දියෝනීසස් දෙවිඳු පාමුල සිට තෙස්පියානුවන් දක්වා

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජූලි 23, 2020

අපරදිග නාට්‍ය කලාවේ ප්‍රභවය හා ග්‍රීක නාට්‍ය

අපරදිග නාට්‍ය කලාවේ ප්‍රභවය ලෙස ග්‍රීක නාට්‍ය කලාව සලකනු ලබයි. අපරදිග ඉතිහාසයේ අතීතයේ විවිධ ශිෂ්ටාචාරවල නාට්‍ය හෝ නාට්‍ය කලාවේ ප්‍රභවයට හේතු වන අභිචාර විධීන්, යාතුකර්ම ශාන්තිකර්ම, ප්‍රීති උත්සව කොතෙකුත් තිබෙන්නට ඇත. සමහරවිට නාට්‍ය පිළිබඳ පැපිරස් පත්‍ර හෝ ලේඛන තිබෙන්නට ඇත. නමුත් එවන් අංග සම්පූර්ණ නාට්‍ය හෝ රංග කලාවක් පිළිබඳ වර්තමානයේදී අවබෝධ කරගන්නට අවශ්‍ය පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඉතිරි වී නොමැත. අවශේෂ වූ නෂ්ටාවශේෂ හෝ ජනශ්‍රැති ආශ්‍රයෙන් එවන් අංග සම්පුර්ණ නාට්‍ය කලාවක් හඳුනාගන්න ඉඩක් නැත.

වර්තමාන රංග කලා හැදෑරීම්වලට දැඩි බලපෑමක් කළ හැකි එවන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශක්තිමත් පුරාසාධක මූලාශ්‍ර සහිත පරිපූර්ණ රංග කලාවක් අපට මුලින්ම හමුවන්නේ ක්‍රි. පූර්ව යුගයේ (ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර) බුද්ධිමය හා සෞන්දර්යය ප්‍රකාශනයන් ඉතා විශිෂ්ට ලෙස නූතන ලෝකයට දායාද කර ඇති ග්‍රීක ශිෂ්ටාචාරය විසිනි. රංග කලාව හා නාට්‍ය පමණක් නොව දේශපාලනය, දර්ශනවාදය, මූර්ති කලාව, චිත්‍ර කලාව, සංගීතය, විද්‍යාව ආදී විෂයන් බුද්ධි විෂයිකව හා සෞන්දර්යාත්මක සිතිවිලිවලින් පරිපූර්ණ වනුයේ මේ යුගයේදීය. නූතන ලෝකයේදී පවා ග්‍රීක දර්ශනයේ, දේශපාලනයේ සහ කලා ශිල්ප වල බලපෑමෙන් මිදෙන්නට සමකාලීන ලෝකයට නොහැකිය. ග්‍රීක මූර්ති කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම් බටහිර ලෝකයේ නූතන භාවිතයන්ට අදත් ආභාසය වෙයි. බටහිර ශිෂ්ටාචාරයේ පුනර්ජීවන යුගය විසින් ග්‍රීක ශිෂ්ටාචාරයේ සියලුම අංශයන් වර්තමාන ලෝක ව්‍යවහාරයට ගෙන ආයේය. ග්‍රීක ශිෂ්ටාචාරයෙන් නූතන ලෝකය දායාදය කරගත් උත්තම ජයග්‍රහණය නම් ග්‍රීක නාට්‍ය කලාවයි. නාට්‍ය, ප්‍රේක්ෂාගාරය, නාට්‍යකරුවන් සහ නාට්‍ය පිටපත් මෙන්ම රංග කලාවේ දාර්ශනික න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතයන්ට මූල ග්‍රන්ථයක් වූ ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය පහළ වන්නේ ග්‍රීක යුගයේදීය.

 පෙරදිග රංග කලාවේ එන භරතමුනිගේ “නාට්‍ය ශාස්ත්‍රයටත්.” සෙ-අමි-මොතොකියෝගේ “පුෂිකදෙන්” කෘතියටත් පෙර ලියැවුණු කාව්‍ය ශාස්ත්‍රය වර්තමාන ලෝකයේ රංග කලාවට පමණක් නොව සිනමාව ආදී කලාංගවලටත් බලපෑ කෘතියකි. බටහිර රංග කලාව මෙම කෘතියේ බලපෑමෙන් යාන්තමට හෝ ගැලවෙන්නේ විසිවන ශතවර්ෂයේ මැද භාගයේදීය. එම යුගය දක්වා අපරදිග ලෝකයේ රංග කලාව හැඳීන්වූ පර්යාය ව්‍යවහාරයක් වනුයේ ඇරිස්ටෝටලියානු නාට්‍යය ලෙසිනි. අප සුසාදිත නාට්‍ය ලෙසින් හැඳීන්වෙන්නේ ද ඇරිස්ටෝටලියානු න්‍යායන් මත පදනම් ව ලියන ලද නූතන නාට්‍යයන් ය. ඊස්කිලස්, සොෆොක්ලීස් යුරිපිඩීස් වැනි ග්‍රීක නාට්‍ය කරකරුවන්ගේ සිට විලියම් ශේක්ෂ්පියර්, ඇන්තන් චෙකොව්, ආතර් මිලර් ආදි සමකාලීන නාට්‍යකරුවන්ගේ කෘතීන් ඇරිස්ටෝටලියානු න්‍යාය මූලයන්ට අනුගත ව ලියැවී ඇත. අසම්මත නාට්‍යකරුවන් (විකාර රූපී, අධිසත්තාවාදී, එපික් නාට්‍ය) වන සැමුවෙල් බෙකට්, අයනෙස්කෝ සහ බර්ටෝල් බ්‍රෙෂ්ට් වැනි නූතන නාට්‍යකරුවන් තම රංග භාවිතයෙදී අභියෝග කරනු ලැබුවේ ඇරිස්ටෝටලියානු භාවිතයටයි. නූතන සිනමාව න්‍යාය ග්‍රන්ථ ලියූ “සිග්ෆිල්ඩ්” වැනි සෛද්ධාන්තික රචකයන් “සිනමා තිර රචනය” සම්බන්ධව ලියූ ග්‍රන්ථවලට බලපෑ මූලාශ්‍ර ග්‍රන්ථය වන්නේ කාව්‍ය ශාස්ත්‍රයයි. අප නාට්‍ය හෝ සිනමා රචනයට යොමු වන්නේ නම් එහි මූලධර්ම අවබෝධය සඳහා කාව්‍ය ශාස්ත්‍රය කෘතිය පරිශිලනය කළ යුතුම වේ. කාව්‍ය ශාස්ත්‍රය, නාට්‍ය ශාස්ත්‍රය සහ පුෂිකදෙන් වැනි කෘතීන් අධ්‍යයනය නොකර නාට්‍ය හෝ චිත්‍රපට රචනය කිරීම හැම්ලට් කුමාරයා නොමැතිව හැම්ලට් නාට්‍යය රඟ දැක්වීමක් වැනිය. ග්‍රීක නාට්‍ය අතීත ශිෂ්ටාචාරය විසින් අනාගත (නූතන) ශිෂ්ටාචාරයන්ට දුන් අසම සම දායාදයකි.

දියෝනීසස් දෙවියෝ

ග්‍රීක නාට්‍යයට මුල් වූයේ ග්‍රීසියේ ඇතැන්සයේ පැවැති දියොනීසස් උත්සවයයි. විශාල ජනතාවක් සහභාගී වන මහා උත්සව හා ප්‍රසංග ග්‍රීක ජන ජීවිතයේ අනිවාර්යය අංගයකි. වසන්ත සෘතුවේ පවත්වන දියෝනීසස් උත්සවයේ දියෝනිසස් දෙවියන්ට ගරු පුද දෙමින් ඔහුගේ පුරාවෘත්තය ප්‍රකාශ කරන ගුණ වයමින් රචනා කළ යාතිකා ගායනය නාට්‍ය ඉතිහාසයේ පළමුවන නළුවා “තෙස්පීස්ගේ” උපතට ද සමකාලීන ලෝකයේ අදත් භාවිත වන ශෝකාන්ත නාට්‍ය, සුඛාන්ත නාට්‍ය හා සැටර් (දුක්ඛ සුඛාන්ත) නාට්‍යවල උපතටද හේතු විය.

දියෝනිසස් යනු ග්‍රීක දේව සභාවට ඇතුළත් දෙවියෙක් නොවේ. ඔහු කඳුකර දෙවියෙකි. රෝමානුවන් දියෝනිසස් දෙවියන් හඳුන්වන්නේ බාකුස් (BACCHUS)  නමිනි. වයින්, වයින් නිෂ්පාදනය, මිදි අස්වැන්න හා සශ්‍රීකත්වය, ශෘංගාරය හෙවත් ලිංගිකත්වය, උමතු අභිචාර විධීන් මෙන්ම නාට්‍ය කලාවට අධිපති දෙවියා ඔහු ය. වයින් සම්බන්ධයෙන් විශේෂ බල ඇත්තෙක් ලෙස ඔහු දැක්වේ. එසේම ඔහුට ශක්තිමත් ගවයෙක් හා සිංහයෙක් බවට පත්වීමේ (පරිවර්තනය හෝ වෙස් ගැනීම) විශේෂ හැකියාවක් ඇතැයි ග්‍රීකයෝ විශ්වාස කරති. ඉතාමත් පියකරු මුහුණක් හා ආකර්ෂණීය කෙස්කලඹක් සහිතව පිරුණු සිරුරක් ඇතිව, අයිවි (IVY) ගසෙක අත්තකින් හිස සරසා ගෙන ඔහු පෙනී සිටියි. ඔහු ඇතැන්සයට ආවේණික හෝ ග්‍රීක දේව සභාවට අයත් නොවන දෙවියෙක් යැයි සඳහන් කළ ද සියුස් හා කැඩ්මස් වංශයේ කැඩ්මස් රජුගේ (King of Thebes)  නැතහොත් තීබයේ රජුගේ දියණියක වූ සෙමෙලෙ (Semele) ට දාව ඉපදුණු අයෙක් ලෙස සැලකේ. ක්‍රි. පූ. 12 වන ශතවර්ෂයේදී පැමිණියේ යැයි සැලකෙන දියොනිසස් ඇදහීම් ක්‍රි. පූ. 6 වන ශත වර්ෂය වනවිට ග්‍රීසියේ ශක්තිමත් ලෙස ස්ථාවර විය. දියෝනීසස් ප්‍රතිමාව දේවස්ථානයේ සිට උත්සව භූමියට රැගෙන ඒමෙන් උත්සවය ඇරඹෙන අතර එය නැවත දේවාල භූමියේ ස්ථාපිත කිරීමෙන් උත්සවය අවසාන වේ. උත්සවයට රාජකීයයන් ඇතුළු රටේ සියලුම පුරවැසියන් සහභාගි වේ. දින හතරක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේදී ජන ජීවිතයට අදාළ සියලු කටයුතු තාවකාලිකව නතර වේ. නාට්‍ය උත්සවය මෙම පූජාවේ වැදගත්ම අංගය වේ. සිරකරුවන්ට පවා නාට්‍ය නැරඹීමට ඉඩ ලබාදීම සඳහා තාවකාලිකව නිදහසක් ලැබේ. ග්‍රීක වත්පිළිවෙත්වල (සාමාන්‍ය ජනතාව හා රාජ්‍යයේ) පරිවර්තනයන්ට විශාල බලපෑමක් කළ බැවින් මුල් කාලයේදී පාලකයන් දියෝනිසස් වන්දනයට එරෙහි විය. පුරාවෘත්තවලට අනුව දියොනිසස් කඳුකර වනයේ “මීනාඩ්ස්” නම් තරුණ සහචාරිකාවන් පිරිසක් සමඟ අතිශයින් ශෘංගාරවත් ජිවිතයක් ගත කළ දෙවියෙකි. පසු කාලෙකදි ඔහු ඇතැන්ස් නගරයට සංක්‍රමණය වී ග්‍රීක දේව පැළැන්තියට ඇතුළු විය. එබැවින් ඔහු හරිත වෘක්ෂලතාවන් වූ ෆයින් ගසට ද, අයිව් වැල්වලට ද, මිදිවැලට ද අධිපති දෙවියා වේ. අයිව් දෙවියන් (ට්ධඤඵ ධට ඪමර) ලෙසද ඔහු හඳුන්වයි. හරිත බලවේගයට අධිපති දියොනිසස් දෙවියා සම්බන්ධ පුදපෙත්, වල දී තෙස්පිස් නම් මිනිසා දැක්වූ ප්‍රතිචාරයන් නාට්‍යයේ ආරම්භයට හේතු විය.

 

දියොනිසස් පූජාව

ප්‍රාථමික සමාජයේ සිටම ප්‍රජාව තම ආර්ථික හා සමාජයීය ක්‍රියාවලිය සුරක්ෂිත හා සශ්‍රීක කර ගැනීම සඳහා පුද පුජා ඇදහිලි පැවැත් විය. ලාංකිකයන් අලුත් සහල් මංගල්‍යය පැවැත් වූයේ ද සොකරි, කෝලම් ආදිය පැවැත්වූයේ ද ශෂ්‍ය සම්පත්තිය අරමුණු කරගෙනය. අස්වනු නෙළා ගැන්මෙන් පසුව දෙවියන්ට ස්තූති කිරීම ද (කෘතවේදීත්වය දැක්වීම), ඊළඟ අස්වැන්න සාර්ථක කර ගැනීමද මෙම පුද පූජාවල උපවිඥාාන ගත අපේක්ෂාව විය. ගී‍්‍රිකයන් මිදි ඵල නෙළා ගැනීමෙන් පසු මෙම කෘතවේදිත්වය දැක්වීම හා අපේක්ෂිත ඊළඟ අස්වැන්න සාර්ථක කර ගැනීමට දියොනිසස් වෙනුවෙන් උත්සව පැවැත්විය. ඔහු අස්වැන්න ට (මිදි) අධිපති දෙවියා ය. දියොනීසස් දෙවියා වන්දනයේ දි මිදි වැලින් සැරසි ස්තොත්‍ර ගැයුම හා මිදි යුෂ වලින් මත්වි භක්තියෙන් මුසපත් වීම, නැටුම් හා නෘත්‍ය චලන දක්වා දෙවියන් ට ස්තූති කිරීම පූජාවේ මුඛ්‍ය අංගය වේ. එම නර්තනයෝ ආවේග මුදා හැරීමේ මාවත විය. වසරකට මාස හයකට වඩා දිගු කලක් ග්‍රීසියේ රළු කඳු හෙල්වල, මිදි යායවල්වල අඹු දරුවන්ගෙන් ඈත්ව සිටිමේ පිඩාවද. ඉන් ඇතිවන කායික හා මානසික මෙන්ම, ලිංගික සිරවීමද ලිහිල් වූයේ දියොනිසස් පූජාවේ දක්වන නර්තන හා නෘත්‍යයන්ගෙනි.

මිදි යුෂ පානයෙන් (මත්වීම) අභ්‍යන්තර ව සිරගත (මනසේ) භාවයන්ගෙන් මනුෂ්‍යයා නිදහස් කොට සත්‍ය මිනිසා පිටතට ගෙන එයි. මධුපානොත්සවයද දෙවියන්ට සමීප වීමකි.

උත්සවයේ තවත් සංකේතීය ප්‍රකාශන අංගයක් වූයේ පුද්ගලයා (ග්‍රීක වැසියා) තුළ කායිකව ඇති ලිංගිකත්වය සිරගත වීම නිසා ඒ පිළිබඳව ඇති මන්දෝත්සාහී ගුණය පිටතට මුදා හැරීමයි පෙරහැරේ යන්නේ ලිංගික සංකේත (ස්ත්‍රී පුරුෂ) පිටතට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරමිනි. ඇරිස්ටොෆනීස්ගේ “ලයිසිස්ට්‍රාටා” නාට්‍යයෙහි පිරිමි මෙලෙස ලිංග සංකේත දක්වමින් කරන රංගයක් ඇත. ලිංගික සංකේත ප්‍රදර්ශනයේ අරමුණ වූයේ ලිංගික හැඟීම් අවුලුවා පිටතට මුදා හැරීමයි. ඒ වෙනුවෙන් පෙළඹවිමක් ඇති කිරීමයි. ලිංගික ක්‍රියාවලිය රටක මිනිස් අස්වැන්න ඉහළ දැමීමේ මාර්ගයයි. ජනගහන වර්ධනයෙන් වැඩිවන ශ්‍රමික සංඛ්‍යාව ආර්ථිකයේ දියුණුවට අවශ්‍ය අස්වැන්න වැඩි කර ගැනීමට අවශ්‍ය වේ. අස්වැන්න වැඩි වුවහොත් අතිරික්තය වැය වේ. අතිරික්ත අස්වැන්න රටේ ජාතික ආදායම ඉහළ නංවයි. ඉන් දියෝනීසස් ඇදහිල්ල ආර්ථිකයට ද සම්බන්ධ වෙයි. මිදි පානය හා මත්වීම නිසා මනුෂ්‍යයා තුළ භාවමය ලෙස සිරවී ඇති සත්‍ය මිනිසා ඉවතට ඇද දමයි. විවිධ හේතු මත මනුෂ්‍යයා තමා පිළිබඳ ඇත්ත හෝ ලෝකය පිළිබඳ තමාගේ සත්‍ය කියවීම ප්‍රකාශ නොකරයි. මධුවිතින් මත්වූ මිනිසා මේ සීමාවන් බිඳ දමා භාව සිරවීම අකර්මණ්‍ය කොට සංවාදාත්මක සත්‍ය මිනිසා හෙවත් මිනිසා තුළ සිටිනා දෙවියන් පිටතට ගනී. මධුපානෝත්සවය සංකේතීය ලෙස මනුෂ්‍යයා දෙවියන්ට සමීප කිරීමකි. මධුපානෝත්සවය හා ලිංගිකත්වය පිළිබඳ උත්තේජනයෙන් කායිකව භාව විශෝධනය ඇති කරයි. එවන් පුද්ගලයන් (ගැහැණු මිනිසුන්) අතර සම්භෝගය යහපත් දරුඵල ගෙන එයි. යහපත් දරුවා යහපත් පුරවැසියා බවට පරිවර්තනය වීම රටක දියුණුව හා ඥාානවන්තයින් බිහිවෙන මාර්ගය වේ. අලුත උපන් දරුවා කායිකව යහපත් වූවාට එය ප්‍රමාණවත් නොවේ. ඔහු ඥානවන්ත ද විය යුතුය. ලිංගික පීඩාවන් මුදාහැර, මධුපානයෙන් ශරීරයේ මානසික පීඩනය මුදා හළ මනුෂ්‍යයාට නාට්‍යයන් සිදුකළේ ඔහු ඥානමය මඟකට යොමු කිරීමයි. බුද්ධිමය භාව විශෝධනය මගින් ප්‍රඥාව වෙත සමීප කිරීමය. බිය හා කාරුණ්‍ය මගින් අපේක්ෂිත භාව විශෝධනය නාට්‍යක දී සිදුකරන්නේ මිනිසාට ප්‍රඥාව ලබා දීමයි. පෙරදිග රංගයේ දී “ආනන්දයෙන් ප්‍රඥාව වෙත” ගමනක් ලෙස එය හැඳීන්වේ. ග්‍රීක දියෝනීයස් පූජාවේ රංග උත්සවයෙන් අපේක්ෂිත වූයේ වින්දනාත්මක, ප්‍රඥාාවන්ත පුරවැසියෙක් බිහි කිරීමයි. සම්භාව්‍ය ග්‍රීක යුගයේ කලා ශිල්ප, ආර්ථිකය, දේශපාලනය සහ විද්‍යාව පිළිබඳ පරිවර්ත වර්ධනීය තත්වත්වයක් දැක්වීමට හේතුව කයින් මනසින් ඥාානයෙන් පිරිපුන් පුරවැසියන්ගේ බිහිවීමයි. නාට්‍යයෙන් සිදුවූයේ එම ප්‍රඥාාවන්ත මිනිසා නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.

 

තෙස්පීස්

ඩිතිරම්බ යනු දියෝනිසස් දෙවියන් පිළිබඳ අපරිමිත භක්තියෙන් යුක්තව, ඔහුගේ උපත, පැවැත්ම, මරණය සහ නැවත ඉපදීම සිහිපත් කරමින් කරන ලද ගායනාවන් ය. එම ගැයුම් සහිත උත්සවය දියොනිසස් උත්සවය ලෙස හැඳීන්වේ. ඩිතිරම්බි යාතිකා ගැයුමට පමණක් පූජාව සීමා වී තිබූ සමයේ දියෝනීසස් ලෙස සමාරෝපය වී කෝරසය සමග සංවාදාත්මක වි පූජාව ට නාට්‍ය ගුණය එකතු කළේ තෙස්පීස් ය. දේව භක්තියෙන් බැතිමතුන් අවුළුවමින් පූජාව රසවිඳීමට බැතිමතුන් ප්‍රේක්ෂකයින් බවට පත් කළේ ඔහුය. ඔහු හා ගායන වෘන්දය දියෝනීසස් උත්සවය නාට්‍ය උත්සවයක් බවට පත් කිරීමට මුල් විය. ඇතැන්සයේ ක්‍රි. පූ 594 දි පාලකයාව සිටි සොලොන් (ඉධතධද) නම් පාලකයකා රජෙකු පමණක් නොව කවියෙකු ද විය. ක්‍රි. පූ 534 දී ප්‍රථම නාට්‍ය උත්සව සංවිධානය කෙරුවේ ඔහුගේ පාලන සමයේ දී ය. තෙස්පීස්ගේ අවතරණයද සිදුවූයේ මේ යුගයේ දී ය.

තෙස්පීස්ගේ මුල්ම රංගය එක් නළු නාටකයකි. එහි කතාව නැතහොත් වස්තුව විෂය (ර්‍ථතධබ) වූයේ දියෝනිසස් දෙවියාගේ දුක්ඛඞ ප්‍රාප්තිය සහ උට්ඨානය පිළිබඳ පුරාවෘත්තය යි. රංගයට දෙවැනි නළුවා එකතු කරමින් නාට්‍යමය ගුණය වර්ධනය කළේ ඊස්කිලස් විසිනි. එවිට කෝරසයේ කාර්යභාරය සෑහෙන ප්‍රතිශතයකින් නළුවන් දෙදෙනා අතර බෙදී ගියේය. ඊස්කිලස් ගේ සෑම නාට්‍යයකම එක්වර වේදිකා මත රංගනයේ යෙදෙන්නේ පළමු හා දෙවන නළුවා සහ කෝරසය පමණි. ඊස්කිලස්ටස් ගේ නාට්‍යවල කෝරසයේ ප්‍රාමාණික සංඛ්‍යාව අඩු විය. ග්‍රීක රංගයට තෙවැනි භූමිකාව එකතු කළේ සොෆොක්ලීස් විසිනි. ඔහු ගේ නාට්‍ය වන ඇන්ටිගනි, ඊඩිපස් සහ කොලෝනස් හි ඊඩිපස් නාට්‍යවල එක්වර වේදිකාව මත චරිත තුනක් ගැටෙනු දැකිය හැක. ඔහුගේ කෝරසය සංඛ්‍යාත්මක ලෙස තවත් අඩු විය. නාටකීය ගැටුම කැපී පෙනෙන සේ මතු විය. ග්‍රීක නාට්‍ය අංග සම්පූර්ණ කලා මාධ්‍යයක් බවට පත් වූයේ සොෆොක්ලීස්ගේ තෙවැනි භූමිකාවේ ආගමනයත් සමඟින් ය. අදත් තෙස්පියානු යන වචනය නළුවන් හැඳීන්වීමට යෙදෙන පර්යාය වචනයක් ලෙස භාවිත කෙරෙයි.

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා රංග ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.