වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ජැක්සන්ගේ කොටහළු මංගල්‍යය
වේදිකා නාට්‍යකරණයෙහි වසර 5 ක පමණ නිහැඬි ‘The Persecution and Assassination of Jean-paul Marat as performed by the Inmates of the Asylum of charenton under the Direction of the Marquis de sade’ නමැති සුප්‍රකට නාට්‍යය වෙතය.
මෙහි කෙටි නම ‘Marat / Sade’ විය. සුගත්ගේ ‘මරාසාද්’ (1986) වූ කලී මෙහි පරිවර්තනයකි. 1986 දෙසැම්බර් රාජ්‍ය නාට්‍ය උලෙළට ඇතුළත් කරනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී වේදිකා ගත කළ ‘මරාසාද්’ නාට්‍යයේ මහජන දර්ශනය මුල්වරට 1987 දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වේදිකා ගත කෙරිණි. එදා මුල්වරට මෙය නරඹන විට මම යාන්තම් එකොළොස් හැවිරිදි වියෙහි පසු වුණෙමි. එහි ගැඹුරු අරුත් කිසිවක් එදා මට අවබෝධ වූයේ නැත. එහෙත් මේ අතීත සිදුවීම සිහිපත්වත්ම මා තුළ නිහතමානී සතුටක් දැනේ. ඊට හේතුව කිම? කිසිවක්ම නොතේරුණු ‘මරාසාද්’ නාට්‍යය පැය 2 ක් ඉක්මවා නිමවන තුරුම නැරඹීමට තරම් ශික්ෂණයක් එදා මා හට තිබූ බැවිනි. එබඳුම අත්දැකීමකට මා මුහුණ පෑ සම්භාව්‍ය සිනමා කෘතියක් මට සිහිපත් වේ.
ඒ රුසියානු මහා සිනමා කවි ආන්ඩ්‍රේ ටර්කොව්ස්කිගේ ‘The Sacrifice’ය. මෙය මුල්වරට මා නැරඹුවේ (1989) දහතුන් හැවිරිදි වියේදීය. එදා මෙහි ගැඹුරු රස භාව අරුත් කිසිවක්ම නොවැටහෙද්දී එය අතරමඟ නොනවත්වා නරඹා අවසන් කිරීමට චිත්රපටයෙහි නාමය පරිද්දෙන්ම පරිත්‍යාගයක් (Sacrifice) කිරීමට සිදු විය. සුගත්ගේ ‘මරාසාද්’ ටර්කොව්ස්කිගේ ‘The Sacrifice’ වැනි සම්භාව්‍ය කලා කෘතිවල ගැඹුරු ප්රකටිභූත හා ප්‍රච්චන්න අරුත් සාකල්‍යයෙන් ග්‍රහණය කොට ගනු පිණිස කොතරම් නම් උසස් රස වින්දන ශක්තියක් පෘථුල විචාර ශක්‍යතාවක් සහෘදයකු සතුව තිබිය යුතුද? එබඳු උසස් රසඥතාවක්, විචාර ශක්තියක් සහෘදයකු තුළ වගා කරගනු පිණිස දුක සේ වෙර වීර්යෙන් දීර්ඝකාලීනව ශාස්ත්‍ර හැදෑරීමෙන් ලත් බහුශ්රැතභාවයක්, කැපවීමක්, ශික්ෂණයක් තිබිය යුතුය යන ‘මාහැඟි පාඩම’ මේ කෘති යුගල මුල්වරට සේවනය කිරීමෙන් මම උගතිමි.
‘පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ’ යනුවෙන් ‘කව්සිළුමිණ’ හි දෙවැනි පැරකුම්බා රජු කී ලෙසින් උසස් රසඥතාව ලැබීම දුර්ලභ කරුණකි. ඒ උදෙසා බොහෝ සේ ඇප කැප විය යුතුය.
‘මරාසාද්’ සේම ‘The Sacrifice’ ද මට නිවැරැදිව කියවා ගත හැකි වූයේ වයසෙන් හා දැනුමෙන් මුහුකුරා ගිය පසුවය. එහෙත් මේ ප්රශස්ත නිර්මාණ යළි යළිත් සේවනය කිරීමෙන් අපගේ ජීවිතාවබෝධය පෘථුල වේ. ‘රූපණවේදියකු ලෙස මා කොටහළු වූයේ මරාසාද් නාට්‍යයෙන්’ බව ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි සූරීහු බොහෝ අවස්ථාවලදී පැවසූහ. ඔහුගේ රංගන දිවියෙහි ඉතිහාසය පිරික්සීමේදී මෙහි සත්‍යතාව වැටහේ. ජැක්සන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හදාරන සමයේ එනම් 1981 දී කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මංගල සේනානායක (වත්මනෙහි මහාචාර්ය) නිර්මාණය කළ ‘එහෙත්’ නම් වූ විනාඩි 20 ක කෙටි නාට්‍යයෙහි රඟපෑවේය. නාට්‍ය උලෙළකදී මේ කෙටි නාට්‍යය නැරඹූ සුගත් හට ජැක්සන් නමැති මේ යොවුන් සරසවි සිසුවාගේ අභ්‍යන්තරයෙහි සිටින ගැඹුරු රංගවේදියාගේ පෘථුල රූපණ පරාසය ක්ෂණිකව ග්‍රහණය විය. ‘හොඳට රඟපාන්න පුළුවන් දක්ෂ කොල්ලෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවා’ යන සුගත්ගේ රෙකමදාරුව ඉක්බිතිව මෙරට නාට්‍ය ක්ෂේත්රයේ සතර දිග් භාගයේ පැතිර ගියේය.
ලූෂන් බුලත්සිංහලයන් ‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍යය උදෙසාත් දයානන්ද ගුණවර්ධනයන් ‘මධුර ජවනිකා’ නාට්‍යය උදෙසා ජැක්සන් තෝරා ගනුයේ මෙහි ඵලයක් වශයෙනි. එහෙත් මේ භූමිකාවලින් ඉස්මතු වූයේ සරල, සැහැල්ලු, විනෝදකාමී තාරුණ්‍යයකි. ධම්ම ජාගොඩයන් ‘පළිඟු මැණිකේ’ ටෙලි නළුවේ ඔහුට ලබා දුන් ‘විජේපාල’ නමැති චරිතයෙහිද ඊට වැඩි වෙනසක් නොවීය. සුගත් මුල්වරට හඳුනාගත් සංකීර්ණ, ගැඹුරු චරිත රඟපෑ හැකි නළුවා එකී නිර්මාණවලින් ඉස්මතු නොවුණි. එහෙයින් හුදෙක් රෙකමදාරුවෙන් පමණක් නොනැවතී ජැක්සන්ගේ රූපණ පරාසය කලා ක්ෂේත්රයට පෙන්වා දීමට සිදු වූයේ ද සුගත්ටමය. සැබැවින්ම ‘මරාසාද්’ හී විප්ලවීය නායකයකු ලෙස ඒ අරභයා පොත් ලියමින් සිටින කුෂ්ඨ රෝගයකින් පෙළෙන ‘මරා’ගේ චරිතයෙන් ජැක්සන් ඇන්තනි නමැති ප්‍රතිභාපූර්ණ රූපණවේදියා කොටහළු වූයේය. ‘මරාසාද්’ දුටු ආචාර්ය ධර්මසේන පතිරාජයෝ ‘ඇල්ල ළඟ වලව්ව‘, ‘කඩුල්ල’ (කුරුතේරිස්) ටෙලි නළු සඳහා ඔහු තෝරා ගත්හ. ‘කඩුල්ල’ ටෙලි නළුව දුටු ධර්මසිරි බණ්ඩාරනායකයෝ ‘බව දුක’ ’බවකර්ම‘ චිත්‍රපටවල පේදුරුගේ භූමිකාවට ජැක්සන් තෝරා ගත්හ. එහෙයින් ඔහුගේ රූපණ දිවියෙහි මංසලකුණුවල මුදුන් මල්කඩ ‘මරාසාද්’ ලෙස හැඳින්වීම සහේතුකය. ‘මරාසාද්’ සුගත්ගේ පති කෘතියකි (Masterpiece).
ශ්‍රේෂ්ඨ නාට්‍යවේදියකු ලෙස ඔහුගේ ප්‍රයුංජන කාර්යයෙහි පරිපාකය ‘දුන්න දුනු ගමුවේ’ට පසුව හඳුනාගත හැක්කේ ‘මරාසාද්’ නාට්‍යයෙනි. ‘Masterpiece’ යන ඉංග්‍රීසි යෙදුමට සුගත් භාවිත කළේ ‘අධි කෘතිය’ යන සිංහල වදන බව මට සිහිපත් වේ. මේ නාට්‍යය වේදිකා ගත කෙරෙන පැය දෙකක් ඉක්ම වූ කාලය පුරා මෙහි රඟපාන සියලු නළු නිළියන් වේදිකාවේ රඳවා ගැනීමත් සුගත්ගේ ශූර ප්‍රයුංජන කාර්යය ඔස්සේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය වරින්වර මතු කිරීමත් විශිෂ්ට අත්හදා බැලීමකි. මුළු නාට්‍යය පුරාම බෙහෙත් ඔරුවේ සිටින මරා ඉන් බසින්නේ දෙවතාවක් පමණකි. මෙරට බිහි වූ ප්රශස්ත බුද්ධිගෝචර දාර්ශනික නාට්‍ය අතර තවමත් ‘මරාසාද්’ අග්‍රස්ථානයෙහි වැජඹේ. මානසික රෝහලක නේවාසිකයන් රඟ දක්වන්නක් ලෙස මේ නාට්‍යය ඉදිරිපත් කෙරේ. ප්‍රංශ විප්ලවයෙන් පසුව ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය මීට ප්රස්තුත විය. ප්‍රංශ විප්ලවයේ පශ්චාත් ප්‍රතිඵල අරභයා මරා සහ සාද් අතර ඇතිවන බුද්ධිමය සංවාදය ඔස්සේ මෙකී දේශපාලන ව්‍යාකූලත්වය විදාරණය කෙරේ. ප්‍රංශ ජනතාව විප්ලවීය මඟක් ඔස්සේ එතෙක් පැවති 14 වැනි ලුවී රජුගේ අත්තනෝමතික රාජාණ්ඩුව පෙරළා දමන නමුත් එමඟින් ඔවුන්ගේ ඊප්සිතාර්ථය වූ නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය ඈ පරමාදර්ශ ස්ථාපිත කෙරෙන ප්රජාතන්ත්රවාදී සමාජය බිහි වුණේ නැත. ඒ වෙනුවට පහළ වූයේ කුමක්ද? මර්දනකාරී ආඥාදායකත්වයකි.
සුගත් මෙහිදී පීටර් වෙයිස්ගේ කෘතියෙහි සියලු දේ නොගෙන ස්වකීය ව්‍යුත්පත්තික ඥානයෙන් අප රටෙහි වේදිකාවට අවැසි, අංග ඖචිත්‍යපූර්වක ලෙස කිරා, මැන, පෙරා, ගළපා ගත්තේය. මෙරට සම්ප්රදාය නොහඳුනන, විවේක බුද්ධියෙන් හා ව්‍යුත්පත්තියෙන් තොර නිර්මාණකරුවන්ට සිදු වනුයේ තමන් ඇසුරු කොටගන්නා යුරෝපීය කලා කෘතිවලට වහල් වී යටපත් වීමටය. අන්තර්ජාතික සම්මාන අපේක්ෂාවෙන් සිංහල දෙබස් සහිත ප්‍රංශ, ඉතාලි, ස්වීඩන්, රුසියානු, පෝලන්ත, චෙක් චිත්‍රපට මෙකල බහුලව නිර්මාණය කරන නූතන පරපුරේ ඇතැම් සිනමාකරුවන්ට තමන්ගේ සහ රටේ අනන්‍යතාව සොයා පාදා ගනු පිණිස මේවා කදිම පූර්වාදර්ශ සපයනු නිරනුමානය. ඉමහත් ආයාසයකින් පරිශ්‍රමයකින් හැදෑරිය යුතු සම්ප්රදාය නොදන්නා කලාකරුවන්ට කිසිදා නූතනවාදීන් විය නොහැකිය.
විප්ලවයේ අර්ථය හා අනාගතය අරභයා මරා සහ සාද් අතර ගොඩනැඟෙන බුද්ධිමය සංවාදය ගැඹුරු දාර්ශනික ස්වරූපයක් උසුලයි. සුගත් සම්මත කතා ශෛලියෙන් විනිර්මුක්තව රංග වින්‍යාසයට (Choreography) ප්‍රමුඛත්වය ලබා දෙමින් අර්ථ රස ජනනය කෙරෙන ධ්වනි පරිපුෂ්ට භාෂා ශෛලියකින් මෙහි දෙබස් රචනා කොට තිබේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ප්රශස්ත ස්වර සංරචනා මෙහි තවත් භූමිකාවක් වැන්න. ‘මරාසාද්’ මැයෙන් සුගත් ගොඩනැඟූ ප්රශස්ත සම්භාව්‍ය විසල් ගොඩනැගිල්ල ශක්තිමත්ව ඉහළට ඔසවා ගෙන දෙපස සිටින රූපණ කුලුනු ද්වයකි. එනම් මරා ලෙස රඟන ජැක්සන් ඇන්තනි සහ සාද් ලෙස රඟන ඩබ්ලිව්. ජයසිරිය. ඔවුහු එක සමානව මැ මේ නාට්‍යමය ගොඩනැගිල්ල ඔසවා සිටිය යුත්තෝය. මක්නිසාද යත් එක කුලු
නක් බුරුල් වුවහොත් ගොඩනැගිල්ල සෙලවීම නොවැළැක්විය හැකි බැවිනි. මේ වූ කලී එක් එක් සහෘදයා ස්වකීය බුද්ධි මට්ටම, වින්දන ශක්තිය අනුව කියැවිය යුතු නාට්‍යයකි. මේ අරභයා සහෘද කියැවීම් ඒ අනුව එකිනෙකට වෙනස් විය හැකිය. බුද්ධිමය ප්‍රහේලිකාවක් බඳු ‘මරාසාද්’ වර්ගයේ නාට්‍ය මෙරට නාට්‍ය ඉතිහාසයෙහිම විරල වේ. බුද්ධිය, තාර්කිකත්වය හා අන්තර් ඥානය අතර වරින්වර දෝලනය වෙමින් සහෘදයාගේ ඥේය මණ්ඩලය පෘථුල කරමින් ඔවුන් ඥානනය කරනු පිණිස නාට්‍යවේදියා මෙමඟින් ප්රයත්න දරනු පෙනේ. සුප්‍රකට නළු රොජර් සෙනෙවිරත්න රංගනයෙන් මතු නොව කටේ ගුරාගේ (Prompter) කාර්යභාරය ඉටු කරමින් ද කලා ලොවට ප්‍රවිෂ්ට වූයේ සුගත්ගේ ගුරුහරුකම් යටතේ “මරාසාද්” නාට්‍යයෙනි.
‘මරාසාද්’ හි දාර්ශනික හා නිර්මාණාත්මක පක්ෂය නිසි සේ කියවා ගැනීමට අසමත් වූ ඇතැම් විචාරකයෝ බියට පත් වූහ. එහෙයින් තමාගේ දෘෂ්ටියට අභියෝගයක් වූ මේ නාට්‍යය හමුවේ ඔවුහු මුනිවත රැක සිටියහ. මේ අතර ඇතැම් විචාරකයෝ ස්වකීය දැනුම හා දැකුමට අනුව එය මැනවින් කියවා සෘජුව අගය කළහ. මේ අතර ‘මරාසාද්’ රුචි නොකළ, එකී අකැමැත්ත සෘජුව ප්‍රකාශ කළ ප්‍රකට වියත්හු දෙදෙනෙක් සිටියහ. ඒ බෙනඩික්ට් දොඩම්පෙගම හා ධම්ම ජගොඩය.
ඉතිරි කොටස ලබන සතියේ