“මගේ ජීවිත කතාවෙන් අනෙක් එවුන්ට ඇති වැඩේ මොකක්ද?”

නොවැම්බර් 14, 2019

ලාංකේය නාට්‍ය වංශයේ කලාත්මක ධාරාව සුපෝෂණය කළ පුරෝගාමී මහා නාට්‍යවේදීහු පස් දෙනෙක් සිටියහ.

මොවුහු සමකාලීනව මැ නාට්‍යකරණයෙහි නියැළුණහ. එයිනුදු පුරෝගාමියා හා ජ්‍යේෂ්ඨයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය (1914 – 1996). ගුණසේන ගලප්පත්ති (1927 – 1984), සුගතපාල ද සිල්වා (1928 – 2002), හෙන්රි ජයසේන (1931 – 2009) හා දයානන්ද ගුණවර්ධන (1934 – 1993) ජ්‍යේෂ්ඨත්වය අනුව සෙසු නාට්‍යවේදීන් සිවුදෙනාය. ප්‍රාචීන, ප්‍රතිචීන නාට්‍ය සම්ප්‍රදායන් දෙමඟම මෙහිදී ඔවුහු අත්හදා බැලූහ. එනම් පෙරදිග නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රමුඛත්වය ඉසිලූ කාව්‍යාත්මක (ශෛලිගත නාට්‍ය ලෙස ද මේවා හැඳින්වේ) (Poetic Theatre) නාට්‍ය ධාරාව ද අපරදිග නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රමුඛත්වය ඉසිලූ තාත්වික නාට්‍ය (Theatre of Illusion) ධාරාව ද එකිනෙක පරයා මෙහිදී ඉස්මතු විය. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දේශීය නාට්‍ය සම්ප්‍රදායක් අපට නොතිබුණත් මෙරට ගැමි ශාන්තිකර්ම (කෝලම්, සොකරි, ගම්මඩු, දෙවොල් මඩු, කොහොඹ කංකාරිය) ආශ්‍රිත විවිධ නාට්‍යාංග දුරාතීතයේ සිටම මුල් බැසගෙන පැවතිණ. ශාන්තිකර්මවලින් විනිර්මුක්ත වී මුළුමනින්ම නාට්‍ය ස්වරූපය දිස් වූ “නාඩගම්” සම්ප්‍රදායේ සිට නුර්තිය හරහා ලාංකේය නාට්‍ය කලාව විකාශනය වෙද්දි පෙරඅපර දෙදිගම නාට්‍ය සම්ප්‍රදායන් හි මුසුවක් දක්නට ලැබිණ. ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදායෙහිදී එකී පෙරඅපර දෙදිග මුසුව ජනප්‍රිය ස්වරූපයෙන් ද විශ්වවිද්‍යාල නාට්‍ය සම්ප්‍රදායෙහිදී මෙය කලාත්මක ස්වරූපයෙන් ද භාවිත කෙරිණ. 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දේශීය සම්භාව්‍ය නාට්‍ය කලාවක් බිහි කරනු පිණිස අත්හදාබැලීම් සිදු කළ සමයේදී “බහින කලාව” (1951) නාට්‍යයෙන් තාත්වික ධාරාවට නැඹුරු විය. ඔහු ඉක්බිති “පබාවතී” (1952) නාට්‍යය මඟින් ශෛලිගත ධාරාවට තාත්වික, ස්වාභාවික සංවාද මුසු කොට අත්හදා බැලුවේය. ගැමි නාට්‍ය කලාව අරභයා ගැඹුරින් පර්යේෂණ සිදු කළ ඔහු පසුව ශිෂ්‍යත්වයක් ලැබ විදෙස් ගත වී පෙර අපර දෙදිග විවිධ නාට්‍ය සම්ප්‍රදායන් තුලනාත්මකව හදාළේය. ලාංකේය නාට්‍ය කලාවේ පුරෝගාමී කලාත්මක ප්‍රවිෂ්ටය හා මුදුන් මල්කඩ වූ සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” (1956) සහ “සිංහබාහු” (1961) දෘශ්‍ය කාව්‍ය ද්වය මෙකී දීර්ඝකාලීන පර්යේෂණයන් හි උත්කෘෂ්්ට ඵලයෝ වෙත්. සරච්චන්ද්‍රයන්ගේ “මනමේ”, “සිංහබාහු” නාට්‍ය ද්වය අත් පත් කොට ගත් සම්භාවනීයත්වයත් සමඟ කාව්‍යාත්මක හෙවත් ශෛලිගත නාට්‍ය රැල්ලක් 60 දශකයේ මුල් භාගයේ ස්ථාපිත විය. කාව්‍යාත්මක ධාරාවෙහි නාට්‍යයක් නිර්මාණය කිරීමෙහිලා අවැසි ප්‍රතිභානය, ධී ශක්තිය පැවති නාට්‍යවේදීන්ගේ නිර්මාණ හරහා ඖචිත්‍ය පූර්වකව මේ ධාරාව ඉදිරියට ගිය බව (නිදර්ශන – ගුණසේන ගලප්පත්තිගේ “මූදුපුත්තු”, “සඳකිඳුරු” දයානන්ද ගුණවර්ධනගේ “ස්වර්ණතිලකා”, “නරිබෑනා”, හෙන්රි ජයසේනගේ “ජනේලය”, “කුවේණි”) සත්‍යයකි. එහෙත් ඇතැම් නාට්‍යවේදීන්ගෙන් එය ඒකාකාරී රාමුවකට සිර වී අනුචිතභාවයෙන් එකතැන පල්වුණු ස්වරූපයකට පෙරළිණ. ඊට විකල්ප වශයෙන් දේශීය නාට්‍ය කලාව 60 දශකයේ මුල යළිත් තාත්වික නාට්‍ය ධාරාවට නැඹුරු කළ පුරෝගාමියා වූයේ සුගතපාල ද සිල්වා සූරීන්ය.

“කාව්‍යාත්මක ධාරාව වඩාත් උචිත වනුයේ ඉපැරැණි කථා, ජාතක වස්තු ආදියට පමණි. සමකාලීන ජීවිත අත්දැකීම් පාදක වන නාට්‍ය සඳහා එය කොහෙත්ම උචිත නැත” යන මතවාදය ද ඒ සමයෙහි ව්‍යාප්ත වී තිබිණ. මේ මතය අසත්‍යයක් බවට පත් කරමින් හෙන්රි ජයසේනයෝ සමකාලීන ජීවන අත්දැකීමක් ශෛලිගත සම්ප්‍රදායෙන් ශූර ලෙස ඉදිරිපත් කරමින් “ජනේලය” නාට්‍යය නිර්මාණය කළහ. කාව්‍යාත්මක (ශෛලිගත) හා තාත්වික නාට්‍ය සම්ප්‍රදායන් එකිනෙකට උසස් හෝ පහත් නැත. වඩාත් වැදගත් වන්නේ නාට්‍යය තාත්වික ද ශෛලිගත ද යන්න නොව නාට්‍යවේදියා මේ ධාරාවන් භාවිත කරන කලාත්මක ස්වරූපයත් ශූර ප්‍රකාශන විලාසයත් නාට්‍යයේ තේමාවට එහි තිබෙන උචිතානුචිත භාවයත් පමණි.

පෙර පැවති කාව්‍යාත්මක ධාරාව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් පිරිපහදු වී කලාත්මක ස්වරූපයෙන් ස්ථාපිත වූයේ යම් සේද පෙර පැවති තාත්වික ධාරාව සුගතපාල සූරීන්ගෙන් පිරිපහදු වී ස්ථාපිත විය.

ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා වඩාත් වැදගත් වනුයේ ශෛලිගත නාට්‍ය ධාරාව ද තාත්වික නාට්‍ය ධාරාව ද යන පැනය ඉස්මතු කරමින් 60 දශකයේ “සිළුමිණ” පුවත්පත ඔස්සේ ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනැඟුණු බව සහෘද ඔබට මතක ඇතිවාට සැක නැත. මේ සංවාදයේදී ශෛලිගත හෙවත් කාව්‍යාත්මක ධාරාව වඩා වැදගත් බව පවසමින් පෙරමුණ ගත්තේ දයානන්ද ගුණවර්ධන සූරින්ය. සුගතපාල ද සිල්වා සූරීහු තාත්වික ධාරාව වෙනුුවෙන් පෙනී සිටියහ. මේවා වචනයේ පරිසමාප්ත අරුතෙහිම ශාස්ත්‍රීය සංවාද විනා කිසිදු විටක අන්‍යෝන්‍ය මඩ ගසා ගැනීම්, අත්තුක්කංසන, පරවම්භන නොවුණි. සැබෑ ශාස්ත්‍රීය සංවාද අධ්‍යයනය කරනු රිසි නව පරපුරේ විද්‍යාර්ථිහු මේවා කියවත්වා! මෙලෙස එකී ශාස්ත්‍රීය සංවාදය පැවතෙන අතර ප්‍රවීණ සාහිත්‍යවේදී එච්. ඒ. සෙනෙවිරත්න පිළිතුරු ලිපියක් ලියමින් පවසා සිටියේ “ලාංකේය වේදිකා නාට්‍ය කලාවට සුගතපාල ද සිල්වා සහ දයානන්ද ගුණවර්ධන යන විශිෂ්ටයන් දෙදෙනාම අවැසි පමණටමැ ශෛලිගත හා තාත්වික නාට්‍ය ධාරා ද්වය ද අවශ්‍ය බවයි”. ඉන් සංවාදය හමාර විය.

ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා වඩාත් වැදගත් වනුයේ ස්වතන්ත්‍ර නාට්‍යද? පරිවර්තන නාට්‍යද? යන සංවාදය ද නාට්‍ය ඉතිහාසය පුරාම වරින්වර ඉස්මතු වූ ශාස්ත්‍රීය පැනයකි. 1965 රාජ්‍ය නාට්‍ය උත්සවයට ඉදිරිපත් කළ සියලු නාට්‍ය ස්වතන්ත්‍ර වූ බවත් 1999 රාජ්‍ය නාට්‍ය උත්සවයට ඉදිරිපත් කළ සියලු නාට්‍ය පරිවර්තන (Translations) හෝ අනුවර්තන (Adaptations) වූ බවත් වරක් ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයෝ පෙන්වා දුන්හ. (වේදිකාවේ රත්තරන් අවධිය පිළිබඳ සුමන මතක - මැයෙන් සුමන ආලෝක බණ්ඩාර ලියූ ග්‍රන්ථය කියවන්න).

සුගතපාල ද සිල්වා සූරින් මුල් යුගයේදී ස්වතන්ත්‍ර නාට්‍ය වඩාත් අගය කළ බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර තම ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියූ “මුදු දිය දහරක්” ග්‍රන්ථයෙන් හෙළි වේ. ශ්‍රේෂ්ඨ නෝවීජියානු නාට්‍යවේදී හෙන්රික් ඉබ්සන්ගේ “ඩ්ඥඤඤච ට්චඡතඥප” නාට්‍යය “ගැහැනියක්” ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පරිවර්තනය කොට මේ නාට්‍ය පිටපත සුගතපාලයන්ට පළමුවෙන් පෙන් වූ අවස්ථාවේදී ඔහු මෙසේ පවසා ඇත. “විදෙස් නාට්‍ය පරිවර්තනය කිරීමට හෝ අනුවර්තනයට උත්සුක නොවී ස්වතන්ත්‍ර නාට්‍යයක් නිර්මාණය කරන්න”.

එහෙත් පසුව සුගතපාලයෝ මේ මතවාදය බැහැර කරමින් විදෙස් නාට්‍ය පරිවර්තනය හා අනුවර්තනය කිරීමට පෙලඹුණාහ. 

සුගතපාල සූරීන් ස්වකීය පෞද්ගලික ජීවිතයේ හා කලා ජීවිතයේ බොහෝ අත්දැකීම් මා සමඟ හුවමාරු කොට ගත් බව පූර්වයෙහි ද මවිසින් පවසන ලදි.

“ඇයි සර්ගේ ජීවිත කතාව, අත්දැකීම් ලියා තබන්න තවමත් හිතුවේ නැත්තේ” 1996 වසරේ මුල් භාගයේ දිනක මම විමසීමි. සුපුරුදු ප්‍රසන්න සිනහවෙන් මුව සරසා ගත් ඔහු මෙසේ ඇසුවේය.

“මගේ ජීවිත කතාවෙන් අනෙක් එවුන්ට ඇති වැඩේ මොකක්ද?”

යථෝක්ත පැනය විමසමින් මා උත්සුක වූයේ ස්වයං ලිඛිත අපදානය (Autobiography) රචනා කරනු පිණිස මේ ශ්‍රේෂ්ඨ නාට්‍යවේදියා පොලඹවා ගැනීමටය. එසේ වූවා නම් ඒ මහා ඥාන සම්භාරය, අනුභූතීන් යම්තාක් දුරට මතු පරපුරේ ඥානනයට ඉතිරි කොට ගත හැකි වීමට ඉඩ තිබිණ. එහෙත් ඔහු මෙය ඵලදායි දෙයක් ලෙස නුදුටීම අපගේ අභාග්‍යයකි.

මේ වූ කලී මගේ ලේඛන දිවියෙහි ද වරින්වර සිහිපත්ව පශ්චාත්තාපයට පත් කරන සිදුවීමකි. එනම් එදා එකී පැනය වෙනුවට මා “ඔබතුමාගේ අපදානය ලියා කලා ජීවිතයත් විචාරයට ලක් කරන්න මට අවසර දෙනවාද” යැයි ඇසුවේ නම් එතුමා එකවරම මට අනුමැතිය ලබා දෙන බව මම අනුමානයෙන් නොව ප්‍රත්‍යක්ෂයෙන්ම දනිමි. මා එසේ නොවිමසුවේ එලෙස නොසිතුණු නිසා නොව ඊට එක් වෙසෙස් හේතුවක් තිබුණි. එනම් සුගතපාලයන් මෙරට විශිෂ්ට ගණයේ ලේඛකයකු වූ හෙයින් ඔහුගේම සුරතින් ස්වයං ලිඛිත අපදානයක ස්වරූපයෙන් මේ කෘතිය බිහි වීම වඩාත් වැදගත් වේ යැයි මා සිතූ බැවිනි. එසේ නොසිතා 1996 දී මා ඒ කර්තව්‍යයට අත ගැසුවේ නම් මගේ පළමු මූද්‍රිත ග්‍රන්ථය එය වීමට ඉඩ තිබිණි.

“වේදිකාවට මුලින්ම වාහනයක් ගෙනාපු නාට්‍යයක් ගැන අහලා තියෙනවාද?” දිනක් සුගතපාලයෝ මගෙන් ඇසූහ. මම විස්්මයෙන් යුතුව “නැහැ” යැයි පැවසීමි. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “ඒ තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ “මල් යහනාව”. මම 1959 දී තමයි මේ නාට්‍යය නැරඹුවේ. එහි අපූර්ව අත්හදාබැලීමක් තිබුණා. හිටි ගමන් ඒ නාට්‍යයේ චරිතයක් මෝටර් රථයක් පදවමින් වේදිකාවට එනවා. මෙය ඊට පෙර කිසිදු නාට්‍යයක අප නුදුටු ජවනිකාවක් නිසා පේ‍්‍රක්ෂකයෝ විස්මයෙන් යුතුව බලා සිටියා. 1948 දී පමණ මට සිරිසේන විමලවීරයන් අහම්බෙන් හමු වුණා. ඒ කෝච්ච්යේ්දී. මං ගම්පොළ ඉඳල කෝච්චියෙන් කොළඹ පැමිණි ගමනකදී. එදා තමයි පළමුවෙන්ම ඔහු සමඟ මං කතාබහ කළේ.”

ඉතිරි කොටස ලබන සතියේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.