වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
“චින්තන නාට්‍ය” සිංහල වේදිකාවට හඳුන්වා දීම
“දුන්න දුනුගමුවේ” නාට්‍යයෙන් පසුව දේශපාලන තේමා රැගත් නාට්‍ය රැල්ලක් මෙරට වේදිකාවේ ස්ථාපිත වූ බව මවිසින් පූර්වයෙහිද සඳහන් කරන ලදි. මේ නිර්මාණ බොහොමයක් දේශපාලනික ප්රස්තුත මතුපිටින්, නොගැඹුරු ලෙස අතපත ගෑ එනම්, ආචාර්ය ගුණදාස අමරසේකරයන් පෙන්වා දුන් පරිදිමැ “පපඩම් නාට්‍ය” විය. සුගත් “නන්දිවිසාල” (1977) නිර්මාණය කළේ එකී පපඩම් නාට්‍ය නැරඹීමෙන් ප්‍රේක්ෂකයා හෙම්බත් වී සිටි පසුබිමකය. “නන්දිවිසාල” මෙකී විඩාව දුරු කළ නාට්‍යයකි. සමාජයේ පන්ති ගැටුම ප්රස්තුත කොට ගත් “නන්දිවිසාල” ද දේශපාලන තේමාවක් රැගත් නාට්‍යයක් බැව් සැබවි. එහෙත් අවසෙස් දේශපාලන නාට්‍යවලට වඩා එහි ගැඹුරු දේශපාලනික අරුතක් ගැබ් වී තිබිණ. චාටු බස් නිසා ආත්ම සංතර්පණය කරගන්නා මිනිසුන් ඉක්බිතිව නොදැනුම්වත්ව ආත්ම වංචනිකයන් වන අයුරු නාට්‍යවේදියා මින් නිරූපිතය.
දේශපාලන ප්රස්තුත ඔස්සේ නාට්‍ය නිර්මාණය කිරීමට වඩාත් රුචි කළ සුගත් එහි ඉදිරියට ගමන් කරමින් “දෑවැද්දෝ” (1979) වේදිකාවට ගෙනාවේය. මේ නාට්‍යය විචාරයට ලක් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් එදා පෙන්වා දුන්නේ සුගත්ගේ පර්යේෂණවල තවත් ඉදිරි පියවරක් ලෙස මේ ඔස්සේ සිංහල වේදිකාවට “චින්තන නාට්‍ය” හඳුන්වා දුන් බවය. මේ වූ කලී සම්මුතියකට විරුද්ධව නැඟෙන ප්‍රබල හඬකි. එනම් විරෝධාකල්පයකි. හංසදීපය හා කාකදීපය අතර පවත්නා දේශ සීමා අරගලය, යුද්ධය, සාමය හා යොවුන් ප්‍රේමය මේ නාට්‍යයට ප්රස්තුත විය. අකාලයේ අපට අහිමි වූ යූ. ආරියවිමල් (ධනසේන ලෙස) හා ධම්ම ජාගොඩ ( මහා අදිකාරම ලෙස) කරට කර රඟපෑ අයුරු “දෑවැද්දෝ” එදා නැරඹූවන්ට අමතක නොවනු ඇත.
පූර්වයෙහි පැවති සුබ සාධනවාදී සංවෘත අර්ථ ක්‍රමය එකවර උඩු යටිකුරු කරමින් 1977 වසරේ විවෘත අර්ථ ක්‍රමය මෙරට ස්ථාපිත වත්ම මානුෂික සබඳතා ජාලය ද පෙරට වඩා සංකීර්ණ මුහුණුවරකට පෙරළිණ. සාරධර්ම, අගනාකම් නොතැකූ බොහෝ මිනිස් සබඳතා වාණිජකරණයට හසු වී වෙළඳපොළෙහි අලෙවි වන්නට විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘මනමේ’’ නාට්‍යයට ද පාදක වූ චුල්ල ධනුද්ධර ජාතකය ආශ්‍රෙය කොට එය තත්කාලීන සමාජ සන්දර්භය වෙත ස්ථාන ගත කරමින් ඊට අභිනව අර්ථ කථනයක් ගෙනෙන නාට්‍යයක් නිර්මාණය කිරීමට සුගත් උත්සුක වූයේය. එය “සත සහ සත” (1981) නම් වූ අතර මනුෂ්‍යත්වය හා වාණිජත්වය අතර පවත්නා ගැටුම මීට පාදක විය. ඉපැරැණි කලා කෘතියකට නව අර්ථ කථනයක් ලබා දීමේදී මෙරට බොහෝ නිර්මාණකරුවන් අතරින් ගිලිහෙන දෙයක් නම් එය තත්කාලීන සමාජයට මැනවින් ආබද්ධ කොට ගැනීමය.
ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අරභයා මිනිසා මුහුණපාන අනුභූතීන්, වේදයිත, මනෝභාවන් කවර කලෙකත්, කවර රටෙකත් සමාන විය හැකි නමුත් ඔවුන් ජීවත්වන යුගය, සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පසුබිම අනුව ඒවාහි වෙනස්කම් දැකිය හැකිය. උසස් කලා කෘතියකින් අතීතයේ සමාජයේ තතු අරභයා ද වත්මන් සමාජයේ ස්වරූපය ද අනාගතයට ඉඟි කිරීම් ද හඳුනා ගත හැකි බව වරක් සුප්‍රකට විචාරක රේමන්ඩ් විලියම්ස් කීවේය. “සත සහ සත” නූතන සමාජ සන්දර්භයට ඉපැරැණි “මනමේ” කතාව ස්ථානගත කිරීමට දැරූ හරවත් ප්රයත්නයකි. “මනමේ” හි තක්සලා නුවර දිසාපාමොක් “ සත සහ සත” හි සරසවි මහැදුරෙකි. මනමේ කුමාරිය කුමාරි ලෙසත් මනමේ කුමරු කුමාරසිංහ ලෙසත් වැදි රජු වැදිසිංහ ලෙසත් මෙහි දක්නා ලැබේ. ස්ත්‍රියකගේ චපලත්වය සංකීර්ණ හා මානුෂික මුහුණුවරින් “මනමේ” නාට්‍යයෙහි විදාරණය වූ අතර “සත සහ සත” හී මිනිස් සබඳතාවලට වඩා මුදල් රජ කරන සමාජ ව්‍යුහයක ප්‍රේමයට හිමි තැන අරභයා ගැඹුරින් විවරණය කෙරිණ.
මෙහි කුමාරි කුමාරසිංහ සමඟ විවාහ වනුයේ හුදෙක්ම ඔහු ධනපතියකු වන බැවිනි. එහෙත් ඇය පෙම් කරනුයෙන් හැඩිදැඩි සිරුරක් ඇති වැදිසිංහටය. වැදිසිංහගෙන් ඇයට ලැබෙන කායික තෘප්තිය පමණක් පතා කුමාරසිංහගෙන් දික්කසාද වීමට කුමාරි රුචි නොකළාය. ඊට හේතුව කිම? අසීමිත ධන තෘෂ්ණාවය. උගත්කම හා ධනවත්කම කුමාරසිංහ සතු වුවත් හැඩි දැඩි සිරුර තිබුණේ වැදිසිංහටය. කුමාරි මේ දෙඅන්තයෙහි දෝලනය වන්නීය. සුගත් මේ උභතෝකෝටික ගැටුම විසඳනු පිණිස ඉක්බිතිව කාලි මාතාවගේ චරිතය වේදිකාවට හඳුන්වා දේ. කුමාරසිංහගේ හිස වැදිසිංහටත් වැදිසිංහගේ හිස කුමාරසිංහටත් හුවමාරු කෙරෙන්නේ මෙහි ඵලයක් වශයෙනි.
නාට්‍යෝචිත ගැටුම සංකීර්ණ වෙමින් ඔවුන් දෙදෙනාගේ සිරුරුවල හිස සහ කඳ අතර නොගැළපීම් උග්‍ර අතට හැරේ. හිස මාරු වූ පුද්ගලයෝ කුමාරිගේ ප්‍රේමය උදෙසා සටනට පිවිසෙත්. මේ ද්වන්ධ සටන ජයගනු පිණිස දෙදෙනාම කුමාරිගෙන් කඩුව ඉල්ලා සිටිති. මේ තුන් කොන් ප්‍රේමයේ ඵලාගමය කුමක්ද? දෙදෙනාටම කඩුව නොදී කුමාරි ඉන් තම දිවිය තොර ගැනීමය. “සත සහ සත” හී ගුණදාස කපුගේගේ දේශීය නාද මාලා පදනම් වූ සංගීතය එකල විචාරකයෝ අගය කළහ. මෙහි වැදිසිංහ ලෙස රඟපෑ ප්‍රවීණ නළු සොමී රත්නායකගේ රංගනයෙන් ඔහු අග්‍රගණ්‍ය රූපණවේදී ගාමිණි ෆොන්සේකාගෙන් ලැබූ ආභාසය හෙළි වෙතැයි පැවසූ විචාරකයෝ ද එකල සිටියහ.
“සත සහ සත”ට පසුව සුගත් යොමු වනුයේ විදෙස් නාට්‍ය කෘතියක් දෙසටය. වර්න් ජේ. ස්නයිඩර් විසින් ලියන ලදුව 1951 දී පළ වූ The Tea House of the August Moon” නවකතාව ඇසුරෙන් ජෝන් පැට්රික් එනමින්ම නාට්‍යයක් 1953 දී නිර්මාණය කළේය. ඊට පුලිට්සර් සම්මානය හිමි විය. ඉක්බිතිව ඩැනියෙල් මන් එනමින්ම තැනූ චිත්‍රපටය 1956 දී තිරගත වය. ශ්‍රේෂ්ඨ නළු මාලන් බ්රැන්ඩෝ, ග්ලෙන් ෆෝඩ්, මචිකෝ ක්යෝ මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. සුගත්ගේ ‘‘ඇසළ සඳ අවන්හල” (1981) වූ කලී ජෝන් පැට්රික්ගේ නාට්‍යයෙහි අනුවර්තනයකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයට යටත් වූ ධතිනාව නම් අග්නිදිග ආසියානු දූපතක ඇති වූ සංස්කෘතික අරගලයක් මේ නාට්‍යයට ප්රස්තුත විය. කවර දේශපාලන මතවාදයක් වුවත් රටකට ප්‍රවිෂ්ට විය යුත්තේ අදාළ රටෙහි සභ්‍යත්ව විඥානයට හානියක් නොවන පරිද්දෙනි යන චින්තනය මේ නාට්‍යයෙන් ප්‍රේක්ෂකයෝ උකහා ගත්හ. නූතන ගෝලීයකරණයෙහි (Globalization) ඵලයක් වශයෙන් ජනප්‍රිය සංස්කෘතික මතවාද නව මාධ්‍ය සංස්කෘතියක් ලෙසින් යුරෝපයෙන් ආසියානු රටවලට ව්‍යාප්ත වීම ආරම්භ වූයේ 70 දශකයේ අග භාගයේ පටන්ය. විවෘත ආර්ථිකය ඔස්සේ එය ලංකාවට සංක්‍රමණය වී වඩාත් තහවුරු වූයේ (විශේෂයෙන් ජනමාධ්‍ය ඔස්සේ) 90 දශකයේ පටන්ය. යුනෙස්කෝව 1977 දී පත්කළ ෂෝන් මැක්බ්රයිට් වාර්තාවෙන් සුපැහැදිලිව පෙන්වා දුන්නේ මෙකී නව ජනමාධ්‍ය සංස්කෘතිය හසුරුවන ජනමාධ්‍ය මඟින් ලංකාව වැනි රටවල සභ්‍යත්ව විඥානයට හානිදායක විය හැකි බවය. ““Many Voices One World” නමින් මෙකී මැක්බ්රයිට් වාර්තාව 1980 දී පළ විය. “ඇසළ සඳ අවන්හල” වැනි නාට්‍යයක් නිර්මාණය කිරීමට සුගත්ට බලපෑවේ මැක්බ්රයිට් වාර්තාවෙන් කල් ඇතුව පෙන්වා දුන් අනාවැකි යැයි සිතේ. රටක ප්රජාතන්ත්රවාදය හොඳින් තහවුරු වීමට නම් අදාළ රටෙහි ජනතාවට තම සභ්‍යත්ව විඥානය අරභයා පෘථුල අවබෝධයක් තිබිය යුතු බවට වී. අයි. ලෙනින් පැවසූ කියුම ද විචාරශීලී වාමාංශිකයකු වූ සුගත් කෙරෙහි බලපාන්නට ඇත.
“ඇසළ සඳ අවන්හල”නාට්‍යයේ දක්නා ලැබෙන දූපතට ප්රජාතන්ත්රවාදය හඳුන්වාදීමට විදේශිකයන් උත්සුක වනුයේ ඒ දූපතෙහි සංස්කෘතිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිවය. ගෘහ කර්මාන්ත දියුණු කිරීමෙන් මේ දූපත සංවර්ධනය කරනු සඳහා ඔවුහු බ්‍රැන්ඩි නිෂ්පාදනය හඳුන්වා දෙති. ඉන් නොනැවතී ප්රජාතන්ත්රවාදය හඳුන්වාදීමට උත්සුක වෙති. මේ ප්රජාතන්ත්රවාදය යනු කවරක්දැයි අවබෝධ කොට ගත හැකි උගතුන්, බුද්ධිමතුන් දූපතෙහි නොසිටි බැව් පෙනේ. ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් මෙහි වැසියන් ගම්මානයට පාසලක් වෙනුවට අවන්හලක් ඉල්ලා සිටින්නේ එබැවිනි. පාසලෙන් වේවා අවන්හලෙන් වේවා විදේශිකයන් අපේක්ෂා කරනුයේ එකම අරමුණ බව මේ දූපත්වාසීහු වටහා නොගනිති. අධිරාජ්‍යවාදයෙන් බැට කන රටක සැබෑ තතු සුගත් “ඇසළ සඳ අවන්හල” ඔස්සේ උපහාසාත්මකව ගැඹුරින් විවරණය කළේය. මේ වූ කලී දේශපාලන තේමාවක් කලාත්මක සංයමයෙන් ඉදිරිපත් කළ ප්රශස්ත නාට්‍යයක් බව සයිමන් නවගත්තේගම සූරීහු පැවසූහ.
“ඇසළ සඳ අවන්හල” නාට්‍යයෙහි කැප්ටන් ෆිස්බිගේ මුවට නැංවෙන මාහැඟි දෙබස් ඛණ්ඩයක් මේය.
“ප්රජාතන්ත්රවාදය කියන්නේ ඒකට නෙවෙයි. ඒක ඇදහිල්ලක්, භක්තියක්. ඈට කියන්න ප්රජාතන්ත්රවාදය කියන්නේ එක්තරා ක්‍රමයක් කියලා. මිනිස්සුන්ට ඒකරාශී වෙන්න පුළුවන් හොඳ උත්කෘෂ්ට ක්‍රමයක් කියලා. ඒත් ඒ නාමයෙන් ඒකරාශි වෙන මිනිස්සු හැමවිටම උත්කෘෂ්ට නැහැ”.
ඉතිරි කොටස ලබන සතියේ