අනුකරණය සහ සමාරෝපය

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
සැප්තැම්බර් 3, 2020

ගැඹුරු හා සෞන්දර්යාත්මක විචාරක්ෂයෙන් යුක්තව කරනු ලබන අනුකරණය හෙවත් නිවැරදි රංගන උත්කෘෂ්ට රංග චාතුර්ය ප්‍රකට කරයි. නළු රංගනයේ ගාම්භීරත්වයෙන් හෙබී කලාත්මක මධුරතාවය සෙ අමි කියන පරිදි යුගෙන් නම් වේ.

යු‍ගෙන් යනු සංවේදනාවල දෘශ්‍යමාන ලාලිත්‍ය සහ ලීලාව ලෙස ආධ්‍යාත්මික සුන්දරත්වය උත්තරීතර තත්ත්වයට පැමිණ වීමයි. සියලු කලාවන්ගේ පරමෝත්කෘෂ්ට තත්ත්වය වනුයේ එය ප්‍රේක්ෂක ඇසට සියුම්ව ගෝචර වෙයි. ඔවුන් එනම් ප්‍රේක්ෂකයා එය උතුම් කොට සලකයි. නළුවා ප්‍රසාරණය කරන මෙම යු‍ගෙන් වූ අල්පමාත්‍ර ද දුරස්ථ ද වන්නාවූ දෙයකි. අනුකරණයේ උත්කෘෂ්ට බව එක අතකින් ප්‍රේක්ෂකයාගේ වින්දනයට සමීප දෙයකි. එසේම එය ඥානයෙන් ග්‍රහණය කරගත යුතු ගැඹුරකි. එය දුරස්ථ ද වූ දෙයකි. හේතුව නම් අප්‍රමාණ වූ සතතාභ්‍යාසයෙන් ප්‍රසාරණය කරනු ලබන අනුකරණයේ උත්කෘෂ්ට බව, එහි අර්ථය ග්‍රහණය කර ගැනීමේ දුෂ්කරතාවයයි.

සියුම් ගැඹුරු අනුකරණය පහසුවෙන් රසවිඳීය හැකි වුවත් තේරුම් ගැනීම හෙවත් ග්‍රහණය කරගැනීම දුෂ්කරතාවක් එනිසාම අනුකරණයේ මේ සුවිශේෂත්වයට ළඟාවීම නළුවාට අසීරු දෙයක්. මොනමොනෙ හෙවත් අනුකරණය නළු රංගනය හා බැඳුණු ශිල්ප ධර්මතාවය නම් යුගෙන් හෙවත් පරමෝත්කෘෂ්ට මායාව එනම් සංවේදනාවල (භාව) දෘශ්‍යමාන ලාලිත්‍ය හා ලීලාව ලෙස ආධ්‍යාත්මික සුන්දරත්වය උත්තරීතර තත්ත්වයට පැමිණ වීම අනුකරණය හෙවත් මොනමොනේ යන්නට විභූසණාත්මක රම්‍යතාවය ලබාදීමයි. නාට්‍යයේ අනුකරණය වූ කලී ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයකි. නාට්‍යයකදී දෙයක්, අවස්ථාවක්, ක්‍රියාවක් කර පෙන්වයි.

කෝලම් නටනවා, වෙස් පානවා, සොකරි නටනවා යනු තමා විසින් අනන්‍ය වූ කෙනෙක් අනුකරණය කොට දැක්වීමයි. තමාට හෝ අන්‍යයාට අසා සිටීමට කරන ක්‍රියාව කියන කතාවකි. එය ශ්‍රව්‍ය කාර්යයකි. නටනවා පානවා යනු අනුකරණය කොට දැක්වීමකි. එසේ අනුකරණය සඳහා තමා අනන්‍යකරණය විය යුතුයි. (නළුවා) එය අඳීනවා යනුවෙන් ජනවහරේ සඳහන් වේ. එය නම් සමාරෝපයයි. (මනමේට අඳීනවා යනුවෙන් ව්‍යවහාරයේ එයි) නැටීම ඇසින් බැලිය යුතුයි. ඇසින් බැලීය යුතු යන්න දෘශ්‍ය හෙවත් ඇසට ගෝචර වන්නකි. ඒ අර්ථයෙන් නාට්‍ය අනුකරණය ද දෘශ්‍ය කාර්‍යයකි. නැටීමේදී කතාව කියන්නේ ඇසීමටයි. නැටීම ඇඳීම ඇසින් බැලිය යුතු දෘශ්‍යය නම් වේ. කතාව කනෙන් ඇසිය යුතු වේ. එබැවින් එය ශ්‍රව්‍යය වේ. නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යයකි. ඇසින් බැලීමට කරන අනුකරණය රූපක, රූප නම් වේ. අනුකරණය වේදිකාව මත ප්‍රේක්ෂාවකි. ප්‍රේක්ෂාව නම් බැලීමයි. බලන්නා ප්‍රේක්ෂක වේ.

ඇරිස්ටෝටල්ට අනුව ශෝකාන්තය වූ කලී ක්‍රියාවක අනුකරණයකි. නාට්‍යයක් සඳහා නැතහොත් නාට්‍යයමය අනුකරණයක් සඳහා සිද්ධියක්, අවස්ථාවක් තෝරා ගැනීමේදී කතා වින්‍යාසයේ අංග දෙකක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එක ශ්‍රව්‍ය අංශයයි. එනම් දැකීමටත් ඇසීමටත් සුදුසු වූ අංශයයි. එය නාට්‍යෝචිත අංශය වුවත් රංගෝචිත අංශය යි. දෙවැන්න නම් “සූච්‍ය“ යි. සූච්‍ය යනු දැන්විය යුතු හෙවත් හැඳීන්විය යුතු යන අර්ථය දෙයි. සුච්‍ය කොටස් රංගෝචිත නොවන බැවින් ප්‍රේක්ෂකයා ඉදිරියේ අනුකරණය කොට නොදක්වයි. එය උපක්‍රමයකින් ප්‍රේක්ෂකයාට දැන්විය යුතුය. ඊඩිපස් හෝ මනමේ කතාවේ හෝ සිංහබාහු කතාවේ එන සෑම කොටසක්ම ශ්‍රව්‍ය හෙවත් රංගෝචිත ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ නොදක්වයි. එහෙත් දැන් විය යුතු සේම දැනගත යුතු කොටස් ලෙස ඒවා අනාවරණය වේ. ඊඩිපස් හී ඔහුගේ උපත් කතාව අපට රංගභූමිය මත දක්නට නොලැබේ.

එහෙත් නාට්‍ය ගලා යෑමේදී අපි එම කොටස් දැනගනි. ලායුස්ගේ මරණය ද එවැන්නකි. නාට්‍ය තුළ රචකයා අනුකරණය කරනුයේ තමන් විසින් අවබෝධ කරගත්, පසක් කරගත් සත්‍ය හා අර්ථය තෝරාගත් අවස්ථා හා චරිත මගින් ඉදිරිපත් කිරීමයි. අනුකරණය කිරීමේ දී අනවශ්‍ය දෑ හෙවත් අනුකරණයට නොගැළපෙන කොටස් ඉවත් කිරීම වැදගත් වේ. ‘‘කිරිගරුඩ මුහුණක් නෙළීමේදී මුහුණට අයත් නොවන සෑම කොටසක්ම කිරිගරුඩ පුවරුවෙන් ඉවත් කරගත් විට මුහුණ මත කරගන්නා සේ නාට්‍ය අනුකරණයේ දී කතාව (ඉබධපර) රංගෝචිත කොටස් තෝරා ගත් විට රංගෝචිත නොවන කොටස් ඉවත් දැමූ විට කතා වින්‍යාසය (ර්‍ථතධබ) මතු කර ගත හැකිය.

නාට්‍යයක දී අනුගමනය කරන්නේ සාමාන්‍ය ජීවිතය වුවත් එය සාමාන්‍ය ජීවිතයේ දී කලාතුරකින් හමුවන සිද්ධියක් හෝ අවස්ථාවක් විය හැකිය. මනුෂ්‍ය ජීවිතය මුහුණදෙන සංකීර්ණ උපරි අවස්ථාවක් නාට්‍යයකදී අනුකරණය කරයි. සාමාන්‍යයෙන් අසාමාන්‍ය වූ සිද්ධිය අවස්ථා චරිත නාට්‍ය විසින් අනුකරණය කරයි. ඊඩිපස් රජ හෝ මනමේ කුමාරයා හෝ හැම්ලට් කුමාරයා හෝ සිංහයා හෝ සිංහබාහු මුහුණ දෙන අවස්ථාවන්, සිද්ධි සාමාන්‍ය ජීවිතයේදී හමුවිය හැකි සුවිශේෂී මොහොතවල් වේ. එසේ ම නාට්‍යයකදී සමාන සිතුවිලි චින්තනයක් සහිත දෙදෙනෙක් අනුකරණය නොකරයි. ඔවුන් වයසින්, පෙනුමෙන්, පාටින් සමාන වුවද චින්තනයන්ගෙන් අසාමාන්‍ය වෙනස්කම් සහිත වූ විට අනුකරණය ප්‍රබල වේ. ගැඹුරු වේ.

ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස්- ක්‍රෙයෝන්, ඊඩිපස්- තයිරීසියස්, ඊඩිපස්- යොකස්ට්‍රා, මනමේ නාට්‍ය මනමේ - කුමරිය, මනමේ - වැදිරජු, සිංහබාහු නාට්‍යයේ සිංහයා - සිංහබාහු, සිංහයා - සුප්පාදේවි ආදීන් සිතිවිලි චින්තනයන්ගෙන් අන්ත දෙකක සිටින්නෝ වෙති. චරිත අතර අන්තයන් දුරස්ථ වන තරමටම අනුකරණය ද ප්‍රබල වෙයි. ශෝකාන්තය අනුකරණයෙදී ඛේදාන්ත වීරයා සමාජයේ ඉතා ඉහළින් පිළිගත් සමෘද්ධිමත් තැනැත්තෙකු විය යුතුය. නමුත් ඔහු උත්තරීතර අති මානුෂික ගුණයෙන් යුක්ත අයෙක් වීම අවශ්‍ය නැත. අනුකරණය වඩා ප්‍රබල වනුයේ චරිත - චරිත අතර මෙන්ම චරිත තුළද පවතින සංකීර්ණතා සංකීර්ණ වූ කල්හිය. ඛේදාන්ත වීරයා සමාජ මට්ටමින් උත්තරීතර මානවයකු නොවේ.

එහෙත් ඔහු සමාජ මට්ටමෙන් ඉහළ යහ ගුණ සහිත වූවෙක් විය යුතුය. එසේ වූ විට ඔහු අප හා සමාන, අප වැනිම සැබෑ මිනිසකු යන හැඟීම ප්‍රේක්ෂකයා තුළ ඇති වේ. එසේ වූ විට ප්‍රේක්ෂකයා එම චරිතයට සමීප වී, ඔහුගේ ක්‍රියාකාරකම් කෙරෙහි විශ්වාසය ඇති කරගනියි. ඇරිස්ටෝටල්ට අනුව ට්‍රැජඩි වීරයා ව්‍යසනයට පත් වන්නේ ඔහුගේ චරිතයේ දුර්ගුණයක් හෝ නරක සිරිත් නිසා නොව ජීවිතේ එක් අවස්ථාවක වැරදි නිගමනයකට එළඹීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එම නිගමනය ප්‍රතිඵලය මෙන්ම ක්‍රියාවද බිහිසුණු වේ. එය බිහිසුණු වන තරමට ඛේදවාචක ද අසීරු වේ. ඊඩිපස් පියා මරා දැමීම, මව සමඟ විවාහ වී දරුවන් ලැබීම මෙන්ම ඊඩිපස් සියතින්ම ඇස් අන්ධ කර ගැනීමද බිහිසුණු ක්‍රියාවලියකි. ඔහුගේ ක්‍රියාව පාපයන්ගේ ඉහළම ප්‍රතිඵලයකි. එහෙත් ප්‍රේක්ෂකයා සැබෑ ජීවිතයේ එවන් පුද්ගලයෙකුට දක්වන ප්‍රතිචාරයට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් ඊඩිපස්ට දක්වන්නේ ඊඩිපස් නාට්‍යයේ අනුකරණයේ ඇති අති උත්කෘෂ්ට චින්තනය හේතුවෙනි.

උසස් නාට්‍යයකදී අනුකරණය කරන්නේ යහපත් බලවේග හා අයහපත් බලවේග අතර ගැටුමක් නොව යහපත් බලවේග දෙකක් අතර ගැටුමකි. අනුකරණය කරනු ලබන බලවේගවල යහපත හා අයහපත අනුව නාට්‍යයක උසස් බව තීරණය කළ හැකිය. බලවේග අතර අරමුණු යහපත් වන තරමටම ගැටුම ද ප්‍රබල වේ. බලවේග දෙකම දැඩි විශ්වාසයකින් යුක්තව අරමුණු අතර ගැටුම ගොඩනඟන විට අවසානය ඛේදනීය වේ. යහපත් බලවේග හා යහපත් බලවේග අතර ගැටුමක් ඇති වූ විට ප්‍රතිඵලය සපුරා වෙනස් වේ.

ඛේදාන්ත නාට්‍යයකදී හොඳ හා නරක අතර ගැටුම්කින් නොව හොඳ හා හොඳ අතර ගැටුමකින් ඛේදාන්ත වීරයා ඛේදයට පත්වේ. මෙවැනි ගැටුම් ඇති වන්නේ යහපත් බලවේගයක් වෙනුවෙන් ඉතා දැඩිව බැඳී සිටින චරිත ලක්ෂණ සහිත මිනිසුන් බිහි වීම නිසාය. එවැනි චරිත ලක්ෂණ සහිත මිනිසුන් බිහි වීම නිසාය. එවැනි චරිත ඇත්තෝ තමා බැඳී සිටින, තම පණටත් වඩා අදහන, කැප වී සිටින යහපත් බලවේගයන් හැරෙන්නට මෙලොව වෙනත් යහපත් දෙයක් ඇතැයි නොසිතයි. දසතින්ම ඔවුන්ට පෙනෙන්නේ තම යහපත් බලවේගය නැති නම් අරමුණ පමණි. එවැනි දැඩි විශ්වාසයක් ඇති ඔහු තනිව යන ගමනේදී තමාට හමුවන අනෙක් යහපත් බලවේග අයහපත් බලවේග සේ වැරදි ලෙස හඳුනාගෙන ඒවා සමඟ ගැටේ. ඉරණම ඛේදනීය එකක් බවට පත්වන්නේ එහෙයිනි. මේ ‘‘ඒකායන මනස් නැඹුරුව“ ඛේදාන්ත නාට්‍ය අනුකරණයේ දී ‍ප්‍රබල ලක්ෂණයකි. ඛේදාන්ත වීරයා තම සියලු ශක්තියෙන් කැප කරන්නේ මෙසේ ඔහු යහපත් යැයි අදහන අරමුණ ඉටුකර ගැනීමටයි. අනුකරණය ගැඹුරු විෂයක් බවට පත් වන්නේ ඛේදාන්තය සුඛාන්තය, නෝ නාට්‍ය ආදී නාටකයෝ මනුෂ්‍ය ජීවිතය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ගන්නා උත්සාහයන් බැවිනි. ශෝකාන්ත නාට්‍යයකදී අනුකරණය කොයිතරම් ගැඹුරු දෙයක් දැයි පහත නිර්වචනයෙන් පැහැදිලි වේ. ‘‘ ශෝකෝත්පාදකය වූ කලී අවශ්‍යයෙන්ම මිනිසා පිළිබඳව නොව මිනිසාගේ ක්‍රියාකාරිත්වයේ ද ජීවිතයේ ද එසේම මිනිසාගේ ප්‍රීතිජනක සහ ශෝකජනක අවස්ථාවන්ගේ ද අනුකරණයකි. ජීවිතය පවත්වාගෙන යන අපගේ අවසාන අරමුණ වන්නේ යම් ආකාරයක ක්‍රියාකාරීත්වයක් මිස ගති ස්වභාවයක් නොවේ.

 

චරිතය විසින් ගති ස්වභාවය සිද්ධ කෙරේ. එසේ ද වුව අප සන්තුෂ්ටියට පත්වන්නේත් එසේ නොවන්නේත් අපගේ ක්‍රියාකාරීත්වය, අප කරන දේ හේතුකොටගෙනය. නාට්‍යයකදී නළුවන් චරිත නිරූපණය කිරීම සඳහා රඟ පාන්නේ නැත. චරිත සම්බන්ධ කෙරෙනුයේ ක්‍රියාකාරීත්වය පෙන්වීම් සඳහාය. මේ අනුව නාට්‍යය ක්‍රියාකාරීත්වය අන්තර්ගත වේ. ඛේදාන්තය යනු යම් ක්‍රියාවක අනුකරණයක් යැයි විග්‍රහ කරනුයේ එබැවිනි. ‍ කාව්‍ය අනුකරණයේ දී රසවින්දනයට බාධාවක් නොවන පරිදි ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගැනීමට යෝග්‍ය වන පරිදි නාට්‍යෝචිත සිද්ධි පෙළක් කල්පනාකාරී ලෙස තෝරා බේරාගෙන ගැළපීමෙන් ක්‍රියාකාරීත්වයන්ගේ ඒකීයත්වයක් රැකිය යුතු වෙයි. අනවශ්‍ය එකඳු ඇලපිල්ලමක් හෝ කතා ශරීරයට බාධාවක් නම් නාට්‍ය ගුණය පිරිහේ. අනුකරණය වූ කලී කලාවේ, නාට්‍යයේ පමණක් නොව නළු රංගයේ ද සමාරම්භක පියවර වේ. යමෙක් විසින් යම් කිසිවක් හෝ කිසිවෙක් අනුකරණය කරනු ලබන්නේ ද එය සුන්දරත්වයෙන් යුතුව කිරීමට අමතක නොකළ යුතුය. අනුකරණය හා සුන්දරත්වය එකට බැඳී පවතින්නකි. සිතුවම “රේඛාවන්“ හී සාම්‍යතාවය අනුකරණය නම් “සුන්දරත්වය“ වූ කලී එම රේඛාවේ විසිතුරු කරන වර්ණය වේ. අනුකරණය හා සුන්දරත්වය චිත්‍රයක වර්ණ හා රේඛා මෙන් බැඳී පවතින්නකි. එකක් නොමැතිව අනෙකක් පූර්ණ වින්දනයක් රසිකයාට, ප්‍රේක්ෂකයාට ලැබිය නොහැකිය. අනුකරණයක් නැතහොත් චරිත නිරූපණයක් විචිත්‍ර වන්නේ එම පරිපූර්ණභාවයෙනි. උසස් වූ අනුකරණයක් සහිත චරිත නිරූපණයක් අලංකාර  (Elegance) මෙන්ම සුන්දරත්වයෙන් ද (Gracefulness) වූ විට එය භාවාර්ථ රම්‍යතාවයෙන් ද (Beauty) මෘදු භාවයෙන් (Tenderness) යුක්ත වන්නේය.

එවන් අනුකරණය දීප්තිමත් සඳ බැබලීමක් පසුකර යන ඝන වලා කඩකින් වැසීගොස්, අනතුරුව සිදුවන සඳ බැබලීමක් ලෙස නෝ නාට්‍යකරුවා කාව්‍යමය අර්ථයෙන් විස්තර කරන්නේය. අනුකරණය වූ කලී අතීතයේ සිට වර්තමානය දක්වා විවිධාකාර විග්‍රහයන්ට, නව අර්ථ කථනයන්ට බඳුන් වන්නකි. රංග කලාවේ සියලු විපර්යාසයන් සිදු වන්නේ අනුකරණය පිළිබඳ ඇති වන්නා වූ විපර්යාසයන් ඇසුරෙනි. රංග කලාවේ මූලාශ්‍ර ග්‍රන්ථාචාර්යවරුද, ගැමි නාට්‍යකරුවා ද, විවිධ නම්වලින් එනම් නටනවා, රැඟුම්පානවා, වෙස්පානවා, ආදී වචනවලින් නූතන නාට්‍යයකරුවා අසම්මත රංගනය, සම්මත රංගනය, න්‍යායාත්මක රංගනය සහ එපික් රංගනය ආදී ලෙසින් විග්‍රහ කරනුයේ අනුකරණයයි. අතීත නාට්‍යකරුවා නාට්‍ය රචනයේ දී රූපණයේ දී විස්තර කරන්නේ අනුකරණ ක්‍රියාවලිය පිළිබඳවයි. වර්තමානයේ රූපණ කලාව ලෙස අප ගැඹුරින් විග්‍රහ කරන්නට, කරගන්නට උත්සාහ කරන්නේ අනුකරණයයි.

සමාරෝපය සහ වෙස් වළා ගැනීම.

නාට්‍ය බැලිය යුතු දෙයකි. ඇසිය යුතු දෙයකි. නැතහොත් ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යයකි. අනුකරණයෙන් උත්පාදනය වන්නකි රංගනය. යම් සිද්ධියක්, අවස්ථාවක් අනුකරණය කරනුයේ චරිත මගිනි. නළුවා කරන්නේ යම් චරිතයක් අනුකරණය කිරීමකි. ඒ සඳහා ඔහු තම පෞද්ගලික අනන්‍යතා සියල්ල පසෙකලා චරිතය බවට පත් විය යුතු ය. එනම් චරිතය සතු අනන්‍යතා ලෝකයට ඇතුළත් විය යුතු ය. එය සමාරෝපය වීමකි. වෙනත් අයෙකු බවට පත්වීමකි. එම සමාරෝපය ඇතුළාන්තයෙන් ද බාහිරින් ද සිදුවිය යුතු ය. චරිතයේ අනන්‍යතාවයට ගැලපෙන සේ කතා කිරීම, හැසිරීම, අංග චලනයේ යෙදීම, සිතීම මෙන්ම බාහිරින් ද චරිතයේ පෞද්ගලිකත්වයට, සිතුම් පැතුම්වලට ගැළපෙන සේ සැරසිය යුතු ය. මුහුණේ ස්වරූපය වෙනස් කරගත යුතු ය. ඇවිදීම ආදිය කළ යුතු ය. එය වෙස් වළා ගැනීමකි. වෙස්මාරු කර ගැනීමකි. වේශයක් ලබා ගැනීමකි. චරිතය හා නාට්‍ය ගොඩනැඟෙන්නේ නළුවා චරිතය බවට සමහර වීමෙනි.

වෙස් වළා ගැනීමෙනි. සමහර විට එය නළුවා හා සමාන වන වෙස්වලා ගැනීමකි නැතහොත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වූ වේශයකට පරිවර්තනය වීමකි. හිට්ලර් ලෙස, මනමේ ලෙස, සිංහයා ලෙස, නරියා ලෙස ආදී මනුෂ්‍ය, අමනුෂ්‍ය, සත්ව, අද්භූත ආදී අනන්‍යතාවයක් සහිත හෝ ගඟක්, සුළඟක් ආදී ලෙස ද කුසල්, අකුසල් ආදී සිතුවිලි සමුච්චයක් ලෙස ද විය හැකිය. නමුත් එය වේදිකාව මත නිරූපණය වන්නේ අනන්‍යතාවක් සහිත පුද්ගලත්වාරෝපණයක් ලෙසිනි. මෙසේ කුමන හෝ චරිතයක් බවට තමාගේ අනන්‍යතාවයෙන් පූර්ණත්වයෙන් දුරස් වී පූර්ණ සමාරෝපයක් බවට පත් වී නාට්‍ය තුළ ජීවත් වීම සිදු වේ. එම චරිතය ලෙස වෙස්වළා ගැනීම ද කළ යුතු ය. නාට්‍ය ප්‍රේක්ෂාවක් බැවින් ප්‍රේක්ෂකයාගේ ඇසට, කනට (දෘශ්‍ය හා ශ්‍රව්‍ය) ගෝචර වන්නේ මේ සමාරෝපයයි. වෙස් වලා ගැනීමයි.

ගැමි නාට්‍යකරුවා මෙම සමාරෝපය සිදුවීම අඳීනවා, නටනවා, පානවා ආදී නම් ලෙසින් විග්‍රහ කරගනී. වෙස්වළාගෙන කරන මේ සමාරෝපය කෝලම් පානවා, සොකරි නටනවා, සිංහයාට අඳීනවා ආදි ලෙස විස්තර කරයි. එය ප්‍රේක්ෂකයාගේ ඇසට ගෝචර වන්නකි. සමාරෝපය වීමකි. නැතහොත් අසවල් චරිත බවට පත්වීමකි. මේ සමාරෝපය හා වෙස්වළා ගැනීමේ ක්‍රියාවලිය නාට්‍යයේ ක්‍රියාදාමයයි. නාට්‍ය යනු චරිතවල සංවාද ක්‍රියාකාරීත්වය ක්‍රියාව (ඒජබඪධද) මාර්ගයෙන් කතන්දරයක් කීමකි. ගද්‍ය හෝ පද්‍යයන් රචිත වචන අංග චලනය, රංග වස්ත්‍රාභරණ පසුතල සහිතව සැබෑ ජීවිතය නිරූපණය වන ලෙස වේදිකාව මත රඟ දැක්විය හැකි ආකාරයට සකසා ගත්තකි. අප චරිත ලෙස දකින්නේ නළුවා විසින් මවන රඟන චරිතවල ක්‍රියාකාරීත්වයයි. නාට්‍යය සහජ මිනිස් ආශාවකි. කුඩා ළමුන් මවගේ පියාගේ භූමිකාවට සමාරෝපය වෙති. ඒ සඳහා රැවුල්, සාරි, බෑග්, තොප්පි ආදිය ගෙන වෙස්වළා ගනියි. මිනිස් සන්තානයට රංගනය පිළිබඳ සිතුවිලි ගැඹුරට කාවදින්නේ සමාරෝපය හා වෙස්වළා ගැනීමේ මේ කුඩා අවධියේ ක්‍රියාකාරීත්වයෙනි. අප සමාරෝපය හා වෙස්වළා ගැනීමේ පුරුද්ද අවිඥානිකව උගන්නේ කුඩා අවදියේදී ය. ඒ සඳහා අවශ්‍ය ඥාණය, දැනුම, අවබෝධය කුඩා අවදියේ දී ලබාගත්ත ද නාට්‍යයක එය සිදුවන්නේ සමාරෝපය හා වෙස්වළා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අවබෝධයකිනි.

සතර අභිනය ගොඩනැඟෙන්නේ අනුකරණය, සමාරෝපය හා වෙස් වළා ගැනීම යන ක්‍රියාවලියෙනි. ඒවා වෙන් වෙන්ව නොපවති. එකක් අනෙක හා සම්බන්ධ වේ. වෙස්වළා නොගෙන සමාරෝපයේ පළක් නැත. සමාරෝපයෙන් වියුක්තව අනුකරණයක් නොමැත. අනුකරණයක් නොමැතිව සතර අභිනයක් නොමැත. අනුකරණයක් නොමැතිව සතර අභිනයක් නොමැත. සතර අභිනය නොමැතිව භාව ප්‍රකාශනයක් ද රස නිෂ්පත්තියක් ද නැත. සමාරෝපය හා වෙස්වළා ගැනීමේ ක්‍රියාවලිය මේ සියල්ලේ ආරම්භයයි. සමාරෝපය මිනිස් ආශාවකි. තමාගෙන් ඉවත්ව තවකෙකු බවට පත්වීමේ සහජ ආශාව සාමාන්‍ය මිනිස් ජීවිතයේ ආශාවකි. බාහිර සමාරෝපය හා වෙස්වළා ගැනීම මිනිස් සන්තානයේ සහජ ආශක්ත භාවයකි. සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රකට චරිත ලෙස අදින්නට කොණ්ඩය සකසන්නට ඇවිදින්නට, මුහුණු සාදාගන්නට, පළදින්නට, මනුෂ්‍යයාට ඇත්තේ උපතින්ම එන ආශාවකි. චේ, මයිකල් ජැක්සන්, එල්විස් ප්‍රෙස්ලි, දිලිප් කුමාර් ආදීන් සේ සැරසෙන පුද්ගලයන් අපට නිතර හමු වේ. සාමාන්‍ය ජනතාව පමණක් නොව ජනප්‍රිය පුද්ගලයන් පවා එවැනි සමාරෝපයන්ට වෙස් වලාගැනීම් වලට ප්‍රිය වේ.

සමාරෝපය හා වෙස්වලා ගැනීමේ මුල් තත්වය හුදු පුද්ගලික සන්තෘෂ්ටිය සඳහා මනුෂ්‍යා පුරුදු වූ ප්‍රාථමික ආශාවකි. එය මනුෂ්‍යයාගේ සහජයකි. එය උපතින්ම හිමිවන්නකි. එහි විශ්වාසනීයත්වයක් අපේක්ෂිත නැත. මන්දයත් එය අනන්‍යයාගේ ආකර්ෂණය සඳහා සෘජුව යොමු නො වේ. එය අවිඥානික අවශ්‍යතාවයකි. යම් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙක් ලෙස සැරසීම ඇති සහජ ආශාව තමාගේ තෘප්තිය සඳහාම වේ. තමා අන්‍යයාගේ අවධානය හා ආකර්ෂණයට යොමු වීම අවිඥානිකව අපේක්ෂා කරන්නකි. අන්‍යයා ඉන් සතුටට පත් වූ බවක් සමාරෝපය හා වෙස් වළාගත් පුද්ගලයා නොදනි. එහෙත් යම් අවශ්‍යතාවයක්, පොදු වුවමනාවක් සඳහා යම් පුද්ගලයෙක් බවට සමාරෝපය වීම හා වෙස් වළා ගැනීම රංගය නැති අවස්ථාවේ අභිචාර විධින්වලින් පැන නැඟුනකි. අභිචාර හෝ යාතුකර්මයේ දී අපේක්ෂිත අරමුණ අනුව අදෘශ්‍යමාන බලවේග සඳහා පුද්ගලත්වාරෝපණය වීමක් සිදුවන විට එනම්, දෙවියෙක්, භූතයෙක්, යක්ෂයෙක්, සංකල්පයක් බවට පුද්ගලාත්වාරෝපණය සමාරෝපය හෙවත් මනුෂ්‍යා යම් වෙනත් චරිතයකට පරිවර්තනය අවශ්‍ය විය. පුද්ගලත්වාරෝපණය වන බලවේගය මනුෂ්‍යා විසින් අවබෝධ කරගන්නා හා ප්‍රබන්ධය කර ගන්නා දැනුම් හා අවබෝධ මට්ටම අනුව වෙස් වළාගැනීම සිදු විය.

සමාරෝපයේ දී පුද්ගල චරිතයක අභ්‍යන්තර හැසීරීම හා චලන රටාව වෙත ද, වෙස් වළාගැනීමේ දී ඔහුගේ බාහිර ස්වරෑපය වෙත ද අවධානය යොමු විය. මෙහි දී ප්‍රේක්ෂකයා නැතහොත් බැතිමත්තු තුළ ඇති කරන විශ්වාසය වැදගත් වේ. ඒ සඳහා අප එදිනෙදා ජීවිතයේ දී හමු වන මනුෂ්‍යා හෝ යථා ස්වභාවය මනුෂ්‍ය චරිත නිර්මාණයේ දී මූලික වූ අතර අදෘශ්‍යමාන හෝ සංකල්පිය හෝ සුවිශේෂ මිනිසුන්, බලවේග පදනම් කරගත් අධිමානුෂිය චරිත එනම් දෙවියන්, යක්ෂයන්, ග්‍රහයන් සුවිශේෂි සංකල්ප එනම් කුසල්, අකුසල්, බිය සහ සන්තුෂ්ටිය ආදීය චරිත ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ දී එම චරිතවලින් උද්දීපනය කරන බිය, භක්තිය, කාරුණ්‍ය වැනි හැඟීම් අතිශ්‍යයෝක්තියට නංවමින් උත්කර්ශවත් ලෙස සමාරෝපය හා වෙස්වලාගැනීම සිදු විය. සමහර විට එවැනි චරිතවල අඟ පසඟ, ඇඳුම් පැළඳුම්, මුහුණ අතිශයෝක්තියෙන් ප්‍රතිනිර්මාණය විය.

 

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා රංගන ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.