බැල්කනියයි ගැලරියයි වේදිකාවයි

ජූලි 30, 2020

පෙරදිග හා අපරදිග නාට්‍ය ප්‍රභවයය පිළිබඳව අප දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. දැන් ඔබේ අවධානය නාට්‍ය යනු කුමක්ද එහි වැදගත් අංග කවරේ දැයි විමසා බැලීමය.

නාට්‍ය යනු කුමක්ද?

නාට්‍ය යනු කුමක්ද?

එය කෙසේ පටන් ගත්තක් ද.

නාට්‍ය යනු කුමක්ද යන්න පිළිබඳ පෙරදිග අපරදිග මෙන්ම අතීත සහ වර්තමාන නිර්වචනයන් සමූහයක් දක්නට ලැබේ. නාට්‍ය කලාව මනුෂ්‍ය සංහතියේ ප්‍රබලතම සෞන්දර්යාත්මක ප්‍රකාශනයේ ජයග්‍රහණයකි. එය මනුෂ්‍ය ජීවිතයේ මනුෂ්‍යයා මනුෂ්‍යයා සමග, මනුෂ්‍යයා තමාගෙන් පිටස්තර ජීවිතය සමග (සමාජය), මනුෂ්‍යයා ස්වභාවධර්මය සමඟ කරන ලද්දා වූ අසීමාන්තික අරගලයේ ජයග්‍රහණයකි. එය උපදින්නේ මනුෂ්‍ය ශරීරය හා ආත්මය ම පමණක් ප්‍රකාශන මාධ්‍යයක් කරගනිමිනි. අනෙක් සියලු කලාවන්ගේ ප්‍රකාශනයට මනුෂ්‍ය මොළය විසින් සොයාගත් අන් යමක් අවැසි වෙයි. සංගීතයේ ප්‍රභවයට සංගීත භාණ්ඩයක් අවැසි වේ. චිත්‍ර ඇඳීම සඳහා පින්සලක් අවශ්‍ය වේ. මූර්තියක් නෙළීමට මැටි පිඩක්, ලෝහයක්, ලී කැබැල්ලක් මෙන්ම ඡායාරූපයක් ගැනීමට චිත්‍රපටයක් සෑදීමට කැමරාවක්, නව කතාවක්, කෙටි කතාවක් සහ කවියක් ලිවීමට කොළයක් පෑනක් අවශ්‍ය වේ. නමුත් නාට්‍යයක් කිරීමට.... ? නාට්‍යයක් කිරීමට අවශ්‍ය වන්නේ මිනිස් ශරීරය ම පමණි. නාට්‍යයේ අවිය ශරීරය ම පමණි. ආංගික, සාත්වික සහ වාචික අභිනයන් උපදින්නේ මනුෂ්‍ය ශරීරයම ආත්මය කරගනිමිනි. එබැවින් නාට්‍යයට මිනිස් ශරීරයෙන් වියුක්තව පැවතිය නොහැකිය. සියලුම කලාවන් උපදින්නේ ආදිතම මනුෂ්‍ය ජීවියා කළ නාට්‍යමය ක්‍රියාකාරකම් වලිනි. එබැවින් ලෝකය මත මනුෂ්‍යයා පවතින තෙක් නාට්‍යයද පවතින්නේය. සියලුම කලාවන්ගේ පදනම ගොඩ නැඟෙන්නේ නාට්‍ය කලාව මුල් කරගනිමිනි.

නාට්‍ය මනුෂ්‍යයාගේ සමාජ, ආර්ථික, දේශපාලන දිවියේම ඓන්ද්‍රීය අංගයකි. අතීතයේ දී ආගම විසින්ද, රාජ්‍ය විසින්ද නාට්‍ය ආරක්ෂා කළේ එබැවිනි. ග්‍රීක නාට්‍ය උත්සවය සංවිධානය කරනුයේ රාජ්‍ය විසිනි, නාට්‍ය නැරඹීම හුදු පූජාවක් පමණක් නොව සමාජ, ආර්ථික, දේශපාලන දිවි‍යේ අංගයකි. සංස්කෘත නාට්‍ය ලියවූණේ රජවරුන් විසිනි. භරත මුනිවරයාගේ කාලයේ දි නඥාස නම් රජකු පාලකයා විය. භරත සහ ඔහුගේ පුතුන්ට නාට්‍ය කලාව පවත්වාගෙන යෑමට රජුගේ අනුග්‍රහය ලැබිණි. භරතගෙන් පසු ඔවුන්ගේ පුතුන්ට නාට්‍ය කලාව සුරකීමට හැකි වූයේ ඒ අනුග්‍රහයෙනි. අතීත භාරතයේ මිනිස් වර්ගය පටන්ගත් දා පටන් නාට්‍ය රඟ දැක්වීම භාර වූයේ මේ පරපුරට ය. ධර්ම ග්‍රන්ථයන් පමණක් නොව, කලාව සහ විද්‍යාවටද දිව්‍යමය ප්‍රභවයක් ආරෝපණය වී ඇත්තේ එබැවිනි. ව්‍යාස නම් මුනිවරයාගේ මහාභාරත වීර කාව්‍යයටද ඇත්තේ දිව්‍යමය ප්‍රභවයකි. නාට්‍ය කලාවට පෙරදිග මෙන්ම අපරදිග බවක් ද දිව්‍යමය ආරෝපණය වීමෙන් සිදුවූයේ ඒවාට සුවිශේෂි පිළිගැනීමක්, මනුෂ්‍යාට පොදු ශ්‍රේෂ්ඨත්වයක් ආරෝපණය කිරීමට විය හැක. ඇදහීමට සීමාවන් ඇති චතුර් වේදයෙන් වෙන්කොට ‘‘නාට්‍ය වේදය“ පස්වෙනි වේදය ලෙස දක්වන්නට ඇත්තේ නාට්‍ය සියලු මනුෂ්‍ය ප්‍රජාවට පොදු ශාස්ත්‍රයක් බවට පත් කිරීමට විය හැකිය. සංස්කෘත නාට්‍ය ලියූ කාලිදාස, හාස, ශ්‍රී හර්ෂ සාමාන්‍ය පුද්ගලයන් නොව රජවරුන් වේ. එලිසබතන් යුගයේ රංගශාලාව  (Globe Theatre)  එලිසබත් රැජින ඇතුළු සුවිශේෂී රාජකීයයන්ට විශේෂ අසුන් පනවා තිබුණි. බැල්කනි  (Balcony) යන නාමය රංගකලාව හඳුනාගන්නේ මෙම යුගයේදී ය. රජු හා ප්‍රභූවරු රංගයේ කොටස්කරුවෝ වූහ. පහළ පන්ති සාමාජිකයන් සදහා වෙන්වූ ආසන ගැලරිය ලෙස නාමකරණය විය. රාජකීයයන්ටත්, පහළ පන්තියේ ගැලරියටත් අතර මැද මධ්‍යම පන්තික ජනයා හට වෙන් වූ කොටස දෙවන පෙළ අසුන් විය. එළිසබත් යුගයේ නාට්‍ය නිෂ්පාදකයන් වූයේ ප්‍රභූ පන්තියේ ආදිපාද වරුන්ය. රඟහලක් නඩත්තු කිරීමේ අතිරික්ත ධනය ඔවුන් සතුවිය. වෘත්තීය රංග ශාලාවක් පවත්වා ගැනීම ද ප්‍රභූත්වය ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විය. කෝලම් නාට්‍යයේ පූර්ව රංගය සම්පූර්ණයෙන්ම රංගය නැරඹීමට එන රජු හා බිසව පිළිගැනීමට වෙන් වූවකි. රජුගේ පැමිණීම වෙනුවෙන් සැරසිලි කරන කුලවල කාර්යයන් ඔවුන්ගේ දෛනික ජීවිතය පූර්ව රංගයේ වස්තු විෂයය විය.

පෙරදිග අපරදිග රංග කලාවේ ආරම්භයේ සිට රජු හෝ රාජ්‍ය පාලකයන් රංගයේ කොටස්කරුවන් වූයේ රංගය එක් අතකින් විනෝදාස්වාදය ද, තවත් අතකින් ආර්ථිකය, (සශ්‍රීකත්වය) දේශපාලනය ආගමික දර්ශනය හා බැඳුණු අභිචාර විධියක් ලෙස පැවතීම නිසාය. අපරදිග රංග කලා වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදී ආර්ථිකයේ නැඟී සිටීම වන තෙක් රාජ්‍යය සමඟ‍ බැඳුනක් විය. පෙරදිග රංග කලාව ද 19 වන සියවස තෙක් ම වැඩවසම් ක්‍රමය හා එහි චින්තනය සමග බැඳී තිබිණි. ලංකාවේ නූර්ති යුගය ඇරඹීමට පෙර පූර්ව බෞද්ධ යුගයේ සිට සොකරි, කෝළම් සහ නාඩගම වන තෙක් පැවතුණේ සශ්‍රීකත්වය, ගර්භ පූජා, ලෙඩ රෝග සුව කිරීමේ ශාන්තිකර්ම, යාතුකර්ම ලෙසිනි. වැඩවසම් ක්‍රමය බිඳ වැටී බටහිර ආධිපත්‍යය ප්‍රචලිත වීම ද, නාගරීකරණය ද, විශ්වවිද්‍යාල ආයතන ආරම්භ වීම ද සිදු වූ පසු රංග කලාව වාණිජමය ස්වරූපයක් ගත්තේය. නූර්ති, මිනර්වා, විමලවීර නාට්‍ය සහ විශ්වවිද්‍යාල නාට්‍ය ද ආගමික පූජා විධීන්ගෙන් වියුක්ත වූ රංග කලාවක ආරම්භය විය.

 

ආගම සහ නාට්‍ය කලාව

ආගමද රංග කලාවේ ආරම්භයට බලපෑ අනෙක් පොදු සාධකය විය. දාර්ශනික ආගම් නැතහොත් ඒක දේවවාදී ආගම් වන බුදු දහම, ක්‍රිස්තියානි දහම, මුස්ලිම් දහමට වඩා එම ආගම් ආරම්භයට පෙර පැවැති ඇදහිලි විශ්වාස මත පදනම් වූ බහු දේවවාදී ආගම් නැතහොත් ගැමි ආගම රංග කලාවේ ප්‍රාසංගික වර්ධනයට විශාල බලපෑමක් කොට ඇත. දාර්ශනික ආගම් මුල් මොහොතේ රංග කලාවට සතුරු ප්‍රතිචාරයක් දැක්වුව ද පසුව මිත්‍රශීලී ප්‍රතිචාරයක් දක්වන්නට විය. එයට ප්‍රධාන හේතුව ගැමි ආගම් සම්භාව්‍ය ආගම්වල ආමිස පූජාවන්ට වක්‍රාකාරව කළ බලපෑමයි. වර්තමානයේ අප පන්සල් , පල්ලි සහ කෝවිල් වලට ගොස් කරන පූජාවන් බොහෝමයක් ගැමි ආගම් වල ඇදිහිලි සහ පූජාත්මක ප්‍රාසංගික අංගයන්ගෙන් සොරා ගත් ඒවාය.

ජපානයේ නෝ කබුකි මෙන්ම පෙරදිග සංස්කෘත නාට්‍ය කලා ද, අපරදිග රංග කලාවේ ආරම්භයට ද බෙහෙවින් බලපෑවේ ගැමි ආගමික ලක්ෂණ සම්භාව්‍ය ආගම්වල පූජා කළ ලක්ෂණ කෙරෙහි කළ බලපෑමය. බුදුදහම හෝ ක්‍රිස්තියානි ආගමේ රංගමය පූජාත්මක කොටස් ගැමි ඇදහිලි, පූජා ලක්ෂණවලින් එකතු කරගත් ඒවා වේ. පන්සල් ගොස් කරන බෝධි වන්දනාව, ස්ථූප වන්දනාව ආදි කාලීන ගැමි ආගම්වල එන රුක්ෂ වන්දනාව, මළවුන් පිදීම, පර්වත වන්දනාව සහ පෙරහැර ආදියෙන් ආභාසය ගත් හෝ උපුටාගත් ඒවා වේ. කඨින පෙරහර, දළදා පෙරහැර සහ ක්‍රිස්තියානි පූජා මංගල්‍යයන් මෙන්ම ක්‍රිස්තියානි ආගමේ එන පූප පූජාව, අළු බදාදා, ගොප් ඉරිදා ආදී උත්සව ආදිකාලීන පෙරදිග බහු දේවවාදී ආගම්වල මෙන්ම ග්‍රාමීයව පැවැති ගැමි ආගමික පූජාවන්ගෙන් උපුටා ගන්නා ලද ඒවා වේ. එසේ වීමට හේතුව, මනුෂ්‍යයා ගෝත්‍රික යුගයේ සිට වගා කරගත් විශ්වාසයන් දෙවියන් යකුන් ග්‍රහයන් පිදීම ආදිය ජානගතව වර්තමාන යුගය දක්වා ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට පැවැත්වීමය. එම ග්‍රාමීය විශ්වාස සමග නාට්‍ය කලාව ද ඓන්ද්‍රියව සම්බන්ධ වීම හේතුවෙන් මිනිසාගේ විඥාන ගත ආකල්ප, ඇදහිලි විශ්වාස සමග රංග කලාව ද වර්ධනය වී ඇත. ගැමි ඇදහිලිවල ජනප්‍රිය හා රංගමය පූජා විධීන් සම්භාව්‍යමය ආගම්වල පූජාමය ලක්ෂණ සමඟ එකතු වීම නිසා සම්භාව්‍ය ආගම් මුල් යුගයේදී නාට්‍ය කලාවට ප්‍රතිපක්ෂ ව සිටියත් පසු පසුකාලීනව නාට්‍ය කලාව සම්භාව්‍ය මට්ටමේ විකාශනය වීමට හේතුවක් වූයේ සම්භාවය ආගම්වල එන චින්තනයේ බලපෑමයි.

නෝ නාට්‍ය මුලින්ම පන්සල් භූමිවල රඟ දැක්විය. ජපානයේ ෂින්තෝ ආගම සමඟ බුදුදහම ඒකාත්මව සෙන් දර්ශනය හා මහායානික ලක්ෂණ එකතුවීම නිසා රංගකලාව බුදුදහම සමඟ දාර්ශනිකව එක්වී නෝ නාට්‍ය වැනි විශිෂ්ට රංගයක් බිහිවිය. පෙරදිග අප වැනි රටවල පවත්නා බුදු දහමේ ස්වරූපය රංග කලාව ‘‘නච්ච ගීත වාචික විසූක දස්සන“ ලෙස ගර්හිත කලාවක් ලෙස බැහැර කළත් ගැමි ආගම සමඟ මුසුව රංග කලාව විකාශය වීමට අකුල් නොහෙළු බැවින් ගැමි නාට්‍ය කලාවට මං පෙත විවර විය. කෝලම්, නාඩගම් ආදියෙන් මුඛ්‍ය කතා පුවතට ජාතක පොතේ බලපෑම දක්නට ලැබෙන්නේ බැවිනි. සොකරි, කංකාරි, මඩුව ශාන්ති කර්ම, ගම්මඩු සහ දෙවොල්මඩු ගැමි ආගමේ බලපෑමෙන් විකාශනය වූ අතර ඒවා රඟ දැක්වුණේ බුදු දහමේ බලපෑමත් සමඟිනි. ගැමි ආගම මත යැපුණු ගැමි නාට්‍ය කලාවේ බලපෑම නිසා බෞද්ධ ඇදහිලිවලට ද නාට්‍යමය ලක්ෂණ එකතුවිය. පන්සල්වල කෙරෙන ආලෝක දමනය, ආසන දෙකේ බණ, සූවිසි විවරණය ආදී බෞද්ධ යාතුකර්මවලට රංගමය ලක්ෂණ එකතුවන්නේ ගැමි ආගමේ බලපෑමෙනි.

ග්‍රීක කොමඩිය රෝම රංග කලාවේදී සැහැල්ලු ප්‍රහසන බවට පත්වීමත් සමගම ක්‍රිස්තියානි ආගමේ ලෝකෝත්තර ස්වරූපය හා රංග කලාවේ ලෞකික ලක්ෂණ සමඟ ගැටීම හේතුවෙන් කිස්තු වර්ෂ තුන්වැනි ශතවර්ෂයේ දී රෝම අධිරාජ්‍යය විසින් නාට්‍ය කලාව තහනම් කරන ලදී. ක්‍රිස්තු වර්ෂ තුනේ සිට දොළොස් වැනි ශත වර්ෂය පමණ වන තෙක් අපරදිග රංග කලාවේ අඳුරු යුගයක් පැවතිණ. එම යුගයේ දී රංග කලාව බොහෝ ග්‍රාම්‍ය ලක්ෂණ සහිතව ගැමියන් අතරේ රහසින් රසවිඳීන රංග කලාවක් බවට පත් විය. නමුත් එකොළොස්වැනි ශත වර්ෂය වන විට ගැමි ආගමික පූජා කර්ම ක්‍රිස්තියානි ආගමික පූජා කර්ම සමඟ එක් විය. අද ක්‍රිස්තියානි පල්ලිවල මංගල්‍යයේදී කරන කොඩි ගස එසවීම පැරැන්ණන් අතර ගැමි ආගමේ ප්‍රචලිත මේ පෝල් නැටුම (May pole dance) වලින් උපුටා ගත්තක් විය. අස්වැන්න නෙළා ගත් පසු කැලයෙන් කපාගත් නෑඹුල් ගසක් එළිමහනයේ සියටුවා ඒ වටා සැරසිලි කොට නැටුම් ගැයුම් ආදියෙන් රංගමය ලෙස ප්‍රීතිය ප්‍රකාශ කිරීම ගැමියාගේ අරමුණ විය. කොඩි ගස එසවීම මේ පොල් නැටුමෙන් පල්ලිය උපුටාගත් ලක්ෂණයකි. තුන්වැනි ශතවර්ශයේදී පල්ලියේ බලපෑමෙන් තහනමට ලක් වූ අපරදිග නාට්‍ය මධ්‍ය කාලීන යුගයේ නැවත පුනර්භවය ලැබුවේ ද පල්ලිය තුළිනි. මධ්‍යකාලීන බැතිමතුන් ක්‍රමයෙන් පල්ලියේ පූජාවන්ගෙන් ඈත් වී ලෞකික පුද පූජා ඇදහිලි වලට ඇදීයාමේ ප්‍රවණතාව නැවැත්වීමට පල්ලිය කළේ පල්ලියේ පූජකවරුන්ට බයිබලයේ එන සිද්ධි පූජාවේ ගායනා කරන විට එම සිද්ධි නාට්‍යමය ලෙස රඟ දැක්වීමට පෙළඹවීමයි. මධ්‍යකාලීන නාට්‍ය කලාව උපදින්නේ පල්ලියේ පූජවේ එන බයිබලයේ කතාවන්ට එකතු වූ නාට්‍යමය ලක්ෂණ හේතුවෙනි. මධ්‍යකාලීන නාට්‍ය කලාවේ කතා වස්තු උපුටාගන්නේ බයිබලය හා ශාන්තුවරුන්ගේ චරිත කතා ඇසුරෙනි. ශතවර්ෂයකට පමණ පසු පල්ලිය විසින් නාට්‍ය කලාව දේවස්ථානයෙන් බැහැර කරනු ලැබුවේ බැතිමත් ප්‍රේක්ෂාගාරය පුළුල්වීමත්, ආගමික වස්තු විෂයන්ට ලෞකික ලක්ෂණ ආරෝපණය කිරීමත් හේතුවෙනි.

නමුත් ක්‍රිස්තු වර්ෂ තුනේදී නාට්‍ය කලාව තහනම් කලාත් මෙන් ප්‍රතිචාරයක් නොදැක්වූ පල්ලිය පුනර්ජීවන යුගයේ චින්තනයේ බලපෑම නිසා රංග කලාවට නිදහසේ වැඩෙන්නට ඉඩ ලබා දුන්නේය. නූතන අපරදිග රංග කලාවේ සැබෑ ආරම්භය සිදු වන්නේ එලෙසිනි. ජපානයේ දී නෝ නාට්‍ය සෙන් දර්ශනයේ බලපෑමෙන් බෞද්ධ රංග කලාවක් ලෙස ස්ථාපිතව වැඩුණත් රංග කලාවේ ලෞකික ප්‍රාසංගික ලක්ෂණ සහිත වර්ධනය වූ කබුකි නාට්‍ය නෝ නාට්‍ය කලාවට වඩා ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය විය. අදටත් නෝ නාට්‍ය රසවිඳීම තරමක් අසීරු වින්දනයක් වුවත් කබුකි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය රංග කලාවකි. රංග කලාව මෙම ආගමික බලපෑම ට තවමත් ලක්ව තිබෙන්නේ රංග කලා මනුෂ්‍යයා හා ස්වභාවධර්මයේ අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් බැවිනි. ස්වභාවධර්මය සතුටු කිරීම ද , පාලනය කිරීම ද, අවනත කර ගැනීමද කෙරෙනුයේ රංගමය ප්‍රතිචාරයෙනි. ස්වභාව ධර්මයේ අංගයන්ට දේවත්වය ද, භූතත්වය ද, ආරෝපණය කළ මනුෂ්‍යයා සදාකල්ම ඔවුන් කෙරෙහි භයින් ජීවත් විය. එය අදට ද ඉතා දියුණු සමාජයන්ටද කවදත් වලංගුය. යක්ෂ විශ්වාසයන් පිළිබඳ චිත්‍රපට හෙවත් හොරර් චිත්‍රපට (May pole dance) ආදිය අදටත් බහුලව වශයෙන් නිපදවෙන්නේ අපරදිග ලෝකයහෙිය. පෙරදිග රටවල් තරමට ම අපරදිග වැසියන් ද යක්ෂ, භූත සහ ප්‍රේත විශ්වාසයන්හි ගැලී සිටිති. ඔවුන් සැම දෙනාගේම විශ්වාසය මනුස්සයා රෝගී කිරීමට, ලෙඩ කිරීමට භූතාත්මයන් බලපාන බවයි. මළගිය මිනිස්සු තමන් ජීවත් වූ ස්ථාන වලට ඇලුම් කරමින් ජීවත් වන්නන්ගෙන් පළිගන්නා බවට ඔවුහු විශ්වාස කරති. එසේම භූතාත්ම, මළවුන් දෙවියන් විසින් ජීවත් වන්නවුන්ට ප්‍රේම කෙරෙයි. ද්‍රෝහී වෙයි. මනුෂ්‍ය ශරීරය තුළට ආරූඪ වීමට උත්සහ කෙරෙයි. එබැවින් ඔවුන් සතුටු කළ යුතුය. යකැදුරන් පෙරදිගද අපර දිගද සිටිති. කපුවන් ද එසේමය. මන්ෂයන්ට ආපදා පමුණුවන දෙවියන් , භූතයින් වෙත ගොස් කපුවන් ද, යකැදුරෝ ද මනුෂ්‍යාට ඔවුහු සහ සංවාදයේ යෙදෙන්නට, විශ්වාසය ඇති කරන්නට අවකාශය ලබාදෙති. එහිදී ඔවුන් වෙස්මුහුණු පළදිති. යක්ෂයෝ දෙවියෝ බවට වෙස් ගනිති. ආරෝපණය වෙති. අනුකරණ ක්‍රියාවන්හි යෙදෙති. දෙවියන් හා යකුන් පිළිබඳ පුරාවෘත්ත ප්‍රබන්ධ කරති. ආවතේව කරුවන් සමග ඒ පිළිබඳ සංවාදයේ යෙදෙති. නාට්‍ය ඇරඹෙන්නේ එතැනිණි.

පැරණි මිනිසා තම ඉෂ්ඨාර්ත සපුරා ගැනීමට කළ මේ අනුකරණයේදී සමාරෝපය ද , වෙස්වලා ගැනීම ද අනුරූපණයද එකතු කළේය. එම ප්‍රාථමික මොහොතේ දී නාට්‍යයේ මූලික ලක්ෂණ වන අනුකරණය ද සමාරෝපයද ඇති විය. එම ලක්ෂණ රංග කලාවක් බවට දීර්ඝ කාලයක ඇවෑමෙන් පත් විය. මෙම නාට්‍යමය ගමන නැතහොත් නාට්‍ය විකාශය සිදුවූයේ නෘත්ත, නෘත්‍ය නාට්‍ය ලෙසිනි.

 

ප්‍ රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා රංග ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.