පේ‍්‍රක්ෂකයනි එන්න නාට්‍ය බලන්න

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් - නීතීඥ ඩග්ලස් සිරිවර්ධන
අගෝස්තු 20, 2020

ප රටේ වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයා ටවර් හෝල් රඟහල පදනමයි. පසු ගියදා එහි උත්තුංගභාවය යළි ප්‍රකට වූයේ කොරෝනා වසංගතයට ද අභියෝග කරමින් කරළියේ පෙරළියක් ඇති කිරීමට ප්‍රේක්ෂා උලෙළ සංවිධානය කිරීමත් සමඟය. අප්‍රමාණ ජනාකර්ෂණයට පාත්‍ර වූ ඒ උලෙළ නිසා යළිත් වේදිකා නාට්‍ය වසන්තයක් උදා විය. පසුගිය ඉරිදා සිට පුරා මසක් ඉදිරියට පැවැත්වෙන මේ නාට්‍ය උලෙළ පිළිබඳ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නාට්‍යවේදී, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන සරසවියට පැවසුවේ මෙසේය.

ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ බොහෝ සාර්ථක වුණා?

ශ්‍රී ලංකාවට පමණක් නොවේ ලෝකයටම බලපෑ කොවිඩ් වසංගතයෙන් වැඩිම තර්ජනයක් එල්ල වුණේ ජනතාව එක්රැස්වන කලා මාධ්‍යවලට. ආරම්භයේදී ඉතා බියකරු දසුනක් ලෙස මියගිය පුද්ගලයන් දැක්වීම නිසාත් රෝග ව්‍යාප්තිය ලංකාවේත් වේගයෙන් පැතිරී යන බව දැනුණු නිසාත් නිවෙස්වලට කොටු වූ ජනතාව බියෙන් ආතතියට පත් වුණා. සුපුරුදු ක්‍රියාකාරකම්වලින් බැහැර වද්දී සාමාන්‍ය ජනතාවටත් වඩා අසහනයට ගොදුරු වුණේ කලාකරුවන්. විශේෂයෙන් වේදිකා නාට්‍යකරුවන් සජීවී ලෙස ප්‍රේක්ෂකයන් සමඟ එකතු වන්නන් බැවින් බොහෝ පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. ව්‍යසන මොහොතේ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ මහතාත් සමඟ එක්ව දින විස්සක් පුරා ආහාර වියළි සලාක කලාකරුවන්ට බෙදා දීමේ වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. එයින් නතර නොවූ අපි මේ ආර්ථික අර්බුදය හමුවේ රටේ කලාකරුවන්ගේ අනාගතයට එල්ල විය හැකි ප්‍රශ්න දෙස බලමින් ඔවුන්ට සහන පොලී ක්‍රමයක් මත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න අගමැතිතුමා සමඟ සාකච්ඡා කොට අවස්ථාව සකසා දුන්නා. ඊළඟට එන ප්‍රශ්නය මේ ණය ගෙවා ගැනීම. ඔවුන්ට ණය ගෙවා ගත හැකි වන්නේ නාට්‍ය දර්ශන පැවතුණොත් පමණයි. අනෙක් අතට මේ රංගශාලාවල ඇති අති නවීන පහසුකම්, වායු සමීකරණ, විදුලි ආලෝක සහ ශබ්ද උපකරණ, පාවිච්චියට නොගෙන කල් පැනීමේදී අක්‍රිය වීමට බලනවා. එසේ වුවොත් පහසුවෙන් ඒවා ගොඩගන්න බැරිවෙනවා. මේ තත්ත්වය නිසා ටවර් හෝල් ආයතනය තුළ සේවකයන් පවා දැඩි උකටලී ස්වභාවයක් පෙන්නුවා. ඒ සියල්ලන්ටම අපට කළ හැකි හොඳම දේ නාට්‍ය රසිකයන්, නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් ආදී සියලු දෙනාගේ බිය පහකරලා යළිත් රංග ශාලාවට ගෙන්වා ගැනීම. ඒ සඳහා අප සමඟ එක් වන්න කැමැති වගේම දැනට ප්‍රදර්ශන තත්ත්වයේ තිබෙන ජනප්‍රිය ගණයේ නාට්‍ය කීපයක් තෝරා ගත්තා. දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, ආර් ආර් සමරකෝන් වැනි ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදීන්ගේත්, කේ බී හේරත්, ජයන්ත චන්ද්‍රසිරි වැනි අපේ සමකාලීන නාට්‍යකරුවන්ගේත්, නව පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍යයත් ඇතුළුව නාට්‍ය 14ක් අප තෝරා ගත්තා. අප අපට දිය හැකි උපරිම ප්‍රචාරය වගේම නොමිලේ ශාලාව අප ඒ නාට්‍ය සඳහා ලබාදුන්නා. එයින් ඇති වූ නව ප්‍රබෝධයත් සමඟ නාට්‍ය බලන්න අනපේක්ෂිත පරිදි බොහෝ පිරිසක් පැමිණියා. ටවර් සහ එල්ෆින්ස්ටන් ශාලා දෙකටම යමින් 3.30 සහ 6.30 බැලූ රසිකයන් සිටියා. මෙය ශිල්පීන්ටත් විශාල උද්යෝගයක් වුණා. නාට්‍ය අතර තරගකාරීත්වයකුත් ඇති වුණා. මේ නිසා ටිකට්පත්වල මුදලත් සමඟ නාට්‍යකරුවන්ට ගෙවීමට නියමිතව තිබූ මුදලට වඩා වැඩි මුදලක් ලබා දෙන්න හැකියාවත් ලැබුණා.

සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කළේ කොහොමද?

මේ උලෙළේ සාර්ථකත්වය මුද්‍රිත හා සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක් වුණේ මෙවැනි වසංගත තත්ත්වයක් අතර වුවත් අපි මෙය කළ ආකාරය පිළිබඳව. අපට මෙය කරන්න තිබුණු අවශ්‍යතාව නිසා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාව හමු වුණා. වේදිකා නාට්‍ය සඳහා මුලින් අවසර දී නොතිබුණත් පසුව ඔහු සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති අනුව උලෙළ පැවැත්විය යුතු ආකාරය පිළිබඳ දුන් උපදෙස් පරිදි අසුනක් හැර අසුනක් වන පරිදි ප්‍රේක්ෂකාගාරය සකස් කරලා අදාළ කොන්දේසිවලට එකඟවයි උලෙළ පැවැත්වූයේ. ඒ සියලුම ආසන පිරිලා නිසා හැරිලා ගිය පිරිසකුත් හිටියා. මෙයින් අප තේරුම් ගත් දේ තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සාධාරණ මිලකට නාට්‍යයක් පෙන්වනවා නම් අදටත් ඔවුන් වේදිකා නාට්‍ය බලන්න එන්න කැමැතියි කියන දෙය. ලංකාවේ නාට්‍යයක ප්‍රේක්ෂක සහභාගීත්වය පවත්වා ගන්න ඕනේ නම් අසාමාන්‍ය ඉහළ මිල ගණන් දාලා ඔවුන්ගේ ඉන ඉහ අතගා ගන්නවා වෙනුවට සාධාරණ මිලකට නාට්‍ය පෙන්වන්න කියන පණිවිඩය නාට්‍යවේදීන්ට මම කියන්න කැමැතියි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ටවර් පදනමේ සභාපති හැටියට අපේ ශාලාවල අයකිරීම් සියයට 45කින් අඩු කළේ පළමු භාරකාර රැස්වීමෙදිමයි. මේ උලෙළේ සමහර ප්‍රේක්ෂකයන් ඈත එපිට ගම්මානවල ඉඳලා සැම දිනකම හයිවේ එකේ ඇවිත් නාට්‍ය දෙකම බලලා රෑට ආපහු හයිවේ එකෙන් ගිය අවස්ථා තිබුණා. මේ පහසුකම් නිසා අද ඈත ගම්දනවුවලටත් කොළඹ දුරක් නෙවෙයි. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, කොළඹ නාගරික කොමසාරිස්තුමිය, කාර්ය මණ්ඩලය සහ මාධ්‍ය අපට උපරිම සහයෝගයක් ලබා දුන්නා.

මේ අලුත් නාට්‍ය උලෙළ ගැනත් කියමු?

අපට ලැබුණු අසාමාන්‍ය ප්‍රසාදය හා සාර්ථකත්වය නිසා යළිත් සතියක් නාට්‍ය උලෙළ පවත්වන්න අපි තීරණය කළා. ඒත් සහභාගීත්වය සහ ඉල්ලීම් මත දැන් වෙලා තිබෙන්නේ සතිය මාසයක් දක්වා දිගු කරන්න වීම. අගෝස්තු 16 සිට සැප්තැම්බර් 15 දක්වා දිනපතාම පාහේ මේ නව නාට්‍ය උලෙළ පැවැත්වෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 24 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සිංහබාහු ප්‍රදර්ශනය කරමින් තමයි නාට්‍ය උලෙළ ආරම්භ කළේ. පුරා වසර විසිහතරක් සරච්චන්ද්‍ර නිර්මාණ රැකගෙන ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් ලලිතා සරච්චන්ද්‍ර මහත්මියට සම්මානයක් පුද කළා. ඊළඟට ආචාර්ය ජයලත් මනෝරත්න මහතාට උපහාර පිණිස 'මනෝ සොඳුරු රඟ සොබා' නමින් මනෝරත්නයන්ගේ නාට්‍ය ගීත ඇතුළත් වැඩසටහනක් කළා. ඊට අමතරව මුළු මාසය පුරාම ටවර් ශාලාවේ සහ එල්ෆින්ස්ටන් ශාලාවේ නාට්‍ය 54ක් පමණ ප්‍රදර්ශනයට නියමිතයි. හැබැයි මේ වතාවේ වෙනස නාට්‍ය පිළිබඳ ප්‍රචාරය කරන්නේ නිෂ්පාදකවරුන්මයි.

ඒත් අප මේ මොහොතේ නාට්‍ය වර්ගීකරණය කළේ නැහැ. ඒ වගේම කෙටි නාට්‍යකරුවන් අප සමඟ කැමැත්තෙන්ම එක් වුණා. එහිදී ළමා, කෙටි සහ පර්යේෂණ නාට්‍ය සඳහා දින දහයක් වෙන් කළා. මේ නිසා වේදිකා නාට්‍ය නැමැති යාන්ත්‍රණය යළි පණ ගන්වා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මෙයින් නාට්‍යකරුවන්ගේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. ප්‍රෙක්ෂකයන්ගේ ප්‍රබෝධයක් මේ ක්ෂේත්‍රය ගැන ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, අප මේ කරන වැඩ පිළිවෙළ දකින සංචාරකයන් මේ සුරක්ෂිත තත්ත්වය ගැන හිතලා අපේ රටට එන්න කැමැති වෙනවා. තවම චිත්‍රපට කර්මාන්තයේ මේ තත්ත්වය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අප ක්‍රියාත්මක කරන්නේ රජයේ ප්‍රතිපත්තියක්. ඒ එක්කම මේ නාට්‍යවල අධ්‍යක්ෂවරුන් පිළිබඳව නාට්‍ය පිළිබඳව පොතක් නිකුත් කිරීමට අප බලාපොරොත්තු වනවා. අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ ශ්‍රී ලංකා සාමාජිකයා ලෙස ටවර්හෝල් ආයතනයෙන් අප මේ කොරෝනාවට එරෙහිව ලබාගත් ජයග්‍රහණය පිළිබඳ වගේම මෙයට ඉදිරිපත් වූ නාට්‍ය හා ඒ ශිල්පීන් පිළිබඳ වාර්තාවක් ඒ ආයතනයට ලබා දෙන්නත් කටයුතු කරනවා.

ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට මේ උලෙළෙන් ඔබ බලාපොරොත්තු වන දිගු කාලීන අරමුණ කුමක්ද?

පැහැදිලිවම මේ රටේ නාට්‍ය සංස්කෘතියක් ඇති කිරීම. කොරෝනා වෛරසය වෛද්‍යවරුන් මැඩපවත්වද්දි අපි කලාකරුවන් ලෙස නාට්‍ය වෛරසය සමාජයට බෝ කරන්න ඕනේ. වෛද්‍යවරුන් ලෙඩේ මැඩපැවැත්වුවාට ජනමනස සුවපත් කරන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. අපි නාට්‍ය කලාව තුළින් කරන්නේ එයයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව කොවිඩ් වසංගතය පාලනය කරන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරකිමින් බියෙන් සැකෙන් තොරව නිරෝගීව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පසුබිමයි අපි සකසන්නේ. මානසික නිරෝගීබව තමයි සමාජයකට වැදගත් වන්නේ. ඒ නිසා අප ආරාධනා කරනවා සියලු දෙනාට මේ නාට්‍ය උලෙළ නරඹන්න, සතුටින් පිරි නීරෝගී මනසකින් ඉදිරි ජීවිතයට මුහුණ දෙන්න කියා.