ගොස් යළි එන්නට අවසර දෙන්නෙමි

ඔක්තෝබර් 22, 2020

බුද්ධි අන්කල්, ඇය ගිලන්ව සිටි අවසාන දවස්වල ඔබ ඇය ගැන මහත් කරුණාවෙන් සොය බැලුවා. ආදරය දුන්නා. ඔබ ඇය ගැන සිතූ සැටි, ඇය ගැන තැවුණු හැටි, ඇය ද දන්නවා; මා ද දන්නවා. සිහින්ව, ගිලන්ව, සුදුමැළිව, ආසාවෙන් ඔක්සිජන් ග්‍රහණය කරමින් සුදු රෙද්දක් ඇතිරූ ICU ඇඳක මලානික මුහුණක් මත දීප්තිමත් ඇස් දෙකකින් යුතුව සිටියා. මගේ හදවත ඇයගේ පින්තූරයක් ගත්තා. “ආන්ටි මාව එව්වේ බුද්ධි අන්කල්-බුද්ධදාස ගලප්පත්ති” කියා කියනකොටම, ඇය ඇගේ අතින් ඔක්සිජන් මාස්ක් එක පහත් කර මුහුණ පුරා සිනාසී, දරුවෙකු මතක් වී සිනා වෙන මවක් මෙන් “ආ, බුද්ධි!” කියා කිව්වා. “ආන්ටි කතා කරන්න එපා. මහන්සි වෙන්න එපා” කියා මම ඇගේ ඔක්සිජන් මාස්ක් එක ආපහු දැම්මා. “මට මහන්සි නැහැ-බුද්ධි ට කියන්න” කියා ඇය මගේ අත අල්ලාගෙන කිව්වා. බුද්ධි අන්කල්, එයාට මහන්සි නැහැ. එයාමයි කිව්වේ. Take care Buddhi uncle.

 

- වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු

 

සන්තුශ්‍යා ඔබේ පෝස්ටුව මා හැඬවූවා

ජයවර්ධන පුර රෝහලේ වෛද්‍ය සන්තුශ්‍යා ප්‍රනාන්දු ඉහත වැකිය මට ලියා එව්වේ ඉංග්‍රිසියෙනි. ඇය මේ විශිෂ්ට රංගවේදිනියගේ අවසන් දවස් වඩා සුවපහසුව ගත කරන්නට ක්‍රියා කළ බව කෘතවේදිව සඳහන් කළ යුතුය.

අනුලා බුලත්සිංහල රඟන්නීය. ගයන්නීය. රඟමඬල ප්‍රේක්ෂාගාරය අභිමුව සජීවීව රඟන කල හෝ ගයන කල්හි, ගයමින් රඟන කල්හි ඇයට වැරදීමක් වන්නට කිසිදු ඉඩක් නැත.ගායනය සමග සමබරව රඟන්නට මෙන්ම රංගනය සමග ගයන්නට ද මනා පුහුණුවක් අවශ්‍ය වේ. සංයමයක් ඕනෑ වේ. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ.සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි, රංග භූමිය ගායනයෙන්, නර්තනයෙන්, හා අභිනයෙන් වර්ණවත් කළ වනිතා චරිත ඇත්තේ ස්වල්පයකි. ඒ චරිත අතර ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම ශ්‍රාවකයන්ගේ ද මතකයෙන් ඈත් නොවන , ඔවුන්ගේ හදවත් ආදරයෙන් වැලඳ ගත්තා වූ චරිතයක් පිළිබඳ අතීතාවර්ජනයකට පිවිසෙන්නට සිත් වූයේ ඇගේ මියුරු ගායනා වරින්වර අපගේ මතක ලොවට පැමිණ හැත්තෑව දශකයේ බිහි වූ වේදිකා නාට්‍යයේ ස්වර්ණමය යුගයට අප කැඳවා ගෙන ගිය බැවිනි. අනුලා මෙන්ඩිස්, විවාහයෙන් පසුව අනුලා බුලත්සිංහල බවට පත්වන ඕ , තම රංගන චාරිකාව අරඹන්නී හැටේ දශකයේ අග භාගයේ වූවත්, ඈ ගායනයෙන් හා රංගනයෙන් ප්‍රේක්ෂක සිත් වසඟ කර ගන්නී හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට බව , නාට්‍ය වංශ කතාවෙහි අනුලා බුලත්සිංහල නමින් ලියැවී ඇති පරිච්ඡේදයෙහි සඳහන්ය.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ රැකියාව කළ සමයේ එහිම සේවය කළ තවත් නාට්‍යකරුවකගේ නිර්මාණයකින් ඈ කරළියට එන්නීය. නාට්‍යකරුවා පසු කලෙක සිංහල වේදිකා නාට්‍ය කඩඉම් නාට්‍ය රැසක්ම නිෂ්පාදනය කළ ආර්.ආර්. සමරකෝන් වන්නේය.ඔහු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස කලාකවය වෙනුවෙන් නිර්මාණය කළ ලෙඩක් නැති ලෙඩෙක් (1967) ඇගේ ප්‍රථම රංගනය වීය. විසි හැවිරිදි වියේ දී රංගනයෙන් හා ගායනයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන අනුලා එදා මෙදා තුර සිංහල වේදිකා නාට්‍යයෙහි දැවන්තයන් රැසකගේ නිෂ්පාදන කිහිපයක ම රඟපාමින් අනුලා බුලත්සිංහල මුද්‍රාව තබන්නී, ඇගේ මධුර හඬින් ගායනා වුණු වේදිකා නාට්‍ය ගීත කීපයක් ම ප්‍රේක්ෂක අප හදවත්හි සුන්දර, චමත්කාරජනක මතක බවට පත් කරමිනි.

ආර්.ආර්.සමරකෝන්ගේ ලෙඩක් නැති ලෙඩෙක් හා චරිත දෙකක් නාට්‍ය ද්වයෙහි රැඟූ අනුලා මෙන්ඩිස් ප්‍රේමරංජිත් තිලකරත්නගේ නාට්‍ය ත්‍රිත්වයකම රඟපාන්නී 1969 වර්ෂයේදී ම වීම ඇගේ රංගන චාරිකාව ඇරැඹුමෙහිම ඈ ලද දුලබ වාසනාවක් නොවන්නේ ද? සිංහල නාට්‍ය නිෂ්පාදක නාමාවලියෙහි ප්‍රබල චරිතයක් වෙමින් නාට්‍ය උලෙළ (1964) සම්මාන ද ලැබූ ප්‍රේමරංජිත් තිලකරත්නගේ වහලක් නැති ගෙයක්, (දෙවන නිෂ්පාදනය) මුහුණු සයකි රූකඩයකි හා කෝන්තරේ යන නාට්‍ය ත්‍රිත්වයෙහිම අනුලාගේ රංගනයෙහි හැඩරුව ප්‍රකට විණ. අනුලා මෙන්ඩිස් නම් වූ යෞවනියගේ රංගනය මෙන්ම ගායන කුසලතාව ද ප්‍රතීයමාන වන්නේ 1969 ඔක්තෝබරයේ දී ඈ විසින් ප්‍රවීණ නාට්‍යකරු හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ දෙවන නිෂ්පාදනයේ (මානෙල් ජයසේන හා සැන්ටින් ගුණවර්ධන නිෂ්පාදනය) කුවේණියගේ චරිතයට පිවිසීමත් සමඟය. සිංහල වේදිකා නාට්‍යාවලියෙහි සදා ස්මරණීය වනිතා චරිත අතර (මනමේ බිසව, සුප්පාදේවී, ගෲෂා) කුවේණියට හිමිවන්නේ කීර්තිමත් ස්ථානයකි.අප අදත් රස විඳීන කුවේණියගේ ගීතයෙන් ඒ බැව් සනාථ වේ.

සත් සියක් කපු මල් රැගෙන මම

සත් සියක් සුදු කෙඳී රැගෙන මම

සත් සියක් කපු පිළි වියන මම

සත් සියක් දෙන පළඳීතේ

සත් සියක් දෙන පළඳීතේ...

සත් සියක් රත් මල් රැගෙන මම

සත් සියක් රන් හුය රැගෙන මම

සත් සියක් මල් දම් ගොතන මම

සත් සියක් ගෙල පළඳීතේ

සත් සියක් ගෙල පළඳීතේ

අනුලා මෙන්ඩිස් රංගනය මතු නොව ගායනයෙහි ද හපනියක බව කුවේණි නාට්‍යයෙන් ඔප්පු කර සිටීමේ ප්‍රතිපලයක් ලෙසද 1974 දී අනුලා බුලත්සිංහල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍යයක ප්‍රධාන නිළි භූමිකාවකට ඇරැයුම් ලබන්නී? ආර්.ආර්. සමරකෝන්, ප්‍රේමරංජිත් තිලකරත්න, හෙන්රි ජයසේන ආදීන්ගෙන් පසුව මහා නාට්‍යකරු සරච්චන්ද්‍රගේ නිෂ්පාදනයක? මේ නම් කුමන ආශ්චර්යයක් දැයි, එදවස මහාසාර නාටකයෙහි දෙවන නිෂ්පාදනය නැරැඹූ ප්‍රේක්ෂකයන්ට සිතුණාට කිසිදු සැකයක් නොමැත.

කුවේණි නාටකයේ කුවේණි මෙන්ම මහාසාර නාටකයෙහි දෙවන නිෂ්පාදනයෙහි (1974 ) බිසවගේ චරිතයට පිවිසෙමින් අනුලා බුලත්සිංහල විසින් එක් කළ විචිත්‍රත්වය අපූරුය. ධම්ම ජාගොඩගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ නිර්මාණශීලී නව සංගීත රටාවන්ගෙන් ද පොහොසත් වූ මහාසාර නාටකය නාට්‍යමය ගුණයෙන් අනූන අපූරු ප්‍රහසනාත්මක නිෂ්පාදනයක් වීය. එවකට වේදිකාවේ ප්‍රබලයන් වු විජේරත්න වරකාගොඩ, විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙණිය, ජයශ්‍රී චන්ද්‍රජිත්, ජයසේකර අපොන්සු, අමරසේන පීරිස්, ඉන්ද්‍රා රාමනායක, අනුර ෆොන්සේකා, කරුණාරත්න හඟවත්ත, දන්තුරේ බණ්ඩාර ආදීන්ගේ රංගන සමඟ අනුලා බුලත්සිංහලගේ රංගනය කැපී පෙනුණේ , රංගනයේ ද ගායනයේ ද, නර්තනයේ ද අනුලා තුළින් මතු වූ නැවුම් රඟ සොබා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් බැවින් බව විචාරක මතය වීය. බිසවගේ මහාසාර පලඳනාව සොයා ගත නොහී රජකම අත් හැර තපසට යන බව පැවසූ රජුගෙන් බිසව ප්‍රශ්න කරනු ලබන ගීතය මෙසේය.

එතකොට මගෙ පලඳනාව

මම කොහොමද සොයා ගන්නෙ

ඒක නැතුව කොහොමද මම

මගට බහැල යන්නෙ එන්නෙ

පරම්පරා ගණනාවක්

ඇන්ද පලඳනාවක් නේ

මව් බිසවට ඒක ලැබුණෙ

ඇගේ මව් බිසව්ගෙ අතින්

මහාචාර්ය සරච්චන්ද්‍රගේ භාෂාවෙහි යටි පෙළෙහි වූ උපහාසාත්මක ස්වරය, මතුකරලීමට අනුලාගේ ගායනය මෙන්ම නර්තන ලීලා ද භාවිත කරන්නී ශෛලිගත සම්ප්‍රදායේ නිළි භූමිකාවට අත්‍යවශ්‍ය ගායනය, රංගනය(අභිනය ) නර්තනය මනාව සම්මිශ්‍රණය කර ගනිමිනි.

අනුලා බුලත්සිංහල රංගවේදිණියගේ ගායන හා රංගන ලීලාවන්හි කූටප්‍රාප්ත මොහොත උදාවන්නේ 1974 වර්ෂයේ සිංහල නාට්‍ය උත්සවයේ දී රඟ දැක්වුණු රතුහැට්ටකාරී නාට්‍යය සමගය. ඈ සිංහල වේදිකාව ලද මා හැඟි දායාදයක් බව ඈ ප්‍රේක්ෂකයන් මුසපත් කරමින් ඔප්පු කොට සිටියාය.එම උලෙළ අවසන හොඳම නිළි සම්මානය ප්‍රදානය කරනු වෙනුවට උසස් රඟපෑම සඳහා වූ කුසලතා සහතිකයකට (සුනේත්‍රා හා මර්සි සමඟ) අනුලාගේ රංගනය ලඝු කිරීම නාට්‍ය උලෙළ ඉතිහාසයේ අපකීර්තිමත් විනිශ්චයන් අතරට එක් වූ තවත් මොහොතක් ලෙස බොහෝ දෙනා දුටහ. නිසැක වශයෙන්ම අනුලා බුලත්සිංහල රතුහැට්ටකාරී ලෙස නාට්‍යෝචිත , මධුර ගීත ගායන ද සහිත ප්‍රබල චරිත නිරූපණයක නිරත වූවාය. එහෙත් ඇගේ ගායනයෙහි හෝ රංගනයෙහි පරාසය හඳුනා නොගත් විනිශ්චය මණ්ඩලය සම්මානය වෙනුවට සහතිකයක් දීමෙන් සෑහීමට පත් වූ අන්දම අනුලා වැන්නියකට කළ අසාධාරණයක් ලෙස සිහි කළ හැකිය. ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී රංග ක්‍රම ද්වයේම ලක්ෂණ අඩු වැඩි වශයෙන් භාවිත වූ නිෂ්පාදනයේ ප්‍රබල නිළි භූමිකාව ලෙස දුෂ්කර රංග කාර්යයයකට උර දුන් අනුලා ඔස්ටින් මුණසිංහගේ අතිශය මධුර තනුවකට ලූෂන් බුලත්සිංහල රචනා කළ දීකිරි දීකිරි ගීතය මෙරට ප්‍රාසංගික නාට්‍ය ගීතාවලියෙහි ඉහළම ස්ථානයක රැඳවූවාය. ලූෂන්ගේ පද සංකල්පනාවෙහි අර්ථපූර්ණ ගුණය මැනවින් හඳුනාගෙන රතුහැට්ටකාරී නම් සමාජ අසාධාරණයට ලක් වූ ස්ත්‍රිය වේදිකාව මත පණගන්වන්නට අනුලා සමත් වූවාය. දීකිරි ගීතය 1974 සිට අද දක්වාම ප්‍රේක්ෂක ශ්‍රාවක සිත් වසඟයට පත් කළ ගීතයක් වී, මිහිරි මතකයක් වී ඇත්තේ අනුලාගේ ගායනයෙහි මධුරතාව නිසාම බව කිව යුතු නොවේ.

දීකිරි දීකිරි ගෙනාව දීකිරි

මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

පැටියා මෝරපු දෙනගෙන ගත් කිරි

හොඳ හැටි උණු කොට හින්දා ගත් කිරි

නැවුම් මුට්ටියේ වත් කළ මේ කිරි

පණමට ලාබයි මං දෙන මේ කිරි

කිරි විකුණාලා කාසි සොයන්නයි

අනාගතේ මාළිගා තනන්නයි

කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි

මගේ මංගල්ලෙට ඔහෙලත් එන්නයි..

අනාගතය පිළිබඳ ජීවිතාපේක්ෂාවකින් තොර වු පීඩාවට පත් යුවතියකගේ ශෝකාලාපය නොවේද අනුලා දීකිරි ගායනයෙන් අපට අසන්නට සලස්වන්නේ?

අනුලාගේ රංගන ශෛලිය නම්‍යශීලීය. ගායනය මිහිරිය. මධුරය. ශෛලිගත සම්ප්‍රදායට වෙනස් වූ රංග ශෛලියක් හෝ ගායන ශෛලියක් ඉල්ලා සිටිනු ලබන මොහොතක ඈ ඊට අනුගතවන්නී ආයාසයකින් තොරවය. ශ්‍රී වික්‍රම නුර්තියෙහි ඇහැළෙපොළ කුමාරිහාමිගේ වැලැපීම ඈ ගායනා කරන්නී දීකිරි ගායනයෙහි ගායන විලාසයට හාත්පසින්ම වෙනස් වූ ශෛලියකිනි.1981 දී තාරාවෝ ඉගිළෙති රංගයේ ලොරීටා ලෙස රඟමින් ඈ තවත් අපූරු කඩඉමක් සටහන් කරන්නීය. තාරාවෝහි ලොරීටා චරිතය අනුලා එතෙක් රඟ පෑ සියලු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් වූ නවීන කාන්තාවකගේ චරිත නිරූපණයකි. රෝම ජාතික නාට්‍යකරු ප්ලෝටස්ගේ මිනැක්මයි හෙවත් නිවුන් සොහොයුරෝ නාට්‍යයේ ආභාසය ලබමින් නිෂ්පාදනය වූ තාරාවෝහි ලොරීටා යනු සිංගප්පූරුවේ වෙසෙන ලාංකික කාන්තාවකි. විජය නම් තරුණයාගේ පෙම්වතියයි.තම පෙම්වතා යයි එක හා සමාන තරුණයන් දෙදෙනෙකුට රැවැටෙන ලොරීටාගේ සංකීර්ණ චරිතය නිරූපණය කරන අතරෙහිම, ඈ තම සුපුරුදු ගායනය ද අපූරුවට රංගනයට ඉවහල් කර ගන්නීය. තාත්වික ශෛලියේ වුව සංගීතමය නාට්‍යයක් වූ තාරාවෝහි ගුණදාස කපුගේ නිර්මාණය කළා වූ මිහිරි තනුවකට අනුලා ගායනා කළ මේ ගීතය නාට්‍යයෙන් බැහරව වුව රස විඳීමට හැකි අපූරු ගීතයකි.

තට්ටු කරන්න හෙමින්

තට්ටු කරන්න හෙමින්

මගේ විමානේ දොරගුලු ඔබගෙයි

තට්ටු කරන්න හෙමින්

තට්ටු කරන්න හෙමින්

දෙපා තබන්න හෙමින්

දෙපා තබන්න හෙමින්

මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි

දෙපා තබන්න හෙමින්

මා වෙත එන්න හෙමින්

මා වෙත එන්න හෙමින්

මගේ මී බඳුනේ මධුරස ඔබටයි

මා වෙත එන්න හෙමින්

මා වෙත එන්න හෙමින්

මේ ප්‍රේමාන්විත ගීතය මෙන්ම විජය ප්‍රතික්ෂේප කරමින් ඈ තම ගායන ශෛලිය වෙනස් කරගනිමින් ගයන මේ ගීතය පවසන්නේ අනුලාගේ ගායනයෙහි වෙනස්ම හැඩයකි.

ඉගිල යන්න ඇයි බැරී

ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ

කූඩුවෙ දොර හැර දැම්මා මා

අහස තියේ ඔබ හට සීමා

විසල් ලොවට මග ඉඩ දෙම්මා

ඉතින් ඉගිලියන් තාරාවා

ඉගිලී පල කළු තාරාවා

අනුලා බුලත්සිංහල සිංහල වේදිකාවේ අතිශය සුන්දර චරිත රැසක් සඳහාම ගායනයෙන් හා රංගනයෙන් විශිෂ්ට සම්ප්‍රදානයක් එක් කළ රංගවේදිණියයි.දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකාවෙහි ජැක්සන් ඇන්තනි සමග නෙයිනගෙ සූදුව අංකය රඟමින් ඇගේ විස්මිත ගායන නර්තන ලීලා ප්‍රේක්ෂකයන්ට ළං කළ ජවනිකාව අනුලාගේ වෙනස්ම රංගයක හැඩ තල පෙන්වන්නකි.

වේදිකාව මතු නොව පුංචි තිරයෙහි ද චිත්‍රපටයෙහි ද අපි අනුලා දකිමු. නිල් දිය යහන, භවත්‍රා, අසන්දිමිත්තා, ගෝල් වැනි චිත්‍රපට ඇගේ රංගන කුසලතා පෙන් වූ තවත් නිර්මාණ මාධ්‍යයකි. රංගනයේ විවිධ භූමිකා තුළ අපට හමුවන අනුලා බුලත්සිංහල ගායිකාවක් ලෙස ඇගේ අනන්‍යතාව සලකුණු කළ ගීත අතර වෙසෙසින්ම සඳහන් කළ යුතු ගීත කීපයක්ම මතකයට නැගේ, රඟහල දැන් ඇත අඩ අඳුරේ (විජේරත්න වරකාගොඩ සමඟ) පන්සල පාමුල (ගුණදාස කපුගේ සමඟ) බුදුන් වඳීන මේ දෑතින් ( ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග ), සුදු ඔසරිය ඇඳලා,ඉන් කිහිපයක් පමණි.

අනුලා බුලත්සිංහල නම් සුන්දර හදැත්තියගේ රංගන ගායන විසිතුර මෙවන් කෙටි සටහනකට සීමා කළ නොහැක්කකි. ඈ සතු බහුවිධ නිර්මාණ කුසලතා සතු වෙනත් නිළියක් සොයාගැනීම අසීරුය. ඈ දුර්ලභ මල් පිපුණු මල් උයනක සුපිපි සුවඳැති කුසුමක් වැන්න. ඒ සුවඳට සුවහසක් රසික ජනයා ආදරය කරන බව ඈ දන්නවාදැයි නොදනිමු. එහෙත් ඇයට ආදරය කරන විසාල රසික සමාජයක් සිටින බව ඉඳුරාම පැවසිය හැකිය.

ගොස් යළි එන්න අවසර දෙන්නෙමි දේවී

කුවේණිය ලෙසින් නෙක අවමන් දුක් වින්ද

ඔබ හැඬුවා එදා දරු සෝකෙන් නොමඳ

කුමාරයෙක් එන තෙක් මග බලා හිඳ

බිඳුණු මුට්ටියේ සුන් බුන් කොහිද අද

තාරාවෝ ඉගිල යන විට හිස් අහසේ

ඔබ වෙත එන්න යයි කීවා හොර රහසේ

සුදු ඔසරිය ඇඳන් සුදු මල් පියවිල්ලේ

යන්නට නොහැකි වූයෙද අප හිතවතියේ

ළබැඳී මිතුරියන් සියයක් දෙනා මැද

සුපිපුණු කුසුම ඔබ අප ළඟ රැඳී සුවඳ

රඳවා කඳුළු යන්නට සිතුණේ කිමද

කඳුළින් පිරුණු නෙත් ඔබ අද දකිනවද

සසර කතර අතර මගක දී හමු වී

සිටියා අප ළඟින් රන් රස සේ පෑහී

වළකනු නොහැක කොතරම් හිටියත් පේවී

ගොස් යළි එන්න අවසර දෙන්නෙමි දේවී