පෙර අපර වෙන් කළ - හැඩ කළ නාට්‍ය

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
සැප්තැම්බර් 17, 2020

පෙරදිග සහ අපරදිග නාට්‍ය කලාව

මෙය සරල බටහිර නැතහොත් යුරෝපීය නාට්‍ය කලාව සහ ආසියාතික නාට්‍ය කලාව පිළිබඳ විග්‍රහ කෙරෙන බෙදීමකි. ආසියාතික රටවල එන නාට්‍ය කලාව ඉන්දියාව කේන්ද්‍ර කොටගෙන ලංකාව, ජපානය, චීනය, තායිලන්තය, බුරුමය, ලාඕසය, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය ආදී රටවල ගැමි සහ විදග්ධ නාට්‍ය සම්ප්‍රදායෝ හැඳීන්වීම පෙරදිග නාට්‍ය කලාව යන නම යෙදේ. ඈත පෙරදිග රටවල් වන පර්සියාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය ආදී රටවල කලාවන් ද මේ විග්‍රහයට වැටේ. ඉන්දියාවේ සංගීතය සහ නර්තනය විග්‍රහයේදී දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය ලෙස විග්‍රහ කරන අතර දක්ෂිණ භාරතීය සම්ප්‍රදාය ඉන්දියාවේ පැරණි ඓතිහාසික නර්තනය, සංගීතය, චිත්‍රය සහ නාට්‍යය මූලික කොට ගන්නා අතර එම සම්ප්‍රදාය හින්දු ආගම් පදනම් කොටගෙන වර්ධනය වූවකි. මධ්‍යකාලීන යුගයේ මෝගල් (මුස්ලිම්) බලපෑම මැද පෙරදිග රටවල් කේන්ද්‍ර කොටගෙන ඉන්දියාවට බලපෑ අතර මෝගල් බලපෑමත් සමඟ මුස්ලිම් ආගම මූලාශ්‍ර කරගත් නාට්‍ය, සංගීත, නර්තනය සහ චිත්‍ර කලාවේ බලපෑම ඇති විය. උතුරු ඉන්දියාවට බලපෑ මේ ආක්‍රමණික තත්වයත් සමග ඉන්දියාව පුරා එතෙක් තිබූ හින්දු ආගමික බලපෑම යටපත් කරගනිමින් නැතහොත් ඒ හා මුහුවෙමින් උත්තර භාරතීය සම්ප්‍රදාය බිහි විය. මෙම බලපෑම පසුකාලීනව බුදු දහම කේන්ද්‍ර කරගත් ලංකාව කෙරෙහිද බලපෑවේය. අපේ පැරණි කෝලම් සහ සොකරි නාට්‍ය ගැමි සංගීත සහ නර්තනය ආදිය කෙරෙහි දක්ෂිණ භාරතීය බලපෑම තිබුණද, ඒ ගැමි නාටක හා අභිචාර විධීන් කෙරෙහි බෞද්ධ සම්ප්‍රදායන්ගේ බලපෑම ද කැපී පෙනිනි. එහෙත් වෙරළබඩ ප්‍රදේශවල ව්‍යාප්තව පැවති නාඩගම්, කුත්තු ආදිය කෙරෙහි බලපා ඇත්තේ දක්ෂිණ භාරතීය සම්ප්‍රදායේ එන නාටක, සංගීත, නර්තනයේ බලපෑමය. ඉන්දියාවේ භරත නාට්‍යයම්, කතකලි ආදී නර්තනයන් කෙරෙහිද සෘජු බලපෑම දක්ෂිණ භාරතීය සම්ප්‍රදායෙන් ලැබිණි. මෝගල් යුගයෙන් පසු බලපෑ උත්තර භාරතීය සම්ප්‍රදාය නූර්ති නාටක මගින් ලංකාව කෙරෙහිද බලපෑම් කළේය.

එම මූලාශ්‍රයන් මුස්ලිම් සංස්කෘතික හා හින්දු සංස්කෘතික මූලයන්ගේ සම්මිශ්‍රණයකි. නාඩගම් යටපත් වීමට ජනප්‍රිය භාවයෙන් ඈත් වීමට එක් හේතුවක් ලෙස විචාරකයින් විසින් විස්තර කරනු ලබනුයේ දක්ෂිණ භාරතීය සම්ප්‍රදායේ කඨෝර් හා රළු බවයි. උත්තර භාරතීය සම්ප්‍රදාය රසාලිප්ත කන්කලු එකක් විය. නාඩගම් අභිබවා නූර්ති ජනප්‍රිය වන්නට හේතුව එය විය. පැරණි දමිළ චිත්‍රපටයක් හා හින්දි චිත්‍රපටයක රසවින්දනය සංසන්දනය කළ විට මෙය වටහා ගත් හැකිය. අපේ මුල්කාලීන නාඩගම් පමණක් නොව මිනර්වා නාට්‍ය කෙරෙහි ද ඒ ආශ්‍රයෙන් ගොඩනැඟුණු මුල් කාලීන ලාංකීය චිත්‍රපට ද දක්ෂිණ භාරතීය සම්ප්‍රදායෙන් ආභාෂය ලැබීය. මෙම බලපෑම සිනමාව තුළ උත්තර භාරතීය බලපෑමෙන් වෙනස් වන්නට පටන් ගත්තේ ''සුජාතා'' වැනි චිත්‍රපට විසිනි. අපේ මුල් කාලීන සිනමාකරුවෝ, නිෂ්පාදකයෝ දමිල අය වීම ඊට හේතු විය. අපරදිග රංග කලාව ලෙස විස්තර කරනුයේ ග්‍රීක හා ඊට පෙර යුගවල සිට මේ වන විට යුරෝපය ඇමරිකාව ආදී රටවල ව්‍යාප්තව පවතින රංග කලාවකි. එම නිසා නාට්‍ය සම්ප්‍රදාය ග්‍රීක සහ රෝම ආදී ලෙස යම් භූමි කලාපයක් මුල්කර ගෙන ද මධ්‍යකාලීන එළිසබතීන් ආදී ලෙස යම් රාජ්‍ය පාලන අවකාශයක් මුල් කොට ගෙන ද පසු කාලීනව යම් දාර්ශනික චින්තනයන්ගේ බලපෑම හේතුකොටගෙන ස්වභාවිකවාදී, යථාර්ථවාදී, ප්‍රකාශනවාදී, එපික්, අසම්මත, පශ්චාත් නූතන ආදී ලෙසද අපි හඳුනා ගනිමු. වර්තමානයේ එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ස්වීඩනය, අමෙරිකාව මෙන්ම ලතින් ඇමරිකානු රටවල් ද කේන්ද්‍ර කරගත් නාට්‍ය කලාව අපරදිග හෙවත් බටහිර රංග කලාව ලෙස විස්තර කෙරේ.

වර්තමානය වන විට පෙරදිග නාට්‍ය කෙරෙහි අපරදිග නාට්‍ය ද අපරදිග නාට්‍ය කෙරෙහි පෙරදිග නාට්‍ය ද හඳුනාගත නො නොහැකි තරමට සංකීර්ණ වී ඇත. විසිඑක්වන ශත වර්ෂය සඳහා පෙරදිග අපර දිග ප්‍රභේදය කොයිතරම් දුරට ගැලපේ දැයි විමසා බැලිය යුතුය.

පෙරදිග සහ අපරදිග නාට්‍ය සම්ප්‍රදාය මූල ග්‍රන්ථ ත්‍රිත්වයක් මූලිකව විකාශය වී ඇත. සමකාලීනව පෙරදිග අපරදිග රංගකලාව විග්‍රහයේ දී මෙම මූල ග්‍රන්ථ ත්‍රිත්වයේ සෛද්ධාන්තික මූලයන් එහි විවිධ ප්‍රවණතාවන් කෙරෙහි බලපා ඇති බව පෙනේ. පොදුවේ රංග කලාවේ එන මූලිකාංග එනම්, නාට්‍ය, රංග කලාව, රූපණය, අනුකරණය රචනය, භාව ප්‍රකාශන, සමාරෝපය, වෙස්වලාගැනීම, ප්‍රේක්ෂාව, ප්‍රේක්ෂකයා, රංග ශාලාව ආදී විවිධ කරුණු පිළිබඳ මෙම මූල ග්‍රන්ථ ත්‍රිත්වයේම විස්තර කෙරේ. ඒවායේ සමානකම් මෙන්ම අසමානතා ද විවිධත්වයද කැපී පෙනේ. පෙරදිග රංග කලාවේ මූලයන් භාරත දේශීය හා සංස්කෘත නාට්‍ය මූලාශ්‍ර කරගෙන විකාශය වී ඇත. නාට්‍ය පමණක් නොව සංගීතය, නර්තනය, චිත්‍ර කලාව සහ සාහිත්‍ය කෙරෙහි ද ඉන්දීය බලපෑම ලංකාව, ජපානය සහ චීනය ආදී ආසියාතික රටවල කලා සංස්කෘතිය කෙරෙහි දක්නට ලැබේ. විශේෂයෙන්ම සංස්කෘත නාට්‍ය කලාවේ මූලාශ්‍ර ග්‍රන්ථයක් වූ භාරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රය ආසියාතික රටවල රංග කලාව කෙරෙහි අතීතයේ සිට ඍජුව බලපා ඇත. සංස්කෘත නාට්‍යයේ එන ආකෘතික ලක්ෂණ හා භාව ප්‍රකාශනාත්මක සෛද්ධාන්ත ලංකාවේ කෝලම් නාටකය, නාඩගම්, මනමේ නාටකය මෙන්ම ජපානයේ නෝ නාට්‍ය කලාවේ ද දක්නට ලැබේ. ඊට ප්‍රධාන හේතුව හින්දු හා බෞද්ධ ආගමික බලපෑම ඉන්දියාව කේන්ද්‍ර කොටගෙන ආසියාතික රටවල් සියල්ල කෙරෙහි කර ඇති බලපෑමයි. නමුත් මෙම ආගමික බලපෑම ලංකාව ආදී රටවල මුල් ස්වරූපයෙන් ම බලපෑවද ජපානය සහ චීනය ආදි රටවල එතෙක් පැවති ශක්තිමත් ආර්ථික ආකල්ප නිසා නාට්‍ය දේශීයකරණය වී තිබේ. චීනයේ, ජපානයේ ''ෂින්තෝ'' ආගම, චීනයේ ''කොන්ෆියුසියස්'' දහම විසින් බුදු දහම හා හින්දු ආගමික ලක්ෂණ ඒ රටවලදී දේශීයකරණය වී ඇත.

ලංකාව වැනි රටවලදී බුදු දහම රංග කලාව කෙරෙහි රළු ප්‍රතිචාරයක් දැක්වූ ද චීනය, ජපානය ආදි රටවල දී රංග කලාව කෙරෙහි පැවතියේ සුහද ආකල්පයකි. මේ හේතුවෙන් එම රටවල ඔවුන්ටම ආවේණික නෝ නාට්‍ය, කබුකි නාට්‍ය සහ යැංශි (පීකිං) ඔපෙරා කලාව වැනි විදග්ධ රංග සම්ප්‍රදායන් බිහිවිය. ජපානයේ නෝ රංගය සෘජුවම බෞද්ධ රංග සම්ප්‍රදායක් බවට පත් විය. මේ නිසා එම විදග්ධ සම්ප්‍රදාය විසින් ඔවුන්ගේ රංග කලාවටම ආවේනික ගැඹුරු ශාස්ත්‍රීය මූල ග්‍රන්ථයක් රචනා විය. එය නම් ''සෙඅමි මොතොකියෝ'' විසින් රචනා කළ ''පුශිකදෙන්'' කෘතියයි. එම කෘතිය විසින් නෝ නාට්‍ය යනු ජපානයේ මුරුමුචි යුගයේ බිහි වූ කලාවන් අතර නෝ නාට්‍ය වූ කලී ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අතර මහත් ඇගයීමට ලක් වූ ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයක් බවට පත්කොට ඇත. නාට්‍ය ශාස්ත්‍රය විස්තර කරන ආකාරයට ස්වර්ණමය වෛදික යුගයේ ලෝවැසියන්ගේ ඇස් කන් පිනවන විනෝද සුවය ලබා දිය හැකි යම් සාහිත්‍ය විශේෂයක අවශ්‍යතාවය මත ශුද්‍රයන් ඇතුළු වර්ණ (කුල) හතරටම රසවිඳීමට යෝග්‍ය නාට්‍යවේදය දෙවියන් සමූහයේ ඉල්ලීම මත මහා බ්‍රහ්මයා විසින් නාට්‍ය වේදය නිපදවන ලදී. මේ අනුව පෙරදිග අපරදිග කලාව හඳුනාගැනීම හා අධ්‍යනයේ දී මෙම මූල ග්‍රන්ත තුනෙහි බලපෑම ඉවත දැමිය නොහැකිය. ඇරිස්ටෝටල්ගේ ''කාව්‍ය ශාස්ත්‍රය'' අපරදිග නාට්‍ය කලාවේ ප්‍රභවය හා විකාශනය කෙරෙහිද භරතමුනිගේ ''නාට්‍ය ශාස්ත්‍රය'' හා සෙඅමි මොතොකියොගේ ''පුශිකදෙන්'' පෙරදිග රටවල එනම් ඉන්දියාව හා ජපානය යන රටවල නාට්‍ය කෙරෙහි ද සෘජුවම බලපා ඇත. එම රටවල විදග්ධ නාට්‍ය සම්ප්‍රදායන් හා භාවිතයන් පමණක් නොව ගැමි නාට්‍ය කෙරෙහි ද මෙම බලපෑම දක්නට ලැබේ. ඉන්දියාවේ යක්ෂගාන, කුත්තු, තුල්ලල් මෙන්ම ලංකාවේ කෝලම්, සොකරි, නාඩගම්වලද සංස්කෘත නාට්‍ය කලාවේ එන නාට්‍ය ශාස්ත්‍රයේ සෛද්ධාන්තික බලපෑම දක්නට ලැබේ. විදග්ධ නාට්‍ය කෙරෙහි සෘජුව ද, ගැමි නාට්‍ය සම්ප්‍රදා කෙරෙහි වක්‍රවද මූල ග්‍රන්ථවල සිද්ධාන්ත බලපෑම දක්නට ලැබේ.

 

පෙරදිග මෙන්ම අපරදිග නාට්‍ය කලාවේ ද ක්‍රමික විකාශයක් දක්නට ලැබේ. නූතන යුගයේ රංග කලාව මෙන්ම අනෙක් කලාවන් ද එකිනෙකාගෙන් පෝෂණය වී ගමන් කළ ද පෙරදිග රටවල නාට්‍යය සිනමාව විඳීම හා විචාරයේ වෙනස්කම් ඇත. නිදසුනක් ලෙස මාලන් බ්‍රැන්ඩෝ, අමිතාබ් බච්චන් සහ ටොෂිරෙ මිපුනේ වැනි නළුවන්ගේ රංගනය සසඳා බලනවිට පෙරදිග හා අපරදිග කලාව මෙන්ම රූපණ කලාවේ වෙනස්කම් දෘශ්‍යමාන ලෙසත්, සියුම් ලෙසත් ග්‍රහණය කරගත හැකිය. මාලන් බ්‍රැන්ඩෝගේ රූපණයේ ස්ටැනිස්ලව්ස්කිගේ මෙතඩ් ඇක්ටිං (Method Acting) භාවිතයත් බටහිර මෙය න්‍යායාත්ම රංගනය ලෙස විග්‍රහ කෙරේ) අමිතාබ් බච්චන්, කමල් හසන් සහ රජිනි කාන්ත් වැන්නන්ගේ රංගනයේ සංස්කෘත නාට්‍ය රූපණයේ බලපෑමත්, Toshiro Mifune, Takashi Shimura, Kichijiro Uedo, Setsuko Hara සහ  Chishu   අරභ ආදී නළු නිළි රූපණයේ නෝ කබුකි රූපණයේ එනම් පුෂිකදෙන් කෘතියේ විස්තර කරන ආකාරයේ ජපානය චීනය වැනි රටවලට ආවේ ආවේණික රූපණයක් දක්නට ලැබේ. එපමණක් නොව පෙරදිග හා අපරදිග නාට්‍ය කලාවේ ඊටම ආවේ ආවේණික ලක්ෂණ පවතී.

අපරදිග රට රටවල චිත්‍රපට නාට්‍ය නිෂ්පාදනයේ දී විවිධ රසයන්ට වෙන් වෙන්ව නිර්මාණ තිබේ. සුඛාන්ත, දුකඛාන්ත සහ ප්‍රහසන මෙන්ම චිත්‍රපට වර්ගීකරණයේ දී හොරර් (Horror), ක්‍රියාදාම (Action), ත්‍රාසජනක (Adventure), සංගීතමය (Musical) කොමඩි (Comedy)  ආදී ලෙස විවිධ රසයන්ට අදාළ සිනමා ශානර තිබේ. එහෙත් පෙරදිග රටවල එකම කලා කෘතිය තුළ නව නළු රසය ගැබ්වී ඇත. මැටි කරත්තය, රත්නාවලී, ශාකුන්තලය මෙන්ම වර්තමානයේ ජනප්‍රිය හින්දි චිත්‍රපට විමසා බැලුවොත් රස නවයම එකම කෘතියක දක්නට ලැබීම කැපී පෙනෙන ලක්ෂණයකි. එසේම සමහර රංග කලා මූලාශ්‍ර පිළිබඳව ද මඳ වෙනස්කම් සහිතව පෙරදිග අපරදිග රංග කලා ද්වයේම සාකච්ඡා කෙරේ. නිදසුනක් ලෙස ‘‘අනුකරණය“ යන්න imes  ලෙසද, අපරදිග රංග කලාවේ අනුකරණය හා මොනොමනේ (පුෂිකදෙන්) ලෙස විග්‍රහ කෙරේ. නාට්‍ය රචනයේ එන කතා වින්‍යාසයේ විකාශය

නාට්‍ය ශාස්ත්‍රයේ - ආරම්භ, යත්න, ප්‍රාප්ත්‍යාෂා, නියතාප්ති, ඵලාගම ලෙස කොටස් පහකින් ද

කාව්‍ය ශාස්ත්‍රයේ - මුල, මැද සහ අග ලෙස ද

පුෂිකදෙන් කෘතියේ ජෝ, හ, ක්‍යු ලෙස ද

විස්තර කෙරේ. මෙහිදී

ආරම්භ - මුල - ජෝ

ප්‍රාප්ත්‍යාෂා - මැද - හ

ඵලාගම - අග - ක්‍යු යනුවෙන් විස්තර කරන්නේ එකම මාතෘකාවෝ වෙති.

 

අපරදිග රංග කලාවේ විකාශනය

පෙරදිග රංග කලාවේ මෙන්ම අපරදිග රංග කලාවේ ද විකාශය ක්‍රමානුකූලව විකාශනය වූවකි. එහි පෙළගැස්ම ක්‍රමානුකූලව පහත ආකාරයට සිදුවිය.

1. පූර්ව ග්‍රීක අවදිය

2. ග්‍රීක නාට්‍ය යුගය

3. රෝම නාට්‍ය යුගය - (ක්‍රි. ව 3-4 ශතවර්ෂයේදී රංගකලාව කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ කාලයෙන් පසු පල්ලියෙන් පිටුවහල් කරන ලද අතර කිස්තු පූර්ව පස්වන ශතවර්ෂයේ දී රංග කලාව තහනම් කොට 6 වන ශතවර්ෂයේ දී ජස්මිනියස් අධිරාජ්‍යයා විසින් රංගශාලා වසා දමන ලදී. අවසන් රෝම නාට්‍ය රංගය සිදුකරන ලද්දේ ක්‍රි. ව. 533 දීය.

4. අඳුරු යුගය - ක්‍රි. ව. 6 සිට ක්‍රි. ව. 10 පමණ වන තෙක් පල්ලියෙන්ද අධිරාජ්‍ය‍යෙන් ද දර්ශනයන් හට අනුග්‍රහය ලබා නොදුන්නේ ය. එහෙත් ග්‍රාම්‍ය නාට්‍ය කලාවක් සංචාරක නාට්‍ය ලෙසින් රහසිගතව සිදු කරන ලදී.

5. මධ්‍යකාලීන නාට්‍ය යුගය - ක්‍රි. ව. පමණ පල්ලියෙන් ආරම්භ වී ශ්‍රේණි නාටක, මිස්ටරි, මිරැකල් සහ මොරැලිටි ආදී ප්‍රභේද වර්ධනය විය. ග්‍රීක රෝම නාට්‍ය යේ පුනර්ජීවනය ද කිතු සසුනේ වෙන්වීම්ද පල්ලිය විසින් රංග කලාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 16 වන ශතවර්ෂයේ ද එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය ආදී රටවල නාට්‍ය තහනම් කරන ලදී.

6. එළිසබතන් නාට්‍ය - ක්‍රි. ව. 16 සහ 17 ශත වර්ෂවලදී වර්ධනය විය.

7. ජැකොබියන් නාට්‍ය - 17 වන ශතවර්ෂයේ දී

8. ඉතාලියානු පුනරුද නාට්‍ය - කොමීදියා ඩෙලාර්ටේ සහ කොමිඩියා ඉරුදිටා රංග ප්‍රවණතා පැමිණියේ මේ යුගයේදීය

9. ප්‍රහසන

10. ප්‍රංශ සම්භාව්‍යවාදී රංගය - කෝනීල්, රේසීන් වැනි නාට්‍යකරු කරුවෝ ද ප්‍රිඩා වැනි නාට්‍ය ද මේ යුගයේ ප්‍රවණතා වෙති. මොලියර් වැනි නාට්‍ය කරුවෝ ‘ප්‍රහසනය‘ කෙරෙහිද , ජෝර්ජ් ලීලො වැනි නාට්‍යකරුවෝ අතිනාටක හෙවත් භාවාතිශය නාට්‍ය වලට මුල්විය. ද ලන්ඩන් මර්චන්ට් හෙවත් ලන්ඩන් වෙළෙන්දා ඔහුගේ ප්‍රකට නාට්‍යයකි.

11. බැලේ නාටකය හා අනුරූපණ රංගය හෙවත් අභිරූපණ රංගය - බැලර්ඩ් ගීත රංගයට කදිම නිදසුනකි ‍බ්‍රෙෂ්ට්ගේ ත්‍රි පෙනී ඔපෙරාවට  (Three Peny Opera)  බලපෑම් ජෝන්ගේ නාට්‍යකරුවාගේ ද බෙගර්ස් (The Beggars) ඔපෙරා ගීත නාටකය.

12. රොමෑන්ටික් නාටකය - 19 සියවස මුල භාගයේ දී ප්‍රචලිත විය. ගතේ, වොන් ශිලර්, ජේම්ස් ශෙරිඩන් එහි මූලිකයෝ විය.

13. අති නාටකය - 19 වන ශතවර්ෂයේ ප්‍රචලිත වූ නාට්‍ය ප්‍රවණතාවකි. රොමෑන්ටික් නාට්‍යයේම දිගුවක් වූ අතිනාටක අතර ටොම් මාමාගේ කුටිය (Uncle Tom Cabin)  අදටත් යුරෝපයේ ජනප්‍රිය කෘතියකි.

14. ස්වාභාවික වාදය හා යථාර්ථවාදය- 19 වන ශතවර්ශයේ අග භාගයේ ඇති වූ නාට්‍ය ප්‍රවණතාවයකි. ඉබ්සන්, චෙකොව්, ගොගොල්, එමිල් සෝලා, ගුස්ටාව් ප්ලෝබෙයාර් මෙම ප්‍රවණතාවේ ප්‍රමුඛ වුවෝ වෙති.

15. සංකේතවාදී රංග කලාව

16. ප්‍රකාශනවාදී රංග කලාව - විසිවන ශතවර්ෂයේ මූලාරම්භයේ දී හා පළමු වන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයකි. ඕගස්ටස් ස්ට්‍රින්බර්ග් මෙහි මුලාරම්භය ගත්තේය. ජෝර්ජ් කයිසර් අර්නස්ට් ටොලර් මෙම රංගය ප්‍රචලිත කිරීමෙහි පුරෝගාමී විය.

17. එපික් රංග - එහෙමත් වීරකාව්‍ය, අසම්මත රංගකලාව, විකාර රූපී රංගය, කුරිරු රංගය, දිළිඳු රංගය විසිවන ශතවර්ෂයේ දී ජර්මනිය, ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය සහ ඉතාලිය ලතින් අමරිකාව ආදී රටවල් ප්‍රමුඛ කොට ගෙන ව්‍යාප්ත විය.

 

පෙරදිග රංග කලාවේ විකාශනය

මෙහිදී ලංකාව, ඉන්දියාව, ජපානය සහ චීනය ආදි රටවල රංග කලාවේ ක්‍රමික විකාශය වැදගත් වේ. අතීතයේ සිට වර්තමානය දක්වා රංග කලාව පිළිබඳ යම් අදහසක් ගොඩනඟා ගත හැකිය. බොහෝවිට රංග කලාවේ මෙන්ම වෙනත් කලාවන්ගේ ද ක්‍රමික විකාශයේ වෙනස්වීම් කෙරෙහි බලපානු ලබන්නේ රටක සිදුවන සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වෙනස්වීම් හා පරිවර්තනයන්ය. එය සාධනීය වෙනස්කම් මෙන්ම නිශේධනාත්මක පරිවර්තනයන්ට ද බලපානු ලබයි.

චීනය සහ කොරියාව ආදී රටවල සංස්කෘතියක වෙනස්වීම් කෙරෙහි ජපන් ආක්‍රමණ සහ ප්‍රංශ අක්‍රමණ වැනි දේශපාලන වෙනස්වීම් බලපෑ අතර චීනය අභ්‍යන්තරයේ හටගත් චීන විප්ලවය ද බෙයිජිං හෙවත් යැංෂි ඔපෙරාව පීකිං ඔපෙරා බවට පරිවර්තනය වීමට බලපෑවේය. ඉන්දියානු කලා සම්ප්‍රදායන් හි පරිවර්තනයට මෝගල් අධිරාජ්‍යයේ බලපෑම, ඉංග්‍රීසි ආක්‍රමණය මෙන්ම රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මැදිහත් වීමද කොමිනියුස්ට් ව්‍යාපාරයේ ද බලපෑම ඇති විය. එසේම ලංකාවේ කලා ව්‍යාපාරයන් වෙනස්වීම් කෙරෙහි ඉන්දියානු (දකුණු) බලපෑම, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන් ද, උතුරු ඉන්දීය බලපෑම මෙන්ම මාක්ස්වාදී ව්‍යාපාරයන් ද, යටත්විජිත අරගලයද, අතීතයේදී බුදු දහමේ සම්ප්‍රාප්තිය ද බලපෑවේය. මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ලංකාවේ රංග කලා විකාශය (අභිචාර විධීන්, යාතුකර්ම, ශාන්තිකර්ම, ගැමි නාටක ආදියේ) පහත ලෙස පෙළගැස්විය හැකිය.

1. පූර්ව බෞද්ධ යුගය - බුදු දහම පැමිණීමට පෙර යක්ෂ නාග ආදී ගෝත්‍රික හා වැදි ජනයා ඇසුරේ ඇති වූ යාතු කර්ම අභිචාර විධීන්.

2. බෞද්ධ යුගය - බෞද්ධ හා ගැමි ඇදහිලි ප්‍රමුඛ කොට ගෙන ඇති වූ දෙවියන්, යක්ෂයින්, ග්‍රහයින් ප්‍රමුඛ කොටගත් යාතුකර්ම, ශාන්තිකර්ම සහ බලියාග ආදියේ යුගය.

3 ගැමි නාට්‍ය යුගය - කෝලම්, සොකරි හා සන්නි ආශ්‍රිතව ගොඩ ගොඩනැඟුණු ගැමි නාට්‍ය

4. නාඩගම් යුගය - සංක්‍රාන්ති යුගය, නාඩගම් යුගයත් මනමේ නාට්‍ය යෙන් ආරම්භ වන සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායත් ආරම්භයට අතරමැදි යුගය. විශ්වවිද්‍යාල නාට්‍ය, නූර්ති, මිනර්වා සහ විමලවීර නාට්‍ය යුගය

5. නූතන යුගය - එය ආරම්භ වූයේ සංක්‍රාන්ති යුගයේ නූර්තිය නාට්‍යයෙන් ද? මනමේ නාට්‍යයෙන් පසුව ද? යන්න විවාදාත්මකය. එහෙත් රංග කලාව ආගමික මූලයන්ගෙන් වෙන්ව යන්නේ මෙම කාල වකවානුවේදීය.

ජපානයේ නෝ නාට්‍ය කලාව පදනම් කොටගෙන රංග කලාවේ ප්‍රධාන යුග පහක් විස්තර කරයි.

1. පූර්ව ඓතිහාසික යුගය

2. බෞද්ධ යුගය - බුදුදහම පැමිණීමෙන් පසුව ඇතිවූ ගගකු, ගිගකු, දෙන්ගකු, සරුගකු ආදී දේශීය හා විදේශීය සහිතව වර්ධනය වූ රංග කලාව.

3. නෝ නාට්‍ය යුගය - ක්යෝගන් රංගයේ ද ආරම්භය වේ.

4. කබුකි යුගය

5. නූතන යුගය - 19 වන ශතවර්ෂයේ යුරෝපීය නාට්‍ය, සිනමාවේ ආගමනය විසින් ඇති කළ නාට්‍ය යුගය

ලෙස විග්‍රහ කොට දැක්විය හැකිය.

පෙරදිග අපරදිග රංග කලාව වෙන් වෙන් වශයෙන් මෙසේ විස්තර කොට දැක්වූයේ වඩාත් පහසුවෙන් වෙන් කොට හඳුනා ගැනීමේ සීමාවන් අවබෝධ කරගනු පිණිස වේ.

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා රංගන ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.