පුරුෂයෝ ස්ත‍්‍රී චරිත ශූර ලෙස රඟති

මැයි 21, 2020

ස්ත‍්‍රීන් සාහිත්‍යකරණයට යොමු වීම ඉතා විරලව දක්නට ලැබුණු සමයක මාතර යුගයේ ගජමන් නෝනා (1746-1814* සුවිශේෂ වේ. නූතන සාහිත්‍ය යුගයක පුනරුදයටද ඇයගේ දායකත්වය බලපෑ බැව් පෙනේ. පුරුෂ පක්ෂය හා කරට කර කාව්‍යකරණයෙන් වාද කරමින් ගජමන් නෝනා ස්ථාපිත කළ පෞරුෂය පසුකලක කලා ලොව අනේකවිධ ක්ෂේත‍්‍රයන්ට පිවිසි ස්ත‍්‍රීන් විෂයෙහි බලපෑ බව සිතීම සහේතුකය. ගජමන් නෝනා පොදු ජන කලාව හෙවත් ජනප‍්‍රිය ධාරාව නියෝජනය කළ කිවිඳියක බව සැබැවි. එහෙත්, ඇයගේ කාව්‍යකරණය හුදෙක්ම සහජ ප‍්‍රතිභාවෙන් පමණක්ම උරුම වූ කවිකමකැයි අප නොසිතිය යුත්තේ බාරස කාව්‍යය ලියූ පූජ්‍ය කරතොට ධම්මාරාම හිමියන්ගෙන් වේරගම්පිටිය රජමහා විහාරයේදී කවිකම හදාළ බැවිනි. එහෙත්, ගජමන් නෝනා සරල, සුගම ශෛලියකින් පෞද්ගලික අනුභූතීන් ඔස්සේ කවි කියූ, ලියූ කිවිඳියකි.


ඇගේ කවිකම සම්භාව්‍ය කාව්‍ය සම්ප‍්‍රදාය සොයා නොගොස් පොදු ජන කාව්‍ය ධාරාව නියෝජනය කළ බැව් පෙනේ. ඉන්පසුව අපට හමුවන රංචාගොඩ ළමයා ගජමන් නෝනා මෙන් නොව, සමාජයේ පහළ පන්තියකින් බිහිවූ කිවිඳියකි. හිටිවන කවියෙහි සහජ ප‍්‍රතිභාවක් තිබූ ඇය තම අත්දැකීම් ඇසුරෙන් කවිකමෙහි නියැළුණාය. විරෝධාකල්ප ඇයටම ආවේණික උපහාසාත්මක රීතියකින් මේ කවිවල පිළිබිඹු විය. රූණ හාමිනේ නමැති කිවිඳියද මෙහිදී අමතක කළ නොහැකිය. ස්ත‍්‍රීන්ට කලා ලොවට අවතීර්ණ වනු පිණිස ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, රූණ හාමිනේ ඈ කිවිඳියන් ඉටු කළ පුරෝගාමී මෙහෙවර සුළුපටු නැත. රූණ හාමිනේ ප‍්‍රතිභාපූර්ණ කිවිඳියකි. ඇය වෙදකමෙහිද නියැළුණාය. මහනුවර යුගයේ දස්කොන් හා පෙමින් බැඳුණු ප‍්‍රමිලා බිසවද ප‍්‍රකට කිවිඳියකි. දිසානායක ළමාඑතැනිද ”අනුරාග මාලය” ලියූ බලවත්තල මැණිකේද එදා මුල් පෙළේ කිවිඳියෝ වූහ.

නාට්‍ය කලාවෙහි නැඟීම පිණිසත් ස්ත‍්‍රීන්ට එයට ප‍්‍රවිෂ්ට වීමට තිබූ මැළිකම දුරලනු පිණිසත් නාට්‍යකරුවන් ස්වකීය නිර්මාණ ඔස්සේම විරෝධතා මැඩ, ප‍්‍රයත්න දැරූ බැව් පෙනේ. නාට්‍ය ගර්හිත කලාවක් ලෙස සමාජයේ කාවැදුණු වැරැුදි ආකල්පය නිවැරැුදි කිරීමට නුර්ති යුගයේ ප‍්‍රමුඛ නාට්‍යවේදියාණන් වූ නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් උත්සුක වූ බව ”මහානාම චරිත” (1913* නාට්‍යයෙහි රජ බිසව හා කවට ඉලංගසේන අතර ඇතිවන සංවාදයකින් සනාථ වේ. නැටුම් හා ගැයුම්වලින් ඇති ප‍්‍රයෝජන එහිදී ඉලංගසේන විසින් බිසවට පැහැදිලි කර දෙනු ලබයි. ඒ අතර වාරයේ බිසව මෙසේ විමසන්නීය.

”ඔපමණ හොඳ එකක් නම් නච්ච ගීත වාදිත යන්නෙන් තහනම් වී තිබෙන්නේ මන්ද?” පමා වී හෝ ඉලංගසේන විසින් මෙයට පිළිතුරක් දෙනු ලබයි.

”කාම සැප අනුභව කරන සත්වයාට හොඳ නමුත්, ලෝකෝත්තර ගමන යන අයට ඉන් අවැඩ වන්නේය” යනුවෙනි.

මෙරට කලාව, සභ්‍යත්වය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇති, දේශීය අක්මුල් තිබූ නාට්‍යවේදියකු වූ හෙයින් ජෝන් ද සිල්වා සූරීන් ස්වකීය ”මහනාම චරිතය” නාට්‍යය ඔස්සේ කලාව පිළිබඳ බෞද්ධ විග‍්‍රහය මෙලෙස නිරවුල් ලෙස සමාජගත කළේය. සෑම කල්හිම සමාජයක කාවැදුණු සාවද්‍ය මතවාද නිරවුල් කිරීමට පෙරමුණ ගත යුත්තෝ ජෝන් ද සිල්වා වැනි මෙරට සභ්‍යත්ව විඥානයෙන් පිරිපුන් කලාකරුවෝය. එසේ නොවුවහොත් ඇතැම් කලාකරුවන් තුළ මෙරට සභ්‍යත්වය පිළිබඳ පවත්නා මිථ්‍යා දෘෂ්ටීන් නිර්මාණ ඔස්සේ පොදු ජන සමාජයට කාන්දු වී ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයන් වීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙරට සභ්‍යත්වය, දර්ශනය, ජාතික අභිමානය, ස්ත‍්‍රීත්වය වැනි ප‍්‍රපංච මේ ආකාරයෙන් මිථ්‍යා මතවාදවලින් ¥ෂ්‍ය වූ අයුරු අප කොතෙකුත් දැක ඇත.

එවක පැවැති සමාජ තහංචි මැඩපවත්වා ස්ත‍්‍රීන්ගේ රංගන ප‍්‍රවිෂ්ටය වඩාත් තහවුරු වූයේ ටවර් හෝල් නාට්‍ය යුගයේදීය. එහෙත්, පුරුෂයන් ස්ත‍්‍රී භූමිකා රඟනු ඒ යුගයෙහිද දක්නට ලැබිණ. ඇතැම් නළුවන් ස්ත‍්‍රීන්ටත් වඩා ශූර ලෙස ස්ත‍්‍රී චරිත රඟපෑ අවස්ථාද නොතිබුණා නොවේ. එල්.ඞී.ඒ. රත්නායක මහතා විසින් විරචිත ”ටවර් හෝල් නාට්‍ය ඉතිහාසය” නමැති ග‍්‍රන්ථයෙහි දැක්වෙන එක් සිදුවීමකින් මෙය තහවුරු වේ. එංගලන්තයේ ශේක්ස්පියර් නාට්‍ය සංගමය සිය නාට්‍ය ප‍්‍රදර්ශනය සඳහා 1912 දී ලංකාවට පැමිණි බව යථෝක්ත ග‍්‍රන්ථයෙහි සඳහන් කොට ඇත. මේ කණ්ඩායමේ සාමාජිකයෝ කොළඹ හුණුපිටියේ පබ්ලික් හෝල් ශාලාවේ ”රෝමියෝ ජුලියට්” හා ”වැනීසියේ වෙළෙන්දා” යන නාට්‍ය රඟදැක්වීමට සූදානම් වී ප‍්‍රචාරක කටයුතු සිදු කළහ. මේ බව දැනගත් එවක ටවර් හෝල් නාට්‍ය සභාවේ ප‍්‍රධානියාව සිටි බී.ජේ. පෙරේරා වහාම සිංහල ”රෝමියෝ ජුලියට්” නාට්‍යය ඊට පෙර දින ටවර් හෝල්හි ප‍්‍රදර්ශනය කෙරෙන බවට ප‍්‍රචාරය කළේය. ”රෝමියෝ ජුලියට්” සිංහලෙන් පෙන්වන බව දැනගත් එංගලන්ත නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන නියමිත වේලාවේ ටවර් රඟහලේ අසුන් ගත්හ. විශේෂයෙන් එංගලන්ත නාට්‍ය කණ්ඩායමේ රෝමියෝ සහ ජුලියට් චරිත රඟපෑ ප‍්‍රකට බෙන්සන් නළු නිළි යුවළ සිංහල රෝමියෝ ජුලියට්ලාගේ හැකියාවන් දැක ගැනීමේ අපේක්ෂාවෙන් සිටියහ. ඔවුන්ගේ රඟපෑම් හොඳනම් රන් පදක්කමක් හා රන් මුදුවක් තෑගි දීමට එංගලන්ත නාට්‍ය කණ්ඩායමේ නායකයා බලාපොරොත්තු වී ඇත.

සිංහල රෝමියෝ ලණු ඉණිමඟක් දිගේ ජුලියට් සිටින සඳලූ‍ තලයට නැඟ, එහි සිට පෙම් කරන ජවනිකාව නැරැුඹීමට ඔවුහු සැදී පැහැදී සිටියහ. මේ අතර සිංහල නාට්‍ය කණ්ඩායමද වඩා හොඳින් රඟපා ත්‍යාග දිනා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බැව් පෙනේ. නාට්‍ය අවසානයේ සිංහල නළු නිළියන්ගේ හපන්කම් දැක මහත් ප‍්‍රීතියට පත් වූ එංගලන්ත නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ පොරොන්දු වූ පරිදි ත්‍යාග පිරිනැමීමට ඉදිරිපත් වූහ.

”ලන්ඩනයේ ජනප‍්‍රියතම රෝමියෝ ජුලියට් වන අප දෙදෙනා ලංකාවේ ජනප‍්‍රිය රෝමියෝ ජුලියට් වන ඔබ දෙදෙනාට මේ ත්‍යාග පිරිනමනවා” යැයි කියමින් බෙන්සන් මහතා රෝමියෝ ලෙස රඟපෑ මාර්ටින් ඕද්‍රිස් අප්පුහාමිට පදක්කම පැලඳ වූ අතර, බෙන්සන් මහත්මිය රන් මුදුව දැමීමට ජුලියට් ලෙස රඟපෑ නිළිය සෙව්වාය. එවිට ඉදිරිපත් වූ ඇන්ඩෲ පෙරේරා දැක ඇය මවිත වූවාය. ජුලියට් ලෙස මෙතරම් ශූර අයුරෙන් රඟපෑවේ ඇන්ඩෲ පෙරේරා නමැති පිරිමියා බව ඇය විශ්වාස නොකළාය. මෙහිදී සිංහල නාට්‍ය කණ්ඩායමේ නායක බී.ජේ. පෙරේරා ඉදිරිපත් වී එය සත්‍යයක් බව කියා සිටියදීත් ඇය තවදුරටත් විමතියෙන් සිටි හෙයින් බොරු කොණ්ඩය දමා ජුලියට්ගේ ඇඳුම් ඇඳ පෙන්වීමට ඇන්ඩෲ පෙරේරාට සිදුවිය. පසුව ඉංග‍්‍රීසි නිළිය බොහෝ ලැජ්ජාවට පත් වී රන් මුදුව ඇන්ඩෲ පෙරේරාගේ අතෙහි පැලඳුවාය.

අතීතයෙහි මතු නොව, මෑත කාලයෙහිද වේදිකාවේ ස්ත‍්‍රී චරිත ශූර ලෙස රඟපෑ නළුවන් දෙදෙනකු මා හට සිහිපත් වේ. ජයසේකර අපෝන්සු ඉන් එක් අයෙකි. ඔහු වැඩිමහල් කාන්තා චරිත රඟපෑමට (උදා: ”තටු” නාට්‍යය* දක්ෂයෙකි. අනෙක් නළුවා ජගත් චමිලය. ජගත් මේ හපන්කම පෑවේ පාසල් වේදිකාවේදීය. මෙරට පාසල් නාට්‍ය කලාව උසස් තත්ත්වයකට ගොඩනැංවූ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරු තිස්ස ගුණවර්ධනයන්ගේ මඟ පෙන්වීම මෙහිදී ජගත් චමිලට ලැබිණ. 1989 ”පසන් මාවත” පාසල් නාට්‍යයේ දිසාපාමොක් ඇදුරුතුමාගේ බිරියගේ චරිතය ජගත් රඟපෑ අතර, එවර සමස්ත ලංකා පාසල් නාට්‍ය උලෙළේ ඔහු හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ඒ ස්ත‍්‍රී භූමිකාව උදෙසාය. පසුව ”සඳේ අංකුර” පාසල් නාට්‍යයෙහි ගුරුවරියක ලෙස ඔහු රඟපෑ අතර, එවරත් සමස්ත ලංකා පාසල් නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට තෝරාපත් වූයේ ඔහුය. නමුත් හොඳම නිළිය සම්මානය පුරුෂයකුට පිරිනැමීමෙන් පාසල් නාට්‍ය නිළියන්ට අසාධාරණයක් වන බැවින් එතැන් සිට හොඳම නිළියට හිමි සම්මානය පිරිමියකුට පිරිනැමීම නවතා දැමීමට සමස්ත ලංකා පාසල් නාට්‍ය උලෙළේ සංවිධායක මඬුල්ල තීරණය කිරීම සුවිසෙස් සිදුවීමකි.

ඉතිරි කොටස ලබන සතියේ