එහෙමයි ස්වාමිනී කිව්වම නඩුකාරයා එතැන නෑ

ඔක්තෝබර් 31, 2019

ආරියසේන ගමගේ රංගන දිවියේ 50 වසර සමරයි

රංගනයට පිවිස වසර පනහක් ගතවන මොහොතේදී මා ඔහු පිළිබඳ පුන පුනා හඳුුන්වා දිය යුතු නැත. මේ අහවලා නේද යන්න බොහොම හොඳින් පැවසීමට ඔබට හැකිය. හැත්තෑව දශකයේ වේදිකා නාට්‍ය රස විඳි ප්‍රේක්ෂකයන්ට ඔහු මතක සාජන්ට් නල්ලතම්බි චරිතයෙහි එම චරිතය රැගත් නෙයිිනගෙ සූදුව නාට්‍ය හි දර්ශන වාර එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක ඔහු සාජන්ට් නල්ලතම්බි විය. ආරියසේන ගමගේ නමැති මේ අපූරු චරිතය කලා ලොව තුළ සැරිසරන පනස් වැනි වසර මෙසේ ගෙවී යයි. වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වයේම එක ලෙස දස්කම් පෙන් වූ හෙතෙම නිර්මාණකරුවකු ද වශයෙන් ද කැපී පෙනුණ අයෙකි.

ආරියසේන, ඔබ මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යයක?

ඔව්. ඒකෙ නම අඳුර මකා හිරු පායා. හැට නවයේ වසරේ තමයි ඒ නාට්‍ය පෙන්නුවේ.

ඒ කාලේ නාට්‍යයකට සම්බන්ධ වීම ලෙහෙසි නැහැ?

අද කාලේ වගේ නෙවෙයිනෙ. අවස්ථා හරිම සීමිතයි. නළුවකු කියපුවම මැවෙන ගති ලක්ෂණයකුත් තිබුණා. බොහොම අපහසුවෙන් අවස්ථා සොයාගෙන ආව ගමනක් තමයි මේ තවම ගත වන්නේ.

මේ වන විට ඔබ කොපමණ නිර්මාණ ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවාද?

වේදිකා නාට්‍ය සීයක් විතර කළා. ටෙලි නාට්‍ය හැටකට වැඩියි. චිත්‍රපට හතළිහක් වගේ තියෙනවා. මං රඟපෑව පළමු ටෙලි නාට්‍ය හිරු සඳු හමුවේ. ඒත් විකාශය වුණේ කෝපි කඩේ. පළමු චිත්‍රපටය වුණේ උමයංගනා.

නෙයිනගෙ සූදුව නිසා ඔබ කාර්යබහුල වුණා වගේම ජනප්‍රියත් වෙනවා?

ඒක ඇත්ත. අපි ෂෝස් අරගෙන රට වටේම ගියා. දර්ශන වාර 1500 කට වඩා වැඩියි. මම ඒ කාලේ ලංකා බැංකුවේ ජොබ් එක කරන ගමන් තමයි රඟපෑවේ. නෙයිනගෙ සුදුව දිගින් දිගටම රඟපාන කොට අධ්‍යක්ෂවරයා මට කිව්වා ජොබ් එක දාලා වරෙන් කියලා. ඒත් මං එහෙම කළේ නැහැ. හැබැයි නියමිත වේලාවට නියමිත තැන හිටියා.

ඔබ අදටත් කතාබහ කරන්නේ සාජන්ට් කතා කළා වගේ?

ඒක මට නාට්‍යයෙන් ලැබුණු දායාදයක්. මගේ ඇත්ත ජීවිතේ කතා කරද්දී හඬ පවා ආවේ ටැමිල් උරුවට මුසු වෙලා. දර්ශන වාර අති විශාල සංඛ්‍යාවක් කරද්දී මගේ කට හඬත් ඒ ශෛලියටම හැදුණා. මං කතා බහ කරද්දී දන්නම කෙනෙක් හැරුණු කොට අනෙක් අය හිතන්නේම මං ටැමිල් කෙනෙක් කියලා.

මේ තත්ත්වය ඔබගේ ජීවිතයට මොන වගේ බලපෑමක් ද ආවේ?

කාලයක් මං පන්සල් ගියාම අහන්න ගත්තා ඇයි මහත්තයා පන්සල් ආවේ හාමුදුරුවො මුණ ගැහෙන්නද කියලා. මං ඒ වෙලාවට කියනවා මං බෞද්ධ නිසා ආවේ කියලා. මගේ කටහඬ නිසා වෙන දේවල් තමයි ඕවා. දෙමළ මිනිස්සු කතා කරන්නෙම මගෙත් එක්ක ටැමිල්වලින්. මං ඒ වෙලාවට කියනවා සිංහලෙන් කතා කරන්න. මං සිංහල කෙනෙක් කියලා. සමහරු විශ්වාස කරන්නෙම නැහැ.

ඔය හඬ නිසා ඔබට සිංහල නොවන චරිත නිබඳව ලැබෙනවා නේද?

එහෙම නිරූපණය කිරිමත් නිසා තමයි මිනිස්සු ඇත්තටම හිතන්නේ මං ටැමිල් කියලා. මුස්ලිම් චරිතත් ලැබෙනවනෙ. මුස්ලිම් උදවිය මට හමු වුණාම කියනවා ඔයා නම් නියම මුස්ලිම කෙනෙක් කියලා.

රස්සාවත් බේරගෙන අවුරුදු පනහක් කලාවේ හිටියේ කොහොමද?

වේදික නාට්‍ය බොහෝ විට වේදිකා ගත වෙන්නේ සිකුරාදා හෝ සෙනසුරාදා. සතියේ දවසක නම් මං ටිකක් කලින් යනවා මගේ රාජකාරිය මිතුරෙකුට පවරලා. ජොබ් එක බේර ගන්න චරිත අත හරින්නත් මං දෙපාරක් හිතුවේ නැහැ. සතියක් විතර ලොජ් වෙලා රඟපාන්න වෙනවා නම් ඒවට ගියෙම නැහැ. දවසක දෙකක විතර ෂූට් එකක් තියෙනවා නම් කියන්න කියලයි මං අර වගේ නිර්මාණවලට කතා කළාම කිව්වේ.

වේදිකා නාට්‍ය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම් එහෙම ඇති අනන්තවත්?

අපොයි තියෙනවා. දවසක් එක නාට්‍යයක් කරන්න ගියා අපි කොළඹින් ටිකක් පිට. මට තිබුණේ ලෝයර් චරිතයක්. මගේ දෙබස් ටික කියලා එහෙමයි ස්වාමීනි කියලා නඩුකාරයා දෙස බලන කොට මිනිහා එතන නැහැ. නඩුකාර පුටුව කඩාගෙන බිම වැටිලා. අන්තිමේ පැමිණිලිකරුගේ නීතිඥයයි, විත්තිකරුගේ නීතිඥයයි එකතු වෙලා නඩුකාරයාව ඔසවලා වාඩි කෙරෙව්වා. අපි ඒක නාට්‍යයේම කෙටසක් හැටියටම රඟ දැක් වූවා. ඒක තමයි මට මේ වෙලාවේ මතක් වන සිදුවීම. නෙයිනගෙ සූදුව කරන හැම දර්ශනයක්ම මට අමතක නොවන අත්දැකීමක් වුණා.

රංගන ජීවිතයට වසර පනහක් සපිරෙද්දී මොනවද කරන සුවිශේෂි කාර්යයන්?

ඇත්තටම එහෙම විශේෂ මුකුත් කෙරෙන්නේ නැහැ. එකම දේ මං නිර්මාණය කළ වේදිකා නාට්‍යයක් වේදිකා ගත වෙනවා ලුම්බිණියේ. නොවැම්බර් තුන් වැනිදා තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ.

නාට්‍ය පිළිබඳ වැඩි තොරතුරක් සඳහන් කළොත්?

නාට්‍යයේ නම ඉසුරු බවන. අනූෂා දිල්හානි සහ ලක්ෂ්මන් කොස්තා තමයි නාට්‍ය නිෂ්පාදනය කළේ. මේ වගේ වකවානුවක නාට්‍යක සල්ලි කියන්නෙත් අගය කළ යුතු දෙයක්නෙ. සුසිලා කෝට්ටගේ, උදය කුමාරි, එරික් අබේසිංහ, ප්‍රසාද් ගලප්පත්ති, දයානන්ද හේවගේ, අනූෂා දිල්හානි, නිලන්ති ගුණවර්ධන සහ මම මෙහි රඟපානවා.

ඔබ වඩාත් මිනිසුන් අතරට ගිය ටෙලි නාට්‍ය සහ සිනමාපට මොනවාද?

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රෙදි මුදලාලිගේ චරිතය හුඟක් මිනිසුන් අතරට ගියා. වන් ෂොට් වන්, රජ හොරු වගේ චිත්‍රපටවල චරිතත් ජනප්‍රිය වුණා. වන්ෂොට් චිත්‍රපටයේ දූෂිත දේශපාලනඥයාට අදටත් මිනිසුන්ට මතකයි.

ඔබේ පවුල් තොරතුරු මොනවාද?

මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා විවාහ වෙලා දරුවොත් ලබලා. දැන් මං තුන් සීයා කෙනෙක්. මගේ බිරිය ආරියවතී ගමගේ. ඇය කලාවට සම්බන්ධ නැහැ.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.