. අවසානයේ ප්‍රසාද් ඇත්ත එළිකරයි. සුගත්ව මැරුවේ තමා බවත්, එය කළේ රිද්මාගේ ඉල්ලීමට බවත් ඔහු පාපොච්චාරණය කරයි.

ප්‍රසාද් හා රිද්මා සිරගෙට නියමවූ අතර,වික්‍රම හා රේඛා එක්වන බව අපට ඉඟි කළහ. සේනක තුෂ්නිම්භූතව බලා සිටියේය. පැද්දෙමින් සිටි රං ඔන්චිල්ලාව නතර විය.

පර්ල් කුරේ රිද්මා ලෙස දක්ෂ රඟපෑමක නිරත වුණි. විජය කුමාරණතුංග (වික්‍රම) ස්වර්ණා කහවිට(රේඛා), රොබින් ප්‍රනාන්දු(ප්‍රසාද්), සේනාධීර රූපසිංහ(සේනක),සිඩ්නි කුමාරණතුංග (සුගත්) ලෙස ප්‍රධාන චරිතවලට පන දුනි. ප්‍රේමසිරි කේමදාස සංගීතය මෙහෙය වූ 'රං ඔන්චිල්ලා' තිරගත කිරීම ආරම්භ කළේ 1971 මාර්තු 14 වෙනදාය.

 

රන් කෙන්දෙන් රණින් සැදූ රං ඔන්චිල්ලා

අපට කොයින්දෝ රන්වන් රං ඔන්චිල්ලා

 

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

ශෝන් මැක්ස්මස් දිසානායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.