විෂම භාගයට වැඩි ලකුණක්

දෙසැම්බර් 5, 2019

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ සමාප්ත වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය. සමස්ත උලෙළේ සිදුවූ සංවිධාන දුර්වලතාවන් ලොව පුරා විවේචනයට ලක් වුව ද මෙවර කාන්, වැනිස්, බර්ලින් වැනි ලොව ඉහළම ගනයේ සිනමා උලෙළයන්හි සම්මාන දිනූ චිත්‍රපට ඉන්දියානු උලෙළට එක් කරන්නට සංවිධායකයන් සමත්වීම සිනමා ලෝලීන් වු අපට වැදගත් විය. එබැවින් සංවිධානයේ ඇති දුර්වලතාවයන් ගැන වැඩි කතාවක් නොලියන්නට මම කැමැත්තෙමි.

ස්වර්ණ ජයන්ති සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය දිනා ගත්තේ පාටික්ල්ස් නම් ප්‍රංශ චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්ලේයස් හැරිසන් නම් තරුණ සිනමාකරුවෙකි. රණ මයුර සම්මානය දිනා ගත්තේ චිත්‍රපටයේ නිෂ්පාදිකා එස්ටෙල් ෆියලෝන් වූ අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 40 ක ත්‍යාග මුදල නිෂ්පාදක හා අධ්‍යක්ෂ අතර සමසමව බෙදා දෙන ලදී.

හොඳම අධ්‍යක්ෂට හිමි සම්මානය පිරිනැමුණේ මලයාලම් සිනමා කෘතියක් වූ ජල්ලිකට්ටු අධ්‍යක්ෂණය කළ ලියෝ ජෝස් පෙලිසේරිටය. ඒ සඳහා රජත මයුර සම්මානයක් සහ රුපියල් ලක්ෂ 15 ක් පිරි නැමිණ.

හොඳම නළුවාට හිමි රජත මයුර සම්මානය බ්‍රසීල සිනමා නළු සිව් ජොර්ජ්ට පිරි නැමුණේ මරිගේලා චිත්‍රපටය උදෙසාය. මරාති නිළියක වූ ඌෂා ජාදව් මායි ඝාත්: ක්‍රයිම් නම්බර් 103/2005 චිත්‍රපටය උදෙසා හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය දිනා ගත්තාය. මෙම සම්මාන සදහා පිරිනැමුණු ත්‍යාග මුදළ රුපියල් ලක්ෂ දහය බැගින් විය.

විශේෂ ජූරි සම්මානය ටිබෙට් චිත්‍රපටයක් වූ පේමා ට්සේදාන්ගේ බැලූන් චිත්‍රපටයට හිමි විය. මෙවර පිරි නැමුනු යුනෙස්කෝ-ගාන්ධි සම්මානය ඉතාලි සිනමාකරු රිකාඩෝ සැල්වෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද රුවන්ඩා චිත්‍රපටයට හිමි විය. හොඳම නවක සිනමාකරුට හිමි සම්මානය දෙදෙනෙකු අතර බෙදී ගියේය. ඒ අමිනි සිදි බොවුමිඩීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අබොව් ලෙයිලා චිතපටය හා මාරියස් ඔල්ටේනු විසින් අධ්‍යක්ෂණය කරන ලද මොන්ස්ටර්ස් චිත්‍රපටය වෙනුවෙනි.

අභිෂේක් ෂා විසින් අධ්‍යක්ෂණය කරන ලද හෙලාරෝ චිත්‍රපටය ජූරියේ විශේෂ සඳහනක් සටහන් විය. එමෙන්ම යුනෙස්කෝ ගාන්ධි සම්මානය සඳහා විශේෂ ජූරි සටහන භහත්තාර් හූරාණි චිත්‍රපටය ට හිමිවිය. මෙවර තරගකාරි අංශයේ තිබුණේ වෘත්තාන්ත චිත්‍රපට 26 කි.

මේ වසරේ සිනමා උලෙළ නියෝජනය කළ දේශිය චිත්‍රපටය වූයේ ලලිත් රත්නායක ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන විෂම භාග චිත්‍රපටයයි. විෂම භාග ප්‍රදර්ශනය වූයේ තරගකාරි අංශයේ නොවේ. එහෙත් මා විස්මයට පත් කරවූයේ එය ලද ප්‍රේක්ෂක ප්‍රතිචාරයයි. අපේ චිත්‍රපටයක් සම්බන්ධව ලද ඉහළම ප්‍රතිචාරයක් සියැසින් දැක ගැනීමේ භාග්‍යයඑහිදී මට හිමි විය. වන් වේ, තාත්තා ,තෙත් සහ වියලි ,අරුංගල් වැනි අපූරු ටෙලි නාට්‍ය නිර්මාණය කළ ලලිත් රත්නායක විෂම භාග නමින් මෙයට පෙර ඒකාංගික ටෙලි නාට්‍යයක් ද නිර්මාණය කළේය. විෂම භාග චිත්‍රපටය උලෙළ අතරතුර දෙවතාවක්ම ප්‍රදර්ශණය කළ අතර මුල් වරට තිර ගත වූයේ මෙවර සිනමා උලෙලේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අලුතෙන් එක්වූ සිනමා සංකීර්ණය වන පනාජි නගරයේම කොටසක් වූ පොරිවාරම් හි පිහිටි මෝල් ඩි ගෝවා සාප්පු සංකීර්ණයේ අයිනොක්ස් සිනමාහලකය. දෙවැනි වර එය තිර ගතවූයේ පාන්ජිම් නගර මධ්‍යයේ පිහිටි අයිනොක්ස් සංකීර්ණයේ ප්‍රධාන සිනමාහලේය. චිත්‍රපටයට පෙර දිනයේම විෂම භාග නැතහොත් දි අදර් හාෆ් නමැති මෙරට චිත්‍රපටයේ ආසන ඉක්මනින් පිරී යන අයුරු අපට පෙනිණ. මෙය අපේ ආශ්වාදයට හේතු විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක පැමිණීමට නියමිතව තිබුණේ එම දර්ශනයටය. ඒ වන විට ගම් පෙරළිය චිත්‍රපටය ලද බුහුමනින් අනතුරුව සුමිත්‍රා පීරිස් මැතිනිය ආපසු මව්රට යෑමට නියමිතව උන්නාය. ලලිත් සමග සිනමාකෘතියේ නිෂ්පාදක වූ පූජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමිපාණන් ද එහි වැඩම කළහ.

ලලිත් රත්නායක නිර්මාණය කළ විෂම භාග චිත්‍රපටය පිළිබඳ ප්‍රශස්ති සටහනක් නොලියා එදින සිනමාහලේ සිදුවීම පමණක් ලියා තබන්නට කැමැත්තෙමි. චිත්‍රපටය ආරම්භ වන විට ශාලාව පිරි ගොස් තිබිණ. චිත්‍රපටය මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබද කර්කශ විවේචනයකින් යුත් චිත්‍රපටයකි. තරමක් මන්දගාමි ශෛලියකින් යුත් විෂම භාග (නොඅනුමානවම එය ඔහුගේ ටෙලිවිෂන ශෛලිය නොවේ) සිනමාකරුවෙකුගේ අවංක කම පෙන්වා දෙන සිනමා කෘතියකි. එය වඩාත් සනාථ කළේ චිත්‍රපටය අවසන් වූ වහාම සිනමාකරු වටා රැස් වූ ප්‍රේක්ෂකයන් පිරිසය. ඔවුහු සිනමාකරු මෙන්ම අප ගරුතරු හිමිපාණන් ද අමතමින් චිත්‍රපටය පිළිබඳව අගයමින් කතා කළහ. ඉන්දියානු සිනමා උලෙළට සහභාගි වන බහුතරය සිනමාකරණය පිළිබද දන්නා පිරිසය. වර්තමානයේ ඒ සදහා සිනමාව හදාරන තරුණයන්ගේ වැඩි අවධානයක් ද යොමුව තිබීම වැදගත්ය. ඒ වන විට ලලිත් රත්නායක මෙරටින් බැහැර කිසිවකු හෝ දැන සිටි කෙනෙකුද නොවේ. එහෙත් ඔහු වටා රැස් වෙමින් චිත්‍රපටය පිළිබඳ අදහස් දැක්වුවෝ කිසිවකු හෝ එය ඔහුගේ ප්‍රථම සිනමා කෘතිය ලෙස නොසැලකූහ. කුඩා දරුවන් දෙදෙනා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන ජැක්සන් ඇන්තනි ගේ විශිෂ්ට රංගනය ද ඔවුන්ගේ අවධානය යොමුව තිබිණ. මෙයට පෙර වතාවක හෝගානා පොකුණ චිත්‍රපටය මේ සිනමාහලේ දීම නරඹද්දී ලද ආස්වාදය මට යළි සිහිපත් විණ. මේ මොහොතේ ලද ආස්වාදය මට පමණක් නොව චිත්‍රපට නැරඹීම සදහා එහි ගොස් සිටි සරසවිය සම්මාන දිනූ කලා අධ්‍යක්ෂ ලාල් හරීන්ද්‍රනාත්. සහාය අධ්‍යක්ෂවරුන් වන දමින්ද මඩවල සහ චාමර සේලාර සහ හීන හොයන සමනල්ලු සහ ඒ ලෙවල් චිත්‍රපට තැනූ රොහාන් පෙරේරාද සමසිතින් විඳ ගත්හ. එදින අපට වඩාත්ම සතුටු දවසක් විය. චිත්‍රපටය ලද උණුසුම් ප්‍රතිචාරය අප සියල්ලන්ටම ලැබුණ එකක් බඳු විය. හේතුව එය අපේ රටේ චිත්‍රපටයක් වීමය. චිත්‍රපටය සම්බන්ධ මගේ මතවාදය සිනමාකරු ලද ප්‍රතිචාරය නිසාම සිතින් බැහැර කළෙමි. චිත්‍රපටය ලද අනපේක්ෂිත ආකර්ෂණයෙන් වැඩි ගිය සිත් ඇති අපේ කණ්ඩායම පනාජි නගරයේ වීදියක් දිගේ පැමිණ සිටියේ අඳුර වැටෙන විටය. කිසිවකු ලලිත් යනුවෙන් අමතන හඬක් ඇසි අපි නතර වීමු. ඔහු අප කිසිවකු හෝ දන්නා කෙනෙකු නොවේ. ඔහු කේරළයේ සිට පැමිණි තරුණ සිනමාකරුවෙකි. ඔහුට ලලිත් සමග බෙදා ගන්නට බොහෝ දේ තිබිණ. ටික වේලාවකින් තවත් එබදුම තරුණයන් පිරිසක් අප ළගට පැමිනියහ. ඔවුහු ඉන්දියානුවෝය. තරුණ සිනමාකරුවෝය. එකෙකු සිනමාව හදාරන්නෙකි.තව එකෙකු කේරළයේ නිෂ්පාදක තරුණයෙකි.

‘ලලිත් අපි ඔබේ චිත්‍රපටය නැරඹුවා. එය ඉතාම විශිෂ්ට චිත්‍රපටයක්.‘

ඔවුන් සිනමා කෘතිය ගැන කතා කරන්නට පටන් ගත්තේ එහෙමය. මේ කතාබහ රටවල් දෙකේ සිනමාව තරුණ සිනමාකරුවන් මුහුණ දෙන ගැටලු කාටත් පොදු ඒවා බව අපට වටහා ගන්නට ප්‍රමාණවත් විය. ඔවුන්ට වඩාත් දැන ගන්නට අවශ්‍ය වූයේ චිත්‍රපටයේ පිරිවැය සම්බන්ධවය. කේරළයේ ද බොජ්පූරි හා ඇසෑමයේ පමණක් නොව මහාරාෂ්ට්‍රෙය් හා පන්ජාබයේ ද තරුණ සිනමාකරුවන් ට සාමාන්‍යයෙන් ලැබෙන වැය ශිර්ෂයම එක හා සමාන විය. ඔවුන් තරග වැදිය යුත්තේ එරටම බොලිවුඩ්, ටොලිවුඩ් කොලිවුඩ් සිනමාව සමගය. ඒ හා සටන් වැද ඔවුහු නිර්මාණාත්මකව ඉදිරියට ඇදෙති. සිනමාව යනු ලෝකය බලන්නට ඇති මහා කවුළුවකැයි කවදත් මට සිතෙන්නෙකි. එහි සිටින මහා නිර්මාණ කරුවෝ විසල් සිතුවම් මවා අප වෙත මුදා හරින්නේ ලෝකය මේ යැයි කියන්නටය. එහි ඇත්තේ පොදු ගුණාකාරයකි. ඒ මාවතේ දුටු අපූරු චිත්‍රපට පිළිබඳ විස්තර තවත් ඉදිරියට ලියන්නෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.