බෞද්ධයකු අධ්‍යක්ෂණය කළ ක්‍රිස්තු චරිතය

දෙසැම්බර් 26, 2019

ක්‍රිස්තුස් වහන්සේ වැනි ප්‍රබල චරිතයක් දෙස විවිධ දෘෂ්ටි කෝණ තුළින් බැලිය හැකිය. ප්‍රථමයෙන්ම ඔහුව අප⁣ට හඳුන්වා දෙන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසය. එහෙත් ආගමීක නියෝජනයක් ලෙස ඔහුව හඳුන්වන කල්හී, ක්‍රිස්තුස් චරිතය අපට හැඟෙන්නෙ තම ආකල්පයන් ජනගත කරන්නට වෙර දරන, එක්තරා රැඩිකල් නායකයෙකු ලෙසය.

ක්‍රිස්තුස්ගේ චරිතය වඩාත් ජනප්‍රිය වූයේ 'මැජික්' පෙන්වීමෙනි. එහෙත් එය මැජික් යන බාල වචනයකින් ⁣නොහඳුන්වා, ඒවා 'ප්‍රාතිහාර්ය' ⁣වැනි සාරවත් වචනයකින් හඳුන්වන්නේ මිනිසුන්ගේ හදවත් වලට 'ඇබ්සෝර්බ්' කිරීමටය. අන්ධයන්ට පෙනීම ලබා දීම, කොරුන් ඇවිද්දවීම, මළවුන් නැගිට්ටවීම, වතුර වයින් කිරීම, කුණාටු නැවැත්වීම, ලාදුරු රෝගීන්ව සුවකිරීම, වැනි බොහෝ විජ්ජා, ප්‍රාතිහාර්ය නමින් කිරීම තුලින්, ක්‍රිස්තුස්ගේ චරිතාපදානය ග්‍රන්ථ කරුවන්ට, නාට්‍ය කරුවන්ට මෙන්ම සිනමා කරුවන්ටද අපූරු 'ප්ලොට්' එකක් විය.

ඉන්ද්‍රජාලීක කථාවන් ඇසුරෙන් කළ 'ඇලඩින්', 'ඇවෙන්ජර්', 'ස්පයිඩර් මෑන්' ගනයේ චිත්‍රපට ගොන්නට ක්‍රිස්තුස් චරිතය අලලා නිර්මාණ වූ චිත්‍රපට වැටෙන්නෙ ඒ නිසාය. එහෙත් එහී තිබූ වෙනස නම් ඒවා හඳුන්වන වචනය. ඇලඩින් ශෛලයේ වූ චිත්‍රපට අර විජ්ජා ගනයට ඇතුලත් වන විට, ක්‍රිස්තුස් චරිතය විසින් කල ඒ විජ්ජා, ප්‍රාතිහාර්ය ලෙස හැදින්වීමය. තව අතකට ඇලඩින් හෝ ස්පයිඩර්මෑන් චිත්‍රපටවල තිබෙන විජ්ජා දෙස මිනිසුන් කට ඇර ගෙන හිනාවෙමින් බලන විට, ක්‍රිස්තුස් චරිතය තුලින් කෙරෙන මැජික් දෙස භක්තිමත් සිතින් බලා සිටීමය.

බොහෝ විදේශීය සිනමා කරුවන් පවා ක්‍රිස්තුන් ගේ චරිතය තුළ තිබූ රැඩිකල් තරුණ්‍යය හඳුනා ගත්තද, එය ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමට බිය වී තිබුණි. එහෙත් 1977 වසරේ දිගු ටෙලි සිනමාවක් වූ 'ජීසස් ඔෆ් නසරේත්' තුළින් නම් විටින් වි⁣ට ක්‍රිස්තුස්ගේ රැඩිකල් බව පෙන්වන්නට විය. එයම මා රොක් සංගීත ඔපේරා චිත්‍රපටයක් වූ ' ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' තුළිනුත් දුටුමි.

ක්‍රිස්තුස් ගේ චරිතය, සිනමාකරුවන්ට හොද 'ප්ලොට්' එකක් කියා මා මුලින් කීවේ එම කථාන්තරය තුළ තිබූ දැවැන්ත බවයි. මෙම කථාන්තරය, නිර්මාණයක්ද, නොඑසේ නම් සත්‍යම සිදුවීමක්දැයි යන තර්කය නම් කිසිදිනෙක බිද දැමීමට නොහැකි ප්‍රශ්නයක් වූවද, නිර්මාණ කරුවාට නම් එය ප්‍රශ්නයක් නොවීය. ක්‍රිස්තුන් බෙත්ලෙහෙමේ කුඩා ගවමඩුවක, ඉතාමත් දුගී ලෙස ඉපදුණිද, ඒ ඉපදීම තුළ සිනමා නිර්මාණයකට අවශ්‍ය ⁣ඓයිශර්යවත් සිදුවීම් රාශියක් තිබුණි.

ඔහුගේ උපතේ සිට තාරුණ්‍යය තෙක් සිදුවූ සිදුවීම් විමසිලිමත්ව බලන විට, ළමා කල තිබූ ශාන්ත බව, තාරුණ්‍යයේදී රැඩිකල් බවක් ගතී. සිනමා කරුවන්ට මෙම චරිත⁣යේ දැවැන්ත බව හමුවූයේ ඔහු තම අරමුණු කරා එක එල්ලේ සිටමින් එකල රෝම අධිරාජ්‍ය පාලකයන්ට අභියෝග කරන විටය. එවිට ඔහුව අපටද පෙනුනේ උද්ඝෝෂකයෙක්, කලහාකාරයෙක් නැතිනම් එක්තරා අන්දමක දේශපාලනීය නායකයෙකු ලෙසටය.

සිනමාකරුවා මෙම චරිතය තුළ තිබු 'බර' දැක්කේ ඒ තුළිනි. 'ජීසස්', 'ෆෝත් වයිස් මෑන්', 'ද මිරකල් මේකර්', 'ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්', 'ද කිංග් ඔෆ් කිංග්ස්', ' 'ජීසස් ඔෆ් නාසරෙත්', 'සන් ඔෆ් ගෝඩ්', 'ද ගෝස්පල් ඔෆ් ජෝන්', ' ද ලාස්ට් ටෙම්ප්ටේෂන්', 'ද රෝබ්', 'කිලිං ජීසස්' ' ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්', 'පැෂන් ඔෆ් ක්‍රයිස්ට්' වැනි අතී දැවැන්ත චිත්‍රපට ඇමරිකානු හොලිවුඩ් සිනමාවෙන් බිහිවුණේ ඒ නිසාය.

එලෙසම ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය අලලා 'ක්‍රිස්තායන්' නම් ඉන්දීය චිත්‍රපටයක් 2012 වසරේ හින්දි භාෂාවෙන් නිර්මාණය වූ අතර, එය ජියෝ ජෝර්ජ් පියතුමා විසින් අධ්‍යක්ෂණය කර තිබුණි. එය ක්‍රිස්තුස් ගේ චරිතය පිළිබද නිර්මාණය වුණු ප්‍රථම හින්දි චිත්‍රපටය විය.

'මුප්පත්තු වේලික්කාසු' නම් දැවැන්ත මලයාලම් චිත්‍රපටයක්ද ක්‍රිස්තු චරිතය ගැන නිර්මාණය වූයේ 2014 වර්ෂයේය. එය 3ඩී තාක්ෂණයෙන් නිපදවීමට ඔවුන් සමත් විය. ක්‍රිස්තුන් චරිතය ගැන ලොව නිර්මාණය වූ ප්‍රථම 3ඩී චිත්‍රපටය එය විය. කුරියන් වර්නසාල,ශයිනි ප්‍රභාකාරන්,

අජාසන්, සහ හිජ්ජාස් වැනි අධ්‍යක්ෂක වරුන් එක්වය මෙය අධ්‍යක්ෂණය කළේ. ජෙරමි ජායිරස් නම් නළුවෙකු මෙහි ක්‍රිස්තු චරිතය රඟපෑවේය.

මා ඉහතදී කී ලෙස , ක්‍රිස්තුන්ගේ චරිතය අලලා කෙරෙන චිත්‍රපට වලට විශාල ආයෝජනයක් කළ යුතු අතර, නිතරම පාහේ විශිෂ්ටතම රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් රඟපානු ඇත. එයට හොදම නිදසුනකි 1977 වර්ෂයේ ප්‍රැන්කෝ සෙෆ්රිලි විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි චිත්‍රපටයක් වූ 'ජීසස් ඔෆ් නාසරෙත්'. එහී රොබට් පටල් ක්‍රිස්තු චරිතය රඟපෑ අතර, සර් ලෝරන්ස් ඔලිවර්, ඇන්තනි ක්වීන්, ජේම්ස් මේසන්, රොඩ් ස්ටයිගර්, ඉයන් හෝල්ම්ස්, අර්නස්ට් බොගනි, මයිකල් යෝර්ක්, ක්‍රිස්ටෝපර් ප්ලමර්, ඩොනල්ඩ් ප්ලීසන්ස්, ස්ටේසි කේච්, ක්ලොඩියා කාඩිනල් ඉයන් මැන්ෂීන් වැනි දැවැන්ත ඇමරිකානු රංගන ශිල්පීන් එකම සිනමා පටයක් තුළින් දැක ගත හැකි විය.

පාස්කු වේදිකා නාට්‍ය, හා නත්තල් ටෙලිනාට්‍ය හැරෙන්නට, ලාංකේය සිනමා කරුවන් ක්‍රිස්තුන් ගේ චරිතය ගෙන චිත්‍රපටයක් කිරීමට උත්සුක නොවුයේ, එය ඉදිරිපත් කරන්නේ නම් දැවැන්තව කළ යුතු නිසාත්, අන් අතකට සීයයට හැත්තෑවක් පමණ බෞද්ධයන් සිටින රටක, ක්‍රිස්තුස්ගේ චරිතය අලළා කෙරෙන චිත්‍රපට අතළොස්සක් අතරට පමණක් ගොස් පාඩු විදින නිසාත්ය.

එහෙත් අසූව දශකයේ අවසන් භාගයේ සුනිල් ආරියරත්න,මේ අභියෝගයට අත දැම්මේය.ඔහු ක්‍රිස්තු තුමාගෙ ජීවන රටාව පුර්ණව අධ්‍යයනය කෙරූ අතර, කතෝලික සභාවද මෙය දැනුම්වත් කරමින් ඔවුනගේ අනුශාසනා ඇතිව මෙහි තිරනාටකය සකසන්නට විය. හොලිවුඩි හී නිපෑයුනු දැවැන්ත ආකෘති අමතක කරමින් ලංකීය ආර්ථීකයට ඔරොත්තු දෙන අන්දමට සකස් කිරීමට ඔහු පියවර ගතී.

මූලික සැලසූම් නිසියාකාරව සිදුවුණි. කතෝලික සභාව කල හැකි හැම උපකාරයක්ම සුනිල් ආරියරත්නට ලබා දුනි. ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිශ්පාදනයට එකතුවූ අතර, මෙහි අභියෝගාත්මක අංශය වූ කැමරා අධ්‍යක්ෂනය භාරකලේ අත්දැකීම් සපිරූ, ප්‍රවීණ එමෙන්ම අතී දක්ෂ ඩොනල්ඩ් කරුණාරත්නටය. කලා අධ්‍යක්ෂනය භාර වූයේ ලයනල් සිල්වාටය. මුළු සිනමා පටය පුරාම ප්‍රබල සංගීතයක් තිබිය යුතුය. මෙවන් චිත්‍රපටයකට ඇසූ පිරූ සංගීතඥ්ඥයෙක් සිටිය යුතුය. ප්‍රේමසිරි කේමදාසව එයට තෝරා ගත්තේ ඔහු හැරෙන්නට වෙන කෙනෙකු ගැන සිතීමටත් නොහැකි නිසාය.

ක්‍රිස්තුන් යනු හුදකලාවූ චරිතයක් නොවේ. ඔහුගේ චරිතය මෙලොව එළිය⁣ට ඒමටත් ප්‍රථම චරිත ගණනාවක් සුසෑදි පැහැදී සිටියෝය. ඔහු, ඉපදෙන විටත්, ඉන්පසුවත් චරිත විශාල ගනනක් එක් විය. වි⁣ශේෂයෙන් ඉපදීමට පෙර, දේවමෑණියන්, එතුමියගෙ මව්තුමිය ශාන්ත ආනා, දේව දූතයන්, ජුසේ තුමා, ඉන්පසු ඔහු ඉපදීමට පෙර සිට ,නක්ශාස්ත්‍ර කරුවන් හරහා කැලඹෙන රජ සභාවන්, එලෙසම ඔහුගේ ඉපදීම ⁣ගැන ඉව වැටී තරුවක් හරහා සොයා එන රජතුන්කට්ටු, ඉන්පසු ඔහු වැඩනු පසු ගැටෙන චරිත වූ පරිසිවරුන්, යුදෙව්වන්, හා මහා රජවරුන් වන කසිපාස්,පිලාත්, හෙරෝද්, එමෙන්ම මරිය මග්දලේනා, සලෝමි, පේදුරු, ජුවාම්, ජූදස්, එකී නොකී චරිත ගණනාවක්ම මෙම චරිත කථාව වටා ඒක රාශිවී තිබුණි.

සුනිල් ආරියරත්නට මේ හැම ප්‍රබල මෙන්ම සියුම් චරිත ගැන අධ්‍යයනය කළ යුතුව තිබුණේ මේ හැම මහා හා සුළු චරිත සියල්ලම ලෝක පූජිත වී තිබූ හෙයිනි. එහෙයින් ඔහු මෙම චරිත ඉතාමත් වග කීමකින් තෝරන්නට විය.

මරිය තුමියගේ චරිතයට ඔහුට අවශ්‍ය වී තිබුනේ කිසිදිනෙක රග නොපෑ, එමෙන්ම යළි කිසිදිනෙක රග නොපාන සුන්දර නෑඹුල් තරුණියෙකි. නතාලියා ඈන් ග්‍රීට් ව ඔහු තෝරා ගත්තෙ ඒ සියලු සුදුසු කම් සැපුරූ නිසාය. මරියතුමියගේ මෑණියන් වූ ආනා මව් තුමියගේ චරිතයට හයිසින්ත විජේරත්නව තෝරා ගත් පසු ,අනෙක් චරිත වලට අත තියන්නට විය.

රෙක්ස් කොඩිප්පිලි, මර්වින් ජයතුංග, සොමි රත්නායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රෝයි ද සිල්වා, මැණික් කුරුකුලසූරිය, රෝසි සේනානායක, සුමනා අමරසිංහ, තිස්ස විජේසුරෙන්ද්‍ර, විජය නන්දසිරි, බැප්ටිස්ට් ප්‍රනාන්දු, නීල්.එස්.අලස්,සුමනා ගෝමස්

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්ද, දයානන්ද ජයවර්ධන, වින්සන්ට් වාස්, විශාකා සිරිවර්ධන, ආනන්ද වික්‍රමගේ, සුනීතා විමලවීර, රන්ජන් රාමණායක ,සුමිත් මුදන්නායක, නිමල් පල්ලෙවත්ත, රන්ජන් ගයිනර්, වැනි විශාල ශිල්පීන් ප්‍රමානයක් එකී චරිතයන්ට තෝරා ගතී.

සියල්ල හරිය. දැන් විශේෂිතම චරිතය වූ ජේසු තුමාගේ චරිතය තෝරා ගත යුතුය. සියල්ලන්ම බලා සිටියේ ඒ දෙසය. එහෙත් සුනිල් ආරියරත්න, ඇලරික් ලයනල් ප්‍රනාන්දු වැන්නන් මුල සිටම ඔහු කව්දැයි දැන සිටියේ, ඔවුන් මෙය සැලසුම් කලේ ඔහුව මුල් කරගෙන නිසාය.

"තුෂාරා","හතර දෙනාම සූරයෝ""සංගීතා""දුලිකා""වාසනා", "අභිරහස" "අනුපමා" "බඹරු ඇවිත්" වැනි සෙල්ලක්කාර චරිත නිරුපනය කළ, එවකට ලංකේය සිනමාවේ සිහින කුමරු ලෙස අභිශේක ලද, එමෙන්ම වාමංශික දේශපාලනය නියෝජනය කෙරු "විජය කුමාරණතුංග" ක්‍රිස්තු චරිතයේ "ක්‍රිස්තුන් වහන්සේට තෝරා ගත් බව දැන්වූ විට මිනිසුන් ඇවිස්සුනේ මී වදයක් ඇවිස්සුනාක් මෙනි.

මාස ගණනාවක් මේ සම්බන්ධව වාද විවාද, තර්ක විතර්ක, කරන්නට විය. එලෙසම දේශපාලන බලපෑම්ද ගලා එන්නට විය. සුනිල් ආරියරත්න එයින් සැලුනේ නැත. ඔහු ස්ථීර තීරනයක් ගතී. ඒ, විජය කුමාරණතුංග නොමැතිව කිසි දිනෙයක මෙම චිත්‍රපටය නොකරන බවයි.

මෙයට යලිත් කතෝලික සභාව මැදිහත් විය. ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය රගපාන පුද්ගලයාගෙන් ඔවුනට කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, එම අදාළ චරිතය විකෘති නොකර, කතෝලිකයන්ගේ ඇදැහීමට නිගා නොවන ලෙස නිර්මාණය කරන්නේ නම් ඔවුනට ගැටලුවක් නොමැති බව පැවසීය. එලෙසම චිත්‍රපටය නිම කෙරූ පසු , අසීමිත ප්‍රදර්ශනයට මුදාහැරීමට පෙර, කතෝලික සභාවට මුල් දර්ශනය පෙන්විය යුතු බවට ඉල්ලීමක්ද කරහ. සුනිල් ආරියරත්නත්, ඇලරික් ලයනල් ප්‍රනාන්දුත්, විජය කුමාරණතුංගත් එයට එක හෙළාම එකග විය. එහෙත් කතෝලික ප්‍රේක්ෂකයන්ගෙ හිත් වල ඇති වූ කුකුස නම් අත් හැරුනේ නැත.

චිත්‍රපටය පටන් ගතී. විජය කුමාරණතුංගව ක්‍රිස්තුන්වහන්සේ ලෙස වෙස් ගන්වා පුවත් පත්වල පින්තූරු පළ විය. ශේෂා පලිහක්කාරගේ වේශ නිරූපනය සාර්ථක වී තිබුණි. විජය කුමාරණතුංග යන පුද්ගලයා සම්පූර්ණයෙන්ම යටපත් නොවුණද, ක්‍රිස්තුස් වහන්සේගෙ ස්වරූපය එයින් විකෘතිවී තිබුණේ නැත. චිත්‍රගාර පසුබිම් තුළ සේම, තේවත්තේ බැසිලිකාවේ කල්වාරි කන්දේ මෙය රූ ගත කෙරිනි.

1990 ඔක්තෝබර් 09 වන දින "ක්‍රිස්තු චරිතය" කතෝලික සභාවේ පූර්ණ අනුමැතිය මත අසීමිත ප්‍රදර්ශනයට මුදා හැරීය.

හොලිවුඩ් වල නිපද වූ ක්‍රිස්තු චරිත චිත්‍රපටවල තිබූ දැවැන්ත එමෙන්ම සුපිරි බව නොතිබුණද, තීටර් නාට්‍යයක් නොවී චිත්‍රපටයක් ලෙස සුනිල් ආරියරත්න ක්‍රිස්තු චරිතය ඉදිරිපත් කර තිබුණි. හැම විශේෂිත චරිත සදහා දක්ෂ එමෙන්ම පලපුරුදු නළුනිලියන්ව යෙදවූ නිසා ඔවුන් එම චරිත තුළ හරි අපූරුවට ජීවත් විය. සුනිල් ආරියරත්නගේ පිරිස් මෙහෙයවීමද සාර්ථක වී තිබුනි. කේමදාසයන්ගේ සංගීතය අතී විශිෂ්ට විය. කැමරාව, කලා අධ්‍යක්ෂනය, අංග රචනය, සංස්කරණයද චිත්‍රපටයේ සාර්ථකත්වයට උපරිම ලෙස බලපෑහ.

විජය කුමාරණතුංග ක්‍රිස්තුන් වහන්සේගෙ චරිතය මැනවින් හදුනාගෙන තිබු අතර, ඔහු ඔහුගේ මුළු ශක්තියම ඒ මත යොදා තිබුනි. අතීශය සාර්ථක ලෙස විජය කුමාරණතුංග ක්‍රිස්තුන් වහන්සේගේ චරිතයට අවතීර්ණ වීය . කතෝලික සභාවද ඔහු ක්‍රිස්තු චරිතය තිරය මත මැවූ ආකාරය ගැන සෑහීමකට පත්වීය. අවම සම්පත් තුළින් සුනිල් ආරියරත්න ලාංකේය කතෝලිකයන්ට ජිවීත කාලයටම මතක සිටින්නට දුන් ත්‍යාගයකි "ක්‍රිස්තු චරිතය" චිත්‍රපටය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.