සංස්කෘතිකය 56දී ක්‍රිකට් 80 දී කොහොමද වෙනස

ඔක්තෝබර් 3, 2019

පූජිත ද මැල් රංගන ශිල්පියා මෑතකදී අප සිත් ගත්තේ නිදහසේ පියා ඩී.එස් චිත්‍රපටයේ හෙන්රි පේද්‍රිස් චරිතය ඔස්සේය. කුඩා කාලයකදී වුව ඔහු ඒ චරිතයට සම වැදී කළ රංගනය නිසා හෙන්රි පේද්‍රිස් තරුණ වියේදී ඝාතනය වූ මොහොත අදටත් අප මතකයේ මැවෙන්නේ සියුම් තිගැස්මක් සමඟිනි. ඒ නිසාම ඔහු පසුගිය ජනාධිපති සිනමා සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ සරසවියට ඔහු රංගනය ගැනත් ඔහු ගැනත් කී කතාවයි...

සම්මානය ගැන ඔබේ අදහස?

මම චිත්‍රපට පහක විතරයි රඟපා තිබෙන්නේ. ආදරණීය වස්සානය මුලින්ම කළේ. ඊට පස්සේ ස්ට්‍රීට් චයිල්ඩ් කියලා ප්‍රංශ චිත්‍රපටයක්. ඉගිලෙන මාළුවෝ. අන්තිමට ඩී.එස්. එකේ උප ප්‍රධාන චරිතයක් කරන්නේ. මට ලැබුණු කාල පරාසය තුළ පුළුවන් උපරිම දෙයක් කිරීමට මම උත්සාහ කළා. සම්මාන කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒත් සම්මානයක් ලැබීම සතුටුයි මොකද යම් ක්ෂේත්‍රයක දක්ෂතා ඇති අය ඇගයීම සිදුවන්නේ ඒ කතිකාව ඔස්සේ. හැකිනම් සියලුම සිනමා සම්මාන උලෙළ වසරක් පාසා තැබිය යුතුයි, ප්‍රේක්ෂකයන්ට ඒ චිත්‍රපට අමතක නොවන්න පෙර. සිනමා කව වැනි අපි කුඩා කාලේ තිබුණු සාකච්ඡා වැනි දේ අපට දැනුම ගෙනාවා වගේ යළි එවැනි ක්‍රම ඔස්සේ සිනමා සංස්කෘතියක් ඇති වනවා නම් හොඳයි.

ඔබ රංගනයට පිවිසෙන්නේ?

මම පුංචි කාලේ, 80 ගණන්වල සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා රංගපීඨයට සම්බන්ධ වෙනවා. පසු කාලීනව මම උපාධිය සඳහා එංගලන්තයේ විවෘත විශ්වවිද්‍යාලයට ගියාම ස්ටැනිස්ලවුස්කිගේ රංගන ශෛලිය ගැඹුරින් හදාරන්න අවස්ථාව ලැබුණා. රංගනය කියන්නේ භාවනාවක් වගේ සමවැදිය යුතු දෙයක්. ඒක සාර්ථක වන්නේ අපි අපේ හැව අරින ප්‍රමාණය අනුව තමයි. රංගනය එක්තරා සමාජ, මානව විද්‍යාවක්. හැම චරිතයක්ම විශ්වවිද්‍යාල අධ්‍යයනයක් හා සමානයි. වෙන කෙනකුගේ නාඩියක්, හෘදයස්පන්ධනයක් හඳුනගන්න අපට සමාජය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. එය ගෞරවනීය ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරූපණය කරද්දි ඔවුන්ගේ හද ගැස්මත් අපි හඳුනාගත යුතුයි. ඒ අනුව අපේ අභිනය සාර්ථක වන්න නම්, ඒ සමාජ සංසිද්ධි හදාරන්න නම් හොඳීන් පොතපත කියවන්නම ඕනේ.

අද රටේ කලාව ඔබ දකින්‌නේ?

අප්‍රේල් 21 වැනිදා සිදුවුණු දෙයට සම්බන්ධ විශ්වවිද්‍යාලවල ගණිත ඉංජිනේරු අංශවලින් ඉහළටම ගිය අය. ඉතින් අධ්‍යාපනයෙන් පමණක් පරිපූර්ණ මිනිසුන් හදන්න බැහැ. කලාවේ තිබෙන වටිනාකම සංවේදී මිනිසුන් බිහි කළ හැකි වීම. හැබැයි කලාව අවරට යමින් තිබෙනවා. නිර්මාණ කරන පිරිසක් හිටියට සමාජයේ ඒවාට ඇගයීමක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. විද්‍යුත් මාධ්‍ය මඟින් ස්ටාර් පිස්සුවක් හදලා තිබෙනවා. ඒක ව්‍යාපාරික අරමුණෙන් කරන දෙයක්. ඒත් හඳ මාමාගේ ළමා පිටුව, හපන්පැදුර, ගායනා වගේ වැඩසටහන් වෙනත් මූලධර්මයක් සහ ශික්ෂණයක් එක්ක කළ වැඩසටහන්. අපි පොඩි රටක පොඩි සමාජයක්නේ. ඒ මිනිස්සු අතර සහසම්බන්ධතාව තිබුණා. අද කලාව ව්‍යාපාරික අරමුණක් වෙලා නිසා නාට්‍යයක් හැදුවත් හැමෝම බලන්නේ මුලින්ම කොහොමද මේක මාකට් කරන්නේ, බ්‍රෑන්ඩ් කරන්නේ කියලා මිස කොහොමද සමාජගත කරලා සංවාදයක් ලාලසාවක් බවට පත්කරන්නේ කියලා හිතන්නේ නැහැ. පහුගිය කාලේ මම 12ක් නාට්‍යයට සම්බන්ධ වුණා. වේදිකා නාට්‍ය පරම්පරා තුනක් ඩබ්ලිව් ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස් අයිති පෙර පරපුර, අපි සහ අපට පසු ජගත් මනුවර්ණලාගේ පරපුර හිටියේ. හැබැයි දර්ශන කීපයයි ගියේ. එක නාළිකාවකින් කීවා අයිතිකරුගේ පුතා මඟින් තාත්තා හමුවෙලා නාට්‍යය ගෙනියන්න අනුග්‍රාහකත්වය ගමු කියලා. අපි කැමති වුණේ නැහැ. අපට අවශ්‍ය අලුතෙන් හදන ඕනෙම නාට්‍යයක් ගෙනයන්න පුළුවන් ක්‍රමයක් හදන්න. දේශපාලනඥයන්ගේ පස්සේ ගිහින් අනුග්‍රහය ගැනීම නෙවෙයි. ලංකාවේ පළාත් සභා ඇමැති තමයි අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති, ඔවුන්ගේ නම්වලින් මංමාවත් පවා හදනවා. ඇයි රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරෙන නාට්‍ය ටික පළාත් නවයේ පෙන්වන්න බැරි. මොකද ඒවාට දෙමළ නාට්‍ය පවා අයිතියි. අද අපි අපිම කරන්න පුළුවන් දෙයක් කරනවා මිස කිසිම අනුග්‍රහයක් නෑනේ. හොඳම උදාහරණය 56 වසරේ තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇරඹුණේ. 80 දශකයේ තමයි ක්‍රිකට් බෝඩ් එක ආවේ. අද කලාකරුවකුයි, ක්‍රිකට් ක්‍රීඩකයකුයි ඉන්න තැන් බලන්න. ලෝකයේ කලාකරුවන්ට ජීවත්වීමේ යම් ක්‍රමවේදයක් තිබෙනවා. කාලයක් ලංකාවෙත් එහෙම තිබුණා. ඒත් දැන් නිර්මාණයක් කියන්නේ ව්‍යාපෘතියක් බවට පත්වෙලා. ඒකට අයිති පිරිස හැදෙනවා. අනෙක් අයට නැහැ. අද නාට්‍යයක් හැදුවත් සංවිධායකයන් අහන්නේ දුවන නාට්‍යයක්ද කියලා. චිත්‍රපටත් එහෙමයි. අපේ අය හිතන්නේ මෙගා නාට්‍ය තමයි කලාව කියලා. නෙළුම් පොකුණට සවුන්ඩ් ඔෆ් මියුසික් ආපු වෙලාවේ ඒකට අනුග්‍රහය දැක්වූවා වගේ මේ රටේ ව්‍යාපාරිකයන්ට පුළුවන්නේ දේශීය නිර්මාණවලටත් ආයෝජනය කරන්න. එදා අමරදේව මාස්ටර්, සී.ටී. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් ඔක්කොමලා හිටියා. නිධානයත්, මමයි රජාත් දෙවර්ගෙම චිත්‍රපට හැදුණා. ඒත් විශේෂයෙන් 2000න් පස්සේ අක්මුල් නැති දැහැටි වගේ පරපුරක් එක්ක ඒවා ඇකී මැකී යනවා කියලා හිතෙනවා. 

ඔබ ටෙලි නාට්‍යවල දකින්න නැති තරම්?

ඒත් පහක හයක තමයි හිටියේ. අමිල මිණිමුතු සමඟ මම රූපවාහිනියට ආවේ. පිටගම්කාරයෝ, වනසරන, පෝය නාට්‍යවලට සම්බන්ධ වුණා. විලම්භීත සඳහා මට ඔසීඅයිසී සම්මාන ලැබුණා හොඳම නළුවාට, දූදරුවෝදූදරුවෝ කළා. ඊට පස්සේ කතා කළේ නැහැ.

ඔබ වෘත්තීය රංගන ශිල්පියකු නොවන නිසාද පහසුවෙන් ඔහොම කියන්නේ?

ඒක තමයි ඛේදවාචකය. රංගන ශිල්පියකු‌ට යම්කිසි ගරුත්වයක් තිබිය යුතුයි. ඔවුන්ට බැහැ හිඟාකකා යන්න මාව මේකට ගන්න කියලා. අපේ නළුවරණය වුණත් වෘත්තීය මට්ටමට වඩා කල්ලිවලටයි කෙරෙන්නේ. ඉස්සර කලාකරුවන් කල්ලි ගැසුණේ නිර්මාණයක වැඩි දියුණුව වෙනුවෙන්. සුගතපාල ද සිල්වලා කල්ලි ගැහුණ නිසා ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් වුණා. අද කල්ලි ගැහෙන්නේ වෙන දේවල්වලටනේ. මම වෙළෙඳ දැන්වීම්කරණයට මුලින් සම්බන්ධ වුණා. පස්සේ හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ මාධ්‍ය අංශයේ හිටියා. දැන් හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංගකලාව, තිරරචනය, අධ්‍යක්ෂණය සහ රංගනය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඇත්තෙන්ම මම සතුටුයි මට හොඳ ගුරුපරපුරක් ඇසුරු කරන්න ලැබීම ගැන. තිස්ස ගුණවර්ධන, සෝමලතා සුබසිංහ, තිස්ස අබේසේකර, ඇන්ඩෘ ජයමාන්න, රැලෙක්ස් රණසිංහ වගේ අය. අපි ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙනගත්තා, වැඩ කළා. දැනුම් පිපාසය ඇති වුණා. අදටත් මම උසස් අධ්‍යාපනයේ යෙදෙනවා.

ඒ දැනුම ඔබ වැඩිපුර යෙදෙව්වේ වේදිකාවට?

ඔව්. මම මුලින්ම කළේ පියවර වේදිකා නාට්‍යය. අසෙනි මානී සඳහා හොදම අධ්‍යක්ෂණය, හොඳම පරිවර්තනය සහ නැඟි එන අධ්‍යක්ෂ සම්මාන ලැබුණා. හඳයා ගිය පාර ළමා නාට්‍යය, බක්මහ අකුණු, සොක්‍රටීස්, රත්නවල්ලි නාට්‍ය කළා විශේෂ වේදිකා නාට්‍ය වර්ග හඳුන්වාදීමේ වැඩසටහනක් යටතේ කැලණිය, පේරාදෙණිය සහ ශ්‍රීපාලි සරසවි සඳහා කළා. විකාර හැන්දෑව නාට්‍යය කළා. මම දැන් අත්හදා බලමින් ඉන්නේ අපි හැමදාම දකින හතරැස් ප්‍රොසීනියම් වේදිකාවෙන් ඔබ්බට ගිය ක්‍රමවේද පිළිබඳව. පසුගිය කාලේ අපි නාට්‍ය දැකලාවත් නැති ඇඟලුම් සේවක සේවිකාවන් 15ක් සමඟ නාට්‍යයක් කළා. ශෛලී කියලා අපේ පදනමක් තිබෙනවා. එයින් කුඩ හොරා සහ සිරිත් මල්දම නාට්‍ය කළා. අපි ස්වේච්ඡාවෙන් නායකත්ව පුහුණු වැඩසටහන් පාසල් දරුවන් වෙනුවෙන් කරනවා. වේදිකාව නාට්‍ය පෙන්වීම සඳහාම නෙවෙයි තියෙන්නේ. දකුණු අප්‍රිකානු නාට්‍ය විශේෂඥයෙක් කළා සංවර්ධනය සඳහා වේදිකාව කියලා වැඩසටහනක්. ඔගොස්තො බුවාල් කියන බ්‍රසීල නාට්‍ය ශිල්පියෙක් හඳුන්වා දුන්නා ෆෝරම් තියටර් කියන දේ. ශිල්පීන් 100ක් ගෙනත් පුහුණු කරලා සමාජ ප්‍රශ්නයක් ආ ගමන් අර පිරිස ඒ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වෙලා විසඳුම් සොයනවා නාට්‍යානුසාරයෙන්. මානසික ආතතියක් ඇති අයට, ඩවුන් සින්ඩ්‍රම් ඇති දරුවන්ට වේදිකාව යොදාගන්නා ආකාරය වෙනස්. ඒ නිසා අපි මේ නාට්‍ය කලාව වෙනස් විදිහට යොදාගන්න ඕනා. ප්‍රේක්ෂකයන් අප ළඟට එනවා වෙනුවට අද අපි ප්‍රේක්ෂකයන් ළඟට යන ක්‍රමයක් ගොඩනැඟී තිබෙනවා. තාක්ෂණය සහ ශාලාව නාට්‍ය සඳහා අවශ්‍ය නැහැ. ශිල්පියාගේ රංගන භාෂාව, ශරීරය, සිතිවිලි සහ දර්ශනය මතයි නාට්‍ය බිහිවන්නේ.

හැම තත්පරයක්ම සල්ලිවලට හැරෙන යුගයක නොමිලේ වැඩමුළු කරන්නෙ?

අපි මේ සමාජයට මොනවා හරි කරන්න එපැයි. මට කවිනම් වැඩිය කටපාඩම් නැහැ. හැබැයි පුංචි කාලේ තාත්තා කියා දුන්න ඇස් මහින්ද හාමුදුරුවන්ගේ තමන් ලැබූ දිවි පෙවෙතේ කවිය සහ ටී.බී. ඉලංගරත්න මහත්තයාගේ මා පසුපස එන්න එපා බැරිවෙයි මට වගකියන්න, මා පෙරටුව යන්න එපා බැරිවෙයි ඔබ අනුව යන්න කියන කවිය. ඒවා ම‌ගේ ජීවිතේ ගුරුකොට සලකනවා. කන බොන අඳීනවාට, කුටුම්භ සංරක්ෂණය කරනවාට වඩා ජීවිතේ කොටසක් තිබෙනවා ඉටු කරන්න. අපට ස්වාධීනව කළ හැකි පොඩි දේ වෙනුවෙන් කැප වෙන්න ඕනෙ. ඉතින් මට රංගන ක්ෂේත්‍රයේ යෙදෙන අලුත් අයට කියන්න තියෙන්නේ 'ඉවසීමෙන් වැඩ කරන්න'.

ටෙනිසන් එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.