ශි‍්‍රයන්තගේ තැඹිලි ගෙඩියට තිරිමාදුර විදපු හැටි

මැයි 14, 2020

 
 වේදිකාව කියන්නේ රංගන ශිල්පීන්ට අපූරු තෝතැන්නක්. අද සාර්ථක රංගන ශිල්පීන් බොහෝ දෙනකුගේ පසුබිම කුමන හෝ අවස්ථාවක වේදිකාවත් එක්ක බැඳිලා තිබුණ බව රහසක් නොවෙයි. ඒ අය අතුරින් සමහරෙක් තවමත් වේදිකාවේ සක‍්‍රීය ලෙස රැුදිලා ඉන්නවා. කොහොම වුණත් ඔවුන් තමන් වේදිකාවේ ගත කළ ඒ අතීතය සිහිපත් කරන්නේ බොහොම කැමැත්තෙන්. ඒ මතක සඳහා වෙන්වන ඉඩහසරට මෙවර පිවිසෙන්නේ බොහෝ පේ‍්‍රක්ෂකයන්ගේ ආදරයට පාත‍්‍ර වූ රංගන ශිල්පියෙක්. ඔහු කුමාර තිරිමාදුර.
 
 සමහර රංගන ශිල්පීන් තමන්ගේ ගමන ආරම්භ කරන්නේ වීදි නාට්‍යවලින්. කුමාර තිරිමාදුරත් එහෙමයි. මේ කියන කාලයේ කුමාර තිරිමාදුර කියන නම බොහෝ පේ‍්‍රක්ෂකයන් දැන ගෙන හිටියේ නැහැ. දැන් වගේ ඒ කාලයේ ඔහු ජනප‍්‍රිය රංගන ශිල්පියකුත් නොවෙයි. අපේ පත්තර සහෝදරයෙක්. දිවයින පුවත්පතේ සෝදුපත් බැලූ‍ව ඔහුගේ සිතේ ඒ කාලයේ ඉඳලම තිබුණේ රඟපෑමේ සිහිනය. කොහොම වුණත් ඒ කාලයේ තිරීට තිබුණු මේ රඟපෑමේ උණ නිසාම ඔහු ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍යවලට විතරක් නොවෙයි සමහර වේදිකා නාට්‍යවල පොඩි පොඩි චරිතත් ඔහු රඟපෑවා. සමහර වේදිකා නාට්‍යවල ඔහු වේදිකා පරිපාලනයත් කළා. මේ කියන්න යන්නේ ඔහු එහෙම රඟපෑව 1992 වසරේ වේදිකා ගතවුණු නාට්‍යයක සිදු වුණු සිද්ධියක්. ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේිඔත්තුකාරයා’යි ඒ නාට්‍යය. දිවයින පත්තරේ එකට වැඩ කළ ජයන්ත චන්ද්‍රසිරිගෙන් තමන්වත් ඔහුගේ නාට්‍යයට එකතු කරගන්න කියලා ඉල්ලූ‍ව ඉල්ලීමට අනුව ඒ කාලයේ තිරිමාදුර ”ඔත්තුකාරයා” නාට්‍යයේ රඟපෑවා. ඒ බොහොම පුංචි චරිතයක්. ඒ වන විට එහි පේ‍්‍රක්ෂකයන් අතර බොහෝ ජනප‍්‍රිය වී සිටි ප‍්‍රවීණ රංගන ශිල්පීන් රැුසක් රංගනයෙන් දායක වී සිටියා. ඒ ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි. ඒ අතර ආධුනිකයකු විදියටයි තිරිමාදුර හිටියේ. ඒ කාලයේ ”ඔත්තුකාරයා” නාට්‍ය කණ්ඩායමට එක් දර්ශනයක් වේදිකා ගත කරන්න තිබුණේ අවිස්සාවේල්ලේ පුරහලේ. ඒ යන ගමනේදි ප‍්‍රවීණ රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස් තැඹිලි ගෙඩියක් අරගෙන ගියේ පස්සේ මහන්සියට බොන්න හිතාගෙන. තැඹිලි ගෙඩියේ වහල්ලත් කපලා බොන්න පුළුවන් විදියට අරගෙන ගිය තැඹිලි ගෙඩිය පැත්තකින් තිබ්බ ශ‍්‍රියන්ත මෙන්ඩිස් 3.30 දර්ශනයට සහභාගි වුණේ තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. දර්ශනය අවසාන වුණාට පස්සේ ඔහු ආවේ තැඹිලි ගෙඩිය හොයාගෙන.
 
 ”කවුද යකෝ මගේ තැඹිලා ගෙඩිය බිව්වේ...”
 
 ඔහු එන පරක්කුවට තැඹිලි ගෙඩිය බිව්ව කවුරු හරි කෙනකු ඒක බිව්ව විතරක් නොවෙයි, ඒකට වතුරත් පුරවලා තියලා. ශ‍්‍රියන්තට යකා නැග්ගා. අවසානයේ ඒ වැඬේට මාට්ටු වුණේ කමල්ව. සමහර වෙලාවට වෙනදා ඔය වගේ වැඩ කරන්න මුල් වෙන්නේ කමල්. ඒ වුණත් මේ වැඬේ නම් කළේ කමල් නොවෙන බව ඔහු කිව්වේ අවධාරණය කරලා. අවසානයේ ශ‍්‍රියන්තට කොයිතරම් තරහ ගියා ද කියලා කිව්වොත් තැඹිලි ගෙඩිය බිව්ව කෙනා නොකිව්වොත් ඔහු කිව්වේ ඊළඟ දර්ශනයේ රඟපෑමට ඔහු සහභාගි නොවන බවක්. ජයන්ත චන්ද්‍රසිරි මැදි වුණේ පුදුම ගැටලූ‍වකට. අවසානයේ ජයන්ත, ශ‍්‍රියන්තගෙන් සමාව ගත්තත් තැඹිලි ගෙඩිය බිව්ව කෙනා හොයා ගන්න නම් බැරි වුණා.
 
 ”මම හොයා ගන්නම්කො ඕක පස්සේ කොහොම හරි”
 
 ඒත් ඒක එහෙම වුණේ නැහැ. මොනව වුණත් කාලය ගෙවිලා ගියා. හරියටම වසර 14ක්. ඒ කියන්නේ 2006 වසර උදා වුණා. ඒ වන විට කුමාර තිරිමාදුර පේ‍්‍රක්ෂකයන් අතර බොහොම ජනප‍්‍රිය රංගන ශිල්පියෙක්. මේ කාලයේ චම්පා බුද්ධිපාල කියන ඒ කාලයේ හිටිය නඩුකාර හාමුදුරුවෝ හිටියේ ඔස්ටේ‍්‍රලියාවේ. ඔහු ශ‍්‍රියන්ත, තිරිමාදුර ඇතුළු පිරිසට ”දස්කොන්” නාට්‍යය කරන්න ඔස්ටේ‍්‍රලියාවට එන්න කියලා කිව්වේ හරියටම මේ කාලයේ. හිමාලි සයුරංගිත්, වසන්ත විට්ටච්චිත් ඒ ගමනට සහභාගි වුණු අනෙක් ශිල්පීන් කිහිපදෙනක්. එහේ ගිහින් සියලූ‍ කටයුතු අහවර කරලා හැමෝම හිටියේ බොහොම සතුටින්. මේ අතරදි සියල්ලන්ම ඔස්ටේ‍්‍රලියාවේ නීතිරීති ගැන කතා කරන්න ගත්තා. මේ වෙලාවේදි තිරිමාදුර එහේ තිබෙන නීතියක් ගැන හාර හාර ශ‍්‍රියන්තගෙන් අහන්න ගත්තා. ඒ එහේ තිබුණු කිසිවකුටවත් ගහන්න බැහැයි කියන නීතිය ගැන. මේ ගැන ශ‍්‍රියන්තත් තිරිමාදුරට කිව්වේ හරියට නීතිඥයකු කරුණු පැහැදිලි කරලා දෙනවා වගේ. මොන දේ ගැන කරුණු පැහැදිලි කරලා දුන්නත් තිරිමාදුර කෙනකුට ගහන්න බැහැ කියන අදහස ගැන යළි යළිත් ඇහුවේ හාර හාරම.
 
 ”මොකටද උඹ ඔයතරම්ම ඕක ගැන අහන්නේ...?”
 
 ශ‍්‍රියන්තගේ හිතට තිරිමාදුර ගැන නැඟු‍ණේ ලොකුම ලොකු ප‍්‍රශ්නයක්.
 
 ”එහෙනම් අයියේ, ඔයාට මතක ද මීට ඉස්සර අර ඔයාගේ තැඹිලි ගෙඩියක් නැති වුණා. ඒක බිව්වේ මම අයියේ.”
 
 තිරිමාදුර කියාපි. ශ‍්‍රියන්ත තිරිමාදුරගේ පවුලේ හැමෝම මතක් කළා.
 
 ”අයියේ, මෙහේ කිසිම කෙනකුට ගහන්න බැහැ. එහෙම වුණොත් ඔන්න මාස ගාණක් හිරේ”
 
 එහෙම කියාගෙනම තිරිමාදුර දිව්වේ ප‍්‍රධාන පාරට. හැමෝටම හිනා. අවුරුදු 14 ක්. ඔහු මේ රහස රැුක්කා. අවසානයේ ශ‍්‍රියන්තට අවිස්සාවේල්ලේදි නැති වුණු තැඹිලි ගෙඩියේ පණිවිඩය ලැබුණේ අවුරුදු 14ට පස්සේ. ඒ සිඞ්නිවලින්. හිටිය ගමන් හමු වුණු අපූරු තැඹිලි ගෙඩිය ගැන ශ‍්‍රියන්ත ඉඳ හිට අදත් මතක් කරනවා. ඒ තිරිමාදුරව දැක්කට පස්සේ.
 
 තිරිමාදුර මෑත කාලයේ රඟපෑව නාට්‍යයක් වුණේ රවීන්ද්‍ර ආරියරත්නගේ ”බල්ලොත් එක්ක බෑ”. දර්ශන වාර එක්දහස් පන්සියයක් විතර දිගටම වේදිකා ගත කළ මේ නාට්‍යය වරක් නුවරත් වේදිකා ගත කළා. ඒත් එක්කම ඊළඟ දර්ශනය තිබුණේ මාතලේ. මේ නිසා නුවර වේදිකා ගත කළ දර්ශනයෙන් පස්සේ මාතලේ යන්න කලින් ඔවුන් නැවතුණේ නුවර හෝටලයක. ඒ වගේ වෙලාවට යන්න පිටත් වෙන්න කලින් මුලින්ම එළියට එන්නේ විජය අයියා (විජය නන්දසිරි). කොහොමත් පාන්දරම හොඳට ඇඳලා ඔහුයි මුලින්ම වැඩ පටන් ගන්නේ. දැන් අනෙක් අය නඬේ ගුරා, ගිහාන් ඇතුළු පිරිස කනවා. එක එක වැඩ. නාට්‍ය බසය ගමන ආරම්භ කරන්න සියල්ල සූදානම්. අනෙක් අය එනතුරු තිරිමාදුර හෙමින් හෙමින් කිට්ටු වුණේ විජය අයියාට. විජය අයියාගේ ඇහැ නැවතිලා තිබුණේ නාට්‍ය බසයේ. තිරිමාදුරගේ ඇහැත් ඉබේටම වගේ නතර වුණේ එතැන. රිලව් රංචුවක්. බස් එක හැමතැනම ඉඳගෙන පලතුරු කනවා. අඹ, කෙසෙල්.
 
 ”කවුරු හරි කෙනෙක් උන්ට පලතුරු දීලා. හොඳ වැඩක්”
 
 විජය අයියා කිව්වා. ඔහු උදේට පරෙවියන්ට කෑම දෙන එකත් මතක් කළේ මේ වෙලාවෙමයි. එකපාරටම වගේ තිරිමාදුර දැක්කේ රිලවකුගේ අතේ තියෙන පරලූ‍ පාන් කෑල්ලක්.
 
 ”උන්ට පරලූ‍ පාන් එහෙමත් දීලා නේ අයියේ”
 
 විජය අයියාත් ඒ දිහා බැලූ‍වේ එකපාරටම.
 
 ”හනික බලපන් බං වාහනේ ඇතුළේ”
 
 එතකොටයි වැඬේ වැටහුණේ. බස් එකේ කවුළුකින් ඇතුළට රිංගුව රිලා රංචුවම බස් එකේ විසිරිලා. ඒ වගේම දේවිකා අක්කා හදලා දෙන විශේෂ කෑම ඉන් එක් රිලවකුට ලැබිලා. විජය අයියාගේ පාන් එක නැත් නම් මොකද වුණේ කියලා හිතා ගන්නවත් බැරි වෙනවා තව ටිකකින්.
 
 මේ සිදු වීම සිදු වුණේ නුවරඑළියේදි. සයිමන් නවගත්තේගමගේ ”සුබ සහ යස” නාට්‍යයේ. යසලාලක තිස්ස විදියට රඟපෑවේ එදා ජයලත් මනෝරත්න. සුබ විදියට රඟපෑවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස්. මේ නාට්‍යයේ වේදිකා පරිපාලක විදියට හිටියේ කුමාර තිරිමාදුර. ඔන්න දැන් නාට්‍යය වේදිකා ගත වෙනවා.
 
 නිතරම යසලාලක තිස්ස රජ්ජුරුවෝ රට පාලනය කළේ බීමතින්.
 
 ”දාසිය මට මධු බඳුනක් ගෙන දෙව”
 
 ඔහු නිතරම කියන කියමනක්. පේ‍්‍රක්ෂාගාරයේ කට කපලා පේ‍්‍රක්ෂකයෝ. ඒත් එහි අන්තිම ආසනවල හිටිය එක් පේ‍්‍රක්ෂකයකු රජ්ජුරුවෝ මධු බඳුන බොන කොටම හයියෙන් කෑ ගහනවා.
 
 ”රජතුමනි, ඕකේ ගල් ද? පොල් ද?”
 
 ඔහු හිටියේ බීමතින් වග හොඳටම ඕනම කෙනකුට හැගෙන දෙයක්. ඒත් ඔහු නිතරම ඒකමයි ඇහුවේ. ඒ අහන හැම වෙලාවකම මුළු පේ‍්‍රක්ෂාගාරයම හිනා වෙන්නේ හයියෙන්. රංගන ශිල්පින්ට නාට්‍යය කරගෙන යන්න දෙන්නේ ම නැහැ. අන්තිමට නාට්‍යය නවත්වලා ඔහුව පේ‍්‍රක්ෂාගාරයෙන් ඉවත් කරන්න සිද්ධ වුණේ සංවිධායක මණ්ඩලයත් එක්ක එකතු වෙලා. එතැනින් අරගෙන යන්න නොදෙන ඔහුව අන්තිමට අරගෙන ගියේ මිනියක් අරගෙන යන විදියට. ඉන් පස්සෙයි නාට්‍යය ඉතුරු කොටස රඟ දැක්වුණේ.
 
 සරත් කුලාංගගේ ”දෙයියොත් දන්නේ නෑ” නාට්‍යයේ සිදු වුණු මේ සිදු වීම තිරිමාදුරට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඔහු එහි රඟපෑවේ මුදලිතුමාගේ චරිතේ. මුළු පේ‍්‍රක්ෂාගාරයම කලාකරුවන්ගේ මුහුණුවලින් පිරිලා.
 
 ”මට අත නොපාන කිසිම කෙනෙක් නැහැ. ඒ මගේ තේජස. ඒ තරම් තේජසක් තියෙනවා.”
 
 මුදලිතුමා ඇවිත් මෙහෙම කියලා යන්නේ කිහිප සැරයක්ම. ඒත් තවත් ටිකකින් යළිත් තිරිමාදුර වේදිකාවට පැමිණිය යුතුයි. ඒ එන්නට පෙර ඔහු අතේ තිබෙන බස්තම වේදිකාවේ පිටුපස තිරය ළඟ තිබ්බේ නැවත යන විට ගන්න හිතාගෙන. නියමිත වෙලාව ආවා. ඔහු වේදිකාවට යන පැත්තට ඇවිත් කලින් තිබ්බ බස්තම කළුවරේම අත ගාලා අතට ගත්තා. බොහොම ගාම්භීරව ගමන් තාලය හදා ගත්තා. යන්න හැදුව විතරයි ඇවිත් මෙන්න සරත් අයියා තිරිමාදුරව අල්ලා ගත්තා.
 
 ”යෝධයෝ ඔය අතේ තියෙන්නේ කොස්ස”
 
 එතකොටයි මුදලිතුමා බස්තම අත ගාලා බැලූ‍වේ. තව පොඞ්ඩෙන් තිරිමාදුරගේ තේජස නොවෙයි ගලන්නේ ඕජස. හොඳ කාඞ් එකකුත් වදිනවා තව චුට්ටෙන්.
 
 ඒ වගේ බොහොම රස මුසු තැන් සමඟ කුමාර තිරිමාදුරගේ රංගන ජීවිතේ ඔහු දිගු ගමනක් ආවා. ඔහු ව අද රටම දන්න රංගන ශිල්පියෙක් බවට පත් වුණු ඒ ගමනේ මතක සටහන් කිහිපයක් පමණයි මේ.