කැන්දන් එනවා දුම්බර මැණිකේ

නොවැම්බර් 14, 2019

අප්‍රිකානු ගෝත්‍රික කථා ශෛලිය දයා රාජපක්ෂ තම 'හුලවාලි' චිත්‍රකථාව තුළින් මවා පෑවේය. චිත්‍රකථාව තුළින් මැවුණූ ඒ අමුතුම චමත්කාරය සැලෝලයිඩ්පටය හරහා පෙන්වීම නම් තරමක අභියෝගයකි තිර රචනය ලියු. ධර්මසිරි ගමගේ ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඩබ්ලියු.ඒ.බී.ද.සිල්වා විසින් චිත්‍රපටයක් කළ , මේ දයා රාජපක්ෂගේ හුලවාලි චිත්‍රකථාවටය.

කථාවේ මුඛ්‍ය චරිතය ධාරා වූවද, සියලු හැල හැප්පිලි සිදුවෙන්නේ සුබා හරහාය. එහෙයින් සියලු චරිත අභිබවා සුබා මතුවීම වැළැක්විය නොහැකි විය. සුබා යනු අනුරාගීක ස්ත්‍රියක් යැයි දයා, ඉස්මතු නොකළාට ඩබ්ලියු. ඒ.බී.ද.සිල්වා චිත්‍රපටය තුළින් ඒ හැඟීම ගෙන ආවේය. කළු සුදු පටය තුළින් බේරී බේරී ආයේ සුබාගේ අනුරාගයමය. එය ධාරාගේ රෞද්‍ර කමට වඩා දැඩි විය.

සුබා ධාරා සමඟ අතෘප්තිමත් ජීවිතයක් ගත කරන බවකි මුල සිටම පෙනුණේ. සුබා, අහේනීකව පීඩා විදින විට, රැහේ නායකයා වූ ධාරා, ඇඟ පත නිරා වරණය කරගෙන, ඇඳ කොටේ බරි ගැහී නිදියන්නට විය. සුබාට සිදුවූයේ ධාරාගේ පුෂ්ඨිමත් සිරුර දෙස බලා සුසුම් හෙළන්නටය.

දයා රාජපක්ෂ ⁣මෙම කථාව තුලට කුල බේදය ප්‍රධාන සාධකයක් කර ගෙන තිබුණී. කථාව ගලා යන ප්‍රධාන චරිත ධාරාවේ චරිත අයත් වූයේ කුලහීනයන් ලෙසය. ඒ රොඩී කුලයයි. බිබිලෙ ඇත්තො නියෝජනය වූයේ කුල ඇත්තන් වෙනුවෙනි. එවිට බැලුබැල්මට ප්‍රධාන ලෙස මෙම ඝට්ටනයනට මූලික වනුයේ කුල ඇත්තන් හා කුලහීනයන් අතරය.

ධාරා තම රළු ආධිපත්‍යයෙන් සුබාව රැක්කද, සුබාගේ සිරුරේ ලෝ දිය හැලියක් සේ පිච්චෙන සරාගීත්වය නිමන්නට ධාරාට නොහැකි විය. අන් අතකට ධාරාගේ විරූපි බව වුවද සුබා දරා සිටින්නට ඇත්තේ වෙන විකල්පයක් නොවූ නිසා විය හැක. එහෙත් ඇය ඔහුට සුචච බිරිඳක් වීමට හැකි හැම උත්සහයක්ම දැරීය. ඒ මොනවා නැතත් ඇයට ඔහුගෙන් රැකවරණය ලැබුණී. ඇය එය හොඳටම දැන සිටියාය.

'හුලවාලි' චිත්‍රපටය ආරම්භ වනුයේ ධාරා රෑහේ නායකයා ලෙස පත්වෙන උත්සවයෙනි. රැහේ නායකයා යනු ඉතාමත් බලගතු මිනිසෙක් යයි මුලින් හැඟුණද, පසුව බිබිලෙ ඇත්තෝගේ මුදල් හා අරක්කු බෝතලය ඉදිරියේ පීචං වෙන හැටි දුටු විට 'අයියෝ ධාරා' කියා සිතේ.

බිබලෙ ඇත්තො ⁣ කුඩා ගමට සේන්දුවෙන්නේ මුව හම්,ගෝන අංතට්ටු ගැනීමටය. ඒවා සොයා කුඩාගමට බඩ ගෑවේ ධාරාව මුණගැසීමටය. ඒ ධාරා ළඟ මුව, හා කොටි හම් තිබෙන නිසාය.ධාරාගේ සුන්දර අඹු සිඟිත්ත බිබිලෙ ඇත්තන්ගේ ඇස ගැසෙන්නේ ඔය අතරේ⁣දීය. සුබාව දුටු විටම බිබිලේ ඇත්තන්ට සිතුණේ 'මෙන්න ගෑණු' කියාය. ධාරාව මුණ ගැසුණු පසුය බිබිලෙ ඇත්තන්ට සිතුණේ මේ රූමත් ගැහැනිය සිටිය යුත්තේ තමා සමඟ මිස මේ ගොර හැඩි ධාරා සමඟ නොවන බව.ආඬියා බිබිලේ ඇත්තෝ සමඟ ඔරොප්පු වූයේ මෙතෙක් කල් ධාරා මෙම මුව හම් බිස්නස් එක කළේ ඔහු සමඟ නිසාය. බිබිලයා වැඩි ගාණට මුව හම් ගන්නා නිසා එයින් පාඩුවුණේ ආඬියාටය.

හදිසියේ ධාරා ව මුණ ගැසෙන්නට ආ මේ නන්නාඳුනන මිනිසා සමඟ ජවුසං නටන්නට සුබා පෙළඹෙන්නේ එතෙක් ඇය ධාරා සමඟ ගත කෙරු අතෘප්තිමත් ජීවිතය නිසාය. කෙසේ හෝ සුබාටද උවමනා වී තිබුණේ ධාරාගෙන් ගැලවීමටය. අතට වළලු, ගෙලට රිදී පොට වලින් සුබාගේ ඇග තුළ ඇති රාග ගින්න නිවෙන්නේ නැති බව ධාරාට නොතේරීමම ඔහුට සුබා අහිමි වීමට එක් හේතුවක් විය. බිබිලෙ ඇත්තන්ට මුව හම් ගෝ අංතට්ටු ගෙන ඒමට ධාරා හූරිගමට යන වේලේදී බිබිලෙ ඇත්තෝ සුබාගේ පැල් කොටේට රිංගනවා දුටුවේ පැපරාසි කාර්යකෙරූ ආඬියාය. 'තොපිට දෙන්නම් ජම්බු' කියමින් මේ ආරංචිය ධාරාව සොයා ගොස් කණේ තිබ්බෙ බිබිලෙ ඇත්තන්ගෙන් පමණක් නොව ධාරාගෙනුත් පළි ගන්නටය.

පළවැනි වර බිබිලෙ ඇත්තෝ බේරුණද, දෙවැනි වර ගඟ ලගදී සුබා හා බිබිලේ ඇත්තො නැටූ ජවුසම නම් අතේ මාට්ටු විය. එයද පැපරාසි ආඬියාගේ සුපිරි මිෂන් එකකි. එවර නම් ධාරාගේ පොරෝ කෙටිය කෙළින්ම එල්ල වූයේ බිබිලෙ ඇත්තෝගේ නළලටය. ලේ හලාගෙන බිබිලයා ගඟට ඇද වැටුණෙ ආයෙත් අනුනගේ ගැහැනුන් දිහා නොබලන්නටය.

එහෙත් ධාරාගේ මනුස්ස කම ඉස්මතු වූයේද මෙතැනදීය.එලෙසම යථාර්ථය තේරුම් ගියේද මෙතැනදීය.ඔහු තමාගෙන් පොරෝ පාර කෑ බිබිලෙ ඇත්තන් ව තම පැල් කොටයට කුදලාගෙන පැමිණ ඔහුව යථා තත්වයට පත්වන තුරු සාත්තු සප්පායම් කළේය.

ඩබ්ලියු. ඒ. බී.ද සිල්වාට තම රූප රාමු නිසි ලෙස රූ ගත කිරීමට දයා රාජපක්ෂගේ චිත්‍ර කථාවේ අතින් ඇඳුණු පින්තූරු මනා පිටිවහලක් විය. අන් අතකට සිල්වා දක්ෂ කැමරා කරුවෙකු නිසා රූප රාමු පිළිබදව ඔහු තුල තිබූ පරිණත දැනුම 'හුලවාලි' හී කැමරාකරණය සාර්ථකව නිම කිරීමට ඔහුට හැකි විය. ආලෝ⁣කකරණයේ සමතුලිතාවය ඔහු විශිෂ්ට ලෙස පවත්වා ගෙන ගියහ.

මේ ගැහැනියව තවත් මෙතැන තබා ගෙන පවුල් කෑමට නොහැකි බව ධාරාට වැටහෙන්නට විය. ඇයගේ හිත ගිය තැනටම පංගාර්තු කිරීමට ඔහු තීරණය කෙරීය. බිබිල ඇත්තන්ට වැටුණේ මාර මරාලයකි. දැං මේ රොඩී ගෑනිවත් උස්සගෙන කුලැත්තන්⁣ගේ ගම්මානෙට පලයල්ලකො.

බිබිලයා මාරුවෙන්න දැඟලුවද, ධාරා එක්ක ඒ සෙල්ලම් නොහැකි විය. බිබිලයාට 'නො චොයිස්'ය. සුබාවත් කුදලාගෙන ගම්බලා යන්නටම සිදුවිය. ධාරා ගත් තීරණය හරිය. වෙන එකෙක් එක්ක නිදි වැදුණු ගැහැනියක් ව තවත් තියා ගැන්ම තම රැහේ නායකත්වයටද හොඳ මදිය. නමුත් ගැහැනියකුගේ උවමනා එපා කම් ඉටුකර දීමට නොහැකි තමාත් පිරිමියෙක් දැයි, විටෙක ඔහුටම සිතුණි. අවසානයේ දී ඔහුට සිදුවූයේ බිබිලෙ ඇත්තො, සුබාව රැගෙන යන ⁣දෙස හිස් බැල්මෙන් බලා සිටින්නටය.

“ කුඩා ගමේ මද්දහනේ අව් රශ්නේ නිවා
හුරේ කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුබා”

බිබිලෙ ඇත්තන්ගේ ගමේ ගිරො නම් තරුණ කුලැත්තියක් බිබිලෙ ඇත්තො ගැන ඉමහත් ලෙස බලාපොරොත්තු තබා ගෙන සිටියාය. බිබිලෙ ඇත්තො ට තිබූ ප්‍රශ්නය ගිරො නොව, සුබාව කුලැත්තියක් කර ගමට එක්කගෙන යාමය. කිසිසේත් ඇයව, රොඩී ගැහැණියක් සේ හඳුන්වාදීම නම් කළ නොහැකිය.

එහෙම වූවෝත් නම් බිබිලෙයාගේ කාඩ් කුඩුය. එහෙයින් මෙයට උප්පරවැට්ටියක් නම් කළ යුතුමය. බිබිලෙ ඇත්තොට ප්ලෑනක් තිබුණි.

ඒ සුබාට උඩරට මනමාලියක් ලෙස අන්දවා කරත්ත පේළියකින් ගමට අරන් යෑමටය.

“කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පති කුලයට අද,
කැන්දන් එනවා, දුම්බර මැණිකේ”

තමාගේ බිරිඳව පිට ගමක එකෙකුට පවා දීම නිසා, ධාරාට රැහේ නායකයා පදවියෙන් ඉවත්වීමට සිදුවිය. ඔහු කීවේ මා කිසිදු වරදක් නොකෙරූ නිසා මෙම තනතුර යළි බාර දීම ගැන පසුතැවීමක් නොමැති බවය.

මේ අතර, බිබිලෙ ඇත්තොගේ ගම් වාසින්, නෑදෑ හිතවතුන් , සුබාව ඉමහත් හරසරින් තම ගමට පිළිගතී.

“වන ලන්දෙ හැංගුණු මූණ පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳීන් පිරී අද
පෙම් කෙළී වැව් කණ්ඩියේ
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්”

එහෙත් ටික කලෙකින් සුබා හා බිබිලෙ ඇත්තො සමඟ බහින් බස්වීම් ඇතිවුනු අතර, ඇය කුලැත්තියක් නොවන වගක් ගම්මුන් දැනගන්නට විය. එතැන් පටන් ඇයට එහී විසුමක් නොවීය. බොහෝ අඩම් තේට්ටම් වලට මුහුණ දෙන්නට සිදුවිය. ඇයට ධාරාගේ රැකවරණය සිහිවිය.ඇය මේ සියල්ලම දමා ගසා ධාරාව සොයා ගියාය.

ඒ දයාබර මිනිසා, සුබාව භාරගත්තා පමණක් නොව, බිබිලෙ ඇත්තාවද සොයා නැවත ඔවුන් දෙදෙනාව එක්කාසු කර, සමාදානයෙන් පිටත් කර හැරියේය.

එතරම් දෙයක් කෙරූ සුබාව ධාරා නැවත භාරගැනීම ගැන උරණ වූ රැහේ උන් එකෙකුගෙන් ධාරා අවසානයේදී ජීවිතක්ෂයට පත් විය. නමුත් එය සුබාවත්, බිබිලෙ ඇත්තෝවත් දැනන් සිටියේ නැත. ඒ වන විට ඔවුන් කුඩාගමින් එපිට බොහෝ දුර ගොස් තිබුණි.

ගාමිණී ෆොන්සේකා ධාරා ලෙස අතී විශිෂ්ටව රඟපෑවේය. එයට සමගාමීව සුවිනීතා වීරසිංහ සුබා ලෙසත්, ටෝනී රණසිංහ බිබිලෙ ඇත්තො ලෙසත් සුවිශේෂිත විය. ආඬියා, ධර්මශ්‍රී මුණසිංහය. රෙක්ස් කොඩිප්පිලි, එඩී ජූනියර්, අග්‍රා සජීවනී, දෙනවක හාමිනේ, පර්ල් වාසුදේව, චන්ද්‍රකලා, රැල්ප් විජේසේකර, ජයසේකර අපෝන්සු සෙසු චරිත වලට පණ දුනි. ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ, හා බන්ධුල විජේවීර ගීත ගායනා කළහ. සංගීතය වික්ටර් රත්නායක ගෙනි. ඩබ්ලියු. ඒ.බී.ද සිල්වා, කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කළ 'හුලවාලි" චිත්‍රපටය, ටියුලින් පනාපිටිය හා පී වික්ටර් පෙරේරාගේ නිෂ්පාදනයකි. 1976 අගෝස්තු 26 වෙනිදින සිට එය තිරගත කිරීම ආරම්භ කළේය.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී

රෑට නිදන තනි පැදුරෙ නැති සිහිනෙකි සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළන සකි
ආල වඩන යන තේරුම බෝසත්කම සකි"

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.