“මාමා” වුණේ අවුරුදු 17 ඉඳලා

උපුල් වීරසිංහ
ඔක්තෝබර් 3, 2019

අසූව අනුව දශකයන්හී මෙරට රූපවාහිනි කලාව තුළ ළමා වැඩ සටහන් පිරිපුන්ව පැවතිණ. එකල කාටුන් පවා ගෙන ආවේ හරවත් ආදර්ශයන්ය. ඒවා අවසනදි ළමයින්ගේ මනස ද ගුණාත්මක සාරයෙන් පුරවනු ලැබිණි. එවන් වූ අතීතයක් ස්මරණය කරද්දී ළමෝ සිත් සොම්නසින් පිර වූ කෙනෙකු මතකයට නැඟේ. ඔහු නමින් උපුල් වීරසිංහය. එලෙස හඳුන්වා දුන්න ද ඔහු වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ උපුල් මාමා හැටියටය. ළයාන්විත හඬින් දුවා දරුවන් ඇමතූ ඔහුගේ වැඩ සටහන් තුළින් සදාචාරාත්මක පිරිසක් බිහි කරන්නට මාවතක් සැකසිණි. ඉන් පසුව අනේක නාමයන්ගෙන් මාමලා බිහි වුණත් උපුල් මාමා අදටත් හෙටටත් මතුවටත් එලෙසම වැජඹෙන්නේය.

අපි මේ කලාව කරන්නේ මුදල් හම්බ කරන්න නෙවෙයිනෙ. මගේ අරමුණ වුණේ රස වින්දනය සපිරි ළමයකු බිහි කිරීම. එහෙම ගිය ගමනකදි මේක අත්දකින්න වුණේ. මං එක්තරා ඉස්කෝලෙකට ගියා මගේ නාට්‍යයත් අරගෙන. ළමයි හැමෝම ඇතුළට ඇවිත් හිටියා. එක ළමයකු එළියේ. මං ළඟට ගිහිල්ලා ඇහැව්වම නාට්‍ය බලන්න ආසයිලු. ඒත් ළඟ තියෙන සල්ලිවලින් ටිකට් එක ගත්තොත් දවල්ට කන්න සල්ලි නැති වේවි කිව්වා. මං මගේ සල්ලිවලින් ටිකට් එකක් අරන් ළමයව ඇතුළට යැව්වා.

මමත් ඔබට උපුල් මාමා කියලම කියන්නම්?

ඔබ පමණක් නෙවෙයි මට හැමෝම වාගේ කතා කරන්නේ එහෙම. මගේ නමේ වාසගම දැන් නැති ගාණයි. උපුල් මාමා කියලමනෙ කතා කරන්නේ.

උපුල් වීරසිංහ උපුල් මාමා වුණේ කොහොමද?

ඒ කාලේ මං ගුවන් විදුලියට ආවා ගියා. ඒකේ සිප්හලේ හපන්නු කියන වැඩ සටහනට තමයි සම්බන්ධ වුණේ. එතනදි උපුල් වීරසිංහ උපුල් මාමා වුණා.

එතකොට වයස කීයද?

අවුරුදු දහ හතක් විතර.

එවන් වූ වයසකදී මාමා ලේබලය අලවගන්න මැළිකමක් දැක්වූයේ නැද්ද?

නිකම්ම නමින් ඉන්නවට වඩා මාමා නමින් ළමයින්ට සමීප වෙන්න පුළුවන්. උපුල් මාමා කියලා භාවිත කරන්නට පටන් ගත්තට පස්සේ මට සැලකිලිත් වැඩි වුණා.

උපුල් මාමා ප්‍රසිද්ධ වේදිකාවට ආවේ කොහොමද?

මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ උපුල් මාමා වෙන්න කලින්. හඳමාමා කියලා පත්තරයක් තිබුණා මතක ඇති. ඒකට මං ලිව්වා. පත්තරෙන් වැඩමුළු වගයක් කළා. මං ඒ සම්මන්ත්‍රණ අතරතුරදි පොඩි පොඩි කොමික් කෑලි ටිකක් කළා. ඔය සම්මන්ත්‍රණය සංවිධානය කරලා තිබුණේ ආනන්ද විදුහලලේ. ඒකට සාමාන්‍යයෙන් මං වගේම තව ශිල්පීන් කිහිප දෙනෙක් එනවා. ඔවුනට අමතරවයි මම ඩ්‍රාමා කෑලි කළේ. ඔන්න එදා අර කට්ටිය ඇවිත් නැහැ. මට ලොකු වෙලාවක් ලැබුණා වේදිකාවේ කරන්න. එදා අතින් පයින් වැඩ කෑලි දාලා උපුල් මාමාගේ සන්දර්ශනයක් කළා. සුනේත්‍රා රණසිංහ කියලා එවකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරිය එතැනට ඇවිත් හිටියා. ඇය මට අවසරයක් ලබා දුන්නා උපුල් මාමගේ නාට්‍ය පාසල්වල පෙන්වන්න. මට ඒක ලැබුණට පස්සේ හරියට තටු හම්බ වුණා වගේ වුණා.

ඊට පස්සේ දිගටම උපුල් මාමා රට වටේ ගියා?

උපුල් මාමාගේ විනෝද ලෝකය නමින් මං රට වටා පාසල්වලට ගියා. මං මෙතෙනදි කළේ හුදෙක්ම විනෝදාස්වයක් ලබා දෙන වැඩ සටහනක් හෝ නාට්‍යයක් නෙවෙයි. ළමයින්ගේ ආකල්ප වර්ධනය, ගුණ ධර්ම වගාව, රස වින්දනය ඉහළ දැමීම වගේ කරුණු කාරණා සැලකිල්ලට ගත්තා.

ඔබ රූපවාහිනී කලාවට එන්නේ?

මුලින්ම ටී. එන්. එල්. නාලිකාවේ තමයි වැඩසටහන් කළේ. ගොඩක් ජනප්‍රිය වුණේ අයි. ටී. එන් එකට ආවයින් පසු. චන්දන ශ්‍රීනාත් රබෙල් තමයි මට ගොඩක් උදවු කළේ. උපුල් මාමාගේ කතන්දර, රස කතා, ප්‍රස්ථාව පිරුළු වගේ වැඩ සටහන් රැසක් කළා. උපුල් මාමාව අතිශය ජනප්‍රිය වුණා. ඒ අතරතුරදි මට අනුග්‍රාහකයකු ලැබුණා උපුල් මාමාගේ කතාන්දර දෙක නාට්‍යයට. ඒක මට ලොකු පිටිවහලක් වුණා. අවුරුදු ගාණක් මං ඒ නාට්‍යය රට වටා පෙන්නුවා. පස්සේ කාලෙකදි ජාතික රූපවාහිනියේ වැඩ සටහනුත් කළා.

ඔබ නිකුත් කළ සංයුක්ත තැටි පෙළ මතක කළොත්?

අලි රාලේ තමයි පළමු ළමා ගී තැටිය. ලස්සන ලස්සන මල් පිපිලා යනුවෙන් තවත් තැටි දෙකක් කළා.

ළමයින් රැසක් ඇසුරු කළ කෙනකු හැටියට එදා සහ අද ළමා පරපුර ගැන මොකද කියන්න තියෙන්නේ? 

අද ළමයින්ට රස වින්දනයක් නැහැ. ඒක විශාල අඩුපාඩුවක්. තරගයට වැටිලා හැල්මේ දුවනවා පමණයි. ළමයින් තුළ ආදරය අඩුයි. එකිනෙකාට ගරු කිරීම අඩුයි. මේවාට ප්‍රධානම හේතුව අද කාලයේ තිබෙන කාටුන්. බලන්න ඉස්සර රූපවාහිනියේ ගිය කාටුන් කොච්චර ලස්සනද, ආදර්ශවත්ද. දොස්තර හොඳ හිත ගත්තත්, ඒකෙත් පාඩමක් තිබුණා. බැහැයි කියලා බැහැයි කියලා බැහැ . . . වගේ කාටුන් ගීත මොන තරම් සුන්දරද. අද වෙලා තියෙන්නේ ව්‍යාපාර මොඩ්ල් එකෙන් හැම දෙයක් ගැනම බලන්නේ. පරිසරයට ආදරය කර අය අඩුයි. මේවා වෙලා තියෙන්නේ රස වින්දනය නැති නිසා. මං හැම තිස්සෙම කියන්නේ ළමයා කියන්නේ යන්ත්‍රයක් නෙවෙයි. උදේ ඉඳන් රෑ වෙනකම් පොතේ පතේමයි. මං කියන්නේ ඒවත් තියෙන්න ඕන. නැත්නම් උගත් ළමයකු බිහි වන්නේ නැහැනෙ. ඒ අතරතුරදී ළමයා ළමයා විදිහට හැදෙන්න ජීවිතය විඳින්න ඉඩ දෙන්න ඕන.

ළමයින් සම්බන්ධ ඔබ සතුව ඇති සංවේදි අත්දැකීමක් මතක් කළොත්?

අපි මේ කලාව කරන්නේ මුදල් හම්බ කරන්න නෙවෙයිනෙ. මගේ අරමුණ වුණේ රස වින්දනය සපිරි ළමයකු බිහි කිරීම. එහෙම ගිය ගමනකදි මේක අත්දකින්න වුණේ. මං එක්තරා ඉස්කෝලෙකට ගියා මගේ නාට්‍යයත් අරගෙන. ළමයි හැමෝම ඇතුළට ඇවිත් හිටියා. එක ළමයකු එළියේ. මං ළඟට ගිහිල්ලා ඇහැව්වම නාට්‍ය බලන්න ආසයිලු. ඒත් ළඟ තියෙන සල්ලිවලින් ටිකට් එක ගත්තොත් දවල්ට කන්න සල්ලි නැති වේවි කිව්වා. මං මගේ සල්ලිවලින් ටිකට් එකක් අරන් ළමයව ඇතුළට යැව්වා.

උපුල් මාමා නළුවකු හැටියටත් කලඑළියට ආවා නේද?

83 තමයි නළුවකු වුණේ. මුලදි වේදිකා නාට්‍යවල තමයි හිිටියේ. ජෙනරල්, ප්ලැටුන්, උට්ටාන, දුම්මලවරම වගේ නාට්‍යවල රඟපෑවා. මාපිටිගම මහත්තයාගේ ටෙලි නාට්‍ය ගණනාවක හිටියා. පියළඳ සුසානෝ, සුජාතා, ඉතින් ඊට පස්සෙ, සත්සර රංගන, අන්දර වැට, අස්වැන්න මං රඟපාපු ටෙලි නාට්‍ය.

අවසන් කොට උපුල් මාමාට මොකද කියන්න තියෙන්නෙ?

මව්පියන්ට තමයි දෙයක් කියන්න තියෙන්නේ. හැම ළමයකුම දොස්තර කෙනෙක් කරන්න බැහැ. කලාකරුවො බිහිවන්න ඕන. රූපලවන්‍ය ශිල්පියො බිහිවන්න ඕන. විද්වතුන් බිහිවන්න ඕන. අද අම්මලා තමන්ට කර ගන්නට බැරි වූ දේ ළමයින් හරහා කරන්න උත්සාහ කරනවා. ඒක වැරදියි. දකුණු මොළය වගේම වම් මොළයත් ළමයගෙ වැඩ කළ යුතුයි. මොළයේ වම් පැත්තෙ තමයි නිර්මාණශීලී කුසලතා තිබෙන්නේ. ඒවා අවදිකොට ළමයා පරිපූර්ණ පුද්ගලයකු ලෙස රටට දායාද කළ යුතුයි. අද වෙන්නෙම නැත්තෙ ඒක.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.