වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
කලාව කලාව සඳහාද? ජනතාව සඳහාද?
සුගතපාල ද සිල්වා සූරීන් තරුණ පරපුරට කෙතරම් නම් අත හිත දුන් කලාකරුවකු දැයි සිතූ කල්හි ප්‍රවීණ ගුරුවරයකු, නාට්‍යවේදියකු වූ ලීල් ආනන්ද ගජනායක මහතා මා හට පැවසූ සිදුවීමක් සිහිපත් වේ.
1989 භීෂණ සමයෙන් පසුව ආයුධ භාර දී යටත් වූ 13,000 ක පමණ තරුණ පිරිසක් මෙරට විවිධ ප්‍රදේශවල ඉදි කෙරුණු මධ්‍යස්ථාන 68 කදී පුනරුත්ථාපනය කෙරිණ. එවක පුනරුත්ථාපන කොමසාරිස්වරයා වූයේ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහතාය. (වත්මනෙහි පැවිදි වී සිටින පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි) ජාතික තරුණ සේවා සභාවේද සහය ඇතිව මෙහිදී සහකාර සංස්කෘතික කොමසාරිස් ලෙස පත් කෙරුණු ලීල් ආනන්ද ගජනායක මහතාට මේ තරුණ පරපුර සෞන්දර්ය විෂයන් හරහා සුමඟට ගැනීමේ වගකීම පැවරිණ. ඔහු එහිදී නාට්‍ය අංශය සුගතපාල ද සිල්වාණන්ට භාර කළේය. සුගත් උදෑසනම පැමිණ එක් එක් මධ්‍යස්ථානවලට ගොස් සවස් වනතුරු රැඳී සිටිමින් තරුණ ප්‍රජාව පුනරුත්ථාපනය කිරීමට නාට්‍ය වැඩමුළු පැවැත්වූයේය. දෛනිකව තම නිවසේ සිට පැමිණීමටත් සවස ආපසු නිවස බලා යෑමටත් ගජනායක මහතා සැපයූ වාහනය හැරුණු විට මේ මහඟු කර්තව්‍ය සඳහා සුගත් කිසිදු මුදලක් අය කළේ නැත. ඔහුගේ වටිනා සේවය අගයනු වස් ගජනායක මහතා එවක රජයෙන් අනුමත කළ මුදල ඉතා අපහසුවෙන් සුගත්ගේ බිරිය ශීලාවන් අතට පත් කළේ අනේකවිධ ආර්ථික ගැටලු මැද මේ මානව හිතවාදී මහා කලාකරුවා ගෙන ගිය ජීවන අරගලය දත් බැවිනි. සුගත් පුනරුත්ථාපන කඳවුරුවල සිටි තරුණයන්ගේ නාට්‍ය කලා හැකියාවන් ඉස්මතු කළේය. දිනක් ඔහු ලීල් ආනන්ද ගජනායකයන්ට මෙසේ කීවේය. “ලීල්, හුඟාක් වටිනා අදහස් තියෙන තරුණයන් මෙහි ඉන්නවා. මට දැන් පේ්න්නේ පුනරුත්ථාපනය කරන්න ඕනෑ මේ කොල්ලන්ව නෙවෙයි, අර එළියේ ඉන්න මහා එවුන්වයි”.
සුගත්ගේ ගුරුහරුකම් ලැබ පොල්ගොල්ල මධ්‍යස්ථානයේ තරුණ කැල ඉදිරිපත් කළ ‘කම්මාසධම්ම‘ නාට්‍යයට 1990 යෞවන නාට්‍ය උලළේදී හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන 7 ක් හිමි විය. මේ නාට්‍යයේ රංග වස්ත්‍ර නිර්මාණය වූයේ තරුණයන් දෛනිකව පරිහරණය කළ ඇඳ ඇතිරිලි, තුවා ආදියෙනි.
“කලාව කලාව උදෙසාද?” නොඑසේනම් “කලාව ජනතාව උදෙසා ද?” යන කලා සාහිත්යික මතවාදය 70 දශකයේදී ඉස්මතු වූයේ සමාජ සත්තා යථාර්ථවාදයෙහි නැඟීමත් සමඟිනි. “කලාව කලාව උදෙසාය” යන මතවාදය වෙනුවෙන් එකල ප්රාබල්ය ලෙසින් හඬ නැඟුවේ කෘතහස්ත සාහිත්‍යවේදී අජිත් තිලකසේනයන්ය. “දුන්න දුනුගමුවේ” නාට්‍යය ඔස්සේ සුගත් “කලාව ජනතාව උදෙසාය” යන මතවාදී ආස්ථානයට නැඹුරු වූ බැව් පෙනේ. “දුන්න දුනුගමුවේ”ට පසුව සුගත් නිර්මාණය කළ නාට්‍යය “මුතු කුමාරි” (1972)ය. මේ වූ කලී ඇලෙක්සැන්ඩර් බ්රෙෆෝට්ගේ “ධ්පථච ඹ්ච ච්ධභජඥ” නමැති (1956) ප්‍රංශ හාස්‍යෝත්පාදක ප්‍රේමනීය ගීත නාට්‍යයේ පර්වර්තනයකි. මේ නාට්‍යය පාදක කොට ගෙන සුප්‍රකට සිනමාකරු බිලී විල්ඩර් එනමින්ම චිත්‍රපටයක් (1963) තැනුවේය. ශර්ලි මැක්ලේන්, ජැක් ලෙමන් මෙහි ප්‍රධාන චරිත රැඟූහ. මේ වූ කලී ගැඹුරු දේශපාලන තේමාවක් සරල සුගම හාස්‍යයකින් ඉදිරිපත් කිරීමට දැරූ ප්රයත්නයකි. පැරිසියේ වසන ඉර්මා නමැති සුරූපී වෙසඟන හා ඇය සමඟ පෙමින් බැඳී සිටින නීති ශිෂ්‍යයකු වන නෙස්ටර් කේන්ද්‍ර කොට ගෙන මෙහි තේමාව ගොඩනැඟී ඇත. ඔහුගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇය කෙරෙහි පවත්නා දෘඪ ප්‍රේමය හේතු කොට ඉර්මා සෙසු පුද්ගලයන්ගෙන් මුදවාගෙන තමාට පමණක් අයිති කොට ගැනීමට නෙස්ටර් සිතුවේය. මේ හේතු කොට දිනක් ඔහු ඉර්මාට අපූර්ව යෝජනාවක් ගෙනාවේය.
“හොඳයි, ඔයා හොයාගෙන ගොඩක් මිනිසුන් එන්නේ නැතුව එකම එක් මිනිහෙක් විතරක් එනවනං . . .? කොන්ද පණ නැති නාකි, දිරච්චි, වේලිච්චි මිනිහෙක්. පුස්කන සල්ලි ගොඩාක් බැංකුවේ තියෙන නාකි දිරච්ච මිනිහෙක්”.
ඉර්මා නෙස්ටර්ගේ යෝජනාවට ඉතා සතුටින් එකඟ වන්නීය. මේ යෝජනාවට ඇය එකහෙළා කැමැති වනුයේ එය තමාට හිරිහැර අවම කොටගෙන වැඩි මුදලක් ඉපැයිය හැකි මඟක් වන බැවිනි. අනෙක් අතට මේ හරහා නෙස්ටර් වෙනුවෙන් තමාගේ පති භක්තිය සුරැකීමට ද මාවතක් විවර කොට ගත හැකි වනු ඇත. නෙස්ටර් පවසන මේ “ඔස්කා” නමැති මහලු මිනිසා කවුරුන්ද? ප්‍රේමය වෙනුවෙන් ඔස්කා ලෙස වෙස් වළාගෙන නෙස්ටර් මෙතැන් සිට ගත කරනුයේ දෙබිඩි ජීවිතයකි. ඔහු මේ නිසා මුහුණපාන හාස්‍යෝත්පාදක සේම බිහිසුණු, ශෝකී සිදුවීම් හරහා ප්රාබල්යය නාට්‍යෝචිත අවස්ථා හා ගැටුම් මතුවේ.
සුගත් ප්රශස්ත ස්වතන්ත්‍ර නාට්‍යයකින් පසුව අත ගැසූ “මුතු කුමාරි” නමැති පරිවර්තන නාට්‍යය ද ශිල්පීය පක්ෂයෙන් උසස් වූ නිෂ්පාදනයකි. මෙහි හාස්‍යෝත්පාදක ප්‍රේමනීය සිදුවීම් මතුපිටින් දිව යද්දී නාට්‍යයේ යටි පෙළෙන් ධනේශ්වර සමාජ ක්‍රමය සියුම් ලෙසින් උපහාසයට ලක් කෙරේ. “මුතු කුමාරි” අරභයා ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයෝ වරක් මෙසේ කීහ.
“මුඩුක්කු බසින් පෝෂණය වූ නාගරික වහර සිය නාට්‍යවලට යොදා ගැනීමට කවදත් පුරුදු ඇති ඔහු මෙතරම් උචිතව එය යොදා ගත් නාට්‍යයක් නැතැයි සිතමි”.
“මුතු කුමාරි” සුගත් යළිත් නාට්‍යධර්මී ධාරාවට ප්‍රවිෂ්ට කළ නාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිත රඟපෑ දයා තෙන්නකෝන්ගේ (නෙස්ටර් හා ඔස්කාර් ලෙස) හා මර්සි එදිරිසිංහගේ (ඉර්මා ලෙස) රූපණ ශූරත්වය ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයෙන් එකල ඇගැයුමට ලක් කළහ.
සුගත්ගේ “තුරඟ සන්නිය” (1975) නාට්‍යය හංගේරියානු ජාතික ජූලියස් හේගේ “The Horse” නමැති නාට්‍යයේ පරිවර්තනයකි. රෝමයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය කයස් කැලිගුලා නම් වූ රෝම අධිරාජ්‍යයා වරක් තම සිත් ගත් අශ්වයකු කොන්සල් ධුරයට පත් කළේය. “තුරඟ සන්නිය” නාට්‍යයට ප්රස්තුතය වූයේ මෙකී සිදුවීම වේ. ඔට්ටු ඇල්ලීම් ආදිය මඟින් හිස් වූ තම භාණ්ඩාගාරය යළිත් වරක් පුරවා ගැනීමෙහිලා කැලිගුලා හට උපකාර වූයේ මේ අශ්වයාය. ඔහු අශ්වයා හට පුරෝහිත තනතුරක් පිරිනමනුයේ එහෙයිනි. මෙය විකෘතියක් බව ඔහුට වැටහෙන්නේ නැත. රෝම වැසියෝ ද අශ්වයාගේ පුරෝහිතභාවයට දේවත්වය ආරෝපණය කොට පිළිගනිති. ඉන් රට පුරාම ව්‍යාප්ත වනුයේ තුරඟ සන්නියකි. එපමණකුදු නොව ඔහු අශ්වයාට මිනිස් බිරියක් විවාහ කරදීමට සිතුවේය. අශ්වයාගේ බිරිය ලෙස තම දියණියන් දීමට රෝමයේ ඉහළ වංශවලට අයත් වූවෝ පොරකෑහ. ඒකාධිපතිවාදයේ සහ පුද්ගලාභිවන්දනයේ බිහිසුණු බව එක් අතකින් ද අවිචාරයෙන් හෝ බියෙන් ජනතාව ඒ පසුපස යෑමේත්, තමන්ගේ අරමුණු ආත්මාර්ථකාමීත්වයෙන් ඉටු කර ගැනීමේත් නිස්සාර බව අනෙක් අතින් ද “තුරඟ සන්නිය” ධ්වනිත කෙරේ.
The Horse” නාට්‍යය නිර්මාණය කළ ජූලියස් හේ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ආභාසය ලැබූ නාට්‍යවේදියෙකි. නාට්‍යාතිශය (Melodramatical) නොවුවත් මඳක් තාත්විකත්වය ඉක්ම වූ රූපණ ශෛලියක් සුගත්ගේ “තුරඟ සන්නිය”නාට්‍යයෙහි දක්නට ලැබිණ. සංකීර්ණ විකෘති ගති ඇති කැලිගුලා ලෙස මෙහි රඟපෑ යූ. ආරියවිමල්ගේ රූපණ ප්‍රතිභාව බොහෝ දෙනා ඇගැයූහ. ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් සූරීන් වරක් පෙන්වා දුන්නේ සුගත්ගේ ප්‍රශස්තම නාට්‍ය නිර්මාණය “තුරඟ සන්නිය” වන බවය.
ඉතිරි කොටස ලබන සතියේ